2011-01-31

ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය

(2011 ජනවාරි 31, W3Lanka) නමින් ජාතික වන ළමාරක්ෂක අධිකාරිය නාහෙන් අඬ අඬා නිකුත් කළ නිවේදනයක් ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු අසන්නට ලැබිණි.


ඒ නිවේදනයෙන් කියැවුණේ වැලිමඩ පාලම අසල අනාරක්ෂිත තත්වයක සිටියදී ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන ළමා නිවාසයකට ඇතුළත් කර තිබෙන ළමයින් 21දෙනෙකුට කන්න, අඳින්න දෙන්න සල්ලි නැති ය කියා ය.


මේ ළමයින්ට කන්න, අඳින්න දෙන්න උදව් කරන්නැයි ඉල්ලමින් ළමාරක්ෂක අධිකාර්ය ප්‍රසිද්ධියේ සිඟමන් යදියි.


ජාතික ළමාරක්ෂක අධිකාරිය  මේ කරන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට අවමානයකි.


කළ යුතුව තිබෙන හොඳ ම දෙය වන්නේ ළමයින් 21කට කන්න දෙන්න බැරි ජාතික අධිකාරිය වසා දමා යතුරු භාර දීම නො වේ ද?

ජනමාධ්‍ය වෙත යන්නට හැකි සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නට දඟලන්නේ නැතිව මෙවැනි සම්මාදම් 'ජාතියට' අවමානයක් නො වන පරිදි කර ගැනීමට සමත් නිලධාරීන් අදාළ ආයතනවලට පත් කර ගැනීම රජයට හොඳ විය හැකි ය.

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම

ලංකා ඊ නිව්ස් කර්තෘ  සඳරුවන් සේනාධීර
කලකට ඉහතදීපහර කෑමට ලක් වූ
මාධ්‍ය සංවිධාන නායක පෝද්දල ජයන්ත සමග
(2011 ජනවාරි 31, W3Lanka) මාලෙබ්හි පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා ඇත. පරිගණක, ආම්පන්න, ලිපිද්‍රව්‍ය ආදාය ගිනි ‍ගෙන විනාශ වන්නට ඇත. එහෙත්, වෙනත් මාධ්‍ය මෙන් නො ව වෙබ් අඩවියක් ඒ අන්දමින් නැවැත්විය නො හැකි ය.


කවුරු මේ දීන ක්‍රියාව කළාදැයි කිසි දිනෙක හෙළිදරව් නො වනු ඇත. එහෙත්, පාලකයින්ට ඇඟිල්ල දිගු වීම වළක්වන්නට බැරි ය. මන්ද, ලංකා ඊ නිව්ස් වනාහි ආණ්ඩු විරෝධී හා විපක්ෂ ලැදි ජනප්‍රිය මාධ්‍යයක් වන හෙයිනි.


සිද්ධිය සිදු වන්නේ ලංකා ඊ නිව්ස්හි කලක් වැඩ කළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මසක් ගෙවී යමින් තිබියදී ය.


ඕනෑ නම් ලංකා නිව්ස් වෙබ් මෙන් ලංකා ඊ නිව්ස් ද ලංකාවේ අයට බලන්නට බැරි පරිදි බාධා කරන්නට විදුලි සංදේශ නියාමන කොමිෂමට පුළුවන. එහෙත්, ප්‍රොක්සි වෙබ් අඩවි හරහා තහනම් කළ අඩවි බලන එක වළක්වන්නට ක්‍රමයක් නැත.

2011-01-30

සෑම වැසියන් තිදෙනෙකුගෙන් ම එක්කෙනෙක් අන්ත දිළින්දන් වන මොනරාගල පැවැත්වෙන දැයට කිරුළ සැණකෙළිය

(2011 ජනවාරි 30, W3Lankaබඩු මිළ අහස උසට ගොසිනි. දුප්පත්තු බඩගින්නේ ය.


එහෙත්, ආණ්ඩුව සැරසෙමින් සිටින්නේ මහා සංදර්ශනයකටයි.


ඒ පෙබරවාරි 4දා දිවයිනේ දිළිඳු ම දිස්ත්‍රික්කයක් වන මොනරාගලදී ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනයයි.

මොනරාගල රාජපක්ෂවරුන්ගේ බල මර්මස්ථානයක් වන හම්බන්තොටට අල්ලපු දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කය අයත් වන ඌව පළාතේ මහ ඇමති වන්නේ ජනාධිපති‍ගේ වැඩිමල් සොයුරාගේ පුත්‍රයා වන ශශීන්ද්‍ර රාජපක්ෂයි.


1990/1991ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දිළින්දන් ගණන් ගැනීම අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ දිළිඳුකමේ ප්‍රතිශතය 33.7%කි. 2006/2007 දත්ත අනුව මෙය වෙනස් වී ඇත්තේ 33.2% දක්වා පමණි.


ඒ දිළිඳු ජනයා වෙනුවෙන් පවත්වනු ලබන දැයට කිරුළ සංදර්ශනය වෙනුවෙන් කරන වියදම‍ කොතරම්දැයි තවම දැනගන්නට නැත. එහෙත්, ප්‍රදර්ශනය නිමිති කොටගෙන කරන ලද යටිතල පහසුකම් සංවර්ධනයන්ට රු. බිලියන 20ක් වැය කර ඇති බව ආණ්ඩුව පවසයි.


යටිතල පහසුකම් සංවර්ධනයෙන් දිළින්දන්ට යම් සෙතක් වන බව පිළිගත යුතු ය. එහෙත්, මෙම යටිතල පහසුකම් සංවර්ධනයේ ඉලක්කය දිළිඳුකම දුරලීම නො වේ. එය අතුරු ඵලයකි. අරමුණ නිෂ්ඵල සංදර්ශනයක් සඳහා පහසුකම් සැලසීමයි.


විශේෂයෙන් ම ආර්. ප්‍රේමදාස යුගයේදී මෙවැනි දැවැන්ත තමාෂා ගම් උදා නමින් රට පුරා පැවැත්විණි. 1987 ජුනි මාසයේදී මොනරාගල දිස්තික්කයේ බුත්තල ද දැවැන්ත ගම් උදා සැණකෙළියක් පැවැත්විණි.

එයින් මොනරාගල ජනතාවට වූ තීරණාත්මක සෙතක් තිබේ නම්, එම දිස්ත්‍රික්කයේ දිළිඳුකම මේ අන්දමින් රජයනු ඇතැයි සිතිය නො හැකි ය.


එදා මෙන් ම අදත් මෙනරාගල ජනයාට පෙබරවාරි 4 සිට 11 දක්වා සෑම දිනකම ජනපි‍්‍රය ගායක ගායිකාවන් එක්වන සංගීත ප්‍රසංග හා සංස්කෘතික සංදර්ශන ද, ආණ්ඩුවේ වර්ණනාව කියවෙන ප්‍රදර්ශන කුටි 300ක් පමණ ද, තවත් වෙළඳ කුටි සිය ගණනක් ද බලා හිස් කුසින් නින්දට යා හැකි ය.

එස්.බී. මේ කියන්නේ රාජපක්ෂවරුන්ට දුන් ආචාර්ය උපාධි ගැන ද?

(2011 ජනවාරි 29 W3Lankaප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ජනවාරි 28දා කොළඹදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රකාශ කළේය.


ඇල්කෙමියාගේ රසායනාගාරය නම් බ්ලොගයේ දැක්වෙන අන්දමට "ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ.


1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්….


2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්….


3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්….


4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුදලට හෝ බයට ලබා දෙන ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය මර්වින් සිල්වා වැනිවුන්…."


2009 සැප්තැම්බර් 6දා කොළඹ විශ්ව විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිය පිළිබඳ ආචාර්ය උපාධියකින් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශාස්ත්‍රශූරී ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුවේ ය.

ඒ පිළිබඳව රජයේ දිනමිණ පුවත්පතේ 2009 සැප්තැම්බර් 08 කතුවැකිය පවසන්නේ මෙසේ ය:


"මීට පෙර අප ගේ විශ්ව විද්‍යාල ආයතන වෙතින් සම්මාන ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනකු ගේ ජාතික කාර්යභාරය වූයේ ශාස්ත්‍රොන්නතිය සඳහා කටයුතු කිරීම ය.


එහෙත් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන උපාධිලාභීන් ගේ කාර්ය භාරය ඊට වඩා වෙනස් ය. ඊට වඩා බරපතළ ය. එබඳු පුළුල් හා අභියෝගාත්මක කාර්යභාරයක් සඳහා මෙරට දී ආචාර්ය උපාධි පිරිනැමීම පළමු වරට සිදු වූ බව අප ගේ් පිළිගැනීම ය.


ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ කිසිදු ආයතනයකින් සම්මාන ඉල්ලා සිටියේ නැත. ගෞරව නාම හෝ උපාධි ඉල්ලා සිටියේ ද නැත. එහෙත් කොළඹ විශ්ව විද්‍යාලය සිය ජාතික වගකීම ඉටු කර තිබේ.


පරසතුරු ආක්‍රමණවලින් පසු රට එක්සේසත් කොට පසුව බත බුලතින් රටත් ජාතියත් ස්වයංපෝෂිත කළ මහා පරාක්‍රමබාහු, වීර දුටුගැමුණු යන නරපතියන්ට ද භික්ෂු සමාජය විසින් මෙබඳු ගෞරව - සම්මාන ප්‍රදානය කරන ලදී"

2011-01-29

ජනතාවනි, මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වෙනු!

(2011 ජනවාරි 29, W3Lankaමහජන ආරක්ෂාව සඳහා ය කියමින් ආයුධ සන්නද්ධව සිටින පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් වැනි අය ගැවසෙන තැන්වලදී මහජනතාව පරිස්සම් විය යුතු ය.


හේතුව, මෙම පුද්ගලයන්ගේ ඉලක්ක බොහෝ විට කකුලට තිබ්බොත් ඔලුවට හා උඹේ ඔලුව‍ට තිබ්බොත් මගේ ඔලුවට වදින වර්ගයේ ඒවා වීමයි.


අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ජනවාරි 26දා උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලැබ අද අළුයම 1.00ට පමණ මිය ගියේ ය.


මේ අහිංසකයාගේ මරණය පිළිබඳ අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. එසේ ම ඊනියා මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වන ලෙස අපි ජනතාවට අනතුරු අඟවමු. 


මෙම සටහනත් කියවන්න: 

විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට


.

මංජුල වෙඩිවර්ධනගේ අනෙකාව කියවන්න සූදානම් වන්න


රජයේ බෙහෙත් ත්‍රිරෝද රථවල විකිණීම හා බහු ජාතික සමාගම්වලට රටේ ජන ජීවිත විකිණීම

(2011 ජනවාරි 29, W3Lanka) වකුගඩු රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික වන, එහෙත් රජයේ රෝහල්වලට රජය විසින් නොමිලේ නිකුත් කරනු ලබන, රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථයක් පසුගිය සතියේ පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍යවල වාර්තා විය. 


මෙසේ රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි පෞද්ගලිකව අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි. එසේම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ ප්‍රවාහනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ත්‍රිරෝද රථවල තිබේ යයි සැලකෙන්නේ නැත. 


මෙකී ත්‍රිරෝද රථයෙන් ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමු කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් සිද්ධිය පිළිබඳ පොලිසිය සිදු කරන පරීක්ෂණයට අමතරව අමාත්‍යාංශය මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමටත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී ඇති බව රජයේ මාධ්‍ය පවසයි.


රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවක් අද දිනමිණේ පළ වී තිබේ. මෙවැනි වැරැදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට අලුතින් පනත් කුමට ද යන්න අපට නම් නො තේරේ. 


මෙහෙම පනත් වෙන වෙන ම ‍ගෙන එන්න ගියොත්, රජයේ පාසල් පෙළ පොත්,  සතොසේ බිත්තර ආදිය පිට කඩවල විකුණනවාට එරෙහිව ද පනත් ගෙන එන්නට සිදු වනු ඇත. 


රජයේ ඖෂධ හොරෙන් විකිණීමේ ක්‍රියාවලට අනිවාර්යයෙන් ම රජයේ රෝහල් කාර්ය මණ්ඩලවල ඇතැම්හු සම්බන්ධ ය. සාමාන්‍යයෙන් ගත් කල මාරාන්තික වකුගඩු රෝගීහු වනාහි ලංකාවේ වැඩියෙන් ම සූරාකෑමට ලක් වන රෝගීහු පිරිසකි. ‍දේශපාලකයන්ගේ තමාෂා සඳහා කෝටි, ප්‍රකෝටි ගණනින් මුදල් වැය කරනු ලබන ලංකාවේ මේ මිනිසුන්ගේ රුධිරය පිරිසිදු කිරීම පිණිස ප්‍රමාණවත් යන්ත්‍ර රජයේ රෝහල්වල නැත. රුධිරය පිරිසිදු කර ගැනීමට බැරි වුණොත් මරණය නියත නිසා රෝගීන්ට පෞද්ගලික වෛද්‍ය සේවා වෙත යොමු වීමට සිදු වී තිබේ. ඇතැම් වෛද්‍යවරු මෙම රෝගීන්ට පොඩි පොඩි කාමර විකිණීමෙන් පවා මුදල් උපයති. 


පසුගිය දිනෙක මෙම ලේඛකයා ඖෂධයක් මිළ දී ගන්නට ඔසුහලකට ගිය මොහොතේ එහි හිමියා හා වෛද්‍ය වෙළඳ නියෝජිතයකු අතර කිසියම් ඖෂධයක් ගැන කළ කතාබහක් සවණ වැකිණි. එම ඖෂධයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය කී ඔසුසල් හිමියා එයින් 'නිකම්' එකක් ද තමන්ට ලැබෙන්නේදැයි ඇසීය. වෙළඳ නියෝජිතයා එකඟ වූ කල 'අන්ඔෆිෂියල්' නිකම් එකකුත් ලැබේදැයි ඔසුසල් හිමියා ඇසුවේ ඒ මොහොතේ සාප්පු සේවකයක් සමග කතාවක යෙදී සිටි ලේඛකයා දෙස යටැසින් බලමිනි. 


තමන්ට ලැබෙන වාසි වෙනුවෙන් ලංනාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මිනිස්සු තමන්ගේ ම රටේ සහෝදර ජනයා‍ගේ ජීවිත බහු ජාතික සමාගම්වලට උගස් කරති.  


ලංකාවේ සියලු මිනිස්සු බටහිර ඖෂධ ගැන ඖෂධවේදීන් මට්ටමෙන් දැන ගත යුතු නැත. එහෙත්, අඩු තරමේ මහජන මුදලින් මේ පිළිබඳ දැනුම ලබා ගත්, මහජන මුදලින් වැටුප් ලබන වෘත්තිකයන්ට හෝ මේ කෲර සූරාකෑමෙන් සහෝදර ජනයා බේරා ගැනීමේ දේශප්‍රේමයක්, මනුස්සකමක් තිබිය යුතු ය. 


මේ මනුස්සකම පෙන්වීම එතරම් අමාරු නැත. තමන් ළඟට ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ඖෂධ ගැන කියා දීමට, වෙළඳ නාම වෙනුවට ඖෂධ නාම ලිවීමට වෛද්‍යවරුන්ට, ඖෂධවේදීන්ට ආදීන්ට බැරි ඇයි?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2011-01-28

පළාත් පාලන ඡන්දයෙන් දිනන්නේ කවුරු ද?

(2011 ජනවාරි 28, W3Lankaපළාත් පාලන ඡන්දයේදී මේ දේශපාලන ක්‍රමයේ පළමු පරාජය සලකුණු වූයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේදී ය. සාමාන්‍යයෙන් රජයේ සේවකයෝ  විශාල පිරිසක් තැපැල් ඡන්ද ඉල්ලුම් කරති. ඒ මැතිවරණ රාජකාරි ගිය විට ඔවුන්ට ඡන්දය දැමීමට නො ලැබෙන බැවිනි. මෙවර ඔවුන් බහුතරයක් තැපැල් ඡන්ද අයදුම් ‍කළේවත් නැත. 


තත්වයේ බරපතලකම කොතෙක් ද යත්, රජයේ සේවකයන් මැතිවරණ රාජකාරිවලට නො එනු ඇතැයි දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව බිය වී තිබේ. ඡන්දය දැමීමේ හිමිකම ඉදිරිපත් කරමින් මැතිවරණ රාජකාරි මගහැරිය නො හැකි බව දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව තර්ජනාත්මක ස්වරයෙන් පවසයි. 


එහෙත්, 'තැපැල් ඡන්ද ඉල්ලුවේ නැතිනම් නිකම් හිටපියව්' කියා මැතිවරණ රාජකාරිවලට යොදවා ඇති අයකු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන අන්දමේ පියවර ගැනීමට සදාචාරමය හිමිකමක් රජයට නැත. 


