2011-11-16

ධනේශ්වර උසාවි සමග සමාජවාදීන්ගේ ගනුදෙනු හා විජේවීර ඝාතනය


'විජේවීර සහෝදරයා වෙනුවෙන් ධනේෂවර උසාවියක් තුල යුක්තිය යදින්නට යෝජනා කරන අන්දමේ දැක්මක් සහිත වාමාංශිකයෙක්ද ඔබ?' 


මේ අප පළ කළ විහාරමහාදේවි, සුගතදාස, විජේවීර හා තවත් අය නම් ලිපිය පිළිබඳ අදහස් පළ කළ අයෙකු අපෙන් ඇසූ පැනයකි.


අප එම පැනයට දුන් පිළිතුර මෙසේ ය: 


විජේවීර සහෝදරයා මරා දැමූ ආකාරය යුද අපරාධයකි. බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. එයට එරෙහිව නිහඬව සිට දැන් අපි ධනේශ්වර ආයතනවලින් යුක්තිය ඉල්ලන්නේ නැහැයි කීම විහිළුවකි. දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉල්ලන්නේ ද, එම ලියාපදිංචිය මත පදනම්ව අයිතිය පිළිබඳ රණ්ඩු වන්නේ ද ධනේශ්වර නීතිය මත ය. ධනවාදය තුළ යුක්තිය නො ලැබේ ය යන පදනමින් සියලු උද්ඝෝෂණ නවත්වනවා නම් කරන්නට කිසිදු දෙයක් ඉතිරි නො වනු ඇත.


ජවිපෙ ජාතීන්ගේ ප්‍රශ්නයේදී දෙමළ අරගලය ප්‍රතික්ෂේප කිරීම සඳහා උපයෝගී කර ගත්තේ ද සමාන තර්කනයකි. එනම්, ජාතීන් අතර පූර්ණ සමානාත්මතාව තහවුරු කළ හැක්කේ සමාජවාදය තුළ පමණි යන තර්කයයි. ඒ අනුව, දෙමළ ජනයා සිය ජාතික හිමිකම් දිනා ගැනීමට සමාජවාදය ගොඩනැ‍ඟෙන තුරු  බලා සිටිය යුතු විය. එහෙත්, ජවිපෙ දෙමළ අරගලය මර්දනය කිරීම සඳහා ධනේශ්වර ආණ්ඩුවට පූර්ණව සහාය ලබා දුන්නේ ය. එ‍හිදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයේ සිර වී සිටි අවතැන් වූ ජනයාට බර අවිවලින් පහර දෙන ලෙස ඉල්ලා සිටීමට තරම් ජවිපෙ කෲර විය. 


අප සංවාදයට ලක් කිරීමට අදහස් කරන්නේ ධනවාදය, ධනවාදී රාජ්‍යය හා ධනේශ්වර ආයතන සමග සමාජවාදීන් කටයුතු කළ යුත්තේ කෙලෙස ද යන්නයි. 


සමාජවාදය යනු යම් පරමාදර්ශයකි. ධනවාදයට ද පරමාදර්ශී අර්ථ තිබෙන මුත්, ස්පර්ශී, ප්‍රායෝගික ධනවාදී භාවිතාවක් සමාජයේ ඇත. එය යථාර්ථයකි. අපගේ අරගලය තිබෙන්නේ යථාර්ථය සමග ය. පරමාදර්ශ යනු එහිදී අපට මග පෙන්වන මනෝමය ඉලක්කයකි. 


හෙට දවසේ අප ගොඩ නඟන්නට බලාපොරොත්තු වන වෙනස අප අපගේ භාවිතාවන් තුළ අද සිට ම ක්‍රියාත්මක කළ යුතු ය. 


යුද්ධයකදී සතුරා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය, යුද නීති, මානව හිමිකම්, ආචාර ධර්ම ආදිය පිළිබඳ සමාජවාදීන් තුළ යම් පරමාදර්ශයන් තිබිය යුතු ය. ඒ වනාහි සමාජය සංවර්ධනය වෙද්දී යුගයෙන් යුගය ජනයා විසින් ගොඩනඟා ගන්නා ලද පද්ධතීන් සාධනීය ලෙස ඉදිරියට ‍ගෙන යන ආකාරයන් මිස සියල්ල සුණු විසුණු කර අලුතින් හැදීමක් විය යුතු නැත. 


ලිබරල් ධනවාදය විසින් ඉහත කී කරුණු අරභයා ගොඩනඟන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය වැනි ඇතැම් පරමාදර්ශී සම්මුතීන් විශිෂ්ට ඒවා ය. අද වන විට තමන්ගේ ම පරමාදර්ශයන් ආරක්ෂා කිරීම තමන්ට ම ගැටලුවක් වීම ධනවාදයේ අර්බුදයේ පැතිකඩකි. මෙහිදී සමාජවාදීන්ට ඇත්තේ ඒවා සාධනීය ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමේ කාර්යයකි. 


විජේවීර ඝාතනය හා සම්බන්ධව මෙම කරුණ විමසනවා නම් එය මෙසේ විය යුතු ය. විජේවීර ඝාතනය පිළිබඳ පවත්නා රාමුව තුළ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම කළ යුත්තේ යුක්තිය බලාපොරොත්තුවෙන් ම නො වේ. එහෙත්, අරගල නතර නො කළ යුතු ය. (විජේවීර ඝාතනයේ ඉන්ද්‍රානන්ද සිල්වා සතු ඇසින් දුටු සාක්කි යනු දිවයින මුදලාලිට රිවිර පත්තරය සමග තරග කිරීම සඳහා උපයෝගී කර ගත හැකි ප්‍රචාරක උපකරණ බවට පත් නො කළ යුතු ය.)


මෙහිදී ජවිපෙ මුහුණ දෙන ගැටලුව වන්නේ 1987-89 සමයේ ජවිපෙ ක්‍රියාකාරිත්වය විසින් මතු කරන ලද ගැටලු ද මේ සමග මතුපිට තලයට පැමිණීමයි. එහිදී ඇතැම් විට යම් පුද්ගලයන් අපහසුවට ලක් වන්නට ඉඩ තිබේ. එහෙත්, පුද්ගලයන් වෙනුවෙන් සත්‍යය බිලි දිය යුතු නැත. 


අපට නිවැරදි විය හැක්කේ අපේ වැරදි ගැන සාකච්ඡා කිරීම ඔස්සේ පමණි. 


 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2 comments:

  1. JVP went to courts against the 1982 referendum!

    -KK

    ReplyDelete
  2. ajih mokakda oba,
    'ගොඩ නඟන්නට බලාපොරොත්තු වන වෙනස' ?
    obe pera lipiyaka thibuna oba wamanshikayekuth nowana bawa. pahadili karoth hondai neda ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.