2011-12-12

සූරිප්පෙරුමගේ ගම හා එප්පාවල කඩිගාව ගම

ලංකාවේ ගම ගැන ප්‍රවාද නිර්මානය කරන්නෝ වනාහි ගම්වලින් නගරවලට සංක්‍රමණය වී, නාගරික සංස්කෘතිය සමග බාගෙට අනුගත වූ, සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීම සඳහා ගම උත්කර්ෂයට නඟන පිරිසක් විසිනි.


සිංහල ගම, වැව, දාගැබ ගැන උදම් අනන මේ පුද්ගලයන් විසින් ඇත්තෙන් ම කිවහොත් කර ඇත්තේ කිසිදා නො පැවතුණු ගමක් පරිකල්පනය කිරීමයි.


බාල රසවින්දනයක් ඇති නූගත් පිරිස් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය විසින් ඉදිරිපත් කරන කෝපි කඩේ වැඩසටහන විසින් ද ගමක් පරිකල්පනය කර තිබේ. එයත්, ස්වාධීන රූපවාහිනියේ ම දොරමඩලාව විසින් පරිකල්පනය කරනු ලබන ගමත් අතර හරයාත්මකව වෙනසක් නැත.


මේ පරිකල්පිත ගම කෙතරම් අපූරු දෙයක් ද යත්, ලංකාවේ හද්දා පිටිසර ගම්වල මිනිස්සුත් විස්මයෙන් ඇළලෙමින් මේ ගම පිළිබඳ ප්‍රවාදය රූපවාහිනියෙන් නරඹති.


අද වන විට මුළු ලංකාවමත් එක්තරා විදියක ගමකි. ඒ කලා, සංස්කෘතික, සමාජ, දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයක ම පවතින ග්‍රාම්‍යකම නිසා ය.


නූතනවාදී අදහස් අනුව පුරවැසියා හෙවත් නාගරිකයා ගැමියාට වඩා දියුණු මිනිසෙකි. පුරවැසියා යනු නූතන දේශපාලන ව්‍යූහයන් හා සමාජ ආයතන සමග යහපත් සම්බන්ධයක් ඇති, වගකීමක් සහිත මිනිසෙකි. ලංකාවේ නම්, කොළඹ කුරුඳුවත්තේ පවා අමු ගොඩයෝ ජීවත් වෙති.


අද වන විට ලංකාවේ ගමත්, නගරයත් වෙන් කරන සාධකය බවට පත් වන්නේ පහසුකම් ඇතිකම හා නැතිකමයි. පහසුකම් ඇති තැන නගරයයි. නැති තැන ගමයි.


ගමේ ය, නගරයේ ය කියා මහා ලොකු සංස්කෘතික වෙනසක් නැත.


එප්පාවල ළාබාල තරුණියන් දෙදෙනෙකුගේ හා හමුදාවෙන් පැන ගිය සෙබළෙකුගේ ගසක එල්ලී තිබුණු මළ සිරුරු පිළිබඳ පුවත්පත් වාර්තා කියවා බලන්න.


විමුක්ති ජයසුන්දරගේ කෑන්ස් සම්මාන දිනූ 'සුළඟ එනු පිණිස' සිනමා කාව්‍යයෙන් විස්තර කළේ මේ ගම ගැනයි. එය එදා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නො ලැබුණු අතර දැන් සිනමා අධයක්ෂවරයකු හා මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් වීරසේකර එදා විමුක්ති ජයසුන්දරට මරණ දඬුවම දිය යුකු බව කීවේ මේ ඇත්ත කතා කළ නිසා ය.


මෙන්න එප්පාවල විස්තර
එප්පාවල කඩිගාව ඛේදවාචකය: එල්ලී මැරුණාද? මරා එල්ලුවාද?

කොහොඹ ගසේ එල්ලෙනවා මරණ තුනක්‌ බුදුනි ලෝකයට යළි කිව යුතුය බණක්‌ 
උපුටා ගැනීම් සිංහල ගැමියාගේ ජාතික පුවත්පත වන දිවයිනෙනි.

