එහෙත්, ප්රජාතන්ත්රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ.
පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න.
සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය.
ලබන 06 දින හා 13 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයද අත්හිටුවන ලෙස දිසා අධිකරණය නියෝග කෙළේය. බැංකු සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව පෙන්වාදුන් දිසා අධිකරණය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සේවකයින්ගේ අයිතිවාසිකමක් බවද සඳහන් කෙළේය.
සෙලාන් බැංකුව විසින් ලංකා බැංකු සේවක සංගමයට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු රංජිත් එන් වතුපොළේ මහතා මෙම වාරණ නියෝග නිකුත් කළේය.
වැටුප් ප්රතිශෝධන සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් විරෝධතා ලාංඡන පැළැඳ සේවයේ නිරතවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අධිකරණය අවසර ලබාදුන්නේය.
විත්තිකාර ලංකා බැංකු සේවක සංගමයේ සෙලාන් බැංකු සේවකයින්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ නලින් අමරජීව මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක කරන දිනය හෝ ඒ පිළිබඳ නිශ්චිත අදහසක් සේවා යෝජකයින් විසින් ඉදිරිපත් කර නොමැති බව පැවසීය.
සෙලාන් බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳව බැංකු පාලනාධිකාරිය විසින් අගෝස්තු 29දින තීරණයක් ගන්නා බව නීතිඥවරයා අධිකරණයට පොරොන්දු විය.
2008 වසරේදී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් මුල්‍ය ආයතන කඩා වැටුනද සෙලාන් බැංකුවට පත් කළ නියාමක අධිකාරියේ මැදිහත්වීමෙන් බැංකුව ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවද රොමේෂ් ද සිල්වා මහතා පැවසීය. මෙවන් පසුබිමක් තුළ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවූ බවත්, බැංකු සේවක වැටුප් ප්රතිශෝධනයක් අවශ්‍ය වන බවට පිළිගන්නා බවත් හෙතෙම පැවසීය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ සෙලාන් බැංකුව අධිකරණයට ඉදිරිපත් කළ වාචික පොරොන්දුව සැලකිල්ලට ගත් දිසා අධිකරණය වැඩ වර්ජනය කිරීම වළක්වමින් දින 14 ක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් විත්තිකාර ලංකා බැංකු සේවක සංගමයට නිකුත් කළේය.
මෙහිදී මතු වන ගැටලු අතරින් කීපයක් මෙසේ ය:
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට, වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව අධිකරණය තීරණය කර තිබේ. මෙම ක්‍රියාමාර්ග කීපය වනාහි විරෝධතා ලාංඡන පැළැඳ සේවයේ නිරත වීම, කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හා එසේ කර ඉල්ලීම් නො ලැබුණොත් ජුලි 06 හා 13 දිනවල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන සංකේත වර්ජනයි. එසේ ක්‍රියාමාර්ග කීපයක් ගැනීම වැරදි බව අධිකරණය නිගමනය කර තිබේ.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සෙලාන් බැංකු සේවකයන් පෙළඹෙන්නේ වැටුප් ප්රතිශෝධන සාමූහික ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම නිසා ය. දෙපාර්ශ්වයක් අතර ගිවිසුමක් කිසියම් පාර්ශ්වයක් විසින් ඒක පාර්ශ්විකව කඩ කළ විට අනෙක් පාර්ශ්වය අගතියට පත් වේ. මෙතැනදී අගතියට පත් වී ඇත්තේ සෙලාන් බැංකු සේවකයෝ ය. අධිකරණ නියෝගය ඔවුන්ට 'ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා' යන සිංහල ප්රස්ථා පිරුළේ අදහස සිහිපත් කරනවා විය හැකි ය.
අධිකරණය වාරණ නියෝගය නිකුත් කරන්නේ සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක කරන දිනය හෝ ඒ පිළිබඳ නිශ්චිත අදහසක් සේවා යෝජකයින් විසින් ඉදිරිපත් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ නීතිඥවරයා විසින් පෙන්වා දෙනු ලබද්දී ය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳව බැංකු පාලනාධිකාරිය විසින් අගෝස්තු 29දින තීරණයක් ගන්නා බව සමාගමේ නීතිඥ පවසයි. සමාගම ගන්නා තීරණය වැටුප් ප්‍රතිශෝධනය ක්‍රියාත්මක නො කිරීම හෝ එය බොහෝ ඈත දිනකට කල් දැමීම වුව විය හැකි ය.
වැටුප් ප්‍රතිශෝධනය පිළිබඳ සෙලාන් බැංකුව අධිකරණයට ඉදිරිපත් කළ වාචික පොරොන්දුව අධිකරණය විසින් පිළි ගෙන ඇත. එහෙත්, සේවකයන්ගේ ප්රශ්නය වන්නේ හාම්පුතුන් ඔවුන් සමග එළඹි ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය කිරීමයි. ලිඛිත ගිවිසුමක් උල්ලංඝනය කළ පිරිසකගේ වාචික ප්‍රකාශයක් පිළි ගන්නට ඔවුන්ට සිදු වී තිබේ.
මෙහි නිල් පාට අකුරෙන් දක්වා ඇති කොටස අනුව, බැංකුවේ පාලකයන්ගේ අදහස වන්නේ ව්‍යාපාරය කඩා වැටෙන්නට නො දීම නිසා පාලනාධිකාරයට සේවකයන් ණය ගැති බව ද? එසේ නම්, එය අපූරු තත්වයකි. තමන්ට රැකියාව දුන්නාට, රැකියාවෙන් දොට්ට නො දැමුවාට කෘතඥ වීම ප්රමුඛ වී අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්වීමක් සිදු වේ නම් හා එය අධිකරණය විසින් පවා පිළි ගැනෙන්නේ නම්, සේවකයන්ගේ කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මේ අනුව සාධාරණ නො වනු ඇත.
නිදසුනක් ලෙස මෙසේ සිතන්න. දැනට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින සරසවි ආචාර්යවරුන්ට රජය මෙසේ කියනු ඇත. "අපි මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න නො දී තියාගෙන ඉන්න නිසා අපට කෘතඥ වෙයල්ලා. ස්ට්‍රයික් නවත්තපල්ලා. පුළුවන් දවසක අපි උඹලාට පඩි වැඩ කර දෙන්නම්. වෙනද වගේ වැඩට පලයල්ලා. "
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න














