2011-02-28

සමන් මල් විප්ලවය හා අපි

(2011 පෙබරවාරි 28, W3Lankaපහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් නිර්නාමිකව දක්වන ලද වැදගත් අදහසකි. ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟීමට අපි කැමැත්තෙමු. 


මෙහිදී අවධානය යොමු වන කරුණු වන්නේ අප්‍රිකාවේ, අරාබියේ දූෂිත ඒකාධිපතියන්ට එරෙහිව මතු වී තිබෙන මහජන උද්ඝෝෂණ රැළි ලංකාවට බල පාන්නේ කෙසේ ද යන්න සහ ඒ උද්ඝෝෂණ සඳහා මහජනතාව  සංවිධානය කෙරුණු නව ආකාරයන් පිළිබඳවයි.   


භීෂණයෙන්, බලහත්කාරයෙන්, නොමග යැවීමෙන් හා දූෂණයෙන් කොල්ල කා ගත් මහජන කැමැත්ත මත පාලනය පවත්වාගෙන යන රටවල මහජනයාගේ බිය නැති කර, ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සඳහා අරගලයට ඔවුන් යොමු කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ ඔබේ අදහස් හා ඔබ දන්නා තොරතුරු මෙහි සටහන් කරන්න. 


ඔබේ අදහස් විද්‍යුත් තැපෑලෙන් එවනවා නම් w3lanka@gmail.com වෙත එවන්න.


අද අරාබියේ සිදු වෙන විප්ලවය ලොව පුරා පැතිර යනවා නියතයි. මෙවැනි විප්ලවයන්ට color revolutions කියා පත්තර කාරයෝ නම් කරනවා. ඒ අනුව අද සිදු වේගෙන යන විප්ලවයන්ට jasmine නොහොත් සමන් මල් විප්ලවය කියාත් සමහරු කියනවා.


මට මේවා පෙනෙන්නේ texting revolution කියායි. Face Book, Twitter ආදී ලෝ පරිගණක වැලේ තැන්වලින් උසිගන්වා ඉන්පසු මහජනයා අතර text (SMS) පණිවිඩ මාර්ගයෙන් සංවිධාන වී සාමකාමීව රැස්වී තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම මෙවායේ ලකුණකි. මුල්ම texting රැස්වීම පැවැත්වුණේ ඔබාමා ඡන්දය දිනූ දිනයේයි. එදා ධවල මන්දිරය ඉදිරිපිට පිටියට ළඟ විශ්වවිද්‍යාලවල සිසුන් රැස්වී කල කලබලය පොලිසියවත් පත්තරකාරයෝවත් කලින් දැන හිටියේ නෑ.


අද ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහේම පෙලපාලි යනවා. ඒවාට ආදර්ශය ලැබුණේ ඊජිප්තුවෙනුයි. මේ හැම තැනම අය කියන එක දෙයක් තමා "මගේ තිබුණු බය නැතිවෙලා කවදාවත් නොදැනුණු නිදහසක් අද මට දැනෙනවා" කියායි. අද ලංකාවේ කාටත් අර ධීවරයාගේ බිරිඳ ලැබූ අවමානය නිතිපතා බලවතුන්ගෙන් ලැබෙනවා. මෙම අවඥාවන්වලට මුල් හේතුව රටේ බලය තමන් අතේ නැතිව ගොස් ඇති නිසා ය කියා ජනයා තේරුම් ගත් විටයි ඔවුහු නැගී සිටින්නේ. ඒ දිනය ලංකාවට ළඟ වග කාටත් හිතෙනවා ඇති.


ලිස්ට් ක්‍රමයෙන් දාමරිකයන් බලයට පැමිණීම නිසා සංස්කෘතියක් නැති පාදඩයන් රට සූරා කන වග රටේ මධ්‍යම පංතියට පෙනී ගිය දිනට කොළඹ කාක්කන්ගේ ඉරණම  තීන්දු වෙනවා ඇත.


ළඟදීම හදිසියේම දකියි බෝගම්බර පිටියේ මහජනයා එක් රැස් වෙනවා. ඒ විටම කොළඹ තුරඟ තරඟ පිටියේ තව එකක් දකියි. ඔය විදිහට හතු පිපෙනවා වගේ හැම තැනම පිරිස් රැස් වෙයි. එදා තමන්ගේ වාසියට හදාගෙන ඉංග්‍රීසියෙන් ලියාගත් ව්‍යවස්ථාවක මුවාවෙන් පාලනය ගෙනියන දේශපාලකයන්ගේ හුළං හදිසියේ ම බැහැලා යාවි. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-26

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මිදී සන්නිවේදන උපකරණ නැතිව ගැඹුරු මුහුදේ දින 14ක් යාත්‍රා කර ආපසු පැමිණි අපේ කාලයේ වීරයෙක්

(2011 පෙබරවාරි 26, W3Lankaධීවරයින් 5 දෙනෙකු සමගින් පසුගිය ජනවාරි 22 බේරුවලින් මුහුදු ගිය ඕෂන්-4 ධීවර යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයට පත් වූ බවට සැකයක් මතුව ඇති බව පසුගියදා ධීවර අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.


ඕෂන්- 4 යාත්‍රාවේ ධීවරයින් විසින් පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් භාරයේ සිට නිදහස්ව යළි දිවයිනට පැමිණෙමින් සිටින දර්ශන -6 ධීවර යාත්‍රාවට තම යාත්‍රාව දෙසට සැකකටයුතු බෝට්ටුවක් පැමිණෙන බවට ලබාදුන් පණිවුඩයකට අනුව මෙම සැකය මතුව තිබිණි. ධීවර ක්‍රියාකාරිකයකු අපට පැවසූ කරුණක් මෙහිදී සිහිපත් වේ. ධීවරයන්ට සපයා තිබෙන සන්නිවේදන මාර්ග ධීවරයන් විසින් ම වැරදි ලෙස භාවිතා කරනු ලැබීම හේතුවෙන් ගැඹුරු මුහුදේදී අනතුරට පත් වන ධීවරයින්ට නිසි අන්දමින් හදිසි පණිවුඩයක් ලබා දීමේ හැකියාව නැතිව යයි. මෙහිදී ද එවැන්නක් සිදු වූවා වන්නට ඉඩ ඇත.


කෙසේ හෝ වේවා, මෙම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා පෙබරවාරි 11 වැනිදා සිට බිඳ වැටී තිබිණි.


මෙම ධීවරයන් පස්දෙනා ඊයේ (25) දා අලුයම 3.30 ට පමණ බේරුවල ධීවර වරායට සේන්දු වූ බව මාධ්‍ය මගින් වාර්තා විය. මාධ්‍ය වාර්තා 100%ක් සත්‍ය ද යන්න අපි නො දනිමු. එහෙත්, වාර්තා අනුව, මෙම ධීවර යාත්‍රාවේ නියමුවා පුහු වීරයන් රජ කරන අපේ කාලයේ සැබෑ වීරයෙකි.


තෙරක් නො පෙනෙන ගැඹුරු මුහුදේ සරළ යාන්ත්‍රික උපකරණ කීපයක් සමග දිය රැළි සමග පොරබදිමින් ඔහු ආපසු බෝට්ටුව රැගෙන පැමිණි කතාව තවමත් වාර්තා නො වුණු සැබෑ වීර කතාවකි.


අප මෙහි පළ කරන්නේ ඔවුන්ගේ කතාව පිළිබඳ අද දිවයින පුවත්පතින් උපුටා ගත් කොටස් කීපයකි.


"සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ අපේ බෝට්‌ටුවට මුල ඉඳලම වෙඩි තිබ්බා. අපි පහත්වෙලා හිටියා. පස්‌සෙ එයාල අපේ බෝට්‌ටුවට නැග ගත්තා. අපි පස්‌දෙනාවම බෝට්‌ටුවේ ඉස්‌සරහට ගෙනිහිල්ලා දණ ගස්‌සලා තුවක්‌කු ඔළුවට තියාගෙන හිටියා. ඒ අය කතා කළේ කැඩිච්ච ඉංග්‍රීසියෙන්. උඹල මොන රටේද කියලා ඇහුවා. අපි කිව්වා අපි ශ්‍රී ලංකාවේ කියලා. ඊට පස්‌සේ අපිට හොඳටම ගහලා අපේ හැමදෙයක්‌ම එයාල අර ගත්තා. පොල් ගෙඩි 30 ක්‌ විතර බෝට්‌ටුවේ තිබුණා. ඒ හැම දේමත් එක්‌ක කෑම බීම ඔක්‌කොම ගත්තා. බෝට්‌ටුවේ තිබුණ ටීවී එකයි, රේඩියෝ එකයි, බෝට්‌ටුවේ රේඩාර් උපකරණ ටිකයි අර ගත්තා. ඇන්ටනාවත් ගලව ගත්තා. අපේ ඇඳුම් පවා උදුර ගත්තා. ඇඟේ ඇඳුම විතරයි ඉතුරු වුණේ. ඊට පස්‌සේ අපිව ආපසු අතහැරියා. මහ මුහුදේ රේඩාර් පද්ධතියක්‌ නැතිව කොහේ යන්නද කියලා අපිට හිතා ගන්න බැරි වුණා. ඒත් අපේ ස්‌කීපර් චන්ද්‍ර අයියාගේ උත්සාහය නිසා කාටවත් කරදරයක්‌ නැතුව ආපහු ගෙදර ආවා."


- ඕෂන් 4 යාත්‍රාවේ සිටි ධීවරයකු වූ ලක්‍ෂ්මන් පෙරේරා


පෙනෙන අන්දමින් ඔවුන් පෙබරවාරි 11දා සිට 25දා දක්වා දෙසතියක කාලයක් මුහුදේ යාත්‍රා කරමින් මේ ගමන පැමිණ තිබේ. ඒ ගමනේ අත්දැකීම ත්‍රාසජනක කතාවක් බවට සැක නැත. 


"රේඩාර් යන්ත්‍රය කොල්ලකරුවන් ගලවා ගත්තාට පස්‌සේ ආපහු බේරුවල සොයාගෙන එන එක ලේසි වුණේ නෑ. ඒත් මම කොහොම හරි ඒ දේ කළා. මට ගොඩක්‌ සතුටුයි. අපේ හැඳුනුම්පත් ඔක්‌කොම ඒ කට්‌ටිය ගත්තා. මම දියවැඩියාව රෝගයට ලබාගන්න බෙහෙත් ටික පවා උන් උදුර ගත්තා. දවස්‌ ගානක්‌ තිස්‌සේ බෙහෙත් නැතුව මහ මුහුදෙදි කට්‌ටියව ආපසු ගේන්න විඳපු දුක අද මට ලොකු සතුටක්‌ වෙලා."


