2011-02-08

ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාසය ද?

(2011 පෙබරවාරි 08, W3Lanka) මේ මොහොත වන විට ලංකාවේ ගංවතුරින් හා අධික වැසි හා සම්බන්ධ වෙනත් හේතු මත අවතැන් වී තිබෙන ජන සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි. ජීවිත හානි සංඛ්‍යාව අඩු මුත්, මේ වනාහි 2004 වසරේ ඇති වූ සුනාමිය වැනි තත්වයකි.


පවුල් 333,986 කට අයත් පුද්ගලයන් 1,249,533 දෙනකු පීඩාවට පත් වී ඇති බව අද දිනමි පුවත්පත සඳහන් කරයි. එහෙත්, සුනාමි අවස්ථාවේ මෙන් දේශීය හෝ විදේශීය ජනයා විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත් වී නැත. ලංකාවේ මහ තැන්වල සිට සුනාමි ආධාර වංචා කළ ආකාරය ලෝකයට ප්‍රසිද්ධ වීම මේ තත්වය ඇති වන්නට එක් හේතුවක් වන්නට ද පුළුවන.


ගංවතුරින් හානියට පත් ප්‍රදේශවල මේ වන විට දැඩි ආහාර අර්බුදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ. අනිවාර්යයෙන් ම මෙවැනි ස්වාභාවික විපත් පසුපසින් වසංගත, මන්ද පෝෂණය හා දරිද්‍රතාව පැමිණෙයි.


ලංකාවේ ගංවතුරින් වැඩි ම හානි සිදු වී ඇත්තේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියා, කිලිනොච්චි, මන්නාරම වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්කවලටයි.


ගොවිජන සේවා හා වනජීවී ඇමති එස්.එම්. චන්ද්‍රසේන පවසන පරිදි කුඹුරු අක්කර ලක්ෂ පහක් වතුරින් යට වී එයින් ලක්ෂ තුනක් මුළුමනින් ම විනාශ වී ඇත. අද ලංකාදීප පුවත්පතට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි තවත් කුඹුරු අක්කර ලක්ෂ එකහමාරකට වඩා වතුරට යට වීම නිසා විනාශ වීමේ අවදානමට ලක් වී තිබේ.


මේ දිනවල එළවළු මිළ අධික ලෙස ඉහළ යාමට හේතුව ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඊ. කරුණාතිලක ඉදිරිපත් කෙරෙන්නේ ද අධික වැසි හේතුවෙන් එළවළු වගා හෙක්ටෙයාර් 30,000ක් පමණ විනාශ වීමයි.


කුඹුරු විනාශ වීමත් සමග නුදුරු අනාගතයේදී ම සහල් මිළ ශීඝ්‍රයෙන් ඉහළ යන්නට ඉඩ තිබේ. ගොවි ජන සේවා ඇමතිවරයා කියන පරිදි ලොකු කුඩා වැව් 500ක් පමණ ද ඇල වේලි 1000ක් පමණ ද ගංවතුරින් විනාශ වී තිබේ.


අඛන්ඩව සිදු වන ගංවතුර, නියඟය වැනි ස්වාභාවිත විපත්වලට හේතුව මිහිතලය උණුසුම් වීමේ ආදීනව බව මේ වන විට හෙළිදරව් වී තිබේ. දේශගුණික විපර්යාසවලින් වැඩියෙන් ම බැට කන කලාපයක් වන්නේ ඉහළ ජන ඝනත්වයක් ඇති, එසේ ම දරිද්‍රතාව ද ඉහ වහා ගිය ආසියා පැසිෆික් කලාපයයි.


‘දේශගුණ, විපර්යාසය හා ආසියා පැසිපික් සංක්‍රමණ’ යන මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි පසුගිය වසරේ ලොව පුරා ඇතිවූ ආපදාවන්ගෙන් මිලියන 207ක ජනතාවක් විපතට පත් අතර ඉන් 89%ක්ම ආසියානුවෝ ය.


