2011-06-30

සෙලාන් බැංකු වෘත්තීය සටන, සේවක හිමිකම් හා අධිකරණ මැදිහත් වීම් නව ප්‍රවණතා

(2011 ජුනි 30, W3Lanka) වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හාම්පුතුන්ට බලපෑම් කිරීම පිණිස වැඩ වර්ජනය කිරීම ලොව පිළි ගත් සේවක අයිතිවාසිකමකි. 


එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ.


පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න.


සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය.
ලබන 06 දින හා 13 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයද අත්හිටුවන ලෙස දිසා අධිකරණය නියෝග කෙළේය. බැංකු සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව පෙන්වාදුන් දිසා අධිකරණය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සේවකයින්ගේ අයිතිවාසිකමක් බවද සඳහන් කෙළේය.
සෙලාන් බැංකුව විසින් ලංකා බැංකු සේවක සංගමයට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු රංජිත් එන් වතුපොළේ මහතා මෙම වාරණ නියෝග නිකුත් කළේය.
වැටුප් ප්‍රතිශෝධන සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් විරෝධතා ලාංඡන පැළැඳ සේවයේ නිරතවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අධිකරණය අවසර ලබාදුන්නේය.
විත්තිකාර ලංකා බැංකු සේවක සංගමයේ සෙලාන් බැංකු සේවකයින්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ නලින් අමරජීව මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක කරන දිනය හෝ ඒ පිළිබඳ නිශ්චිත අදහසක් සේවා යෝජකයින් විසින් ඉදිරිපත් කර නොමැති බව පැවසීය.
සෙලාන් බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳව බැංකු පාලනාධිකාරිය විසින් අගෝස්තු 29දින තීරණයක් ගන්නා බව නීතිඥවරයා අධිකරණයට පොරොන්දු විය.
2008 වසරේදී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් මුල්‍ය ආයතන කඩා වැටුනද සෙලාන් බැංකුවට පත් කළ නියාමක අධිකාරියේ මැදිහත්වීමෙන් බැංකුව ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවද රොමේෂ් ද සිල්වා මහතා පැවසීය. මෙවන් පසුබිමක් තුළ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවූ බවත්, බැංකු සේවක වැටුප් ප්‍රතිශෝධනයක් අවශ්‍ය වන බවට පිළිගන්නා බවත් හෙතෙම පැවසීය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ සෙලාන් බැංකුව අධිකරණයට ඉදිරිපත් කළ වාචික පොරොන්දුව සැලකිල්ලට ගත් දිසා අධිකරණය වැඩ වර්ජනය කිරීම වළක්වමින් දින 14 ක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් විත්තිකාර ලංකා බැංකු සේවක සංගමයට නිකුත් කළේය.


මෙහිදී මතු වන ගැටලු අතරින් කීපයක් මෙසේ ය:


වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට, වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව අධිකරණය තීරණය කර තිබේ. මෙම ක්‍රියාමාර්ග කීපය වනාහි විරෝධතා ලාංඡන පැළැඳ සේවයේ නිරත වීම, කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හා එසේ කර ඉල්ලීම් නො ලැබුණොත් ජුලි 06 හා 13 දිනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන සංකේත වර්ජනයි. එසේ ක්‍රියාමාර්ග කීපයක් ගැනීම වැරදි බව අධිකරණය නිගමනය කර තිබේ. 


මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සෙලාන් බැංකු සේවකයන් පෙළඹෙන්නේ වැටුප් ප්‍රතිශෝධන සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම නිසා ය. දෙපාර්ශ්වයක් අතර ගිවිසුමක් කිසියම් පාර්ශ්වයක් විසින් ඒක පාර්ශ්විකව කඩ කළ විට අනෙක් පාර්ශ්වය අගතියට පත් වේ. මෙතැනදී අගතියට පත් වී ඇත්තේ සෙලාන් බැංකු සේවකයෝ ය. අධිකරණ නියෝගය ඔවුන්ට 'ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා' යන සිංහල ප්‍රස්ථා පිරුළේ අදහස සිහිපත් කරනවා විය හැකි ය. 


අධිකරණය වාරණ නියෝගය නිකුත් කරන්නේ සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක කරන දිනය හෝ ඒ පිළිබඳ නිශ්චිත අදහසක් සේවා යෝජකයින් විසින් ඉදිරිපත් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ නීතිඥවරයා විසින් පෙන්වා දෙනු ලබද්දී ය. 


වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳව බැංකු පාලනාධිකාරිය විසින් අගෝස්තු 29දින තීරණයක් ගන්නා බව සමාගමේ නීතිඥ පවසයි. සමාගම ගන්නා තීරණය වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක නො කිරීම හෝ එය බොහෝ ඈත දිනකට කල් දැමීම වුව විය හැකි ය. 


වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ සෙලාන් බැංකුව අධිකරණයට ඉදිරිපත් කළ වාචික පොරොන්දුව  අධිකරණය විසින් පිළි ගෙන ඇත. එහෙත්, සේවකයන්ගේ ප්‍රශ්නය වන්නේ හාම්පුතුන් ඔවුන් සමග එළඹි ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය කිරීමයි. ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය කළ පිරිසකගේ වාචික ප්‍රකාශයක් පිළි ගන්නට ඔවුන්ට සිදු වී තිබේ. 


මෙහි නිල් පාට අකුරෙන් දක්වා ඇති කොටස අනුව, බැංකුවේ පාලකයන්ගේ අදහස වන්නේ ව්‍යාපාරය කඩා වැටෙන්නට නො දීම නිසා පාලනාධිකාරයට සේවකයන් ණය ගැති බව ද? එසේ නම්, එය අපූරු තත්වයකි. තමන්ට රැකියාව දුන්නාට, රැකියාවෙන් දොට්ට නො දැමුවාට කෘතඥ වීම ප්‍රමුඛ වී අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්වීමක් සිදු වේ නම් හා එය අධිකරණය විසින් පවා පිළි ගැනෙන්නේ නම්, සේවකයන්ගේ කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මේ අනුව සාධාරණ නො වනු ඇත.  


නිදසුනක් ලෙස මෙසේ සිතන්න. දැනට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින සරසවි ආචාර්යවරුන්ට රජය මෙසේ කියනු ඇත. "අපි මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න නො දී තියාගෙන ඉන්න නිසා අපට කෘතඥ වෙයල්ලා. ස්ට්‍රයික් නවත්තපල්ලා. පුළුවන් දවසක අපි උඹලාට පඩි වැඩ කර දෙන්නම්. වෙනද වගේ වැඩට පලයල්ලා. "


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-29

ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කාරණාවලදි කෝ?

(2011 ජුනි 29, W3Lanka) උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කිරීම රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පැවරීමට තමන් තීරණය කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල එකඟතාවෙන් යුතුව සම්මත කරන ඕනෑම විසඳුමක්‌ තම රජය භාරගන්නා බවත්, පාර්ලිමේන්තු කාරක සභාවක්‌ තරම් එයට සුදුසු වෙනත් විකල්පයක්‌ නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. 


ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේ ඊයේ (28 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග සුහද හමුවේදීය.


හා, හා, ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවක්! ඒත්, රටේ ලොකු ම ප්‍රශ්නය විසඳීමේ ලා ඇති මේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කරුණුවලදී?


මෙහෙම ස්ථාවරයක ඉඳිමින් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට හතක් (අද සාකච්ඡාවත් සමග) පැවැත්වූයේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මීට පෙර පත් කරන ලද තිස්ස විතාරණ සමසමාජ ඇමතිගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාකච්ඡා වට සියයකට වැඩි ගණනකින් පසු සම්පාදනය කරන ලද වාර්තාව තිස්ස විතාරණත් සමග ම කුණු කූඩයට විසි කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


රු. කෝටි 26,500ක් වැය කර හම්බන්තොට 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන්නට කරන ප්‍රචාරය වෙනුවෙන් PMP ලෙගසි නම් විදේශ සේවා මහජන සම්බන්ධතා සමාගමට රු. මිලියන 400ක් හෝ ඊට අඩු වැඩි ගණනක් මුදල් ගෙව්වේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පාලකයන්ගේ හෙංචයියන් විසින් අක්‍රමවත් ලෙස බලය අල්ලාගෙන නොකළමනාකරණය කර, මුල්‍ය අර්බුදයකට තල්ලු කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු. බිලියන දෙකක මහජන මුදල් ප්‍රදානයක් දෙන්නට යන්නේත් පාර්ලිමේන්තුවෙන් අහලා ද?


හම්බන්තොට වරායේ ගල කඩන්නට පෙර, උපන් දින සංදර්ශනයක් පවත්වන්නට වතුර පිරෙව්වේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පෞද්ගලීකරණය නො කරන බව ශපථ කරමින් හිඳිමින් ගාලු මුවදොර වටිනා ඉඩම් අක්කර 20ක්, කල්පිටියේ දූපත්, සාම්පූර් ඇතුළු රට පුරා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට හා පිටරටට විකුණා දමන්නේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


බදු වැඩි කරන්න, මහජන වියදම් කප්පාදු කරන්න රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වුණේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඉතුරුම් කොල්ල කෑමේ අරමුණින් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් යෝජනාවක් ‍ගෙනැවිත්, රටේ කැළඹිලි ඇති කර, අහිංසකයකු මරා දමා, එම යෝජනාව තාවකාලිකව හකුලා ගත්තේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මෙහේදී බැන, බැන නිව්යෝක්හිදී දරුස්මාන් කමිටුව සමග සාකච්ඡා කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට ඇමතිවරුන් ලවා මාරාන්තික උපවාස කරමින් බකමූණා ලෙස නම් කරවූ බැන් කී මූන්ට දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස තේරී පත් වන්නට උදව් කළේ පාර්ලිමේන්තුවෙන් අහලා ද?


මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් ඇතුළත් කරන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට රු. කෝටි 26,500ක්; ඒත් රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ හදන්න සල්ලි නැහැ

ගෝල්ඩ් කෝස්ට්
(2011 ජුනි 29, W3Lanka) වායුසමීකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ පවතින එකම ශල්‍යාගාරයේ සිදු කෙරෙන සියලු සැත්කම් මෙම දිනවල ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව දිවයින වාර්තා කරයි.


හම්බන්තොට රෝහල් ශල්‍යාගාරයෙහි දිනකට සැත්කම් 60 ක්‌ පමණ සිදු කෙරෙන අතර එම සැත්කම් ඇනහිට තිබීම හේතුවෙන් දෛනික සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව ඇති බව පුවත්පත පවසයි.


රෝහලේ තත්වය එසේ ය. එහෙත්, ඊයේ දිනමිණ වාර්තා කළ පරිදි 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන හම්බන්තොට නගරයේ සංවිධාන කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ ඇගැයුම් නිලධාරී' පිරිසක් ඊයේ හම්බන්තොට ගිය හ.


දිනමිණට අනුව, හම්බන්තොට යනු 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන' නගරයයි.


එහෙත්, ඇත්ත නම්, හම්බන්තොට මෙකී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ඇගයුම් නිලධාරි පිරිස විසින් සකසනු ලබන වාර්තාව පදනම් කරගෙන නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා මහ සමුළුවේදී පොදුරාජ්‍ය මණ්‌ඩලයට අනුබද්ධිත රටවල් 71ක ඡන්දය විමසීමෙන් අනතුරුව වීමයි.


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ලබා ගැනීම සඳහා හම්බන්තොට සමග තරග වැදී සිටින්නේ ලක්ෂ පහමාරක් පමණ ජනගහණයක් ජීවත් වන ඕස්ට්‍රේලියාවේ දැඩි සංචාරක ආකර්ශනයක් ඇති, ක්‍රීඩා අංශයෙන් විශාල දියුණුවක් හා යටිතල පහසුකම් සහිත වෙරළාසන්න ගෝල්ඩ් කෝස්ට් පුරවරයයි. එය හම්බන්තොට වැනි සිහින පුරවරයක් නොව ඇත්ත ම පුරවරයකි. විස්තර සඳහා මෙතැන ඔබන්න.


හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය නඩත්තු කර ගන්නට සල්ලි නැති වුණාට ලංකාව 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් මිලියන දෙලක්ෂ හැටපන් දහසක් වැය වේ යයි ඇස්තමේන්තු කර තිබේ. එය ඉලක්කමෙන් කියනවා නම් රු.265,000,000,000කි. එනම් රු. කෝටි 26,500කි


නො කෙරෙන වෙදකමට කොච්චර ඇස්තමේන්තු කළත් මොකදැයි මෙවැනි දැවැන්ත උළෙලවල් ලංකාවේ පැවැත්වෙනවාට අකැමැති දේශද්‍රෝහීන් කියනු ඇත.


කෙසේ වෙතත්, රජය මේ වන විටත්, මෙම ක්‍රීඩා උළෙල ලංකාවට ලබා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරණ කටයුතුවල යෙදෙන PMP ලෙගසි නම් විදේශ සේවා මහජන සම්බන්ධතා සමාගමට රු. මිලියන 400ක් ගෙවා ඇතැයි ආණ්ඩුවට සමීප පුද්ගලයකු වන වික්ටර් අයිවන් කර්තෘ පදවිය දරන රාවය පුවත්පත පවසයි.


හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක තත්වයට පත් කරන්න රු. මිලියනයක්වත් වැය වන්නේ නැත.


රජය මෙවැනි මහා පරිමාණ මහජන මුදල් නාස්ති කිරීම් කෙතරම් කර තිබේ ද? හම්බන්තොට වරායේ ගල කඩන්නට පෙර එයට වතුර පිරෙව්වේ ඇයි? දැන් ගල කඩන්නට වරාය හදන්නට ගිය මුදලෙන් හතරෙන් පංගුවක් වැය වේ. 


ලෝක කුසලානය වෙනුවෙන් හැදූ සූරියවැව ක්‍රීඩාංගනයේ එයින් පසු තරග කීයක් ක්‍රීඩා කළා ද? 


ප්‍රාදේශීය නගරවල තිබෙන ක්‍රීඩාංගනයත් පළාත් පාලන ආයතන පාලකයන්ගේ හෙංචයියන් විසින් කඩ දැමීම සඳහා වංචනික ලෙස අල්ලමින් තිබේ. මේ මොහොතේත් එවැනි ක්‍රියාවක් මතුගම නගරයේ සිදු වෙමින් තිබේ. 


මෙවැනි උළෙලවල් පැවැත්වූවාට රටේ ක්‍රීඩාවේ සංවර්ධනයක් සිදු වන්නේ නැත. සිදු වෙනවා යයි කියන සංචාරක කර්මාන්තයේ දියුණුව වැනි වෙනත් දේ ද සිදු වන්නේ නැත. එහෙම වෙනවා නම්, කෝ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ලැබූ ප්‍රතිලාභ? ලෝකය පුරා ම ක්‍රිකට් පාලක මණ්ඩල ලාභ ලබද්දී අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය නඩත්තු කරන්න සිදු වී තිබෙන්නේ මහජන මුදලින්. 


මහජන මුදලින් සංදර්ශන පැවැත්වූවා කියා රටක් දියුණු වන්නේ නැත. රටක් සංවර්ධනය වීම සඳහා අවශ්‍ය යහපාලනයකි. 


ලංකාවේ රජය යනු මෙරට මහජනයා‍ගෙන් බදු මුදල් සූරා ගනිමින්, උන්මත්තක ව්‍යාපාරවල ආයෝජනය කරමින්, රජය වටා සිටින මජර පිරිස් කොමිස් හරහා ලාභ ගරා ගන්නා, පාඩු මහජනතාව පිට පටවන දැවැන්ත හොර ජාවාරමක් බව අපි මීට පෙර ද සඳහන් කර ඇත්තෙමු. 


මේ රටේ ජනතාවගේ අනාගතය අන්ධකාර කරන්නේ රජය නම් සමාගම විසිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-28

හිස නමා සමාව ගැනීම හා වැඳලා සමාව ගැනීම

(2011 ජුනි 28, W3Lanka) ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී 2009.12.02 දින ඕමාරේ කස්සප හිමියන්ට අත දිගුකරමින් බියක් හා අපහසුතාවක් ඇති වන පරිදි තර්ජනය කිරීම යන චෝදනාව මත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව පවරා තිබුණු නඩුවක් ඊයේ සමථයකට පත් කරගෙන තිබේ.


ඒ වනාහි, සේනසිංහ ඕමාරේ කස්සප හිමියන්ට විවෘත අධිකරණයේදී චාරිත්‍රානුකූලව හිසනමා ආචාර කිරීමෙනි.


මීට පෙර, මාතර දිසා විනිසුරු කේ.ඞී.එල්. සමන් කුමාර මහතාට සහ ඔහුගේ බිරියට පහර දී මෝටර් රථයට ද අලාභහානි කළ බවට චෝදනා ලද හමුදා භටයින් හා හමුදා භටයකුගේ බිරිය අධිකරණයේ දී මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා ඉදිරියේ දිසා විනිසුරුවරයාට සිංහල ක‍්‍රමයට වැද ආචාර කොට සමාව ලබාගෙන නඩුව සමථයකට පත් කර ගත්හ. විනිසුරුවරයාගේ මෝටර් රථයට වූ අලාභය ගෙවන ලදී.


නීතිඥ සුජීව සේනසිංහ ද, මාතරදී සමාව ගත් සෙබළු ද සිංහලයෝ ය. එහෙත්, ඔවුන් දෙපිරිස දෙවිධියකට සමාව ගන්නට ඇත්තේ සිංහල චාරිත්‍ර ප්‍රදේශ අනුව වෙනස් වන නිසා විය හැකි ය. ප්‍රදේශ පමණක් නො ව පංති අනුව ද චාරිත්‍ර වෙනස් වේ. නිදසුනක් ලෙස, සාමාන්‍ය වැසියන් හාමුදුරුවන්ට බිම දණ ගසා වැන්දත්, ලොකු ලොක්කන් වඳින්නේ යන්තම් දෙකට නැවී ය.


සමහර විට, සුජීව සේනසිංහ සමාව ගන්නට ඇත්තේ අධිකරණ චාරිත්‍ර අනුව විය හැකි ය. එසේ නම්, මාතර සෙබළු සමාව ගත්තේ අධිකරණ චාරිත්‍ර අනුව නො වේ ද?


වැඳලා සමාව ගැනීම ලංකාවේ අධිකරණයේ අලුත් ප්‍රවණතාවකි. සමාව දීම දේව ගතියක්ලු නේ.


එහෙත් අප අසා ඇති පරිදි නම්, අපරාධයක් සැලකෙන්නේ රජයට එරෙහි ක්‍රියාවක් ලෙසයි. අපරාධ නඩු විභාගයකදී වරදකරු ද නිවරදිකරු ද යන්න තීරණය වන්නේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි සහිතව වරදකරු එම වරද කරන ලද බව ඔප්පු වූ විටදී ය.


