2011-07-31

නලින් ද සිල්වා, චතුස්කෝටිකය හා සමාජවාදය / Nalin de Silva, Chathuskotika and Socialism

(2011 ජුලි 31 W3Lankaතමන් විසින් ම නිර්මානය කර ගන්නා ලද නීති රීති පද්ධතියක් සහිත චතුස්කෝටික යයි කියන තර්කන අවකාශයක පාළු ගෙයි වළං බිඳීමේ ශූරයකු වී සිටි අනාථ අසරණ නලින් ද සිල්වා ඇණ ගත්තේ ආසනික් ප්‍රශ්නයෙන් ය.


ඊනි‍යා චතුස්කෝටික චින්තනයෙන් ගොඩනඟා ගන්නා ලද බව කියන බටහිර නො වන විද්‍යාවක මහිමයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ලෙස ගවේශනය කර ගත් ආසනික් ප්‍රශ්නය නලින් ද සිල්වා විසින් ද්විකොටික චින්තකයන්‍ ලෙස හුවා දක්වන විද්‍යාඥයන් විසින් සාර්ථක ලෙස අභියෝගයට ලක් කරන ලදී. 


නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට, දිවයින පත්තරයට, ඔහු අදහන කූ ක්ලක්ස් කෑලෑන් කල්ලිවලට, ජාතික හෙළ කරුමයට හා ආණ්ඩුවට බියේ බත් කන්නට  හා දත් මදින්නට පමණක් කට අරිමින් සිටි මේ සරසවි ඇදුරන් නැගී සිටි බලාපොරොත්තු නො වූ විරූ නැගී සිටීම හමුවේ වියරු වැටුණ නලින් ද සිල්වා හා ඔහුගේ අනුගාමිකයෝ ආසනික් සොයා ගන්නට තමන්ට උදව් කළ බව කියන මතු බුදු වන නාථ දෙවියන් අතහැර සීනිගම දෙවියන් වෙත ගොස් තමන්ට අභියෝග කළ පිරිස විනාශ කරන්නැයි පලි ගැසුවේ සිය ඊනියා සිංහල බුද්ධාගමේ නිරුවත ප්‍රදර්ශනය කරමිනි


කැලනිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වන නලින් ද සිල්වා දැන් වියරුවෙන් මෙන් ඔහුගේ මතයට විරුද්ධව තර්ක කළ, කරුණු ගෙනහැර පෑ ආචාර්යවරුන්ට පරිභව කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන් ම ආචාර්යවරියන් ඔහුගේ වාචික හිංසනයන්ට ඉලක්ක වී ඇති බව ද, මේ පිළිබඳව එකී ආචාර්යවරුන් උප කුලපති සරත් අමුණුගමට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ. 


දැන් චතුස්කෝටික චින්තනය නිකම් ම ද්විකෝටික හෝ ඒක කෝටික වී තිබේ. ඒ අනුව නලින් ද සිල්වා හරි ය; අනෙක් අය වැරදි ය. නලින් ද සිල්වාගේ මතයට පක්ෂ වන්නෝ දේශප්‍රේමියෝ ය; විරුද්ධ වන්නෝ බහුජාතික සමාගම් ඒජන්තයෝ ය. පක්ෂ වන්නෝ දිගු කල් ජීවත් විය යුතු ය; විරුද්ධ වන්නෝ අතු ගෑවී යා යුතු ය. 


තව දුරටත් යන්නේ නම්, රසායනික පොහොර හා පලිබෝධ නාශක එක පාරට ම, මුළුමනින් ම අත්හළ යුතු ය. පවතින දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය කඩා වැටුණහොත් ආහාර ආනයනය කළ යුතු ය. ඒවායේ ආසනික් තිබෙනවා නම් කළ යුත්තේ කුමක් ද යන්න අපි නො දනිමු. රටින් ගෙන්වූ ආහාර මිළ දී ගන්නට මුදල් නැති, වවන්නට ඉඩම් ද නැති දුප්පතුන් මිය යා යුතු ය. 


ධනේශ්වර වානිජ කෘෂිකර්මාන්තයට අප පක්ෂ බවක් මෙයින් අදහස් වන්නේ නැත. සමාජවාදී කඳවුරේ රටවල් විසින් ද පසුගිය සමයේ සමූහ ගොවිපළ තුළ ක්‍රියාත්මක කළේ මෙම ක්‍රමය ම ය. සුළු පරිමාණයෙන් අත්හදා බලන ලද, විකල්ප කෘෂිකර්මයක් ලෝකයේ තිබේ. එය අතීතකාමී එකක් ද නො වේ. මන්ද, වර්තමාන අභියෝග අතහැර අතීතයට පළා යාමට ප්‍රාර්ථනා කිරීම ද ප්‍රායෝගික නො වන, ඒ නිසා ම ප්‍රතිගාමී ද වන ක්‍රියාවක් බැවිනි. 


ලෝකයේ කෘෂිකාර්මික පරිවර්තනයක් කිරීම යනු සෙසු සමාජ, දේශපාලන පරිවර්තනයන්ගෙන් වෙන් කර ගත හැකි ක්‍රියාවලියක් නො වේ. අප නව සමාජවාදය ලෙස හඳුනා ගන්නා මෙම සමාජ, දේශපාලන අරගලය ප්‍රගතිශීලීන්ගේ එකකි. නලින් ද සිල්වා වැනි වාර්ගික හා ආගමික ස්වෝත්තමවාදියෝ, යුදවාදියෝ ආදීහු එදිනෙදා පැවැත්ම හා ජනප්‍රියත්වය වෙනුවෙන් ලෙලවන බොරු සටන් පාඨ අප සීරියස් නො ගත යුත්තේ එහෙයිනි. 


බටහිර විද්‍යාව ප්‍රශ්න කර ඇත්තේ නලින් ද සිල්වා පමණක් නො වේ. නව සමාජවාදීහු නලින් ද සිල්වාට වඩා ගැඹුරින් බටහිර දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කර ඇත. මාරියා මීස් එවැනි අයට එක් උදාහරණයකි. 


සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සමාජයට හානිකර භින්නෝන්මාද රෝගීන්ගේ මතවාද, ක්‍රමවේද ප්‍රවර්ධනය කරන අයට අපි එක් අවවාදයක් කරන්නට කැමැත්තෙමු. ඔබ දායක වෙමින් සිටින්නේ නෝර්වේ මහා ඝාතනය කළ මිනිසා වැනි අය නිර්මානය කරන්නට ය. 


ජාති, ආගම්, කුල, ලිංගික ආදී සකලවිධ ස්වෝත්තමවාදයන්ට ‍එරෙහි වීම සමාජවාදය සඳහා අරගලයේ මූලික කොන්දේසියකි. අපි නලින් ද සිල්වා ගෙඩිය පිටින් ම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා ය.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-29

දන්සල් දොරෙහි නැත යදියෝ - සල්පිල්වල ය පුරවැසියෝ, මේ ජනමාධ්‍ය යුගයයි / How development takes place in Sri Lanka's media society

(2011 ජුලි 29, W3Lankaජනමාධ්‍යවලින් කොතරම් දේ කළ හැකි ද?


මේ බලන්න. රට පුරා ගෙවතුවල ආහාර භෝග වවන හැටි! උපුටා ගැනීම දිනමිණෙනි.


'දිවි නැඟුම’ ජාතික වැඩසටහනට සමගාමීව එළඹෙන මහ කන්නය සඳහා රට පුරා ගෙවතු ලක්ෂ 15 ක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ග්‍රාම සේවා වසම් 13110 ක ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ ගෙවතු දහතුන්ලක්ෂ දොළොස් දහසක් (1312000) මේ වන විට ආරම්භ කර තිබෙන අතර දිවි නැඟුම ජාතික වැඩසටහනේ මූලික වටයේදී කෘෂිකාර්මික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊට අමතරව පශු සම්පත්, ධීවර හා කෘෂිකර්මාන්ත අංශ කෙරෙහි ප්‍රමුඛත්වය දී තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මේ වැඩසටහන මගින් අපේක්ෂා කරන්නේ පරිභෝජනය ඉහළ නැංවීම මගින් පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම බවත් ඒ හේතුවෙන් නිවෙසේ පුද්ගලයන්ට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පරිදි පශු සම්පත් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පරිභෝජන අවශ්‍යතා ඉක්මවා යාමෙන් වැඩසටහනේ පරමාර්ථය ඉටු නොවන බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ස්වයංරැකියාවක් ලෙස මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකි බවද සඳහන් කළේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ දිවි නැඟුම වැඩසටහනේ දෙවන තෙවන හා සිවුවන වටයන්හි දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ කටයුතු රැසක් මේ වන විටත් අවසන් කර ඇති බවයි.


මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව අප ජීවත් වන ලංකාව නො විය යුතු ය. ඔබ ජීවත් වන රටේ දිවි නැගුමෙන් සංවර්ධනය කළ ගෙවතු තිබේ ද? මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමසේවා වසමකට ඩිජිටල් බැනර් දෙක බැගින් ගැසීමට ගොවි සංවිධානවලට නියෝග කර තිබුණු අතර, අපේ පැත්‍තේ ගොවි සංවිධාන නියෝජිතයා එක ම බැනරය දින දෙකේ දෙපොළක ප්‍රදර්ශනය කර බැනර් දෙකක මුදල් ගත්තේ ය.  ඔහු අඩු තරමේ පරිසර හානිය හෝ අවම කර, ඩිජිටල් මුද්‍රණ යන්ත්‍ර, ෆ්ලෙක්සෝ ප්ලාස්ටික් රෙදි, තීන්ත ආදිය වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් හෝ ඉතිරි කළේ ය. 


මහා විශාල ජාතික උත්සවයක් පවත්වා පොහොර ස්වල්පයක් හා ඇට කීපයක් ද කීපදෙනෙකු අතර බෙදා දෙන ලදී. ඒ ඇට වැඩි හරියක් පැළ නො වූ බව ද වාර්තා වේ. 


මේ ජාතික වැඩසටහන යටතේ කුකුළන් ඇති කිරීම කරන හැටි බලන්න.


මේ යටතේ එක් ගෘහයකට මසක් වයසැති කුකුළු පැටවුන් 10 බැගින් ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බවත් මේ වසර තුළ කුකුළු පැටවුන් ලක්ෂ දෙකක් ප්‍රතිලාභී පවුල් සඳහා ලබා දීමට පශු සම්පත් අමාත්‍යාංශය එකඟ වී තිබෙන බවත් කී බැසිල් රාජපක්ෂ මහතා කුකුළු පැටවුන් නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් 27 ක් මේ වන විටත් තෝරාගෙන තිබෙන බවද කීවේය.
කොහොමද කුකුළන් ඇති කිරීමේ 'ජාතික' ව්‍යාපාරය?


ජනමාධ්‍ය හරහා මේ රටේ විශාල සංවර්ධනයක් ඇති වෙමින් තිබේ. ඇමති විමල් වීරවංශ මාර ගෙවල් හැදිල්ලක් හදයි. .ඒ හදන හැදිල්ලේ හැටියට තව වැඩි කලක් යන්නට පෙර ගෙවල්වල ජීවත් වන්න මිනිසුන් පිටරටින් ගෙන්වන්නට සිදු වනු ඇත. 


ඇමති රාජිත සේනාරත්න ජනමාධ්‍යවලින් මාළු බාන බෑමේ හැටියට ලංකාවේ මාළු කිලෝ එක රුපියල් දහයට, පහළොවට බසින් ඇත. 


අධ්‍යාපන ඇමති ජනමාධ්‍ය හරහා පාසල් හදන හැදිල්ල අනුව, මීළඟ කැබිනට් සංශෝධනයට පෙර ලංකාවේ පාසල් සිසුන් 100%ක් ම සාමාන්‍ය පෙළ සමත් වනු ඇත.


උසස් අධ්‍යාපන ඇමති ජනමාධ්‍ය හරහා සරසවි හදන හැදිල්ල අනුව, මේ රටේ පඳුරකට පයින් ගැසූ විට ලැප්ටොප් අතින් ගත් ආචාර්ය, මහාචාර්යවරු බුරුත්තක් එළියට පැනිය යුතු ය.


සෞඛ්‍ය ඇමති ජනමාධ්‍ය හරහා රටේ සෞඛ්‍යය නංවන හැටියට කාට හරි කිඹුහුමක් ගියොත් ඒ මොහොතේ ම ගිලන් රථයක් එතැනට ආ යුතු ය. 


චම්පික රණවක ඇමතිතුමා ජනමාධ්‍යවලින් කියන විධියට මේ රට විදුලියෙන් ස්වයං පෝෂිත වී කරන්ට් එක අපනයනය කළ යුතු ය.


ජනමාධ්‍යවලින් කියන පරිදි නම් දැන් ලංකාවේ තෙල් ඇත. රත්තරං ද ඇත. රට පුරා අධිවේගී මාර්ග ය. වරායවල, ගුවන් තොටුපලවල හෙණ ට්‍රැෆික් ය. මිනිසුන් ගමන් බිමන් යන්නේ රට පුරා ඇති ගුවන් තොටුපළවලට පමණක් නො ව, වතුර වක්කලංවලට පවා ගොඩ බාන ගුවන් යානාවලිනි. සංචාරකයෝ වැල නො කැඩී එති. රට අහරින් ස්වයං පෝෂිත ය. ඒක පුද්ගල දළ ජාතික ආදායම නගින්නේ ටැක්සි මීටරය වගේ ය. ජනයා සුඛිත මුදිත ය. දන්සල් දොරෙහි නැත යදියෝ. සල්පිල්වල ය පුරවැසියෝ. මේ කේතුමතී පුරයයි. 


අපේ ජනාධිපතිතුමා ජනමාධ්‍යවලින් කියන විධියට ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙමින් ඇත. ලෝකය පුරා ම ඉන්න පජාති හැත්ත මේකට ඉරිසියා ය. අපේ වීර සිංහල නායකයන්ට කෙළවන්නට හදන්නේ ඒ නිසා ය. 


අපට නස්රුදීන්ගේ කතාවක් සිහිපත් වේ. තැනක රසකැවිලි බෙදනවා යි, ළමයින් රැවටීමට බොරු කිය කියා ගිය නස්රුදීන්ට ටික දුරක් යන විට එතැන ඇත්තට ම රසකැවිලි බෙදනවා යයි සිතේ. ඔහු ද එහි දිව යයි. 


අපේ නායකයෝ ද දැන්, දැන් මේවා කියන්නේ මාර විශ්වාසයකින් බව පෙනේ. අපි නම් ඉතින් කොහොමත් මේවා විශ්වාස කරන්නෙමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-28

රට බෙදමු ද? නො බෙදා රැක ගනිමු ද? / Shall we divide Sri Lanka or keep the unity?

(2011 ජුලි 28, W3Lankaපසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් බලවේග විසින් දෙමළ නාසිවාදියකු ලෙස හඳුන්වන ලද එම්. ඒ. සුමන්තිරන් නම් දෙමළ ජාතික සන්ධාන මනිත්‍රීවරයා හොඳ ළමයකු බව ආණ්ඩුවට එක පාරට ම තේරී ඇත.


අද දිනමිණේ මුල් පුවත ද සුමන්තිරන් ගැන ය.

වැඩි දෙනා කැමැති විසඳුම පිළිගන්නදෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන්ගෙන් දෙමළ ප්‍රජාවට අවවාදයක්රටින් පිට වී සිටින දෙමළ ජනතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කිරීමේ කාලය එළඹී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ලන්ඩනයේ දී ප්‍රකාශ කර තිබේ.ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ සටන ගැන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ප්‍රශ්න කළ අවස්ථාවේ දී සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ කර තිබේ.දෙමළ ජාතික සන්ධානයේ ලන්ඩන් ශාඛාව විශේෂ රැස්වීමක් සංවිධාන කර තිබූ අතර, එම රැස්වීමට එල්ටීටීඊ හිතවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතවාදීන් ද සහභාගී වී සිටි බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු සඳහන් කරයි.සුමන්දිරන් මහතා මෙම රැස්වීම අමතද්දී එල්ටීටීඊ හිතවාදීහු දිගින් දිගටම ඒ මහතාට බාධා කළහ. එහිදී ඉතා දැඩි ලෙස අදහස් දැක්වූ සුමන්දිරන් මහතා කියා සිටියේ දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාව හා එහි ජනතාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කර ගත යුතු කාලය එළඹ තිබෙන බවයි.මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය තම දෙමළ ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා යහපත් අතට හැරෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් ද ගොඩනැගී ඇති බව සුමන්දිරන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.එමෙන්ම දෙමළ ඩයස් පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් තුළ දැන් පැහැදීමක් නොමැති බව පෙන්වා දුන් සුමන්දිරන් මහතා, දෙමළ ඩයස් පෝරාවට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව ද සඳහන් කළේ ය. එම රාජ්‍ය තාන්ත්‍රිකයන් මේ සම්බන්ධයෙන් තමාට අදහස් පළ කර ඇතැයි ද සුමන්දිරන් මහතා පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ බහුතරයක් වාසය කරන්නේ සිංහල ජනතාව යි. ඒ නිසා බහුතර සිංහල ජනතාවක් පිළිගන්නා විසඳුමකට දෙමළ ප්‍රජාව එකඟ විය යුතුªබව ද සුමන්දිරන් මහතා කියා සිටී.දෙමළ ඩයස් පෝරාව සංවිධාන කළ රැස්වීමේ දී සුමන්දිරන් මහතා ගේ මතය ඉස්මතු වූ බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු කියා සිටී.