- ඕෂන් 4 යාත්‍රාවේ නියාමක චන්ද්‍ර පුෂ්පකුමාර


ඈත මුහුදේ අනතුරුදායක යාත්‍රාවන්හි යෙදෙමින් මත්ස්‍ය සම්පත නෙළාගෙන සය රට ගෙන එන මේ ධීවරයන් නිසා පවතින ධීවර අමාත්‍යංශය ගැන අනතුරට පත් ධීවරයකුගේ බිරිඳ පවසන්නේ මෙසේ ය:


"මම ධීවර අමාත්‍යාංශයට ගිහිල්ලා මගේ මහත්තයවයි, අනිත් කට්‌ටියවයි බේරල දෙන්න කියලා බැගෑපත් වුණා. ඒත් ඒ නිලධාරීන් මට මහ අමුතු විදියට කතා කළේ. "මනුස්‌සයා මුහුදු ගියේ පොල් කඩන්නද?" කියලා මගෙන් ඇහුවා. ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න මහත්වරුන්ට අපේ දුක තේරුම් ගන්න බෑ. ඒගොල්ලො ඇඟ බේරගෙන දුප්පත් අපිත් එක්‌ක තර්ක කරනවා."


- අපේ කාලයේ වීරයකු ලෙස අප හඳුන්වන ඕෂන් 4 යාත්‍රාවේ නියාමක චන්ද්‍ර පුෂ්පකුමාරගේ බිරිඳ ඩබ්ලිව්. කමලාවතී ද සිල්වා


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-25

ලහිරු පෙරේරාගේ ක්‍රිකට් සිංදුව ජනාධිපති නිපන්දුවක් කරයි | Sri Lanka President calls cricket song no-ball

බංග්ලාදේශය
(2011 පෙබරවාරි 25, W3Lanka) පහත් රුචියක් මත පදනම් වූ, අපහාසාත්මක හා මුග්ධ ප්‍රකාශ සහිත වචන වගයක් (පදමාලාවක් යයි ද ඇතැම්හු කියති) සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලෝක කුසලාන සිංදුව (ගීතය) තහනම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් පියවර අපි අගය කරමු. 


ජනාධිපතිවරයා මේ සිංදුව තහනම් කිරීමට පියවර ගත්තේ සූරියවැව ක්‍රීඩාංගනය විවෘත කළ දා කැනඩාව හා ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරග‍යේදී එය වාදනය කරනු අසා ඇති වූ ලජ්ජාව හා වෙනත් රටවල් ගැන කියන කතා නිසා ඇති වූ අපහසුතාව නිසා බව වාර්තා වේ. 


ලංකාවේ වැනි පාලනයන් සහිත රටවල කලා බිස්නස්කාරයන්ට පවා පාලකයා සතුටු කරන්නට බැරි වුණොත් සිදු වන්නේ ඇන ගන්නට බව මේ සිද්ධියෙන් පෙනේ. 


මේ සිංදුව කියන්නේ (ගායනා කරන බව සමහරු කියති) ලහිරු පෙරේරා නමැති ගීත ව්‍යාපාරිකයා ය. (ගායකයකු ලෙස ද හැඳින්වේ.) ඔහු මීට පෙර 'රතු රටකජු - සුදු රටකජු' යයි සිංදුවක් කියුවේ ය. එහි වචන ද ඔහු සහ ඔහුගේ නඩය විසින් අතනින්, මෙතනින් අහුලාගෙන මෙලෝ රහක් නැතිව එකට පටලවා ගත් ඒවා ය. 


එහෙත්, බාල බඩු වැඩි මිළට විකිණීමේ දක්ෂතාවකින් යුතු අලෙවිකරුවන් පිරිසක් එකතු වී මේ ගීතය හොඳට විකුණා ගත්තෝ ය. සමහරු හිතන්නේ ‍මේ ගීත හරි ජනප්‍රිය ය කියා ය. එහෙත්, ඇත්ත නම් මේ ගීත නිතර දෙවේලේ ඇසීම පිටුපස ඇත්තේ ගුවන් විදුලි, රූපවාහිනී සේවාවලට දුන් පගා වීමයි. මේ සිංදු ව්‍යාපාරිකයෝ සිංදු කියන්නේ දැන්වීම් ප්‍රචාරක ආයතන දෙස බලාගෙන මිස සිංදු අහන මිනිසුන්ට නො වේ. මොවුන් කෙතරම් බාල වෙළෙන්දෝ ද යත්, උන්ගේ සිංදු අස්සේ ද වෙළඳ දැන්වීම් කෑලි හොරෙන් ඔබා, ඒවා විකාශය කරන මාධ්‍ය ආයතනවලලට ද වංචා කරමින් විකුණන්නට පව ඔවුහු කටයුතු කරති. 


මොවුන් සමාන කළ හැක්කේ පොත් අස්සේ වැල පොත් හෙවත් කුණුහරුප පොත් හංගා විකුණන වර්ගයේ පාදඩ වෙළෙන්දන්ට ය. මොවුන්ට කලාකාරයන් කියා කියනවා නම් ඇත්ත කලාකාරයෝ තමන් කලාකරුවන් යයි කියනවාට විරුද්ධ විය යුතු ය. 




මේ වර්ගයේ සිංදු ව්‍යාපාරිකයන්ට බැරි ගායනය පමණක් නො වේ. නර්තනය ද බැරි ය. මෙලෝ රහක් නැති සිය හැකියාවන් ඔවුන් වසා ගන්නේ තාක්ෂණයේ පිහිටෙනි. ඒත් කමක් නැත. මේවා විකුණන්නේ බලහත්කාරයෙනි. ඒ අලෙවිය පිටුපස ඇති ප්‍රචණ්ඩත්වය පාරිභෝගිකයන්ට වැ‍ටහෙන්නේ නැත. 


ලෝක කුසලාන ක්‍රිකට් තරගවල ටිකට් සම්බන්ධයෙන් ඇත්තේ ද මෙවැනි ම තත්වයකි. වෙළඳ ප්‍රයෝග මගින් ලෝක කුසලාන ටිකට් පතක් හිමි කර ගන්නට සමත් වීම දක්ෂකමක්, වාසනාවක්, වරප්‍රසාදිත තත්වයක් හා විලාසිතාවක් බවට පත් කර තිබේ. එදා වේල පිරිමසා ගන්නට විදියක් නැති ලංකාවේ මිනිස්සු ලෝක කුසලාන ක්‍රිකට් තරගවල ප්‍රවේශ පත්‍ර මිළ ගැන කතා කරමින් කාලය කති. 


ජනාධිපති තීරණය කලා වාරණයක් ලෙස නො සැලකිය යුතු ය. මන්ද, මේ වනාහි, රජයේ ආයතනයක් විසින් බාල බඩුවක් මිළ දී ගෙන අසු වූ අවස්ථාවක් පමණි. ආඩම්බරය පෙන්නන්නට කවිච්චියක් අවශ්‍ය තැනට ප්ලාස්ටික් පුටුවක් මිළ දී ගත්තා වැනි දෙයකි. මෙහි කලාවක් කියා දෙයක් නැත. 


රට යන අත අනුව තව වැඩි කලක් යන්න‍ට පෙර අලුත් ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මානය කිරීම භාතිය-සන්තුෂ්ට පැවරෙන්නට ඉඩ තිබේ.  ඒ නිසා, ජනාධිපතිතුමාගේ තීරණය අපි රෝහණ වීරසිංහගේ සිට රූකාන්ත ගුණතිලක දක්වා ආණ්ඩුවට කඩේ යන සංගීතඥයන්ගේ විලි ලජ්ජාව බේරා දීමට ගත් මහඟු පියවරක් සේ අපි අගය කරමු. 


පහත ඇත්තේ ලහිරු පෙරේරාගේ ක්‍රිකට් සිංදුවයි. මෙය අර රටකජු ජහුටයට වඩා නම් හොඳ ය. "කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න - එළි වෙනකං බෝලවලට මැහුම් දාන්න.", "දිව්‍ය ‍ලෝකෙ ටීවි වටේ දෙයියො පිරෙන්නේ", "තව්තිසාවෙ ජනෙල්වලට බෝල වදින්නේ" වැනි අපූරු යෙදුම් කීපයක් එහි ඇත. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-24

සිගරැට්, බීඩි, අරක්කු බොන මිනිස්සුන්ට ද හිමිකම් ඇත.

(2011 පෙබරවාරි 24, W3Lankaශ්‍රී ලංකාවේ 2009 වසරේදී සිගරැට් කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් පරිභෝජනය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


එම පරිභෝජනයට අනුව සිගරට් සඳහා බදුවලින් 2009දී රුපියල් කෝටි 3780ක ආදායමක් උපයාගෙන ඇති බවද එම පිළිතුරෙහි දැක්වේ. ඒ අනුව,  සෑම දුම්වැටියකින් ම ආණ්ඩුව රු. 9ක පමණ බද්දක් අය කරගෙන ඇති බව පෙනේ.


මෙම දුම්වැටිවලින් සිගරැට් කෝටි 10ක් හැර අනෙක් සියල්ල දේශීය නිෂ්පාදනයි. සිය රට දේ සිරි සැප දේ කිව්වාට හැම විට ම එහෙම වන්නේ නැති බව එයින් පෙනේ.


එහෙත්, අපේ රටේ පාලකයන්ට සව් සිරි සැප දීමට මේ දුම් බොන්නන් සෑහෙන බදු ගෙවා ඇති බව පෙනේ. බදු ගෙවන ජනතාවට රජය ගරු කළ යුතු ය. මන්ද ආණ්ඩුව රැක ගන්නේ ඔවුන් නිසා ය.


දුම් බොන්නන්ට ද අයිතිවාසිකම් තිබේ. යමෙකු දුම් බී මිය යන්නට කැමති නම්, එය ඔහුගේ පෞද්ගලික කැමැත්තකි. එහෙත්, සෙසු අය අක්‍රිය දුම් පානයට ගොදුරු කර ගන්නට ඔහුට හිමිකමක් නැතුවා සේ ම, තමන් උරන දුම්වැටිය වෙනුවෙන් ගෙවන මිළට ගුණාත්මක වශයෙන් ඉහළ දුම්වැටියක් ලබා ගන්නට ද දුම් උරන්නන්ට අයිතියක් තිබේ.


