2011-09-30

ජවිපෙ සම්මේලන තරගකාරිත්වය / Congressional competition of JVP

ජනතා විමුක්ති පෙරමුණ සම්මේලන තබන්නට සැරසෙයි. 


සම්මේලන පවත්වන්නේ එකක් නොව දෙකක් ය. එකක් සෝමවංශ පිලෙනි. අනෙක ප්‍රේමකුමාර පිලෙනි. 


සම්මේලනයට කැඳවන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බව සෝමවංශ අමරසිංහ පිලේ ලාල් කාන්ත පවසයි. 


ප්‍රශ්නය කිබෙන්නේ මෙකැන ය. කොච්චර පෝස්ටර් ගැහුවත්, පෙළපාලි ගියත්, රැස්වීම් බැලුවත්, ඡන්දෙ දුන්නත් ජවිපෙ සාමාජිකයා යනු කවුරුද යන්න තීරණය කරන්නේ පක්ෂයේ නායකයෝ ය. ඒ නායකයන්ගෙන් ම කොටසක් දැන් සාමාජිකයන් නො වන බව තව නායකයෝ කියති. නිදසුනක් ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සාමාජිකයකු නො වන බව සෝමවංශ අමරසිංහ පවසා ඇත. 


ජවිපෙ විසින් පවත්වන ලද එක් පක්ෂ සම්මේලනයක වේදිකා පසුතලය සැකසූ පක්ෂ පූර්ණකාලිකයා පවා එකී සම්මේලනයට කැඳවා නො තිබිණි. වසර ගණනක් පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කර සිරබත් ද කෑ ඔහු වේදිකා පසුතලය සකසා ශාලාවෙන් දොට්ට බැස නිහඬව ම යන්නට ගියේ ය. 


මෙතෙක් කල් නම් ජවිපෙ සම්මේලන යනු ඒකාධිපති මිලිටරි සංවිධානයක මල් වෙඩි සංදර්ශන පමණක් විය. සමාජවාදී පක්ෂ සම්මේලනයක තිබිය යුතු සම්ප්‍රදායන් වෙනුවට ඒවායේ තිබුණේ රතු කමිස ඇඳ ගත් අඳ බාල සාමාජිකයන් පිරිසක් වේදිකාවේ සිට යකඩ කටින් දොඩන වහසි බස්වලට ප්‍රීති ඝෝෂා කරන විකට ජවනිකා ය.


ජනතා විමුක්ති පෙරමුණ මුල් ම ගේම ගහන්නේ අවංක ම සාමාජිකයාට ය. ඔහුගේ (ඇයගේ යයි කීමට තරම් ස්ත්‍රීන් සංඛ්‍යාවක් ජවිපෙ නැත.) අවංකකම සම්ප්‍රදායික වාමාංශිකයන් සලකන්නේ මෝඩකමක් ලෙසයි. 


පක්ෂ සාමාජිකත්වය ඔප්පු කිරීම සඳහා කිසිදු විධිමත් නිල ලේඛනයක් ජවිපෙ සාමාජිකයන්ට නැත. 


පක්ෂයේ නෛතික අයිතිය ඇති සෝමවංශ අමරසිංහ කණ්ඩායමට කීමට ඇත්තේ මොහු අපගේ සාමාජිකයකු නො වේ යන වචන කීපය පමණි. අවශ්‍ය නම් සාමාජික ලේඛන හදන්නට ද මකන්නට ද ඔවුන්ට පුළුවන. 


තමන් ද පක්ෂ සම්මේලනයක් පවත්වන බව ද, නියම ජවිපෙ සාමාජිකයන් යන්නේ කුමන සම්මේලනයට ද කියා එවිට ජනතාවට දැක ගත හැකි වනු ඇති බව ද පුබුදු ජයගොඩ පවසයි. 


එහෙම එකක් වන්නේ නැත. දෙකට ම රැවුල් වැවූ, කැපූ රතු කම්සකාරයෝ ද වෙනත් අය ද යනු ජනතාව දකිනු ඇත. මූ සාමාජිකයා ය, නො වේ ය කියා එකිනෙකාට චෝදනා කර ගන්නට දෙපාර්ශවයට පුළුවන. ඒවායින් රටට ඇති වැඩක් නැත. 


අපට පෙනෙන පරිදි සම්මේලනයක් ඔස්සේ ජවිපෙ නමට උරුම කියන්නට ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වයට බැරි ය. බක්ෂ යන්ත්‍රය තුළ කොතරම් ශක්තිමත් වුණත්, ඔවුන් නෛතික වශයෙන් දුබල ය. එයට හේතුව ඔවුන් මෙතෙක් පක්ෂය තුළ කටයුතු කර ඇත්තේ අවංක මෝඩකම සහ හෘදය සාක්ෂිය පරමාදර්ශය කරගෙන හෙයිනි. පක්ෂයෙන් පිටට නම් ඔවුන් ද පසුගිය කාලයේ කර ඇත්තේ ගේම් ගැසීමයි. මේ ගේම්වලට ඔවුන් මෙතෙක් නම් කීවේ පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම් ය කියා ය. 


තමන්ගේ ම අතීතය ගැන ප්‍රශ්න කිරීමට සූදානමක් ඔවුන් තුළ දක්නට ලැබීම සාධනීය ලක්ෂණයකි. පසුගියදා පැවති සම්මන්ත්‍රණයේදී පුබුදු ජයගොඩ පැවැත්වූ කතාව සංවාදයට භාජනය කළ යුතු ය. 


