2011-08-15

ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය

ආණ්ඩුව ග්‍රීස් යකා ද ජනතා විමුක්ති පෙරමුණට ගැට ගැසීමට දුෂ්ඨ උත්සාහයක යෙදෙයි.  

"ගී‍්‍රස් යකා යන ව්‍යාජ සංකල්පයක් ඔස්සේ කටකතා පතුරුවා රට තුළ නොසන්සුන් බවක් ඇති කිරීමට මූලික වී ඇත්තේ පිරිහීමට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් බවට තොරතුරු අනාවරණය වෙයි. 1988 - 89 යුගයේ කඩදාසි කැබැල්ලකින් කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර පසුව එය භීෂණයක් දක්වා ගෙන යාමට මූලික වී ඇත්තේ ද මේ දේශපාලන ව්‍යාපාරය බව හෙළිව තිබේ." - අද දිනමිණ මුල් පුවතෙන්


ජවිපෙට ප්‍රාදේශීය සභාවක ආසනයක් හෝ දිනා ගත නො හැකි මේ ග්‍රීස් යකුන් සිටින ප්‍රදේශවල ඉතිරි වී සිටින එක් හෝ ජවිපෙ සාමාජිකයකු වේ නම් ඔවුන්ට ජීවිත අනතුරක් ඇති කිරීමට මේ ඔස්සේ ආණ්ඩුව මාන බලන බව පෙනේ. 


ඇත්ත වශයෙන් ම මෙවැනි කතා කියන්නෝ නම් සැබැවින් ම ග්‍රීස් යක්කු ය. මේ ග්‍රීස් යක්කු නිර්මානය කිරීමට දර දිය ඇද්ද ජවිපෙ ද මේ නෙළා ගනිමින් ඉන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි. 


මෙවැනි මුග්ධ සමාජයක් මේ රටේ බිහි වීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පාර්ශ්ව දෙක වන්නේ ජවිපෙ සහ කොටි සංවිධානයයි. සමාජය දේශපාලනික හා සබුද්ධික කරනවා වෙනුවට තමන් පසුපස එන අඥාන, මුග්ධ ජනරාශි බවට පත් කිරීම සඳහා කටයුතු කළ ඔවුහු පටු අරමුණු වෙනුවෙන් දූෂිත පිරිසක් බලයට පත්කිරීම සඳහා මුල් වූ හ.  එම පිරිස විසින් ජවිපෙ හා කොටි සංවිධානය විසින් මුල පුරන ලද කාර්යය උපරිමය වෙත ගෙන යන ලදී. 


අපගේ නිරීක්ෂණ අනුව නම්, දැන් ගම්වල ඉන්න ග්‍රීස් යකුන් හැදෙන්නේ මෙසේ ය.
  • ග්‍රීස් යකුන් ගැන මාධ්‍ය වාර්තා ඇසුරු කිරීම
  • තමන් හෝ පවුලේ අය එයට මුහුණ දුන්නොත් සිදු වන දේ ගැන දිගින් දිගට ම සිතීම
  • පොඩි දේකට බිය වී ඒ බිය පවුලේ අය සමග බෙදා ගැනීම
  • පවුලේ අය බිය අහල පහළ අය සමග ද බෙදා ගැනීම
  • පුංචි, පුංචි දේවල්වලට බිය වී එක්කෝ පසුව ඇත්ත තේරුම් ගැනීම, නැතිනම් ඇත්ත නො දැන ම සිටීම
  • ඇත්ත නො සොයා හෝ සඟවා හෝ එම සිද්ධි ගැන සෙසු අයට කීම
  • ග්‍රීස් යක්කු ගැන පැතිරෙන කටකතාවලට අභිරුචියෙන් සවන් දීම
  • තමන් ද බොහෝ විට නො දැන ම අතින් දමා එම කටකතා පැතිරවීම
  • මෙවැනි දේ බොරු බවට පොලිසිය හා වෙනත් අය කරන පැහැදිලි කිරීම්වලට එරෙහිව කටකතා පදනම් කරගෙන තර්ක කිරීම
  • මෙම සිද්ධි ගැන වාර්තා කරන ජනමාධ්‍යකරුවන් මෙසේ හැසිරෙන මිනිසුන් ම වීම
  • සිද්ධි සම්බන්ධව ජනමාධ්‍ය ගවේශනාත්මකව වාර්තා නො කිරීම
නිදසුනක් ලෙස, ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටුවක් පුරා ග්‍රීස් යකුන් පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විසින් ලියා ඇති දේ කියවා බලන්න.


