2011-04-05

71 කැරැල්ලට වසර හතළිහයි; කැරැලිකරුවන් ගැන සොදුරු මතක

ප්‍රේමපාල හේවාබටගේ ලේඛකයාගේ කැමරා ඇසින් 
(2011 අප්‍රේල් 05, W3Lanka) 71 කැරැල්ල පිළිබඳ ලේඛකයාට සජීවී මතකයන් ලෙස ඇත්තේ පාසලට ඇතුළත් වූ පළමු අවුරුද්දේ එහි තිබූ එපා කරන ගුණයට විසඳුමක් වූ දිග නිවාඩුවක් ලැබීමයි. එදා අලුත් අවුරුදු දිනයේ ලේඛකයාගේ මහ ගෙදර කතා බහට ලක් වූ කරුණක් වූයේ ඈත වත්තක වැඩ කළ ඔහුගේ මාමා කෙනෙකු වෙනදා මෙන් නොව සරමක් ඇඳ පා ගමනින් අමාරුවෙන් ගෙදර ආ අන්දමයි. ලේඛකයාගේ කිසිදු සමීපතමයකු කැරැල්ලට සම්බන්ධ වූයේ නැත.


පසු කලෙක දිනපතා දවස පුවත්පතේ පළ වූ මහ නඩුවේ විස්තර ලේඛකයාගේ අම්මා රස කරමින් කියවූ අන්දම ද ලේඛකයාට මතක ය. 


71 සහෝදරත්ව සංසදය විසින් සංවිධානය කර තිබෙන 'ප්‍රත්‍යාවලෝකන' වැඩසටහන අද දිනය පුරා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ.


ප්‍රසිද්ධ 1971 අප්‍රේල් කැරැල්ලෙන් වසර 40ක‍ට පසු එදා තරුණයන් වූ අද වැඩිහිටියන් වී සිටින මේ පිරිස මෙසේ සහෝදරත්වයෙන් හමු වීම හා එක්ව වැඩ කිරීම ම සාමූහිකත්වයන් වෙනුවට කල්ලිවාදය හා පුද්ගලවාදය ප්‍රවර්ධනය වන අද දවසේ අපූර්ව තත්වයකි.


පසුගිය දිනෙක කොළඹදී 71 සංසදයේ ක්‍රියාකාරිකයන් පිරිසක් මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු කරමින් සිටි තැනකට ගිය ලේඛකයාට මෙම වැඩසටහන අවසානයේ 71 සංසදයේ සාමාජිකයන්ට කියවීම සඳහා ප්‍රතිඥාවක් ලියා දෙන්නැයි ඉල්ලීමක් කෙරිණි. ලේඛකයා එය සතුටින් භාර ගෙන යමක් ලියා දුන්නේ ය. ඔහු එහි මතු කර දැක්වීමට උත්සාහ කළ දෙයක් වන්නේ මතවාදීමය විවිධත්වයන් ඉවසා දරා ගනිමින් පොදු අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි.


අද වන විට ලංකාවේ වමේ තිබෙන ප්‍රධාන ලක්ෂණය කල්ලිවාදයයි. සියලු වාමාංශික පක්ෂ හා කණ්ඩායම් වනාහි කිසියම් අනුහස් සහිත ශාස්තෘවරයකු වටා එක් රොක් වූ බැතිමතුන් පිරිසකගෙන් සමන්විත ආගමික කල්ලි ය. ඔවුන්ගේ ශක්තිය හීන වී ඇතත්, සංස්කෘතික හා දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයන්හි මේ පිරිස් තවමත් ආධිපත්‍යය හොබවයි. රාවය පුවත්පත, බූන්දි වෙබ් අඩවිය වැනි මාධ්‍ය මේ කල්ලි විසින් සිය බුද්ධිමය ප්‍රචණ්ඩත්වය සඳහා සියුම් ලෙස පාවිච්චි කරමින් තිබේ.