ඉදිරි වසරවලදී දේශගුණික විපර්යාස නිසා දේශාන්තරව සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ජනසංචලනලට රාජ්‍යයන් සූදානම් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවට සිදු වී තිබේ.


මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ඉහළ යාමත් සමග මාලදිවයින්වල බහුතරයක් දූපත් ජලයෙන් යට විය හැකි බවට අනතුරු අඟවා තිබේ. එවැනි තත්වයක් තුළ දේශගුණික විපත් නිසා සිදු වන මහා ජන සංචලනයකට මුහුණ දෙන ලොව මුල් ම රට වීමට ආසියාවේ ආශ්චර්යය වන අපට හැකි වන්නට ද ඉඩ තිබේ.


අප දැන් එළඹ තිබෙන්නේ සියවස් දෙක තුනක ධනේශ්වර සංවර්ධනය විසින් ෆ්‍රැන්සිස් බේකන් කිව්වාක් සේ මධ්‍යතන යුගයේදී මායාකාරී ගැහැනියක වධයට ලක් කර ඇගේ රහස් උකහා ගත් පරිද්දෙන් සොබා දහම වධයට පත් කර එහි රහස් වන ස්වභාවික සම්පත් සූරා ගැනීමේ මිළ ගෙවන සමයකටයි. ධනවාදයේ දියුණුව පිළිබඳ උඩ පනිමින්, නටමින්, ප්‍රශස්ති ගයමින් සිටි ධනවාදයේ ප්‍රවර්ධකයෝ ගංවතුරට ගසාගෙන ගොසිනි.


ධනවාදය නම් ඔටුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස දේශගුණික විපර්යාස විය හැකි ය.

4 comments:

  1. සමාජවාදී ඔටුවා ඕකට මූණ දෙන්නේ කොහොමද කිවුව නම්?

    ReplyDelete
  2. විසඳුමත් කිව්වා නම්? අඩු ගන්නේ ප්‍රතිපලයවත්.

    ඔබ හිතන්නේ ජනතාව පාරට බැහැලා විප්ලවයක් කරලා සමාජවාදී ජාත්‍යන්තරයක් හදයි කියලද? ඔබ මෙතෙක් කිව මතය එහෙම නිසා මට එහෙම හිතන්න වෙනවා. වෙනස් නම් වැරදි නම් කරුණා කරලා කියන්න.

    මා දකින විදිහට මා ධනවාදය කියා කියන ලාභය හා වෙළඳපොල පදනම වූ ක්‍රමය තරමක මධ්‍යගතා පාලනයකට නතු වනු ඇත. මිනිස් ක්‍රියාකාරකම් වල පාරිසරික පිය සලකුණ අවම කරන නීති රීති බිහි වනු ඇත. 19 වන සියවසේ වහල් මෙහෙය යටත් විජිත වාදය හා අන්ත පහත් කම්කරු ජිවන තත්වය 20 සියවසේ මානව අයිතවාසිකම්, සේවක අයිතිවාසිකම් හා ස්වාධිපත්‍යය වැනි මත හරහා බොහෝ දුරට අඩු විය [සහමුලින් නොවේ]. මිනිසුන් අද පවතින තත්වයට මුහුණ දෙනු ඇත්තේ ද එවැනි ම ක්‍රමයකිනි.

    හැබැයි මේක හරියට සිදු වේවිද? ඔබ ධනවාදය කියන, අල්ලස දුෂණය, බඩගෝස්තරවාදය, පවුල් වාදය, වැඩ වසම් ක්‍රමය, පුද්ගල දේවත්වය වගේ හේතු මත මෙය හරියට ක්‍රියාත්මක වන එකක් නැහැ. [මා මේවාට ධනවාදය කියා නොකියන්නේ සමාජවාදයෙන් ද මේවා ඇතිවිය හැකි නිසයි. මේවා අර්ථ ක්‍රමයෙන් ස්වායත්ත වූ දේවල්]

    මිට කලින් මේ පිටුවල කතා කල සමාජවාදී මත දරන නිර්නාමිකයා ද එකඟ වූ පරිදි මේවායේ මිශ්‍රණයක් හා වල් බුරු නිදහසට පාලනයක් අත්‍යාවශ්‍යයි.

