2011-07-14

ජීවිතය කවියකැයි ඇතැම් කවියෝ ලියති. එහෙත්, කවිය ද මාර කවියකි

(2011 ජුලි14, W3Lanka) මේ වනවිට කවිය නිවැරදි මාර්ගයට පැමිණ ඇතැයි සංස්‌කෘතික කටයුතු ඇමැති ටී. බී. ඒකනායක පැවසුවේ අවුරුදු අසූව ඉක්‌මවූ සහ ඊට තදාසන්න වයසේ පසුවන කවි කිවිඳියන් 113 දෙනකුට උපහාර පිදීම සඳහා සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනය මගින් පසුගිය දා කොළඹ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පවත්වන ලද උත්සවයකදී ය.


"පසුගිය වර අපි කවීන්ට යාපනයේ සංචාරයක්‌ සංවිධානය කර දුන්නා. මීළඟට නැගෙනහිර සංචාරයක්‌ සංවිධානය කර තිබෙනවා," යි ඇමතිවරයා පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.


ඇත්තෙන් ම කවියා යනු කවරෙක් ද? කවිය යනු කුමක් ද?


ලේඛකයා දස මීට පසළොස් වසරකට පමණ ඉහතදී 'මරණයේ විජිතය' නමින් කවි පොතක් ලියා පළ කළේ ය. මීට කෙටි කලකට ඉහතදී කවි ලියා පළ කිරීම අතහැර දමන තෙක් පුවත්පත්වලට ද, බුන්දි වැනි වෙබ් අඩවිවලට ද කවි ලියුවේ ය. තමන් කවියකු ය යන අනන්‍යතාව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් ලේඛකයාට තිබිණි.


ලේඛකයා වැනි තවත් කවියෝ විශාල පිරිසක් සමාජයේ සිටිති. පුවත්පත් කවි තීරු, බූන්දි වෙබ් අඩවිය ආදිය පමණක් නොව, ෆේස්බුක් වැනි සමාජ ජාල පවා කවියෝ සිය නිර්මාන එළි දැක්වීම සඳහා අද භාවිතා කරති.


අද සවස 2.30ට ඉසුරු චාමර සෝමවීරගේ 'තාණ්ඩව' ගැන කතා කරන්නට නුගේගොඩ ආට්වේහිදී පැවැත්වෙන කයන්න වියන්න සංවිධානයේ වෙනස් වෙමු විසි වන පියවර ද කවියන්ගේ එකමුතුවකි.


මේ කවියෝ අර සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනය ගැන කිසිත් නො දනිති. ඒ කවියෝ මේ කවියන් ගැන කිසිත් නො දනිති. අප දන්නා කවියෝ ඇතැම් විට තමන් නව පරපුරේ කවීන් යයි හඳුන්වා ගනිති. මේ දෙවර්ගයේ ම කවියෝ තමන් විදග්ධ යයි ද සෙසු අය චූල සම්ප්‍රදායේ කවීන් යයි ද හඳුන්වති. මෙම අනන්‍යතා ප්‍රකාශන දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව ලේඛකයා සිතයි.


කවීන්ගේ සංවිධාන ඇත්තෙන් ම වැදගත් ය. අනන්‍යතා ප්‍රකාශනය අර්බුදයක්ව ඇති මෙසමයේ සිය අනන්‍යතාව සෙස්සනට ප්‍රකාශ කිරීම සඳහා අඩු තරමේ එය තේරුම් ගන්නා සුළු පිරිසක් හෝ ඒකරාශී විය යුතුව තිබේ.


තමන් ලියන කවි කියවන පිරිසක් නොමැති නම් ඇත්තෙන් ම කවියකුට පැවතිය නො හැකි ය. දැන් කාලයේ ඒ සඳහා පත්තරවල කවි පිටු සංස්කාරකවරුන්, 'ප්‍රවීණයන්', විචාරකයන් ආදීන් සමග ළඟ සම්බන්ධයක් තිබිය යුතු ය. නැතිනම් කවීන්ට තමන් මාකට් කර ගැනීම දුෂ්කර වේ.


කවියකු ලෙස මාකට් වීමෙන් ඍජු ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. එහෙත්, දෙස් විදෙස් සංචාර, සාහිත්‍ය උත්සවවලදී සංග්‍රහ, අන් අයට දේශන පැවැත්වීමේ අවස්ථා, වයසට ගිය විට උපහාර, මරණ ගෙදරට බැනර් ආදී වක්‍ර ප්‍රතිලාභ ලැබේ. කෙළින් ම වෙළඳපොළේ අලෙවි වනවා නම් වෙළඳ ප්‍රචාරක සමාගම්වලට පිටපත් ලියන්නට හා යහමින් මුදලක් උපයා ගැනීමට අවස්ථාව ලැබේ. එහිදී දැරිය යුත්තේ තමන් කවි ලියන විටදරන මතවාදයන්ට හාත්පසින් ම වෙනස් දේ ය. දේශපාලනයට සෙට් වන්නට ද බැරි නැත. එහෙත්, කවියන් දේශපාලනයේදී අසාර්ථක බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.


පොත් ලියන සමහරුන්ට තමන් ලියූ අන්තර්ගතයට වඩා වැදගත් වන්නේ පෙරවදන හෝ පසුවදන ලියූ පුද්ගලයෝ ය. කර්තෘගේ වෙනත් කෘති නමින් දිග ලැයිස්තුවක් පොතේ මුල පළ කර ගැනීමට තවත් ඇතැමෙක් ලොල් ය.


ජීවිතය කවියකැයි ඇතැම් කවියෝ ලියති. එහෙත්, කවිය ද මාර කවියකැයි ලේඛකයාට සිතේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2 comments:

  1. සංගීතයෙත් තියෙන්නෙ පොර සංගීතය කියල එකක්
    ඒ පොර සංගීතයට අනුව වික්ටර් කපුගේ අමරදේව මාලනී පොරවල් වන අතර දමිත් අසංක චාමර අජිත් කිංස්ලි බස් ගායකයෝ වෙති..
    ඒ අයට රේඩියෝ වලින් ලැබෙන්නෙත් අර බාතිය සන්තුස් ඉරාජ් වගේ මික්සරයන්ටත් වඩා අඩු තැනක් නමුත් සාමාන්‍ය සමාජය මේ ජනප්‍රිය නවරැල්ලේ මික්සරයන්ටත්
    පොර සංගීතයේ නව මූනුවරවල්වන නදීක,කසුන් වැන්නන්ට කිසිදා ලබාගත නොහැකි මාකට් එකක් තනා දීතියෙනවා..
    මේ ජනප්‍රිය කියන්නෙත් මායාවක් වාගෙ දෙයක්...
    පෙන්නන දේ නෙමෙයි ඇත්ත..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.