දිනමිණ ‍සුමන්තිරන් පිළිබඳ මෙම පුවත වාර්තා කරන්නේ ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජනපදයේ චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධ රැස්වීමකදී කළ කතාව වාර්තා කළ ස්වරයෙන් ම ය. හිටපු නාසිවාදියා දැන් දිනමිණට වීරයෙකි. 


මේ පළහිලව්ව කුමක් ද? 


දෙමළ ජාතික සන්ධානයත්, විදෙස්ගත දෙමළ ප්‍රජාවේ ඊලාම්වාදී සංවිධානත් අතර ගැටුම අලුත් එකක් නො වේ. මේ වනාහි අතීතයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණත්, කොටි සංවිධානයත් අතර පැවති ගැටුමේ ම වර්තමාන ස්වරූපයයි. 


වෙනත් වචනවලින් කියනවා නම්, දෙමළ මධ්‍යස්ථ මතධාරී ජාතිකවාදීන් හා දෙමළ ඊලාම්වාදී දැඩි මතධාරීන් අතර ගැටුමයි. 


දෙමළ මධ්‍යස්ථ මතධාරීන් හැම විට ම ඉන්දියාවට පක්ෂව කටයුතු කර තිබේ. ඔවුන්ට කිසියම් රැකවරණයක් ලැබුණේ ඉන්දියාවෙන් පමණි. දෙමළ දැඩි මතධාරීහු ලංකාවේ පමණක් නො ව ඉන්දියාවේ ආණ්ඩුවලට ද විරුද්ධ ය. සම්මුතියකින් තොරව, පරමාදර්ශී ස්වාධීන දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිගින් දිගට සටන් කිරීම දෙමළ දැඩි මතධාරීන්ගේ ස්වභාවයයි. කොටි සංවිධානය පරාජය පෙනි පෙනී, විනාශය වළක්වා ගැනීමට කටයුතු කිරීම ද පමා කිරීමෙන් පෙනී යන්නේ මෙම තීරුවේ භාවාතිශය ලක්ෂණයි. 


දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාව අතර සීතල යුද්ධය මේ වන විට උච්චස්ථානයට පැමිණ ඇත. 


පහත පළ කරනු ලබන ටැමිල්නෙට්හි පළ වූ ලිපියකින් උපුටා ගත් කොටස් මෙම ගැටුමේ තතුවය පිළිබඳ සාක්ෂි සපයයි. 


Voicing on behalf of the present establishment in New Delhi, sections in the Tamil National Alliance (TNA) unnecessarily declaring against independence of Eezham Tamils and discouraging war crimes investigations are worst of the crimes committed not merely against Eezham Tamils but against human civilization, said Tamil national as well as Left political circles in the island and in the diaspora to TamilNet on Monday. The comments have come responding to TNA views expressed after its victory and during its campaign in the civic elections. TNA leader Sampanthan interpreted the victory as Tamil wish for solutions within ‘united Sri Lanka’ and a confidential document circulated among ‘friends of the TNA’ during the civic elections said that the war crimes investigations were actually directed against India than against Colombo, and hence Tamils should not pin hopes on them. 

Non-TNA Tamil national circles in the island allege that there is a secret negotiation between New Delhi and the TNA for the latter to drop the war crimes charges in favour of New Delhi and Colombo implementing the meaningless 13th Amendment, perhaps with a new nametag. 


පසුගියදා දෙමළ ජාතික සන්ධානය විසින් අත්පත් කර ගන්නා ලද මැතිවරණ ජයත්‍රහණය දෙමළ ජනයා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ‍විසඳුමක් භාර ගැනීමට සූදානම් බවට කළ ප්‍රකාශයක් ලෙස දෙමළ ජාතික සන්ධාන නායකයා කළැයි කියන අර්ථකථනය මෙහි විවේචනයට ලක් වී ඇත. 


එසේ ම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලංකාවේ දේශපාලනය කරන දෙමළ ජාතික සන්ධානයේ උපායශීලී නිහඬ පිළිවෙත ඔවුන් යුද අපරාධ චෝදනාවලට එරෙහි යයි හුවා දක්වන්නට දෙමළ ඩයස්පෝරාව පාවිච්චි කරමින් සිටින බව ද පෙනේ. 


Tamil national circles in the island also pointed out that many didn’t vote in the civic elections, as they had no hopes in the simulated electoral process, the choice in polity and the choice in candidates. People of awareness are highly concerned about the next turn of affairs leading to the provincial council, non-TNA Tamil national political circles in the island said.

What is the need for TNA leader Sampanthan to interpret the civic elections victory as an Eezham Tamil decision to remain within ‘united Sri Lanka’? For whose sake he is proclaiming this, are questions that are widely asked among Tamils in the island, in the diaspora and in Tamil Nadu.



දෙමළ ජාතික සන්ධාන නොවන දෙමළ කවවල මතය ලෙස ටැමිල්නෙට් පෙන්වා දෙන කරුණක් වන්නේ විශාල පිරිසක් මෙම මැතිවරණයේදී ඡන්දය නො දීමෙන් ඔවුන් මෙම ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් නැති බව ප්‍රකාශ වන බවයි. 


මේ අතර ම, දෙමළ ඩයස්පෝරාව තමිල්නාඩුවේ විපක්ෂය වන කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂයේ කරේ එල්ලෙන්නට ද උත්සාහයක් දරයි. ඒ පරාජිත  ඩී.එම්.කේ. පක්ෂය ලංකාවේ දෙමළ ජනයාගේ ඉරණම තීන්දු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට සම්මත කර ගත් යෝජනාව අගය කරමිනි. මේ වනාහි, කොටි සංවිධානය සමූලඝාතනය කිරීම සඳහා ලංකාවේ ආණ්ඩුවට අවසන් සටනේදී සහාය දෙමින් තමිල්නාඩු දේශපාලන ප්‍රජාව හා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කළමනාකරණය කර දුන් කරුණානිධි බව දෙමළ ඩයස්පෝරාව කපටි ලෙස අමතක කරයි. මෙකී අවස්ථාවාදය ද ඔවුන්ගේ භාවාතිශයකමේ ම ලක්ෂණයකි. 


In this respect, the DMK in Tamil Nadu on Sunday came out with a resolution to call for a referendum among Tamils in the island.

Equal rights were a long-pending demand in the island nation and a separate Eelam was once seen as the way to achieve it. But, divergent views and stands among Tamil groups came in the way of realising this objective, the DMK's general council observed while calling for a referendum to resolve the issue.

The DMK General Council also resolved that India and other countries that uphold human rights to ensure that those responsible for the war crimes, detailed in the report of a probe panel of the United Nations, face trial in the International Criminal Court.



While Ms. Jeyalalithaa contributed ingeniously in turning the table to provide the necessary political space for the Eezham Tamils, the DMK and Mr. Karunanidhi also could still do a lot more. Mr. Karunanidhi’s affidavit on the war crimes is of historic importance, Eezham Tamil politicians in the island said.


රතු අකුරින් දක්වා ඇති කොටසින් දෙමළ ඩයස්පෝරාව ජයලලිතාටත්, කරුණානිධිටත් එක පිහියේ දෙපැත්තෙන් බටර් ගායි. හාස්‍යජනක ය. 


දෙමළ ඩයස්පෝරාව, ඒ හා සම්බන්ධ කොළඹ දෙමළ මධ්‍යම පංතිකයන් හා සිංහල  වාමාංශික කල්ලි යනු අවස්ථාවාදීන් පිරිසකි. ඔවුන්ගේ අවස්ථාවාදය නිරුවත් වූ අවස්ථාවක් වන්නේ කොටි සංවිධානය පරාජය වූ අවසන් යුද්ධයේදී ඔවුන් හැසිරුණ ආකාරයයි. විනාශ වූ දෙමළ ජීවිත රැක ගැනීම සඳහා ඔවුන් කළ තීරණාත්මක කැප කිරීම කුමක් ද? ලංකාවේ මුල් ඉදිරී ඇති ඔවුන්ට සිය ඊලාම්වාදී සිහිනය තුළ ජීවත් වන්නට පුළුවන, එහෙත්, කිලිනොච්චියේ, මුලතිව්, මන්නාරමේ, යාපනයේ, මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ දෙමළ මිනිසුන්ට තිබෙන්නේ මුළුමනින් ම විනාශ වූ ජීවිත ඉහවහා ගිය මර්දනකාරී පරිසරයක් තුළ නැවත ගොඩනඟා ගන්නේ කෙසේ ද යන ප්‍රායෝගික ප්‍රශ්නයයි. 


යුද අපරාධ පරීක්ෂා කරන්නැයි උද්ඝෝෂණ කරන්නැයි ලංකාවේ දේශපාලනය කරන දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටීමෙන් ම ඔවුන්ට ලංකාව නො තේරෙන බව පැහැදිලි ය. 


