2011-03-28

ලංකාවට පෙරේ(වා)රා!

(2011 මාර්තු 28, W3Lanka1960 දශකයේ මුල් භාගයේදී මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා ගෙන ඒමට උත්සාහ කළ පනතකින් අදහස් කෙරුණේ පුද්ගලයකුට තමන්ට බීමට අවශ්‍ය රා නිපදවා ගැනීම සඳහා ගසක් මැද ගැනීමේ නිදහස ලබා දීමයි. එහෙත්, සුපුරුදු පරිදි ඊනියා මත්පැන් විරෝධීහු එයට විරුද්ධව කළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස පනත හකුළා ගන්නට සිදු විය. එදා අප අසා ඇති පරිදි ඩී.බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් යුත් ලංකාදීප පුවත්පතේ ‍ඓතිහාසික හෙඩිමක් පළ විය. ඒ වනාහි පොල් ගෙඩි අකුරෙන් පෙරේ-රා යන්නයි.


ලේඛකයා මෙම සටහන තබන ස්ථානය පිහිටි ඉඩමේ 1970 දශකයේදී ගමේ ප්‍රසිද්ධ කිතුලක් තිබිණි. එහි මල කැපුවේ ජුලියස් සිං‍ඤෝ ය. හැන්දෑවට කිතුල අසල වන රොද තුළ ජුලියස් සිං‍ඤෝ පුංචි පහේ බාර් එකක් පවත්වා ගෙන ගියේ ය.


එක් කලෙක මෙම ගම අයිති පොලිස් ස්ථානයේ අධිපතිව එක්තරා වීරයෙක් පැමිණියේ ය. ඔහුට කිතුල් මල් පෙන්නන්නට බැරි ය. ජුලියස් සිංඤෝගේ මලට ද පොලිසිය ආවේ ය. ඔහු ගසට යවා මල මුලින් ම කැප්පවූ පොලිසිය මල ඔහුගේ ම කරේ තබා පොලිසි ගෙන ගියේ ය.


කිතුල් රා නැති වන විට කසිප්පු ආවා විනා සහ ගමේ බේබදුකම වැඩි වුණා මිස අඩුවක් නම් වූයේ  නැත.


අද වන විට ලේඛකයාගේ ගමේ මලක් මදින්නට දන්නා අය විරළ ය. කිතුල් පැණි හකුරු කර්මාන්තයක් ඇත්තේ ම නැත. දැන් කිතුල් ලී තරප්පුවල ඇතිරීමේ මෝස්තරයක් සල්ලිකාරයන් අතර පැතිර ඇත. කිතුල් ගසකින් ලී ලබා ගත හැක්කේ ස්වල්පයක් පමණක් බැවින් තරප්පු පෙළක ඇතිරීම සඳහා කිතුල් ගස් ගණනාවක ලී අවශ්‍ය වේ. දැන් කිතුල් ගසට කණ කොකා හඬමින් තිබේ.


දැන් ආණ්ඩුව ප්‍රගතිශීලී තීරණයක් ගෙන ඇත.


කිතුල් ගස් මැදීමේදී බලපත්‍රයක් ලබා ගැනීමට රජය පනවා තිබූ නීතිය අහෝසි කෙරේ.


ඒ අනුව කිතුල්ගස් මැදීම සඳහා මින් ඉදිරියට රජයෙන් බලපත්‍රයත් ලබා ගැනීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා “දිනමිණ” ට පැවැසීය. තෙලිජ්ජ කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජය මේ තීරණයට එළඹි බවත්, මින් ඉදිරියට නිදහස් තෙලිජ්ජ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයේ යෙදීමට අවකාශය ලැබෙන බවත් ඒ මහතා කීය.


මින් ඉදිරියට එම කර්මාන්තයේ යෙදෙන්නන්ට බාධාකිරීම් නොකරන ලෙස පොලිසිය හා වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දුන් බව ද යාපා මහතා සඳහන් කළේය.


තෙලිජ්ජ කර්මාන්තයට යොදා නොගන්නා කිතුල් ගස් ලක්‍ෂ 28 ක් පමණ තිබෙන බව පවසන ඇමැතිවරයා, මින් නිසි ඵල ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස එහි නියැලෙන කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.


