2011-11-26

මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය

2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ය. පසු අවස්ථාවක ඒ පිළිබඳ ලියමි.


එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය ගොඩගේ සාහිත්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර කරන ලද නවකතාවකි. ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය.


එවැනි මානයක් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට ලක්ෂණ එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' නවකතාවේ නො තිබිණි.


එය ඔහුගේ තුන් ඈඳුතු නවකතා වන බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති වැනි නවකතා සමග එක පෙළට තැබිය හැකි නවකතාවක් නොවේ. එහි බොහෝ චරිත පැතලි ය. වැඩිපුර ම විවරණය වන සමදරාගේ චරිතය පවා අබ්බගාත ය. නිදසුනක් ලෙස මනෝ විශ්ලේශනය කෙරෙහි මහත් අවධානයක් යොමු කරන එරික් ඉලයප්ආරච්චිට සමදරාගේ චරිතය ගොඩනඟීමේදී අතුරුදහන් වී මළගිය ප්‍රාණකරුවකු බවට පත් වන  ඇගේ පියා හා ඇය අතර ඇති සම්බන්ධයේ කිසිදු ගැඹුරක් ස්පර්ශ වන්නේ නැත.


අප මෙහි උත්සාහ කරන්නේ එහි වස්තු විෂය විසින් මතු කරන කරුණු අරභයා යම් සංවාදයක් මතු කර ගැනීමටයි. මන්ද, කලා කෘතියක් සම්බන්ධයෙන් මේ රටේ සිදු නො වන ම හා සිදු විය යුතු ම දෙය එය වන බැවිනි.  එරික් ඉලයප්පාරච්චි සිළුමිණ පත්තරය සමග කරන මාකට් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියයි. 



’ලලිත සමය’ හරහා ඔබ සමාජයට ගෙන එන්නට උත්සාහ කළ පණිවුඩය කුමක්ද?

මේ කෘතියෙන් නියෝජනය වෙන්නේ අපි මේ ගෙවන ඓතිහාසික යුගයයි. සිංහල ජන මනස විපරිත වීම, තමයි මෙහි මූලිකම තේමාව වෙන්නේ. පසුගිය දශක කිහිපයේ අපි පහළ මට්ටමකට වැටුණා. විනෝදාත්මක කර්මාන්තවල බොහෝ දේ සිදුවෙන්න පටන් ගත්තා. ලෝකයේ වෙනත් රටවල ලබාගන්නා කලාත්මක ජයග්‍රහණ පවා අන්ධව වැලඳගන්නට හුරුවුණා. පුරාතන සාහිත්‍යය, නූතන සාහිත්‍යය ගත්තත් රසවාදී උසස් මට්ටමක සිටි අප පොල්කුඩු කන තත්ත්වයට වැටුණා. මීවදවල සිට පොල්කුඩු රැලි දක්වා වෙච්ච සංක්‍රමණය විශ්ලේෂණාත්මකව නවකතාව තුළ තිබෙනවා.



ලලිත සමය ඊට වඩා ගැඹුරු සාහිත්‍යමය පරිකල්පනයකැයි අපි පළමුකොට ම උපකල්පනය කරන්නෙමු. ලලිත සමය යනු එරික් ඉලයප්ආරච්චිගේ සංගීතය හා කලාව ගැන කියවීම්, විශ්ලේෂණ, පරමාදර්ශ හා පරිකල්පන ඔස්සේ ගොඩනඟන ලද කතාවකි. එහි විවිධ චරිත නම් ඔහු ම ය.


දීප්ත එරික්ගේ රැඩිකල් මුහුණයි. සත්‍යාපෝල් එහි යථාර්ථවාදී මානුෂවාදියායි. මාස්ටර් නම් මහා සංගීත පෞරුෂය වනාහි ඔහුගේ පරමාදර්ශයයි.


මාස්ටර් යනු අස්පර්ශ චරිතයකි. එසේ ම සංගීතය හෝ වඩා පුළුල්ව ගතහොත් කලාව පිළිබඳ එරික්ගේ පරමාදර්ශය ද අස්පර්ශ එකකි. කොටින් ම කිවහොත් ඒ කුමක්දැයි ඔහු ම නො දනී. එහෙයින් ඔහු සිය දැක්ම, පරමාදර්ශය සංවාද තලයකට ගෙන ඒම සඳහා මාස්ටර්වාදී අන්තවාදියකු නිර්මානය කරයි. ඒ දීප්ත ය. 