කලකින් විඳින්නට නො ලැබුණ රසයක් විඳින්නට රැස් වන සෙනග
යන්න බැරි අයට විස්තර පත්තරෙන්, රූපවාහිනියෙන්
Read in English: Sri Lanka's narrated village and the real village


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

9 comments:

  1. වැදගත් මාතෘකාවක්. ඇත්තටම අපි හිතන සහ හිතින් මවාගෙන හිත රවට්ටගන්ඩ හදන, ඒ වගේම ආණ්ඩුව සහ එහි පක්කලියන් දන දැනත් නොකියන, ලංකාවේ (විශේෂයෙන් සිංහල) ගම්වල ඇත්තේ ඉතාම ශෝචනීය තත්වයක්. 1999 අග භාගයේ සිට 2005 පමණ වනතුරු මට නුවර කලාවියේ සිංහල ගම්මාන රැසක ජනතාව ආශ්‍රය කරන්නට ලැබුනා.
    ඔවුන්ගේ ජීවන තත්වය නැංවීමට අවශ්‍ය සියල්ලට වඩා ප්‍රමුඛ එකම දේ අධ්‍යාපනයයි. එය වැඩිහිටි අධ්‍යාපනයේ සිට ළදරු පාසැල දක්වා ව්‍යාප්ත වියයුතුයි.
    මගේ නිරීක්ෂණ කීපයක් මෙසේයි. යුද්ධය පවතී සමයේ පාසල් දරු දැරියන්ගෙන් 80% කට වඩා මගේ නිරීක්ෂණ වලදී මා සමග කිව්වේ, තමන් කැමති ලොකු වුනාම ග්‍රාමරක්ෂකයකු වීමට බවයි. ග්‍රාමාරක්ෂකයකු වීමේ වාසි මෙසේයි. ගෙදරම තියාගන්ඩ ටී 56 අවියක් හෝ කුමන ආකාරයක හෝ ගිනි අවියක් ලැබීම. ගෙදර පස් දෙනෙක් ග්රාමරක්ෂ්කයන් නම් තුවක්කු 5 ක් තියනවා. පොලීසිය සමග සමීප සම්බන්ධතාවක් තිබෙන නිසා සතුන් දඩයම් කිරීම, ගංජා වැවීම, කසිප්පු පෙරීම, වැනි නීති විරෝධී ක්‍රියා කිසිදු බාධාවකින් තොරව කරගත හැකි වීම. මෙවැනි ක්‍රියා සඳහා සාමාන්‍ය අල්ලසක සිට ලිංගික අල්ලසක් දක්වා අල්ලස් දෙන බව අවස්ථා ගණනාවකදී මම තහවුරු කරගත්තෙමි. හොඳ වැටුපක් ලැබෙන නිසා වෙනත් ජීවනෝපායයන් හෝ රැකියා අවශ්‍ය නොවීම. දේශපාලන සබඳකම් මගින් රජයේ ප්‍රා. සභා, පළාත් සභා, පාර්ලිමේන්තු , මන්ත්‍රීන් හඳුනා ගැනීමෙන් තමන්ද බලවතකු බවට පත්වීම, තම පවුද්ගලික විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට හැකි වීම, තමන්ගේ නීති විරෝධී ක්‍රියා සඳහා නීතියෙන් ආරක්ෂාවක් ලැබීම. මේ සඳහා තම බිරිඳ, සොයුරිය, දුව, ලිංගික අල්ලස් වශයෙන් දුන් අවස්ථා යටත්පිරිසෙයින් 25ක් වත් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. තමන්ට අයිති නැති ගොඩ ඉඩම්, කුඹුරු, රක්ෂිත කැලෑ, කිසිදු නීතිමය පියවරකට යටත් නොවී භුක්ති