එහි මෙම ප්‍රශ්නවලට පිළිතුරු නැත.


හපුතලේ ව්ත්තකදී ග්‍රීස් යකුන් ය කියා පහර දී මරා දමන ලද මිනිසුන්ගේ ජීවිත තොරතුරු මොනවාද?


ඒ මිනිසුන් ගැන පවුල්වල අය හා අසල්වැසියන් කියන්නේ මොනවා ද? (එක් තරුණයකුගේ මවක පමණක් කියන දේ ඇය සිය දරුවන් වැරදි කළ බව කියන කොටස ඉස්මතු වන සේ ලංකාදීපයේ ලියා ඇත.)


ඒ මිනිසුන් කළ බව කියන ග්‍රීස් යක්ෂ වැඩ මොනවා ද?


ඒ ග්‍රීස් යක්ෂ වැඩවලින් බියපත් වූ මිනිසුන් කීදෙනෙක් ඉදිරිපත් වී විස්තර පවසනවා ද?


පොලිසිය ඒ අයගෙන් කටඋත්තර ගෙන තිබේ ද?  හරස් ප්‍රශ්න අසා තිබේ ද?


මිනිස්සු වැරදි කරති. අහුමුළුවල හැංගෙමින් කසිප්පු, ගංජා, මත් කුඩු ආදී ජාවාරම් හා සොරකම් ආදිය ද කරති. රෙදි වැල්වලින් රෙදි සොරකම් කිරීම, නාන තැන්වල බලා ඉඳීම ආදී දේ කරන අය ද සිටිති.


එසේ ම, තමන් දෙස යමකු බලා සිටියා ය, මිර්කුවා ය, අතින් ඇද්දා ය කියන ඇතැම් ගැහැනු ද මානසික වශයෙන් නිරෝගී අය නො වෙති. මෙවැනි බොහෝ අය තුළ කෙනෙකුට රාගී හැඟීම් ඇති කර ගන්නට තරම් කාමුකබවක් ද නැත. ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය ඔවුන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නො වීම වන්නට ද පුළුවන.


එසේ ම, මිනිසුන් ජනරාශි හෙවත් මොබ් බවට පත්වීම ද අවධානයට ලක් විය යුතු තත්වයකි.


වර්තමාන සමාජයේ මිනිස්සු දැඩි ලෙස ආත්මාර්ථකාමී, පවුල්වාදී හා සංවිධාන විරෝධී වී ඇත. එහෙත්, ඔවුහු හිටි හැටියේ දැඩි කෝපය පොදු හැඟීම බවට පත් කරගෙන ක්ෂණික ජනරාශි සාදා ගනිති. ඒවායේ නායකයන් බවට බොහෝ වි‍ට පත්වන්නේ දුරාචාරී පුද්ගලයෝ ය. එහෙත්, ඔවුහු ඒ මොහොතේ බොහෝ ජනයාගේ වීරයෝ බවට පත් වෙති. ජනරාශිය හසුරුවන්නෝ බවට ඔවුහු පත් වෙති. මෙම පිරිස් අතර සිටින ඇතැම් අශිෂ්ටන්ට සිය ම්ලේච්ඡ ආශාවන් සපුරා ගැනීමට මේවා අවස්ථා බවට පත් වේ. 