මේ වනාහි රජයේ සේවකයන් විසින් රටේ පවතින දේශපාලන ක්‍රමයට එල්ල කරන ලද අතුල් පහරකි. කෙටියෙන් කිව්වොත් මේ වනාහි 'තොපේ ඡන්දය තොපි ම කර ගනිව්' යන පණිවුඩයයි.


දැන් ටොමී, ජිමී, පපී, සොපී වැනි අකුරු දෙකේ බජාර්කාර නම් ඇති මූණේ ලේ කළඳක් නැති වචනයේ පරිසමාප්ත අරුතින් ම හාල්පාණුවන්, අපතයන් යයි කිව හැකි පිරිසක් මුඩුම මූණත්තහඩුවල කෘත්‍රිම සිනා ඇඳගෙන අත් වන වනා පාරේ යනු පෙනේ. මේ වනාහි එක්කෝ පාර්ලිමේන්තු හෝ පළාත් සභා දේශපාලකයන්ගේ පවුල්වල සාමාජිකයෝ ය. නැතිනම් ඔවුන්ගේ ආරක්ෂකයෝ හා වෙනත් අන්තේවාසිකයෝ ය. මුන් වැඩිදෙනෙක් පසුගිය කාලයේ කරමින් සිටියේ මහජන මුදල් කොල්ල කන කොන්ත්‍රාත්, ඇමති සම්බන්ධීකාරක වැනි බොරු රස්සා, සල්ලි පොලියට දීම වැනි කූට ජාවාරම්, කුලියට මිනී මැරීම වැනි අපරාධ, මංකොල්ල කෑම් වැනි පාදඩ ක්‍රියා හා ස්ත්‍රී දූෂණ වැනි සමාජ විරෝධී ක්‍රියා ආදියයි. දැන් මුන් අහවලා ඇවිත් ආදී පාඨ ලියන්නේ මුන් පසුගිය කාලයේ සිටි තැන් ජනතාව නො දන්නවා ය කියා සිතාගෙන ය.


සමාජයට එරෙහි අපරාධ කළවුන් පිළිබඳ සොබා දහම බලා ගන්නවා ඇතැයි ජනතාව සිතති.  


මුන්ගෙන් කොයි එකා කොයි නිෂ්ඵල සභාවකට යනවා ද යන්න ජනතාවට වැදගත් නැත. ජනතාවට ඇත්තේ එදා වේල පිරිමසා ගන්නා ආකාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයකි. ඇත්තම කියනවා නම් ඔය පළාත් පාලන ආයතන බහුතරයක් ජනතාව සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙම ලේඛකයාට පළාත් පාලන ආයතනයක් මුළු ජීවිත කාලයට ම සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ නිවස සෑදීම සඳහා පළාත් පාලන ආයතනයේ සේවකයකු නො වන අයෙකු විසින් අඳින ලද සැලසුම අනුමත කර ගැනීමට බැරි වීමෙන් පසු එම ආයතනයේ සේවකයකු විසින් මුදලට අඳින ලද ඒ හා සමාන ම වූ සැලසුම අනුමත වීමෙන් පමණි.


මේ තත්වය තුළ තමන්ගේ කල්ල මරේ යයි එක්සත් ජාතික පක්ෂය සිතනවා නම් ඒ වනාහි මහා ම මුළාවකි. අද කුණු වී ඇති තුවාලය හැදුවේ එජාපය බව ජනතාව දනිති. එසේ ම එජාපය යනු වෙදා නොව ලෙඩාගේ අම්මාගේ සොර සැමියා බව ද ජනතාව දනිති. 


ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්නට ඇත්තේ බිම් මට්ටමේ දේශපාලනය යනු කොළඹ උද්ඝෝෂණවලට ගමෙන් දෙතුන් දෙනා බැගින් එකතු කර ගැනීම නො වන බවයි. 


ජනතාව ද ඇතුළුව කවුරු කවුරුත් නෙළා ගනිමින් සිටින්නේ තම තමන් විසින් ම වපුරන ලද බීජවල අස්වැන්නයි. 


අපගේ ලිපියේ මාතෘකාවෙන් අසන 'පළාත් පාලන ඡන්දයෙන් දිනන්නේ කවුරු ද?' යන ප්‍රශ්නයට ජනතාවගෙන්බහුතරයකගේ නො වේ නම් අඩු තරමේ එක් විශාල පංගුවකගේ හෝ පිළිතුර වන්නේ මොන .............. දිනා ගත්තා  ම අපට මොක ද යන්නයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2011-01-27

විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට

(2011 ජනවාරි 27, W3Lankaඅපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ඊයේ උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබේ.


ලංකාවේ ගිනි අවි දරණ පිරිස්වල ඉලක්ක ගැනීමේ හැකියාව බරපතල ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා ඔවුන් හාවාට විද්ද හැම විට ම වදින්නේ පඳුරට ය. ගිය අවුරුද්දේ දවසක පොලිසියත්, මංකොල්ලකරුවන් පිරසකුත් අතර පෙට්‍රල් ෂෙඩ් එකක පැවති වෙඩි හුවමාරුවකින් තාත්තාගේ ත්‍රිරෝද රියෙන් ඉන්ධනහලට පැමිණි පුංචි පුතෙක් මරු මුවට පත් විය. හොරු පළා ගිය හ.


පොලිසිය අත්අඩංගුවෙන් පළා යන අපරාධකරුවකුගේ කකුලට වෙඩි තිබ්බොත් එය වදින්නේ ම ඔලුවට ය. ඔන්න බලන්න ඕනැ නම් මේ චූටි පුතා අහු වුණොත් මොකද වෙන්නෙ කියලා. 


චූටි පුතා කියනවා එයා ළඟ ආයුධ තියෙනවා පෙන්නන්නම් කියාලා. ඉතින් පොලිසියේ මාමලා එයා එක්කගෙන යනවා ආයුධ අරන් එන්න. චූටි පුතා හංගලා තිබුණ ආයුධයක් අරගෙන පොලිස් මාමලාට වෙඩි තියන්න හදනවා. එතකොට පොලිස් මාමලා 'යටත් නො වුණොත් මම ඔබට වෙඩි තබනවා' ය කියලා අහන්නේ නැති නිසා චූටි පුතාගෙ කකුලට වෙඩි තියනවා. වදින්නෙ ඔලුවට.


මේකට හේතුව පැහැදිලි නැහැ. එක්කෝ මේ පොලිස් තුවක්කුවල උණ්ඩත් අර හීට් සීකිං මිසයිල වගේ වංගු දාලා ඔලුව ම හොයාගෙන යනවා. නැතිනම් මේ අපරාධකාරයෝ පොලිසිය අමාරුවේ දාන්න එයාලා කකුලට වෙඩි තියනකොට ඔලුවෙන් හිට ගන්නවා. 


පොලිසියේ මේ තුවක්කු අප්සෙට් එක නිසා ගිය අවුරුද්දේ වරකාපොළ උගස් බඩු කඩයකින් රත්තරං බඩු කොල්ල කෑ හත්දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලිය මරා දැමුවාට පස්සෙයි 'යකෝ මුං කොල්ල කාපු බඩු කොහේද හැංගුවේ?' කියලා මතක් වෙලා තියෙන්නෙ. පස්සෙ අපායට පොලිස් ටීම් එකක් යැව්වලු මැරුණ උන්ගෙන් කට උත්තර ගන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

හාමුදුරුවන්ට බයට හෝ වැඩ බැරි දාසලා, වතීලා ගැන අනුකම්පාවට හෝ ගුරු පත්වීම් දීම හෙවත් අනාගත පරම්පරාවලට කෙළවීම

(2011 ජනවාරි 27, W3Lankaසම්බුද්ධ ජයන්තියට හෙවත් බුද්ධත්වයෙන් වසර 2600ක් සපිරෙන්න කලින් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් අයට රජයේ ගුරු පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැතිනම් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සියලුම හිමිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්‌ වන බව සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි දෙසැම්බර් 27 දා ත්‍රිකුණාමලය විද්‍යාලෝක ජාතික පාසලේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌ඛිත මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති දහම් පාසල් සිසු ඇගයීම් උත්සවයකදී අනතුරු ඇඟවූ බව ඒ දිනවල පුවත්පත්වල වාර්තා වුණා.


මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හා බුද්ධශාසන ඇමැති දී. මූ. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔහු නොපැමිණි බව වාර්තා වේ. ආවා නම් මේ තර්ජනය අසාගෙන ගොස් ජනාධිපතිතුමන්ගේ කණේ තබන්නට අවස්ථාව තිබිණි. 


කොහොම ද බුදුන් බුද්ධත්වය ලබා වසර 2600ක් පිරීම නිමිත්තෙන් අපේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්!