ඕමාරේ කස්සප හිමි යනු ආණ්ඩුවට සම්බන්ධ භික්ෂුවකි. සුජීව සේනසිංහ එහිමියන් බියට පත් කර ඇත්තේ 2009 වසරේ දෙසැම්බර් 02වැනිදා තම ආරක්ෂාව වැඩිකරන ලෙසට සරත් ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවේ අතර මැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වීම සඳහා ඕමාරේ කස්සප හිමියන් ද එදින ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියදී ය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් එම නඩුවට පෙනී සිට ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-27

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යාපනය හොද නැද්ද?

නම: බාලසිංහම් සත්ගුණනාදන්
වයස: අවුරුදු 32යි
රැකියාව: වෙළඳාම. කලින් කොටි සංවිධානයේ සාමාජිකයකුව හිඳ පසුව රජය විසින් නිදහස් කරනු ලැබූවෙකි.
මරා දමන ලද දිනය: 2011 ජුනි 26
මරා දමන ලද ආකාරය: පහර දීමෙන්
මිනිය හමු වූ ස්ථානය: පූතූර් ක්‍රීඩාංගනයේ ගෝල් කණුවක එල්ලා තිබියදී. ඔහුගේ මෝටර් සයිකලය ද අසල තිබිණි.


මේ යාපනයයි. එහි සාමයයි. ආරක්ෂාවයි. අපේ රටේ ක්‍රීඩාවයි. අපට හරි ආඩම්බරයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-26

Process of granting solution to the ethnic problem of Sri Lanka reversed to 2005

Sri Lanka government is to have another round of talks with the major Tamil constituent Tamil National Alliance (TNA) today in Colombo, unconfirmed sources say.

This discussion was scheduled following the last dialogue held on June 23 in the Presidential Secretariat.

Today's discussion is believed an extension of the dialogue on the talks on the implementation of the 13th amendment to the constitution.

Reports say the TNA has proposed amendments to the concurrent list of the 13th amendment under which the central government and the Provincial Councils share equal powers in certain matters..............................................................

Read the full article in Lanka Polity


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

(2011 ජුනි 26, W3Lanka) අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි.


මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය:


ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය.
ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු මීගමු - කොළඹ බස් රථය පැමිණියෙන් ඇය ඇතුළු සිසු සිසුවියෝ හනික ඊට ගොඩවූහ. බස් රථය මීගමුව දෙසට ධාවනය වූයේ කෙටි දුරකි. බසයේ රියදුරු ක්ෂණිකව සිදුකළ තිරිංග තද කිරීම නිසා ඈන් බස් රථය තුළ ඇදවැටිණි. බසයේ බිම පතිත වී සිටි ඇය මට හොඳටම අමාරුයි රෝහලකට ඉක්මනට ගෙනියන්න කොඳුලාය. බසයේ සිටි කිහිපදෙනකුත් ඇගේ මිතුරු මිතුරියන් ද රියදුරුගෙන් ඉල්ලා සිටියේ හනික ඇයව මීගමුව රෝහලට රැගෙන යන ලෙසය.
එහෙත් මනුස්සකම යටවී මුදල් හා ලාභය පමණක් එකම අරමුණ බවට පත්වූ බස් රථයේ රියදුරුටත් සහයකටත් තමන්ට ද දූවරුන් හා මෙවැනි සොහොයුරියන් සිටින බව අමතක විය. ඒ වන විටත් සිහියක් පණක් නොමැතිව සිටි ඈන්ව කෙටි දුරක පිහිටා ඇති මීගමු රෝහලට ගෙන යාම වෙනුවට බස් රියදුරු සහ බස් සහයක කළේ සෑම බස් නැවතුමකම බසය නවතා මගීන් පටවා ගැනීමය. මේ බව දුටු මගීන් කිහිප දෙනකු ද සිසු සිසුවියන් ද ඇයව ඉක්මනින් රෝහල වෙත ගෙන යන ලෙස රියදුරුගෙන් නැවත නැවතත් ආයාචනා කළේය. එම ඉල්ලීමට සවන් දීමට තරම් ඒ රියදුරුගේ හදවත කාරුණික නොවීය. ඔහු කළේ මීගමු රෝහලට කෙටි දුරක් තිබියදී සිහිසුන්ව සිටි ඇය ද සමඟින් සිසුවියන්ව බස් රථයෙන් බැස්සවීමය.
සිහිසුන්ව සිටින තම පාසල් මිතුරිය සමඟින් කිසිත් කර කියා ගත නොහැකිව වික්ෂිප්ත දෑසින් බලා සිටි සිසු සිසුවියෝ ඇයව ත්‍රිවීලයක දමා මීගමුව රෝහලට ගෙන ගියාය. ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරු ඇය මෙලොව හැර ගොස් ඇති බව නිගමනය කළහ. පෞද්ගලික වෙළඳසැලක සේවය කරන එම්. ඩබ්ලිව්. සුසිල් පීරිස් හා අනූෂ කුමුදු දිසානායක යුවළගේ වැඩිමල් දරුවා වූ ඇයට සිටියේ තවත් එක් බාල සහෝදරයෙක් පමණි. ඇයට හදවත් රෝගයක් තිබී වෛද්‍ය ප්‍රතිකාර මත සම්පූර්ණ සුවය ලැබී තිබුණ බව එම දෙමව්පියෝ පවසන ලදී.
මීගමු නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා හදිසි මරණ පරීක්‍ෂණය පවත්වා පැවසුවේ රියදුරුගේ හා කොන්දොස්තරගේ නොසැලකිල්ල නිසා නිසි වේලාවට දැරියට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකි වී ඇති බවයි. මෙවැනි අවස්ථාවක තමන් තුළ තිබිය යුතු මනුස්සකමේ ගුණාංග ඉවත දමා කටයුතු කර ඇතැයි මරණ පරීක්‍ෂක ඔවුනට අවවාද කරමින් පැවසීය. මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාව සැලකිල්ලට ගෙන හෘදයේ නාලවල නිසි ලෙස රුධිර ගමනාගමනය සිදු නොවීමෙන් වූ හදිසි මරණයක් බව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා නිගමනය කළේය.


මෙවැනි දේ සිදු වන්නේ තනිතර ම බස් සේවකයන්ගේ අමනුස්සකම නිසා ම ද? පොදු ප්‍රවාහන සේවය අමනුස්සයන්ට සින්න වුණේ කෙසේ ද? රටේ මනුස්සකමක්, නීතියක්, යුක්තියක් නැති තත්වයක් නිර්මානය කළේ කවුරු ද?


ඇමති ඩලස් අලහප්පෙරුම මහජනයා ලවා කෝච්චි තල්ලු කරවූ හෙවත් ප්‍රවාහන ඇමතිකම දැරූ සමයේ ජනමාධ්‍යවලින් කොච්චරවත් කතා බස් කළේ ගුණාත්මක බස් සේවයක් ගැනයි.


අපරාදේ කියන්නට බැරි ය. ප්‍රයිවෙට් බස් මුදලාලි කෙනෙකු වන වර්තමාන ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඔය බොරු පූච්චානම් කියන්නේ නැත. මුදලාලිලාට බස් කියන්නේ කාගේ ඇඟ උඩින් හෝ පාරේ දුවා කොන්දොස්තරත්, රියැදුරාත් මාටියා ගසන ගාන අඩු කර හැන්දෑවට මුදල් ටික අත මිට මොළවන ජාවාරමක් බව බස් හිමියෝ දනිති. ඕකට සේවාව ආදී වචන නාස්ති කරන්නට ඕනෑ නැත.


දේශපාලකයන් බස්වල යන්නේ නැත. ඒ නිසා උන්ට බස් කොලම්බස්ට ඉන්දියාව වැනි ය. කොලම්බස් ඉන්දියාව කියා කිව්වේ ඇමරිකාවට ය.


ඇමතිවරු මේවා කියවනවාද අපි නො දනිමු. හෙංචයියෙක් මෙය කියවනවා නම් කරුණාකර පිටපතක් දෙන්න. ලියපු එකාගේ පැටිකිරිය හොයන්න වෙහෙස නො වන්න.


ලංකාවේ සුඛෝපභෝගී යයි කියන, වැඩි ගාස්තු අය කරන බස් වැඩි හරියක් අවුරුදු දහයකට පහළොවකට වඩා පැරණි ලදරං ය. ඒවායේ ආසනවල වාඩි වී යාමට කොන්ද වෙන ම සකස් කර ගත යුතු ය. අල්ලන්න පොල්ලක් නැතත්, මේවායේ පොල් පැටෙව්වා සේ සෙනග පටවති. වීදුරු කළු කර, තිර දමා ඇති නිසා පොලිසියට පේන්නේ නැත. දැක්කත් ප්‍රශ්නෙකුත් නැත.


ලංකාවේ අර්ධ සුඛෝපභෝගී කියා ද බස් ජාතියක් ඇත. ඒවායේ ගාන වැඩි ය. ඒවා ද මුළුමනින් ම වෙනත් සාමාන්‍ය ගාස්තු බස් වගේ ම ය. සුඛෝපභෝගී වන්නේ ජනෙල්වලට කිළිටි තිර දමා ඇති නිසා ය.


පෞද්ගලික බස් කොන්දොස්තරලාට මිනිසුන් කකුල් දෙක ම බිම තබාගෙන බසයක යන එක පෙන්නන්නට බැරි ය. උන්ට මිනිසුන් වනාහි හයේ කෑලි, අටේ කෑලි ය.


