2011-04-17

සුනාමි අනතුරු ඇඟවීම් හා භීතිය විකුණන සරසවි මන්ත්‍රාචාර්යවරු

(2011 අප්‍රේල් 17, W3Lanka) සුනාමි පිළිබඳ කටකතා පැතිර යාම නිසා මේ දිනවල වෙරළබඩ ප්‍රදේශවල ජනයා නිතර කලබල වෙති.


සුනාමි අවදානමක් ඇතැයි පැතිරෙන කටකථා වලට නොරැවටෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒවා පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, අවදානම් කලාපවල සිටින ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තොතරම් කීවත් මිනිස්සු කට කා අසා බිය වෙති.


විද්‍යාවට වඩා අවිද්‍යාව, මිථ්‍යාව හා අද්භූත බලවේග විශ්වාස කරන්නට ලංකාවේ මිනිස්සු කොහොමත් ප්‍රිය කරති. එවැනි විශ්වාසයන්ට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. ජාතීන් අතර ගැටුමේදී සිංහල පාර්ශ්වයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස ජාතිවාදී බලවේග විසින් ප්‍රවර්ධනය කරන ලද ස්වෝත්තමවාදී ආකල්ප මෙම මිථ්‍යාවන්ට සරු පසක් විය.


අද වන විට, ලංකාවේ පඳුරක්, පඳුරක් ගානේ විශ්ව ශක්තියෙන් හා වෙනත් අද්භූත බලවේගවලින් වැඩ ගන්නා වැඩකාරයෝ සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් සායනික ප්‍රතිතාර අවශ්‍ය මානසික රෝගීන් වන අතර, තවත් ඇතැමෙක් කූට ජාවාරම්කරුවෝ ය. ලංකාවේ මහජන මුදලින් ජාවාරම් කරන පාලක පැළැන්තිය මොවුන්ගේ ප්‍රධාන ගනුදෙනුකාර බලවේගය වේ. ලංකාවේ ජනයාගෙන් බහුතරය ඒ ජාවාරම් පැළැන්තිය වන්දනා කරන්නන් වන අතර ඔවුහු ද මේ පිස්සන් හා කපටින් පසුපස දුවති.


අද කාලයේ පහසුවෙන් ජනප්‍රිය වීමේ හා ධනවත් වීමේ මාර්ගය වැටී ඇත්තේ මෙවැනි අද්භූත බල හරහා ය. ශාස්ත්‍ර ගවේශනය පිණිස මහජන මුදලින් වැටුප් ලබන සරසවි ඇදුරන්ට පවා දැන් මහන්සි වී විද්‍යාත්මක පර්යේෂණ කරනවාට වඩා අද්භූත බලවේග පසුපස යාමේ පහසුව වැටහී තිබේ. නලින් ද සිල්වාගේ ඊනියා ජාතික චින්තනය මේ සියලු සොරුන්ට මුවා වීමට ආවරණයකි. විද්‍යාවේ පරාසයට එපිටින් ඇති කලාප අත පත ගෑමට ලංකාවේ සරසවි මන්ත්‍රාචාර්යවරු සුරුවෝ වෙති.


ජපානයට බල පෑ සුනාමියෙන් පසු නැවතත් සුනාමි අනතුරු ඇඟවීම්වලට ජනමාධ්‍යවල වෙළඳපොළක් නිර්මානය වී තිබේ. ඒකත් හරියට පිටසක්වල ජීවීන් ගැන ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වූ විට රට පුරා තැන් තැන්වලට පිටසක්වල ජීවීන් පැමිණි බවට වාර්තා පුවත්පත්වල පළ වීම වැනි ය. මේ වෙළඳපොළට බඩු සප්ලයි කරන සරසවි මන්ත්‍රාචාර්යවරු පිරිසක් ද දැන් බිහි වී සිටිති. ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණ වෙනුවට පුවත්පත් සඳහා සරළ විජ්ජා ඉදිරිපත් කරන මොවුහු සමාජය බිය වද්දා සිය ඡායාරූප පුවත්පත්වල පළ කරවා ගෙන තුටු වෙති. එයින් සිදු වන සමාජ ව්‍යසනය අති මහත් ය. 


මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව නිරතුරු බිය පත් වෙති. පහත උපුටා ගැනීම අප මීට කලකට පෙර මෙම බ්ලොගයේ තැබූ සටහනකින් උපුටා ගත් කොටසකි.


"භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි."


ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන් ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory)හා 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' පිළිබඳ අප තැබූ සටහනක් කෙරෙහි අපි ඔබේ අවධානය නැවත යොමු කරන්නෙමු.

කියවන්න: භීතිය විකුණමුද? සහෝදරත්වයට මං පෙත් සොයමුද? | Prospect theory and selling fear


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

7 comments:

  1. ඒත් සමහරවිට අතාර්කික මිනිසාට තාර්කික මිනිසාට වඩා දෙයක් දකින්න පුළුවන්. තරකයක් සැමවිටම ගොඩ නැගෙන්නේ උපකල්පන මත. ඒකයි බුදු හාමුදුරුවොත් කිව්වේ යමක් තර්කානුකූල වූ පමණින් පිළිගන්න එපා කියලා. අපේ රටේ සුනාමිය ආපු වෙලවේ අතර්කික සතුන්ට දැනුණු අනතුර තාරකික මිනිසාට දැනුනේ නැහැ.

    ReplyDelete
  2. ඒ යුනිවරක්‍ෂසිටි කෂ්ටිය කරගෙන යන රිසර්ච් එක ගැන නොකියවා, සොයා නොබලා, මේ කරන ප්‍රතිචාර ත් තේරුමක් නෑ.

    ReplyDelete
  3. මොනවා උනත් මේගොල්ලෝ 2004 දි කොහේද හි​ටියේ කියන එක තමයි ප්‍රස්ණය

    පුදුම දැනිමක්නේ මේ ගොල්ලන්ට දැන් සුනාමිය ගැන තියෙන්නේ
    2004 දි මේගොල්ලෝ හිතු​වේ මුහුද පිරිලා ලංකාව යටවෙලා කියලයි

    ඒවෙලාවේ මෙගොල්ලො කල්පනාකලේ වැඩිවුනු වතුර වලට මොකද කරන්නේ කියලයි

    ReplyDelete
  4. හරි වැඩක් නේ? හැමදේටම නලින් ද සිල්වා ට බනිනනේ! ටැබූ වගේ.කෝකටත් සැකයේ වාසිය දීල මේදවස්ටිකේ මුහුදු වෙරළින් ඈත් වෙලා ඉන්න.අනාවැකිවලට බැන බැන ම ඉදල හරියන්නේ නෑ.

    ReplyDelete
  5. මම හිතන්නේ මේ පාර නම් පැරා වලිගේ පාගගන ඉන්න හැඩයි. ඔබ උසස්පෙළට ගණිතය හැදෑරුව නිස මම හිතනවා ඔබ අනිත් මන්දබුද්ධිකයන්ට වඩා ගුරුත්වාකර්ෂණය ගැන එහෙම දන්නවා කියලා. වඩදිය බාදිය ඇතිවෙන්නේ ජ්‍යේතිෂය අනුව නෙවෙයි. මේකට අපේ අනාගතේ ග්‍රහ වස්තූන් අනුව වෙනවායැයි කියන තර්කය අපිට පිලිගන්න බැරි වුනත් පෘතුවියට චන්ද්‍රයාගේ ආකර්ෂණය කියන එක අපිට පිලිගන්න වෙනවා. මේ මහාචාර්ය වරයා පළිඟුවක් දිහා බලාගන ඉඳලා අනාවැකි කියනවා නෙවෙයි. කාක්කා කෑගහන සද්දේ අහලා නෑයෝ එනවා කියනවා වගේත් නෙවෙයි, හූනෙක් ඇඟට වැටෙනවා බලාගන ඉඳලා පලාපල කියනවත් නෙවෙයි. අවුරුදු 100ක දත්ත එකතු කරලා රිසර්ච් එකක ප්‍රතිපලයක් විදිහටයි කියන්නේ.