විශේෂයෙන් ම, ජනමාධ්‍ය හා පොලිසිය මෙහෙයවන පුද්ගලයන් බුද්ධිමතුන් නො වීම මෙම තත්වය පාලනය කිරීමෙහි ලා බරපතල ගැටලුවක් වී තිබේ. ග්‍රීස් යකුන් පිළිබඳ සමාජයේ ඇති වී තිබෙන භීතිය තුරන් කරනවා වෙනුවට එය ජවිපෙ මත පටවා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් මහ තැන් විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ සිය තරාතිරම ය.


වෘත්තික නො වන අන්දමින් කටයුතු කරන පොලිසිය හා ආරක්ෂක අංශ ද ඇතැම් අවස්ථාවලදී ජනරාශියක් හෙවත් මොබ් එකක් ලෙස කටයුතු කරයි. 


මෙහිදී බලපාන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභාකරන්ට බියෙන් සිටි සමාජය ප්‍රභාකරන්ගෙන් පසු කාටත් බිය වෙන්නට පුළුවන් යකෙකු සොයමින් සිටියි. මන්ද, බියක් නැතිව ජීවත් වන්නට ඔවුන්ට හුරුවක් නැත.


මෑතදී බ්‍රිතාන්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පීඩිත කළ ජනයාගේ නැගිටීමක් ලෙස හැඳින්වීමට ඇතැම් වාමාංශිකයෝ කැමති ය. ‍එහෙත්, එය ද මෙවැනි ම ජනරාශි ප්‍රචණ්ඩත්වයකි. ආයුධයක් අත ඇතිව සිටියේ යයි කියූ කළු ජාතිකයකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ඉන් පසු එයට එරෙහිව පවත්වන ලද විරෝධතාවකට පොලිසිය වෙඩි තැබුවා ය යන කටකතාව පැතිරීම මෙම ප්‍රචණ්ඩ රැල්ලේ ආරම්භය විය.


ජනමාධ්‍ය මෙතරම් දියුණු යුගයක කටකතාවට මෙතරම් තැනක් ලැබී ඇත්තේ ජනමාධ්‍ය අන්තර්ගතයන් කෙරෙහි ඇති විශ්වාසය කඩ වීම නිසා වන්නට පුළුවන. 


ලංකාවේ ජනයා වැනි පීඩිත ජන කොටසක් වන බ්‍රිතාන්‍යයේ කළු ජනයා ද සිය අසහනය පිට කිරීමට මෙම අවස්ථාව උපයෝගී කර ගත් හ. ලංකාවේ වතුවල පීඩිතයෝ තමන් වැනි ම වූ පීඩිත, අසරණ මිනිසුන් පහර දී මරා දැමූ හ. බ්‍රිතාන්‍යයේ කළු මිනිස්සු කඩ සාප්පු මංකොල්ල කෑ හ. දෙගොල්ලෝ ම පොලිසිට පහර දුන් හ.


මේ ජනරාශි පිටුපස පැහැදිලි දේශපාලනයක් තිබේ. පසුගිය කාලය පුරාවට ම ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික දේශපාලකයන් කළේ සබුද්ධික පුරවැසි සංවිධාන ගොඩනැඟීම නො ව, අදේශපාලනික, අඥාන ජන රාශි මෙහෙයවා ගනිමින් බල ඉලක්ක කරා ගමන් කිරීමයි.
ග්‍රීස් යකකු බවට පත් කර හපුතලේදී  මරා දමන ලද අයකුගේ
දරු පවුලක්


ලෝක පරිමාණයෙන් ම වාමාංශික දේශපාලනය දිය වී යාම ද මෙම තත්වයට හේතු විය. සබුද්ධික පුරවැසි සංවිධානවලට වඩා ජනමාධ්‍ය මත ගොඩනැඟීම් කෙරෙහි විශ්වාසය තැබීමේ ආදීනව දැන් සමාජය භුක්ති විඳිමින් සිටියි.


ජනරාශි මත පදනම්ව දේශපාලනය කළ අය ජනරාශි අතින් ම කුණු බක්කියට තල්ලු වූ අවස්ථා පිළිබඳ බොහෝ නිදසුන් ලෝක ඉතිහාසයේ ඇත.