    එතකොට බිහිවන නව අර්ථ ක්‍රමය ධනවාදී ද? මා හිතන්නේ එය මිශ්‍ර ක්‍රමයක්. ලාභය වැනි මුලික පදනම් වලින් තොර වන එකක් නැහැ. ඒත් මිට වඩා තද පාලනයක් තියෙයි පරිසරයට සංවේදී. රාජ්‍ය සහභාගිත්වය වැඩි වෙයි. මධ්යගත නීති [බලය බෙදීමට ප්‍රති විරුද්ධ] හා ජාත්‍යන්තර ප්‍රඥප්ති වැඩි වේවි.

    ඒකෙන් ප්‍රශ්නය විසඳෙයිද? මා හිතන්නේ නැහැ කිසිම දෙයක් නිට්ටාවට සුව කල හැකි වෙයි කියලා. පරිසරයට මෙලහකටත් ලොකු ගේමක් දීලා ඉවරයි. දැන් මේ ගෙවෙන්නේ එහි විපාක සමයයි. ඒත් තත්වය තරමක් සමනය වෙයි. යටත් විජිත වාදෙන් යට ගිය රටවල් නව යටත් විජිත වාදෙන් තරමක් සුවපත් වුනා. 100%ක නොවේ. ඒ වගේ දෙයක් වෙයි.

    මා ධනවාදය විශේෂයෙන් ප්‍රියකරන්නෙක් නොවේ. ඒත් වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් මා දකින්නේ නැහැ. දෙසෙසින් ම සමාජවාදය විසඳුමක් ලෙස මා දකින්නේ නැහැ.

    ධනවාදයේ [සහ ඔබේ එයට බලෙන් පැටවූ එයට අයිති නැති ප්‍රපංච වල] දුර්ගුණ පෙන්නමින්, අන්න එක නිසයි ළමයි සමාජවාදය උතුම්, අපි සමාජවාදය ගොඩනගමු කියන ජෙප්පන්ගේ පන්ති පහේ වර්ගයේ බාල උත්සාහයක ඔබ නිරත වන නිසායි මා ලියන්නේ [නැත්නම් ඔබ ධනවාදයට බැන්නට මට අවුලක් නැහැ. ඔබේ ඇතැම් විවේචන වලට මා ද එකඟයි]. මා ඔබේ අන්තවාදී සමාජවාදයේ අන්ධ භක්තියට එරෙහිව හඬක් නැගිය යුතු යයි සිතන්නෙක්.

    පරා ඔබ කපටියි. ඔබ සමාජවාදය සඳහන් නොකර ඉන්නේ කපටි කමට. ඒ නිසා කියන්න මොකද්ද ඔබේ විකල්පය? අපි හරි කැමතියි මේ මහා විශ්ව විසඳුම දැන ගන්න.

    ReplyDelete
  3. ගංවතුර ඇතිවෙලා ලක්ෂ 12ක් ජනතාව අවතැන් වෙලා ඉන්නේ ගුවන්විදුලි මාධ්‍යයක් මඟින් ගාල්තැන්නේ කපුවාට අපහාස කරපු නිසාලු...
    http://oi54.tinypic.com/20gk0ub.jpg
    http://www.gossip9.com/2011/02/blog-post_1489.html
    http://epaper.divaina.com/images/flippingbook/Tuesday,%2008%20February%202011/08022011_09.jpg

    ReplyDelete
  4. පරා කොකාවලට දෙන උත්තරේ බලන්න මම හැමදාම මෙතෙන්ට එනව. කෝ තම නැහැනේ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.