2011-03-05

එන්.ජී.ඕ.වලට බය වෙමු ද? ‍ගේම දෙමු ද?

(2011 මාර්තු 05, W3Lankaඅද The Island පුවත්පතේ මුල් පුවතින් කියැවෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රු. කෝටි 27කට වඩා ද, ජාතික සාම සභාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රු. කට කෝටි 17කට වඩා බැගින් ද විදේශ අරමුදල් ලැබී ඇති බවයි.


පුවත්පතේ සඳහන් වන ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩියෙන් ම ආධාර කරන්නේ නෝර්වේ රාජ්‍යයයි. 


මේ ගණන් හිලව් ලොකුවට පෙන්නුවාට, ඇත්තෙන් ම මේ වන විට බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ඉන්නේ බරපතල මුල්‍ය අර්බුදයක ය. යුද්ධයේ නිමාවත් සමග සාම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙමින් පවතින ආධාර අඩු වෙමින් ඇති අතර, ලංකාව ඒක පුද්ගල දළ ජාතික ආදායම අනුව මධ්‍යම මට්ටමේ ආදායම් උපයන රටක මට්ටමට පැමිණීම ද රාජ්‍ය නොවන සංවිධානවලට හෙනහුරා ඇඬීමට හේතු වී තිබේ. මේ සංවිධාන ලැබෙන අරමුදල්වලින් බොහොමයක් බටහිර රටවල පුරවැසියන් විසින් ලබා දෙන පුණ්‍යාධාර ‍වේ.  


රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වියදම් වන්නේ වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැඩකුත් නැතිව, සුඛෝපභෝගී වාහනවලින් එහෙ මෙහෙ ඇවිද, හොඳ හෝටල්වලින් කා, බී, විදේශ චාරිකා ‍ගොස් එන්නට හා සුඛෝපභෝගී ජීවිත ගෙවන්න‍ට රාජ්‍ය ‍නොවන අංශයේ ඉහළ රැකියාවකින් පුළුවන.  එහෙත්, රාජ්‍ය නොවන අංශයේ පහළ ස්ථරයේ රැකියා බොහොමයක් රැකියා සුරක්ෂිතභාවයක් හෝ කිසිදු නීතිමය ආරක්ෂාවක් නැති හයර් ඇන්ඩ් ෆයර් හෙවත් ගත්තා-දොට්‍ට දැම්මා රස්සා ය. පහළ මට්ටමේ රැකියාවලට ඇතැම් විට ව්‍යාපෘති යෝජනා අනුව ගෙවිය යුතු වැටුප හෝ නො ‍ගෙවා වංචා කරනු දක්නට ලැබේ.


රජයේ වෛරයට පාත්‍ර වී තිබෙන බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍ටයුතු කරන්නේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘෂ්‍යභාවය වැනි අංශවලයි. එහෙත්, විමසා බැලුවහොත් පෙනෙන දෙයක් වන්නේ මේ අංශවල ද මේ සංවිධාන විසින් කර ඇති දෙයක් නැති බවයි. නිදසුනක් ලෙස, පසුගිය වකවානුවේ මේ රටේ සාම සංවිධාන දේශපාලන විසඳුමක් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා ය, මැදිහත් වනවා ය කියමින් කළේ තනිකර ම බොරුවකි. මේ සංවිධානවල ක්‍රියාකාරිකයෝ වැඩිදෙනෙක් අප හොඳින් දන්නා පරිදි සාම ව්‍යාපෘතිවලින් වැටුප් ගන්නා ගමන් යුද්ධයට ආවැඩූ හ. 


එසේ ම, මෙම සංවිධානවල දක්නට නො ලැබෙන ප්‍රධාන ම දේ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවයයි. එසේ ම, කිසිදු අභ්‍යන්තර සාමයක් ද මේවායේ නැත. එහෙත්, ඒවා පෙනී ඉඳින්නේ ම මේ කාරණා සම්බන්ධයෙනි. 


රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර මහා යුද්ධයක් ඇති බවක් මතුපිටින් පෙනුන ද ඇත්ත තත්වය එය නො වේ. රාජ්‍ය නො වන සංවිධාන විරෝධීන් ලෙස අපට පෙනෙන රජීව විජේසිංහ වැනි මන්ත්‍රීවරු ඒවා සමග ළඟ සම්බන්ධකම් පවත්වති.  කුමාර් රූපසිංහ වැනි රාජ්‍ය නො වන සංවිධාන කප්පිත්තෝ මහ තැන්වල හිතවත්තු වෙති. රජයේ මර්දනකාරී පිළිවෙත් රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර ඉල්ලා සිටින ව්‍යාපාර බටහිර රටවල දියත් කිරීම සඳහා උපකාරී වන සාධක වේ. එසේ ම, මොන පුරසාරම් දෙඩුවත්, රජය කිසි දිනෙක රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා නැත.


ලංකාවේ යුද්ධය නතර වීම, දුප්පත්කම අඩු වීම ආදී හේතු නිසා රාජ්‍ය නොවන සංවිධාන දුප්පත් වේ. රටක් දියුණු වන විට, ඒ රටේ පුණ්‍ය ආයතන නඩත්තු කිරීමට ඒ රටේ ජනතාව සමත් විය යුතු ය. එහෙත්, රාජ්‍ය නොවන සංවිධාන  නඩත්තුව සඳහා රට තුළින් ආදායම් ඉපදවීමට අසමත් වීම හේතුවෙන් මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි. 


ලංකාවේ සියයට නමයක් මානසික රෝගීන් සිටියත්, මෙවැනි හොර ගුහා නඩත්තු කරන්නට සල්ලි දෙන්න තරම් උග්‍ර මානසික රෝග ඇති අය නැත. ලංකාවේ ධනවත්තු පවා රජයට වුණත් කැමැත්තෙන් බදු නො ගෙවති. රජය කරන්නේ මංකොල්ල කෑමයි. රාජ්‍ය ‍නොවන සංවිධානවල‍ට එහෙම කිරීමේ හැකියාව නැත.


රජයේ දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යකරුවන් වැනි අය රාජ්‍ය නොවන සංවිධානවලට දැඩිව විරුද්ධ වන්නේ අන් සියලු කාරණාවලට වඩා ඊර්ෂ්‍යාව නිසා බව අපේ අදහසයි. මන්ද, තමන්ට වඩා වරප්‍රසාදිත තත්වයක් රාජ්‍ය නොවන සංවිධානවල හිමිකරුවන්‍ට ලැබී ඇති බැවිනි. 


බටහිරින් ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානවල දූෂිතභාවය ආරම්භ වන්නේ මෙහිදී නොව බටහිරදී ම ය. ආධාර කරන රාජ්‍යයන් හෝ සංවිධාන ඒ වෙනුවෙන් ඒ රටවල ජනතාවගෙන් හෝ ත්‍යාගශීලීන්ගෙන් එකතු කරන අරමුදල්වලින් විශාල ප්‍රතිශතයක් මේ ආධාර එකතු කරන හා බෙදා හරින අතරමැදි සංවිධාන නඩත්තු කිරීමට යෙදවේ. එයින් ද වැඩි මුදලක් වැය වන්නේ වැටුප්, විදේශ සංචාර ආදියටයි. 


රාජ්‍ය ‍නොවන සංවිධාන යනු නව ලිබරල් ධනවාදයේ ම කොටසකි. ධනවාදයේ අර්බුද හේතුවෙන් ඇති වන දිළිඳුකම, මානව හිමිකම් උල්ලංඝනය වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ බිඳ වැටීම, යුද්ධ ආදිය හේතුවෙන් මහජන කැළඹීම් ඇති වීම හා ධනේශ්වර ක්‍රමය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ. සංවර්ධනයේදී නො විස‍ඳෙන මහජන ප්‍රශ්නවලදී රාජ්‍යයට විකල්පයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරයි. එසේ ම, මහජන විරෝධයන් ක්‍රම විරෝධී වීම වළක්වා, නැවත ක්‍රමයට ම ගැට ගැසීමට ද රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ. 


