2011-03-25

අපට මොකද අපි අට සිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට (රාමචන්ද්‍රට, දිමිත්‍රිට හා තවත් අයට පිළිතුරු)

(2011 මාර්තු 24, W3Lankaඑක් දිනක් උපාසකයෙක් සිල් පවාරණ වී ගෙදර යන කල ඉබ්බකු අල්ලා ඌ මැරීමට වලි කන කොල්ලන් පිරිසක් දුටුවේ ය. කොල්ලෝ ලිග්ගල් තුනක් තබා ඉබ්බා උඩුකුරු අතට තබා පුළුස්සන්නට සැරසෙනු දුටු උපාසක ඉහත මාතෘකාවේ ඇති කවි දෙපදය කීවේ ය. 


අප එය ලියුවේ මෙරට වාමාංශිකයන්ගේ හැසිරීම පිළිබඳ යම් විග්‍රහයක් කිරීමටයි. අප හොඳින් දන්නා පරිදි 2005ජනාධිපතිවරණයේදී වාමාංශිකයෝ හැසිරුණේ මේ අන්දමටයි. කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හමුවේ ශ්‍රීලනිප, ජවිපෙ, හෙළ උරුම සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජය ගන්නා බව හා එහි අනතුරුදායකකම පෙනි පෙනී වාමාංශිකයෝ  කිසිත් නො කර අවසාන මොහොතේ හෝ කො‍ටි සිය මැතිවරණ වර්ජනය අතහැර දමනු ඇතැයි අප්‍රසිද්ධියේ සිහින දකිමින් උන් හ.


2005දී මහින්ද රාජපක්ෂ ජය ගත්තේ ය. ඔහු සැබැවින් ම ලාංකීය ඉතිහාසයේ සුසමාදර්ශීය වෙනසක් කළේ ය. නිදසුනක් ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය සියවසක් පිටුපසට ගෙන ගියේ ය. දැන් සුළු ජාතීන් නැවතත් ඉන්නේ ජාතික සමානාත්මතාව දිනා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්දැයි සිතා ගන්නට බැරි තැනක ය. 


රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි නව ලිබරල් ආර්ථික වැඩසටහන්වලට එරෙහිව ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය වැනි වාම හා ප්‍රගතිශීලී ව්‍යාපාර පැවති ලිබරල් සංදර්භය තුළ විශාල අරගලයක් කළ හ. අද මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ආණ්ඩුව විසින් නැවත වතාවක් එම වැඩපිළිවෙල ම වෙනත් සංදර්භයක ක්‍රියාත්මක කරමින් සිටියි. ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධාන දිය වී ගොසිනි. එකී සන්ධානයේ නායක කාරකාදීහු රජයේ සමාගම්වල තනතුරු දරමින් ආණ්ඩුවේ එල්ලී රාජ්‍ය දේපල කා වැඩෙන නව සුළු ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රයට කත් අදිති. 


වාමාංශිකයෝ සියල්ලෝ ම පාහේ මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ ය. ප්‍රධාන හේතුව එය විසින් ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් සම්ප්‍රදායන් සියල්ල සුණු විසුණු කර දමා වැඩවසම් පවුල්වාදී, ඒකාධිපති සම්ප්‍රදායක් ගොඩනැඟීමයි. බටහිර විරෝධය හා ජාතිකවාදය වැනි ව්‍යාජයන්ට මුවා වෙමින්, කලින් ඇගැයීමට ලක් වෙමින් පැවති සියලු හර පද්ධතීන් සියල්ල බටහිර සංකල්ප යයි අර්ථ දක්වමින්, තමන්ට ඕනෑ අන්දමේ විකෘතීන්ගෙන් ඒවා ප්‍රතිස්ථාපනය කිරීම ඔවුන්ගේ පිළිවෙතයි. 


වාමාංශිකයෝ මේ මොහොතේ සටන් කරමින් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා  පුද්ගල නිදහස වැනි ලිබරල් ධනේශ්වර රාමුව තුළ සංකල්පගත වූ කරුණු නිමිති කරගෙනයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අප දන්නා තරමින් නම් කිසිදු විප්ලවීය අරගලයක් නැත. ඇත්තේ එදා වේල වෙනුවෙන් පැවතීමේ වැඩ හා පුද්ගලවාදී ව්‍යාපෘති පමණි. වෙනසක් තිබේ නම් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළ පමණි. එය ද බල්ලන් සමග ලැගීමෙන් බෝ වූ මැක්කන් වඳ කර ගැනීමේ මහා මෙහෙයුමකට වැඩි දෙයක් නො වේ. 