මේ පෙබරවාරියේ පැවති ජවිපෙ හයවන සමුළුවේදී තෝරා ගන්නා ලද මධ්‍යම කාරක සභාවයි



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-29

අම්මප මේ ඇමරිකන් කුමන්ත්‍රණ තමයි කුමන්ත්‍රණ

අද The Island පුවත්පතට ජවිපෙ හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රී ලාල් කාන්ත පවසා ඇති පරිදි පක්ෂ කැරළිකරුවන් ලෙස ඔවුන් හඳුන්වන, එහෙත් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන බව අපගේ නිරීක්ෂන අනුව පෙනෙන කණ්ඩායම පිටුපස විදේශ බලවේග රැසක් තිබේ.


ලාල් කාන්ත කියන පරිදි ඒවා රෝ හා සී.අයි.ඒ. ය. ආණ්ඩුව ද මේ පිටුපස සිටින්නට පුළුවන් බව ඔහු කියයි. 


දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ලාල් කාන්ත පවසයි. 


ලේඛකයා ජවිපෙ පූර්ණකාලීනව වැඩ කළ ඈත සමයක දිනක් ඔහු සිය බයිසිකලයෙන් පක්ෂ සාමාජිකයකු හමු වන්නට ගියේ ය. ඔහු කාමරයේ නිදියන බව ඔහුගේ මව ලේඛකයාට පැවසී ය. ඔහු කාමරයට ගියේ ය. කාමරයට ඇතුළු වන විට ම පක්ෂ සහෝදරයා 'ෂ්!' කියා ඔහු නිහඬ කළේ ය. සාමාජිකයා සිටියේ බියපත්ව ය. 


එවකට ජවිපෙ තහනම් පක්ෂයක් වූ බැවින් කිසියම් අනතුරක් ඇද්දැයි ලේඛකයාට ද බියක් ඇති විය. 


පක්ෂ සාමාජිකයා අසල නිවෙසක සවි කර තිබූ රූපවාහිනී ඇන්ටෙනාවක් පෙන්වමින් කීවේ එය සවි කර ඇත්තේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමට බවයි. මේ පිළිබඳ කුහුලක් ඇති වූ ලේඛකයා ඔත්තු බලන්නේ කවුරුන්දැයි විමසී ය. 


පක්ෂ සාමාජිකයාගේ පිළිතුර වූයේ පක්ෂය ඔහු ගැන ඔත්තු බලන බවයි. ඒ දිනවල එම ප්‍රදේශයේ පක්ෂ සංවිධායකයා වූයේ ලේඛකයායි. ඒ කා‍ලයේ සන්නද්ධ අංශයක් ද නො තිබූ අතර පක්ෂය තිබුණේ අන්තිම දුර්වල අඩියක ය. එය සාමාජිකයන් ගැන ඔත්තු බැලීම කෙසේ වෙතත් කෑම වේලක් සොයා ගැනීම ද දුෂ්කර වූ සමයක් විය. මේ හුටපටය නිසා ලේඛකයාට ද එදා වෙනදා මේ සහෝදරයාගේ නිවසින් ලැබෙන බත් පත අහිමි විය. 


මානසිකව ගිලන් වී සිටි පක්ෂ සාමාජිකයා කීවේ ඔහු සී.අයි.ඒ.කාරයකු යයි පක්ෂය සිතන බවත් ඇත්තෙන් ම ඔහු සී.අයි.ඒ.කාරයකු නොව ජර්මන්කාරයකු බවයි. 


මේ හතර බීරි කතාවේ තේරුම එදා ලේඛකයාට තේරුම් ගන්නට හැකි වූයේ පක්ෂ සහෝදරයාගේ මව 'මූ පක්ෂෙ අධ්‍යාපන කඳවුරක්ද මොකක්ද එකකට ගිහින් එහෙදී පෙති බීල නැහැ, මහත්තයා' යි කී පසු ය. 


මේ පක්ෂ සහෝදරයා ලාල් කාන්ත නො වේ. එහෙත්, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂවල ඉන්න සෑහෙන  පිරිසකට ඉහත පක්ෂ සහෝදරයාට ඇති අසනීපය අඩු වැඩි වශයෙන් තිබේ. 


මෑතදී මළ ගෙදරකදී ලේඛකයාට හමු වූ ඔහුගේ පැරණි මිතුරකු ද හැම දෙයක් පිටුපස ම ඇමරිකන් තුමන්ත්‍රණයක් දකින්නෙකි. තද සිංහල ජාතිකවාදියෙකි. ඔහුගේ තර්ක ද විධිමත් ය. 


ඇමරිකාව කුමන්ත්‍රණ නො කරන බවට සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. ලේඛකයාට නම් එහෙම උවමනාවක් ද නැත. එහෙයින් ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කරන තර්කවලට ප්‍රති තර්ක කරන්නට ලේඛකයා කිසි විටෙක නො පෙළඹේ. 


එහෙත්, හැම රෙද්දක් පල්ලේ ම ඇමරිකන් කුමන්ත්‍රණ දැකීම ලේඛකයාට නම් අමුතු මනෝභාවයකි. 


ලේඛකයා කලක් එක් විකල්ප පුවත්පතක කතුකමක් කරන බව සිතා සිටියේ ය. ඇත්තෙන් ම නම් වූයේ ලේඛකයාට නමට එම තනතුර දී එම පුවත්පත පළ කළ වාමාංශික කණ්ඩායමේ 'ලොක්කා' ඔහුව අල්ලේ නටවන්නට උත්සාහ කිරීමයි. ඒවා ඉතින් පස්සේ කතා කළ යුතු වෙන කතා ය. 