ලංකාව දෙකඩ වීමට ආසන්න තත්වයකට පත්ව ඇති බව අපි මීට පෙර ද කීවෙමු. එවන් තත්වයකදී ලංකාවේ දේශපාලන බලය අසීරු කොන්දේසි යටතේ දිනාගෙන තිබෙන දෙමළ ජාතික සන්ධානය දරන ස්ථාවරය සිංහලයන්ට වාසිදායක එකක් බව පෙනේ. එහෙත්, සිංහලයන්ගේ නායකයන් වී සිටින පටු ජාතිවාදීන් හැමදාමත් දෙමළ ජනයා ගැන කල්පනා කළේ ඕනෑ වෙලාවට ප්‍රයෝජනයට ගෙන එපා වෙලාවට 'පර දෙමළු' යයි කියමින් ඉවත දැමිය හැකි මිනිස් කසල විශේෂයකැයි යන ආකල්පයෙනි. 


සිංහලයාගේ මේ ජාතිවාදී සෙල්ලමේ අවසාන ජයග්‍රාහී ජවනිකාව 2009 මැයි 18 දින ප්‍රභාකරන් ඝාතනයත් සමග ම සනිටුහන් විය. තව දුරටත් ඒ සෙල්ලම කළ හැකි යයි සිතා සිටින චම්පික රණවකලා, නලින් ද සිල්වලා කරන්නේ ජාතියට ම සතුරුකමකි. ඔවුන් වනාහි දෙමළ ඩයස්පෝරාව නම් එක ම කාසියේ අනෙක් පැත්තයි. 


මුළු ආණ්ඩු බලය ම යොදා, අනාගත ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් සිටින බැසිල් රාජපක්ෂ උතුරේ පදිංචිව සිටිමින් පරදවන්නට උත්සාහ කළ දෙමළ ජාතික සන්ධානය ඡන්දයෙන් පසු මෙසේ හදිසියේ වීරයකු බවට පත් වීම තේරුම් ගත යුත්තේ මෙම සංදර්භය තුළයි. දෙමළ ජාතික සන්ධානය රැවටී ඇතැයි දෙමළ ඩයස්පෝරාව කියයි. ආණ්ඩුව ද එසේ සිතයි. එහෙත්, දෙමළ ජාතික සන්ධානය පිටුපසින් ඉන්දියාව සිටින බව ද, එහෙයින් එය රවටන්නට යාම අතිශය භයානක බව ද ආණ්ඩුව දැන ගත යුතු ය.   


මහින්ද රාජපක්ෂ පාලනයේ සුවිශේෂත්වය එයට ප්‍රතිපත්තියක් නැතිකම බව අපි 2005දී පමණ නිරීක්ෂණය කළෙමු. අප කීවේ එය වනාහි වතුර වැනි දාන භාජනයේ හැඩය ගන්නා බලයක් බවයි. මෑතදී ජනාධිපතිවරයා හෙළිදරව් කළ පරිදි මාවිල්ආරු ප්‍රශ්නයේදී ආණ්ඩුව එය ගොඩින් බේරා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, තමිල්චෙල්වන් හමු වීමට කිලිනොච්චියට යවා තිබේ. එය අසාර්ථක වූ පසු ආණ්ඩුව ජාතික හෙළ උරුමය විසින් සාදා දෙන ලද භාජනයට රිංගුවේ ය.


මේ වන විට භාජනයේ හැඩය තීරණය කරන සාධක වන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය, ඉන්දියාව, ජාතික හෙළ උරුමය හා දෙමළ ජාතික සන්ධානයයි.


ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීමේ උවමනාවක් මේ ආණ්ඩුවට නැත. එය ද හරියට රට සංවර්ධනය කිරීමේ උවමනාවක් නැතිවා හා සමාන ය. මෙතැන ඇත්තේ බලය හා ධනයට ඇති කෑදරකම් පමණි.  


අප මෙම මාතෘකාව කෙරෙහි අවධානය යොමු කරනුයේ මෙහිදී සිංහල ප්‍රගතිශීලීන් හා වාමාංශිකයන් විසින් ගත යුතුව තිබෙන ස්ථාවරය පිළිබඳ සංවාදයක් ඇති කිරීමටයි. අභියෝග අලුත් වී ඇත. අප ද අලුත් විය යුතු ය.


අභියෝගය මෙයයි. ප්‍රශ්නය ආණ්ඩුවට, ඉන්දියාවට, දෙමළ ජාතික සන්ධානයට, දෙමළ ඩයස්පෝරාවට හා ජාතික හෙළ උරුමයට භාර දී බලා ඉන්නවා ද? නැතිනම්, සිංහල අතිවාම කල්ලි මෙතෙක් කළා සේ දෙමළ ඩයස්පෝරාවට කඩේ යනවා ද? එහෙමත් නැතිනම් ජවිපෙ දැනුවත්ව හෝ නො දැනුවත්ව කළා සේ චම්පික රණවකට කඩේ යනවා ද? 


එහෙමත් නැතිනම් අපි ජාතීන්ගේ ප්‍රශ්නය ගැන මාර සංවේදීයි කියමින්, සැබෑ අභියෝගය මගහැර ජවිපෙ සමාජවාදී තරුණ සංගමය මෙන් සිංහල, දෙමළ ගම් අතර ක්‍රිකට් මැච් සංවිධානය කිරීම වැනි පරණ තාලේ එන්.ජී.ඕ. වැඩ අලුතින් සොයා ගන්නවා ද?  


අප යෝජනා කරන්නේ වාමාංශිකයන් ප්‍රශ්නයේ වගකිව යුතු පාර්ශ්වකරුවන් විය යුතු බවයි. සරළව කීවොත් බලය බෙදා ගැනීම හෙවත් දෙමළ ඩයස්පෝරාව හා සිංහල අතිවාම කල්ලි විසින් වන්දනාමාන කරනු ලබන කොටි සංවිධානයේ ම වචනවලින් කියැවුණ අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය නම් කරුණ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බවයි. 


අපගේ යෝජනාව අපි විශේෂයෙන් ම, වාමාංශිකකම මෙන් ම සිංහලකම ද නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමු කරන්නට කැමැත්තෙමු. ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ගැඹුරු දැක්මක් ඇති කර නො ගැනීම ඓතිහාසික වරදක් වන අවධියකට අප එළඹ ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-27

රට ම වෙනුවෙන් - ඇදුරො හෙළුවෙන් / A post-mortem on the struggle of the university teachers of Sri Lanka

(2011 ජුලි 27, W3Lankaවැටුප් වැඩි වීමක් ඉල්ලා දීර්ඝ කාලීන වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණ සරසවි ඇදුරන් දෙකට බෙදී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් විට එම නිරීක්ෂණය වැරදි වෙන්නට පුළුවන දෙකට බෙදෙන්නට පුළුවන් එකට සිටි පිරිසකට පමණක් බැවිනි. 


ඔවුන් සිය අරගලය දිනුවා ද පැරදුණා ද යන්න ද අවිනිශ්චිත ය. 


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ රැඩිකල් කොටස කියන පරිදි රජය සිය ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දු වී ඇති මුත්, පොරොන්දු ඉටු කිරීමට නිශ්චිත කාල රාමුවක් දී නැත. 


මහින්ද චින්තන නම් කඩවුණු පොරොන්දු මාලාවක හිමිකරු වන, පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට රු. 2500ක වැටුප් වැඩි වීමක් දෙන බව කියා ඔවුන් අමු අමුවේ රැවටූ, දූෂණයෙන් හා මහජන මුදල් කාබාසිනියාවෙන් කෙළ පැමිණි, ආචාර ධර්ම හෝ සදාචාරය ගැන අබ මල් රේණුවක තැකීමක් නැති මේ ආණ්ඩුවට සරසවි ඇදුරන් රවටනවා ය කියන එක සුළු ම සුළු දෙයකි. 


මොනවා කීවත් දැන් සටන පරාද ය. අපට පෙනෙන පරිදි එසේ වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බහුතර කැමැත්ත අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ය. ඒ නිසා අරූ අපව පාවා දුන්නා යයි බනින්නට කෙනෙකු ද නැත. 


එසේ සිදු වන්නේ මන් ද? 


මෙහි ඇති ඇත්ත වන්නේ මේ සරසවි ඇදුරන් බහුතරයක් දෙනා මහජන මුදලින් ඔවුන් දැනට ලබා ගන්නා වැටුපට හා තීරු බදු රහිත වාහන, පූර්ණ වැටුප් සහිත සබෑටිකල් නිවාඩු වැනි වරප්‍රසාදවලට හෝ සරිලන අන්දමේ වැඩ කොටසක් නො කරන, වෙනත් පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නො වන ව්‍යාපාරවලින් මුදල් උපයන පිරිසක් බව අන් කිසිවෙකුටත් වඩා තමන් ම දැන සිටීමයි. 