විඳීමට අවස්ථාව ලැබීම. වාරිමාර්ග වලට හානි කර තම කුඹුරු වලට ජලය ලබා ගැනීම. ග්‍රාමාරක්ෂක සේවය යුද්ධය පවතී කාලයේ ආරක්ෂක හමුදාවට විශාල රුකුලක් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් මෙවැනි සේවා පවත්වාගෙන යන ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි රටවල මෙයින් ඇතිවී තිබෙන සමාජමය හානිය අපේ රටේ එම හානියටද වඩා වැඩිය. ග්‍රාමාරක්ෂක සේවයේ යෙදුනු තරුණියන් සැලකියයුතු පිරිසක් වෙනත් ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ මුසා බසට රැවටී කෙලෙසුන අවස්ථා මම දනිමි. ඉන්පසු ඔවුන් 'දෙකයි පනකේ කෑලි' බවට පත්වන බවත්, මේ තත්වයට පත් විවාහක ග්‍රාමාරක්ෂක සෙබළියන්ද සිටින බවත්, මම නිරීක්ෂනය කලෙමි. මුදල් අතේ ගැවසෙන නිසා මීළඟට ඔවුන් සොයා යන්නේ ලෝකාස්වාද රතිය පමණක් නොවේ, සරුවපිත්තල ලෝකයේ අත්හලයුතු දහජරාවල්, ජරා චිත්‍රපටි, ජරා කුණුහරප පොත් සහ වැඩිහිටි ලේබලයෙන් විකිනෙන බාල ලිංගික පොත්. (මෙවැනි පොත් නිතර හුවමාරු වන අතර සමහර බංකර් පුස්තකාල වැනිය) අද ජීවත් වන සුපර් ස්ටාර්ලා නමැති සංගීත ඤාණයෙන් තොර බහුබූතන් යැපෙන්නේ මේ අහිංසක ගැමියන් මත තම බොරු ජනප්‍රියත්වය පැටවීමෙන් සහ ඔවුන්ගේ තුට්ටු දෙකට තට්ටු කර එස් එම් එස් ලබා ගැනීමෙනි. භාෂාව හෝ සාහිත්‍යය ගැන මෙලෝ හසරක් නොදත් නිසා ඔවුන්ව ගොනාට අන්දවාගෙන යැපෙන්නට ඕනෑම 'කුණු එෆ් එම්' එකකට පුළුවන. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ගමන බිමන, කතාබහ, සියල්ල ඔවුන් රූපවාහිනියේ දකින බාල අච්චාරු කතා වල චරිත හා බැදී පවතී. ඒ පවුල්වල කුඩා දරුවන්ද දකින්නේ අහන්නේ ඒ දේවල්මය. ඒ ප්‍රදේශවල ඇති වෙළඳසල් වල වැඩිපුරම ඇත්තේ බාල අනුකරණ බදුය. උදාහරණ සෝනි ටී වී වෙනුවට ඇත්තේ තායිවානයේ වැසිකිලි වලක හදන සෝනි යන නමේ ඉංග්‍රීසි අකුරු අනුකරණය කල ටී වී ය. සුවඳ විලවුන්, රෙදිපිළි සියල්ලද එසේය, දරුවන් දෙතුන්දෙනා සිටින අම්මලාද අඳින්නේ ටෙලි නිලියන් වගෙය. ගම කුණුවී හමාරය. ඔවුන්ගේ ලිංගික චර්යා අන්තයටම කුණුවී හමාරය. හැබැයි මේ මෝඩකමෙන් වාසි ගන්නේ බුලත්කොළ කාරයින් ය. මෙවැනි ගමක තුන් දෙනෙක් නොව මුළු ගමම එල්ලිලා නොමරුනොත් පුදුම විය යුතුය.