සුනාමිය ආ සමයේ මේ කණ්ඩායමේ ලොක්කා කරුණු සහිතව මැනැවින් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ඇමරිකාව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ලංකාවට සිදු වන විපත කල් තබා දැනගෙන ඒ පිළිබඳව ලංකාවට නො දැන්වූ බවයි. ඒ කාලයේ ම ඇමරිකන් හමුදාව ලංකාවට පැමිණි අතර ඔවුන් සුනාමිය දඩ මීමා කරගෙන සිය මිලිටරි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බව පුවත්පතේ තර්කය විය. ඒ දවස්වල අප සිතා සිටියේ ඇමරිකන් හමුදාව ආපසු නො යනු ඇතැයි කියා ය. 


ඇත්තෙන් ම ඇමරිකාව යනු තිබෙන දෙයට වඩා ප්‍රබන්ධයකැයි ලේඛකයාට දැන් සිතේ. මේ ප්‍රබන්ධ ඇමරිකාව නොමැතිව ලෝකයේ ම වාමාංශිකයන්ට හා ජාතිවාදීන්ට පැවැත්මක් නැතැයි ලේඛකයාට සිතේ. 


ඇමරිකාව මෙන් ම ඇමරිකාව ප්‍රබන්ධ කිරීම ද කුමන්ත්‍රණයකි. නිතර යෙදෙන කුමන්ත්‍රණය යන දේශපාලන සංකල්පය ද ප්‍රබන්ධයකි. 


අපි ප්‍රබන්ධ ලෝකයක ජීවත් වන මිනිස්සු වෙමු. අපට එම ප්‍රබන්ධය නඩත්තු කර ගැනීමට කුමන්ත්‍රණ අවශ්‍ය ය. ලෝකය තේරුම් ගත හැකි තරම් සරළ වුණොත් මාර ප්‍රශ්නයකි. මන්ද, අපේ ප්‍රබන්ධ ලෝකය එයින් කඩා වැටේ. 


ලේඛකයා ශාස්තෲ නමින් නවකතා පොතක් ලියා උත්සාහ කළේ මේ මනෝභාවය පිළිබඳ සංවාදයක් ඇති කරන්නට ය. එහෙත්, එය අන්තිම අසාර්ථක ප්‍රයත්නයක් විය. වාමාංශිකයන්ට එය තේරුම් ගන්නට බැරි විය. 


එහෙත්, මේ විකෘතිවලට පිටින් මිනිස් සාරයක් ඇතැයි ද එය අප විසින් සොයා යා යුතුව ඇති වම යයි ද ලේඛකයා සිතයි. 


දැන් ඇතැම් විට පිස්සු ඔහුට ම ද කියා සැකයක් ද ලේඛකයාට විටෙක ඇති වේ. 


ඒකත් ඇමරිකන් කුමන්ත්‍රණයක් ද දන්නේ නැත. 
ඇඩ් එකකි
කියවන්න ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-28

නවීන විවාහ චාරිත්‍ර හා සංස්කෘතිය පිළිබඳ රූපමය නිදර්ශනයක්

මේ සංස්කෘතිය කුමක්ද?
අපි උඩරට නිලමේ ඇඳුම් අඳිමු. බටහිර චාරිත්‍ර හිස් මුදුනින් වන්දනා කරමින් ඒවා විකෘති කරමින් දන්නා දෙය වූ 'නාගසලං' ගසමින් චොකා බයිලා නටමු.


මේ අපේ සංස්කෘතියයි. අති විශිෂ්ටයි. ආශ්චර්යජනකයි.


අප අද පරමාදර්ශ කරගෙන සිටින මහජන මුදලින් ධනවත් වූ පැළැන්තියේ මංගල උත්සවයක අනර්ඝ ඡායාරූප එකතුවක් මෙම සබඳතා පුරුක ඔස්සේ ඔබට නැරඹිය හැකි ය.


හෙට තවත් බොහෝ දෙනෙකුගේ විවාහ මංගල්‍ය පැවැත්වෙනු ඇත්තේ මේවා අනුකරණය කරමිනි.


අපි යන්නේ කොහිද? මල්ලේ පොල් ය.


අහෝ දුකකි! ඉරකි; තිතකි.


මෙන්න පුරුක

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?

පිකටිංවලට ඩිජිටල් බැනර්
පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ.


පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ.


ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය.


රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ.


‍පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත.


පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය.


නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල් මුද්‍රිත බැනර්, කටවුට් ආදිය වෙත යොමු වී තිබේ. අවමංගල්‍ය නිවසකට ගොස් එහි ගසා ඇති බැනර් තොගය දෙස බලන්න. පාසලකට ගොස් එහි ඇති ඩිජිටල් ප්‍රින්ටින් ප්‍රමාණය දෙස බලන්න. දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර නිරීක්ෂණය කරන්න. මෙතුළ හුදු පොලිතින් ඉක්මවා ගිය කරුණු කාරණා රැසක් තිබේ. රස වින්දනයේ, රුචිකත්වයන්ගේ විපර්යාස ද ඒ තුළ අඩංගු වේ. 


පොලිතින් ප්‍රශ්නය අප සිතනවාට වඩා ගැඹුරු එකකි. අද කාලයේ විද්‍යාර්ථීන් මෙවැනි ප්‍රශ්න කෙරෙහි ගැඹුරු අවධානය යොමු කර ඒවායේ සමාජ විද්‍යාත්මක පැතිකඩ ගැන පර්යේෂණ කළ යුතු ය.