පෞද්ගලික බස් රියදුරන් වාහන පදවන්නේ රේස්කාරයන් සේ ය. උන්ට මාර්ග නීති කියා දෙයක් නැත.


බස් සේවකයෝ ඕනෑ තරම් මගීන්ට හා වෙනත් මිනිසුන්ට අඩන්තේට්ටම් කරති. හැබැයි උන් එකෙකුගේ හෝ මයිලකට කවුරු හෝ අත ති‍බ්බොත් ආර්ථිකය බංකොලොත් වන පරිදි බස් ස්ට්‍රයික් කරති.


පසුගිය කාලයේ ආණ්ඩුව ටිකට් නො දෙන කොන්දොස්තරලා අල්ලන බව කියා බිය කර තමන්ගේ හිතවතුන්ගේ කොම්පැනි ලවා ටිකට් යන්ත්‍ර විකුණා ගත්තේ ය. දැන් ඒවා කැඩිලා ය. ටිකට් නැත. අල්ලන්න කෙනෙකුත් නැත.


බස් කොන්දොස්තරලාගේ වැඩේ ම ඉස්සරහින් නැග සෙනග අතර තදබද වෙමින් පස්සට යාමයි. උන් ඕනෑ කෙනෙකුගේ ඇඟට හේත්තු වන්නේ ඒ මගියා පොල්ලක් ලෙස සලකමිනි. උන් ළඟින් හමන දුර්ගන්ධය ඉවසා ගැනීම අමාරු ය. ඒ පීඩිතයන්ගේ ගතින් නැ‍ඟෙන ජීවන සුවඳ යයි වාමාංශික කවියෝ කියනු ඇත. එහෙත් ඇත්ත ප්‍රශ්නය ඔවුන් නාන්නේ නැතිකමයි.


බස් සේවකයන් කියන්නේ වාමාංශික භාෂාවෙන් කියන ආකාරයේ පීඩිත පංතියේ සහෝදරයන් පිරිසක් නො ව, පීඩිතයන් තවත් පීඩාවට පත් කරන ලුම්පන් ඉහඳ පණුවෝ ය.


ලංගම කියන එක දැන් පෞද්ගලික බස්වලින් වෙනස් වන්නේ බස්වල කිළිටිකම වැඩි නිසා පමණි. ඉහත කී කාරණා සියල්ල ම ලංගමට ද අදාළ ය.


වැඩේ කියන්නේ උ‍දේ හවා මේ බස්වල ජීවිතේ කාබාසිනියා කර ගන්නා මේ රටේ ජනතාව මෙවැනි බස් සේවාවක් පවත්වා ගෙන යාම සඳහා මේ ආණ්ඩුවට ඡන්දෙත් දෙති. මගීන්ට අයිතිවාසිකම් කියා දෙයක් ඇති බව මගීහු නො දනිති.


අයිතිවාසිකම් කතා කරන්නට ගියොත් සිදු වන්නේ කොන්දොස්තරගෙන් ගුටි කන්න ය. පාරක් ගැසුවොත්, ඊළඟ දවසේ පාරවල් සිය ගණනක බස් ස්ට්‍රයික් කරමින් අර පාර ගැසූ මිනිහා මරාගෙන කන්නැයි මේ පාදඩයෝ පොලිසියට බල කරති. ආණ්ඩුව ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් රැක දීමට යයි මේ රටේ ජනතාව නිකමටවත් සිතන්නේ නැත.


ආණ්ඩුව බස් ගාස්තුත් වැඩි කරයි. පඩි නම් වැඩි වන්නේ නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-25

මේ මදුරු මර්දනය තනිකර බොරුවකි. භීෂණය වැපිරීමකි.

(2011 ජුනි 25, W3Lanka) මේ දිනවල මදුරු මර්දන සතියකි. තවත් භීෂණයකි.


භීෂණය මදුරුවන්ට නො ව, මිනිසුන්ට ය. කට කතා පැතිර යන්නේ බල්ලකු ගෙනත් දැමූ පොල්කටුවක් තිබුණත් නඩු දමන බවටයි. වැහි පීලිවල වතුර රැඳී තිබුණත් නඩු දමන්නේ පීලි හැදූ එවුන්ට හෝ ඇල්ලූ බාස්ලාට නො ව ගෙහිමියන්ට ය. දැන් වැඩ කරන ජනතාවට සිදු වී තිබෙන්නේ වැඩට යන එක නවත්වා වත්ත වටේ, වහල උඩ ඇවිදිමින් මුර කරන්නට ය.


ජාතික මදුරු මර්දන සතියේ හතර වැනි දිනයේ (23) පරීක්‍ෂා කිරීම්වලදී මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයන් 1811ට එරෙහිව නඩු පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට ‍ආණ්ඩුව උදම් අනයි.


දැන් බලාගෙන ගියා ම මදුරුවන් බෝ වීම තනිකර මේ රටේ ජනතාවගේ වරදකි. මදුරුවන් බෝ වීම කෙරෙහි මිනිසුන්ගේ නො සැලකිල්ල හේතු නො වන බව අපි නො කියමු. එහෙත්, ඒ සඳහා මූලික හේතුව එය නො ව, ජනතාවගෙන් සූරා බදු අය කර ගන්නා ආණ්ඩුව සිය වගකීම් ඉටු නො කිරීමයි. 


නගර හැර රටේ අනෙකුත් ප්‍රදේශවල කසල කළමනාකරණය සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැත. කිසිදු නගරයක පවා හරිහමන් කසල කළමනාකරණයක් නැත. මදුරුවන් බෝ වීම කෙරෙහි වැඩිපුර බල පාන්නේ කසල බැහැර කිරීමේ අක්‍රමවත්කමයි. එහෙත් පරිසර ඇමති වගකිව යුත්තෙක් වී නැත.


පරිසරය අපවිත්‍ර කිරීමට හා ‍මදුරුවන් බෝ කිරීමට ඉවහල් වන දෑ තැන තැන දැමීමට දඩාවතේ යන බල්ලන්, බළලුන්, ගවයන් හා කපුටන් වැනි සත්තු සෑහෙන්න දායක වෙති. ඔවුන් සම්පන්ධයෙන් වග කියන්නේ කවුරු ද? තොග ගණනින් මිනිසුන් මරන ගමන්, සිඟන්නන්ගේ පවා ඔල් චප්ප කරන ගමන් බොරු සෝබනයට බල්ලන් මැරීම තහනම් කළ අය ඒවාට වගකිව යුතු ය.


අනෙක් පැත්තෙන් ආණ්ඩුව වසර කීපයකට පෙර මහා ලොකු සද්දයක් දමා මයික්‍රොන් 80ට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය තහනම් කළේ ය. එහෙත්, කසල කළමනාකරණයේදී ගැටලුවක් වන මෙවැනි තුනී පොලිතින් ඕනෑ තරම් වෙළඳපොළේ විකිණේ. ඒවා අල්ලන්නේ කවුරු ද?


ඒ දිනවල පුවත්පත්වල, රූපවාහිනීවල පොලිතින්, ප්ලාස්ටික් ඇසුරුම් වෙනුවට වෙනත් ස්වාභාවික විකල්ප හඳුන්වා දෙන බවට මහා ලොකු කයිවාරුවක් තිබිණි. ඒවා කොහිද? මේ පච ප්‍රචාර සඳහා මහජන මුදල් කෙතරම් වැය කළා ද?


ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර කිරීමට ය කියා දුරකථන පාවිච්චි කරන්නන්ගෙන් අය කරන බද්දෙන් කරන කාර්යය කුමක් ද?


පසුගිය කාලයේ බී.ටී.අයි. බැක්ටීරියාව ‍කියුබාවෙන් ගෙන්වීම සදහා වියදම් කළ මුදලින් කුමක් සිදු වී ද? බී.ටී. අයි. බැක්ටීරියාව දේශීයව නිෂ්පාදනය කරන බවට හා අඩු මිළට වෙළඳපොළට නිකුත් කරන බව කීව ද එය සිදු නො වුණේ ඇයි? බී.ටී.අයි. ගැන කතා කරන්නට මහජන මුදලින් නඩත්තු වන ජනමාධ්‍යවල, පාර්ලිමේන්තුවේ ආදියේ කාලය කෙතරම් කා දැමුවා ද? ඒවාට වග කිව යුත්තේ කවුරු ද?


අපි සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක් කරමු. රටේ මදුරුවන් බෝ වීම වැඩිපුර සිදු වන්නේ ස්වාභාවික පරිසරයේ ය. එනම්, කෙසෙල් පිත්තේ, අන්නාසි පිත්තේ, හබරල පිත්තේ, රම්පෙ කොළයේ වැනි තැන්වල ය. මදුරු පරීක්ෂකවරු ඒවා ගැන නො දන්නා සේ හැසිරෙති. උන් එක්ක තර්ක කළ විට නතර වන්නට සිදු වන්නේ උසාවියේ ය.


මේ අන්දමින් බෝ වන මදුරුවන් මර්දනය කිරීම සඳහා කෙසෙල් ගසේ සිට පෙති ගසා දමමු ද? එවිට අර ඒ දවස්වල කතා කළ 'අපි වවමු - රට නගමු'ට කුමක් සිදු වේ ද?


