2011-03-08

කෙවිටේ බලෙන් නුවණ අදින්නට සැරසෙන අධ්‍යාපන බලධාරීන්ටයි

(2011 මාර්තු 08, W3Lankaඅධ්‍යාපනය පිළිබඳ පැරණි සංවාදයක් යළි අලුත් වී තිබේ. ඒ ගුරුවරයාගේ වැඩ කාලය පිළිබඳවයි. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට පාසල් සවස 3.30 දක්වා පවත්වන්නට උවමනා වී තිබේ. 


මේ වනාහි දැවැන්ත සමාජ පෙරළියක් ඇති කරන පියවරකි. එවැන්නක් පිළිබඳ මීට වඩා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය ය. මන්ද, ලංකාවේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේත්, ඔවුන්ගේ මවිපියන්ගේත්, ගුරුවරුන්ගේත් අධ්‍යාපනයට සම්බන්ධ වන සෙසු සියලු අංශවලත් හැඩගැස්ම සියවසක් පමණ කාලයක් තිස්සේ සිදු වී තිබෙන්නේ උදේ 7.30 සිට දවල් 1.30 දක්වා පවත්වනු ලබන පාසලක නිසා ය. 


නිදසුනක් ලෙස, පාසල් තරගකාරිත්වය නිසා ඉතා දුරබැහැර පාසල්වලට යන දරුවන් දැනුත් ගෙදර එන්නේ සවස තුන හතර වෙලා ය. අලුත් ක්‍රමය යටතේ ඔවුන් ගෙදර එනු ඇත්තේ තවත් රෑ බෝ වී ය. දෙවනුව, සවස් කාලයේ පැවැත්වෙන ටියුෂන් පංති රෑ කාලයට මාරු වනු ඇත. ළමා කාලයට කුමක් වේ ද යන්න අපි නො දනිමු. 


අධ්‍යාපන ඇමතිවරයාගේ තවත් මැසිවිල්ලක් වන්නේ සෙසු රජයේ සේවකයන් පැය අටක් වැඩ කරද්දී ගුරුවරුන් වැඩ කරන්නේ පැය හයක් ය යන කාරණය හා ඔවුන්ට මාස තුනක් නිවාඩු තිබේ ය යන්නයි. මාස තුනක් නිවාඩු තිබේ ය යන්න අතිශයෝක්තියකි. අගෝස්තු හා දෙසැම්බර් මාසවල රජයේ විභාග පැවැත්වේ. ඒවා සම්බන්ධ කටයුතු කරන්නේ ද ගුරුවරු ය. නිවාඩු අවශ්‍ය ගුරුවරුන්ට නො ව, පාසල් දරුවන්ට ය. ගුරුවරුන්ගේ නිවාඩු කාලය වෘත්තීය සංවර්ධනය සඳහා යෙදවිය හැකි ය. ඒ සඳහා වැඩපිළිවෙලක් අධ්‍යාපන පරිපාලනයට තිබේ ද?


අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවිය හැක්කේ බහුතරය පීඩිතයන් වන දෙමාපියන් අතර ඇති වෘත්තීය ඊර්ෂ්‍යාවට ආමන්ත්‍රණය කර ජනප්‍රිය වීම සඳහා උත්සාහ ගැනීමෙන් නො වේ. 


අධ්‍යාපනය යනු උපරිම කාලයක් සිසුන්ගේ හිසට දැනුම පිරවීම යයි සමාජයේ බොහෝ අය සිතති. එහෙත්, අධ්‍යාපන බලධාරීන් ඊට වඩා දුර දිග සිතන්නට සමත් විය යුතු ය. ළමයින්ගේ ළමා කාලයේ සතුට හා වින්දනය ඔවුන්ට ලබා දීම පෞරුෂ වර්ධනයේදී අත්‍යවශ්‍ය ය. නැතිනම් අධ්‍යාපනයෙන් යහපත්, බුද්ධිමත්, නිර්මානාත්මක පුරවැසියකු බිහි වන්නේ නැත. 