ඔබේ නිරීක්ෂණ මෙහි සටහන් කරන්න.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-27

විජයානිගෙ ආදරේ කුමාර මහත්තයාට සුබ ද? අසුබ ද? / Sri Lanka state-owned Dinamina in love with JVP rebels

ආරක්ෂක අංශ සමග එක්ව වාමාංශිකයන්ට පරිප්පු ඉවීම රස්සාව කරගෙන සිටි දිනමිණේ විජයානි නෝනා ජවිපෙ ප්‍රේමකුමාර් ගුණරත්නම් පාර්ශ්වයට සෙනෙහෙවන්ත වීම තරමක් ප්‍රශ්නකාරී තත්වයකි. 


පෙනෙන හැටියට නම්, මේ ආදරය ගොඩනැ‍ඟෙන්නේ ජවිපෙ සෝමවංශ කණ්ඩායම එජාපය, දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් සමග එක්ව ආණ්ඩු පෙරළියකට කටයුතු කළ නිසා වන්නට පුළුවන. 


ජවිපෙන් මතු වූ සභාග විරෝධයට ආණ්ඩුව සහාය දක්වන්නට හේතුව එය විය හැකි ය. පහත පළ වන්නේ ජවිපෙ අර්බුදය ගැන විජයානි නෝනාගේ ලිපි එකතුවයි. ඇය මුලින් කුමාර මහත්තයාගේ නමවත් හරියට දැන සිටියේ නැති වුණාට දැන් කුමාර මහත්තයාගේ පාර්ශවය පවත්වන රැස්වීම්වලට පවා සහභාගි වන බව පෙනේ. 


ජවිපෙ මූලස්ථානයේ බලය ගන්න යුද්ධයක්




ආණ්ඩුවට එරෙහි ජවිපෙ මඩ මෙහෙයුම් කඩාවැටෙයි




ජවිපේ නායකයන්ට ඉවත් වන්නැයි ප්‍රේමකුමාරගෙන් රතු එළියක්




ජවිපෙ මූලස්ථානයේ සේවය කළ සාමාජිකයෝ 30ක් නෙරපා හැරෙති



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-26

මහ ඇමතිවරුන්ගේ නො වැදගත් මහා සමුළුව / The not significan Chief Ministers' conference

පසුගිය දිනවල අති විශාල මහජන මුදල් වියදමක් කරමින් මහ ඇමති සමුළුවක් ඇඹිලිපිටියේදී පැවැත්විණි. ලේඛකයා නිදහස් මාධ්‍යකරුවකු ලෙස ප්‍රවෘත්ති සපයන එක් ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට මෙම සමුළුව පිළිබඳ වාර්තාවක් යොමු කළේ ය. රජයට පක්ෂපාතී එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබුණේ එය නො වැදගත් සිද්ධියක් බවට සටහනක් තබමිනි. (Not a significant event)


බලාගෙන ගියාම ඇත්ත ය. මේ සමුළුවේදී ගෙන තිබෙන වැදගත් ම තීරණය දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය: ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට සියලුම පළාත් සභා ප්‍රධාන ඇමැතිවරු තීරණය කරති.


ඉඩම් බලතල හා පොලිස් බලතල පිළිබඳ මධ්‍යම රජය සමඟ පළාත් සභාවලට කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රධාන ඇමැතිවරු අවධාරණය කරන බව ද දිනමිණේ තවත් පුවතක කියැවේ. ප්‍රශ්න කොයින් ද? පිඟන් බි‍ඳෙන්නේ පිඟන් හෝදන අය අතින් නොවැ.


2008දී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශනයට විසඳුම් ලෙස ගෙන එන ලද පළාත් සභා ක්‍රමය අද පත් වී ඇති තත්වය කදිමට ප්‍රකාශ කරන අවස්ථාවකි, මහ ඇමති සමුළුව. අද ඵළාත් සභා කරන ප්‍රධාන කාර්යය මේ මහ ඇමති සමුළුව පැවැත්වීම වන්නට පුළුවන.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-24

ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක් / An unbiased observation on JVP crisis

ජවිපෙ අර්බුදය ගැන අප මීට පෙර තබන ලද සටහන ජවිපෙන් බිඳුණු වාම කණ්ඩායමට පක්ෂපාතී එකකි. එවැනි සටහනකින් පසු අපක්ෂපාතී සටහනක් ලිවීම සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය. 


ජවිපෙ අර්බුදය මේ වන විට ඇත්තේ බිඳුණු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන අවධියකයි. එහිදී කණ්ඩායම් දෙක ම තමන්ට අනවශ්‍ය පුද්ගලයන් අනෙක් පැත්තට තල්ලු කරමින්, දිනා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අර්බුදයේ තමන්ගේ විග්‍රහය පැහැදිලි කරමින් සිටියි. 


මෙම අවධියේ යම් දුරකට පසු ඔවුන් සිය සංවිධාන ප්‍රසිද්ධ කරනු ඇත. පක්ෂ දේපල සඳහා ඇති සටන හුදු දේපල අයිතියෙන් ඈතට විහිදෙන්නකි. විශේෂයෙන් ම පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණු ඉදිරියට යාමේදී වැදගත් බැවින් දෙපක්ෂය සෑහෙන්න එයට ගැටෙනු ඇත. එය වැළැක්විය නො හැකි ය. 


