2011-02-12

ප්‍රජාතන්ත්‍රවාදය සටන් පාඨයක් නො ව ජීවන භාවිතාවකි

(2011 පෙබරවාරි 12, W3Lanka) ලේඛකයා අරාජිකවාදියකු වන්නට පෙර, ඔහු වැඩ කළ එක් වාම දේශපාලන කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් ව්‍යාපාරයක් බවට පත් විය යුතු බව ඔහු යෝජනා කළේ ය. එහිදී, ඔහු සහ තවත් පිරිසක් යෝජනා කළේ ඒ වන විට එම ව්‍යාපාරය වටා ගොනු වී සිටි පිරිස් තීරණ ගන්නා ව්‍යූහයන් සමග සම්බන්ධ වන නිශ්චිත ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි.


ඒ පිළිබඳ සංවාදයේදී එම කණ්ඩායමේ නායකත්වය විසින් මතු කරන ලද ප්‍රශ්න කීපයක් මෙසේ ය.


තීරණ ගැනීමේ ව්‍යූහවලට ඇතුළත් කර ගන්නට තරම් අප යෝජනා කළ ක්‍රියාකාරිකයන් විශ්වාසවන්ත ද?


විශ්වාසවන්ත යයි යම් පිරිසක් නිශ්චය කර ගන්නේ කවුරුන් විසින් ද? එසේ තීරණය කරන පිරිස ද ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණ පිරිසක් නොවෙයි නේ ද?


කුමන අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වුව කිසියම් සුවිශේෂ පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා නේ ද?


උවමනාවට වඩා විවෘත වුවහොත් අරමුණුවලට පටහැණිව ක්‍රියා කරන සංවිධානාත්මක පිරිසකට සංවිධානයේ බලය අල්ලා ගත හැකි වනවා නේ ද?


අවසානයේදී නායකත්වය විසින් මතු කරන ලද තර්කය වූයේ සංවිධානය යනු කිසියම් දැනුවත් පිරිසක් විසින් මෙහෙයවනු ලබන්නක් බවයි.ඕනෑ නම් මෙය ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම ආරම්භ කළ හැක්කේ ආඥාදායකත්වයෙනැයි යන තර්කනය තුළට ගොනු කර ගත හැකි ය.නැති නම්, ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිය හැකි සවිඥානික ජන පදනමක් ගොඩනඟන තෙක් සමාජය දැනුවත් පිරිසකගේ මෙහෙයවීම යටතේ තිබිය යුතු යයි තර්ක කළ හැකි ය.


දේශපාලන විද්‍යාත්මකව නම්, මේ වනාහි සමාජය සංවිධානය කිරීම හා මෙහෙයවීම පෙරටුගාමීන් පිරිසක් සියතට ගැනීම සාධාරණීකරණය කරන තර්කනයයි. මාක්ස්වාදීන්ට නම් පෙරටුගාමිත්වය හිමි විය යුත්තේ පෙරටුගාමී පක්ෂය හෙවත් විප්ලවවාදී පක්ෂයටයි. ඔවුන්ගේ විග්‍රහය අනුව සමාජයේ දියුණු ම කොටස වන්නේ විප්ලවවාදීදී පක්ෂයේ සාමාජිකයෝ ය.


එහෙත්, අවාසනාව නම්, බලය අපේක්ෂා කර ඕනෑම පසුගාමියකු පවා සිතන්නේ තමන් පෙරටුගාමියකු ය කියා වීමයි.


ලංකාවේ වමේ පක්ෂ කිසිවක් ඒවායේ ව්‍යවස්ථාවන්ගෙන් කියැවෙන ආකාරයේ ලෙනින්වාදී මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යූහ නො වේ. ඒ වෙනුවට ඒවායේ ඇත්තේ කිසියම් ප්‍රභූ කණ්ඩායමක ආධිපත්‍යයයයි. එම කණ්ඩායම විසින් පක්ෂ ව්‍යවස්ථාව හා ව්‍යූහයන් සූක්ෂම ලෙස මෙහෙයවා ගනු ලැබේ. මේ සඳහා ඔවුන් මුවා වන්නේ ධනේශ්වර මර්දනයටයි. දැඩි ලෙස ක්‍රමානුගතව සිටියත්, මෙම පක්ෂ හැම විට ම රඟ පාන්නේ ගරිල්ලා සංවිධාන ලෙසයි. රහස්‍යභාවයේ අවශ්‍යතාව මෙම සංවිධානවල නායකත්වයට තම ඒකාධිපතිභාවය වසන් කර ගැනීම කි