සමාජයේ පැතිර ඇති ඊනියා දුම්වැටි විරෝධයට මුවා වන ලංකාවේ දුම්කොළ සමාගම සිය පාරිභෝගිකයන්ට සපයන්නේ ගුණාත්මකභාවයෙන් අතිශය දුර්වල දුම්වැටි බව දුම් බොන්නෝ පැමිණිලි කරති. ඇතැම් දුම්වැටිවල දුම්කොළ නැට පවා තිබේ. ඒවා ගංජා සුරුට්ටු මෙන් පට පට ගා පුපුර පුපුරා පත්තු වේ.


එසේ ම, දුම් බොන්නන් කැමති ගෝල්ඩ් ලීෆ් වැනි සුම්වැටි වෙනුවට වෙනත් ආදේශක බලෙන් පොවන්නට ද දුම්කොළ සමාගම උත්සාහ කරයි. එසේ කරන්නේ වෙළෙන්දන්ට ඒවා අනිවාර්යයෙන් ම විකුණන ලෙස බල කිරීමෙනි.


දුම් බොන්නන්ට ඇති ප්‍රශ්න වැනි ම ප්‍රශ්නයක් මත්පැන් බොන්නන්ට ද තිබේ. ආණ්ඩුවට විශාල බද්දක් ගෙවන මත් පැන් බොන්නන්ට පානය කරන්නට සිදු වී ඇත්තේ කසිප්පු මුසු ගල් අරක්කු ය. ගෙවන මුදලට වටිනා අරක්කු ටිකක් බොන්නට ඔවුන්ට ද හිමිකමක් තිබේ.


මානව හිමිකම් ඇත්තේ සාන්ත, දාන්ත, තීන්ත කූඩුවලට පමණක් නො වේ. කන, බොන මිනිස්සුන්ට ද ඒවා ඇත.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

එල්ලුම් ගහේ එල්ලෙන්න ආසා කරන මධ්‍යම පංතිකයන්ටයි

(2011 පෙබරවාරි 24, W3Lankaපාලකයන්ට දැන් එල්ලුම් ගහකුත් වවා ගන්නට ඕනෑ වෙලා ය. ලංකාවට  අඩුව ඇත්තේ එපමණක් වගේ ය. ඒ අනුව, බන්ධනාගාර අමාක්‍යංශය විසින් පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අමාත්‍යංශයේ ලේකම් විසින් ජනාධිපතිට දැනුම් දෙනු ලැබ අද දිනමිණේ ද මහ ඉහළින් පළ කර තිබේ.


ඒ අනුව,.රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට අසූ අටක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.


රටේ පවතින අපරාධරැල්ල මැඩ පැවැත්වීමට එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකදී ජනතාවගෙන් වැඩි පිරිසක් මෙසේ අදහස් දක්වා තිබේ.


මරණ දඬුවමට ලක් කරන ලද 334 දෙනෙක් මේ වන විට බන්ධනාගාරවල සිටිති.


පසුගිය දිනවල  ලංකාවේ නඩු විභාගවලින් තොර මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක විය. ඒ අනුව, තෝරා ගත් අපරාධකරුවන් පිරිසක් එක දිගට ම අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. ඒ ඔවුන් අත්අඩංගුවෙන් පැන යන්නට තැත් කළ බව කියමිනි.


ඒ ඝාතන මාලාවෙන් පසුවත් රටේ අපරාධ රැල්ල අඩු වී නැතැයි පාලකයෝත් ජනතාවත් නාහෙන් අඬති.


පසුගිය කාලයේ නඩු විභාගවලින් තොරව මරා දමන ලද අපරාධකරුවන් අතර කුඩුකාරයෝ ද වූ හ. මත්කුඩුවලට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් වූ බව කියනු ලැබේ. එහෙත්, කුඩු තුරන් වූවාදැයි අපි නො දනිමු.


නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ ය. පවත්නා සමාජ ක්‍රමය මුදුනේ සිට බිම දකුවා ම දූෂිත ය; අමානුෂික ය. එයින් සිදු වන්නේ ම අපරාධකරුවන් බිහි කිරීමයි. උදාහරණයක් ලෙස මේ දිනවල පවත්වන මැතිවරණය ගෙන බලන්න. මේ වනාහි අපරාදකරුවන් පිරිසකට සමාජ පිළිගැනීමක් ලබා දෙන අවස්ථාවකි. තව කලකින් මොවුන් වඩාත් ලොකු පුටුවලට සේන්දු වනු ඇත.


එල්ලුම් ගහේ පලදාවෙන් තමන්ට සුරක්ෂිත ජීවිතයක් ලැබෙනු ඇතැයි සිතන ලංකාවේ මුග්ධ මධ්‍යම පංතිකයන්ට අප කියන්නේ එල්ලුම් ගහට පෙර නීතියේ ආධිපත්‍යයට හිස නමන්නැයි පාලකයන්‍ට බල කරන ලෙසයි.


මිනීමැරුම් නඩුවක චූදිතයකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි පසුගියදා නිදහස ලැබුවේ ය. අවුරුදු 15ක් තිස්සේ විභාග වෙමින් තිබුණු නඩුවක තීන්දුව මාර්තු 19දා දීමට නියමිතව තිබියදී, නිතිපතිවරයා කත්‍රිආරච්චිට එරෙහිව තිබුණු චෝදනා ඉවත් කර ගත්තේ ය. ඒ නඩුව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්කි නැති බව කියමිනි.


සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. එසේ කළේ මරණීය දණ්ඩනයට ලක් වූවකු නිදහස් කරන්නේ නම් එයට අදාළ තීන්දුව දුන් විනිසුරුවරයාගේ කැමැත්ත අවශ්‍ය නිසා බව කියැවේ.


ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද ජනාධිපතිවරයා විසින් නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.


ලංකාවේ නඩු කියවෙන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා මධ්‍යම පංතිකයිනි, එල්ලුම් ගහ ආවොත් එහි එල්ලෙන්නේ ද මේ රටේ දුප්පතුන් මිස ධනවත්, බලවත් අපරාධකරුවන් නො වේ. මධ්‍යම පංතිකයන්ට ද එල්ලෙන්නට අවස්ථාවක් ලබා ගන්නට බැරිකමක් නැත. එහෙත්, ඔබ දන්නා නමගිය අපරාධකරුවන් නම් කිසිවෙක් එහි එල්ලෙන්නේ නැත. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-23

විරෝධතාකරුවන්ට පාඩමක් උගන්වන්න තෙල් නළ පුපුරුවා හරින්නට සැරසෙන ලිබියාවේ අපේ ගඩාෆි

(2011 පෙබරවාරි 22, W3Lanka) කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කල්හි ය. එසේ ම, රාජ්‍ය පාලක ධුරයට මුවා වී සිටින ත්‍රස්තවාදීන්ගේ නියම හැඩරුව පෙනෙන්නේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව ය. 


ලිබියාවේ තෙල් සැපයුම් පද්ධතිය පුපුරුවා හැරීමට එරට නායක කර්නල් මුවමර් අල් ගඩාෆි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවට ලොව සුපතල ටයිම් සගරාව වාර්තා කරන බව අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පවුලේ හිරු එෆ්.එම්. රේඩියෝවේ පුවත් මගින් වාර්තා කරන ලදී. රේඩියෝව වැඩි දුරටත් මෙසේ ද පැවසී ය. 


"ලිබියාවේ ටි‍්‍රපොලි සහ බෙංගාසි යන නගර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට එරෙහිවයි ලිබියානු නායකයා මෙය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන්නේ. මධ්‍යධරණී කලාපය වෙත තෙල් සපයන නළ පද්ධතිය මුලින්ම විනාශයට පත් කළ යුතු බවට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා. මෙලෙස තෙල් සැපයුම් පද්ධතිය විනාශයට පත් කිරීම තමන්ට එරෙහිව විරෝධතා දක්වන කැරලි කණ්ඩායම් වෙත පිළිතුරක් වනු ඇති බවයි ලිබියානු නායක මුවර්මල් අල් ගඩාෆි ප‍්‍රකාශ කර ඇත්තේ. ලිබියානු නායකයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපත ම නිලධාරියෙකු විසින් ටයිම් සගරාවට හෙළි කර තිබෙනවා."‍‍


ලිබියානු ඒකාධිපති මුවම්මර් ගඩාෆි ලංකාවේ පාලකයන්ගේ හිතවතෙකි. ‍මේ සමග පළ වන ඡායාරූප ඒ සඳහා දෙස් දෙයි. 





මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මාස හයයි; තාම කොමිෂන්වත් නැහැ; ජනාධිපති ධුර කාලය දිගු වුණා පමණයි

(2011 පෙබරවාරි 22, W3Lankaපසුගිය සැප්තැම්බර් 07දා 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නට ආණ්ඩුවට තිබුණේ පුදුම තදියමකි. විධායක ජනාධිපති තනතුරට පනවා තිබූ දෙවතාවක සීමාව ඉවත් කිරීම හා ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ විය.


එදා කීවේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට බවයි. එහෙත්, වසර කීපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂ ඒකච්ඡන්දයෙන් සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද පුළුල් නියෝජනයක් සහිත දස පුද්ගල ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ බලයට යටත් වූ පංච පුද්ගල කමිටුවක් මෙමගින් හඳුන්වා දෙන ලදී. ඒ මෙසේ ය:

17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කළ යුතු විය. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ 41 වගන්තියට අනුව මෙකී ව්‍යවස්‌ථාදායක සභාවට නිලබලයෙන් පත් වන කථානායක, අගමැති හා විපක්‍ෂ නායක යන තුන්දෙනා හැරුණු විට ව්‍යවස්‌ථාදායක සභාවේ පත්කළ සභිකයන් හත් දෙනා දූෂිත නොවන ඇසූ පිරූ පුද්ගලයන් ලෙස රටේ ලෝකයේ නමක්‌ දිනාගෙන සිටින මහජන සේවයේ කීර්තියක්‌ දිනාගෙන සිටින පුද්ගලයෝ විය යුතු ය. එසේ ම කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෝ ද නොවිය යුතු බව නියම කොට තිබිණි.