අපට පෙනෙන අන්දමින් නම්, පක්ෂ අභ්‍යන්තර තත්වය කුමක් වුවත්, මතුපිට තලයේ නම් තවමත් ප්‍රබල වන්නේ පක්ෂයේ නිල නායකත්වය වන සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්වලදී ප්‍රබල පිරිස මතුපිටින් හැසිරෙන්නේ ඉතා මානුෂික ස්වරූපයක් පෙන්වමිනි. එහෙත් යටි තලය අතිශය කෲර ය. කුමන්ත්‍රණකාරී ය. ප්‍රචණ්ඩ ය. 


දුබල කණ්ඩායම සාමාන්‍යයෙන් ම සදාචාරාත්මක වන්නට උත්සාහ කරන මුත් ප්‍රබලයන්ගේ දුෂ්ට ක්‍රියාවන්ට ප්‍රතිචාර නො දක්වා සිටීම ඔවුන්ට පහසු නැත. එහෙයින් කවුරු මොනවා කීවත් මෙවැනි ගැටුම්වලදී සදාචාරවත් දේශපාලනයක් නැත. 


ප්‍රබලයෝ විශාල අවලාද මාලාවක් දුබලයන් මත මුදා හරිති. මේ අවලාද සාමාන්‍යයෙන් නම් 'මුන් ආණ්ඩුව සමග සම්බන්ධයි', 'මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්', 'පක්ෂයෙන් කැඩුණු අහවලුන් මේ පිටුපස ඉන්නවා', 'මේක දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක්' හා සිංහල ජාතිවාදීන් අතර නම් 'මේක කොටින්ගේ වැඩක්' යයි කීම ආදිය ඒ අතර වේ. 


නිදසුනක් ලෙස ජවිපෙ එක් පිලකට නායකත්වය දෙන බව කියන කුමාර මහත්තයා හමුදාව විසින් ජවිපෙ තුළ පැළ කරන ලද අයෙකු ය කියා ද දැන් අවලාද නඟනු අසන්නට ලැබේ. පසුගිය විසි වසරක් තිස්සේ ඔහු සමග එකට වැඩ කරද්දී මේ ප්‍රශ්නය මතු නො වීම හාස්‍යජනක ය. 


එහෙත්, ජවිපෙ පමණක් නො ව සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම සිටින්නේ බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන මිනිසුන් නිසා කන්න ඔනෑ නම් ඔනෑ කබරගොයකු තලගොයකු කර දීමට පුළුවන. 


කුමාර මහත්තයාගේ කණ්ඩායම තම නායකයාට මරණීය තර්ජන ඇති බව කීම ද මෙවැනි ම කරුණකි. කුමාර මහත්තයා වැනි ඉතිහාසයක් ඇති තව බොහෝ අය ජවිපෙ මෙන් ම වෙනත් වාමාංශික කණ්ඩායම්වල ද සිටිති. ඔහුගේ පැටිගිරිය ආරක්ෂක අංශ ඕනෑවටත් වඩා දන්නා අතර ඔහු‍ට මෙතෙක් නො තිබුණු තර්ජනයක් දැන් ඇතැයි අපි නම් නො සිතමු. 


ධනේශ්වර ක්‍රමය සමග නො ගැලවිය හැකි අන්දමින් ගැඹුරින් ම බැඳී සිටින ජවිපෙ තම නායකයන් පිරිසක් අප්‍රකටව තබා ගත්තේ ඇයි ද යන්න වෙන ම සලකා බැලිය යුතු ය. ඒ වනාහි ක්‍රම විරෝධී වාමාංශික විප්ලවවාදී අදහස් නිසා පක්ෂය‍ වෙනුවෙන් ජීවිතය දී සිටින, පක්ෂයේ ශක්තිය වන සාමාජිකයා රැවටීම පිණිස නායකත්වය පාවිච්චි කළ උපායක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ ම, ඇතැම් පුද්ගලයෝ ගුප්ත ජීවිත ගත කිරීමෙන් මානසික වින්දනයක් ලබති. අන්තර්ජාලයේ විවිධ නම්වලින් සැරිසරන ටැබූ සබ්ජෙක්ට් වැනි අය තුළ ද ඇත්තේ මේ හා සමාන මනෝභාවයකි. 


කිසිදු උන්නතිකාමයක් නැති පුද්ගලයන්‍ ලෙස පෙනී සිටිය ද මොවුහු අධික බල තෘෂ්ණාවකින් පෙළෙන්නෝ ය. 


දේශපාලන ව්‍යාපාර වනාහි මෙවැනි විවිධ මිනිස් විභවයන් යම් අරමුණක් වෙනුවෙන් නාභිගත කිරීමේ විභවයකි. 


වාමාංශිකයන් යනු මනුෂ්‍යත්වයට වඩා පක්ෂය උසස් කර සලකන පිරිසකි. එක පවුලේ සැමියා - බිරිඳ, පෙම්වතා ‍-පෙම්වතිය, සහෝදර ‍සහෝදරියන් හා කලණ මිතුරන් පක්ෂ අර්බුද තුළ සිදු වන පිල් බෙදීම් හමුවේ මනුෂ්‍යත්වයට නිගා දෙන අන්දමින් හැසිරීම සාමාන්‍ය දෙයකි. ඊයේ රෑ එක බත් පත බෙදා හදාගෙන කෑ මිනිසා මරාජ දැමීමේ චේතනාවක් අද උදේ ඇති කර ගැනීමට වාමාංශිකයාට පුළුවන. ආයුධ අත නැති වීම දකුණේ වාමාංශිකයන් උතුරේ 'වාමාංශිකයන්'ගෙන් වෙනස් වන එක ම සාධකයයි. 