ලංකාව සැබෑ බුද්ධිමතුන් සිටින රටක් නම්, මෙහි එළියන්ත වයිට්ලා, ආසනික් සිල්වලා, සීනිගම රතනලා, වෙනත් ජ්‍යෝතිෂකාරයන්, මන්තරකාරයන්, ෆෙංෂුයි මුදලාලිලා, භාතිය සන්තුෂ්ලා, සැපගන්නාරාළලා, අනර්කෙලීලා, කුඩු දුමින්දලා රජ වන්නේ නැත.


ලංකාව වනාහි සරසවිය හෙවත් සරස්වතී දේවිය ඇහැ ඇරලාවත් නො බලන රටකි. 


සරසවි ඇදුරන් වැනි මධ්‍යම පංතික වෘත්තිකයන් වර්ජනවලට යන්නේ ජීවත් වීමට සරිලන වැටුපක් නැති නිසා නො ව, තමන්ගේ වෘත්තීය තත්වය රැක ගන්නට ය. විශේෂයෙන් ම, ශක්තිමත් වෘත්තීය සංවිධානයක් හිමි, රෝගී සමාජයක විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව ද හිමි වී තිබෙන වෛද්‍යවරුන් වැනි වෘත්තීය කොටස් සමග තරගකාරී ලෙස සිය තත්වය පවත්වා ගැනීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල මූලික අරමුණයි. 


මේ අරගල බාග සටන් බවට පත් වන්නේ මේ හේතුවෙනි. මහජන මුදල් සූරා කා, තමන්ට ද හොඳට ගෙවන ආණ්ඩුවට ඇති කෘතවේදිත්වය ද, තමන්ගේ ඇත්ත දන්නාකම නිසා ඇති වරදකාරිත්වය ද නිසා සටන පටන් ගත් දවසේ සිට ම ඔවුන් සොයන්නේ ඉක්මණ් සම්මුතියකි. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ඔවුන්ගේ කූල් එකේ ගත වන සාමාන්‍ය ජීවිතය මේ වෘත්තීය සටන් නිසා අවුල් වන බැවිනි. 


සාමාන්‍යයෙන් වෙනදා මාධ්‍ය පෙරේතයන් වන සරසවි ඇදුරන් කී දෙනෙක් පසුගිය දිනවල සිය සටන ගැන කට ඇරියා ද කියා සොයා බලන්න. ඔවුන් එම කාර්යය වාමාංශික නිර්මාල් රංජිත්ට කොන්ත්‍රාත් දී ඇත. 


වෘත්තීය සමිති තමන්ගේ ඓන්ද්‍රිය සංවිධානයක් නො ව, තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන කොන්ත්‍රාත් ආයතනයක් බවට පත් කර ගැනීම මධ්‍යම පංතිකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. සරළව කීවොත්, සාමාජික මුදල ගෙවා පැත්තකට වීම හා තම අභිප්‍රායන් ඉටු නො වුණොත් බැන, බැන සමිතියෙන් අස් වීම ඔවුන්ගේ පිළිවෙතයි. සාමාන්‍යයෙන් රැස්වීමකට හෝ සහභාගි වීමට කාලය යොදවන්නට ඔවුහු අකැමැති ය. 


මෙවැනි පිරිස්වත වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා කොන්ත්‍රාත් ගන්නා වෘත්තීය සමිතිවල හිමිකරුවන් බවට පත් වන අය ලාභ ගරා ගන්නේ සාමාජික මුදල්වලිනි.


මෙය උච්චස්ථානයට ම ගිය තැනක් වන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයයි. එම කොන්ත්‍රාත් සමාගමේ හිමිකරු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව ඇතුළු පිරිස දැන් සටන් කොන්ත්‍රාත් ඉටු කිරීමට ද වඩා හෙදියන්ගෙන් මුදල් ගසා කෑමට මුල් තැන දී ඇත. දැන් හෙදියන් මුහුණ දී සිටින තත්වය වන්නේ පහළ මධ්‍යම පංතික මට්ටමේ රැඳී සිටීමට හෝ හැකියාවක් මේ වෘත්තීය අයිතිවාසිකම් කොන්ත්‍රාත් සමාගම නිසා නැතිව යාමයි. 


ගුරු සේවය, ලිපිකාර හෙවත් කළමනාකාර සහායක නම් ලොකු නමක් ඇති සේවය වැනි පහළ ම මධ්‍යම පංතික වෘත්තීන්ගේ වෘත්තීය කොන්ත්‍රාත් සංවිධාන මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ දිය වී ගොසිනි. එම සංවිධාන වැඩිපුර පවතිනුයේ වෘත්තීන් තුළ නො ව, මාධ්‍ය අවකාශයේ ය. එවැනි වෘත්තීන්හි යෙදුණු අය මේ වන විට ජීවත් වීම සඳහා කරන්නේ ටියුෂන් කඩ, සිල්ලර කඩ, කුඹුරු කෙටීම, කඩවලට කඩයප්පං සැපයීම, අයිස් පැකට් විකිණීම වැනි සිරං බිරං වැඩ ය. එවැනි වෘත්තීන්හි නියැලී සිටින සමහරක් ගැහැනු කෙසේ හෝ ඉහළ මධ්‍යම පංතික වෘත්තිකයකු හෝ පෞද්ගලික අංශයේ සේවකයකු හෝ සමග ගොඩනඟා ගත් පවුල තුළ තල්ලු වී යති. 


වෘත්තීය සමිති ගැන බලාපොරොත්තු සුන් වී සිටින ඔවුන් ඒවායේ සුළු සාමාජික මුදල ගෙවීමට පවා ලෝභ ය. හිමිකම් වෙනුවෙන් සංවිධානය වනවා වෙනුවට වෘත්තීය සමිතිවලට බැන, බැන රුපියලට, සත පනහට පවා කුණුකම් කරමින් සල්ලි හෙවීමට රටේ නැති විගඩම් කිරීම ඔවුන්ගේ හැටි ය. අවසානයේදී ඔවුන්ගේ ජීවිත අසහනය මෝචනය වන්නේ ඔවුන්ගෙන් සේවා ලබා ගන්නා ඔවුන්ටත් වඩා පීඩිතයන් මතිනි. 


ඔවුන් ජීවත් වන්නේ සිහින තුළ ය. එම සිහිනය වනාහි, තමන්ගේ දරුවා දොස්තර කෙනෙකු කිරීමයි. එය ඉටු කර ගන්නට බැරි වුණොත්, කර ගන්නට උත්සාහ කරන දේ අතරින් එකකි, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වීම. අවසාන බලාපො‍රොත්තුව වන්නේ සිය දරුවන් ඔය ශිෂ්‍යත්වයක් වැනි මොකක් හරි දේකට රට ගිය පසු එහේ මොකක් හෝ පුංචි රස්සාවක් හොයාගෙන පදිංචි වූ විට, දරුවන්ගේ දරුවන් බලා කියා ගන්නා නැනීකමට එහි ගොස්, සීත කාලයේ ලොම් කබා ඇඳගෙන ඡායාරූප ගෙන මෙහේ දුප්පතුන්ට එවා සතුටු වීමයි. 


මේ සිහිනය තුළ ජීවත් වන පහළ මධ්‍යම පංතිකයෝ දොස්තරලා වෙන්නට සිටින තමන්ගේ දරුවන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනාරාධිතව කඩේ යති. 


සරසවි ඇදුරන් වෙනුවෙන් ද එහෙම කඩේ ගිය අය ඉන්නට ඇත. 


සරසවි ඇදුරන් ලංකාවේ ආතුර සමාජය ඉදිරියේ නැටූ තොවිලයේදී අප දුටු සන්නි මේවා ය. 


ඕනෑම වර්ජනයක් මාර වීරකමක් ලෙස දකින මාක්ස් දහම අදහන බැතිමතුනි, ඔබට දෙවි පිහිටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-26

අරාබියේ ලේ වන්දි ක්‍රමය ආසියාවේ ආශ්චර්යයටත් එයි ද? / Will the Arab blood money system be introduced in Sri Lanka?

(2011 ජුලි 26, W3Lankaගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ හික්කඩුව වේදිකාවේ යකඩ වැට කපා දැමීමෙන් සිදුවූ අලාභය ලෙස රුපියල් 18,000 ක මුදලක් නගර සභාවට පුද්ගලයකු විසින් ගෙවා ඇතැයි අද දිනමිණ වාර්තා තරයි.


මේ සිද්ධිය පිළිබඳ අපි 'මේකත් රටක් ද මර්තේලිස්?' නම් ලිපියෙහි ලියුවෙමු. ඇත්තෙන් ම රට නම් ආසියාවේ ආශ්චර්යය ම තමා ය.


ප්‍රසිද්ධියේ පොදු දේපලවලට හානි කළ බලවත් පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර නො ගෙන ගැනීම සඳහා මෙවැනි සෙල්ලම් දාන්නට ඉඩ දෙන වෙනත් රටක් ලෝකයේ නැත.


නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මෙම වාධ්‍ය සංදර්ශනය හරහා ලබා ්‍ගත් ප්‍රසිද්ධිය මිළ කළ නො හැකි ය. එහෙත් වැටේ අලාභය රු. 18,000ක් පමණි.


මෙය ඉතා නරක පූර්වාදර්ශයක් විය හැකි ය. ප්‍රසිද්ධිය ලබා ගැනීම හා ප්‍රචාරය පිණිස පොදු දේපලවලට හානි කර පසුව අලාභය ගෙවන ක්‍රමයක ආරම්භය මෙය විය හැකි ය.


තව ටික කලක් ගිය පසු මෙය මිනී මරා, මරණකරුගේ පවුලේ අයට මුදල් ගෙවා නිදහස් වන අරාබි ලේ වන්දි ක්‍රමයක් දක්වා 'සංවර්ධනය' වන්නට ද පුළුවන.


එක අතකට එය බලවතුන් මිනී මරා, පොදු දේපල සොරකම් කර, කිසිදු දඬුවමක් නො ලැබ ඉන්න වත්මන් ක්‍රමයට වඩා හොඳ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-25

ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

(2011 ජුලි 25, W3Lankaවරායකට නැවක් ආවා කීවා ම එහි කිසිදු විශේෂත්ටයක් නැතත්, හම්බන්තොට වරායට නැවක් ආවා ය කීවා ම නම් ඇත්තට ම අති විශේෂ දෙයකි.  ඇත්තෙන් ම බලන්න වටින දර්ශනයකි. 


ඒ නිසා පසුගිය දිනවල ආසියාවේ ආශ්චර්යයේ අගනුවර වන හම්බන්තොට පදිංචි වාසනාවන්ත ජනතාව රැස් කකා නැවක් බැලූ බව ආරංචි ය. නැව පොත් නැවකි. 


නැවේ නම ලෝගොස් හෝප් (Logos Hope) ය. කලින් ගාලු වරායේ නැංගුරම් ලා තිබියදී මෙම ලේඛකයා ද එම නැව බලන්නට දෙවරක් ම ගියේ ය. හේතුව එහි පොත් මිළ අඩු වීමයි. 


නැව බලන්නට සූ ගා සෙනග ආවත් ඒ වැඩි දෙනෙක් පොත් බලන බවක් හෝ මිළ දී ගන්නා බවක් දක්නට නො ලැබිණි. සෙනග රැස් කෑවේ එහි ඇති විවිධ සමරු භාණ්ඩ සොරකම් කර ගන්නට ය. පොත් ගත්තාදැයි නැව බලන්නට පාසල් දරුවන් කැටුව පැමිණි ගුරුවරියකගෙන් ඇසූ විට ඇය කීවේ පොත් හරි ගණන් ය කියා ය. එහෙත්, පොත් මිළ දන්නා අය එහි පොත් ලාභ බව දැන ගත් හ. 


කලින් සැලසුම් කර නො තිබුණ ද, නැව හම්බන්තොට වරායට ගෙන යාමට ද ආණ්ඩුව සමත් විය. ප්‍රමාණයෙන් එතරම් විශාල නැවක් නො වන නිසා ගල් පර අස්සෙන් ඇදගෙන එන්නට පුළුවන් වන්නට ඇත.


මේ නැව ගැන කිව යුතු දෙයක් වන්නේ එය වනාහි ක්‍රිස්තියානි සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන ධර්ම ප්‍රචාරක‍ සේවාවක් බවයි. එහි අලෙවියට ඇති පොත් අතරින් අති බහුතරය ආගමික පොත් ය. නැව බලන්නට යන අයට සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් මුද්‍රිත ආගමික පොත් ‍දෙක තුනක් නො මිළේ ම ලැබේ. 


රට රටවලින් මුදල් එකතු කරගෙන, ධර්ම ප්‍රචාරයේ නමින් වැඩි මිළට පොත්, සංගත තැටි, බුද්ධ රූප ආදිය විකුණා, මුදල් උපයා, තට්ටු පිට තට්ටු ගොඩනැගිලි හදන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වැනි බිස්නස් මිස ධර්ම ප්‍රචාරක කටයුත්තක් නො දන්නා බෞද්ධ නායකයන්ට ලෝගෝස් හෝප් නැව ආදර්ශයකි. අභියෝගයකි. 


මේ 'ක්‍රිස්තියානි ආක්‍රමණය' ලංකාවට පැමිණියේ ශ්‍රී රෝහණ ජනරජනට ද පොත පෙරළා, නලින් ද සිල්වායන්ගේ අධි මානසික බලවලට අසු නො වී හා රතන සාදුගේ කණෙන් ද රිංගා ය. 


සිංහලයෙක් යාඥාවක් කළා නම් එතැනට පැන යකා නටන ජේතවනා‍රාමෙට ගල් ගැසූ, වඳුරන්ගෙන් බණ ඇසූ, බෞද්ධ වෙසින් සිටින අබෞද්ධ ගොන්නු සුද්දන්ගේ ලෝගෝස් හෝප් නැව හම්බන්තොට‍ට ද වඩම්මාගෙන ගොස්, කට්ට අව්වේ පෝලිම්වල ලගිමින් වන්දනා මාන කළ හ.  


වෙන කවුරු හෝ මේ ධර්ම ප්‍රචාරය කළා නම් අර ඉහත කී අන්දමේ 'බෞද්ධයෝ' උගේ කැවුතු කති. 


ලෝගෝස් හෝප් නෞකාව අයත් වන්නේ Operation Mobilisation නම් ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික සංවිධානයකට ය. එහි වෙබ් අඩවිය මෙතැනින් බලන්න. 


බෞද්ධ නායකයන් ලෙස පෙනී සිටින ජාවාරම්කරුවන් ඇතුළු ගතානුගතික ආගම් ජනයාට පිළිසරණක් වීමට අසමත් වීම හා ජනතාව ඒකාධිපති පාලනය තුළ ආර්ථික, දේශපාලන වශයෙන් අන්ත අසරණ තත්වයට පත් වීම හමුවේ මෙවැනි ඉවැන්ජලික නිකායන්ට ලංකාවේ සරු පොළවක් මැවේ. 


'අපට‍ මොකද අපි දස සිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට' යි, ඉබ්බකු මැරීම සඳහා ඌ උඩුකුරු අතට හරවා ලිග්ගල් තුනක් උඩ තබා පුළුස්සන කොල්ලන් පිරිසක් දුටු උපාසකයකු කී බව ජන සාහිත්‍යයේ සඳහන් වේ. 


මෙම සටහන තබන ලේඛකයා දැනට කිසිදු ආගමක් අදහන්නේ නැත. කලින් මාක්ස්වාදය නම් ආගම ඇදහුවේ ය. අසරණකම, හුදකලාව වැඩි වන විට ලේඛකයා වුව මෙවැනි ආගමක් වෙත ආකර්ශනය විය හැකි ය. 



About OM

Operation Mobilisation's role in the Church is to mobilise people to share the knowledge of Jesus and His love with every generation in every nation. OM pioneers and leads initiatives to redeem lives, rebuild communities and restore hope in over 110 countries.
(Operation Mobilisation වෙබ් අඩවියෙනි) 


හම්බන්තොට වැඩ කරන තවත් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක සංවිධානයක් ගැන විස්තර මෙතැනට කොටා දිනමිණෙන් ම කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මුළු රට ම ප්‍රජාතන්ත්‍රවාදයේ වැලිකන්දක් කරමු / Let us make entire Sri Lanka a Welikanda of democracy

(2011 ජුලි 25, W3Lankaජනතාවනි, ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය හදමු. මුළු රට ම වැලිකන්දක් කරමු.


වැලි කමු. ගල් රෙමු.

වැලිකන්දට විපක්‍ෂයක්‌ නෑ
අජිත් අලහකෝන් (දිවයින)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට විපක්‍ෂයක්‌ නොමැති පළාත් පාලන ආයතනයක්‌ පෙරේදා පැවැති ඡන්දය නිසා බිහිවූ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීය.

ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාව විපක්‍ෂයක්‌ නොමැති පළමු ප්‍රාදේශීය සභාව බවට පත්වන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

වැලිsකන්ද ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී ධුර නවයක්‌ හිමිව ඇතැයිද ඉන් මන්ත්‍රී ධුර අටක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හා එක්‌ මන්ත්‍රී ධුරයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට බව ද කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම මන්ත්‍රී ධුරයද එජනිසයට සහාය දක්‌වන බව කීය.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-24

දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත් ෂේප් කර දෙමු! / Sri Lankans unite! Let us pay the hedging compensation

(2011 ජුලි 24, W3Lankaඅපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ.


දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය.


මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි.


ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය.


මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000)


ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000)


ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය ‍වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ.


ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි.


මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි?


දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්!


හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු.


පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝසිටීම ආඩම්බරයකි / Northern Tamils unbound before fraudulent politics of Sri Lanka

(2011 ජුලි 24, W3Lankaආණ්ඩුව උතුරේ පළාත් පාලන ආයතන ටික දිනා ගැනීම සඳහා උපරිම බලය පාවිච්චි කළේ ය.


හමුදාව ද ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය. භීෂණය ඇති කරමින් විරුද්ධ පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කළෙ ය.


ඩග්ලස් දේවානන්දාගේ අතුරු හමුදාව නිදහසේ මැර බලය පාවිච්චි කළේ ය.


බැසිල් රාජපක්ෂ යාපනයේ පදිංචිව සිටිමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය.


ජනාධිපතිවරයා ද යාපනයේ හා කිලිනොච්චියේ ඡන්ද ප්‍රචාරක රැළි ඇමතූ අතර බස්වලින් ඒවාට සෙනග එකතු කර ගත්තේ ය.


ජනමාධ්‍ය හරහා විශාල සංවර්ධනයක් මවා පෑවේ ය.


ඒත් අන්තිමේදී සිදු වී ඇත්තේ කුමක් ද?


යාපනයේ ඡන්ද ප්‍රතිඵල මෙතැනින් බලන්න.


ආණ්ඩුවට යාපනයෙන් ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 35,000ට අඩු ය.  කිලිනොච්චි, මුලතිව් තත්වය මීටත් අන්ත ය. 


මේ එක් ඡන්දයක් වෙනුවෙන් ආණ්ඩුව රු. ලක්ෂයක්වත් වැය කරන්නට ඇත. 


ආණ්ඩුවේ උතුරේ ජොකියා වන දේවානන්දා අන්තිම අසාර්ථක ය. ඔහුගේ අතුරු හම්දාවට පාලනයක් ඇත්තේ බූරුවන් සඳහා ප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතේ පමණි. 


මේ ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝ මේ රටේ සිටීම ඇත්තෙන් ම ආඩම්බරයකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-23

කොළඹ පාරවල්වලට අලුත් නම් දැමීමේ තේරුම කුමක් ද? Is there any meaning of renaming Colombo roads

(2011 ජුලි 23, W3Lanka) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස මෑතදී කොළඹ ඩ්ක්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලදී.


කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන ලද වෙනත් නම් මිනිසුන්ගේ කටට හුරු වී තිබෙන මෙවැනි පාරවල් හදිසියේ වෙනත් අයගේ නමින් නම් කිරීම ඇත්තෙන් ම විකාරයකි.


ඩුප්ලිකේෂන් පාර ආර්.ඒ.ද මැල් මාවත ලෙස නම් කර දැන් බොහෝ කලකි. මේ මැල් කවුරු ද යන්න දන්නේ දෙවියන් සහ තවත් කීපදෙනෙක් පමණි. අප දන්නේ ඔහු දකුණු කොළඹ හිටපු මන්ත්‍රීවරයකු ය යන කරුණ පමණි.


මෙවැනි පාරවල් හා ස්ථාන තවත් රැසක් කොළඹ නගරයේ ඇත.


පහත සඳහන් දිවයින පුව්පතෙන් උපුටා ගන්නා ලද පුවත නිරීක්ෂණය කරන්න.


කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ගාලු පාරෙහි සහ ඩුප්ලිකේෂන් පාරෙහි (ආර්.ඒ. ද මෙල් මාවත) දැනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්‌ම ගාලු පාර ඩික්‌මන් පාර (ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත) හංදිය සහ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය දක්‌වාද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත.


මෙම රථවාහන සැලැස්‌ම අද (23 වැනිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතය.


නව සැලැස්‌ම පරිදි රථවාහන ගමනාගමනය සිදුකෙරෙන ආකාරය පහත පරිදි වේ.


1. ගාලු පාර ඩික්‌මන් පාර හංදිය සිට ගාලු පාර ඔස්‌සේ බම්බලපිටිය හංදිය දෙසට පමණක්‌ රථවාහන ධාවනය කළ හැකිය. (කොළඹට ඇතුල් වීම)


02. ඩුප්ලිකේෂන් පාර වජිර පාර හංදිය සිට ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ ඩික්‌මන් පාර හංදිය දෙසට පමණක්‌ රථවාහන ධාවනය කළ හැකිය.


03. ගාලු පාර ඔස්‌සේ කොල්ලුපිටිය දෙසට ධාවනය කෙරෙන රථවාහන වලට ඩුප්ලිකේෂන් පාරට ඇතුල්වීම සඳහා විශාකා පාර, වජිර පාර, ඩේසිවිලා මාවත, ලොරිස්‌ පාර යන මාර්ග වලින් දකුණට හරවා ඇතුල්විය හැකිය.


04. ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ වැල්ලවත්ත දෙසට ධාවනය කෙරෙන රථවාහන වලට බෞද්ධාලෝක මාවත, ජෝශප් පටුමග, ඩිවෝස්‌ මාවත, ද ෙµdන්සේකා මාවත සහ ඩික්‌මන් පාර ඔස්‌සේ ගාලු පාරට ඇතුල් විය හැකිය.


05. මාර්ග අංක 112 බස්‌ රථ කොළඹට ඇතුල්වීම හැව්ලොක්‌ පාර ඔස්‌සේ පැමිණ හැව්ලොක්‌ පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා ඩික්‌මන් පාරට ඇතුල් වී ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා ඉන්පසු ඩුප්ලිකේෂන් පාර ලෝරන්ස්‌ පාර හංදියෙන් දකුණට හරවා ලෝරන්ස්‌ පාර ඔස්‌සේ ගොස්‌ ගාලු පාර ලෝරන්ස්‌ පාර හංදියෙන් නැවත දකුණට හරවා ගාලු පාර ඔස්‌සේ කොල්ලුපිටිය දෙසට ධාවනය කළ හැකිය.


මාර්ග අංක 112 බස්‌ රථ කොළඹින් පිටවීමේදී ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ පැමිණ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදියෙන් වමට හරවා, ඩික්‌මන් පාර ඔස්‌සේ ගොස්‌ හැව්ලොක්‌ පාර ඩික්‌මන් පාර හංදියෙන් දකුණට හරවා හැව්ලොක්‌ පාර ඔස්‌සේ ධාවනය කළ හැකිය.


06. ගාලු පාර ඩික්‌මන් පාර හංදියේ සිට වැල්ලවත්ත දෙසට ධාවනය කිරීම ද්විත්ම දිශාවට සිදුකෙරෙන අතර ද කෙස්‌ටර් පෙදෙස, නන්දන උද්‍යානය සහ ලෝරන්ස්‌ පාර ඔස්‌සේ පමණක්‌ ඩුප්ලිකේෂන් පාරට ඇතුල්විය හැකිය.


07. ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය සිට වැල්ලවත්ත දෙසට ධාවනය කිරීමද ද්විත්ව දිශාවට සිදුකෙරෙන අතර හිල්ඩන් පෙදෙස, මැක්‌ලියස්‌ පාර, ලෝරන්ස්‌ පාර ඔස්‌සේ පමණක්‌ ගාලු පාරට ඇතුල්විය හැකිය.


08. ලෝරන්ස්‌ පාරෙහි රථවාහන ද්විත්ව දිශාවට ධාවනය කරවනු ලබයි.


09. තුම්මුල්ල හංදිය සිට බෞද්ධාලෝක මාවත ඔස්‌සේ පැමිණ වමට හරවා ඩුප්ලිකේෂන් පාර ඔස්‌සේ වැල්ලවත්ත දෙසට ධාවනය කිරීම සහ ඩුප්ලිකේෂන් පාර හරහා ධාවනය කර බම්බලපිටිය හංදියෙන් දකුණට හරවා කොල්ලුපිටිය දෙසට ධාවනය කිරීම සිදු කළ හැකිය. ඩුප්ලිකේෂන් පාර බෞද්ධාලෝක මාවත හංදියෙහි සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය මෙතෙක්‌ පැවති පරිදි සිදුවේ.


10. ඩුප්ලිකේෂන් පාර ලෝරන්ස්‌ පාර හංදියේදී ලෝරන්ස්‌ පාරෙහි ද්විත්ව දිශාවට සහ ඩුප්ලිකේෂන් පාරෙහි ද්විත්ව දිශාවට එකිනෙක මාර්ගයන් හරහා ද රථවාහන ගමනාගමනය සිදුවේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-22

සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

(2011 ජුලි 22, W3Lankaසොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් කිලෝ ග්රෑම් දෙලක්ෂ අනුහයදහසක තොගයක් විනාශ කිරීමට පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පියවර ගෙන ඇත.


කන්ටේනර් හතරක බහා තිබූ මේ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් ප්‍රමාණය බෙල්ජියම රටෙන් ගෙන්වා ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතරම් ආහාර තොගයක් එක්වර විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද, මේ කල් ඉකුත් වූ ආහාර තොගය දින දෙකක් පුරා විනාශ කළ බව ද, පිටරටින් ආහාර ගෙන්වා ඒවා වරායෙන් හෝ ගබඩාවලින් මුදා හැරීමේදී අදාළ නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවැසු බව පුවත්පත් වාර්තා කළේ ය.


පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම පන්නල මාකඳුර කර්මාන්තපුරයේ නිෂ්පාදන ඇසුරුම් ආයතනයේදී ම සිදුකර තිබේ.


පසුගිය පෙබරවාරියේදී ද පන්නල සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී කල් ඉකුත් වූ මස් අත් අඩංගුවට ගැනිණි. ඒ පිළිබඳ වාර්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී.


අපි අන්තර්ජාලය ඔස්සේ මෙම සොසේජස් කම්හලේ නම සෙව්වෙමු. මාධ්‍ය විසින් එය වාර්තා කර නො තිබිණි.  


පහත සඳහන් සම්බන්ධතා පුරුක ඔස්සේ අපට පන්නල පිහිටි මස් සැකසීමේ කම්හලක නම ලැබිණි. 


එය D; W Food Production (Pvt) Ltd.-Meat processing Plant -Pannala නම් වේ.


එම සමාගමේ වෙබ් අඩවිය මෙසේ ය:: http://dandwfood.com/


එහි සඳහන් ආකාරයට එම සමාගමේ වෙළඳ නාමය Malika ය. තමන්ගේ ම වෙළඳ නාමයක් තිබුණත් වෙනත් වෙළඳ නම් වෙනුවෙන් ද නිෂ්පාදන කරන බව සමාගම පවසයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

(2011 ජුලි 22, W3Lankaලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි.


ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි.


මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි.


යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන.


වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය:


"වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය."


මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස් හිමියෙක් හා කලින් රියදුරෙකු ද නිසා ඔහු මේ කාරණා ගැන හොඳින් සන්නවා ඇත. ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ දකුණු පළාතේ මර්වින් සිල්වා භූමිකාව රඟන්නට ය. ඒ සඳහා අවශ්‍ය ශරීරය හා මොළයේ ප්‍රමාණට ඔහුට තිබේ. නැත්තේ ආචාර්ය උපාධිය පමණි.


ඒ ටිකත් සම්පූර්ණ කරන්නට ඕනෑ නම් වැල්ලමඩම මධ්‍ය මහා විද්‍යාලයට පුළුවන.


අපට ඇති ප්‍රශ්නය මෙයයි: "මේකත් රටක් ද මර්තේලිස්?"

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-07-21

මදුරුවන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම / Sri Lanka implements death penalty through mosquitoes

පාලකයන්ගේ ඩෙංගු ප්‍රාර්ථනාව
(2011 ජුලි 21, W3Lankaලංකාවේ බන්ධනාගාරවල පවතින නීති රෙගුලාසි අනුව සිරකරුවන්ට මදුරු දැල් හෝ මදුරු ‍දඟර පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැත.


අලුත් ම වාර්තා පවසන්නේ මේ වන විට වැලිකඩ සිරගෙදර ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවකින බවයි. මරණ දඬුවම් නියම වීමෙන්, පසු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවකු හා වසර 15ක සිරදඬුවම් නියම වූ ගාල්ල ප්‍රදේශයේ සිරකරුවකු මෙසේ මිය ගොස් තිබේ. තවත් අයටත් ඩෙංගු වැළඳී ඇති අතර, විශාල පිරිසක් ඩෙංගු අවදානම මැද ජීවත් වෙති.


ලංකාවේ සිරකරුවන් යනු කිසිදු මානව හිමිකමක් නොමැති පිරිසක තත්වයට පත් වී සිටිති.


පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිතරණයේදී හෙළි වූයේ ගංජා මිටි කීපයක් ළඟ තබාගෙන සිටීම නිසා අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් වසර තුනක පමණ කාලයක් දඬුවම් කිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ සිට ඇති බවයි. ඔවුන් හැට වතාවක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති මුත් නීතිඥයන් ඉදිරිපත් කිරීමට මුදල් නොමැති වීම නිසා ඔවුන්ට ඇප ලබා දීමට විනිසුරුවරු කටයුතු කර නැත.


ලංකාවේ නීතිය ඉදිරියේ දුප්පතුන් අන්ත අසරණ වන අන්දම පිළිබඳ මීට වඩා තවත් සාක්කි කුමට ද?


පසුගිය දිනවල වවුනියා අධිකරණයේ ඇති වූ උපවාසයට හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන් නඩු පැවරීමකික් තොරව ඔහේ දිගින් දිගට ම සිරභාරයේ තබා ගැනීමයි. රජය චෝදනා කරන පරිදි ඔවුන් ත්‍රස්ත ක්‍රියාවල නියැලුණා නම්, චෝදනාලට අදාළව සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ මානව හිමිකමක් මේ මිනිසුන්ට තිබේ. එසේ ම, කේ.පී. කරුණා, පිල්ලෙයාන් වැනි ත්‍රස්ත නායකයන්ට හිමි වී ඇති මුක්තිය ලබා ගැනීමට ඔවුන්ට ද හැකි විය යුතු ය.


දීර්ඝ කාලීන සිර දඬුවම් නියම වූවන්ට යම් කාලයක් යහපත් කල්ක්‍රියාවෙන් සිටි පසු බලපත්‍ර ක්‍රමයක් යට‍තේ නිදහස් වීම සඳහා කලක් තිස්සේ ක්‍රියාත්මක වූ ක්‍රමවේදය ද මේ වන විට ආණ්ඩුව අත්හිටුවා තිබේ.


රජය මේ සියල්ල ම කරන්නේ සිරේ සිටිය යුතු අපරාධකරුවන් විශාල පිරිසක් ආරක්ෂා කරන ගමන් ය.


රජය මහජන මුදලින් අනතුරුදායක ව්‍යාපාර කරන, පාඩු මහජනයා පිට ම පටවන දැවැන්ත සමාගමක් පමණක් ලෙස නො ව, පීඩිතයන් පෙළන පාතාලයක් ලෙස ද ක්‍රියාත්මක වේ නම් එය අතිශය භයානක තත්වයකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය / Sri Lanka should immediately stop following China

(2011 ජුලි 21, W3Lankaමේ සටහන තබන්නේ ආණ්ඩුව ගැන ඇති වූ බිය නිසා ය. මේ බිය ඇති වූයේ අද දිවයින පුවත්පතේ පළ වූ පුවතක් කියවීමෙනි.


ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය. එසේ කළ යුතු යයි අප කියන්නේ අපේ දේශප්‍රේමී නායකයන්ගේ ආරක්ෂාවට ය. එපමණක් නොව චීනය මානව හිමිකම් කඩ කරන, මරණ දඬුනම ක්‍රියාත්මක කරන ජරා රටක් බවට ප්‍රචාරයක් ආගිය කතා ලියන මහින්ද අබේසුන්දර හරහා වහා ආරම්භ කළ යුතු ය.


එසේ ම, ලංකාවේ මරණ දඬුවම වහා අහෝසි කළ යුතු ය. මින් ඉදිරියට කිසි ම විනිසුරුවෙකුට මරණ දඬුවම නියම කිරීමේ බලයක් හිමි නො වන පරිදි නීති සංශෝධනය කළ යුතු ය.


ඒ ගැන කවුරුවත් අප්සෙට් විය යුතු නැත. අයින් කළ යුතු අය ඉන්නවා නම් අයින් කරන්නට ක්‍රම සහ විධි ඕනෑ තරම් ඇත. ඒවා ගැන ලංකාවේ අපි විශාරද ය.


අප බිය පත් කළ පුවත පහත පළ වේ. මෙවැනි බිය ජනක පුවත් ලංකාවේ පුවත්පත්වල පළ කිරීම ද තහනම් කළ යුතු ය.


දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ.


හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් කොන්ත්‍රාත් හා ඉඩම් ලබාදීමේදී ඩොලර් මිලියන ගණන් අල්ලස්‌ ලබා ගත් බවට වූ චෝදනා ඔප්පු වූ නිසාය.හොංෂු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සුමයියොං ඇමරිකානු ඩොලර් මිලියන 31 ක්‌ අල්ලස්‌ ලබා ගත් බව හෙළි වී තිබේ.


සුෂු නියෝජ්‍ය නගරාධිපති ජියාන් රෙන්ජි ඩොලර් මිලියන දාහතක්‌ පමණ අල්ලස්‌ ලබාගත් බව හෙළි වී ඇත.


අල්ලස්‌ ලබාගැනීම චීනයේ මරණ දඬුවම ලබාදෙන ප්‍රධාන වරදක්‌ වන අතර චීන ජනාධිපති හියු ජින්තාවෝ පසුගියදා පැවසුවේ දූෂණ හා වංචා නිසා මහජනතාව චීන රජය පිළිබඳ ඇති විශ්වාසයට හානි පැමිණෙමින් තිබෙන බවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න