    ReplyDelete
  2. මගේ මතය වන නොදියුණු ගෝත්‍රික සමාජයක් කියන කාර්ණාව මේ අගේට ඔප්පු වෙලා තියෙන්නේ. එක සිද්දියක්ද.. මෑතකදිම කියක්ද.. පශ්චාත් යුධ සංස්කෘතිය දැන් නැගලම යනවා.. ලොකු තැන සිට පොඩි තැන දක්වා.. මෑත සිද්දීන් තුනම.. හමුදාවලට සම්බන්ධයි.. ගම නහරය කියලා වෙනසක් නෑ ලක්ෂරි එපාට්මන්ට් වලත් ඇබොරජනිස්ලා පිරිලා...

    ReplyDelete
  3. I don't say that this "utopian village" was a complete myth. But it sure is

    ReplyDelete
  4. ඒ වගේ ම දිවයින් පුවත්පත අදාළ තරුණයා හමුදාවේ සිටි කෙනෙක් බව නොකීමට තරම් ප්‍රවේශම් වී ඇත. මෑත කාලයේ සිදු වුන සියලු දරුණු අපරාධ පිටුපස ආරක්ෂක අන්ශ වල සේවය කළ කෙනෙක්ගේ නමක් කියවෙන්නේ ඇයි? මේව සියල්ල නිකන්ම හුදකලා සිදුවීම් ලෙස නොසලකා හැරිය හැකිද? යුද්ධය නැතුවත්, තමන්ගේ ම පවුල්වල මිනිස්සුටත් මෙහෙම අපරාධ කරන උදවිය යුද්ධයේදී කොහොම හැසිරෙන්නට ඇද්දයි හිතාගන්න පුලුවන්ද? යුද්ධයෙන් පසු සමාජයේ ඉතිරි කොටස් ටිකත් විනය හැදීමට යැයි පවසමින් හමුදාකරණය කිරීම වෙනුවට වගකිය යුත්තන් කල යුත්තේ හමුදාව නිවැරදිව සමාජකරණය කිරීම නොවේද?

    ReplyDelete
  5. //උදාහරණ සෝනි ටී වී වෙනුවට ඇත්තේ තායිවානයේ වැසිකිලි වලක හදන සෝනි යන නමේ ඉංග්‍රීසි අකුරු අනුකරණය කල ටී වී ය. //

    I wonder if you have seen a TV factory in Taiwan? I have visited a number of electronics goods manufacturing plants in Taiwan but none of them were in 'toilet pits' as you have described.

    ReplyDelete
  6. @ Comment on Dec 13 12:42 PM, My Dear, You may have gone from Sri Lanka to Casablanka. Also from Toranto to Timbakto. But first of all you must learn Sinhala language and idiomatic phrases of Noble Sinhala language, to understand what I have mean.

    ReplyDelete
  7. එක හුදකලා සිද්ධියක් පමණක් සලකාගෙන ගම ගැන මේ විදිහට හිතන එකේ ලොකු වැරැද්දක් තියෙනවා. ඒක හරියට දේවදත්ත ඇසුරෙන් බුද්ධාගම තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ දෙයක්. අනිත් අතට මේ කියන පිලිකුල් සහගත සිද්ධි සිදුවෙන්නේ විවෘත ආර්ථිකයෙන් සහ , ව්‍යාජ සාමවාදී, මානව ප්‍රේම්, යුධ විරෝධි බලවේග විසින් යුද්ධය පෝෂණය කල විකෘති ගමක. සූරියප්පෙරුමලා කතා කරන්නේ මේ ගම ගැන නෙමෙයි.