ගතානුගතික වාමාංශිකයන් අතර අරගල ප්‍රතිසංස්කරණවාදී හා විප්ලවීය යයි කියා බෙදා වෙන්‍ කිරීමේ සම්ප්‍රදායක් තිබේ. මේ වනාහි වාමාංශිකයන්ගේ අනන්‍යතා අර්බුදයේ ම තවත් පැතිකඩකි. අනෙකා ප්‍රතිසංස්කරණවාදියකු යයි නිර්වචනය කිරීම වනාහි, වාමාංශික පුද්ගලවාදීන්ගේ හා කණ්ඩායම්වල ආත්මාරක්ෂක උපාය මාර්ගයකි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අවශ්‍ය මහින්දට ආදේශකයක් නොව විකල්පයකි නම් ලිපිය ලියූ අප  වාමාංශික බ්ලොග්කරුවන් වන රාමචන්ද්‍රට හා දිමිත්‍රිට පෙනෙන්නේ ප්‍රතිසංස්කරණවාදීන් ලෙසයි. 


වාමාංශිකයන් අමතක කරන කාරණයක් වන්නේ විප්ලවය ද අවසානයේදී රැඩිකල් ප්‍රතිසංස්කරණයක් ම බවයි. විප්ලවයේ ප්‍රායෝගික වෙනස වන්නේ වාමාංශික ප්‍රභූන් (නිර්ධන පංතිය ලෙස අර්ථ දැක්වේ.) පිරිසක් බලය සියතට ගෙන තමන්ට රුචි අන්දමින් ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. 


ඉතින් මේ ඊනියා විප්ලවවාදීන් කරන්නේ කුමක් ද? සම්මුති විරහිතභාවයේ කටුව තුළ සැංගී සමාජයේ සිදු වන සියලු අපගමනයන් ඉවසා සිටීමයි. ඒ මෙසේ ය. 


ශ්‍රීලනිපය හා එජාපය යනුවෙන් ධනපති පංතියේ පක්ෂ දෙකක් පවත්වා ගැනීමේ අදහස ධනේශ්වර ක්‍රමය අවුලක් නැතිව පවත්වා ගැනීමයි.ක්‍රමය සුසර කොට තිබෙන්නේ එක් පක්ෂයක් අත ආන්ඩු බලය රැදවීම හා අනෙත් පක්ෂය විපක්ෂයේ තැබීම මත,ආන්ඩු බලයේ සිටින පක්ෂය අප්‍රසාදයට ලක්වන විට ස්වයංක්‍රීයව අනෙත් ධනපති පක්ෂය බලයට එන පරිදිය.රාජපක්ෂගේ පවුල්වාදී රෙජිමය විසින් එසේ සුසර කොට තිබූ ධනේශ්වර ක්‍රමයේ දේශපාලනය පෙරමුන එක්තරා දුරකට අවුල් කොට තිබේ.(පංතිමය අවශ්‍යතාවන්ට ඉහලින් පවුල්මය අවශ්‍යතා තැබීම හරහා)මේ නිසා ලංකාවේ ධනපති පංතියේ සාම්ප්‍රදායිකව බලය හෙබවූ දක්ෂිනාංශික කොටස් සහ මහින්දගේ පවුල්වාදී නව ප්‍රභූ කොටස් අතර ප්‍රතිවිරෝධයක් හටගෙන ඇත.මේ ප්‍රතිවිරෝධය ආධිපත්‍යය සම්බන්ධයෙන් ප්‍රභූ දෙපිරිසක් අතර හටගෙන තිබෙන ආරෝවකි.මේ ආරෝවේදී වාමාංශිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද?එක් කන්ඩායමක් පලවා හැර ජයගන්නා අන්දම ගැන අනිත් කන්ඩායමට ටියුෂන් ලබා දීමද?එජාපය ජයගත්තත් කිරීමට නියමිත ධනේශ්වර සංවර්ධන වැඩ ඉතා අගනා ලෙස මේ වනවිටත් උතුරු නැගෙනහිර ඉඩම් කුනුකොල්ලෙට විකුනා දමමින්,ධීවරයන්ගේ ජීවිත මත සී ප්ලේන් බස්සමින් සිදුවෙමින් තිබේ.පීඩිතයාගේ පාර්ශවයේ සිට බලනවිට එජාපය නැගිට්ටාය කියා ඇතිවන යහපත කුමක්ද? - රාමචන්ද්‍ර