මෙම බලපත්‍රය වනාහි රජයට කිසිදු ආදායමක් නො ලැබුණු එකකි. මන්ද, කැළේට වැවෙන ගස්වල මල් කපන දුප්පත් ගැමියන්ට මේ බලපත්‍ර ලබා ගැනීම දුෂ්කර විය. කවුරුවත් කිතුල් වවන්නේ නැත. ඒවා වවන්නේ ඇට කා බෙටි දමන සත්තු ය. 


රා පෙරීම තහනම් වුවත්, එයට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග නො ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. මන්ද, ඉඳ හිට කිතුල් රා පොල් කට්ටක් බීම පොලිසියේ රාළහාමිලාට වුව නරක නැති නිසා ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

8 comments:

  1. අනිවාර්යයෙන් රා කර්මාන්තයට අත දෙන්න ඕන..තෙලිජ්ජ විතරක් නෙවෙයි...

    ReplyDelete
  2. “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී”
    පාලි ගාථාව වෙනුවට ලංකාවෙ පොලීසියට මම යෝජනා කරනවා
    "උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ"

    ReplyDelete
  3. ලේඛක තුමාටත් රා බොන්න හිතිල වගෙ ..... රා අඩුවුනායින් කසිප්පු පුරුදු උනාය කියන එක මාත් දෙතුන් තැනක්දී අහල තියනව . හැබැයි ඉතින් ඕව ක්‍රියාත්මක කරන්න "ධාර්ම රාජ්ජ " සෙට් එක ඉඩ දෙයිද දන්නෙ නැ

    ReplyDelete
  4. In 1960 the protestors were not just temperance agitators...it was the UNP which organized the campaign against the bill...to take a political milage against the coalition formed by the SLFP and LSSP...

    ReplyDelete
  5. අනේ මනද බන් උම්බටත් තියෙන ප්‍රස්න.

    ReplyDelete
  6. කලකට ඉහත රා බොන තැනකින් ඇසුන ගීතයක්.

    ඇගේ රා ටික නං හරිම හොඳයි විස්කි වගේමයි
    ගැහැව්වම සොමිය දැනෙනවා
    ඇගේ රා ටික නං බොහොම සනීපයි ...

    මෛතී්‍රපාල සේනානයකලත් බොන රා
    නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
    සිදුහත් හට බුදුවෙන්නට උදව් කලෙත් රා

    වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා......

    ReplyDelete
  7. කතන්දරගෙ රා ගීය දැක්කම මටත් මේක මතක් උනා,

    මලේ, රා ටික නම් විස්කි වගේ හරිම ප්‍රණීතයි,
    ගැහුවම හිත විකාර වෙයි,
    මලේ......රා ටික නම් විස්කි වගෙයි නේ..........

    උගුඩුවො වගෙ රා..... බොන්නෙ රාළහාමිලා,
    උගුඩුවො වගෙ රා..... බොන්නෙ රාළහාමිලා,
    හරි ටොප් රා, හරි ටොප් රා, හරි ටොප් රා.....,

    ReplyDelete
  8. 1970 ශ්රී ලංකා ආණ්ඩුව කාලේ අපේ තාත්තත් පොල් ගස් දෙකක් මැද්දා. අපේ තාත්තා රා අරක්කු තියා සිගරට් එකක වත් බීපු කෙනෙක් නෙවේ. මේ ගස් දෙක මැද්දේ ගෙදරට අවශ්ය හකුරු හදන්න. අපේ තත්තාගෙ අතක් කැපුවත් ගලන්නේ නිල් පාටට. ඒත් අපේ අම්මා ඡන්දේ දුන්නේ යූ. එන්. පී. එකට. 1970-77 කාලේ ඉතින් සීනි එහෙම අඩු නිසා අම්මගේ බර බරෙන් බේරීම පිණිස සහ ස්ව ශක්තියෙන් යමක් උපදවා ගන්නා හැටි සෙසු අයට පාඩමක් පිණිසත් පෙන්නීම පිණිසත් තමයි ඒක කලේ. තාත්තා මේ මල තැලීම උදේ වැඩට යන්න කලිනුත් වැඩ ඇරිලා ගෙදර ආ විගසත් හෙණ ගහන වැස්සෙ මැද්දෙත් කලා. හැබැයි කිතුල් ගහකුත් තිබුණට ඒක මැද්දේ නැත්තේ ඇයි කියලා කියන්න මම දන්නේ නැහැ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.