තැනින් තැන සැරිසරමින් බහුජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි සංඝයාට උපදෙස් දුන් බුදුන් දෙසූ ධර්මය ඉගැන්වීම වුණත් මෙම පාරිභෝගික සමාජයේ පිං පිණිස හෝ සේවාවක් ලෙස හෝ කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. කිසිවෙක් අත ලෙව කන්න බලාගෙන මී කඩන්නේ නැත. 


අනෙක මුළු ලංකාවේ ම සිටින සියලු වැඩ බැරි දාසලා බලාපොරොත්තු වන්නේ ගුරු වෘත්තියයි. ඉගෙන ගන්නට නො දන්නවා වුණාට අපේ අය උගන්නන්න දනිති. සියයට පනහකට වඩා ළමයි සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වැනි විෂයන් අසමත් වුණා ම මොක ද? අකුරු ලියන්න, කියවන්න බැරි ළමයි පාසල්වලින් පිට වුණා ම මොක ද? පාසල් ළමා අයිතිවාසිකම් උල්ලංඝනයේ තෝතැනි වුණා ම මොක ද?


අද කාලේ ඇතැම් හෝ බොහෝ හෝ තරුණ තරුණියන් දහම් පාසල්වල උගන්වන්නේ අහම්බෙන් හෝ දහම් පාසල් ගුරුවරුන්ට ගුරු පත්වීම් දුන්නොත් ඒකත් ගන්න පුළුවන් නිසායි.  ධර්මාචාර්ය, බෞද්ධාචාර්ය වැනි විභාග පවත්වාගෙන යාම ම ප්‍රශ්නයක් වෙලා. ඒවා ලියන්න මහන්සි වුණාට එයින් රැකියා නො ලැබෙන නිසා. 


ලංකාවේ අධ්‍යාපනයට උපරිමයෙන් ම කෙළෙව්වේ ආර්. ප්‍රේමදාසයි. ඒ 1989දී අභ්‍යාසලාභී ගුරු පත්වීම් දීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයෙනි. රෙස්ට් හවුස් පත්වීම් හා කැකිරි පිපිඤ්ඤා පත්වීම් වැනි ඒවා කලිනුත් තිබුණත්, ප්‍රේමදාස‍ ඒ සියල්ල අභිභවන්නට සමත් වුණේ රු. 999 ගණනේ (පඩිය ගන්න අලවපු මුද්දරයට රුපියලක් කැපුණා) වැටුප් ගෙවන පත්වීම් අති විශාල සංඛ්‍යාවක් දීමෙනුයි.


ඇතැමුන්ට ගුරු පත්වීම් දුන්නේ එමගින් ජනසවිය කපා දැමිය හැකි නිසා ය. ස්වේච්ඡාවෙන් වැඩ කළා ය කියලා බොරු කී විශාල පිරිසකටත් එය සුදුසුකම ලෙස සලකා ගුරු පත්වීම් දුන්නා. එදා සිට පාසල්වල 'ස්වේච්ඡා කරන්න' කට්ටිය පොර කනවා. මොකද ටික කලකින් ස්වේච්ඡා අය ස්ථිර කරන නිසා. මාර 'ස්වේච්ඡා!' ප්‍රේමදාස නිසා මේ වචනවල අර්ථය පවා වෙනස් වෙලා. 


ඒ කාලයේ සංගීත, නැටුම් ආදී පත්වීම් ලැබුණු අය උපක් තෙකට සිංදුවක් නො කියපු, නටපු නැති අය. කොහොම හරි බඳවා ගත්ත මේ ගුරුවරුන් පුහුණු කරන්න හෝ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මේ 25,000ක් අභ්‍යාසලාභී ගුරුවරු බඳවා ගන්න ගුරු විද්‍යාල තිබුණෙත් නැහැ. ඒ වගේ ම මේ අතරින් විශාල පිරිසකට සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වීම වැනි හේතු නිසා ගුරු විද්‍යාලවලට යන්න සුදුසුකම් තිබුණෙත් නැහැ. අන්තිමට ඔවුන්ව පුහුණු කළේ දුරස්ථ ක්‍රමයකට. ඒ ඒ ප්‍රදේශවල සිටි ටිකක් පරණ ගුරුවරු තමයි මේ අයට ඉගැන්වූයේ. 


වසර විස්සක් විතර යනකොට පිළි ගන්නවාද, දැන් මේ අභ්‍යාසලාභී ගුරුවරු තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කෙළිකාරයෝ. අර පරණ ක්‍රමවේදය ම පාවිච්චි කරලා මේ අයගෙන් ඇතැමෙක් ස්වේච්ඡාවන් වැඩ බැලූ පදනමින් විදුහල්පති වෙලා. සමහරු අධ්‍යාපන අධ්‍යක්ෂවරු.


මේ අභ්‍යාසලාභී ගුරු පරපුර විසින් ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් කරන ලද අනර්ථය සුළු පටු එකක් නො වේ ය කියා අප කියන්නේ ඒ අතරත් හොඳ ගුරුවරු සිටියා ය කියන එකත් සඳහන් කරමින්. 


තර්ජනවලට බියේ හෝ ගෙවල්වලට වෙලා නිකම් ඉන්න වැඩ බැරි දාසලාට, වතීලාට මොකක් හෝ කර ගන්නට ගුරු පත්වීම් දීම රජය වහා ම නතර කළ යුතුයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2011-01-26

කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?

(2011 ජනවාරි 26, W3Lanka) "ඔන්න දැන් ජනාධිපති තුමා බෙහෙත් ගන්නවා ඇමෙරිකාවේදී. කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?"


මේ අප පසුගිය 2010 මාර්තු 30දා ජනාධිපතිගේ ජීවක එළියන්ත වයිට් ගැන තැබූ සටහනකට අද කිසිවකු විසින් දක්වන ලද ප්‍රතිචාරයකි. 


ජනාධිපතිතුමා ඇමරිකා ගොස් සිටින්නේ ප්‍රතිකාර ගන්න නම් ඇත්තෙන් ම එළියන්ත වයිට්ගේ ගුප්ත බල සහිත විස්මිත ආයුර්වේද වෙදතම ගැන එතුමන්ට විශ්වාස නැතුවා ඇති. නැතිනම් මේ ජාතියක් ජන්මයක් පැහැදිලි නැති එළියන්ත ලින්ඩ්සේ වයිට් දැන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වන්නට ද පුළුවන. 


කෙසේ වෙතත්, ගුප්ත බලවේග විශ්වාස නො කරන අප විසින් එදා ඔහු ගැන තබන ලද සටහන කියවීම රසවත් විය හැකි බැවින් එයට සබඳතා පුරුක යළි මෙහි දක්වමු. 



ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

ජනාධිපතිවරණ දූෂණයට වසරයි

(2011 ජනවාරි 26, W3Lankaමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන අදට වසරකි. එසේ ම, ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දඩයමි කිරීම ආරම්භ වන්නේ ද වසරකට පෙර අද වැනි දිනෙකයි. 


එසේ ම, වසරකට පෙර අද වැනි දිනක් උදා වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී තිබියදී ය. 


වසරකට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය බොහෝ දෙනෙක් සැක කළ හ. දිනුවත්, දිනුවේ ලක්ෂ 18ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ද යන්න රාජපක්ෂ පිලේ අයගේ පවා සැකයට භාජනය විය. 


ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල බලය හා රාජ්‍ය දේපල භාවිතා කරමින් කළ ප්‍රජාතන්ත්‍ර හා සදාචාර විරෝධී එකකි. එවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී පවා තරගය තියුණු මට්ටමක තිබිණි. ජනවාරි 26 වන දින පස්වරු 1.30ට පමණ රාජ්‍ය ජනමාධ්‍ය විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී නැති බැවින් ඔහු දිනුවත් ජනාධිපති ධුරයේ දිවුරුම් දිය නො හැකි බවට මතයක් ගොඩනැඟුවේ පැවති අවිනිශ්චිත තත්වය නිසා ය.  


ඡන්ද විමසීම අවසන් වන්නට ආසන්නව තිබියදී ප.ව. 3.30 සිට පසුදින ප.ව. 4.45 දක්වා කාලය තුළ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තම කාර්යාලයේ නොසිටියේ යයි ද ආණ්ඩුවේ බලවත් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහු කැඳවාගෙන ගිය බව හා ඔහු ද බිරිඳ ද සිටියේ තම නිවසේ හෝ කාර්යාලයේ හෝ නො වන බව ද නීතිඥ එල්මෝ ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ අභියෝග කරයි. 