17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධානවලට අනුව අගමැතිවරයා සහ විපක්‍ෂ නායකවරයා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් පස්‌ දෙනකු අන්‍යෝන්‍ය එකඟතාව මත පත් කළ යුතුය. මෙසේ පත්කරන සභිකයන් පස්‌ දෙනාගෙන් තුන් දෙනෙකු සුළු ජන කොටස්‌ නියෝජනය වන පරිදි පත් කළ යුතු බවත් මේ සුළු ජන නියෝජිතයන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ සිටින එම සුළු ජන කොටස්‌වලට අයිති මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසිය යුතු බවත් 17 වැනි සංශෝධනයේ සඳහන් වී තිබිණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලට ද නියෝජිතයකු නම් කිරීමේ අවස්ථාව තිබිණි. ගැටලුවක් මතු වූයේ හෝ මතු කළේ මෙම පත් කිරීම හරහා සහ ජනාධිපතිගේ නියෝජිතයා පත් නො කර සිටීම හරහා ය. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් හිමි ව සිටි ජවිපෙ විසින් පළමු වටයේදී සුළු පක්ෂ නියෝජිතයා නම් කරන ලද අතර, දෙවන වටයේදී එම අවස්ථාව ලැබුණේ දෙමළ ජාතික සන්ධානයටයි. එහෙත් ජාතික හෙළ උරුමය ඒ හිමිකම ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ ජාතිවාදී තර්කය වූයේ අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනා අතර දෙමළ නියෝජිතයකු සිටින බැවින් එම අවස්ථාව තමන්ට හිමි විය යුතු බවයි.

මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදි භාවිතාවක් ලංකාවේ නො තිබුණු බව හා ඒ සඳහා අවශ්‍ය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති නායකයන් දේශපාලන පක්ෂවල නො සිටි බව ඇත්තකි. පත් කිරීම්වලදී ප්‍රායෝගික ප්‍රශ්න පැන නැඟුණේ එහෙයිනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිසමේ බහුතරයක් සාමාජිකයන් ප්‍රායෝගිකව පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි. ඒ කමිටුවේ නිල බලයෙන් සාමාජිකයන් වන අගමැති, කතානායක යන දෙදෙනා ම ජනාධිපති විසින් තෝරා ගන්නා ලද අය බව නො රහසකි. අගමැති, කතානායක හා විපක්ෂ නායක විසින් නියෝජනය නො කරනු ලබන ජනවර්ග නියෝජනය සඳහා නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමේ බලය අගමැතිට හා විපක්ෂ නායකට තිබේ.

ජනාධිපතිවරයා විසින් ‍මැතිවරණ, පොලිස්, මානව හිමිකම්, අල්ලස්, මුදල් හා සීමා නිර්ණය යන කොමිෂන් හතට පත් කිරීමට යෝජනා කරනු ලබන සාමාජිකයන් සුදුසු ද, නැද්ද යන්න නිර්දේශ කිරීමේ බලය පමණක් මෙම පාර්ලිමේන්තු කමිටුවට තිබේ. 



එහෙත්, මාර්තු 07දාට 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන මාස හයකි. පාර්ලිමේන්තු කමිටුව පත් කර තිබේ. එහෙත් තවමත් අර කී කොමිෂන් නැත. කොමිෂන් නැති නිසා සියලු බලතල ජනාධිපතිගේ අතේ ය. 


මානව හිමිකම් හා අල්ලස් වැනි කොමිෂන් ක්‍රියාත්මක නො වීම ආණ්ඩුවේ දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට ආශිර්වාදයක් වී ඇත. 


බාලගිරි අද නොවෙයි හෙට වගේ මෙම කොමිෂන් පත් කරන්නේ පළාත් පාලන ඡන්දයෙන් පසු ලු. වඩා වැදගත් රටක මූලික ව්‍යවස්ථා විධිවිධාන ද? නැතිනම්, පළාත් පාලන ඡන්දයක් ද? 


18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂ වූ අයට දැන්වත් තේරෙනවා ද මෙහි සැබෑ අරමුණ වුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය දෙවතාවකට සීමා කළ විධිවිධාන ඉවත් කර ගැනීම පමණක් බව? 


ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බව කියමින් ගෙන ආ, ස්වාධීන කොමිෂන් පත් කිරීමේ බලය සහිත පාර්ලිමේන්තු කමිටුව පවා පත් කිරීමට උවමනාවක් නැතිකමින් ඒ බව ඔප්පු වෙනවා නො වේ ද?


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-22

මාළුන්ට නැති දේශ සීමා වෙනුවෙන් කෙළ ගන්නා ලංකාවේ හා තමිල්නාඩුවේ ධීවරයෝ

(2011 පෙබරවාරි 22, W3Lankaයාපනයේ ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් අතර මුහුදු සම්පත් බෙදා ගැනීම පිණිස ඇති වී තිබෙන ගැටුම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. 


තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය එරට දේශපාලන පක්ෂ විසින් මැකිවරණයේදී වාසි ලැබීම සඳහා භාවිතා කරන බව ලංකාවේ ආණ්ඩුව චෝදනා කරයි. යාපනයේ ද පළාත් පාලන ඡන්ද පැවැත්වේ. ධීවර ගැටුම්වලින් වාසි ලැබීමට සූදානම් දේශපාලන පක්ෂ මෙහි ද ඇත.


නීතිය අතට ගෙන, ලංකාවේ මුහුදි සීමාවට පැමිණි බෝට්ටු අත්අඩංගුවට ගෙන, යාපනයට ගෙන ආ, එම බෝට්ටු නාවික හමුදාවට භාර දීම මුලදී ප්‍රතික්ෂේප කළ, දිගින් දිගට ම උද්ඝෝෂණයේ යෙදෙන යාපනයේ ධීවර සමිති කොටින්ට සම්බන්ධ යයි ආණ්ඩුව පැත්තෙන් චෝදනා ද නැ‍ඟේ. ආණ්ඩුව සාමාන්‍යයෙන් තමන්ගේ පාලනයට හසු නො වන ඕනෑම දෙයක් කොටින් පිට පටවයි. 


උතුරේ කොටි සංවිධානය බලවත්ව සිටියදී පවා වරක් ‍යාපනයේ ධීවර සමිති මේ අන්දමින් ම ඉන්දීය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් එල්ල කළ හ. 


කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දීය ධීවරයන් ඉන්දීය රජයේ දැඩි බලපෑම් හේතුවෙන් නිදහස් කර යැවීමට ලංකාවට සිදු විය. 


ප්‍රශ්නය එතැනින් අවසන් වී නැත. ලංකාවේ මුහුදු සීමාවෙන් ඈත්ව සිටින්නැයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අවවාද කර තිබියදීත්, එම අවවාද නො තකා හරිමින් ඉන්දීය ධීවරයෝ සංවිධානාත්මකව බෝට්ටු සිය ගණනින් එකට පැමිණ ලංකාවෙන් ගේම ඉල්ලන්නට පටන් ගෙන තිබේ. එම කටයුතු සංවිධානය කරන්නේ තමිල්නාඩුවේ ධීවර සමිති විසිනි. 


කච්චතිවු, මන්නාරම, කල්පිටිය ආශ්‍රිත මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයන් මෙසේ ආක්‍රමණශීලී ලෙස ලංකාවේ මුහුදට ඇතුළු වන්නේ එරට ධීවර කර්මාන්තයේ ඇති ගැටලුවක් නිසා බව ධීවර ක්‍රියාකාරිකයකු වන එම්. විජේන්ද්‍ර පවසයි. ඔහු පවසන පරිදි ඉන්දියාවේ වෙරළාසන්න කලාපයේ ධීවර කර්මාන්තය යාන්ත්‍රික බෝට්ටුවලට තහනම් කර, සම්ප්‍රදායික සුළු පන්න ධීවරයන්ට වෙන් කර තිබේ. යාන්ත්‍රික බෝට්ටුවලට ධීවර කර්මාන්තයේ යෙදෙන්නට අවසර ඇති ඉන්දීය මුහුදු සීමාවේ මසුන් බහුලව ගැවසෙන කලාප නොමැති බැවින් ධීවරයෝ මසුන් සොයා ලංකාවේ මුහුදු සීමාවට පැමිණෙති. එපමණක් නොව ඔවුහු බොටම් ට්‍රෝලිං වැනි තහනම් ධීවර ක්‍රම අනුගමනය කරමින් මහ මුහුද සූරා කති. 


මෙහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයේ අවසානයෙන් පසු යළි පිබිදෙමින් ඇති ලංකාවේ උතුරේ ධීවර කර්මාන්තයට ප්‍රශ්නයක් මතු වී තිබේ. ඉන්දීය ධීවරයන් විසින් සූරා කනු ලබන්නේ උතුරේ ධීවරයන්ට නෙළා ගැනීමට තිබෙන මුහුදු සම්පත් ය. 


කෙසේ වෙතත්, ධීවර ක්‍රියාකාරික එම්. විජේන්ද්‍ර කියන පරිදි තමිල්නාඩු බෝට්ටුවල සේවය කරන ඇතැම් ධීවරයෝ බත් පතට රැකියාවේ යෙදෙන අන්ත දිළින්දෝ ය.  අත්අඩංගුවට, වධ හිංසාවට හා ඇතැම් විට මරණයට පවා පත් වන්නේ ඔවුන් මිස ධනවත් බෝට්ටු හිමියෝ නො වෙති. 


තමිල්නාඩු ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරන පරිද්දෙන් ම, ලංකාවේ ධීවරයෝ ද ඉන්දීය මුහුදට අනවසරයෙන් ඇතුළුව කර්මාන්තයේ යෙදෙති. ඉන්දියාවත්, ලංකාවත් සමීපව පිහිටා ඇති උතුරු මුහුදේදී ඇතැම් විට මසුන් හඹා යන දෙරටේ ම ධීවරයන් අනෙක් රටේ මුහුදු සීමාවට නො දැන ම පිවිසෙන අවස්ථා ද ඇත. විශේෂයෙන් ම, බෙංගාල බොක්කේ අන්දමන්, නිකොබාර් දූපත් ආශ්‍රිත කලාපයේ කෙළවල්ලන් අල්ලා ගැනීම පිණිස ලංකාවේ ට්‍රෝලර් හිමියෝ ධීවරයන් එහි යවති. 



එම්. විජේන්ද්‍ර පවසන පරිදි ඉන්දීය ධීවර කර්මාන්තයේ අඩු දියුණුව හා මත්ස්‍ය සම්පත් හිඟකමින් රැකියා අහිමි වන තමිල්නාඩුවේ දිළිඳු ධීවරයන්ට විකල්ප රැකියා සොයා දීමට ඉන්දීය රජය අසමත් වීම මෙම ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතු වී තිබේ. 