මේ මදුරු මර්දනය තනිකර බොරුවකි. භීෂණය වැපිරීමකි. ආණ්ඩුව තමන්ගේ වගකීම් මුළුමනින් ම පැහැර හැර බදු ගෙවන ජනතාව පිට ම වරද පැටවීමේ මාධ්‍ය ජිමික් එකකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආසියාවේ ආශ්චර්යය හා ඉන්දුනීසියාව අතර වෙනස

(2011 ජුනි 25, W3Lanka) "සෞදි අරාබියේ සේවයට යෑම ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ට එරට රජය තහනම් කර තිබේ. ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට ලක් කිරීමත් සමඟම ඉන්දුනීසියානු රජය මේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනයට ලක් වූ ගෘහ සේවිකාව ඉන් පෙර සේවය කළ නිවෙසේ හාම්පුතා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ අතර ඇය හාම්පුතාගේ විවිධ අතවරයන්ට ලක් වී තිබූ බවද විදෙස් වාර්තා පළ කරයි.


එරට බලධාරීන් පවසන්නේ සිය සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට සෞදි අරාබියාව එකඟතාවකට පැමිණෙන තුරු ඉන්දුනීසියානු සේවකයන් සෞදියේ ගෘහාශ්‍රිත රැකියාවන් සඳහා නොයැවීමට තීරණය කර ඇති බවයි. ලක්ෂ 15ක පමණ ඉන්දුනීසියානු වැසියන් පිරිසක් සෞදි අරාබියේ සේවය කරන අතර ඉන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවන් බවද වාර්තා වී තිබේ." (උපුටා ගැනීම: ඊයේ දිනමිණ)


ආසියාවේ ආශ්චර්යයේ එහෙම නැත. එහේ කරන්නේ දුප්පත්කමින් එතෙර වීමට කරන්නට දෙයක් නැති නිසා රට යන වහල් ගැහැනුන් 'මුන් අම්මලාදැ'යි අසමින් ජනමාධ්‍ය හරහා කිච කර, ඒ ගෑනුන් ම එවන මුදලින් ජනමාධ්‍ය ද ඇතුළු රටේ ආර්ථිකය ම නඩත්තු කරමින් ජෝගි නැටීමයි.


තමන්ගේ රටින් අරාබියට යන වහලියකට, වහලකුට මරණීය දඬුවම හිමි වූ විට හෝ කස පහර දුන් වට හෝ ආසියාවේ ආශ්චර්යයේ මිනිස්සු ජනමාධ්‍ය සමග එක්ව හුරේ දමති. මෙහෙත් කරන්න ඕනෑ එහෙම යයි කියති. ඒ ආතල් එකට ගෙදර ගැනිට තඩි බාති. තඩි බා අරාබියේ වගේ නො කරන එක ගැන අපට කෘතඥ වෙයව් කියා වන්දවා ගනිති.


ආසියාවේ ආශ්චර්යයේ මිනිසුන්ගේ හා ඔවුන්ගේ නායකයන්ගේ සෙවලකම අරාබිකාරයෝ හොඳින් දනිති. අසාධාරණ නඩු විභාගයකින් සවුදි අරාබියේදී මරණීය දණ්ඩනයට නියම වී සිටින, බාල වියේදී අපනයනය කරන ලද රිසානා නෆීක් නම් ගෘහ සේවිකාව නිදහස් කරන ලෙස ආශ්චර්යයේ නායකයා කළ ඉල්ලීමවත් අරාබිය ගණන් නො ගත්තේ එහෙයිනි.


ඉන්දුනීසියාව මෙන්  තම රටේ සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට ප්‍රතිඥාවක් ඉල්ලන්නට කොන්දක් අපේ රටේ ආණ්ඩුවට තිබේ ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-24

බස් ස්ට්‍රයික්: ජනතාව පයින් හෝ ගොස් වැඩ

(2011 ජුනි 24, W3Lanka) මේ රටේ ආණ්ඩුවකුත් ඇත. ඒත්, ලබන සඳුදා වැඩට යන්නට බස් තිබේ ද කිව නො හැක.


ප්‍රයිවෙට් බස්කාරයෝ හිටි හැටියේ ස්ට්‍රයික් ය. ඔවුන්ට ලංගමෙන්, පොලිසියෙන් කරදරලු. ලංගම භාරව ඉන්න ඇමති ප්‍රයිවෙට් බස් හිමියෙකි. 


ප්‍රයිවේට් බස්කාරයන්ට කැමති හැටියට පාරේ වමෙන්, දකුණෙන්, සෙනග වහලේ, සීට් යට පටවාගෙන කැමති වේගයකින් හෝ හෙමින් යන්නට පමණක් නොව ලංගමත් එක්ක පාරේ ගුටි ඇන ගන්නට ද ආණ්ඩුව දැනටත් ඉඩ දී තිබේ.


දැන් 7.6%කින් බස් ගාස්තුව ද වැඩි කර දී ඇත. ප්‍රයිවෙට් බස් මුදලාලි ඇමතිවරයා වහා කීවේ දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවයි. එවිට ප්‍රයිවෙට් බස්වල සෙනග අඩු වීම වැළකේ. 


ප්‍රයිවෙට් බස්කාරයන්ගේ චණ්ඩියා වන්නට ආණ්ඩුව සහ අනෙකුත් සංගම් සමග තරග වැටී සිටින (දුටු)ගැමුණු විජේරත්නට බස් ගාස්තුව 15%කින් වැඩි කිරීමට උවමනා ය. නැතිනම් 27දා, සඳුදා සිට බස් වර්ජනය කරවන බව ඔහු කියයි. 


වසර දෙකකකින් ගාස්තු වැඩි නො කළ නිසා දුන් වැඩි වීම මදි බව ඔහු කියයි. ඔහු වැරදි ය. ඔහු මේ රටේ වැඩ කරන ජනතාව අනුගමනය කළ යුතු ය.


මේ ර‍ටේ වැඩ කරන ජනතාවට දැන් වසර ගණනාවකින් හරි හමන් වැටුප් වැඩි වීමක් නැත. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව කලින් ද කර ඇත්තේ යම් දීමනාවක් ලබා දීමයි. එහෙත් වැඩ කරන ජනතාව කර බාගෙන වැඩ කරති. එපමණක් නො ව, වැඩි කරන, කරන හැම බද්ද ම ගෙවති. ස්ට්‍රයික් නො කරති. 


ජනතාව කොපමණ හොද ද යත්, ජුලි 01දා සිට බස් ගාස්තු වැඩි කරන අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී බස්වල ඔවුන් යන්නේ පොලුවල එල්ලී, තනි කකුලෙන් හිටගෙන ය. 


වවුලාගේ මඟුල් ගෙදර ගිය කල එල්ලී සිටින්නට සිදු වන බව ජනතාව දනිති. ජුලි මස අවසානයේදී තවත් පළාත් පාලන ආයතන හැට ගණනක ඡන්දවලින් ද ඔවුහු ආණ්ඩුව දිනවති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-23

වාසුදේව නම් කෝකිලයා

චිත්‍ර ශිල්පී සමීර කළුපහන වාසු සහෝදරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මානය කරමින් 
(2011 ජුනි 23, W3Lanka) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු බවට පත් වන තෙක් අපි වාසුදේව සහෝදරයා සමග බොහෝ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුනෙමු. මෑතදී අගලවත්තේ පැවති කොල්වින් ආර්. ද සිල්වා සමරු සම්මන්ත්‍රණයකට පැමිණි ඔහු කොල්වින්ගේ වෘත්තීය සමිති නායකත්වය පිළිබඳ කතාවක් කරනු ලේඛකයා අසා සිටියේ ය. ඉස්සර මෙන් රැස්වීමෙන් පසු වාසු සහෝදරයා සමග කතා කරන ඇල්මක් ලේඛකයාට ඇති වූයේ නැත.


ජනාධිපති උපදේශක ලෙස වැටුප් ගන්නා මුත්, ජනාධිපති ඔහුගෙන් ගන්නා උපදෙසක් නැති බව දන්නෝ දනිති. එහෙත්, ජනාධිපති උපදේශක හැඳුනුම්පත පෙන්නූ විට වාසු සහෝදරයාට බලය ඇත්තන්ගෙන් වෙනදාට වඩා සැලකිලි ලැබිණි. එහෙයින්, වාසු සහෝදරයාගේ ජනාධිපති උපදේශකකම පසුගිය භීෂණ සමයේදී වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යකරුවන්ට, දෙමළ මිනිසුන්ට පිළිසරණක් සැපයීම සඳහා ‍භාවිතා වූ අවස්ථා බොහෝ තිබේ.


වාසු සහෝදරයා ජනාධිපති උපදේශක බලය පාවිච්චි කර මුදල් හම්බ කරන්නට ඇතැයි අපි නො සිතමු. ඡන්දවලට වියදම් කරන්නට යමක් සොයා ගන්නට නම් ඇත. වමේ පක්ෂයකින් ඡන්දය ඉල්ලූ විට ඡන්ද දෙතුන් දාහකට වඩා ලබා ගන්නට අසමත් වාසු සහෝදරයා හැමදාමත් පාර්ලිමේන්තු ගියේ පෙරමුණකිත් මැතිවරණ තරග කරමිනි.


1994 මහ මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තු ගිය වාසු සහෝදරයා ඉන්පසු මැතිවරණ පරාජය වී නන්නත්තාර ම වූයේ ය. චන්ද්‍රිකාගෙන් කැපී, සමසමාජ පක්ෂයෙන්වත් ඡන්දයකට තරග කිරීමේ අවස්ථාවක් නො ලද ඔහුට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලෙන්නට අත දුන්නේ ඔහුගේ පැරණි මිතුරකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. වැඩක් ඇතුවා හෝ නැතුවා හෝ අද ඔහු කෙසේ හෝ ඇමති තනතුරක් හොබවයි.