පසුදින ප.ව. 4.45ට ඔහු ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළේ අතිශය අසහනතාරී ස්වභාවයක් පළ කරමිනි. 


එතැන් පටන් දයානන්ද දිශානායක අතිශය නිහඬ ස්වරූපයකින් කටයුතු කරයි. 2010 ජනවාරි 26දාට පෙර ඔහු ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ ය. එහෙත්, දැන් ඔහු ජනමාධ්‍ය හමුවට එන්නේ නැති තරම් ය. ඔහු වැඩිපුර දිවයිනේ රැ‍ඳෙන්නේ ද නැති බව වාර්තා වේ. 


කෙසේ වෙතත්, ජනාධිපතිවරණය පිළිබඳ මෙම කරුණු කිසිවක් පිළි ගත හැකි ආකාරයට සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට විපක්ෂය අසමත් විය. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් පවා තමන් ම කියූ 'කොම්පියුටර් ජිල්මාට්' කතාව විශ්වාස නො කළ බව දැන ගන්නට තිබේ. 


ජනාධිපතිවරණයේ සත්‍ය ප්‍රතිඵලය මෙය ම වුණ ද, පූර්ව මැතිවරණ යුගයේ පැවති අසීමිත දූෂිත ස්වභාවය හේතුවෙන් මෙම මැතිවරණය සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී එකකැයි කිසි සේත් ම පිළිගත නො හැක. 


අත්අඩංගුවට ගනු ලැබූ සරත් ෆොන්සේකා යුද අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලහි ලහියේ සිරගත කරන ලදී. ඔහුව ජීවිතාන්තය දක්වා ම සිරගත කර තැබීම සඳහා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි සිතිය හැකි ය. 


ජනාධීපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා මෙල්ල කිරීමට ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුවට අතිශය වාසිදායක විය. විපක්ෂයට සටන්කාමී නායකත්වයක් ‍දීමේ හැකියාව තිබුණු ෆොන්සේකා අද වන විට ඔහු ඔසවා තැබූ බලවේග විසින් ම හුදකලා කර දමා තිබේ. 


තමන් විසින් ම මහා දූෂණයකැයි හඳුන්වා දෙන ලද ජනාධිපතිවරණයට වසරක් පිරෙන දිනයේ එයට විරුද්ධව උද්ඝෝෂණයක් තරන්නට පවා විපක්ෂය අසමත් වී තිබේ. 


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිළිබඳ ආණ්ඩුව ඇඟිල්ල දිගු කළේ එක්නැලිගොඩට ම ය. ඔහු ස්වේච්ඡාවෙන් සැඟවී සිටින බව ආණ්ඩු ගැති මාධ්‍යකරුවකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම ලියුවේ ය. වසරක් ගෙවී ඇතත්, ආණ්ඩුව ඔහු 'සැඟවී සිටින ආකාරය' ගැන හෝ කිසිවක් සොයා ගැනීමට අසමත් වී තිබේ. 


ප්‍රගීත් යුදමය ඉලක්කයක් නො වූ බව හා පසුගිය කාලයේ ඝාතනයට හා මර්දනයට ලක් වූ (විශේෂයෙන් ම සිංහල) මාධ්‍යකරුවන් යුදමය ඉලක්ක වී සිටි බව අපේ අදහසයි. එහෙත්, ප්‍රගීත් අතුරුදහන් වී වසරක් ගත වන විටත්, ඔහු පිළිබඳ තොරතුරක් හෙළිදරව් නො වීමත් සමග ආණ්ඩුව දෙස එල්ල වන ඇඟිල්ල සාධාරණ වේ. 


කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන වසරක් ගෙවී යන විට, මර්දනය තුළ ප්‍රජාතාන්ත්‍රික විරෝධය මුළුමනින් ම පාහේ දිය වී ‍ගොසිනි.  අවසාන වශයෙන් උද්ඝෝෂණයක් කරන්නට ඉතිරි වී සිටි මාධ්‍ය සංවිධාන පවා නිහඬ වී හමාර ය.


ඒ ඇයි? මහා කුණාටුවකට පෙර මුහුද බෙහෙවින් නිසල බව අපි අසා ඇත්තෙමු. මේ එවැනි තත්වයක් ද? 


Bookmark and Share

2011-01-25

ලාබයි! ලාබයි! දේශපාලන පක්ෂ ලාබයි! එන්න! ගන්න!

(2011 ජනවාරි 25, W3Lanka) ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 67ක් ඇති බව වාර්තා වේ.


ඒ අතරින් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ තුනකට එම පක්‍ෂවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය තරග කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලය දැනුම්දී තිබේ. එම පක්ෂ නම් ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික සංවර්ධන පෙරමුණ හා ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණ එම පක්‍ෂවේ.


ඒ අතරින් ප්‍රගතිශීලී පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය රැඩිකල් නායකයකු වූ ආරිය බුලේගොඩ විසින් පිහිටුවන ලද පක්ෂයකි. 1989 මර්දනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ 1994දී මුල් වරට මහ මැතිවරණයට තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනා ගත්තේ ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කරමින් ය.


බුලේගොඩගේ මරණයෙන් පසු මෙම පක්ෂය කලක් රොහාන් ජයතුංග නම් පුද්ගලයකුට හිමි වී තිබිණි. ඔහු එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සම්බන්ධ කර තිබුණු අතර එය එම සන්ධානය විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා මෙම පක්ෂය පාවිච්චි කළේ ය. 


අනෙක් පක්ෂ දෙක අප දන්නා ආකාරයට ජාතික වශයේ වැදගත් දේශපාලන මැදිහත්වීමක් කළ අය හා සම්බන්ධ නැත.


එකම පක්‍ෂයේ ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් පක්‍ෂයේ අයිතියට හිමිකම් පෑම හා ඒ වෙනුවෙන් අධිකරණයට යැම මෙම පක්ෂ සම්බන්ධයෙන් ඇති අර්බුදයයි. කිසිවකු නො දන්නා නම් ඇති දේශපාලන පක්ෂ වෙනුවෙන් දේශපාලකයන් යයි කිසිවකු නො දන්නා පුද්ගලයන් උසාවි යන්නේ හා නඩු කියා ගන්නේ ඒවා ද ඉඩකඩම්, ව්‍යාපාර වැනි දේපල නිසා ය.


දේශපාලන පක්ෂ යනු ජනතාවගේ සංවිධානය වීමේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම මත පාදක වූ ආයතන විශේෂයකි. එහෙත්, සාමාන්‍ය ජනතාවට සංවිධානය වී දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම පහසු නැත. හේතුව, මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනය යයි අර්ථකථනය කරන දෙයට මහජන දේශපාලනය අනුගත විය යුතු බැවිනි.  නිදසුනක් ලෙස මෙම ලේඛකයා බ්ලොග්කරණයේ යෙදෙන්නේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ය. එහෙත්, මැතිවරණ කොමසාරිස්වරයා එය පිළි ගන්නේ නැත. දෙශපාලනය පිළිබඳ ඔහුගේ අර්ථකථනය මැතිවරණ තරග කිරීම මූලික කර ගත් එකකි. 


එහෙත්, මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් වැනි අයට නම් පක්ෂ ලියාපදිංචි කර ගැනීම ඉතා පහසු ය. පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වීම ලියකියවිලිවලින් පෙන්නුවා ම ඇති ය. කොහොමත්, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණ පවත්වන්නේ නැත. 


ලියාපදිංචි දේශපාලන පක්ෂයක බලය තමන් අත තිබීම අද වන විට බලය සමග සම්බන්ධ වී ධන ලාභ ලබා ගැනීමේ මාර්ගයක් වී තිබේ. මැතිවරණ සමයේදී අපේක්ෂකයන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ව්‍යාජ අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරනු ලැබේ. ස්වාධීන කණ්ඩායම් ලෙස මෙය කිරීම වියදම්කාරී කටයුත්තකි. මන්ද, ඇප මුදල විශාල හෙයිනි. එහෙත්, ලියාපදිංචි පක්ෂයකින් එසේ කිරීම ලාභ ය; පහසු ය. පක්ෂ අයිතිකාරයන්ට කල්ල මරේ වන්නේ එවිට ය. 


බලයට එන්න පුළුවන් පක්ෂයකට ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තම පක්ෂය දුන් විට අයිතිකාරයාට හෝ අයිතිකාරයන්ට ඒ සඳහා මිළක් ලබා ගත හැකි ය. 


