2011-04-27

සෞඛ්‍ය ඇමතිගේ ගමේ රෝහලේ කාමරේ පොරේ

(2011 අප්‍රේල් 27, W3Lankaසෞඛ්‍ය ඇමතිතුමාගේ ගම වන පොළොන්නරුවේ මහ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක ය. වෛද්‍යවරුන්ගේ විවේක කාමරය හෙද පාලිකාවට දුන්නාට දොස්තරලා රණ්ඩු කරති. කාමරය ආපසු දොස්තරලාට දුන්නොත් හෙදියන් රණ්ඩු කරනු ඇත. හෙදියන් වර්ජනය කළත් පාඩුව රෝගීන්ට ම ය. ‍මෙතැන අභිමානය පිළිබද ප්‍රශ්නයක් ද ඇත.


ඇමති මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමතිකමට පත් වූ හැටියේ මුලින් ම කළේ පොළොන්නරුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමයි. ඒත්, වෛද්‍යවරුන්ට විවේක කාමරයක් ලබා දීම හා හෙද පාලිකාවට නිල කාමරයක් ලබා දීම වැනි සරළ ප්‍රශ්නයක් විසඳීම‍ට හෝ ඇමතිවරයා සමත් වී නැති බවා පෙනේ. මේ කාමරේ පොරේ ඒ නිසා ය.


(ජේ. එම්. මෝර්ටන් නම් ඉංගී‍්‍රසි නාට්‍ය රචකයා ගේ ‘බොක්ස් ඇන්ඩ් කොක්ස්’(Box and Cox) නමැති විකට නාටකයේ අනුවර්තනයක් ලෙස 1960 දී දයානන්ද ගුණවර්ධනයෝ ‘කාමරේ පොරේ’ නමින් නාට්‍යයක් කළේ ය.)


ඇත්තෙන් ම, ලංකාවේ ප්‍රධාන රෝහල්වල දැඩි ඉඩකඩ හිඟයක් ඇත. බොහෝ ප්‍රධාන රෝහල්වල සායන පැවැත්වෙන කුඩා කුටි ඇඟිල්ලක් ගහන්නට තරම් හෝ ඉඩ නැති ඉරිදා පොළවල් වැනි ය. වාතාශ්‍රය පවා නැති මෙම සායන ඇත්තෙන් ම රෝග පතුරුවා හරින මධ්‍යස්ථාන ය. රෝහල් මෝචරියේ පවා ඉඩකඩ නැති හෙයින් රෝහලක මිය යන්නා මිය ගොස් දෙපැයකින් දැඩි අවමානයකට මුහුණ දෙයි.


රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ට විවේක කාමර සැපයීම කම්කරු නීති අනුව අනිවාර්ය කාරණයක් වුව ද ලංකාවේ ඇතැම් රෝහල් වාට්ටුවල හෙදියන් හා වෙනත් සේවිකාවන් තමන්ට හිමි රාත්‍රී විවේකය ලබා ගන්නේ බංකු උඩ, කාඩ්බෝඩ් උඩ ය.


තම ආයතනවල මේසයක්, පුටුවක්වත් නැති බොහෝ රජයේ සේවකයෝ සිටිති. අධ්‍යාපන දෙපාර්තමේන්තුව එවැන්නකි. එය දැන් කලක සිට ම ගුරු මේස හා පුටු සැපයීම සීමා කර ඇත. බොහෝ පාසල්වල ගුරුවරු අසුන් ගන්නේ සිසු මේස, පුටුවල ය. ගුරු වි‍වේක කාමර, වැසිකිලි ආදිය පවා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකන්නේ අනවශ්‍ය දේ ලෙස ය. කලාප අධ්‍යාපන කාර්යාලවල පුටු, මේස නැති අධ්‍යක්ෂවරු පවා සිටිති.


‍සිය රාජකාරි කටයුතු සඳහා පුටුවක්, මේසයක්, රාජපකාරි ලේඛන තබා ගැනීමට අල්මාරියක් තිබීම මහ මෙරක් සේ සලකන රජයේ සේවකයන් සිටින බව ඇමතිවරු දන්නවා ද? මෙවන් සංදර්භයක් තුළ කාමරයක් යනු සුළු පටු දෙයක් නො වේ. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තාමරයක් ලැබීම දරා ගන්නට බැරි ය. කාර්යාලවලට එන මහජනයාට මේවා තේරෙන්නේ නැත. කාමරයක සිටි පමණින් නිලධාරීන්ගේ ඇඟට මේ තරම් ඌෂ්ණයක් ඇඟට එන්නේ ඇයි ද යන්න දන්නේ රජයේ සේවකයෝ පමණි.


අප මෙහි සඳහන් කළේ රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක් ගැන පමණි. මෙවැනි තවත් බොහෝ ගණනත් ඇත. රාජ්‍ය සේවකයන් ගණන වැඩි කළා යයි ආණ්ඩුවේ ලොකු ලොක්කෝ නිතර උදම් අනති. ප්‍රමාණය වැඩි වූ පමණින් ගුණය වැඩි වන්නේ නැත. අතෘප්තිමත් සේවකයන්ගෙන් පිරි, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපට හිමි වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙකී සම්පත් හිඟයයි. සම්පත් නාස්තිය ගැන පසුව ලියමි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.