හරියට හරි රාමචන්ද්‍ර.. මේ කල්ලීන් අතර ඇති අර්බුද හරහා ප්‍රකාශ වන ඇඟවුම් තේරුම් ගැනීම සහ විශ්ලේශනය කිරීම ඉතාම වැදගත් බව කිව යුතුයි. ඒ හැර ඒවා සමනය වීම තුල අපට අත්වන සෙතක් නැති බව ඉතා පැහැදිලියි. -දිමිත්‍රි


මේ අනුව, වාමාංශික මාධ්‍යකරුවන්ගේ කාර්යය විය යුත්තේ විශ්ලේෂණය ඉදිරිපත් කර, අර කලින් කී උපාසක සේ වෙන්නේ මොකක්දැයි දෑත්පොරවාගෙන බලා සිටීමයි. 


මෙම ලේඛකයා වනාහි වාමාංශික මාධ්‍යකරුවෙකු මිස විප්ලවවාදී නායකයකු නො වේ. ඔහු ලංකාවේ පීඩිත පංතියේ විමුක්තිය සැලසීම යයි කියන සිය කණ්ඩායම අතට බලය ගැනීම නම් දෙය සඳහා පවතින බව කියන නහුතයක් වාමාංශික පක්ෂ කිසිවක සාමාජිකායක් ද නො වේ. 


මෙම ලේඛකයා කරන්නේ ඔහුගේ සීමාව තුළ ඔහුට කළ හැකි උපරිම මැදිහත්වීම සඳහා උත්සාහ කිරීමයි. ඔහු උත්සාහ කරන්නේ පෙරහැර බලන්නකු වී නො සිට, පෙරහරට එකතු වී, හැකි නම් පෙරහරේ ගමන වෙනස් කරන්නටයි. ඒ පිළිබඳ වාමාංශික ගතානුගතික විශ්ලේෂණ ඔහුට වැදගත් නැත.  


ධනේශ්වර ක්‍රමය සුසර කොට තිබෙන්නේ එක් පක්ෂයක් අත ආන්ඩු බලය රැදවීම හා අනෙත් පක්ෂය විපක්ෂයේ තැබීම මත,ආන්ඩු බලයේ සිටින පක්ෂය අප්‍රසාදයට ලක්වන විට ස්වයංක්‍රීයව අනෙත් ධනපති පක්ෂය බලයට එන පරිදිය.රාජපක්ෂගේ පවුල්වාදී රෙජිමය විසින් එසේ සුසර කොට තිබූ ධනේශ්වර ක්‍රමයේ දේශපාලනය පෙරමුන එක්තරා දුරකට අවුල් කොට තිබේ.(පංතිමය අවශ්‍යතාවන්ට ඉහලින් පවුල්මය අවශ්‍යතා තැබීම හරහා)මේ නිසා ලංකාවේ ධනපති පංතියේ සාම්ප්‍රදායිකව බලය හෙබවූ දක්ෂිනාංශික කොටස් සහ මහින්දගේ පවුල්වාදී නව ප්‍රභූ කොටස් අතර ප්‍රතිවිරෝධයක් හටගෙන ඇත. - රාමචන්ද්‍ර