එසේ ම, හිටි ගමන් දේශපාලන පක්ෂ වෙන්දේසියේ විකිණෙන අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණයක් තරග කිරීම සඳහා එක්තරා බාම් මුදලාලි කෙනෙක් දේශපාලන පක්ෂයක් මිළ දී ගත්තේ ය. 


එසේ ම, අලුත් සන්ධාන බිහි වන විට ද ලියාපදිංචි දේශපාලන පක්ෂවලට වෙළඳපොළ ඉල්ලුමක් ඇති වේ. නිදසුනක් ලෙස, වසරකට ඉහත පැවති ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයකු ලෙස තරග කළේ එවැනි පක්ෂයකිනි. 


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එහි ලේකම් ආනන්ද සංගරීට හිමි වීම හා 2004 මහ මැතිවරණය තරග කිරීම පිණිස අතීතයෙන් ඉලංකෛ තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂය ගෙන ඒමට සිදු වීම මෙවැනි තවත් පක්ෂ විහිළු දෙකකි. තව බොහෝ තිබේ. 


මේ විහිළුවලට අප හිනා වන විට ඇත්තෙන් ම ඒ හිනා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ය. මහජනතාවගේ සංවිධානය වීමේ අයිතියට ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

2011-01-24

හදිසි නීතිය රිචුවල් එකක් හෙවත් අභිචාරයක් වීම

(2011 ජනවාරි 24, W3Lanka) සාමාන්‍ය නීතිය අභිභවා යන හදිසි නීති තත්වයක් රටකට අවශ්‍ය වන්නේ යුද්ධයක්, මහජන කැළඹීමක්, ආපදාවක් වැනි තත්වයකදී ය. එවැනි අවස්ථාවකදී මතු වන අවශ්‍යතාවන් අනුව රජයට සාමාන්‍ය නීතිය යටත් නො ලැබෙන සීමිත බලතල ප්‍රමාණයක් තාවකාලිකව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක හදිසි නීතියෙන් බලාපොරොත්තු වේ.


නිදසුනක් ලෙස, 2004 සුනාමිය වැනි ආපදාවකදී විශාල මළ මිනී සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්ෂණිකව කටයුතු කිරීම පිණිස මරණ පරීක්ෂණයකින් තොරව මළ මිනී වැළලීමේ බලය රජයට කෙටි කාලයකට අවශ්‍ය විය හැකි ය. එහෙත්, එවැනි බලතල රජයට හැමදාමත් අවශ්‍ය වන්නේ නැත. එසේ ම, යම් දේශපාලන ව්‍යාපාරයක් මැඬලීම පිණිස රජය එවැනි බලතල පාවිච්චි කරන්නට යනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී, යුක්ති සහගත පියවරක් වන්නේ දැ නැත.


ලංකාවේ හදිසි නීතිය වනාහි 1983 ජුලි මාසයේ සිට වසර 28කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන්නකි. අප දන්නා තරමින් මෙම කාල සීමාව තුළ හදිසි නීතිය ක්‍රියාත්මක නො වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ 1989 වසරේ මාස කීපයක කාලය සඳහා පමණි.


හදිසි නීතිය දීර්ඝ කරන්නේ මාසයෙන් මාසයටයි. ඒ වෙනුවෙන් විවාදයක් හා ඡන්ද විමසීමක් ද සිදු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී නො වන ක්‍රියාවක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අනුගමනය කරනු ලබන ව්‍යාජ පියවරක් වන මේ හදිසි නීති විවාදය වෙනුවෙන් ද වැය වන්නේ මහජන මුදල් ය. පසුගිය වසර විසි හතක පමණ කාලය තුළ හදිසි නීතිය දීර්ඝ කිරීම පිණිස විවාද 300කට වඩා පවත්වන්නට ඇත.


දැන් මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ක්‍රියාව ලංකාවේ විකෘති ප්‍රජාතන්ත්‍රවාදයේ අභිචාරයක් බවට පත් වී තිබේ.


ඉතිහාසයේ ප්‍රථම වරට විවාදයකින් තොරව පසුගිය 21දා හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 118 කින් සම්මත විය. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්‌ෂව ඡන්ද 123 ක්‌ද, විරුද්ධව ඡන්ද 05 ක්‌ද ලැබිණි.


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදය හා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන 08 වැනිදාය. එහෙත්, දැන් රටින් බැහැරව සිටින ජනාධිපතිවරයා හදිසි නීතියට අදාළ ගැසට්‌ නිවේදනයට පසුගිය 18 වැනිදා අත්සන් ගබා ඇති හෙයින් දින දහයක්‌ ඉක්‌ම යැමට පෙර එනම් මෙම 28 වැනිදාට පෙර එය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු නිසා හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පමණක්‌ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයෝ එකඟ වූ හ. ඊට අදාළ විවාදය ලබන 08 දා සිදු කිරීමටද පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය විය.


හදිසි නීතිය පිළිබඳව දෙවරක් හදිසි නීතිය යටතේ මර්දනයට ලක් වූ, එහෙත් තවමත් හදිසි නීතියට විරුද්ධව ඡන්දය නො දෙන සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීති අභිචාරයට අනුගත වන අන්දම හෙළිදරව් කරන පුවත්පත් වාර්තාවකි.


"හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අගමැති දි. මු. ජයරත්න මහතා ඉදිරිපත් කළේය. නීතිමය බාධාවක්‌ නිසා හදිසි නීතියට අදාළ ඡන්ද විමසීම පමණක්‌ පැවැත්වීමට පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ 08 වැනිදා හදිසි තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයත්, පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ පරිදි ලබාදෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟ වූ පරිදි ලබන 08 දා විවාදය පවත්වන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සම්බන්ධ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී බෙදීමක්‌ අවශ්‍ය බවද අනුර කුමාර දිසානායක මහතා කීය. ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාද කෙරිණි.ඡන්ද විමසීමේදී එක්‌සත් ජාතික පක්‌ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්හ."


කොහොමද? හරි ෂෝක් නේද? හරි ම ප්‍රජාතන්ත්‍රවාදීයි. එකසිය විස්සට දෙසීය විස්සක් ආවඩා අයිබෝ හදිසි නීතියට! සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්!

Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

2011-01-23

මැති ඇමතිකම් වෙනුවෙන් අම්මා වුණත් විකුණන සමයක ජවිපෙ ප්‍රතිපත්තිගරුකකම

(2011 ජනවාරි 23, W3Lanka)  ඇමතිකමක්, මන්ත්‍රීකමක් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස, වෘත්තිකයකු ලෙස, විද්‍යාර්ථියකු ලෙස, කලාකරුවකු ලෙස හෝ හොඳ මිනිසකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟා ගත් කීර්තිය කැප කරන්නට බුද්ධිමත් මිනිසුන් පවා පොළඹවනසුළු ධනයක් හා බලයක් පර්ලිමේන්තු මන්ත්‍රීකමක, ඇමතිකමක තිබේ. එසේ ම, එය වනාහි මහජන මුදලින් ධනවත් වීමේ හා සුර සැප විඳීමේ ද, ඒ දහ ජරා වැඩේ කරන ගමන් ම ඒ වෙනුවෙන් බදු බරට කර ගසා සිටින මිනිසුන්ගේ වන්දනාවට පාග්‍ර වීමට ද හැකි මාර්ගයකි.

එහෙයින්, අද කාලයේ ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් අම්මා වුණත් විකිණීමට සූදානම් ය.


ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි කොළඹ දිස්ත්‍රික් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති හා පරාජිත ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අධිකරණයක් විසින් සිරගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් නො දී එය අහිමි කර ගන්නේ මෙම සංදර්භය තුළ ය.


අද කාලයේ සිදු වන හැටියට ප්‍රතිපත්ති පාවා දී මොකක් හෝ බොරු තර්කයක් මවා පා මේ මන්ත්‍රීකමේ දිවුරුම් දී ආණ්ඩුවට හේත්තු වීම සුළු දෙයකි. ඕනෑ නම් එසේ කරන්නේ සරත් ෆොන්සේකා බේරා ගැනීමට ය කියා කියන්නත් පුළුවන.


එහෙත්, ජවිපෙ එසේ නො කළ අතර ජවිපෙ සාමාජිකයා පක්ෂ තීරණයට හිස නැමුවේ ය.


මෙය විශේෂ තත්වයක් වන්නේ මෙවැනි ප්‍රතිපත්ති ගරුකකමක් අද වන විට වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක ඉතිරි වී නැති නිසා ය.


ජවිපෙ මීට පෙර ද, 2004දී සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පූජා කළෙ ය. එසේ ම පක්ෂයෙන් නෙරපා හරින ලද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. අමරසිංහට ඉල්ලා අස් වීමට සලස්වා එම මන්ත්‍රී ධුරය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වන්නට ඉඩ හැරියේ ය.