    ජපාන සුනාමියට කලින් ඩේලිමේල් පුවත්පත ලිපියකින් දැන්වුවා චන්ද්‍රයා අවුරුදු 19කට පස්සේ පොළොවට ලං වෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. ඒත් හඳ ගැන හැම දේම දන්නවා කියන ලංකාවේ චන්දන ජයරත්න කිව්වේ එහෙම එකක් නෑ. චන්ද්‍රයාගේ කිසිම බලපෑමක් නෑ භූමිකම්පා වලට කියලා. එහෙම කියපු එක අන්තර්ජාල වෙබ් අඩවි වල පල වෙලා පැය 2යි ගියේ ජපානයට සුනාමිය ආවා. ඒ නිසා මේ පේරාදෙනියේ මහාචාර්ය වරයා කියන එකේ ඇත්තක් තියෙන්න පුලුවන්. මුහුදු ජලය මීටර් 2ක් ඉහලට ඔසවන්න හඳට පුලුවන් නම් පොළව අභ්‍යන්තරයේ තියන ලාවා තටුවටත් බලපෑමක් කරන්න හඳට බැරි වෙන්න විදිහක් නෑ. ඒ නිසා මේකේ සත්‍ය තාවයක් තියෙන්න පුලුවන්.

    ReplyDelete
  6. කොයි අවස්තාවාදියත් ඵ්කයි.
    නලින් ද සිල්වා විතරක් මොකද වෙනස්

    ReplyDelete
  7. සමන් කියූ ලෙස, මහාචාර්ය අතුල මීඩියා වලට පවසා ඇත්තේ මෙම අනාවැකි සඳහා වසර 100ක දත්ත පදනම් කරගත් බවයි.

    නමුත්, මේ අනාවැකි කීම හෝ එම ක්‍රමවේදය විද්‍යාත්මක පර්යේශන පත්‍රිකාවක් ලෙස විශ්ව විද්‍යාලයේ හෝ පිලිගත් පර්යේශන ප්‍රකාශනයක හෝ ප්‍රකාශයට පත් කර නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ. ප්‍රශ්නය ඇත්තේ මෙතැනයි. අනාවැකි (හෝ නව සංසිද්ධීන් ) ඉදිරිපත් කිරීම සහ ඒවා සත්‍යාපනය කිරීම විධිමත් ආකාරයට සිදු කිරීමක් අවශ්‍යයි.

    කොටින්ම කියතොත්, ජලයෙන් / පොලිතීන් වලින් පෙට්‍රල් සෑදීම වැනි මීට ටික කලකට පෙර අප ඇසූ ආන්දෝලනාත්මක දේවල් වලින් මෙය වෙනස් වන්නේ කෙසේද? බටහිර විද්‍යාවට මගහැරුනු දේ දේශීයව සොයා ගැනීමක් පිලිබඳ ඇතිවුනු ආශ්වාදය හැර අන් යමක් ඒ තුල තිබුනිද? ඒ හැර ඒවා විධිමත් පර්යේශනයන් ලෙස සිදු කර ඒවායේ ශක්‍යතාවය සනාථ කල බවක් නම් මගේ මතකයේ නැත.

    ආචාර්ය (එවකට) නලින් ද සිල්වා මීට වසර කීපයකට පෙර එක්තරා විශ්ව විද්‍යාලයක සිංහල සාහිත්‍ය සංගමයක ආරාධිත දේශනයකට පැමින කී අපූරු කතාවක් මෙහි සඳහන් කිරීම උචිත යැයි සිතමි. බටහිර (යුදෙව්) විද්‍යාව මුහුන දී ඇති අර්බුදයන් ගැන විස්තර කල ඔහු, ස්පින්ට්‍රොනික්ස් (Spintronics) නැමැති දැනුම් ක්ෂේත්‍රය තව දුරටත් ද්වි කෝටික බටහිර විද්‍යාව තුල දියුනු කල නොහැකි බවත්, එය දියුනු කල හැක්කේ චතුස්කෝටිකය මත පදනම් වන බෞද්ධ දර්ශනය තුල පමනක් බවත්, තමා එම විධි ක්‍රමය සක්සුදක් සේ දන්නා බවත් ප්‍රකාශ කලේ පැමින සිටි ගුරු සිසු උවැසු උවැසියන්ගේ හදවත් ඔකඳ කරමිනි. නමුත් එයින් වසර 10ක් පමන ගත වී ඇතත්, මහාචාර්යතුමා ස්පින්ට්‍රොනික්ස් සඳහා එකතු කල දෙයක් මට නම් අද වන තෙක් දැනගැනීමට ලැබී නැත.

    - Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.