ගුරුවරයා වැඩ කරන කාලය පිළිබඳ ඇගයීමක් නැති අධ්‍යාපන බලධාරීන් බිහි වීම ඇත්තෙන් ම රටේ අවාසනාවකි. යුනෙස්කෝ සංවිධානය ගුරුවරයාගේ වැඩ කාලය පිළිබඳ කලකට ඉහතදී සංවාදයක් ඇති කළේ ය. ඒ අනුව, ගුරුවරයා වැඩ කළ යුතු උපරිම කාලය පිළිබඳ සංවේදී වීම කෙරෙහි යුනෙස්කෝ සාමාජික රටවල අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලදී. ඒවා නො දන්නා ලංකාවේ අධ්‍යාපන බලධාරීන් තවමත් එල්ලෙන්නේ ගුරුවරයාගේ අවම වැඩ කාලය පිළිබඳ ප්‍රශ්නයෙහි ය. 


හොඳ ගුරුවරයකු වීමට නම්, ගුරුවරයා නිරන්තරව ස්වයං සංවර්ධනයක යෙදිය යුතු ව තිබේ. පොත පත කියවීම, වැඩි දුර අධ්‍යාපනය, කුසලතා වර්ධනය වැනි කටයුතු වෙනුවෙන් ගුරුවරයා වැය කරන කාලය ද ඔහු සපයන සේවය හා සම්බන්ධ ය. එහෙයින් ගුරුවරුන් වැඩ කරන කාලය ගණනය කිරීම දුෂ්‍කර ය. අධ්‍යාපන බලධාරීන් උත්සාහ කළ යුතුව ඇත්තේ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය නැංවීම කෙරෙහි මිස පැය අටක් හා උපරිම දින ගණනක් ගුරුවරුන් පාසල්වල ගාල් කර තබා ගන්නා ආකාරය පිළිබඳ නො වේ.  


ගුරුවරුන්ට එරෙහිව පීඩිත දෙමාපියන්ගේ වෘත්තීය ඊර්ෂ්‍යාව ඇවිළවීමෙන් අධ්‍යාපනයට කිසිදු සෙතක් අත් වන්නේ නැත. ලංකාවේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා බලධාරීන්ට ගත හැකි බොහෝ පියවර තිබේ. සෑම දරුවකුට ම නිවසාසන්නයේ පහසුකම් සහිත, ගුණාත්මක පාසලක අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව තහවුරු කර දීම ඉන් එකකි.  


එසේ ම, පැය අට පාසලේ ගත කරන්නකු නො ව, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරයකු බිහි කිරීමට අවශ්‍ය නම්, කළ යුතුව ඇත්තේ ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමවේදය විධිමත් කිරීම හා ගුරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමයි. ලංකාවේ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවයේ ගැටලුවලට ප්‍රධාන හේතුවක් වන්නේ ගුරු අධ්‍යාපනය පිරිහීමයි. 


ලංකාවේ අධ්‍යාපන බලධාරීන් හා පාසල් සිය ආදර්ශ පාඨය කර ගත යුතු එක් පැදියක් මෙහිදී සිහිපත් වේ. එහි කර්තෘ රැපියල් තෙන්නකෝන් යයි ඇති මතකය නිවැරදිදැයි නො දනිමි. ඒ පිළිබඳ දන්නා කෙනෙක් සටහනක් තබන්න. 


නිසි දේ ඉගෙන ගන්නට මට කියා නො දී
බැට දේ එහෙත් කළ කළ දේ  යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

8 comments:

  1. interesting.but want much more discussions.

    ReplyDelete
  2. ya රැපියල් තෙන්නකෝන්
    correct

    ReplyDelete
  3. වටිනා අදහසක්

    ReplyDelete
  4. Indunil KankanamgheMarch 8, 2011 at 3:23 PM

    අධ්‍යාපන ඇමතිගේ, පය බරවා වලට පිටකර බෙහෙත් බැදීමේ තවවත් අපූරු න්‍යායක්.
    දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමට අවශ්‍ය නම් කළ යුත්තේ විදිමත් ක්‍රියා පටිපාටියකට අනුව සදුසුකම් ලත් අයවලුන්, දේශපාලන උවමනා එපාකම් මත නොව අධ්‍යාපනයේ අවශ්‍යතාවය මත ගුරු සේවයට බදවා ගැනීම සහ ජාතිය, ආගම, වැනි පටු සීමාවන් තුළ දරුවා හිරනොකොට වත්මනට ගැලපෙන අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

    ReplyDelete
  5. අද අධ්‍යාපන බලධාරින් කියලා ඉන්නෙ රටට ඔනා දෙ හදන්න දගලන පිරිසකට නෙමෙ. බටහිර ආකෘතිවලට කත් අදින මිනිස්සු කිපදෙනෙක්.
    ඔක්කොම පැටලිලා.