සංවිධාන තුළ බලය හා ඉන් පිටතට විහිදෙන කීර්තිය ගොඩනඟා ගන්නා පුද්ගලයෝ ඉන් පසු සියලු දේ කරන්නේ එම තත්වය රැක ගැනීමට මිස සංවිධානයේ අරමුණ වන සමාජ වෙනස පිණිස නො වේ.


ලංකාව වැනි රටවල ධනේශ්වර සංවිධානවලට මෙම ලක්ෂණය බෝ වන්නට එක් පැත්තකින් සමාජ සංවර්ධනයේදී අවශේෂ වී තිබෙන වැඩවසම් ලක්ෂණ ද, අනෙක් පැත්තෙන්, වාමාංශික සංවිධානවල බලපෑම ද හේතු වී තිබේ.


මෙහි තිබෙන වඩාත් ම හාස්‍යජනක තත්වය වන්නේ මෙවැනි සංවිධාන මහ ඉහළින් ම ලෙළවමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජ පතාක වීමයි.


ප්‍රජාතන්ත්‍රවාදය හුදු සටන් පාඨයක් නො වී ජීවන භාවිතාවක් බවට පත් කර ගැනීම දියුණු සමාජයක් වීම සඳහා අත්‍යවශ්‍ය ය. ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ විය යතුව ඇත්තේ පවුලෙනි. බිරිඳට, දරුවන්ට නැති ප්‍රජාතන්ත්‍රවාදය සංවිධානය තුළ ගොඩනඟන්නට බැරි ය. සංවිධානය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රටේ ගොඩනඟන්නට බැරි ය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

3 comments:

  1. @ අජිත් පැරකුම්

    "බොල්ෂෙවික් පන්නයේ කේඩර්ගත පක්ෂයක් ගොඩනැගීමේ අදහස වාමාංශික යැයි කියාගන්නා බොහෝ දෙනාවිසින් බැහැර කර තිබෙන අවධියක අප කල්පනා කරන්නේ ලෝක ධනේශ්වරයේ නූතන ප්‍රහාරයන්ට මුහුන දීම සදහා එවැනි කේඩර්ගත පක්ෂයක් අත්‍යවශ්‍ය බවයි.ධනපති විරෝධී විවිධ මතවාද දරන කාටත් එකතු විය හැකි ලිහිල් සංවිධාන රාමුවක් වඩා සුදුසු බව ස්වාධීන වාමාංශිකයන් ලෙස පෙනී සිටින අයගේ අදහස බව පෙනේ.අප එවැන්නකට විරුද්ධ නැති අතර එක්සත් පෙරමුනු උපාය මාර්ග අනුව පුලුල් උද්ගෝෂන වලට දැනටත් සහභාගී වෙමින් සිටිමු.එසේවුවද ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදී සමාජයක් ගොඩනැගීමට නම් විප්ලවවාදී කේඩර්ගත පක්ෂයක් අත්‍යවශ්‍ය වේ"
    - සිරිතුංග ජයසූරිය වම සිහිනය හා යථාර්තය අතර සංවාදය 23 පිට

    ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වුන නසසප තුල සිටි කාලයේ ලද අද්දැකීම් උඩ සිරිතුංග ජයසූරිය ලියල තියෙන කෘතියේ අදහසක් දීර්ඝව උපුටා දැක්වූයේ හේතු කීපයක් නිසා.මධ්‍යගතවාදය සදහා බරතැබීමක් කෙරෙන බොල්ෂෙවික් සංවිධාන ව්‍යුහයට වඩා වමේ පක්ෂ සම්බන්ධයෙන් තිබුනු වෙනස් ආකාරයක් වුනේ ට්‍රොට්ස්කිවාදී සංවිධාන.පක්ෂ බහුතර මතයට විරුද්ධව වුනත් සුලුතර කන්ඩායම් විදිහට පක්ෂ්‍ය ඇතුලෙ සංවිධානය වීමට සාමාජිකයන්ට අවස්ථාව දුන්න ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්තිය බැලූ බැල්මට සෑහෙන "ප්‍රජාතන්ත්‍රවාදීයි".නමුත් එවැනි සංවිධාන වල සිට අද්දැකීම් ලබපු ජයසූරිය 2010 දී බොල්ෂෙවික් ව්‍යුහයක් නැතිව මේ යුගයේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනගන්න බැරි බව කියනවා.