71 සහෝදරත්ව සංසදය මෙවැනි කල්ලිවල අවඥාවට ලක් වන එකකි. ඇතැමෙක් එය ආදි ශිෂ්‍ය සංගමයකට උපමා කරති. ඒ එහි ඇති රොමැන්තික, අතීතකාමී හා සුබසාධනවාදී ලක්ෂණ නිසා යයි සිතමි. එහෙත්, ලේඛකයා දකින අන්දමට 71 සංසදයේ ඇති වැදගත් ලක්ෂණ වන්නේ ඒවා ය.


71 කැරැල්ල හා එහි සහභාගිකයන් විසින් ලාංකීය සමාජයට කර තිබෙන මැදිහත්වීම අති විශාල එකකි. 1989 දක්වා රෝහණ විජේවීරගේ මැදිහත්වීම, වික්ටර් අයිවන්ගේ ලිබරල් මාධ්‍ය මැදිහත්වීම, ගෝලීය ධනවාදයට විකල්ප ගොඩනැඟීම පිණිස සරත් ප්‍රනාන්දුගේ උත්සාහයන්, රංජිත් දිසානායකගේ සුබසාධනවාදය, දිවුල්ගනේගේ ප්‍රේම ගීත, ජයතිලක බංඩාරගේ 'සාධු ජන රාව' ආදිය ක්ෂණිකව මතක් වන මැදිහත් වීම් කීපයකි.


ලේඛකයා 71 කැරැලිකරුවන් කීපදෙනෙකු සමීපව ඇසුරු කර තිබේ. ජයතිලක බංඩාර කලක් ඔහුගේ ජීවිතයේ සමීප අසල්වැසියකුව සිට පසු කලෙක දේශපාලනික බිඳී යාම් සමග දුරස්ථ වූ අයෙකි.


ලේඛකයා වැඩියෙන් දේශපාලනය කර තිබෙන්නේ පැට්‍රික් ප්‍රනාන්දු සමගයි. පසු කාලීන වාම කල්ලි සමග වැඩි ඇසුරක් තිබූ පුද්ගලයා ඔහු වන අතර, ඒවායේ නව ආන්තික ලක්ෂණවලින් වැඩියෙන් ම දූෂණය වූ පුද්ගලයා ද ඔහු යයි ලේඛකයා සිතයි. එහෙත්, ඒ බව මෙසේ ලිවීමෙන් පසුව පවා හිතේ තරහ තියාගෙන හෝ මුහුණ දී කතා කරන්නට ඔහුට හැකියාව තිබේ. ඔහු නව වාම කල්ලිවලින් වෙනස් වන්නේ එතැනදී ය. 


71 සංසදයේ බොහෝ දෙනා පවා බැරෑරුම් ලෙස සලකන්නට අකැමැති වුණ ද, 71 කැරැල්ලෙන් බිහි වූ සමාජයට වැඩි ම චින්තනමය මැදිහත් වීමක් කළ අරගලකරුවා සරත් ප්‍රනාන්දු යයි ලේඛකයා සිතයි. 


නැසී ගිය වින්සන්ට් කුරුඹාපිටිය පුවත්පත් කලාවේදී ලේඛකයාට ගුරුහරුකම් දුන් අයෙකි.


රංජිත් දිසානායක බොහෝ අයට මෙන් ම ලේඛකයාට ද දුකේදී, සැපේදී ළඟින් සිටින නෑයෙකි. 


ප්‍රේමපාල හේවාබටගේ ලේඛකයාගේ දුක සැප නිතර විමසන දිගු කාලීන සමීප මිතුරෙකි. සංවාදයන් තුළින් දැනුම පෝෂණය කරන්නෙකි. 


1988, 89 වසරවලදී ලේඛකයාට උපතිස්ස ගමනායක කීප වරක් හමු වී තිබේ. හිරිමල් තරුණ වියේ සිටි ලේඛකයාට ඔහු පෙනුණේ තැන්පත්, වැඩිහිටි නායකයකු ලෙසයි. 