ධනවත් මානුෂවාදී අර්ථපතියකු වන සත්‍යාපෝල් පරමාදර්ශ හා ඒවා සාධනය කිරීම සඳහා අරගලය මහපොළවට ගෙන එන යථාර්ථවාදියාගේ භූමිකාව නිරූපණය කරයි.


සත්‍යාපෝල් මහ මුහුද හා නැව් ආශ්‍රිත ව්‍යාපාර හිමි, යුරෝපය බලා යන නීති විරෝධී සංක්‍රමණිකයන් විෂයෙහි මානුෂවාදී‍ලෙස කටයුතු කරන, ඒ ඔස්සේ ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් සැබෑ විප්ලවීය දේශපාලනික අරගලයක් කරන සටන්කරුවෙකි. එසේ ම, ලිංගිකත්වය හා අදාල පුද්ගල නිදහස වෙනුවෙන් සටන් කරන්නෙකි. සියල්ලට ම වඩා ගාන්ධි කීවාක් මෙන්, තමන් බලාපොරොත්තු වන සමාජ වෙනස තමන් තුළ ජීවත් කරවන කෙනෙකි. (ලංකාවේ ගාන්ධිවාදීන් තුළ මෙය ගෑවිලාවත් නැති නිසා මාක්ස්වාදීන්ට හිරිකිතයකින් තොරව භාවිතා කිරීමට පුළුවන)


ඔහු ඇසුරේ සිටින ඩග්ලස් වැනි ප්‍රවීණ බුර්ෂුවා පංතික සංගීතකරුවෝ ද, දීප්ත වැනි රැඩිකල් සංස්කෘතික දේශපාලන සටන්කරුවෝ ද, සංගීතා වැනි අංකුර කලාකරුවෝ ද යන මේ කවුරුත් යුරෝපය සිය මාලිමාවේ උතුර ලෙස සලකා‍ ගමන් කරමින් සිට අවසානයේදී එකී උතුරට ම ජීවිතය සොයා යන්නෝ ය.


ලංකාවේ බහුතර ජනයා අයත් වන සමාජ පංතිය වෙමින් මේ වන විට දේශපාලන හා සංස්කෘතික බලය ද අත් පත් කරගෙන සිටින සිංහල ගැමි මධ්‍යම පංතියට අයත් සමදරා නම් ස්ත්‍රී ශරීරය හෙවත් කටහඬ ලලිත සමය කතාවේ කේන්ද්‍රීය චරිතයයි. සමදරා වනාහි මාස්ටර්ගේ, දීප්තගේ, ඩග්ලස්ගේ සංගීත සිහිනවල උපයෝගී භාණ්ඩයකි. පරමාදර්ශවාදී පිරිමි සංස්කෘතික දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ ලා හුදු උපයෝගී භාණ්ඩයක් පමණක් වී සිටින සමදරා 'මට කියලා නිදහසක් නැද්ද?' කියා අසන නිමේෂය ලලිත සමයේ කූටප්‍රාප්තියයි.


දීප්ත‍ගේ සංස්කෘතික දේශපාලන සිහිනය හා මාස්ටර් පරමාදර්ශය සුණුවිසුණු කර දමන  එකී ප්‍රකාශය සමග සත්‍යාපෝල්ගේ යථාර්ථවාදී දේශපාලන අරගලය හමුවේ ධනවාදයේ පරිවාරයේ සංස්කෘතික දේශපාලන අරගල මුළුමනින් ම නිස්සාර දේ බව ප්‍රකාශ කර දමයි. දීප්ත නම් සංස්කෘතික සටන්කරුවා අපට අවසානයේදී හමු වන්නේ සිහින රුසියාවේ සීතලේ මියැදෙන අසරණ නීති විරෝධී සංත්‍රමණික ශ්‍රමිකයකු ලෙස ය. ධනවාදයේ පරිවාරයේ රටවල පීඩිත පංතියේ අරගලය ඇත්තේ සංස්කෘතික තලයේ නොව ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් කරන දේශපාලන සටන තුළ බව එරික් ඉලයප්ආරච්චි අපට පවසයි. 


