2011-09-15

ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?

ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි.


රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ. 


මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? 


ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට ‍තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි. 


එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත. 


ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බැරි ඇයි ද යන්න විමසා බැලිය යුතු ගැටලුවකි. 


පාසල් අධ්‍යාපනය පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනවේදීන් නැති වීමයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා වැඩි දෙනා අධ්‍යාපනවේදීන් නො වන දුර්වල පරිපාලකයෝ පිරිසකි. ඔවුන් අධ්‍යාපනය කියා බලාපොරොත්තු වන්නේ විදුහල්පතිවරුන් හා ළමයින් ලවා පාසල් හා පංති කාමරවල භෞතික සංවර්ධනයක් මවා පෑමයි. 


වටෙන් හිරිකඩ වදින, දූවිලි පිරි, පැරණි තාලයේ ලංකාවේ පංති කාමර මොඩ් කිරීම සඳහා ඔවුන් කරන්නේ හතර වටේ රූප එල්ලීමයි. ලංකාවේ අඩු පහසුතම් සහිත පාසල්වල පංති බහුතරයක් තවමත් පැවැත්වෙන්නේ පංති කාමර වෙන් නො කරන ලද ශාලාවල ය.‍ බොහෝ විට එම පොදු ශාලාවට හෝ වසා තැබිය හැකි දොරක් නැත. මේ ශාලා රාත්‍රී කාලයේදී මත් ‍ලෝලීන්ගේ, සල්ලාලයන්ගේ හා දඩාවතේ යන බල්ලන්, හරකුන් ආදීන්ගේ පාරාදීස වේ.


අධ්‍යාපනය ගුණාත්මකව නැංවීම සඳහා හොඳ විදුහල්පති භූමිකාවක් අවශ්‍ය ය. එහෙත්, අද සිටින විදුහල්පතිවරුන් වැඩි දෙනෙක් දන්නේ නිලධාරීන් හා දේශපාලකයන් පස්සේ යාම මිස ගුරුවරුන්ට ඉගැන්වීමේ කාර්යයේ ලා මග පෙන්වීම නොවේ. 


අද වන විට ගුරු වෘත්තිය වනාහි එක්කෝ වෙනත් කිසිවකට නුසුදුසු අය කරන රස්සාවකි. නැතිනම්, පූර්ණ කාලීනව ටියුෂන් කරන අයගේ අමතර රැකියාවකි. 


දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරති.  අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙනි. 


අධ්‍යාපන ඇමති සිතන්නේ තව පාසල් ටිකක් ජනප්‍රිය පාසල් බවට ප් කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි ය කියා ය. ඒ සඳහා දැන් ඔහු පාසල් රැසක 'ඉසුරු' පාසල් යයි නාම පුවරු එල්ලා ඇත. මේ පාසල් බොහොමයක කලින් ඇමතිවරු එල්ලූ 'නවෝද්‍යා' ආදී වෙනත් නාම පුවරු ද තිබේ. ඒ නවෝද්‍යා පාසල්වලට ලැබී තිබුණු එක ම දෙය වන ඔර්ලෝසුව ද වැඩ කරන්නේ නැත. 


ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට නම් සැබෑ අධ්‍යාපනවේදීන් පිරිසක් අධ්‍යාපන නියාමනය භාර ගත යුතු ය. එහෙත්, එය පහසු නැත. මන්ද, දැන් අධ්‍යාපනය නියාමනය කරන්නෝ වනාහි ටියුෂන් මුදලාලිලා, ආදිශිෂ්‍ය සංගම්වල සිටින ව්‍යාපාරිකයෝ හා දේශපාලකයෝ ය. ඇත්තෙන් ම ගතහොත් පාසල් අධ්‍යාපනයේ නියාමනයක් නැත. එහෙත්, ඇමතිවරු හා නිලධාරීහු සිටිති. 


අධ්‍යාපනය නංවන්නට අවශ්‍ය නම්, ජනප්‍රියත්වය පසුපස දිවීම පසෙක ලා ගමේ පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට කොන්ද පණ ඇති අධ්‍යාපනවේදියකුගේ නායකත්වය පද්ධතියට අවශ්‍ය ය. 


දෙමව්පියන් ගමේ දරුවා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගමේ පාසලට සතුටින් කැටුව යන දිනයක් උදා කළ හැකි නම් එදාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය වනු දැකිය හැකි වනු ඇත. 


මන්ද, අද පවතින ඊනියා ජනප්‍රිය පාසල් සඳහා වූ තරගය අධ්‍යාපනයේ ප්‍රධානතම ගැටලුවක් වන බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

No comments:

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.