මෙය ඇත්තකි. ප්‍රශ්නය මෙතැනදී අප කළ යුත්තේ කුමක් ද යන්නයි. රාමචන්ද්‍ර හා දිමිත්‍රි පවසන්නේ මේ අර්බුදයේදී අප කිසිදු මැදිහත්වීමක් කිරීම අවශ්‍ය නැති බවයි. පවතින තත්වය මත නම් අප කළ යුතුව තිබෙන්නේ 'මහින්දගේ පවුල්වාදී නව ප්‍රභූ' තන්ත්‍රය විසින් ලිබරල් ධනේශ්වරය බලයෙන් අතු ගා තමන්ගේ ම පන්නයේ ආදේශකවලින් හිඩැස පුරවන තෙක් බලා සිටීමයි. එනම්, ලංකාවේ දැනට බලවත්ව ඇති වැඩවසම්වාදී රාජ්‍ය කේන්ද්‍රීය සුළු ධනේශ්වර ඒකාධිපතිවාදයට එරෙහිව ලිබරල් ධනේශ්වරයෙන් මතු වන දුබල හඬ පවා යටපත් කර දැමීමට හා රාජ්‍ය ධනවාදය මත රඳා පවතින නව ප්‍රභූ තන්ත්‍රයට බලය තහවුරු කර ගන්නට උදව් කිරීම ය. 


'නැත, නිර්ධන පංතිය අතට බලය ගැනීම සඳහා අරගල කළ යුතු ය' යි ඔබ කියනවා නම්, අපි අතින් මුව වසාගෙන සිනාව මැඩගෙන කර බා ගන්නට සූදානම් ය. 


අප පිළි ගන්නා අන්දමින් නම්, සමාජවාදය යනු සමාජයේ පවත්නා සාධනීය හර පද්ධතීන් රැක ගනිමින් හා වැඩි දියුණු කරමින් ගොඩනැඟිය යුතු දෙයකි. එසේ නැතිව, සමාජවාදය යනු පවත්නා හර පද්ධතීන් සුණු විසුණු වී යාමෙන් පසු අළු මතින් ඉබේ පැන නඟින්නක් නො වේ. එහෙම පැන නගිනවා නම් පැන නඟින්නේ ම්ලේච්ඡත්වයක් මිස සමාජවාදයක් නො වේ. 


ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව දේශපාලනය කළ සමයේ අපට පක්ෂයෙන් ඉගැන්වූ දෙයක් වන්නේ සමාජවාදය වෙනුවෙන් ‍හොරකම් කළාට කමක් නැති බවයි. ඒ අනුව, පූර්ණකාලිකයෝ බස්වල හොරෙන් ගිය හ. කඩවලින් හොරෙන් තේ පානය කළ හ. විමල්ගේ ළඟ මිත්‍රයෙක් බයිසිකලයක් සොරකම් කර අසු වී ගුටි කා, ‍පොලිසියට භාර දෙනු ලැබ, අධිකරණයෙන් අච්චු ලැබුවේ ය. එය හරි ද?


නැත. අප අද විශ්වාස කරන්නේ අප හෙට වෙනුවෙන් යම් පරමාදර්ශයක් හිසෙහි දරන්නේ නම්, අපි අද සිට ම එය භාවිතාවේ යෙදවිය යුතු බවයි. 


එක්සත් ජාතික පක්ෂ අර්බුදයේදී අපි ඉතා විවෘතව ම මහින්ද ස්වරූපී බලවේග එහි බලවත් වීමට එරෙහිව ලියුවෙමු. ලිබරල් ධනේශ්වරය හා වැඩවසම්වාදී, රාජ්‍ය කේන්ද්‍රීය නව ප්‍රභූ සුළු ධනේශ්වරය අතර ගැටුමේදී අපි ඉතා පැහැදිලිව ම ලිබරල් ධනේශ්වරයට උදව් කරන්නෙමු. මන්ද, ලිබරල් ධනේශ්වරය තුළ අඩු තරමේ දෘෂ්ටිවාදීමය වශයෙන් හෝ ප්‍රවර්ධනය කරනු ලබන සාධනීය කාරණා තිබේ. 


කරුණාකර එය යූඇන්පියට ටියුෂන් දීමක් ලෙස නො සලකන්න. නිර්ධන පංතිය අතට හෙවත් තමන්ගේ කල්ලියේ ප්‍රභූන් අතට බලය ගන්නා තෙක් ඇට දෙක වැටෙයි කියා සිතමින් එළුවා පසුපස ගිය නරියා සේ ගාටන්නේ නැතිව අද කළ හැකි මැදිහත් වීම අද කරමු. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

5 comments:

  1. අරගලයේ රැල්ල නැගෙමින් තිබෙන වකවානුවල අහක සිටිනවුන්ද රැඩිකලුන් බවට පත්වෙති.රැල්ලේ ගමන පසුබසින වකවානුවල ‍බොහෝ අය දුර්මුඛව හේත්තු වීම සදහා උරහිසක් සොයති.එසේ උරහිසක් සොයාගන්නා ගමන් තම ස්ථාවරය සාධාරනීකරනය කිරීම සදහා කුමක් හෝ දෙයක් පවසා සිත සාදා ගනී.වාසුදේව නානායක්කාර සිත සාදාගෙන ඉන්නේ තමන් "අධිරාජ්‍ය ගැති" යූඇන්පියට එරෙහිව අධිරාජ්‍ය විරෝධී ශ්‍රීලනිප රජයට සහය දක්වනවා යැයි කියමිනි.අජිත් පැරකුම් (අවාසනාවකට මෙන්-ඔහු නානායක්කාර වැනි තක්කඩියෙකු නොවීම පිලිබද ගෞරවය පවතිද්දීම)සිත සාදාගෙන ඉන්නේ "වැඩවසම්වාදී" ශ්‍රීලනිපයට එරෙහිව ලිබරල් ධනේශ්වරයට තමා සහය දක්වනවා යැයි සිතාගෙනය.

    ReplyDelete
  2. පලමුව ලංකාවේ "ලිබරල් ධනේශ්වරය" පැරකුම් සිතා ඉන්නවා වගේ ලිබරල් නැත.විධායක ජනාධිපතිධූරය මූලික කරගත් පාදඩ දේශපාලන සංස්කෘතිය මෙරට ස්ථාපනය කලේ මෙම ලිබරලුන්ය.මෙම මහත්වරු අදද එම ක්‍රමයට විරුද්ධ නැත.ඔවුන්ට තිබෙන්නේ නීතියට උඩින් යකා නැටීමට තිබෙන චාන්ස් එක තමාගේ නොවීම පිලිබද පටු විරෝධයක් පමනි.(මේ කියන්නෙ බොරු නම් යූඇන්පියේ 2010 ඡන්දෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ බලන්න.වි.ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාවට මොකද වුනේ?)මොවුන් කෙතරම් "ලිබරල්ද" යන්න ඔවුන් අතට එම බලය ගිය දිනෙක දැකබලා ගත හැක.(ශිෂ්ට/ලිබරල් ජේආර්ගේ සමයේ එම බලය අභ්‍යාස වූ ආකාරය අමතක නම්)

    දෙවනුව පවතින පාලනය වැඩවසම්වාදී යැයි කිමද අර්ධ සත්‍යයකි.ලංකාවේ වැඩවසම් පාලනයක් තිබෙනවා යැයි කියූ සැනින් එක් වරම හිතෙන්නේ ලංකාව 2006 ට පෙර නේපාලය වගේ රටකි යන හැගීමකි.එතනදී එබදු වැඩවසම් පාලනයකට එරෙහිව අරගල කරන ලිබරල් ධනේශ්වරයක් ගැන එන්නෙ රමනීය චිත්‍රයක්.මෙය ලංකාවේ පවතින දේශපාලනය නොමග යවන සුලු ලෙස විග්‍රහ කිරීමකි.දේශපාලන තලයේදී රාජපක්ෂ ආන්ඩුවේ පූර්ව ධනේශ්වර ලක්ෂන නැති බවවත්,එම ලක්ෂන සහ සාම්ප්‍රදායික දක්ෂිනාංශික ප්‍රභූන්ගේ පැවැත්ම අතර ප්‍රතිවිරෝධයක් නැති බවවත් කිව නොහැක.එබදු ප්‍රතිවිරෝධයක් තිබේ.නමුත් ලංකාව,ලංකාවේ ජනයා මුහුන දෙන මූලික ප්‍රතිවි‍රෝධය එය නොවේ.ලංකාවේ මිනිස්සු ගොවීන්,කම්කරුවන්,සුලු ව්‍යවසායකයන්,ධීවරයන්,නගරවලින් එලියට දැමෙන පැල්පත්වාසීන්,සංචාරක ව්‍යාපාරය සදහා ඉඩම් වලින් පන්නා දැමෙන මිනිසුන් - මේ අයගේ පැත්තෙන් බැලූ විට මූලික ප්‍රතිවිරෝධය ධනවාදය පිලිබද ප්‍රශ්නයයි.අපි මතුකරන ප්‍රශ්නය ඔය "වැඩවසම්" ප්‍රභූන් හා "ලිබරල්" ප්‍රභූන් අතර තියෙනවා කියන මහා ආරෝවෙන් මෙම නිර්ප්‍රභූ මහා සමාජෙට ලැබෙන්නෙ මොකක්ද?"වැඩවසම්" ධනපතියා බැස්සුවා කියා හෝ "ලිබරල්" ධනපතියා බැස්සුවා කියා හෝ ධීවරයාගේ හිස මතට පතිත වන සී ප්ලේන් එකේ වෙනසක් සිදුවන්නේ නැත.ලිබරල් යැයි කියාගන්නා ප්‍රභූන් පොදු සමාජයට පොරොන්දු වන යහපත් හෙට දවස පංතිමය තේරුමකින් ගත්තම අමු බොරුවකි.ඒ බව දැන දැනම පවතින පිඩාකාරී ක්‍රමය පවත්වා ගැනීම සදහා එක් නඩයක් වෙනුවට තවත් නඩයක් වෙනුවෙන් උපදෙස් දීම නිවැරදිදි?