මේ අතර, යාපනයේ හා තමිල්නාඩුවේ ධීවරයන් අතර ඇති වී තිබෙන ගැටුම හේතුවෙන් ජාතීන්ගේ ප්‍රශ්නයේ නව පැතිකඩක් ද විවර වී පෙනේ. තමිල්නාඩුවේ ධීවරයන් ද ඇතුළුව දෙමළ ජනයා ලංකාවේ උතුරේ දෙමළ ජනයාගේ හිමිකම් සම්බන්ධයෙන් උද්ඝෝෂණ කර තිබේ. එහෙත්, මේ දෙරට නිදහස් රාජ්‍ය බවට පත් වන්නට පෙර, කලාපයේ ධීවරයන් විසින් බෙදා හදා ගන්නා ලද මහ මුහුද ජාත්‍යන්තර මුහුදු සීමා අනුව බෙදා ගනිමින් දැන් ඔවුහු ගැටෙති. මහ පොළව බෙදා ගැනීමේ මිනිසුන්ගේ ප්‍රශ්න අතිශය සංකීර්ණ ය. මාළුන්ට නම් දේශ සීමා නැත. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-20

සූරියවැව ක්‍රිකට් පිටිය අවට කඩ ලෑලිවල ලොකු කෙසෙල්, හොඳ තැඹිලි එල්ලීම

(2011 පෙබරවාරි 20, W3Lanka) ලෝක කුසලාන ක්‍රිකට් තරග කෙක් පැවැත්වෙන, අද ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවාත වන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට මාවත් අසල කඩ හිමියන්ට සිය කඩ ලෑලිවල ලොකු කෙසෙල්ගෙඩි හා හොඳ තැඹිලි ආදිය එල්ලාගෙන සිටින ලෙස පොලිසිය උපදෙස් දී ඇති බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 


ඊට අමතරව, තමන්ගේ ළමයින්ට ළමා සාරි, රෙදි-බැනියම් වැනි දේශීය ඇඳුම් අන්දවා තැබීමට ද ඔවුන්ට උපදෙස් දී ඇති බව පුවත්පත පවසයි. 


එසේ කරන්නේ මේ ක්‍රිකට් තරග බැලීමට එනු ඇතැයි බලාපොරොත්තු වන විදේශිකයන්ට ඒ පැත්ත දියුණු වී ඇති බව පෙනෙන්නටයි. 


ඊනියා ධනවාදී සංවර්ධනයේ විසුළු ස්වභාවය මෙමගින් හොඳින් ප්‍රදර්ශනය කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැවැන්ත 'සංවර්ධන' ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එමගින් එහි දිළිඳුභාවය පිටු දකින බව කියමිනි. ඒ වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල් ය. පරම්පරා ගණනාවක් උගසට තබමින් ලබා ගන්නා ණය ගෙවන්නේ ද මේ රටේ මහජනතාව ය. ලංකාවේ මහජනතාවගෙන් බහුතරය දිළින්දෝ ය. 


මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ කල, ඒ සංවර්ධනය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති වන බව නව ලිබරල්වාදයේ තර්කයයි. මේ කාන්දු වීම සිදු නො වීම හා එමගින් දිළිඳුභාවය නැති නො වීම ධනවාදයේ අර්බුදයයි. ඇති අය තව තවත් ධනවත් වෙද්දී නැති අය තව තවත් නැති බැරි ම වෙති. 


දිළිඳුභාවයේ මහ සාගර මැද සමෘද්ධියේ පුංචි දූපත් ඉදි වේ. ඒ දූපත්වල ජීවත් වන ඉසුරුමතුන්ට දැන් එහි එන තම යහළුවන්ට තමන් රට දියුණු කර ඇති බව ද ජනතාව සුඛිත මුදිත බව ද පෙන්නන්නට අවශ්‍ය වී තිබේ.


පාර අයිනේ ජීවත් වන අසුන්දර, දිළිඳු මිනිසුන් පොෂ් කිරීම පොලිසියට භාර දී ඇත්තේ එහෙයිනි. 


පාර අයිනේ ලොකු කෙසෙල් එල්ලූ කඩ ලෑලි අසල සුද්දන් තැඹිලි  බොන ජවනිකාවල රඟපෑම දිළින්දන්ට සංවර්ධනයෙන් ලැබී ඇති ප්‍රතිලාභයි. 


සංවර්ධනය යනු දිළින්දන්ගේ ජීවිත නඟා සිටුවීම ද? නැතිනම් පොහොසතා තවත් පොහොසත් කිරීම ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-19

'රිෆ්‍රෙෂ් ඔරේන්ජ්' තහනම හා පැණි බීම මාරයා | Ban on Refresh Orange and the killer soft drinks

රිෆ්‍රෙෂ් ඔරේන්ජ් තහනම
පිළිබඳ පුවත සමග
රජයේ ලංකා පුවත් අඩවියේ
පළ වූ ඡාය ාරූපය
(2011 පෙබරවාරි 19, W3Lanka) පානය කිරීමෙන් පසු 11හැවිරිදි ගැහැනු ළමයකු මිය යාම හා ඇගේ මව බරපතල ලෙස රෝගාතුර වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරන ලද පැණී බීම වර්ගය මේ රටේ ප්‍රධාන ජනමාධ්‍යවලට ඇනොනිමස් හෙවත් නිර්නාමික ය. 


එයින් මේ ජනමාධ්‍යවල සමාජ වගකීමේ තරම පෙනේ. දුප්පත් මිනිහෙකු කරන වරදකදී කිසිදු ආචාර ධර්මයකින් තොරව කටයුතු කරන ජනමාධ්‍ය මේ පැණි බීම වර්ගයේ නම පවා සඳහන් නො කිරීමට පරිස්සම් වන්නේ ඇයි? 


මරණයට හේතුව එම පැණි බීම වර්ගයමදැයි තවමත් නීත්‍යානුකූලව ඔප්පු වී නැති නිසා එසේ කරන බවට තර්ක කළ හැකි ය. මේ පරිස්සම දුප්පතුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? නීතියෙන් වරදකරුවන් වන්නට පෙර ජනමාධ්‍ය විසින් කීදෙනෙකු වරදකරුවන් ලෙස හංවඩු ගසා තිබේ ද? 


මෙතැන ඇත්තේ පැණිබීම සමාගම්වලින් ලැබෙන දැන්වීම් ආදායම බිඳ වැටීම පිළිබඳ බියක් හෝ එසේ නොමැති නම්, අදාළ බීම වර්ගයේ නම සඳහන් නො කර සිටි විට සෙසු බීම වර්ග නිපදවන සමාගම් ඒ තමන් නො වන බව කීම සඳහා වැඩිපුර දැන්වීම් පළ කරනු ඇතැයි බලාපොරොත්තුවක් හෝ විය හැකි ය. 


ළමයකුගේ මරණයට හේතු වූ විෂක් අඩංගු යයි සැක කරන බීම වර්ගය 'රි‍ෆ්‍රෙෂ් ඔරේන්ජ්' නම් වේ. එය නිපදවන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ බියගම බව කියනු ලැබේ. කොකා කෝලා සමාගමේ බෝතල් කරන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ ද බියගමයි. 
ගොසිප් ලංකා
වෙබ් අඩවියේ පළ වූ
බෝතලයේ ඡායාරූපය


පැණි බීම කොහොමත් සෞඛ්‍යයට අහිතකර ය. ඒවායේ අඩංගු වන්නේ ජලය, සීනි, සිට්‍රික් අම්ලය, කැෆේන්, කැරමල්, තෙල් වර්ග, රසකාරක, වර්ණක, කල් තබා ගැනීමේ රසායනික හා කාබන්ඩයොක්සයිඩ් ආදියයි. ඒවායේ නම් හා සම්බන්ධ දොඩම් වැනි පළතුරු අංශු මාත්‍රයක්වත් මෙම බීම වර්ගවල නැත. 


සාමාන්‍යයෙන් මෙම බීම බෝතලය තුළ ඇති පානයෙහි වටිනාකම ඉතා අඩු ය. වැඩි වියදමක් යන්නේ බෝතලය, ලේබලය හා ප්‍රචාරණයටයි. ලාභයෙන් වැඩි ප්‍රමාණයක් මාධ්‍ය ආයතනවලට දැන්වීම් පළ කිරීමෙන් ලැබේ. ආණ්ඩුව ද බදු ලෙස සැලකිය යුතු ආදායමක් ලබා ගනියි. 


මෙම බීම වර්ග පානය කිරීමට පුරුදු වීමෙන් අධික ලෙස සීනි ශරීරගත වී පෝෂණ හා සෞඛ්‍ය ගැටලු ඇති වේ. දියවැඩියාව වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීමට පැණි බීම වර්ග සෑහෙන්න දායක වී තිබේ. ළමයින් මෙම පාන වර්ගවලට පුරුදු වීම බරපතල ප්‍රශ්නයකි. 


මෙම බීම වර්ග සඳහා කරන ප්‍රචාරණයන් හරහා සංස්කෘතික ආක්‍රමණයක් ද සිදු වේ. 


කොකා කෝලා නම් බහු ජාතික සමාගමට ඇති විරෝධය තරගකාරී සමාගම්වලට වාසිදායක ය. එහෙයින් විරෝධය කොකා කෝලාවලට සීමා නො කර සමස්ත පැණි බීම කර්මාන්තයට ම එල්ල විය යුතු ය. 


ලංකාවේ ජනයා 2009 වසරේදී පැණි බීම වර්ග ලීටර් මිලියන 62ක් පානය කළ බව කර්මාන්ත දන්ත අනුව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි. එයින් වැඩි වෙළඳ පංගුවක් අත් පත් කර ගැනීමට කොකා කෝලා සමාගම සමත් වී ඇත. ජෝන් කීල්ස් සමාගමට අයත් එලිෆන්ට් හවුස් ද විශාල වෙළඳපොළක හිමිකරුවෙකි.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-18

පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය

(2011 පෙබරවාරි 18, W3Lankaලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර තිබේ. එහෙත්, අලුත් ම තත්වය වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුව දක්වා ම විහිදීමයි. වඩා නිවැරදිව කියනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බලපෑමට ලක් වීමයි. 


පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සිය සැමියාගේ ප්‍රහාරයකට ලක් ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ ආදරවන්තයින්ගේ දිනයේ ඇය ජැයික් හිල්ටන් හෝටලයේදී තවත් නළුවකු සමග නැටුමක යෙදීම නිසා ඇගේ නීත්‍යනුකූල සැමියා ඇය කෙරෙහි ඇති කර ගත් ලිංගික ඊර්ෂ්‍යාවකි. පහර දීම් හේතුවෙන් මේ වන විට ඇය ශල්‍යකර්මයකට පවා ලක් කර තිබේ. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වුවත්, ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර නැත. එහෙත්, පොලිසිය දැන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මන්ත්‍රීවරියගේ සැමියා පොලිසියට අවශ්‍යව ඇති මුත් මේ වන විට ඔහු කට්ටටි පනිමින් සිටින බව වාර්තා වේ. 


උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා නම් ටෙලි නාට්‍ය නිළිය දේශපාලන කරළියට පැමිණීයේ 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමිනි. එම ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඇය පෙනී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. ‍


2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරියටත් වඩා මනාප සංඛ්‍යාවක් ලබා දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයෝ උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට පත් කර එවූ හ. එහෙත්, මාස කීපයක් ඇතුළත ඇය සිය ඡන්ද දායකයන්ට කොකා පෙන්නමින් විධායක ජනාධිපති ධුරයේ බලතල තවත් වැඩි කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩුවට එක් වූවා ය. 


ඇයගේ එම තීරණයට ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හෙවත් සැමියාගෙන් සිදු වූ ශාරීරික අතවර හේතු වූ බව ඒ දිනවල අනියමින් වාර්තා විය. උපේක්ෂා ස්වර්ණමාලිට ඇගේ සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය වී තිබෙන මුත්, එය වළක්වන්නේ ආණ්ඩුවේ ප්‍රබලයකු බව ද වාර්තා වේ. 


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අත් වී තිබෙන ඉරණම පබාගෙන් සංකේතවත් වේ. 


ඇය පාර්ලිමේන්තුවට බුරුස් ගා ලිස්සා එන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනිය ඇය රඟ පෑ පබා ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් කිරීම නිසා කෝපයට පත් ජනතාව දුන් සානුකම්පිත ඡන්දවලිනි. ජනතාව තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික නියෝජිතයන් පත් කර ගන්නේ කෙතරම් විසුළු ආකාරයකින් ද යන්නට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත. 


ඇය සතුව නැති එක ම දෙය දැනුම බව ඇය මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී කියන අන්දම බලන්න. මේ ඇයගේ රුවන් වැකියකි. "I think, the only thing I lack is knowledge." 


දේශපාලනික වශයෙන් අපරිණත උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිනියගේ තීරණ තීන්දුවලට එතැන් සිට බල පාන්නේ ඡන්දය දුන් ජනතාවගේ අවශ්‍යතාවන් නො ව, ලිංගික සබඳතා, ලිංගික ඊර්ෂ්‍යාව, මුදල් ආදී කාරණා ය. 


අපි සියල්ලෝ ම එක් වී ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන්නෙමු. 

2011-02-17

විනූ වෙත්තමුනි සරාගී චිත්‍රපට නිළියක් ද? සිනමා කලාකාරියක් ද?

(2011 පෙබරවාරි 17, W3Lanka) 'සරාගී සිංහල චිත‍්‍රපට ගණනාවක රඟපා ඇති නිළියක වන විනූ වෙත්තමුණි'


ඉහත සඳහන් කළේ ලංකා ටෲත් වෙබ් අඩවියේ ඝාතනයට ලක් වූ නිළි විනූ වෙත්තමුණි පිළිබඳ සඳහන් වන ආකාරයයි. 


මේ වනාහි ඇය 'හොඳ චරිතයක්' ඇති ගැහැනියක නො වන බව වෙනත් බසකින් කීම සඳහා යොදා ගත් යෙදුමකි. 


පහත පළ වන්නේ විනූ වෙත්තමුනි 2007 අගෝස්තු මස 15දා ඩේලි නිව්ස් පුවත්පතට කරන ප්‍රකාශයකි. 

“I am a professional actress. Hence I can not pick and choose. But it does not mean I am going to accept any role. I give myself fully to the films I choose to act. But I do not wish to be branded or identify as an actress `good only’ for some particular role”


"මම වෘත්තීය නිළියක්. ඒ නිසා මට තෝර තෝරා ඉන්න බැහැ. එහෙත්, මම ඕනෑ චරිතයක් කෙරෙන කෙනෙකු ය කියා එයින් අදහස් වන්නේ නැහැ. මා තෝරා ගන්නා චිත්‍රපට වෙනුවෙන් මම පූර්ණව කැප වෙනවා. එහෙත්, ඇතැම් විශේෂ චරිත වෙනුවෙන් 'පමණක් හොඳ' නිළියක ලෙස හංවඩු ගැසෙන්න මගේ අදහසක් නැහැ." 


සරසවිය පුවත්පත විසින් සංවිධානය කරන ලද 'ලස්සන මුහුණු' නම් වැඩසටහනකින් පුංචි තිරයට දොරටු විවර කර ගත් ඇය රූපවාහිනියේ, සිනමාවේ වෘත්තීය නිළියක ලෙස කටයුතු කළා ය. ඇය 'සිහින දෙව් දුව නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව ද අප ඉහත උපුටා ගැනීම සිදු කළ ඩේලි නිව්ස් පුවත්පතේ සඳහන් වේ. වෙනත් මාධ්‍යවල දැක්වෙන්නේ ඇය එහි නිෂ්පාදිකාව බවයි.


සරාගී චිත්‍රපටවල රඟ පෑ නිළියක ලෙස සලකනවාට වඩා ඇය සිනමා කලාකාරියක ලෙස සලකනවා නම් අපරාධ විනිදිත ගැහැනියක වන ඇයට කරන ගෞරවයකි.  


ධනවාදී වෙළඳපොළ තුළ සුන්දර ස්ත්‍රී ශරීර වැඩි ඉල්ලුමක් සහිත වෙළඳ භාණ්ඩ බවට පත් කර මිනිස් ගුණ දම් අවතක්සේරුවට ලක් කර තිබේ. මේ විපරීත ක්‍රමයේ ගොදුරු බවට පත් වන මිනිසුන් කෙරෙහි සමාජය සානුකම්පිත විය යුතුව තිබේ. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-15

සමනලයා හා මකුළුවා: විජය කුමාරනතුංග හා ලයනල් රණසිංහ

(2011 පෙබරවාරි 16, W3Lankaවිජය කුමාරනතුංග ඝාතනයට 2011 පෙබරවාරි 16 දිනට වසර 23කි.


විජය හා අමරසිරි කලංසූරිය කලක් පරණ කෝට් විකිණුවෝ ය. දුම්රියපොළවල රාත්‍රිය ගත කරද්දී දුම්රිය සේවකයෝ ඔවුන් පළවා හැරීමට වතුර ගැසූ අමරසිරි කලංසූරිය මෑතදී පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. .


විජයට වෙඩි තැබූ තුවක්කුකරුවා වන ලයනල් රණසිංහ  කලක් හොරණ බස් නැවතුම අසල තැබෑරුමක් ඉදිරිපිට රටකජු විකිණුවේ ය.


හන්තානෙ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟමින් ජනාදරයට පත් විජය කලක් එක දිගට ම ලංකාවේ ජනප්‍රිය ම නළුවා වූයේ ය. ඔහු සුන්දර රූ සපුවකින් යුත් නළුවකු පමණක් නො ව අදටත් ජනප්‍රිය දක්ෂ ගායකයෙකි. ලංකාවේ හිටපු රාජ්‍ය නායක දෙපළකගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක සමග විවාපත් වූ හේ දේශපාලනයට පිවිසියේ ලංකා සමසමාජ පක්ෂයෙනි.


1982 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ප්‍රචාරක ව්‍යාපාර‍ය කරට ගෙන වැඩ කළ විජයට එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන බොරු නැක්සලයිට් චෝදනාවක් ඉදිරිපත් කළේ ය. තරුණ, ආකර්ශනීය නායකත්ව පෞරුෂයක් ලෙස ඉදිරියට එන  විජයට බිය වූ ජේ. ආර්. ඔහු මාස ගණනක් සිර කර තැබුවේ ය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළේ ය. වමේ පක්ෂ සමග පෙරමුණක් ගොඩ නඟමින් වමට නව ප්‍රබෝධයක් ඇති කළේ ය. විජයව ධනේශ්වර පංතියේ දේශපාලන පක්ෂවලින් හා ධනේශ්වර සමාජ සංස්කෘතියෙන් බැහැර කරනු ලැබූ පහළ පංතික මුල් විජයගේ ධනේශ්වර විරෝධී දේශපාලනයේ පදනම විය. එහෙත්, ධනේශ්වර පංතික ගැහැනුන් පිනවූ ඔහුගේ රුව හා ආකර්ශනීය පෞරුෂය පීඩිත පංති දේශපාලන නායකයන්ගේ පවා ඊර්ෂ්‍යාවට ලක් වන්නට ඇත. 


කෙසේ වෙතත්, විජය වාම නැඹුරුවක් සහිත ලිබරල්වාදියකු ලෙස සැලකිය හැකි, මරණය තෙක් ම ප්‍රගතිශීලී දේශපාලනයක නියැලුණෙකි. 


ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාව හා බලය බෙදා ගැනීම ඔස්සේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මෙන් ම ප්‍රායෝගික භාවිතාවෙන් ද නො බියව පෙනී සිටි විජය 1987දී ඉන්දු - ලංකා ගිවිසුම ඔස්සේ ගෙන ආ පළාත් සභා ක්‍රමයට පක්ෂව දේශපාලනය කළේ ය. ඒ වෙනුවෙන් හෝ ජවිපෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් විජයගේ නායකත්වයෙන් බිහි වූ සමාජවාදී එක්සත් සන්ධානය ද අවි අතට ගත්තේ ය. එහෙත්, ක්‍රම විරෝධයට කැප වීමේ සූදානමක් නැතිකම මධ්‍යම පංතික බොහෝ සටන්කාමීන්ගේ පොදු ලක්ෂණයකි. එහෙයින් සමාජවාදී එක්සත් සන්ධානය ද කළේ බාගෙට සන්නද්ධ අරගලයකි. බාගෙට වැඩවල අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ජවිපෙ හමුවේ සමාජවාදී එක්සත් සන්ධානය බිලි පූජාවක් බවට පත් විය. 


උතුරේ මධ්‍යම පංතික සටන්කාමී ව්‍යාපාරවලට කොටි තුවක්කුවෙන් සිදු වූයේ ද මේ දෙයමයි.


විජය කුමාරනතුංගලා හෝ ජේමිස් ඇතුගලලා මෙන් නො ව, රෝහණ විජේවීරලා ලයනල් රණසිංහලා අවි අතට ගත්තේ අවිය ම එක ම සවිය කරගෙනයි. හරි හෝ වැරදි හෝ වේවා, ඔවුහු එය 100%ක් ම කළ හ. 


ඉන්දීය මැදිහත් වීමෙන් යෝජිත විසඳුම දකුණේ සිංහල තරුණයන් පමණක් නො ව උතුරේ දෙමළ තරුණයන් විසින් ද ප්‍රතික්ෂේප කරනු ලැබීම හා උතුරේ සහ දකුණේ වාම බලවේග පසුබස්වමින් ජවිපෙ හා කොටි සංවිධානය නැඟී සිටීම හමුවේ විජයගේ ව්‍යාපාරය අර්බුදයට පත් විය.