    ReplyDelete
  8. මේ සිද්ධිය කිසිසේත් හුදෙකලා සිදුවීමක් නොවෙයි. අපේ රටේ විශේෂයෙන් වයඹ, උතුරු මැද, සහ ඌව පලාත්වල ජන ජීවිතය පිළිබඳව මා කරුණු සොයා බලා තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මා දුටු තත්වය එම පළාත් වලට පමණක් සීමා වූවක් බව නොවෙයි. මගේ මුල් දීර්ඝ අදහස් දැක්වීම සීමා කලේ දිග වැඩි වීම නිසා පළනොවේ යයි සිතුව නිසයි. ඔබේ අදහස් ගැනද සලකා මේ ටික ලියනවා. ඉහත සඳහන් පලාත්වල මා සේවය කරද්දී මා කල තවත් නිරීක්ෂණ මෙසේයි. සැලකියයුතු පවුල් ගණනක පියා, මව සහ දරුවන් අතහැර වෙනත් කාන්තාවක් (සමහරවිට බිරිඳගේ සහෝදරියක්) සමග නීතියෙන් විවාහ නොවී පවුල් කනවා. සමහර විවාහක කාන්තාවන්ද එලෙසම වෙනත් පුරුෂයන් සමග පවුල් කනවා. මෙය ඔවුන්ගේ දරුවන්ට ලැබෙන භයානක පූර්වාදර්ශයක්. පවුල් සංස්ථාව එතරම් සැහැල්ලු දෙයක් කියා තමයි ඒ දරුවන් සිතන්නේ. මෙසේ මව හෝ පියා අහිමි වීම නිසා සැලකියයුතු දරුවන් පිරිසක් රැකෙන්නේ තම මවගේ හෝ පියාගේ හෝ දෙමවුපියන් (ආච්චි/සීයා) ලඟයි. එයිනුත් බහුතරය ආච්චි හෝ නැන්දා , පුංචි අම්මා, ළඟ. මේ වැඩිහිටියන් බොහොමයක් විධිමත් අධ්‍යාපනයක් ලද අයවලුන් නොවෙයි. ඔවුන් කරන්නේ (කල හැක්කේ) ළමයා බලාගැනීම (අනතුරු වලින් වලක්වා ගැනීම) හැකි පමණින් පෝෂණය කිරීම, (දරිද්‍රතාවය ඉහලයි) තමන්ට මුදල් ශක්තිය තිබෙන තුරු සහ දරුවා කැලේ නොපනින තුරු පාසල් යැවීම, පමණයි.
    මේ අයගෙන් වයස අවුරුදු 45 ට අඩු නැන්දලා, පුංචි අම්මලා, සමහරක් තම ප්‍රේමවන්තයින් (සමහර විට එම ප්‍රේමවන්තයින් ගමේ හෝ පිට ගමක විවාහක පුරුෂයෙක්) සමග කරන විවිධ හැසිරීම් අර දරුවන් දකිනවා, අහනවා. තම දියණියන් තවදුරටත් පිරිමින්ගෙන් (සමහරවිට විවිධ මට්ටමේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන්) රැක ගැනීමට නොහැකිවන බව අවබෝධ කරගන්න සමහර දෙමවුපියන් ඔවුන් පාසලෙන් ඉවත් වූ වහාම (සමහරවිට බාල වයස්කාරියක්ව සිටියදී) විවාහ කර දෙනවා. විවාහ ජීවිතය යනු ලිංගික එක්වීමයි සිතන මේ ලාබාල දැරියන්, ඉතා කෙටි කලකින් තම ජීවිතය කඩාකප්පල් කරගන්නවා. ඔවුන්ට පහසුවෙන් ග්‍රාමාරක්ෂක සේවයට එක්විය හැකියි. මහා එවුන්ගේ අවල කෙලි බලා සිටින පොඩි එවුන් බලාගෙන ඉන්නේ, තමන් යන්තම් ඇටෙන් පොත්තෙන් මිදෙනතුරු, ඒවා පටන් ගන්නට. එප්පාවල අම්මට තම දියණියන් රැක ගැනීමට බැරිවුනේ ඇයට මේ විෂම සමාජය අවබෝධ කරගන්නට තරම් අධ්‍යාපනයක් ලැබී නොතිබුණු නිසයි. ඒ දරුවන්ගේ පියා ගැන කිසිවක් පුවත් වාර්තාවල සඳහන් වූයේ නැහැ. ඒ මව ඉතා තරුණ වියේදී මවක් වී ඇති බවයි පෙනෙන්නේ. ඇය මා දුටු සමාජ රටාවේ හරස්කඩක් මොනවට කියාපාන උදාහරණයක්. මේ මිනිසුන් මේ නරා වලෙන් ගොඩ ගැනීමට 1988 කාලයේදී විප්ලවීය උත්සාහයක් ගැනුනා. නමුත් දැඩි මර්දනකාරී බව තුලින් එය නිර්දය ලෙස යටපත් කෙරුනා. නිදහසේ, නීතිය තමන්ට රිසි පරිදි ක්‍රියාකරවීමේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනුනා. ඕනෑම පුද්ගලයකු තුල, පවතින තත්වයට හැඩ ගැසීමේ ලක්ෂණය, අඩු වැඩි වශයෙන් තිබෙනවා. මෙය තේරුම්ගත් සමහර ගම්බද කාන්තාවන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සමග අනියම් සබඳතා ආරම්භ කර තම පවුල රැකගත්තේ ජීවත්වීමට වෙනත් විකල්පයක් නොවූ තැනයි. ඒ කාලයේදී සමහර ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ලොතරැයි දිනුම් වැනි විවාහ කරගන්නට අවස්ථාව ලැබුනා. කෝටිපති මුදලාලිලාගේ දියණි වරුන් පරම්පරා හතකට සෑහෙන දේපොළ සමග බැඳගත්තේ සල්ලාලකමේ පරතෙරට ගිය අයවලුන්. ගවුරව උපාධිධාරී ගුරුවරියන් බැඳගත්තේ යන්තම් අට පාස් අයවලුන්. එල් ටී ටී ඊ යුද්ධය උත්සන්න වීමත් සමග සිංහල ගම්වල ආරක්ෂාවට යෙදවූ සමහර ආරක්ෂක සේවා සාමාජිකයන් කුප්‍රසිද්ධියේ හිතුමතේ සල්ලාල කමේ යෙදුනා. ගම්වැසියන්ගේ නූගත්කම හා දිළිඳු කම දඩමීමා කරගනිමින් අම්මලා දියණිවරුන් හිතුමතේ 'පාවිච්චි කළා' ඒ කාන්තාවන් ඒ තත්වයට පත්වුණේ යුද්ධයෙන් මිය යනවාට වඩා කා සමගහෝ එක්ව ජීවත් වීමේ අරමුණෙන්. ඒ තත්වය පසුව සාමාන්‍යකරණය වුනා. (සමීක්ෂණයක් වශයෙන් මේ කරුණු සොයා බලන්න.) (දකුණේ උපන්ගම සහිත ආරක්ෂක හමුදා සාමාජිකයන් කොපමණක්, වයඹ සහ උතුරු මැද පළාත්වලින් විවාහ කරගෙන තිබෙන්නේද, අද එයින් කීයක් පවතින්නේද යන්නත් සොයා බලන්න) ආරක්ෂක හමුදා සාමාජිකයකුට හොඳ වැටුපක් ලැබීම, ඔහු මිය ගියත් වන්දි සහ වැටුප් ලැබීම, තර්ජිත ගම්මානවල කාන්තාවන් ආකර්ෂණය කරගන්න බලගතු කාන්දමක් වුනා. මේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ද, කාන්තාවන්ද ලේ මස් ඇට නහර වලින් සැදුනු මිනිසුන්, ඔවුන්ටත් හැගීම් පහල වෙනවා, යුද්ධය, ඔවුන්ගේ සාරධර්ම සහ සදාචාරය යන හැගීම් ඔවුන්ගේ ඔලු වලින් එලියට වීසි කර දැම්මා. මේ සියල්ල සිදුවූයේ නිසි අධ්‍යාපනයක් හෝ මග පෙන්වීමක් මේ දෙපක්ෂයටම නොලැබීම නිසා නොවේද? හුදෙක් චන්දය පතාගෙන එන මන්කොල්ලකරයින් මෙයට වග කිවයුතු නොවේද?

    ReplyDelete
  9. මා ඉහත දෙවරක් දීර්ඝ වශයෙන් දක්වූ අදහස් කොපමණ දුරට සාධාරනදැයි මෙම ලින්ක් එකෙන් ඉරිදා දිවයින පුවත්පත කියවා තීරණය කරන්න.
    http://www.rivira.lk/2011/12/18/vishesha1.htm

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.