කන්තලේ ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරය පැදවූ ජයන්ත විජේසේකර පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජවිපෙ ය.


එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සැබෑ ජනතා නායකයතු බවට පත් කරන්නට ජවිපෙ අසමත් විය. ජවිපෙ මන්ත්‍රීවරු වැඩි පිරිසක් දක්ෂයින් නො වූ හෙයින් ඔවුන් දූෂිතයන් බවට පත් නො වී සිටියා පමණි. වෙනත් කිසිවක් සිදු වූයේ නැත. අවසා‍නයේ ජවිපෙ මන්ත්‍රීවරු එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් පමණක් වූ හ. 2010 මහ මැතිවරණයේදී ජවිපෙ ආසන සංඛ්‍යාව හතරට බැස්සේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.


එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ විශාල මිළක් ගෙවන්නට ඉඩ තිබේ. එය‍ට හේතුව ජවිපෙ බිම් මට්ටමේ දේශපාලකයන්ගේ අසාර්ථකත්වයයි. එම තත්වය කෙබඳුදැයි විස්තර කරන්නට අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් දේශපාලනය පිළිබඳ උනන්දු පුද්ගලයකු වන මෙම ලේඛකයා තමන් ජීවත් වන ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ ජවිපෙ නියෝජිතයන් ඉන්නවා ද, නැද්ද, ඉන්නවා නම් ඒ කවුරු ද යන්න දන්නේ නැත. ඔබ ඔබේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය නියෝජනය කරන ජවිපෙ නියෝජිතයන් හඳුනනවා ද?


Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

2011-01-22

ආණ්ඩුවට බදු ගෙවමින් ටෙලි බැලීමේ සංස්කෘතික අභිමානය හා රූපවාහිනී බද්ද

(2011 ජනවාරි 22, W3Lanka) රූපවාහිනි ආයතන විසින් ගෙන්වන ලද විදේශීය චිත්‍රපට, විදේශීය ටෙලි නාට්‍ය හා විදෙස්‌ වෙළෙඳ දැන්වීම්වලින් පසුගිය වසර පහ තුළ රජය රුපියල් හැටපන් කෝටි අසූ එක්‌ලක්‌ෂ තිස්‌තුන්දහස්‌ නවසිය තිහක බදු මුදලක්‌ උපයා ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ.


ඒ අනුව 2010 වසරේ දී රුපියල් දොළොස්‌ කෝටි හැටතුන් ලක්‌ෂ තුන්දහස්‌ හයසිය පනහක්‌, 2009 දී රුපියල් පහළොස්‌ කෝටි දාහතර ලක්‌ෂ නවදහස්‌ නවසිය පනස්‌හයක්‌, 2008 දී රුපියල් දහතුන් කෝටි විසිහත්ලක්‌ෂ පනස්‌ හතරදහස්‌ එකසිය පනහක්‌, 2007 දී රුපියල් දාහත් කෝටි දෙලක්‌ෂ එක්‌දහස්‌ හයසිය හැත්තෑ හතරක්‌, 2006 දී රුපියල් හත්කෝටි හැත්තෑ හතර ලක්‌ෂ හැටහතර දහස්‌ පන්සියයක්‌ මෙසේ බදු ලෙස උපයා ඇත.


සිළුමිණ පුවත්පතේ 2010 පෙබරවාරි 21දා 'පික්චර් පිස්සා' යන කොලම යටතේ පළ වූ විස්තරයක සඳහන් වන පරිදි "2006 අංක 1 දරන ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද යන නමින් හැඳින්වෙන බද්ද පැනවීමේ අරමුණු කීපයක් තිබෙනවා. මා ළඟ ඇති මූලාශ්‍රවලට අනුව එහි ප්‍රධාන අරමුණු හතරක් විතර මෙසේ ගොනු කරන්න පුළුවන්.


(1) හරසුන්, බොළඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ සදාචාර නොවන වෙළෙඳ දැන්වීම් ආනයනය කර ප්‍රදර්ශනය කිරීම වැළැක්වීම, කෙසේ වෙතත් අවම කිරීම (ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒ. දිසානායක කළ ප්‍රකාශයකින්)


(2) විදේශ නිෂ්පාදන නිසා මේ රටේ සිදුවන සංස්කෘතික හානිය අවම කර ගැනීම (ජැක්සන් ඇන්තනිගේ 'බද්ද දෙස මැද්දේ සිට බැලීම හෙවත් ලංකාවේ ටෙලිවිෂන් අර්බුදය හඳුනා ගැනීම' පොත)


(3) ලාංකේය ටෙලි නිෂ්පාදන කණ්ඩායම්වල වෘත්තීය කඩා වැටීම අවම කර ගැනීම (ඉහත පොත)


(4) මෙරට නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන්වල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය වැඩි දියුණු කිරීම හා පාලනය කිරීම. (සරසවිය පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක්)"


දැන් බලන්න මේ බදු ආදායමෙන් ඉහත කී අරමුණු කිසිවක් ඉටු වෙලා තිබෙනවාද කියා?


හරසුන්, බොළඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ සදාචාර නොවන වෙළෙඳ දැන්වීම් විකාශය නතර වී තිබේ ද?


සංස්කෘතිය යනු වෙනස් නො වී පවතින දෙයක් නො වෙයි. එහෙත්, හොලිවුඩ් හා බොලිවුඩ් වැනි සංස්කෘතික පරමාදර්ශ ආක්‍රමණික ස්වරූපයකින් සංස්කෘතීන් මතට කඩා වදින ඒවායි. ඒවා නිසා මේ රටේ සිදුවන සංස්කෘතික හානිය අවම කර ගැනීම සඳහා මේ බද්ද හඳුන්වා දුන් ක්‍රියාමාර්ග මොනවා හරි තිබේ ද?


අංක තුන හා හතර වශයෙන් දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් කිසිවක් සිදු වී නැති බව බැලූ බැල්මට ම පෙනෙනවා.


අවසානයේදී සිදු වී ඇත්තේ 'නටපු තොවිලෙකුත් නැහැ; බෙරේ පලුවකුත් නැහැ' යන කතාවෙන් කියැවෙන ආකාරයේ දෙයකි. එය පිච්චර් පිස්සාගේ ලිපියේ සඳහන්ව ඇති ආකාරයට මෙසේ ය:


"වෙලා තියෙන එකම දේ ගෙවන බදු මුදල දැන්වීම්වලින් ආවරණය කර ගැනීම හේතුකොටගෙන ප්‍රේක්‍ෂකයන්ට ටෙලි නාට්‍යයට වඩා වැඩිකාලයක් වෙළෙඳ දැන්වීම් දෙස ඔහේ බලාගෙන ඉන්ට සිදුවීම පමණයි."


පිච්චර් පිස්සාගේ කොලමේ තවත් අපූරු සඳහනක් වෙනවා. "අද අපේ රටේ පැවැත්වෙන සමහර මඟුල් ගෙවල්වල අනුගමනය කෙරෙන සිරිත් විරිත් පවා ‘මහගෙදර’, ‘ප්‍රවීණා’ වැනි ටෙලිනාට්‍යවල විවාහ මංගල්‍යයෝත්සවවල දක්නා ආකාරයේ හින්දු චාරිත්‍ර වාරිත්‍රවලින් හැඩ ගැසුණු ඒවා බව සඳහන් වෙනවා."


අපි දිගින් දිගට ම මේ ‍බ්ලොග් අඩවියෙන් පෙන්වා දුන් කරුණක් තමයි, අද වන විට මේ රටේ මිනිසුන් දැඩිව ම සූරා කන ආයතනය වන්නේ රජයයි කියන එක.


මේ කාරණයෙනුත් ඔප්පු වන්නේ එයමයි. සුරංගනා කතා කියමින් පනවනු ලබන මෙවැනි බදු වලින් අපයන ආදායමෙන් අවසානයේදී ඇත්තෙන් ම සිදු වන්නේ මේ ආණ්ඩුවෙන් වාසි ලබන දේශපාලක හා නිලධාරි පැළැන්තිය සැප විඳීම පමණයි.

තව සමහරු කීවා මේ බද්දේ ආදායමින් රන්මිහිතැන්නේ හොලිවුඩ් වැනි සිනමා ගම්මානයක් හැදුවා කියලා. අනේ සාදු! දැන් එහේ හෝ ගාලා චිත්‍රපටි ගහනවා ඇති! හියැක් හුක් හූ!