මේ සියල්ලන් තුල ම ලේඛකයා දකින අපූර්ව මහා පොදු සාධකය වචනයට නැඟුවහොත් ඔවුහු සියල්ලෝ ම සොඳුරු මිනිස්සු වෙති. ‍‍


ලේඛකයා වසර කීපයක් තවත් 71 කැරැලිකරුවකු වූ වික්ටර් අයිවන්ගේ රාවය පුවත්පතේ නිදහස් මාධ්‍යකරුවකු ලෙස ලියුවේ ය. එහෙත්, ලේඛකයාට කිසි දිනෙක ඔහු සමග කතා කිරීමේ ඇල්මක් ඇති වී නැත. වික්ටර් අයිවන් වරක් ඔහු සමග දුරකථනයෙන් කෙටි කතා බහක් කර ඇත. ඔහු 71 කැරැලිකරුවන් අතර ප්‍රභූවරයා ය. ඉඳහිට කවුරු හෝ ආරාධනා කරන සම්මන්ත්‍රණයකට එහෙම සහභාගි වුණත් ඔහු සිය ඉදිරිපත් කිරීම නිම කළ සැණින් ඔහු පිට වී යයි. සංවාද නැත. 


අසූ නමයේ කැරැල්ල 71 කැරැල්ලට වඩා පුළුල් ය. ප්‍රචණ්ඩත්වය ද ඉහළ ය. මර්දනය ද වඩා කෲර ය. 89 සහෝදරත්ව සංසදය කියා දෙයක් කිසි දිනෙක ගොඩනැගෙනු ඇතැයි සිතිය නො හැක. එතැන සහෝදරත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙනවා වෙන්නට පුළුවන. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. බැලුවම ලේඛකයා මාර පොරක්නෙ..

    ReplyDelete
  2. Some people have used this "Sonduru Mathakaya" for their own luxury... finally the organization which spearheaded the 71 uprising, the JVP entered the path opened up by the old left and helped to create a monster

    ReplyDelete
  3. ප්‍රේමතිලක හේවාබටගේ නොව ප්‍රේමපාල හේවාබටගේ ලෙස නිවරදි විය යුතුයි

    ReplyDelete
  4. "අද වන විට ලංකාවේ වමේ තිබෙන ප්‍රධාන ලක්ෂණය කල්ලිවාදයයි. සියලු වාමාංශික පක්ෂ හා කණ්ඩායම් වනාහි කිසියම් අනුහස් සහිත ශාස්තෘවරයකු වටා එක් රොක් වූ බැතිමතුන් පිරිසකගෙන් සමන්විත ආගමික කල්ලි ය. ඔවුන්ගේ ශක්තිය හීන වී ඇතත්, සංස්කෘතික හා දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයන්හි මේ පිරිස් තවමත් ආධිපත්‍යය හොබවයි"

    අජිත් මේ සම්බන්ධයෙන් ඔබගේ යෝජනාව කවර වූවක්ද? සැබැවින්ම ඔබ විසින් මේ ආගමික කල්ලි ලෙස නිර්වචනය කර ඇත්තේ ඔබද කලක සිට නියෝජනය කළ පිරිස් නියෝජනය වන පිරිසයි. ඔබ විසින් ආධිපත්‍ය දරනවා යැයි සඳහන් කර ඇති ක්ෂේත්‍රයන්ට අමතරව අනෙකුත් ක්ෂේත්‍රයන්හි ආධිපත්‍ය දරණ පිරිස පිළිබඳව ඔබට ඇති අදහස කවර වූවක්ද?? අපි හොඳින්ම දන්නා දෙය නම් තමන් ළඟ සමීපව හිටපු අය හතුරු වූ විට ඔවුන් වෙත කොන්දේසි විරහිතව දක්වන වෛරයයි.

    ඔබ විසින් යම් ආකාරයක පළල් කතිකාවක් ගොඩනැඟීමට උත්සාහ දරණ ගතියක් පෙන්නුම් කළද ඊට ඔබගේ පුද්ගලික අගති ගාමී අදහස් එක්වූ විය එයද පටු සීමාවකට කොටු වන බවක් හැ‍‍ඟේ...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.