2011-10-18

මාළුන්ගේ අපේ දේශ සීමා ප්‍රශ්න හා මහින්ද රාජපක්ෂ / Sri Lanka President, fish and borders

“ධීවර ප්‍රශ්නය ගැන ජනාධිපති හැටියට නොව පෞද්ගලිකව මතය කියන්න කැමැතියි. මම මේ මතයේ දිගටම හිටියා. තාමත් ඉන්නවා. මාළුවාට දේශ සීමා නැහැ. ධීවරයාටත් එහෙමමයි. මාළුවා පීනාගෙන යනවා. ධීවරයාත් ඒ පසුපස යනවා. ඒ නිසා මෙයට එකම විසඳුම ධීවරයන් එක්වී සාකච්ඡා කිරීමයි.”


ජනාධිපතිතුමා විසින් පසුගියදා පළ කරන ලද මෙම මතය ඉතා ප්‍රගතිශීලී එකකි. විශේෂයෙන් ම උතුරු මුහුදේ ලාංකීය ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් සම්බන්ධ කාරණයේදී මෙම කරුණ විශේෂයෙන් අදාළ ය.


පාරම්පරිකව මොවුහු ධීවර කර්මාන්තයේ යෙදුණේ ‍එක ම මුහුදක ය. මුහුදේ දේශ සීමා දිය පිට ඇඳි ඉරි ය. ඒවා දන්නේ නවීන උපකරණ පාවිච්චි කරන නාවික හමුදා ය. 


1970 දශකයේදී ඉන්දීය රජය විසින් ලංකාවට භාර දෙන ලද කච්චතිවු දූපත දෙරටේ ම ධීවරයන් විසින් දැල් වේලා ගැනීම, විවේක ගැනීම හා ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ එකකි. දූපත පවරා දීමේ ගිවිසුමේ ම මේ කාර්යයන් දූපතට අදාළව දෙරටේ ධීවර හිමිකම් ලෙස පිළි ගන්නා ලදී. 


දේශ සීමා ගැන කිසිත් නො දත් මාළුවා පසුපස හඹා යන ධීවරයා ගැන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය විවේචනය කරන ඇතැමුන් කියන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි ප්‍රකාශයක් බවයි. 


අප මෙහිදී සාකච්ඡා කරන්නේ ධීවර ප්‍රශ්නය නො ව, දේශ සීමා ප්‍රශ්නයයි. දේශ සීමා යනු බල්ලන් වැනි සතුන් සිය වාස භූමි සීමා සලකුණු කර ගන්නා ජෛව විද්‍යාත්මක ආකාරයට සමාන ස්වාභාවික ප්‍රපංචයක් නො වේ. ඒ වනාහි මිනිසා අතිරික්ත ශ්‍රමය අයිති කර ගැනීම සඳහා සෙසු මිනිසුන්ට එරෙහිව මර්දනය මුදා හැරීම සඳහා නිර්මානය කර ගත් පාලන සංකල්පවල දියුණු යයි කියන අවධියකදී රාජ්‍ය ගොඩනඟා ගැනීමෙන් පසු සකසා ගන්නා ලද දෙයකි. 


එදා මෙදාතුර ඉතිහාසය පුරා ම දේශ සීමා ඝනීභූතව එක ම ආකාරයට තිබුණේ නැත. ඉතිහාසය පුරා දේශ සීමා ද චලනය වී තිබේ. එසේ වූයේ පැරණි රාජ්‍ය මැකී යමින් අලුත් රාජ්‍ය බිහි වෙමිනි. නිදසුනක් ලෙස බෞද්ධ ඉතිහාසය හදාරන කවුරුත් දන්නා බුද්ධ කාලයේ තිබුණු සොළොස් මහ රාජ්‍ය දැන් නැත. බැබිලෝනියාව, මෙසපොටේමියාව පමණක් නො ව, වඩා මෑත ඉතිහාසයේ දක්නට ලැබුණු පර්සියාව, ප්‍රසියාව වැනි රාජ්‍ය ද නැත. 


1976 නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වුණ අවස්ථාවේදී යුගොස්ලාවියාව නම් රාජ්‍යයක නායකයා ලෙස මාෂල් ටිටෝ ලංකාවට පැමිණියේ ය. දැන් යුගෝස්ලාවියාව කියා රාජ්‍යයක් ලෝකයේ නැත. ලංකාවේ මිනිසුන් ආදරය කළ රතු පොත් අපේ රටට එවූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවක් ද දැන් නැත. 


ඉතා ම මෑතදී දකුණු සුඩානය නම් නව රාජ්‍යයක් බිහි විය. 1990 සිට මේ දක්වා ලෝකයේ නව රාජ්‍ය 34ක් බිහි වී තිබේ. 


ලැයිස්තුව මෙසේ ය: ආර්මේනියා, අසර්බයිජාන්, බෙලරුස්, එස්තෝනියා, ජෝර්ජියා, කසක්ස්ථාන්, කිර්ගිස්ථාන්, ලැට්වියා, ලිතුවේනියා, මොල්ඩෝවා, රුසියා, තජිකිස්තාන්, තුර්ක්මෙනිස්තාන්, යුක්රේන් ලෙස පැරණි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව කැඩී බිඳී ගියේ ය. 


පැරණි යුගෝස්ලාවියාව බොස්නියා හා හර්සගොවීනා, ක්‍රොඒෂියා, මැසිඩෝනියා, සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ, ස්ලෝවේනියා ලෙස විසිරී ගියේ ය. සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ ද පසුව රාජ්‍ය දෙකක් බවට පත් විය. 


චෙකොස්ලෝවෙකියාව චෙක් රාජ්‍යය හා ස්ලෝවෙකියාව ලෙස වෙන් විය. 


නැමීබියාව දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබී ය. මාෂල් දූපත්, මයික්‍රොනේසියාව (කැරොලින් දූපත්) හා පලවු දූපත් එක්සත් ජනපදයෙන් නිදහස ලැබූ හ. 


එරිත්‍රියාව ඉතියෝපියාවෙන් ද, නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් ද, කොසොවෝ සර්බියාවෙන් ද, දකුණු සුඩානය සුඩානයෙන් ද වෙන් විය.  


මේ අතර රටවල් එකතු වී නව රාජ්‍ය ද හැදිණි. උතුරු හා දකුණු යේමනයන් හා නැගෙනහිර හා බටහිර ජර්මනි මෙසේ එක් වී බිහි වූ නව රාජ්‍යයෝ ය. 


මේ දේශ සීමා වෙනස් වීම් අධ්‍යයනය කර බලන විට පැහැදිලි වන කාරණයක් වන්නේ එසේ සිදු වී ඇත්තේ ජන විකසනයේ අවශ්‍යතාවන් මත බවයි. ජාතීන් ලෙස අනන්‍යතා ගොඩ නඟා ගත් ප්‍රජාවෝ හැමදාමත් ජාතික රාජ්‍ය ගොඩනඟා ගන්නට උත්සාහ කළ හ. 


බලවත් රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර දේශපාලන බල අවශ්‍යතා මේ පසුපස තිබුණු මුත් ඒවා මේ දේශ සීමා වෙනස් වීම්වලට උත්ප්‍රේරක වුණා මිස එයට එක ම හේතුව වූයේ නැත. 


එහෙම වුණා නම්, සිංහල ජාතිකවාදීන් සිතන අන්දමට ලෝකයේ සියලු රටවල්වලට (චීනය හා අලුතින් ම වියටිනාමය හැර) ලංකාව බෙදන්නට උවමනා වී තිබියදීත් එසේ නො වී තිබෙන්නට හැකියාවක් නැත. 


ලංකාවේ දෙමළ ජනතාව විසින් ගොඩ නඟා පෝෂණය කරන ලද හා පසුව ඔවුන්ගේ නො නිල පාලන ව්‍යූහයක් බවට පරිණාමය වූ කොටි සංවිධානය විසින් ද දියත් කරනු ලැබුවේ නව රාජ්‍ය ගොඩනැඟීමේ ව්‍යාපෘතියකි. එහෙත්, අවශ්‍ය අදියරේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගොඩනඟා ගැනීමට අසමත් වීම නිසා එම අරගලය අසාර්ථක විය. 


යුද්ධයෙන් නිල රාජ්‍ය බලය හිමි සිංහල පාර්ශ්වය ජය ගත්තේ ය. යුද්ධය නිමා වී දැන් ‍වසර දෙකහමාරකි. එහෙත්, ගැටුණු ජන වර්ගයන් අතර සාමය හා සංහිඳියාව ඇති වී නැත. 


එසේ වීමට‍ හේතුව වන්නේ, සිංහල නායකයන් තවමත් පැරණි සිංහල ආධිපත්‍යයික රාජ්‍යයට ම දෙමළ ඇතුළු සුළුතර ජනයා යටත් කර ගැනීමට උත්සාහ කිරීමයි. දෙමළ ඊලාම් රාජ්‍ය අරගලය අසාර්ථක වීමට හේතු වූයේ ජාතික අන්තවාදය නිසා නම්, සිංහල ආධිපත්‍යයික ශ්‍රී ලාංකික රාජ්‍යය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ම ය. සිංහල ආධිපත්‍යයික රාජ්‍යය ද අසාර්ථක වන්නේ ජාතික අන්තවාදය නිසා ය. එහි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අසාර්ථක වීමේ අදියර හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගමන් කරමින් සිටියි. 


ලංකාවේ දේශ සීමා වෙනස් වීමට ඇති නැඹුරුව පාලනය කර ගත හැක්කේ සුළුතර ප්‍රජාවන් රාජ්‍යයට අනුකලනය කර ගත හැකි රාජ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමකින් පමණි. ඒ වනාහි සිංහල රාජ්‍යය රැක ගැනීමේ ව්‍යාපෘතියක් නො ව, ලාංකික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමේ ව්‍යයාමයකි. 


මාළුන්ගේ ප්‍රශ්න තේරෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නයත් තේරිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. අනිවා ඩෙෆා ... අපේ ගමේ කට්ටිය එකතුවෙලා අලුත් රටක් ඉල්ලන්න හිතාගෙන ඉන්නේ .....

    ReplyDelete
  2. ඒකත් නොතේරෙනව නෙවෙයි. ඒත් ඒකට ඉල්ලුමක් නෑ. ඒක නිසා බලය රැකගන්න සුදුසු ව්‍යාපාරයක් ‍වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. කයි වගේ පොරි හැලෙන්න...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.