වාමාංශිකයාට වීරයා හා ද්‍රෝහියා අතර ඇත්තේ කෙස් ගසක ඝනකම වැනි දුරකි. ඒ කෙස් ගස පැන්න ගමන් වීරයෝ ක්ෂණිකව ද්‍රෝහියෝ වෙති. ලේඛකයා අරාජිකවාදියකු බවට පත් වුණේ මෙවැනි බිඳී යාම් සමග ලැබූ අත්දැකීම් නිසා ය. පසු අවස්ථාවක ඔහුගේ අත්දැකීම් සටහන් කිරීමට ලේඛකයා කැමති ය. 


සෝමවංශ අමරසිංහගේ නායකත්වයට පක්ෂපාතී පිරිස් විසින් අප වෙත කරන ලද පැහැදිලි කිරීම් අතර ඇති එකඟ විය හැකි කරුණු ඇත. එනම්, අප ප්‍රභූන් ලෙස අර්ථ දක්වන ලද කොටස් හා කුමාර මහත්තයා වැනි අය අතර ජීවන විලාසිතාව සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් නැත. ඇතැම් විට ඔහු තරම් ධනේශ්වර ජීවන විලාසිතාවන්හි ගොදුරු බවට පත් නො වූ අය අප ප්‍රභූන් ලෙස හඳුන්වන ලද අය අතර වෙති. 


අනෙක් පැත්තෙන්, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම කැඩී ගිය පිරිසට ඇතැයි කියන කැක්කුම ද අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැන්නකි. අද නරක හැඟීම් දැල්ලකැයි ඔවුන් හඳුන්වන ජාතිවාදයට ලංකා පුවත්පත සෑහෙන කාලයක් පවන් ගැසූ බව අපට ඔවුන්ට අමතක වුණත් අපට අමතක නැත. 


එහෙත්, වාමාංශික හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීම ඇති වූ බව කැඩුණු අයන කිය කීම පිළි ගැනීමට අපි කැමැත්තෙමු. එහෙත්, අපි ඔය හෘදය සාක්ෂිය වැනි වචන ඇසූ පමණින් ඕනෑවට වඩා සංවේදී නො වන්නට තරමට තෙම්පරාදු ද වී සිටිමු. 


'සත්‍යයන් දෙකක් තිබෙන්නට නො හැකිය. ඇත්තේ එක ම සත්‍යයකි,' යි ලංකා පුවත්පතේ මුල පිටුවේ ඇති විශේෂ සටහනක තිබේ. අප සිතන අන්දමින් නම් සත්‍යය ද සංදර්භය හා සාපේක්ෂ ය. එහෙත්, එය ගැඹුරු දාර්ශනික සංවාදයකි. 


එකක් කිව යුතු ය. ජවිපෙ විසින් ගොඩනඟා ගන්නා ලද ගතානුගතිකත්වය තුළ එයට තව දුරටත් සජීවී පැවැත්මක් නැත. සමසමාජ, කොමියුනිස්ට් මළකුණු ලෙස සන්ධාන දේශපාලනයේ යෙදීම හැර අන් යමක් ඔවුන්ට ගතානුගතිකත්වය තුළ කරන්නට බැරි ය. 


සැබැවින් ම අලුත් හුස්මක් ගන්නට කැමති මිනිසුන් සිටී නම්, අතීතයේ පාඩම් මත පිහිටා අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඔවුන්ට සහාය වන්නට අපි කැමති ය. 


ජවිපෙ යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නො වේ. එය ලංකාවේ පීඩිතයන්ගේ ලෙයින්, කඳුළින් දහදියෙන් නිර්මිත සමාජ උරුමයකි. අපේ කැක්කුම ඒ නිසා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-22

අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman

මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන‘අලුගෝසු’ යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම‍ යෝජනා කරන්නෙමු.


මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන.


ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන.


ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කරන්නට ඉඩ තිබේ. මෙම තනතුර සඳහා එකී පක්ෂයේ නම තැබීමට වුවත් ඒ පක්ෂය සුදුසුකම් සපුරා ඇත.


පසුගිය කාලයේ දෙමළ කැරැල්ල හමුවේ හොඳ ම අළුගෝසුවා වූ අය තෝරා ඔහු අමරණීය වීම පිණිස අළුගෝසුවාට ඒ නම යොදන්නට ද පුළුවන.


ලංකාවේ පාතාලය සමග හොඳ ම සම්බන්ධකම් තිබුණු දේශපාලන නායකයා තෝරා ඔහුගේ නම අළුගෝසුවාට තබන්නට ද පුළුවන.


පසුගිය කාලයේ විමල් වීරවංශ ආර්ථික ඝාතකයන් ගැන කතා කළේ ය. ඉතින් ලංකාවේත් එවැනි ආර්ථික ඝාතකයන් සිටී නම් ඔවුන්ගේ නම ද අළුගෝසුවාට සුදුසු ය. එවැනි ආර්ථික ඝාතකයන්ගේ නම් ප්‍රසිද්ධියේ කීමට විමල් බය නම් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී තමන්ගේ නම අළුගෝසුවාට දීමට වුව විමල්ට පුළුවන.