ඇමතිවරයකු වීම සඳහා වාසුදේව සහෝදරයාට සිය මුල් ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් අතහැර දමන්නට සිදු විය. ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ වාම ස්ථාවරය හා සුළු ජන අයිතිවාසිකම් පිළිබඳ ස්ථාවරය ද, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා දූෂණ පිළිබඳ ස්ථාවරය ද එසේ අතහැර දමන්නට සිදු වූ ඒවා අතරින් කීපයකි. බලාගෙන ගිය විට අතහැර නො දැමූ ප්‍රතිපත්තියක් තිබේ ද කියා සැක සිතේ.


මේ අර්බුදකාරී සමයේ ඇමතිකම රැක ගන්නට නම් මේ වියපත් වාමාංශිකයාට තව බොහෝ දේ අතහැර දමන්නට සිදු වනු ඇත.


තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්‌ථාපනය කිරීම හා නිල තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා එජාප මන්ත්‍රී කරු ජයසූරිය විසින් ජුනි 20දා ඉදිරිපත් කරන ලද යෝජනාවට වාසු විරුද්ධයි කියා ඡන්දය දුන් විට විපක්ෂ මන්ත්‍රීන් 'කෝ ප්‍රතිපත්ති?' කියා කෑගැසූ හ.


වාසුදේවගේ ප්‍රතිපත්ති තීරණය වන සරළ සමීකරණය නිර්මානය වන්නේ පාර්ලිමේන්තුවේ රැ‍ඳෙන්නට ඔහුට ලැබෙන අවස්ථාව මතයි.


වාසු සහෝදරයා දන්නා දේශපාලනය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම, පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීම, විපක්ෂයේ සිටින කාලයේ නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ඔසවාගෙන යන්නට සිදු වන අන්දමේ කලහයක් ඇති කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජනමාධ්‍ය හමුවේ හා වෙනත් රැස්වීම් ආදියේ පෙනී සිටීම, පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර පීඩිතයකුට උදව් වීම ආදියයි.


එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි වීම ඔහුට අනුව මාළුවාට වතුර අහිමි වීම වැනි ය. මෙම උපමාවේ නිර්මාතෘවරයා මේ කතා ඇසුවා නම් බඩ කපාගෙන මැරෙනු ඇත.


ප්‍රතිපත්ති කෙතරම් පාවා දුන්නත් වාසු සහෝදරයා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල නායකයන් තරම් ම බලු වී නැති බව ද, ඔහුට තවමත් යම් නායකත්ව පෞරුෂයක් ඉතිරි වී ඇති බව ද අපේ අදහසයි.


ඔහුට පාර්ලිමේන්තු යන්නට ඡන්ද සොයා දෙන්නට ශක්තියක් වමට නැත. පසුගිය පළාත් සභා මැතිවරණයේදී වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා බස්නාහිර පළාත් සභාවට තේරී පත් වන්නට දැරූ උත්සාහයට අප ද උදව් කළ මුත්, එය ද අසාර්ථක විය. සිය ජීවිතය පරදුවට තබා දෙමළ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය ද කොළඹ දෙමළ ජනයා ඔහු වෙනුවට තෝරා ගත්තේ නොම්මර එකේ අවස්ථාවාදියෙකි.


2004දී පොල්පිති පවා පාර්ලිමේන්තු යැවූ ජවිපෙ වාසු වැනි මිනිසකු තමන් වෙත දිනා ගන්නට සමත් වී නම් ඇත්තෙන්ම ඔවුන්ට එයින් යමක් ලබා ගන්නට තිබිණි. එහෙත්, ජවිපෙ වාසු වැනි පෞරුෂයන්ට බය ය.


වාසු සහෝදරයා මොන තරම් ප්‍රතිපත්ති පාවා දුන්නත්, ඔහු විමල්, නන්දන, පියසිරි වැනි අය තරම් නීච තත්වයට පත් වන්නේ නැති බව අපේ විශ්වාසයයි.


වාසුට ජනතාව අවශ්‍ය ය.


අප දන්නා තරමින් වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට උද්ඝෝෂණ කරන්නට මැත කාලයේදී වැඩි ම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් ලැබුණේ 2001 - 2003 සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී ය. රනිල් විසින් ගෙන එන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් වූ නව ලිබරල් වැඩසටහන පරාජය කිරීම සඳහා වම හා සිවිල් සමාජය දැවැන්ත ජන බලමුළු ගැන්වීමක් කළේ ය. එහි මූලිකත්වය ගත් මානව හිමිකම් හා ජාතික සම්පත් සුරැකීමේ සන්ධානය සමග එක් වූ වාසු සහෝදරයා එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණවල ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු විය. මහින්ද රාජපක්ෂ සමග ඩීල් එක දමා ගැනීම සඳහා ඇතැම් විට ඔහු මේ බලය පාවිච්චි කරන්නට ඇත. එදා පොදු උද්ඝෝසණවල නායකයන් ලෙස පෙනී සිටි බොහෝ අය එවැනි ඩීල් දමා ගත් හ. ලාභ ම ඩීල් එකක් දමා ගත් ජාතික සම්පත් සුරැකීමේ සන්ධානයේ නායක මහමාන්කඩවල පියරතන හිමි සංස්ථා අධ්‍යක්ෂකමකින් තෘප්තිමත් විය. බලාගෙන ගියාම උන්නාන්සේ අනෙක් දේශපාලක හාමුදුරුවරුන්ට වඩා සෑහෙන්න අල්පේච්ඡ ය. ඇසුරේ හොඳකම නිසා වන්නට ඇත. 


එහෙත්, ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නම් බෝඩ් ලෑලි පක්ෂයක නායකයා වූ වාසු සහෝදරයාට මෙම උද්ඝෝෂණවලදී සිය බැනරය ඔසවා ගෙන යාමට තරම් හෝ සෙනඟක් ගෙන ඒමට බැරි විය. වෙනත් අය විශාල වෙහෙසක් දරා සංවිධානය කරන උද්ඝෝෂණ වාර්තා කරන්නට පැමිණෙන මාධ්‍ය උද්ඝෝෂණයේ වාසු සහෝදරයා සිටිනු දුටු විට වහා පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනියි. වාසුදේව සහෝදරයා පොරි හැලෙන්නට දෙන්නේ හරියට ඒ සෙනග ගෙන්නුවේ තමන් වගේ ය.


මෙම ක්‍රියාව නිසා කලක් අපි ඔහු සහ එවැනි ම ක්‍රියාවක නියැලුණ ඔහුගේ පැරණි නායකයා වූ බාහු සහෝදරයා හැඳින්වූයේ කෝකිලයන් කියා ය. මන්ද, ‍කෝකිලයා හෙවත් කොහා කරන්නේ අනුන්ගේ කූඩුවල බිත්තර දැමීම නිසා ය.


වම කියා අවසානයේදී ඉතිරි වුණේ ඔය වැනි ජෝක් කෑලි ටිකක් පමණි. වාසු සහෝදරයාගේ ඉරණම ගැන වම පමණක් නො ව, සමස්ත ලාංකීය සමාජය ම කණගාටු විය යුතු ය. ඔහු කරන්නේ ඔහු දන්නා දේශපාලනයයි. එය කරන්නට වමේ මන්ත්‍රීවරයකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට යවන්නට ශක්තියක් වමට නැත. එය සංවිධානය කර ගන්නට අවශ්‍ය නායකත්ව පෞරුෂය ඔහුට නැත. ඔහු සංවිධායකයකු නො වේ.


පසුගිය පළාත් සභා ඡන්දයට තරග කළ වික්‍රමබාහු සහෝදරයා ඔහුගේ වාමාංශික හිතවතුන් විසින් බේරේ වැව අයිනේ ගුරු මැදුරේ සංවිධානය කරන ලද ඔහුගේ මැතිවරණ බ්ලොග් අඩවිය දියත් කිරීමේ උත්සවයකදී කළ සංවේදී කතාවක් ලේඛකයාට සිහිපත් වේ. ඔහු ඉල්ලා සිටියේ ජීවිත කාලය ම දේශපාලනය වෙනුවෙන් කැප කළ ඔහුට එකී කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කිසියම් පිළිගත් මහජන සභාවකට තේරී පත් වීම අවශ්‍ය නිසා එයට උදව් කරන ලෙසයි.


බාහුට එහෙම වනවා නම් වාසු ගැන කවර කතා ද?

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-22

ත්‍රිරෝද රථයට අබිමන් - මහින්ද චින්තන 48 පිටුව

(2011 ජුනි 22, W3Lanka) ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අතරින් සැලකිය යුතු කොටසක් ලුම්පන් නිර්ධන පංතිකයෝ ය.අප මෙහි කරන සඳහන් අදාල වන්නේ එකී පාදඩ පංතියට මිස, මහත්මා අන්දමින් එකී රැකියාවේ යෙදෙන අයට නො වේ.


ත්‍රිරෝද පැදවීමට වඩා කාලයක් ගාල්වල නිකරුණේ ගත කරන ඔවුහු රංඩු ගැසීම්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය, මැරවරකම්, කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීම, සොරකම් හා ඔත්තු බැලීම වැනි පාදඩ ක්‍රියාවල පැටලී සිටිති. ඔවුන්ගේ ස්වයං රැකියාව සැකසෙන්නේ මෙම අනිසි ආදායම් ද සමගිනි.


