2011-04-10

අවුරුද්දට තෑග්ගට පොතක්! සයිබර් අවකාශයෙන් බැහැර මහ පොළවේ අත්දැකීමක්

(2011 අප්‍රේල් 10, W3Lanka) සයිබර් අවකාශයෙන් මහ පොළවට එන්නැයි ඇතැම් පණ්ඩිතයෝ අපට උපදෙස් දුන් හ. තවත් සමහරු අපට අභියෝග කළේ කොළඹින් ගමට එන්නැයි කියා ය.


ඒත්, අපි හැමදාමත් ජීවත් වුණේ ගමේ ය. සයිබර් අවකායට පිවිසුණේ ද ගමෙන් ම ය. සයිබර් අවකාශයට වඩා වැඩි කාලයක් අපි මහ පොළවේ කරක් ගැසුවෙමු.


මහ පොළව කටුක වුණත්, ෆේස්බුක්, ට්විටර්, බ්ලොගර් හා ජීමේල්වලට වඩා සජීවී ය. ඒ නිසා අපි මහ පොළවට ආදරය කරමු.


අපි අලුතෙන් වැඩකට අත ගැසුවෙමු. මහ ලොකු දෙයක් නො ව සංස්කෘතික කේන්ද්‍රයක් ඇරඹීමේ උත්සාහයකි. මතුගම, අගලවත්ත පාරේ, අංක 220 යන ස්ථානයේ අපි සංස්කෘති නමින් මධ්‍යස්ථානයක්, ආයතනයක් වැනි දෙයකට මුල පිරුවෙමු.


අලුත් අවුරුද්දට පොතක් තෑගි දෙන්න යන තේමාවෙන් අපි පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නෙමු. ‍අගහස් ප්‍රකාශන ආයතනයේ රංජිත් දිසානායක සහෝදරයා අපට ‍පොත් රැසක් ණයට දුන්නේ ය.


අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ප්‍රචාරයයි. මේ පිළිබඳවා පාසල් සිසුන් හා ‍ජනතාව දැනුවත් කරන ලෙස අප ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගෙන් හා සෙසු ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ සුළු පිරිසකි. කොළඹ පත්තරවලින් ද ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා ගැනීමට බැරි විය.


අමිල ජයරත්න නම් අප නො දන්නා ටියුෂන් ගුරුවරයෙක් අප මේ පිළිබඳව ප්‍රචාරය කිරීම පිණිස රාත්‍රියේ ඇලවූ පෝස්ටර් උදේ වන විට වසා දමා තිබිණි. පාප්ප වේලී හෝ නො තිබුණු අපගේ පෝස්ටර් මත ඔහු පෝස්ටර් අලවන්නට ඇත්තේ ඇලවීමේ පහසුව පිණිස වන්නට ඇත. ඕවා ඉතින් එහෙම තමා ය.


පත්තර ඇතුළට පත්‍රිකාවක් දැමීමට පුවත්පත් ඒජන්සිකරුවන් හමු වීමට ගිය ද එය සමාගම් විසින් තහනම් කර ඇති බව කියා ඔවුහු මුලදී එය ප්‍රතික්ෂේප කළ හ.පසුව පුවත්පත් මිළ දී ගැනීමට එන අයට පත්‍රිකාව බැගින් බෙදා දීමෙන් අනුග්‍රහ දැක්වීමට ඔවුහු එකඟ වූ හ.


පසුගිය කාලයේ මැතිවරණ අපේක්ෂකයන්ට බල නො පැවැත්වුණු නීතියක් මත මේ පිළිබඳ ශබ්ද විකාශන මගින් නිවේදනය කරන්නට ත්‍රිරෝද රියකින් යමින් සිටියදී පොලිසිය අපට බාධා කළේ ය. එහෙත්, නීතිඥ ගාමිනී නල්ලපෙරුම මහතාගේ මැදිහත් වීම හා මතුගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාරුණිකත්වය නිසා පොලිස් කූඩුවේ නො නැඟ එම කාර්යය කරගෙන යාමට අපට අවස්ථාව ලැබිණි.


අවුරුද්දට පොතක් තෑගි දීම පිණිස පොත් මිළ දී ගන්නට මහ විශාල පිරිසක් ආවේ නැත. පොත්වලට 40%ක් දක්වා වට්ටම් දුන්නත් ගම්වල මිනිස්සුන්ට රෙදි මෙන් නො ව පොත් මිළ වැඩි ය. එහෙත්, අපි සතුටු වෙමු. අප මුහුණ දෙන සංස්කෘතික අභියෝගය එයයි.


මේ වනාහි කොළඹ සංස්කෘතික ක්‍රියාකාරකම් ගමට ගෙන යාමක් නො වේ. තමන්ගේ සාක්කුවේ සිටින හා තමන්ට පගා දෙන පුද්ගලයන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් පමණක් අගයමින් සෙස්ස ඝාතනය කරන්නට වැර දරන, කොළම ඊනියා සංස්කෘතික ප්‍රභූන්ගේ ආධිපත්‍යය බිඳ දමන්නට නම් විකල්ප සංස්කෘතික කේන්ද්‍රස්ථාන ප්‍රාදේශීයව ගොඩනැඟිය යුතු යයි අපි සිතමු.


අපට ඇති අභියෝගය එවැනි ආයතන පවත්වා ගන්නේ කෙසේ ද යන්නයි. මූලිකව ම රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති මත රඳා නො පවතින්නට අපි අදහස් කරන්නෙමු. එහෙත්, අප රාජ්‍ය නො වන සංවිධානවලට විරුද්ධ බවක් ඉන් අදහස් වන්නේ නැත. දැනටත් අපට උදව් කරන්නට කැමති වූ රාජ්‍ය නො වන සංවිධාන ඇත.


අප රඳා පවතින්නේ වෙළඳපොල මත ය. මෙහෙම කීවාම ධනවාදයට විරුද්ධව අප ලියූ දේවලින් උදහස් වී සිටින අය අපට හූ කියන්නට උත්සාහ කිරීම තේරුමක් නැත. වෙළඳපොල බිහි වුණේ ධනවාදයට බොහෝ කලකට පෙර අතිර්ක්තයක් නිෂ්පාදනය කරන්නට හැකි මට්ටමට මිනිසා නිෂ්පාදන බලවේග දියුණු කර ගත් දා සිටයි. ධනවාදයේ ගැටලුව සියල්ල ලාභයට ඌනනය කිරීම මිස වෙළඳපොළ නො වේ.


අඳුරට සාප නො කරමින් සිට එක පහනක් හෝ දල්වන්නට උත්සාහ කරන්නැයි කී මාටින් ලූතර් කිංට තුති.


කමක් නැහැ. අපි උත්සාහ කරමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2 comments:

  1. ඇත්ත, අඳුරට සාප කරමින් නොසිට එක පහනක් හෝ දැල්විය යුතුයි තමා,සුබ පැතුම් ඒ කර්තව්‍යය සුලුවෙන් හෝ ඇරඹීම ගැන.

    ReplyDelete
  2. "මම මෙය මීට අවුරුදු 3-4 සිට කර ගෙන යන දෙයකි,මාගේ ඤාතී දරුවන්ට මම පොත් තෑගී වශයෙන් පිරිනමමි,එය මට නම් මහත් ආශ්වාදයකි"

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.