ලංකාවේ වැඩි ම මිනිස් ඝාතන ප්‍රමාණයකට වග කිව යුත්තේ ජනමාධ්‍ය වන නිසා අළුගෝසුවාට මීඩියා කියා නම දැම්මත් වරදක් නැත.


ඔබටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා W3Lankaට ඇති මෙවැනි නිර්මානාත්මක අදහස් ‍වැනි අදහස් තිබේ නම් මෙහි සටහන් කරන්න.


අළුගෝසු තනතුර සඳහා පවත්වන්නට යන තරග විභාගය පිළිබඳ විස්තර මෙතැනින් කියවන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-21

ජවිපෙන් කැඩුණු වමට අපේ සහෝදරාත්මක සුබ පැතුම්! / Best complements to split left of the JVP

ජවිපෙ නැවතත් දෙකට කැඩී ඇත. 


මීට පෙර අවසන් වරට කැඩී වෙන් වුණ විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිස දක්ෂිණාංශික කණ්ඩායමකි. ඒ බව ඔවුහු වෙන් වීමෙන් පසු වසර කීපය තුළ සිය ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කළ හ. 


එහෙත්, මෙවර කැඩී වෙන් වූ කණ්ඩායම වාමාංශික නැඹුරුවක් ඇති පිරිසකි.  ජවිපෙ විසින් බිහි කරන ලද අප දන්නා තරමින් එකම දේශපාලන මණ්ඩල සභික කාන්තා නායිකාව වන දිමුතු ආටිගල, අධ්‍යාපන ලේකම් බව කියන පුබුදු ජාගොඩ, මධ්‍යම කාරක සභික වරුණ දීප්ත රාජපක්ෂ වැනි අය නව කණ්ඩායමට නායකත්වය දෙන බව ප්‍රසිද්ධ ය. 


ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් අඩක් පමණ මෙම කණ්ඩායමට සහාය පළ කරන බව වාර්තා වේ. 


ජවිපෙ දේශපාලනය විසින් පසුගිය කාලයේ මේ රටේ සෑහෙන නිකමුන් පිරිසක් ප්‍රභූන් බවට පත් කරන ලදී. නිකමුන් ප්‍රභූන් බවට පත් වීම පක්ෂය ඇතුළේ ද බරපතල ප්‍රශ්නයක් විය. එහි සිටි අංක එකේ තක්කඩි, අවස්ථාවාදීන් පිරිස විමල් වීරවංශ සමග කැඩී ගිය හ. අලුතෙන් කැඩී වෙන් වුණ කණ්ඩායම පෙනෙන ආකාරයට නම් පක්ෂ සාමාජිකයන්ගේ ලේ, කඳුළු, දහදියවලින් ප්‍රභූත්වය ගොඩ නඟා ගත් පිරිස නො ව, ඉහත කී ඊනියා ප්‍රභූන් ද ඇතුළුව පක්ෂයේ බර දරා සිටි අප්‍රකට නිර්ප්‍රභූ පිරිසයි. 


පසුගිය සමයේ ජවිපෙ වෙතින් සමාජ දේශපාලන සංවාදයට එක් වූ සාධනීය මැදිහත් වීමක් වූ අවුරෝරා සඟරාව ද මෙම පිරිසේ ප්‍රකාශනයක් බව දැනගන්නට ඇත. 


ජවිපෙ දක්ෂිණාංශික හා වාමාංශික ප්‍රවණතා අතර ගැටුමේ උපරිම අවස්ථාව මෙම ඛණ්ඩනයයි. එය විනාශයක් නො ව, නව ප්‍රවණතාවකි. අලුත් ආරම්භයකි. අනිවාර්ය අවශ්‍යතාවකි. 


සහෝදරවරුනි, අපි ඔබට සුබ පතමු. සමාජ වෙනසක් සඳහා ඇති ගමන දුර එකකි. දුෂ්කර එකකි. 


එහෙත්, ඔබ ඉදිරිපිට බොරු වලවල් බොහෝ ය. පටු අරමුණු ඉටු කර ගන්නට ඔබ වටා රොද බඳින මිනිසුන්ගෙන් ආරක්ෂා වීම ඔබට ඇති පළමු අභියෝගයයි. 


(අප ජවිපෙ අර්බුදය පිළිබඳ මීට පෙර ලියූ ලිපියේ අන්තර්ගතය ද සම්පූර්ණයෙන් ම බැහැර නො කරමු)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-20

අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය. 


සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ. 


ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය. 


බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය. 


ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති. 


පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?


සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය. 


සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි. 


අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති. 


කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය. 


සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති. 


කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති. 


මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි. 


මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය. 


ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-19

අළුගෝසුවනි, ඉදිරිපත් වනු! / Come on executioners!

බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක්‌ පවතින බව බන්ධනාගාර කොමසාරිස් පවසයි.


සම්ප්‍රදායිකව අළුගෝසුකම කළ පවුල්වල කිසිවකු මෙම තනතුරු සඳහා අයදුම් කර නැති බව ද වාර්තා වේ.


ලංකාවේ මරණ දඬුවම නිල වශයෙන් ද ක්‍රියාත්මක කළ යුතු යයි උද්ඝෝෂණය කරන අයට දැන් මේ සඳහා අයදුම් කළ හැකි ය.


මරණ දඬුවමට පක්ෂ විශාල පිරිසක් සිටින නිසා සමහර විට තරග විභාගයක් පවා පවත්වන්නට සිදු වනවා ඇත.