මගීන්ගෙන් හිතුමතේ මුදල් ගසා කෑම සිය වෘත්තීය ආචාර ධර්මය කරගෙන සිටින මෙම පිරිස පසුගිය සමයේ ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට රජය දැරූ ප්‍රයත්නයට මාරාන්තික ලෙස විරුද්ධ වූ හ. මාර්ග නීති උල්ලංඝනය හා මහාමාර්ගයේ මැරවරකම් සම්බන්ධයෙන් ද ත්‍රිරෝද රියදුරෝ ප්‍රසිද්ධ ය. 


ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ආණ්ඩුවට කඩේ යන මැරවරයෝ ය. ආණ්ඩුවටඋඅද්ඝෝෂණ, පෙළපාලි, මැරවරකම් ආදියට සෙනග අවශ්‍ය වූ විට පිරිස් එකතු කර ගන්නා ප්‍රධාන තැන් වන්නේ ත්‍රිරෝද රථ ගාල් ය. ඒවායේ ඇති ආණ්ඩු ගැති මැරවර පාලනය හමුවේ ඒවාට සම්බන්ධ නො වී ත්‍රිරෝද රථ රියදුරන්ට සිය ජීවිකාව කර ගන්නට ද බැරි ය.


ඊයේ හයිඩ් පිටියේ ත්‍රිරෝද රියදුරන් උද්ඝෝෂණය කළේ අලුතින් පටන් ගත් නැනෝ කැබ්ස් සමාගම නිසා තම ජීවනෝපාය අනතුරට ලක් වී ඇති බව කියමිනි. වාර්තා වන අන්දමට කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මෙම සමාගමේ ප්‍රධාන හිමිකරුවෙකි. 


වෙළඳපොළේ ටාටා නැනෝ කාරයක අවම මිළ රු. 925,000ක් වෙද්දී රු. 600,000 බැගින් මෙවැනි කාර් 200ක් ආනයනය කර ගන්නට සමාගමට බදු සහන ලැබී ඇති බව ද වාර්තා වේ. මෙම ධනපතීන් ත්‍රිරෝද රථයක මිළට කිට්ටු මුදලක් කාරයකට යොදවා ගුණාත්මක ටැක්සි සේවාවක් ආරම්භ කරන්නට යාම දැනට පවත්නා ලුම්පන් ත්‍රිරෝද රථ  ජාවාරමට තර්ජනයකි. 


ලුම්පන් පංතිකයන් නො දන්නා හා කිසි දිනෙක ඉගෙන නො ගන්නා පාඩම වන්නේ ධනපති පංතියට ඔවුන් මිනිස් කසල පමණක් බව ය.


ආණ්ඩුව ඔවුන්ගේ පැත්ත ගනියි ද, නැතිනම් කැබ් සමාගමේ පැත්ත ගනියි ද යන්න ඉදිරියේදී බලා ගත හැකි ය. 


ත්‍රිරෝද රථ දිවයින පුරා ව්‍යාප්ත වීම විසින් සිදු වූ හොඳ දේ ද තිබේ. මිනිසුන්ට ගමන් බිමන් යාමේ පහසුව සැලසුණාට අමතරව, සර්ප විෂෙන් මිනිසුන් මිය යාම අවම වීම වැනි කාරණාවලට ද ත්‍රිරෝද රථ විසින් විශාල දායකත්වයක් සපයන ලද බව පවසන්නේ ඔවුන් සපයන සැබෑ සේවාවනට නිසි ගරුත්වය දෙමිනි. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-21

මදුරු දඟර කොම්පැනිවල සාක්කුවට වැටී මිනිසුන් මරන ලංකාවේ සෞඛ්‍ය බලධාරියෝ

(2011 ජුනි 21, W3Lanka) මාරාන්තික ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් විනාශ කිරීම සඳහා සාර්ථක විසඳුමක්‌ ලෙස හඳුනාගෙන ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අදාළ අනුමැතිය ලබාදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රමාද කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.


පසුගිය කාලයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව භාවිතා කිරීම පිළිබඳ රටේ මහා ප්‍රචාරයක් කළේ ය. බී.ටී.අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ආනයනය කරන බව කියමින් කලක් නැටූ සෞඛ්‍ය බලධාරීහු ඉන් පසු එය මේ රටේ නිපදවන බව කියමින් ඩෙඟා නැටූ හ. ඉන් පසු බී.ටී.අයි. ගැන කතා අඩු විය. ඒ ඇයි?


බී.ටී.අයි. යනු Bacillus Thuringiensis Israelensis යන වදන් තුනේ මුලකුරුවලින් සැදුණු acronym එකක් හෙවත් සංකේත නාමයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ට එය Big Ticket Item එකක් හෙවත් අධික ලාභ ලැබිය හැකි සිල්ලර භාණ්ඩයක් නො වීම බී.ටී.අයි. ගැන කතා ගොළු වීමට හේතු වූ බව අපේ නිරීක්ෂණයයි.


කියුබාවෙන් බැක්ටීරියාව ගෙන්වීම දිගට ම කරගෙන යන්නට නො ලැබුණේ ඊට වඩා බෙහෙවින් අඩු නිෂ්පාදන පිරිවැයකින් ලංකාවේ නිපදවන්න‍ට හැකි වූ නිසා ය. රජයට අයත් කාර්මික තාක්ෂණ ආයතනයේ අවසරය මත බී.ටී.අයි. බැක්ටීරියාව නිපදවීම පිණිස ආරම්භ කළ බයෝ ලංකා සමාගමට වසරකට බී.ටී.අයි.බැක්ටීරියා ලීටර් 10,000ක් 15,000ක් පමණ වසරකට නිපදවන්නට පුළුවන් බව ඒ දිනවල වාර්තා විණි.


බයෝ ලංකා සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට බී.ටී.අයි. බැක්ටීරියාව මිනිසුන්ට, සුරතල් සතුන්ට හෝ වන සතුන්ට විෂ නැත. මධ්‍යම මට්ටමේ හෝ ඉහළ මට්ටමේ ප්‍රමාණයකින් බී.ටී.අයි. බැක්ටීරියාව පරිසරයට යෙදූ විට විනාඩි 15කින් මදුරු ගහණය 50%කින් අඩු වී ඉතිරිය ද පැයකින් විනාශ වී යන බව එහි සඳහන් වේ.


වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂ ද්‍රව්‍ය ලියාපදිංචි කිරීමේ ඒකකය මගින්ද සහතික කර ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදීගෙන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක නිලධාරීන් ඔස්‌සේ මහජනතාවට හඳුන්වා දෙන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අනුමැතිය ලබාදී තිබියදී පවා ඩෙංගු මර්දන ව්‍යාපාරය මෙලෙස එම බැක්‌ටීරියාව භාවිතය සඳහා අනුමැතිය නොදෙන්නේ මදුරු දඟර නිෂ්පාදකයන්ගේ බලපෑම් නිසා බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව දිවයින පුවත්පත කියයි.


සෞඛ්‍ය අමාත්‍යංශයට වඩා ප්‍රබල ඩෙංගු මර්දන ව්‍යාපාරය නම් ආයතනයක් රටේ ඇති ය කීම අමූලික බොරුවකි. මේ වනාහි සෞඛ්‍ය ඇමතිවරයා බේරා වෙන කාගේ හෝ ඇඟ පිට වරද පැටවීමේ ප්‍රයත්නයකි. ඇත්ත කතාව නම්, මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයත්, සමස්ත ආණ්ඩුවත් මදුරු දඟර නිෂ්පාදකයන්ගේ සාක්කුවට වැටීමයි.


මදුරුවන් පලවා හැරීමට බස්නාහිර පළාතේ ජනතාව විශාල ප‍්‍රමාණයේ කන්ටේනර් පෙට්ටි හතකට පිරවිය හැකි මදුරු දඟර ප‍්‍රමාණයක් දිනකට පුළුස්සන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යොදවා කරන ලද සමික්ෂණයක ප්‍රතිඵල ඇසුරින් පසුගියදා හෙළි කළේ ය.මදුරු දඟර අලෙවි කරන ප‍්‍රධාන පෙළේ වෙළඳ සැල් 25000ක් පමණ බස්නාහිර පළාතේ ඇති බවද එම පරීක්‍ෂණයෙන් හෙළි වී තිබේ.


ලංකාවේ කිසිදු විද්‍යාඥයෙකු හෝ සෞඛ්‍ය බලධාරියෙකු මදුරු දඟරවල ඇති අහිතකර ප්‍රතිඵල පිළිබඳ පර්යේෂණයක යෙදී නොමැති බව වාර්තා වෙයි.


අපට දැනගන්නට ලැබී ඇති අන්දමට මදුරු දඟර අලෙවි කරන සමාගම් එවැනි පර්යේෂණ වැළැක්වීම සඳහා ඇති තරම් මුදල් විසි කරයි. එබැවින් එවැනි පර්යේෂණයක් සඳහා යමකු ඉදිරිපත් වනවාත් සමගම මුදල් වියදම් කර එය වළක්වන අතර, මදුරු දඟර දැන්වීම්වලින් ආදායම් ඉලක්ක කරන ජනමාධ්‍ය සමාගම් ද ඒවායේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ පළ කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරති.


Environmental Health Perspectives විද්‍යා සගරාවේ මීට වසර ගණනාවකට ඉහත 2003දී පළ කරන ලද අධයයන වාර්තාවක සඳහන් පරිදි ආසියානු වෙළඳපළවලින් මිළ දී ගන්නා ලද මදුරු දඟරවල "S-2" හෙවත් octachlorodipropyl ether නම් එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද රසායනික අඩංගු වී තිබේ. මේවා විසින් bischloromethyl ether හෙවත් BCME නම් පෙණහළු පිළිකාකාරකය නිකුත් කරන බවද, රැය පුරා මදුරු දඟර දල්වා නිදන්නන් වැඩිපුර මෙම පිළිකාකාරකවලට නිරාවරණය වන බව ද එම වාර්තාව පවසයි.