ධනවාදයේ පරිවාරයේ ජාතික රාජ්‍යවල දුබල හෝ නො පවතින බුර්ෂුවා පංතියක සෙවණ සොයමින් සිටින ඩග්ලස් ද අවසානයේදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත. වෙනස ඔහු එහි ගොස් ඇත්තේ නීත්‍යනුකූලව වීම පමණි. එහෙත්, දීප්තගේත්, ඔහුගේත් අරමුණ එක ය. ලංකාවේ ජනප්‍රියවාදී සංගීත නවරැල්ලක නිර්මාතෘ වන රූකාන්ත ගුණතිලක ඇමරිකාවට ගොස් පල්ලියක ඕගන් ගහයි. නො කීවාට, සමහර විට ඔහු ෂෙඩ් එකක පෙට්‍රල් ගහන්න ද ඇත.


දීප්ත එරික්ගේ ලෝකයේ පරිකල්පිත දීප්ති කුමාර ගුනරත්න කෙනෙකි. ලංකාවේ රැඩිකල් සංස්කෘතික දේශපාලනයේ නියමුවකු වන දීප්ති කුමාර ගුනරත්නට අත් වූ ඉරණම ද දීප්තගේ ඉරනම ම ය. ඔහුගේ එක්ස් කණ්ඩායම දෙදරා දමන ස්ත්‍රීවාදී හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව දීප්ත ඉදිරියේ සමදරාගේ නැගිටීම වැනි එකකි. දීප්ති කුමාර ගුනරත්න එක්සත් ජාතික පක්ෂයේ ඉඳුල් කන්නට පටන් ගැනීම දීප්තගේ රුසියානු දිනපොතට සමාන ය. ඔහුගේ ඊනියා පෙරටුගාමී පක්ෂය ද දීප්තගේ පරිකල්පිත රුසියාව වැනි එකකි.


ඔහුගෙන් කැඩී ගිය ප්‍රජාතන්ත්‍රවාදී ස්ත්‍රීවාදී සමදරාලාට ද ධනවත් අර්ථපති සත්‍යාපෝල්ලා හමු වන්නේ නැත. ඔවුන්ට හමු වන්නේ සාක්කු හිස් වෙමින් ඇති එන්.ජී.ඕ. පමණි. ලංකාවේ පොළවේ සත්‍යාපෝල්ලා නැත. ගෝවෙන්, අරෙහෙන් මෙහෙන් කෑලි එක් කළ සත්‍යාපෝල් කෙනෙකු පරිකල්පනය කරන්නට එරික් ඉලයප්ආරච්චිට සිදු වන්නේ ඒ නිසා ය.


ලංකාවේ අර්ථපතියන් වන්නේ විප්ලවීය මහා කලාකරු හා විචාරක සුචරිත ගම්ලත්ට අනුග්‍රහ දක්වන ටයර් හවුස් වැන්නෝ ය. නැතිනම් උපුල් ශාන්ත සන්නස්ගල වැන්නෝ ය.


ලලිත සමයේ විචිත්‍රවත් ම චරිතය හා වීරයා සත්‍යාපෝල් ය. ඔහු ජාත්‍යන්තරවාදී සටන්කරුවෙකි.යථාර්ථවාදී දේශපාලනඥයෙකි. අව්‍යාජ මිනිසෙකි. අපේ පරමාදර්ශය විය යුත්තේ ඔහු ය. 


-අජිත් පැරකුම් ජයසිංහ


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

1 comment:

  1. පොත කියවල බැලුවම හිතෙන්නේ මස්ටෙර්ගේ සංගීත සිසුවියන් ගෙන් සමහර සිසුවියන් එක්ක එරික්ට මොකක් හරි ලොකු පුද්ගලික ප්‍රස්නයක් තියනවා කියල .පොත ගැන කරලා තියෙන, විචාරයත් වැඩි . මෙවැනි පොත් වලට සම්මාන දෙන්න තරමේ ගොඩගේ ප්‍රකසකයෝ පහල මට්ටමකට වැටිලා කියල හිතනකොට ඉතා කණගාටුවක් ඇති වෙනවා . ඔපෙ දුප එඅකතු කරලා ,මස්ටෙර් ගේ වටා හිටපු සමහර චරිත බාගෙට බාගෙන ,ලියන දීවත් මොනවා ද කියල කල්පනාවක් නැතිව ලියල තියන පොතක් මය .
    මොනවා උනත්ත් මස්ටෙර් ජිවතුන් අතර නැති එක , ප්‍රයෝජනයට අරන් එරික් ලලිත කාලය තුලින් යම් සැලකිය යුතු මුදලක් උපයා ගනී වී .

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.