2011-03-10

බ්රුන්ඩි හා බ්‍රෑහී මංගලම් උත්තමං

(2011 මාර්තු 10, ජේ.සී. අහංගම විසිනි, W3Lankaඅධ්‍යාපන ක්‍රමය විනාශ වුනේ නිදහස ලැබුනාට පසුවය කියා සිතමි. ඊට සාක්‍ෂ්‍ය වශයෙන් සිංහලට වුන දේ කියන්න අවසර.


1946යේ ඉපදුනු මගේ සිංහලත් හා මට අවුරුදු දෙකකට පෙර ඉපදුනු මගේ සහෝදරයාගේ සිංහලත් අතර තිබුනේ ලොකු පරතරයකුයි. අපි ගියේ එකම අධාර ලබන ක්‍රිස්තියානි පාසැලටයි. ඉගෙන ගත්තේ අටවෙනි පංතිය දක්වා සිංහලෙන් හා ඉන් පසු ඉංග්‍රීසියෙනුයි. අයියා සිංහල සාහිත්‍යය පවා ඉගෙනගත්තා. එවැනි පාඨ විෂයයන් මට තිබුනේ නෑ. සිංහල ඉගැන්වූ ගුරුවරයාට සැළකුවේ විකටකාරයෙකුට ලෙසයි. ඒ එතුමාට ඉංග්‍රීසියෙන් හරියට කතා කිරීමට බැරි වූ නිසායි.


මගේ සිංහල ආවේ විශේෂයෙන් මගේ පියාගේ උත්සාහය නිසායි. නිවාඩු කාලයේ මම එතුමාගේ පොත්හලේ විකුණන්න තිබූ සිංහල නව කතා ආදිය කියවුවා. අපේ ගෙදරට ගෙනාවා රටේ හැම සිංහල පුවත් පතම.


පසු කල පරිගණක ක්‍ෂෙත්‍රයේ වැඩ කරන මට පෙනුනා, අමෙරිකානු ව්‍යාපාර විසින් පිහිටුවන ලද යුනිකෝඩ් සංයුක්තායතනය ඉන්දියානු භාෂා පරිගණකයට ගෙන ඒම ඉතා අසීරු කිරීමට කටයුතු යෙදූ වග. ISO යන යුරෝපීය ව්‍යාපාරවල සංයුක්තානය කළ යෝජනාව මෙතරම් විනාශකාරී නොවේ. මේ මා ලියන දේ එය දර්ශන කරන ෆොන්ට් එකේ නිර්මානය මත පමණක් නොව වෙබ් පිටුව දුවවන බ්‍රව්සරය හෝ විශෙෂයෙන් Windows පරිගණකයේ අකුරු පෙන්වන අන්වය අනුව වෙනස්විය හැකි වග මම දනිමි.


සිංහල සඳහා යුනිකෝඩ් ආයතනය දුන් ක්‍රමයට වඩා යෝග්‍ය වෙනත් ප්‍රමිති ගරුක ක්‍රමයක් ඇත්දැයි සොයා බලන්න ගිය මට පෙනී ගියා, සිංහල ක්‍රමානුකූලව ඉගෙන නොගෙන පරිගණකයට හරියන සිංහල ක්‍රමයක් සැදීමට බැරි වග.


මම උඩගම සුමංගල හිමියන්ගෙන් උදව් ඉල්ලුවා. උන්වහන්සේ මට පෙන්වුවා තියඩෝර් ජී. පෙරේරා (දේවගැති තුමා?) ගේ සිංහල භාෂාව යන ව්‍යාකරණ පොත. උන්වහන්සේ කීවා 1950ස් ගණන්වල සංඝයා වහන්සේලා සිංහල හැදෑරුවේ මේ පොතෙන්ය කියා. මට ඒ පොත සොයා ගැනීමට අවුරුද්දක් පමණ ගත වුනා. එය අද මුද්‍රණය කරන්නේ නෑ. මට ලැබුනේ අනුපිටපත් පොතකි. එහි මුල් පිටුවේ ලියා තිබෙනවා එහි අයිතිකාරිය අනුලා විද්‍යාලයේ හත්වෙනි පංතියේ ශිෂ්‍යාවක් වග.


මම ලෝක පරිගණක වැලේ තවත් සිංහල පොත් සෙව්වා. 1891දී පළ කළ ඒ. එම්. ගුණසේකර වියතුන්ගේ පොත ඉන්දියාවේ පළ කරන වග සොයාගෙන එය ගෙන්වා ගත්තා. පෙරේරා උන්නාන්සේගේ පොතට කරුණු බොහොමයක් ආවේ මේ පොතෙන්ය කියා සිතේ. මේ පොතේ පෙන්වා තිබෙනවා, පෙර කල සිංහල අංක ලිවූ විදිහ. මම දැක්කා ලංකාවේ සිංහල යුනිකෝඩ් විශෙෂඥයෙක් ඒ අංක සොයා ගත්තාට අයර්ලන්තයේ ෆොන්ට් නිපදවන්නෙකුට දොහොත් මුදුනේ තියා සිංහල ජාතියට කළ සේවයට ස්තුති කරනවා. අපේ නිළධාරින්ගේ සිංහල ගැන තියෙන නිපුනත්වය එයින්ම පෙනී යනවා.


එපමණක් නොව ලංකා ප්‍රමිති කාර්‍යාංශය නීතියක් හදලා තියෙනවා ඉංග්‍රීසි brandy යන වචනය හරියට සිංහල අකුරෙන් ලියන්නේ 'බ්‍ර‌ැන්ඩි' ලෙසය කියා (SLS1134 දෙවෙනි පිටුව). ඒක සිංහලෙන් හරියට උච්චාරණ කරන්නේ බ්රුන්ඩි කියායි. නියම විදිහ බ්‌රැන්ඩි යන්නයි. (ඔබ මේ ගැන පුදුම වෙනවා නම් එයට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය සිංහල බල්ලාට දැමීමයි. කොහොමද 'බ්‍ර‌ෑහි මංගලම් උත්තමං' කියන පාලි පාඨය කියන්නේ?). ඊරියගොල්ල මැතිතුමාට පසු සිංහල ගැන රජය කළේ නොදැනුවත්ව හෝ අවැඩක් මිස හොඳක් නොවේ. 2009 ඉංග්‍රීසි අවුරුද්ද ලෙස නම් කළ විහිළුව මතකද?


රටක ජනයාගේ බාසාව නෂ්ට අරන අතර වන්නේ එහි සංස්කෘතිය නැති වීමයි. සංස්කෘතියන් නැති මිනිසුන් මවක් නැති අනාථයන් සේය. උදාහරණයකට බලන්න අද කොළඹ සංකර වී සිටින පිරිස දිහා. මොවුන්ට සිංහලට ආදරණයක් නෑ. බොහෝ විට සිංහල දන්නවා යන්න තම තත්ත්වයට නිගාවක් කියා සිතනවා.


පාඨමාලා හා පාසැල් පොත් වල තිබිය යුතු දේ කලින් කලට හොඳින් සළකා බලා ජන මතයටත් ඉඩ දී ඉන් පසු නිර්දේශ කළ යුතුවේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. තරහ වෙන්න එපා."අන්වය" කියන්නෙ මොකක්ද..?

    ReplyDelete
  2. අන්වය = programme

    ස්තුතියි ඇත්තටම අදයි දැනගත්තේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.