මහජන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තැරැව්කාර වෘත්තික සංවිධාන ලෙස කටයුතු කරන නව ලිබරල් ධනවාදයේ ම අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන වෙනුව‍ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන මහජනයා විසින් ම ගොඩනඟා ගත යුතුව තිබේ. ඒ ආයතන වෘත්තික සංවිධාන ලෙස මහජන ආධාරයෙන් නඩත්තු වන සංස්කෘතියක් වෙනුවෙන් ද අප අරගල කළ යුතු ය.


එවැනි දේ කරන්නට බැරි නැත. විකල්ප ජනමාධ්‍ය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල හෝ දේශපාලන ව්‍යාපෘතිවල ආධාර දෙස බලා නො ඉඳ අපි දෙවසරක් තිස්සේ මෙම මාධ්‍ය ව්‍යාපෘතිය වැර වෑයමින් පවත්වාගෙන යන්නෙමු. 


මේ දෙවසර පුරාවට අපට ගූගල් දැන්වීම්වලින් රු.22,000ක් ලැබිණි. අපේ මිතුරු පාඨකයෙක් අපට රු. 500ක් පරිත්‍යාග කර තිබේ. අප මෙම කාර්යය කරන ආකාරය පිළිබඳ අවබෝධයකින් යුතුව ඇතැම් සංවිධාන අපට වක්‍රාකාරයෙන් උදව් කර තිබේ. 


වාමාංශිකයන්, මානවහිතවාදීන්, ක්‍රියාකාරිකයන් ආදීන් ලෙස තමන් හඳුන්වා ගනු ලබන පුද්ගලයන් රැසකගෙන් අපි මෙම කාර්යයට උදව් කරන ලෙස ඉල්ලා ඇත්තෙමු. එහෙත්, ලිපියක් ලිවීමට තබා අඩු තරමේ කමෙන්ටුවක් දැමීමෙන් සංවාදයකට සහභාගි වීමට හෝ උනන්දු වූයේ අතළොස්සකි. ඇතැමෙක් අපේ ද උදව් ලබා ගනිමින් මේ හා සමාන ව්‍යාපෘති ආරම්භ කිරීමට උත්සුක වූ හ. එය හොඳ ය. එහෙත්, අවාසනාවට ඒ වැඩි හරියක් ඉක්මණින් ම අක්‍රිය විය. වමේ හැටි එහෙම ය. අප පත්තර ගැසූ කාලයේත් එහෙම ය. යමෙක් අමාරුවෙන් යමක් යම් මට්ටමකට ගොඩ නඟා ගත් විට වාමාංශිකයන් කරන්නේ එයට සහභාගි වීම නො ව තමනුත් එවැන්නක් ආරම්භ කිරීමයි. වමත් හරියට කවුරු හෝ පාර අයිනේ ලෑල්ලක් අටවාගෙන තැඹිලි වල්ලක් විකුණාගෙන ජීවත් වනවා දුටු විට අනෙක් එවුනුත් ලෑලි අටවාගෙන එතැන ම තැඹිලි විකුණන්න‍ට පටන් ගන්නා අපේ ගම් වැනි ය. (වමේ මෙවැනි රස කෑලි බොහෝ ඇත. ළඟදීම වමේ රස කතා තීරුවක් ආරම්භ කිරීමට අදහසක් ඇත.)