වෛද්‍යවරු මදුරුවන් පළවා හැරීම සඳහා මදුරු දඟර නිර්දේශ නොකරන අතර නිර්දේශ කරන්නේ මදුරු දැලයි. එහෙත් මදුරු දැල් තබා නිදා ගැනීමට යහනක්වත් නැති අඩු වියදම් නිවාස, අවතැන් කඳවුරු ආදියෙහි මදුරුවන් පළවා හැරීමට ඇති එකම මාධ්‍යය මදුරු දඟරයයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-20

යාපනයේ සිදු වෙන්නට යන ‍ඓතිහාසික සිදුවීම

(2011 ජුනි 20, W3Lanka) යාපනයේ ඓතිහාසික සිදුවීමක් සිදු වන්නට යයි.


ඒ අනුව අලවෙඩ්ඩි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පවත්වන ලද මහජන රැස්වීමකට පහර දුන් හමුදා ඇඳුම් ඇඳ සිටි බව කියන හෝ හමුදාවේ විය හැකි හෝ පිරිසට කෙළ වෙන්නට යයි.


ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ඊට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමටද වරදකරුවනට උපරිම දඬුවම් ලබාදීමටද පියවර ගන්නැ’යි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.


මෙම ප්‍රහාරය අතිශය සාර්ථක එකකි. මන්ද, එමගින් බලාපොරොත්තු වෙන ලද භීෂණය ඇති වූ බැවිනි. කොටින් ම කියනවා නම්, මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ එහි සිට පහර දෙන්නන් හඳුනා ගත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් පවා ඒ අය කවුරුදැයි කියා කියන්නට කට අරින්නට බිය වී ඇත.


ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරන පරිදි මෙම පහරදීමේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන සිංහල පොලිස් නිලධාරීන්ට ද ඔවුන් තමන් කවුරුන්දියි හඳුන්වා දීමෙන් පසු පහර දී තිබේ. මාවෛ සේනාධිරාජා හා ඊ. සරවනපවන් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් දෙදෙනාගේ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කෙරිණි. මෙම පුවත්පත වාර්තා කරන පරිදි පහර දීම සිදු කළ 50කින් පමණ යුත් හමුදා භට පිරිස රයිෆල්වලට අමතරව පොලු, මුගුරුවලින් ද සන්නද්ධව සිට තිබේ.


මෙම සිද්ධිය වාර්තා වන්නේ අතුරු හමුදාවක් ද, පාලක සන්ධානයේ දේශපාලන පක්ෂයක් ද ලෙස කටයුතු කරන බියකරු ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP)නායක ඩග්ලස් දේවානන්දා ළඟ එන බව කියන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමත් සමගයි.


රජයේ උපාය මාර්ගය වී තිබෙන්නේ උතුරේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික තේරීම බවට EPDPය පත් කිරීමයි. එ‍හිදී දකුණේ ප්‍රජාතාන්ත්‍රික තේරීම බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කර ගත් ආකාරය ම අනුගමනය කරමින් සිටින අතර, දෙමළ ජාතිකවාදී වූ උතුරේ පොළවේ අවාසිය මකා ගන්නට උත්සාහ කරන්නේ මහජන මුදල් දේවානන්දා හරහා විසි කිරීමෙන් හා භීෂණය වැපිරීමෙනි.


උතුරේ ජනතාව ද දකුණේ මිනිසුන් මෙන් පටු වාසි පිණිස, බලය හා ධනය ඇති හොඳ ම හොරුන්ට ඡන්දය දෙන තත්වයට පත් කර ගැනීම ආණ්ඩුව උතුරට දෙන්නට යන සැබෑ දේශපාලන විසඳුම බව පෙනේ. උතුරේ ජනයා දකුණේ ජනයාට වඩා විශාල වෙනසක් නැති නිසා මෙම උපාය මාර්ගය සාර්ථක කර ගැනීම දුෂ්කර නො විය හැකි ය.


එහෙත්, ඒ සඳහා ඇති බාධකය තමිල්නාඩුවයි. තමන් දන්නා අමු ම ආකාරයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේදී දකුණේ දේශපාලන පක්ෂවලට එයට එරෙහිව ජාත්‍යන්තරය ‍බලමුළු ගන්වා ගැනීමේ ශක්තියක් නො තිබුණ මුත් උතුරේ තත්වය වෙනස් ය. ආණ්ඩුව මේ ‍සෙල්ලම් කරන්නේ ඇවිලෙන ගින්දරක් එක්ක ය.


The Nation පුවත්පත වාර්තා කරන ආකාරයට ‍අලවෙඩ්ඩි සිද්ධිය සම්බන්ධයෙන් යාපනය හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් අතර පැවති සාකච්ඡාවකදී හමුදාව සිද්ධිය පිළිබඳව සමාව අයැද ඇති අතර, වැරදිකරුවන්ට දඬුවම් කරන බව පවසා ඇත.


පුවත්පත් වාර්තා කරන අන්දමට ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදා පොලිසියේ විශේෂ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොලිසියේ කණ්ඩායමක් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.


ඇත්තෙන් ම, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත්, එය නම් ඓතිහාසික සිදුවීමක් වනු ඇත. මන්ද, මැත ඉතිහාසයේ යාපනයේ සිදු වූ මෙවැනි මැරවරකම් අති විශාල ගණනක් සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත් අඩංගුවට පත් වී නො තිබීමයි.


උතුර සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය ඇත්තෙන් ම උදව් කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී බලවේගයන්ට ය. සිංහලයන් කිසි දිනෙක දෙමළුන්ට දේශපාලන විසඳුමක් නො දෙන බවට මෙම බලවේග කරන තර්කය ඔප්පු කිරීම ආණ්ඩුව විසින් ම කරමින් තිබේ.


ලංකාවේ සිංහල නායකයන් අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කළ යුත්තේ එය ලංකාවේ කොටසක් නිසා මිස ජයලලිතාට බියේ නො වන බවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-06-19

බුදු අම්මෝ ජයලලිතා

අරුත්බර කාටුනයක්. උපුටා ගත්තේ 'ද නේෂන්' පුවත්පතෙන්. කාටුන් ශිල්පියා වසන්ත සිරිවර්ධන.


මේ ලිපියත් කියවන්න: ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුවේ හරා-කිරි දේශපාලනය

(2011 ජුනි 19, W3Lanka) යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ඉදිරියේ ලංකාවේ ආණ්ඩුවේ නායකයන් මුහුණ දී සිටින තත්වය ඔවුන්ට අතිශය අයහපත් ය.


ඔවුන්ට දුෂ්කර වූ මේ මොහොතේ කතා කරන වචන ගැන දැඩි ලෙස සංවේදී වීම ඔවුන් තමන් වෙනුවෙන් ම වගකීම් සහගත වීමකි. 


ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අතරින් එකක් වන්නේ අත් අඩංගුවට ගත් දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරළිකාර සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර යුද නීති අනුව පමණක් නො ව ලංකාවේ සම්මත නීති අනුව ද, අත් අඩංගුවට ගත් සැකකරුවන් හිංසනයට ලක් කිරීම හා නඩු විභාගයකින් තොරව මරා දැමීම බරපතල වරදකි. එසේ ම, ලංකාවේ නීති අනුව ද වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔහු වරදකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් සැකකරුවෙකු පමණි. සැකකරුවකු ත්‍රස්තවාදියකු යයි හංවඩු ගැසූ පමණින් එම සැකකරුට අදාළ වන ඉහත නීති වෙනස් වන්නේ නැත.


මේ නීති හැදුවේ අප නො ව එදා මෙදාතුර රට පාලනය කළ ඔවුන්ගේ වර්ගයා ම විසිනි. නිදසුනක් ලෙස, නිදහසින් පසු ගත වූ පසුගිය 60 වසර තුළ ඩී.එම්. රාජපක්ෂ, ඩි.ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ වැනි රාජපක්ෂ පවුලේ අය පාර්ලිමේන්තුව නියෝජනය නො කළ කාලයක් තිබිණි නම්, ඒ කෙටි කාලයකි. 


චැනල් 4 මගින් විකාශය කරන ලද Kiling Fields of Sri Lanka චිත්‍රපටයෙන් ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් තිබියදී ආණ්ඩුවේ නායකයන් එම වීඩියෝවේ වාර්තා කරන සිදුවීම්වල වගකීම් අනියම්න් භාර ගන්නා ප්‍රකාශ කිරීම සිදු වන්නේ කුමන සංදර්භයක් තුළ ද යන්න සාකච්ඡාවට භාජනය විය යුතු ය.


මෙම වීඩියෝවේ සිටින හිංසනයට ලක් කර මරා දමනු ලබන පුද්ගලයකු පිළිබඳ විස්තර දන්නා බව හා ඔහු විශාල අපරාධයක් කළ අයෙකු බව පවසමින් එම ඝාතනය සාධාරණීකරණයට උත්සාහ කිරීම අපට නම් පෙනෙන්නේ යහපත් මානසික තත්වයකින් යුතුව කළ දෙයක් නො වන බවයි.


විස්තර මෙතැනින් කියවන්න.


දහ අට මාසයකට පෙර 2009 දෙසැම්බර් 19දා අප විසින් පළ කරන ලද මෙම සටහන ද කියවන්න.

සිංහලයන්ගේ හරා-කිරි දේශපාලනය




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න