    ReplyDelete
  3. පැරකුම් කියන එක දෙයක් සම්බන්ධයෙන් විවාද නැතිව එකග විය හැක.එනම් මෙම ගැටුමේදී වාමාංශිකයන් පසෙකට වී බලා නොසිටිය යුතුය යන්න ගැනයි.පසෙකට වී බලා නොසිටීම යන්නෙන් අදහස් වෙන්නේ ලිබරල්වාදය ගැන චාටු කතා තෙපලන ධනපතීන් සමග පයුරු පාසානම් පැවැත්වීම නොවේ.(හෙට වෘත්තිය සමිති මට්ටමේ හෝ අරගලයක් පැන නැගුනොත් මේ ලිබරල්වාදීන්ගේ රග අපට බලා ගත හැක) "යමක් කිරීම" හෝ "ගතානුගතික මාක්ස්වාදයෙන් කැඩීම" යන්නෙන් අදහස් වෙන්නෙ වාමාංශික දේශපාලනයේ මූලධර්ම අමතක කර දැමීම නොවේ.

    ReplyDelete
  4. ඔබ කියන කරුණු සම්බන්ධයෙන් වාද කිරීමට හෝ නව ලිබරල් ධනවාදීන්ගේ ලිබරල් ගුණය ගැන චරිත සහතික දීමට හෝ බැරි ය. එහෙත්, අඩු ම තරමේ සංකීර්ණත්වයෙන් අඩු සතුරකු අන්තිම සටන සඳහා ‍ඉදිරියට ගැනීම වාමාංශිකයන්ට නරක නැත.

    ReplyDelete
  5. '94 දී දරදිය ඇද අත්කර ගත් ලිබරල් වෙනස සහ පසුගිය දශකය තුල කිහිපවිටක් තෝරාගන්නට යෙදුනු සාපේක්ශ "අඩු නපුර" අපට ලබා දුන් දේශපාලනික අත්දැකීම් පමනක් නැවත මතක් කරමි. අපි නැවත වටයකින් පැමිනිය යුත්තේ එතැනටමද?

    මෑතකදී කැපී පෙනුනු ලිබරලුන් දෙදෙනෙකු වන මිලින්ද මොරගොඩ (වැඩිවිස්තර අනවශ්‍ය යැයි සිතමි ) සහ ශිරාල් ලක්තිලකගේ (අවසන මොහු සජිත් පිලේ ප්‍රමුඛයෙක් විය ) ගමන් මාර්ගය දෙස නෙත් යොමු කිරීම සෑහේ. අපි පෙරහැරේ ගොස් වෙනස් කිරීමට තැත් කරන්නේ මෙවැනි (පුද්ගල චරිත නොවේ) ප්‍රවාහයක්ද?

    පෙරහැරේ යෑම සහ එය වෙනස් කිරීම සිරස, උපුල් ජයසූරිය සහ මයිත්‍රි ගුනරත්නට ඉඩහැර බලා හිඳීම වඩා ප්‍රඥා ගෝචර යැයි සිතමි. එය කිසිසේත්ම උපාසකවතක් නොවේ. අපේ කාර්යභාරය නිවැරදිව හඳුනාගැනීමකි. කොටින්ම.. non of our business!

    - Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.