2011-08-30

වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු

වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ. 

මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික පිළිවෙතක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ. 

ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි. 

වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති. 

විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය වී ඇති හෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුට වැද්දන් ලෙස රඟපෑමෙන් ජීවනෝපාය සකසා ගත හැකි වී තිබේ. 

එසේ ම, මෙවැනි ආදි වාසී ජන කොට්ඨාසයන්ගේ අනන්‍යතාව රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන හරහා අලෙවි වන දෙයක් බවට ද පත් වී තිබේ. ඒවායෙන් වැඩිපුර ලාභ ගරා ගන්නේ ආදි වාසීහු නො ව, අගනාගරික කොංක්‍රීට් වනාන්තරවල මධ්‍යම පංතික කුහකයෝ ය. මෙවැනි ජන කොට්ඨාසයන්ගේ සංස්කෘතික උරුමයන් විකුණා කා උදර පෝෂණය කරන ඔවුහු මෙවැනි මිනිස් ජීවීන් නවීන වීම වැළැක්වීම පිණිස න්‍යාය ගොඩනඟති. 

මෙම තත්වය වැදි ජනයා මෙරට අනෙකුත් ජනයා සමග ස්වීකරණය වීමට හා වඩා සුව පහසු යයි සැලකෙන ජීවන තත්වයන් අත් පත් කර ගැනීමට බාධාකාරී වී තිබේ. තමන් නිරාවරණය වී තිබෙන පාරිභෝගික සමාජයේ සංකීර්ණත්වය හමුවේ වැදි මිනිස්සු ක්ෂතියට (trauma) පත් ව සිටිති. 

මෙයින් අවසාන වශයෙන් සිදු වන්නේ වැද්දන් නවීන මිනිසුනුත් නො වන, වැද්දනුත් නො වන දිළිඳු, නූගත් මිනිස් කසල විශේෂයක් බවට පත් වීමයි. 

සංස්කෘතික අනන්‍යතාව හා උරුමයන් මනා ලෙස සංරක්ෂණය හා ප්‍රදර්ශනය සඳහා පුහුණු කරන ලද බුද්ධිමත් වැදි පිරිසකට එම කාර්යය භාර දී සෙසු වැදි මිනිසුන්ට පොදු සමාජය හා ස්වීකරණය වීමට අනුග්‍රහය ලබා දීම මෙවැනි කුඩා සුළුතර ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ඒ සමාජයන්ට ගත හැකි හොඳ ම තීරණය බව අපේ අදහසයි.

ආදර්ශ වැදි 'ගම්මාන', කටුගෙවල්, සංස්කෘතික මධ්‍යස්ථාන, වැදි ජන උරුම සංරක්ෂණ පුහුණු පාසල් ආදිය පිහිටුවීම හරහා මෙම උරුමයන්, උරුමයන් ලෙස ආරක්ෂා කර ගත හැකි වනු ඇත. එය වැදි සමාජයේ ඉදිරි ගමන සඳහා බාධාවක් නො විය යුතු ය. 

අහිගුණ්ඨික, රොඩී වැනි වෙනත් 'නොදියුණු' (අරුත සාපේක්ෂ ය)  සුළුතර ජන කොට්ඨාසයන් සම්බන්ධයෙන් ද මෙම තත්වය පොදු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. වැදි හූරා ගංජා පොජ්ජක් වත් කොටාබාල උන්නද මංද?

    ReplyDelete
  2. ඌ ඊතලෙන් විදිනව.. ඊතල නැති නිසා අපේ උන් හොම්බට දීල අදිනව. නැත්නම් පොලිස් පාට් දානවා. නැත්නම් වී අයි පී පාට් දානවා. නැත්නම් අඳුනන එකෙක් එක්ක යනව. එහෙම නැත්නම් සික්කට ජරාවක් දීල යනව.. කොහොම ගියත් එකයි.. හැම එකාම කරන්නේ මිලෙච්ඡ වැඩ.. කැත වැඩ..

    ReplyDelete
  3. මේ වෙල්ගම ලා ගේ දිවයිනේ නිව්ස් එක ගිය හැටි..
    "මහනුවර මහ රෝහලේ
    ආදිවාසියාගේ ගමන වැළැකුවැයි
    ආරක්‍ෂකයකුට ඊතල ප්‍රහාරයක්‌"
    http://www.divaina.com/2011/08/30/news22.html

    මේ JVP ලංකා ටෲත් වෙබ් අඩවියේ මේ නිව්ස් එක ගිය හැටි..
    "වැද්දා විද්ද හීයෙන් වැද්දගන්න බෑ කී සික්කා රෝහලේලු"
    http://www.lankatruth.com/sin/index.php/news/local-news/12403-2011-08-29-14-47-59

    ReplyDelete
  4. *****වැදි මිනිසකු "විසින්" මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට *******

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.