එහෙත්, මේ ඇතැම් ජනරාශි වීරයන් කරන්නේ ජනරාශිය දුවන අතට ම දිවීම නිසා උන්ට ගහන හෙණයක් නැත. උදාහරණ ලංකාවේ ඕනෑ තරම් තිබේ.


පහත පළ වන්නේ අප විසින් මීට කලකට ඉහතදී ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද කොටසකි. 


2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි.


මෙම තීරණගැනීමේ ක්‍රියාවලිය සංස්කරණය හා ඇගයීම යන අදියර දෙකකින් යුක්ත බව න්‍යායෙන් පැවසෙයි. සංස්කරණයේදී තීරණයේ ප්‍රතිඵල ඇණවුම් කරනු ලබන්නේ යම් ආකාරයක අත්දැකීම් පදනම් කර ගත් විවරණයකින් පසුවයි. විශේෂයෙන්ම, මූලිකව වෙන් කර හඳුනාගත හැකි ප්‍රතිඵල තීරණය කරන අතර එය මතක තබාගෙන පහළ ප්‍රතිඵල හානි ලෙසද, ඉහළ ප්‍රතිඵල වාසි ලෙස ද සලකයි. මිනිසුන් හැසිරෙන්නේ අත්වියහැකි ප්‍රතිඵල හා එයින් ලැබිය හැකි දේ පදනම් කරගෙන වටිනාකමක් හෙවත්උපයෝගිතාවක් ගණනය කරන අයුරින් බවද, අනතුරුව ඔවුන් ඉහළ උපයෝගිතාවක් ඇති විකල්පය තෝරන බවද න්‍යායෙන් පැවසෙයි. පිළිගත් ආර්ථික තාර්කිකත්වය ඔස්සේ තේරුම් ගැනීමට බැරි අවස්ථා පැහැදිලි කිරීමට ආර්ථික විද්‍යාවේදී මෙම න්‍යාය උපකාරී වේ. වාසි, අවාසි සූදුවකදී සිදු විය හැකි ආකාරයෙන් පවතින විට, එම සූදුවෙන් වාසියක් විය හැකිද, පාඩුවක් විය හැකිද යන්න හා ඒ හා සම්බන්ධ වන වටිනාකමේ ප්‍රමාණය අනුව මිනිසුන් අනතුරු දරන්නේද ඒවා ප්‍රතික්ෂේප කරන්නේද යන්න තීරණය වන බව න්‍යායෙන් කියැවේ.


ආර්ථික විද්‍යාව, වානිජ්‍යය, කොටස් වෙළඳපළ වැනි කාරණා පිළිබඳ හොඳින් දන්නා අය පවා සක්විතිලා, දඬුවම් මුදලාලිලා හා කොතලාවලලාගේ ගැටවලට හසු වන්නේ ඇයිද වැනි කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම න්‍යාය මහෝපකාරී වෙයි.


'ඉදිරි දර්ශන න්‍යාය' පිළිබඳ මෙම සංකීර්ණ කරුණු කීපය ඉදිරිපත් කළේ වත්මන් සමාජයේ දක්නට ලැබෙන වැදගත් සංසිද්ධියක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ඒ වනාහි භීතියයි. මිනිසා නිරතුරුවම භීතියෙන් පෙළෙයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය. භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි.