    ධනේශ්වර යුගයේ විප්ලවවාදී පක්ෂයක් සදහා වඩාත්ම උචිත සංවිධාන මාදිලිය බොල්ෂෙවික් සංවිධානය මාදිලිය වෙන්නේ හේතු කීපයක් නිසා.
    මෙතනදී සාමාජිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ( නිලධාරීන් චන්දයෙන් තේරීම,නිලධාරින් නැවත කැදවීමට තිබෙන හැකියාව,විවේචනය සහ ස්වයංවිවේචනයට තියෙන බර තැබීම යනාදී ලෙස) ඉඩක් ලබා දෙන අතර අනෙත් අතට අරගලයට අවශ්‍ය කරන සංවිධානමය එක්සත්භාවය නිර්මානය කිරීමට අවශ්‍ය වන තරමේ මධ්‍යගතභාවයක් සම්පාදනය කරනවා.විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය කරන්නේ සමාජය වෙනස් කරන්න බවත්,සමාජය වෙනස් කිරීමේදී පවතින සමාජ ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පාලකයන් එය ඉවසන්නේ නැති බවත් අදාල සංවිධානය යම් බලයක් අත්කරගන්නා බව පෙනෙන සැනින් නීත්‍යුනුකූල හා එසේ නොවන සෑම ආකාරයකින්ම එම සංවිධාන යටපත් කරන්න උත්සාහ කරන බවත් පැහැදිලියි.එහෙම කියන එක වාමාංශික ගතානුගතිකභාවය නෙමෙයි.ඉතිහාසය පුරා ඔප්පු වෙලා තියෙන ඇත්තක්.එවැනි ප්‍රතිරෝධයකට ශක්තිමත්ව මුහුන දෙන්න නම් තදින් දැඩි විනයකින් එකට බැදුනු සාමාජිකත්වයක් සහිත ප්‍රබල සංවිධානයක් අවශ්‍ය කරනවා.බොල්ෂෙවික් ආකෘතිය නිර්මානය වනුයේ එකවිට ප්‍රජාතන්ත්‍රවාදය සහ මධ්‍යගතභාවයේ අවශ්‍යතාවය සමබර කිරීම සදහායි.සමාජය වෙනස් කිරීම වචන හරඹයකින් එහා මහ පොලොවේ ඇත්තටම කෙරෙන වැඩක් විදිහට කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ප්‍රායෝගිකව මෙවැනි ව්‍යුහයක් මගහැර යා නොහැකියි.ප්‍රජාතන්ත්‍රවාදය ගැන වියුක්තව හිදගෙන කරන සටන්පාඨ වලට වඩා මහ පොලොවේ දේශපාලනයේදී මුහුන දෙන්න වෙන අභියෝග සංකීර්නයි.ඇත්තට කෙරෙන්න ඕනෙ විප්ලවවාදී සංවිධාන වල ආකෘතිය මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයෙන් වියෝ කරල නිදහස්වාදී අවුල් ජාලයක් කරන එක නෙමෙයි.සමාජය සහ පක්ෂය අතර සම්බන්ධය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම ගැන සාකච්ඡාවක් සාරවත්ව ගොඩනැගීම.මට අනුව වමේ පක්ෂ අසාර්ථක වෙන තැන ඔතැන.පැරා ඒ දිශාවට සංවාදය දිශාගත කලා නම් වඩා හොද බවයි මගේ හැගීම

    - දොරටුපාලක සුභ

    ReplyDelete
  2. why you so quiet about egypt?

    ReplyDelete
  3. ආයිත් පාරක් කියන්න තියෙන්නේ සහතික ඇත්ත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.