විජය ජීවතුන් අතර සිටියා නම් ජනප්‍රිය රැල්ලක් ඔස්සේ ඔහු රාජ්‍ය නායකත්වයට පත් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. ජේ.ආර්. ජයවර්ධන,  ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ, සිරිමා බංඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ මෙන් ම සමාජ වෙනසක් සඳහා බලය ඉලක්ක කළ තරුණ ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ද ඔහු අභියෝගයක් ලෙස සැලකූ හ.


ඔහු සේ ම පීඩිත සමාජ පසුබිමකින් මතු වූවකු වූ ලයනල් රණසිංහ ඔහුට එල්ල කරන වෙඩි ප්‍රහාරය මේ සියල්ලන්ට ම අශිර්වාදයක් විය.


විජය කුමාරනතුංග මිය යාමෙන් කලකට පසුව, ඔහුගේ බිරිඳ ව සිටි චන්ද්‍රිකා බංඩාරනායක විජය ඝාතනය පිළිබඳ පරීක්ෂණ කොමිෂමක් පත් කර, දේශපාලන වාසි තකා විජය ඝාතනයේ වගකීම එක්සත් ජාතික පක්ෂය පිට පැටවූයේ ය.


ලයනල් රණසිංහ යූඇන්පියේ කුලී ඝාතකයකු ලෙස හංවඩු ගැසෙද්දී ඔහුගේ පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටියේ ය.


ලයනල් රණසිංහ කුලී ඝාතකයකු නො ව ජනතා විමුක්ති පෙරමුණේ අවංක පීඩිත පංති ක්‍රියාධරයකු බව ජවිපෙ නායකත්වය හොඳින් දනියි. විජය ඝාතන පරීක්ෂණ කොමිෂම හමුවේ සාක්කි දෙමින් ලයනල් රණසිංහගේ අම්මා කී යකෙකු වුණත් ඒ මගේ දරුවා ය යන කියමන අනුන්ගේ දරුවන් අතට අවි දී තමන්ගේ ඉලක්ක වෙනුවෙන් යුද පෙරමුණුවලට යොමු කරන කොයි දේශපාලන නායකයාගේත් දෙසවන් තුළ රැව් පිළි රැව් දිය යුතු ය.


අතිශය අනතුරුදායක කාර්යයන්හි යෙදුණු, දේශපාලන නායකයන් නො වන, සටන්කරුවන් පමණක් වන, ජවිපෙ ලයනල් රණසිංහලා හා කොටි බාබුලා වැනි අය ඉතිහාසයේ සාධාරණ අන්දමින් සටහන් වීමට තරම් හෝ අපේක්ෂාවක් නො තිබුණු පුද්ගලයෝ විය හැකි ය.  මෙවැනි මිනිසුන් විග්‍රහ කිරීම පහසු නැත. ඔවුන්ගේ ආත්මාර්ථය අත්හැරීමේ ලක්ෂණය හා ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද කෲරත්වය කෙසේ එකිනෙක පෑහේ ද යන්න ද අපැහැදිලි ය. 


ලයනල් රණසිංහ විජයට මෝටර් බයිසිකලයේ සිට වෙඩි දෙකක් තබා,  අනතුරුව එයින් බැස ඔහු ළඟට ගොස් හිස කුඩු වන්නට ම තවත් වෙඩි  කීපයක් තබා, එපමණකින් නො නැවතී විජය අත තිබූ ලිපි ගොනුවත් පෙරළා බැලූ බව ඔහු පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් වේ. විජය බොරු කොණ්ඩයක් ඇඳ සිටි බව ජවිපෙ හරහා ප්‍රචාරය කළේ ද ඔහු ය. ඔහු හා ඔහුගේ පරම්පරාව විජය සම්බන්ධයෙන් එතරම් කෲර වීම ද තේරුම් ගැනීම දුෂ්කර ය.   


ලයනල් රණසිංහ වැරදි ය. විජය කුමාරනතුංග ඝාතනය ද ඓතිහාසික වරදකි. එවැනි ඓතිහාසික වැරදි බොහොමයක් මහජන ව්‍යාපාර අතින් සිදු වී තිබේ. ඒවාට ගෙවිය හැකි වන්දිය කුමක් ද? 
ලයනල් රණසිංහ අතුරුදහන් වීමට පෙර අත්අඩංගුවේදී


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-14

ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!

(2011 පෙබරවාරි 14, W3Lanka) අද ආදරවන්තයන්ගේ දිනයයි. මෙම දිනයට යොදා ඇති නම හිමි වැලන්ටයින් නම් ශාන්තුවරයා පිළිබඳ ඇති කතා ද ආදරය සේ ම ‍ඓතිහාසික මූලාශ්‍රවලින් විද්‍යාත්මකව ඔප්පු නො කරන ලද, අතාර්කික ඒවා ය.

අපි ඒ ඉතිහාසය සොයන්නට නො වෙහෙසෙමු. වැලන්ටයින් ගැන ඇති එක් කතාවක් අපේ සිත් ගනියි. ඔහු එක් යුද සමයකදී පිරිමින් යුද්ධයට යැවීම පිණිස රජු විසින් විවාහය තහනම් කර තිබූ කාලයක තරුණ, තරුණියන් විවා පත් කළ පූජකවරයෙකි. ඒ වෙනුවෙන් ම දිවි පිදූවෙකි. වැලන්ටයින් යුද විරෝධියකු ලෙස සැලකීමට අප කැමති ය.


ලංකාවේ පාලකයන් විසින් තඹ දොයිතුවකට මායිම් නො කරනු ලබන මානව හිමිකම් සැමරීමට පවා දිනයක් වෙන් කර තිබියදී ආදරය සැමරීමට ජනතාව දිනයක් වෙන් කර ගත්තාට කාටවත් ඇති අමාරුව කුමක් ද? එදාට ආදරවන්තයාට, ආදරවන්තියට රෝස මලක් තෑගි දුන්නා ම, හාද්දක් දුන්නා ම රටේ සංස්කෘතියට සිදු වන හානියක් නැත.


වැලන්ටයින් දිනය බටහිරින් ආ සංස්කෘතික ලක්ෂණයක් බව සැබෑ ය. එය ප්‍රවර්ධනය කිරීම පිටුපස වෙළඳ අරමුණු ඇති බව ද සත්‍යයකි.


වැලන්ටයින් විරෝධීන් නො දන්නා කාරණයක් වන්නේ වර්තමානයේ වෙසක් පොහොය හා සම්බන්ධව ඇති ආමිස පූජා බොහොමයක් ම හෙන්රි ස්ටීල් ඕල්කට් නම් බටහිරයා විසින් 19වන සියවස අග හා 20වන සියවස මුල දියත් කරන ලද පරම විඥානාර්ථ සමාජය විසින් දියත් කරන ලද බෞද්ධ සමාජය ක්‍රිස්තියානි බාහිර ස්වරූපයෙන් නැවත හැඩගැසීමේ ව්‍යාපාරයේ හඳුන්වා දීම් බවයි. වෙසක් පත් යැවීම, භක්ති ගී ගැයීම ආදිය අමු අමුවේ ම නත්තල කොපි කිරීමේ අවස්ථා ය.


වෙසක් සැමරීම බටහිරකරණය වූවා ය කියා හෝ ඒ පිටුපස දැවැන්ත වෙළඳපොළක් ක්‍රියාත්මක වනවා ය කියා අප වෙසක් විරෝධීන් වන්නේ නැත. එසේ නම් ආදරවන්තයින් පෙබරවාරි 14දා ආදරය සැමරුවා ය කියා අප වෛර කළ යුත්තේ ඇයි?


ලංකා‍වේ තරුණ තරුණියන්ට ආදරවන්තයන්ගේ දිනය සමරන්නට සිදු වී තිබෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදී, උම්මත්තක, තලේබාන්ලාගේ වෛරය මැද බියෙනි.


වැලන්ටයින් දිනය කෙසේ වෙතත්, ආදරය කිරීම පිළිබඳව ලංකාවට වෙන ම පාඩමක් අවශ්‍ය ය. ප්‍රජනනය අරමුණු කරගෙන මෙලෝ රහක් නැතිව කරන ලිංගික එක්වීම් හෙවත් 'තියලා තල්ලු කිරීම්' හා ස්ත්‍රී දුෂණ වෙනුවට, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ආදරයෙන් අර්ථකථනය වීම රෝගී ලාංකීය සමාජය සුවපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ය.


සැබෑ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය යනු ජාතිවාදයට, ස්වෝත්තමවාදයට පමණක් නො ව අප ගැඹුරු යයි සිතන බොහෝ වාදයන්ට වඩා ගැඹුරු එකකි.


ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-02-13

හිරිකොටේ ගොනා හා බකමූණා අතර සටන

(2011 පෙබරවාරි 13, W3Lanka) ඔන්න එකමත් එක කාලයක, එකමත් එක කැළේක රජකම ලැබී තිබුණේ බකමූණෙකුටයි. සම්ප්‍රදාය අනුව නම්, කැළේ රජකම හිමි වන්නේ සිව්පාවුන්ටයි. බකමුණා රජකම ලබා ගත්තේ පූසකු ලෙස පෙනී සිටීමෙනුයි.


එහෙත්, කලක් යන විට මේ බකමූණා පූසකු නො ව, කකුල් දෙකක් පමණක් හිමි, උඩ ඉගිලෙන කුරුල්ලෙකු බව සතුන්ට තේරුණා. පක්ෂියකු කැළේ රජා කර ගැනීමෙන් තමන් කර තිබෙන්නේ මෝඩකමකැයි කැළේ සතුන් සිතන්න පටන් ගත්තා. බකමූණා නෙරපා දමා සිව්පාවෙකු රජකමට පත් කර ගන්න කැළේ සතුන්ට ඕනෑ වුණා.


ඒත්, බකමූණා ඔහුගේ තරගකාරයන්ට වඩා බුද්ධිමත් සතෙකු නිසා ඔහුගෙන් රජකම ලබා ගැනීම පහසු වුණේ නැහැ. සිංහයා, කොටියා, අලියා වැනි සතුන් පවා බකමූණා සමග සටනට ඇවිත් පරාජය වී නගුට දෙකකුල් අතරේ ගසාගෙන වෙනත් කැළෑවලට පළා ගියා.