අපේ ව්‍යාපෘතියේ වෘත්තිකභාවයේ ගැටලු ඇති බව අපි දනිමු. වෘත්තිකභාවයේ සීමාවන් නිර්මානය වන්නේ ආර්ථික හේතු මත  ය. ස්වේචඡා කැප කිරීම්වල ඇති සීමාවන් නිසා ය. මහජන මැදිහත්වීම්වල බරපැන මහජනයා විසින් ම දරා ගන්නා සංස්කෘතියක් ගොඩනඟා ගැනීම මේ සඳහා ඇති විසඳුමයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

6 comments:

  1. Don't expect from the ordinary people to bear the cost of public intervention like yours (who play the role of Non-Government Organization)...the ordinary people don't have that culture. We are not a "Nation of joiners", "we are bowling alone"...We don't have a vibrant civil society...the existence of NGOs, with the support of foreign donors or local donors is essential at least until we develop such a civil society...so don't help the rulers to suppress NGOs...exposing unscrupulous people in the NGO field is essential but don't negate the role of NGOs when write about them...Who would be benefited by the removal of NGOs from the public sphere...the politicians and their kith and kin...so try to keep the balance...

    ReplyDelete
  2. /*
    වමත් හරියට කවුරු හෝ පාර අයිනේ ලෑල්ලක් අටවාගෙන තැඹිලි වල්ලක් විකුණාගෙන ජීවත් වනවා දුටු විට අනෙක් එවුනුත් ලෑලි අටවාගෙන එතැන ම තැඹිලි විකුණන්න‍ට පටන් ගන්නා අපේ ගම් වැනි ය.
    */

    මං මාතර ඉඳලා දෙවුන්දර පැතතේ පන්සලක් බලන්න යන වෙලේ එක හරියක පාර අයිනේ දෙපැත්තේම මේස විසි පහක් විතර තැනින් තැන තියාගෙන ඒවා උඩ එක බෝතලයක් සහ ප්ලාස්ටික් බෑග් ටිකක් දාගෙන පටන් ගෙන තිබුණු කජු ගමක් දැක්කා.

    හැම මේසයක් ලඟම එක්කෙනෙක් හිටියා බඩු විකුනන්න.

    ReplyDelete
  3. @ Kathandara ,
    හහ්.... අන්න බලන්ඩ හැමෝටම සම අවස්ථා.....
    හැබැයි පොඩි කොස්සකට තියෙන්නෙ මාකට් එකේ එක මිනිහෙක් විකුණන කජු ටික විකුණන්න මෙතන විසිපස් දෙනෙක් ඉන්න එක.

    @ පැරා,
    මම මේ බලං ඉන්නෙ අර වලං කටු උද්ඝෝෂකයෝ ටික මේකට මොනවා හරි ලියනකං... ම්හු... කියවන්ඩ වෙලාවක් නැතිව ඇති.
    අර වමේ රසකතා නං මරු අයිඩියා එකක්. ඉක්මනට පටන්ගමු.

    ReplyDelete
  4. google public service ads වැඩිපුර වැටෙනකොට අදායම අඩුවෙනවා. englsh text ටිකක් වැඩිපුර දාන්න. එතකොට paying ads එනවා.

    ReplyDelete
  5. හැම රාජ්‍ය නොවන සංවිධානයකම එහෙමටම වැටුප් හොද නෑ. උදාහරන ලෙස හැබිටාට් පො හියුමැනිටි ආයතනයේ මැනේජර්ලාට පඩි රුපියල් 50000ට වැඩියි. නමුත් එතනින් පහග හැමෝටම උපරිම 30000 යි. ඒත් ඒ මට්ටමේ ඉදලා රුපියල් 15000 දක්වා ඉන්න අයගේි වැඩ වලින් තමා මේක දුවන්නෙ


    මී හරකා

    ReplyDelete
  6. Adahasak thiyenawa.thawa thwath liyanna.ethkota podi sahithyak hadaganna puluwan.NGO mekatath aluth theeruwak patan ganna.hungak aya liyai.collection ekak hadana eka mara wadagath.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.