    ReplyDelete
  6. අද්යාපන කඩ කාරයෙක් අද්යාපන ඇමති වුනාම වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුලවන්?

    ReplyDelete
  7. මම නම් හිතන්නේ මේක හොද පියවරක්. මේ වගේ තමයි වෙන්න ඕන. ගුරුවරු හොර කොටන එක හැර මේ රටේ අද මේ අපි අධ්‍යාපනෙන් ඉන්න තැනට වගකිවයුතු වෙනත් කෙනෙක් නෑ.ඕන නං හවස හය වෙනකං තියා ගත්ත නං හරි.

    ReplyDelete
  8. අධ්‍යාපන ක්‍රමය විනාශ වුනේ නිදහස ලැබුනාට පසුවය කියා සිතමි. ඊට සාක්‍ෂ්‍ය වශයෙන් සිංහලට වුන දේ කියන්න අවසර.

    1946යේ ඉපදුනු මගේ සිංහලත් හා මට අවුරුදු දෙකකට පෙර ඉපදුනු මගේ සහෝදරයාගේ සිංහලත් අතර තිබුනේ ලොකු පරතරයකුයි. අපි ගියේ එකම අධාර ලබන ක්‍රිස්තියානි පාසැලටයි. ඉගෙන ගත්තේ අටවෙනි පංතිය දක්වා සිංහලෙන් හා ඉන් පසු ඉංග්‍රීසියෙනුයි. අයියා සිංහල සහිත්‍යය පවා ඉගෙනගත්තා. එවැනි පාඨ විශයයන් මට තිබුනේ නෑ. සිංහල ඉගැන්වූ ගුරුවරයාට සැළකුවේ විකටකාරයෙකුට ලෙසයි. ඒ එතුමාට ඉංග්‍රීසියෙන් හරියට කතා කිරීමට බැරි වූ නිසායි.

    මගේ සිංහල ආවේ විශෂයෙන් මගේ පියාගේ උත්සාහය නිසායි. නිවාඩු කාලයේ මම එතුමාගේ පොත්හලේ විකුණන්න තිබූ සිංහල නව කතා ආදිය කියවුවා. අපේ ගෙදරට ගෙනාවා රටේ හැම සිංහල පුවත් පතම.

    පසු කල පරිගණක ක්‍ෂෙත්‍රයේ වැඩ කරන මට පෙනුනා අමෙරිකානු ව්‍යාපාර විසින් පිහිටුවන ලද යුනිකෝඩ් සංයුක්තායතනය ඉන්දියානු භාෂා පරිගණකයට ගෙන ඒම ඉතා අසීරු කිරීමට කටයුතු යෙදූ වග. ISO යන යුරෝපීය ව්‍යාපාරවල සංයුක්තානය කළ යෝජනාව මෙතරම් විනාශකාරී නොවේ. මේ මා ලියන දේ එය දර්ශන කරන ෆොන්ට් එකේ නිර්මානය මත පමණක් නොව වෙබ් පිටුව දුවවන බ්‍රව්සරය හෝ විශෙෂයෙන් Windows පරිගණකයේ අකුරු පෙන්වන අන්වය අනුව වෙනස්විය හැකි වග මා දනිමි.

    සිංහල සඳහා යුනිකෝඩ් ආයතනය දුන් ක්‍රමයට වඩා යෝග්‍ය වෙනත් ප්‍රමිති ගරුක ක්‍රමයක් ඇත්දැයි සොයා බලන්න ගිය මට පෙනී ගියා සිංහල ක්‍රමානුකූලව ඉගෙන නොගෙන පරිගණකයට හරියන සිංහල ක්‍රමයක් සැදීමට බැරි වග.