වෙළෙන්දන්, දේශපාලකයන්, ධර්ම ප්‍රචාරකයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාධරයන් වැනි බොහෝ අය මිනිසුන් අතර භීතිකාවන් නිර්මානය කරන අතර, ඒවා තම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපයෝගී කර ගනිති. ඒ සමගම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි මානසික නිර්වින්දක මිනිසුන් අතර බෙදා දෙති. ඒවායින් තාර්කික මිනිසා නිද්‍රාවට පත් කර, බියපත් ආවේගශීලී මිනිසුන් බලමුළුගැන්වීම සඳහා සංවිධාන ගොඩනඟති. ලංකාවේ සමාජයට භීතිය විකිණූ ප්‍රධානම බලවේග දෙක වන්නේ සිංහල හා දෙමළ ජාතික අන්තවාදීහුය. මේ දෙපැත්තම අනෙක් ප්‍රජාවේ සියල්ලන් තම සතුරන් ලෙස සැලකීමට සමාජය පෙළඹවීය. සිංහලයන් කිසි දිනෙක තම දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙනු ඇතිය යන කරුණ දෙමළ ජාතිවාදීන් විසින්ද, දෙමළ ජනයාට සුළු හෝ අවස්ථාවක් දුන්නොත් ඔවුන් රටෙන් පංගුවක් වෙන් කර ගනු ඇතැයි යන බිය සිංහල ජාතිවාදීන් විසින් ද අඛණ්ඩව පෝෂණය කරමින් තිබේ. මෙම දේශපාලන අදහස් ප්‍රචාරණ පද්ධති විසින් සමස්ත සමාජයේම අධ්‍යාපන, සන්නිවේදන ආදී ව්‍යූහයන් ගිල ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලය වන්නේ ජාතික අගතීන්ගෙන් තොරව තාර්කිකව සිතිය හැකි සමාජයන් වෙනුවට බියෙන් මුසපත්ව ආවේගශීලීව හැසිරෙන සමාජයන් මේ රට තුළ බිහි වීමයි. මෙම සමාජයන්ගේ ඇතැම් නායකයෝ පවා තමන් හසු වී සිටින විෂම චක්‍රය පිළිබඳ හාංකවිසියක් ‍නොදැන අවංකව ආවේගශීලීව හැසිරෙති. එහෙත් ඇතැමෙක් මේ සියල්ල කරන්නේ හොඳින් දැනුවත්ව, හිතා බලා සැලසුම් සහගතවයි. භීතියෙන් පැවැත්ම සාදාගත් අයට භීතිය නැති වීම දරාගත නොහැකිය. ඔවුහු නිර්මානශීලී අයුරින් භීතිය ප්‍රතිනිර්මානය කර පවත්වාගෙන යති.


අප විසින් පාදක කර ගන්නා ලද විමසුම වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකට සබඳතා පුරුක

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නමේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

3 comments:

  1. පොලිටිකල් ගාවගන් නැතුව මලපහ කරන්නවත් බෑ කියන බ්ලොග් අතර තවත් එකක්...
    කොහේ හරි බෝවෙන හොරු සහ අසහනන කාරයින්ට දේශපාලන ලේබල් ඇලවීම...ඒක තමයි ලේසිම ඇනලයිසින් මෙතඩ් එක...
    හැමදේම දේශපාලනීකරණය කරගත්තම ලේසියි..
    ටිකක් ජේවීපි..අනිත්ටික යූඇන්පී..තව සුට්ටක් ඉතිරි වෙලා තියෙනවනම් මහින්ද...

    ReplyDelete
  2. @Indi,
    ඔබගේ අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ බත්කඩ ගානේ කන්න ගිය විට ග්‍රීස් යක්කු ගැන ඇසූ ඕපාදූප ද තිබේ. ඉන් එකක කියන්නේ මේ ග්‍රීස් යක්කු හමුදා පුහුණුවක කොටසක් සම්පූර්ණ කරන බවයි. මෙවැනි කියමන් දේශපාලනික ලේබල් ඇලවීම් නො වන ඕපාදූප පමණක් ද?

    අප සොයන්නේ මෙම තත්වය ඇති වීමට හේතු ය. අපේ තර්ක වැරදි නම් ඕබේ ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්න. හුදු නිගමන ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින්න. නිගමනය කිරීම කියවන්නාට භාර දෙන්න.

    ReplyDelete
  3. ඔබේ මතවාදය සමඟ බොහෝ විවේචන ඇති නමුත් මෙම අදහස් දැක්වීමට එකඟ වෙමි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.