මේවා මාර ප්‍රගතිශීලී පියවර යයි වර්ණනා කරන කලාකාරයන්ටත් උන්ගේ පංගුව ලැබෙනවා. අපි අතින් කාලා මේ කලා හරක් නටන ජවුසන් බලා ඉන්නවා.


ලංකාවේ මිනිස්සුන්ට හොඳයි පරණ වංගෙඩියක් වහලේ එල්ල ගත්තා නම්. ඒක හොඳට පද්දලා ඒකට පිට අල්ලන්න පුළුවන්.


Bookmark and Share
Bookmark, remember easily and come again 
http://www.w3lanka.com/

2011-01-20

එයාලා ගමේ ගිහින්

(2011 ජනවාරි 20, W3Lankaරජතුමා සහ පවුලේ තවත් අය පෞද්ගලික නිවාඩුවකට ගමේ ගිහින් ය. මේ ගම තියෙන්නේ බොලාගේ අපේ ගම් මෙන් සිංහල බෞද්ධකම රජ කරන ලෝකෙන් උතුම් ම රටේ නො ව, ඩොලර් කාක්කන් ඉන්න, කොටින්ට කත් අදින, ලංකාව බෙදන්නට දත කන, උදේ ඉඳන් රෑ වනකල් ඒ ගැන ම කල්පනා කරමින් සිටින, පුක නො සෝදන සුද්දන් ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ය.


එහේ ඉන්න කුමන්ත්‍රණකාරයන් මොනවා කරයි ද දන්නේ නැත. මතක ද, රැජිනගේ දේශය බලන්නට ගිහින් වෙච්ච අලකලංචිය?


ඒ නිසා, පඩි ලැබෙන විට වැඩි කරන බව කී 2500 පඩි පතේ නැති වුණොත්, දත් මිටි කන්නේ නැතිව, දැන් ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වෙමින් තිබෙන බව සිහිපත් කරගෙන දෙයියන් බුදුන් සිහිපත් කරගෙන

හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී

Bookmark and Share
Bookmark, remember easily and come again  http://www.w3lanka.com/

2011-01-19

කැහි ගෑනි දී හොටු ගෑනි ගන්න යන එජාපය

(2011 ජනවාරි 19, W3Lankaඅනේ මේ දුප්පත්, අසරණ එක්සත් ජාතික පක්ෂයට හරි අපූරු නායකයෙක් ලැබෙන්න යයි.


උන්නැහේ අ‍පි නො දන්න ආර්.ප්‍රේමදාසගේ පුත්‍ර රත්නයයි. 


උන්නැහේගේ වැඩ කෙසේ වෙතත් කට නම් ෂෝක් ය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේදී මේ කට ඇරුණේ කැන්ටිමෙන් කන්න පමණ ය. 


පස්සේ රනිල්ට කෙළවන්න ආණ්ඩුව සජිත්ට ජනමාධ්‍ය විවර කර දුන්නේ ය. එවිට උන්නැහේ කළේ ඔය හම්බන්තොට පැත්තේ පැල් කොටයක් ඇතුළේ කැමරාව අටවාගෙන වහල උඩ යන තරමින් ගිරිය පුප්පා කතා පැවැත්වීමයි. මේ මාධ්‍ය කණ්ඩායම් කිසිදා සෙනග පැත්තට කැමරාව අල්ලා නො පෙන්නන්නට පරිස්සම් වූ හ. 


ලබන අප්‍රේල් 12 වෙනිදාට පෙර පක්ෂ නායකත්වය භාර ගන්නා සජිත් ප්‍රේමදාස දැන් වහසි බස් දොඩවයි. පක්ෂය තුළ කොතරම් ප්‍රශ්න තිබුණත් තමාට පක්ෂ නායකත්වය ‍ලබා දෙන්න බොහෝ දෙනා සූදානම් බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.


ඔහුගේ කතා තුළ ඇති ස්වරය වන්නේ තමන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පක්ෂයේ නායකත්වය සියතට ගන්නා බවයි. ඒ එජාපය  ඔහුගේ අප්පාගේ බූදලය නිසා වන්නට පුළුවන.


හරි හමන් නායකයකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට නායකත්වය ලැබෙන තෙක් නො සිට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය දිනවීම සඳහා කටයුතු කිරීමයි. අඩු තරමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ටික හෝ දිනවා දීමට සජිත් ප්‍රේමදාස සමත් විය යුතු ය. 


රනිල් වික්‍රමසිංහ යනු ලංකාවට ගැලපෙන නායකයකු නො වන බව ප්‍රත්‍යක්ෂ ය. එහෙත් මේ එන්න යන කෙනා ද අනාගතයට ඔබින නායකයකු ද යන්න සැක සහිත ය. 


ඔහුගේ මේ බ්‍රේක් නැති කටට ප්‍රතිචාරයක් එජාප ලේකම් තිස්ස අත්තනායක දැක්වූයේ මෙසේ ය. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු සම්බන්ධව විවිධ අයට විවිධ බලාපොරොත්තු තිබුණත්, කුමන අදහස්‌ පළ කළත් ඒ තනතුරුවලට පුද්ගලයන් පත් කරනු ලබන්නේ මාර්තු 12 සහ අප්‍රේල් 12 අතර කාලසීමාව තුළදී බව ද පක්‍ෂයේ තනතුරු පත් කිරීම සම්බන්ධව කටයුතු කිරීම පළාත් පාලන ඡන්දය අවසන්වීමෙන් පසුව සිදු කළ යුතු බවට පසුගිය දා රැස්‌වූ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ගත් සාමුහික තීරණයේ කිසිදු වෙනසක්‌ වී නැති බව හෙතෙම කීය.


එජාපයේ තිබුණේ අභ්‍යන්තර ඒකාධිකාරයක් පිළිබඳ ප්‍රශ්නයක් නම්, දැන් මේ පත් කරන්නට යන නායකයා පවත්වන කතාවලින් පෙනෙන්නේ ඔහුගෙන් ඒ ප්‍රශ්නයට විසඳුම් නො ලැබෙන බවයි.  


එක්සත් ජාතික පාක්ෂිකයන් මේ සැරසෙන්නේ කැහි ගෑනි දී හොටු ගෑනි ගැනීමටයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

ලංකාවෙන් ගණිත ගුරුවරුන් ඉල්ලන පකිස්තානයට අල්ලා දෙවියන්ගේ ම පිහිටයි

(2011 ජනවාරි 19, W3Lankaපකිස්තානයට අල්ලා දෙවියන්ගේ ම පිහිටයි.


පකිස්තානය ලංකාවෙන් ගණිත ගුරුවරුන් 200ක් ඉල්ලා ඇත.


කතානායක ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් පසුගියදා පකිස්තානයේ සංචාරයක නියැළුණු අවස්ථාවේදී පකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි කතානායක චමල් රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇති බව අද දිනම්ණ පවසයි.


ලංකාවේ ගණිත ගුරුවරු ඉතා දක්ෂ ය. ඔවුහු සාමාන්‍ය පෙළ විභාගයේදී 2010දී 51%ක් සිසුන් සමත් කළ හ. ඒ කියන්නේ බහුතරයක් සමත් වී ඇති බව නො වේ ද?


පනිස්තානය වැනි මාර රටකින් ලංකාවේ ගුරුවරුන් ඉල්ලන්නේ ඒ නිසා ය.


දැන් ඉතින් රු. 2500 වැටුප් වැඩිවීම නො ලැබුණු ගණිත ගුරුවරුන්ට ආණ්ඩුව තමන් පකිස්තානයට පටවන තෙක් බලා සිටිය හැකි ය.


ලංකාව දූපතක් නිසා මුහුදෙන් එතෙර කොහේ ගියත් සැලකෙන්නේ රට ගියා කියා ය.


ඉංග්‍රීසි ගුරුවරුන් දකුණු කොරියාවට යවන බව ද, හෙදියන් යුරෝපයට යවන බව ද මීට පෙර ආණ්ඩුව ප්‍රචාරය කළේ ය.


ජනමාධ්‍ය අතේ තියන නිසා බුද්ධාගම උගන්වන ගුරුවරුන් ලක්ෂ දෙකකට මුළු ලෝකයෙන් ම ඉල්ලුම ඇති බව ද, සිංහල ඉගැන්වීම සඳහා කෝටි දෙකක් ගුරුවරුන්ට ඉල්ලුම ඇති බව ද කියන්නට ඕනෑ නම් පුළුවන. වචනවලට කිසි වියදමක් නැත. 


අපේ රජයේ සේවකයන් යනු මේ ඕනෑම ලොලිපොප් එකක් කන කට්ටියකැයි ආණ්ඩුව හිතනවා විය හැකි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com