    මම උඩගම සුමංගල හිමියන්ගෙන් උදව් ඉල්ලුවා. උන්වහන්සේ මට පෙන්වුවා තියඩෝර් ජී. පෙරේරා (දේවගැති තුමා?) ගේ සිංහල භාෂාව යන ව්‍යාකරණ පොත. උන්වහන්සේ කීවා 1950ස් ගණන්වල සංඝ්‍යා වහන්සේලා සිංහල හැදෑරුවේ මේ පොතෙන්ය කියා. මට ඒ පොත සොයා ගැනීමට අවුරුද්දක් පමණ ගත වුනා. එය අද මුද්‍රණය කරන්නේ නෑ. මට ලැබුනේ අනුපිටපත් පොතකි. එහි මුල් පිටුවේ ලියා තිබෙනවා එහි අයිතිකාරිය අනුලා විද්‍යාලයේ හත්වෙනි පංතියේ ශිෂ්‍යාවක් වග.

    මම ලෝක පරිගණක වැලේ තවත් සිංහල පොත් සෙව්වා. 1891කේ පළකල ඒ. එම්. ගුණසේකර වියතුන්ගේ පොත ඉන්දියාවේ පළකරන වග සොයාගෙන එය ගෙන්වාගත්තා. පෙරේරා උන්නාන්සේගේ පොතට කරුණු බොහොමයක් ආවේ මේ පොතෙන්ය කියා සිතේ. මේ පොතේ පෙන්වා තිබෙනවා පෙර කල සිංහල අංක ලිවූ විදිහ. මම දැක්කා ලංකාවේ සිංහල යුනිකෝඩ් විශෙෂඥයෙක් ඒ අංක සොයා ගත්තාට අයර්ලන්තයේ ෆොන්ට් නිපදවන්නෙකුට දොහොත් මුදුනේ තියා සිංහල ජාතියට කළ සේවයට ස්තුති කරනවා. අපේ නිළධාරින්ගේ සිංහල ගැන තියෙන නිපුනත්වය එයින්ම පෙනී යනවා.

    එපමණක් නොව ලංකා ප්‍රමිති කාර්‍යාංශය නීතියක් හදලා තියෙනවා ඉංග්‍රීසි brandy යන වචනය හරියට සිංහල අකුරෙන් ලියන්නේ 'බ්‍ර‌ැන්ඩි' ලෙසය කියා (SLS1134 දෙවෙනි පිටුව). ඒක සිංහලෙන් හරියට උච්චාරණ කරන්නේ බ්රුන්ඩි කියායි. නියම විදිහ බ්‌රැන්ඩි යන්නයි. (ඔබ මේ ගැන පුදුම වෙනවා නම් එයට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය සිංහල බල්ලාට දැමීමයි. කොහොමද 'බ්‍ර‌ෑහි මංගලම් උත්තමං' කියන පාලි පාඨය කියන්නේ?). ඊරියගොල්ල මැතිතුමට පසු සිංහල ගැන රජය කළේ නොදැනුවත්ව හෝ අවැඩක් මිස හොඳක් නොවේ. 2009 ඉංග්‍රීසි අවුරුද්ද ලෙස නම් කළ විහිළුව මතකද?

    රටක ජනයාගේ බාසාව නෂ්ට අරන අතර වන්නේ එහි සංස්කෘතිය නැති වීමයි. සංස්කෘතියන් නැති මිනිසුන් මවක් නැති අනාථයන් සේය. උදාහරණයකට බලන්න අද කොළඹ සංකර වී සිටින පිරිස දිහා. මොවුන්ට සිංහලට ආදරණයක් නෑ. බොහෝ විට සිංහල දන්නවා යන්න තම තත්ත්වයට නිගාවක් කියා සිතනවා.

    පාඨමාලා හා පාසැල් පොත් වල තිබිය යුතු දේ කලින් කලට හොඳින් සළකා බලා ජන මතයටත් ඉඩ දී ඉන් පසු නිදේශ කළ යුතුවේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.