ශක්තිමත් සතුන් අතරින් අන්තිමට කැළේ ඉතිරි වුණේ ගොනායි. හැබැයි ගොනාට ඒ තරම් මොළේ නැති බවත් කැළේ සතුන් දන්නවා. ඒත් මෙනාවා කරන්න ද? වෙන විසඳුමක් නැහැනේ. බකමූණා රජා ලෙස පිළි ගන්නත්ත් බැහැ. ගොනා ඉතින් ගොනා ම තමයි. ඒත්, මොකක් හෝ වෙනසක් වෙන එක හොඳයි කියලා හිතලා කැළේ සතුන් ගොනාට ඇවිටිලි කරන්න පටන් ගත්තා "උතුමාණනි, මේ බකමූණා නිසා කැළේ කිසි දියුණුවක් නැහැ. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් වී බකමූණා පන්නා දමා කැළේ රජකම ලබා ගන්න" ය කියා.


ගොනාටත් මේ ඇවිටිලි අහලා හරිම චූන්. ඌ වමාරා කකා නිදි කිර කිර සිටි තැනින් නැගිටලා, මොල්ලිය පුම්බගෙන, නහයෙන් පිඹ පිඹ, බෙල්ල නවාගෙන, කුරවලින් දූවිලි අවුස්සාගෙන, පිම්මේ දුවගෙන ගියා, දෙන්නම් බකමූණාට ජම්බු කියාගෙන.


(කතාවේ ඉතිරි කොටස ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් රඟ දක්වා පෙන්වන්නට සැලසුම් කර තිබේ. පක්ෂෙ නම අහන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකට ද? සංදර්ශනයේ ටිකට් හිරිකොටෙන් ලබා ගන්න.)


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජවිපෙ අලුත් ෆෙඩරල් අදහස | JVP's New Federal Idea

(2011 පෙබරවාරි 13, W3Lanka) ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස එක්වීම දිශාවට යොමු වූ ෆෙඩරල් ක්‍රමයක් සලකා බැලීමේ සූදානමක් ජවිපෙ තුළ ඇති බව පසුගියදා පැවති ජවිපෙ සයවන ජාතික සම්මේලනයේදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ විසින් පවත්වන ලද කතාවෙන් ඇඟවේ.


තම අධ්‍යයන අනුව, ෆෙඩරල් අදහස එක් වීමට හා වෙන් වීමට යන දෙයාකාරයට ම යොදා ගැනෙන බව හා එක් වීම පිණිස එය යොදා ගැනීම පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව ජවිපෙ නායකයා කී බවක් මෙම කතාවේ කොටසකට පෞද්ගලික මාධ්‍යයක් ඔස්සේ සවන් දුන් අප මිතුරෙක් අපට දැන්වී ය.


ජවිපෙ නායකයා විසින් පවත්වන ලද දේශනය සොයා ගැනීමට අප විසින් අන්තර්ජාලය ඔස්සේ දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය. එහෙත්, අදාළ අදහසේ කාලානුරූප වැදගත්කම මතු කර දැක්විය යුතු බව අපේ අදහසයි.


ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන් වෙන් වීම දෙසට නැඹුරු වීමට වඩා එක් වීම දෙසට නැඹුරුවූ අවස්ථා පිළිබඳ ඉතිහාසයෙන් උදාහරණ ඕනෑ තරම් සපයා ගත හැකි ය. එක්සත් ජනපදය වෙන වෙනම ගොඩනැගෙමින් තිබූ රාජ්‍ය පද්ධතියක් සන්ධීය ක්‍රමයක් ඔස්සේ එක්සත් කර ඇමරිකා එක්සත් ජනපදයක් බිහි කිරීම පිළිබඳ කදිම උදාහරණයකි. ඒකීය ඉන්දියාව ද නිර්මානය වන්නේ සන්ධීය ක්‍රමයක් තුළ එකතු වන පූර්ව ධනේශ්වර රාජ්‍ය පද්ධතියකිනි. 


සන්ධීය රාජ්‍ය ලෙස තිබී වෙන්වී වෙනම රාජ්‍ය බවට පත්වූ රටවල් පිළිබඳ ද උදාහරණ තිබේ. මෑතදී බිහිවූ දකුණු සුඩානය හා ඊට කලින් බිහිවූ කොසොවෝ හා පෙරදිග ටිමෝරය උදාහරණ ලෙස සැලකිය හැකි ය. මෙම රටවල් හා අදාළව දැකිය හැකි ප්‍රධාන කාරණය වන්නේ එම රටවල ක්‍රියාත්මකවූ සන්ධීය ක්‍රමයන් රටේ ප්‍රශ්න විසඳීමෙහිලා අසමත් වීමයි.


මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු කරුණ වන්නේ ලොව ක්‍රියාත්මක වන සන්ධීය ක්‍රමයන් යනු එක ම ආකාරයේ, ස්ථිතික අදහසක් මත පදනම් වූ ව්‍යූහයන් සමූහයක් නො ව, ඒ ඒ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන අන්දමින් සකසා ගත් ඒවා බවයි. අප ලංකාවට සන්ධීය දේශපාලන ක්‍රමයක් යෝජනා කරන්නේ නම්, එය රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි තිරසාර ස්වරූපයකින් සකසා ගැනීම අපගේ වගකීමකි. එය සිදු විය යුත්තේ ප්‍රජාවන් අතර පුළුල්, නිරෝගී සාකච්ඡාවක් ඔස්සේ සම්මුතියකට එළඹීමෙනි.


කොටි සංවිධානයේ යුදමය පරාජය විසින් ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි සුසමාදර්ශීය වෙනසක් සිදු කර තිබේ. නව සංදර්භය තුළ ප්‍රශ්නය වෙත අලුත් ප්‍රවේශයන්ට අවස්ථාවක් උදා වී තිබේ. යුද්ධයෙන් පසු කාලයේදී ජවිපෙ නායකත්වය දැඩි ජීවිත අනතුරු පවා දරාගෙන උතුරු, නැගෙනහිර දෙමළ ජනයා වෙත ප්‍රවේශ වීමට බැරෑරුම් උත්සාහයක් දැරුවේ ය. ජවිපෙට සිය ගතානුගතික ස්ථාවරයන් වෙනස් කර ගැනීමට බල කරන්නේ දෙමළ ජනයා අතර වැඩ කරන්නට ගොස් ලබා ගත් අත්දැකීම් බව අපගේ විශ්වාසයයි.


ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ නායකත්ව මට්ටමේ හෝ ගැඹුරු සංවාදයක් ඇති වන්නට ඇතැයි පක්ෂ නායකයාගේ ප්‍රකාශය ඔස්සේ අපට අනුමාන කර ගත හැකි ය.


එම නායකත්වය විසින් ම පසුගිය සමයේදී ෆෙඩරල් අදහස පක්ෂ සාමාජිකත්වය අතර නයාට අඳුකොළ බවට පත් කළ සංදර්භය තුළ දැන් ඉතින් මේ සංවාදය පක්ෂ සාමාජිකත්වය අතරට ද ගෙන ඒමේ අභියෝගයට ජවිපෙ මුහුණ දිය යුතුව තිබේ.


එය සිදු වන්නේ අතිශය වැදගත් රාමුවක් තුළයි. ඒ වනාහි ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ආණ්ඩුවේ අසමත්භාවය ඔප්පු වෙමින් තිබෙන නව තත්වයකි. යම් කිසි එක තැන පල් වන තත්වයක් නිර්මානය කර සිටි සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක් පරාජය කිරීම වෙන ම රාජ්‍ය අරගලයන් ඉදිරියට යාමට ඉවහල් වූ අවස්ථාවක් පිළිබඳ කොසොවෝ රාජ්‍යය සර්බියාවෙන් වෙන් වීම නිදසුනක් ලෙස සැලකිය හැකි ය. මන්ද, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මැදිහත්වීම් සඳහා නව අවස්ථා සන්නද්ධ ව්‍යාපාර නොමැති අවකාශය තුළ විවර වන හෙයිනි.


දෙමළ ඩයස්පෝරාව මැඬලීම පිණිස කේ.පී. යොදා ගත හැකි යයි ආණ්ඩුව සිතා සිටියා නම්, දැන් එම උපාය මාර්ගය අසාර්ථක බව තීරණය කිරීමට කාලය හරි ය. කොටි සංවිධානයේ පශ්චාත් යුද පරාජ සමයේ දෙමළ ඊලාම් අරගලයට ශක්තිමත් නායකත්වයක් දීමට රුද්‍රකුමාරන් විශ්වනාදන් සමත් වී ඇති බව අපගේ නිරීක්ෂණයයි. එය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයකට වඩා ජාත්‍යන්තර දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සංදර්භයක් තුළයි. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් හා ජනමත විචාරණයක් හරහා දකුණු සුඩානය නම් වෙන ම රාජ්‍යයක් බිහි වීම දෙමළ අරගලයට ආස්වාදයක් වී ඇති අතර නව දිශානතියක් ද සපයා තිබේ.


කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව පවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දීමට අවශ්‍ය දූරදර්ශීභාවය ආණ්ඩුව සතු නො වීම බෙදුම්වාදීන්ට වාසිදායක මෙම නව තත්වය ඇති කිරීමට හේතුව බව පැහැදිලි ය.


ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දරණ උත්සාහයන් වනාහි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමට දරණ උත්සාහයන් හා සමාන ය. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමේ ශක්තියක් හා ජනප්‍රියභාවයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු අවධිය දැන් නිමා වී ඇත. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට දරන කුමන හෝ ප්‍රයත්නයක් දරා ගත නො හැකි ජීවන වියදම හමුවේ ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් තිබෙන ආණ්ඩුවේ කොන්ද බිඳ දමන පිදුරු ගස විය හැකි ය.


ජවිපෙ අලුත් ප්‍රවේශය සිදු වන්නේ මෙම සංදර්භය තුළයි. ඒ හා සම්බන්ධ සංවාදය මතු කර ගැනීම හා ජවිපෙට සමාජ සංවර්ධනයට ඉවහල් වන ධනාත්මක දිශාවකට චලනය වීම පිණිස උදව් කිරීම මේ මොහොතේ ප්‍රගතිශීලීන් සතු වගකීමක් බව අපි අවධාරණය කරමු.


සියලු අර්බුද උත්සන්න වද්දී ජාත්‍යන්තර හෝ ඉන්දීය බලපෑම මත ලංකාවට ෆෙඩරල් විසඳුමක් යෝජනා කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩවට සිදු වන තීරණාත්මක මොහොතකදී ජනප්‍රිය ෆෙඩරල් විරෝධය වෙනුවට දිගු කාලීන ස්ථාවරයක් වෙත එළඹීමට ජවිපෙට ශක්තිය ලබා දිය යුතු ය.


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත හැක්කේ ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඔස්සේ මිස බලපෑම්වලට යට වී ගන්නා ක්‍රියාමාර්ගවලින් නො වේ.
 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න.