මරණ දඬුවම නියමව සිටින කාන්තාවන් 4 ක්‌ ඇතුළු 357ක් එල්ලා මැරීමේ වාසනාව ඔබට ද හිමි වන්නට පුළුවන.


වහා අයදුම් කරන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign





දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ. 


හේතු කොහොම සොයා බැලුවත්‍ මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය.


ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඔලුව වටේ අත දමා කණ ඇල්ලීම හෙවත් ජංගම දුරකථනයෙන් වාහන දඩ ගෙවීම / Mobile cash for paying traffic fines

වැරදි කරන රියදුරන්ට ජංගම දුරකථනයෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්නට පොලිසිය සූදානම් වන බව පොලිස්පත්තුමා ලක්බිම පුවත්පතට පවසා තිබිණි.


දුරබැහැර ගමනක් යන විට පොලිසියෙන් මොකක් හෝ වැරැද්දක් කළ බව කියා රියදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් දුන් විට එය ගෙවා රියදුරු බලපත්‍රය ආපසු ගැනීම තරමක් සංකීර්ණ කාර්යයක් බවට පත් වේ.


දඩ කොළය රැගෙන තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවා රිසිට් පත රැගෙන ආපසු පොලිසියට පැමිණ අර පොලිස් නිලධාරියා වෙන කොහේ හෝ මගුලක නොගොස් පොලිසියට පැමිණ රියැදුරු බලපතුය එහි තබා ඇතිනම් එය රැගෙන යා යුතු ය. නැතිනම් එදා යන ගමන ගොස් වෙන දවසක ආපසු ආ යුතු ය.


හඳුන්වා දෙන්නට යන ක්‍රමය යටතේ ජංගම දුරකථනයෙන් දඩ ගෙවන්නට පුළුවන් ලු. ඉතින් ඕකට ඔච්චර දුර යන්න ඕනෑත් නැත. උපදෙස් ගන්නට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ඕනෑත් නැත. ඔලුව වටේ අත දමා කණ අල්ලන්නට ඕනෑ නැත. දඩය එවේලේ ම පොලිස් නිලධාරියාට ගෙවන්නට පුළුවන් ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්න අහවර ය. මොකද, පොලිස් නිලධාරීන් වනාහි ඔය ආරණ්‍යවාසී හාමුදුරුවරුන් වැනි මුදල් අතපත ගෑම නො කරන පිරිසක් නො වන බැවිනි.


මෙතැන ඇති ප්‍රශ්නය ආණ්ඩුවට හා ඉහළ නිලධාරීන්ට රාළහාමිලා විශ්වාස නැතිකමයි. මහජනතාවට නම් රාළහාමිලා කොහෙත් ම විශ්වාස නැත. මහජනතාව පාරේ රිය පදවන්නේ පාර මැද තනි ඉරි, ද්විත්ව ඉරි ආදිය බලු මයිලකට නො තකා ය. රාළහාමිලා මහජනතාව ඉරි කපන තැන් හොඳින් දැනගෙන ඒ තැන්වල ඉන්නේ හැංගිලා ය.


ආණ්ඩුවට ද මේ රටේ මහජනතාව නීතිගරුක වීම අවශ්‍ය නැත. ආණ්ඩුවට අවශ්‍ය දඩ ගෙවන ජනතාවකි. ඇතැම් පොලිස් රාළහාමිලා උදව්වක් වශයෙන් ය කියා දඩ කොළය තමන් ම ගෙවීමට ඉදිරිපත් වෙති. රැයැදුරන් එවිට කියන්නේ ඕකුන් ගාව හොර පොත් තිබෙනවා ය කියා ය.


හැබැයි, එකක් නම් සහතික ය. රාළහාමිලා පගා නම් ගහන්නේ ම නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-18

ජවිපෙ අභ්‍යන්තර අර්බුදය ගැන අප දන්න තොරතුරු / What we know about the JVP internal crisis

ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඇති බව කියන අර්බුදය පිළිබඳව යමක් දන්නවාදැයි යම් යම් අය අපෙන් ද අසති. 


ඇත්ත ම කිව්වොත්, අපි ඔය ගැන සෙව්වේ ම නැත. 


පක්ෂයේ පිල් බෙදුමක් ගැන ලංකාදීප පුවත්පත හා වෙනත් පුවත්පත් පළ කළ වාර්තාවල ඇත්තක් ඇති බව අද 'රිවිර' පුවත්පතට විජිත හේරත් කර ඇති ප්‍රකාශයකින් තහවුරු වේ. පක්ෂය තුළ මත ගැටුමක් ඇති බව ඔහු කියයි. 


මත ගැටුම් තිබීම හොඳ දෙයකි. මත ගැටුම් යනු දේශපාලන සංවාදයකි. 


ඒ කෙසේ වෙත්, දැන් ජවිපෙ සන්ධාන මධුසමය අවසන් ය. ජවිපෙ හරහා තනතුරු, බලය, කීර්තිය අත් පත් කර ගත් අයට දැන් ඒවා අතහැර නිරුවත් වීමට සිදු වී තිබේ. මේ වනාහි පක්ෂ පූර්ණකාලිකයන්ට ආපසු ගෙදර යන්නට හිතෙන කාලයකි. පක්ෂය වෙනුවට පවුල යළි මතක් වන කාලයකි. 


එහෙත්, නිකම් ම ගෙදර ගොස් හාන්සි පුටු විප්ලවවාදීන් යයි කතන්දර අසා ගන්නවාට වඩා, තත්වයක් තියාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්නට මෙවැනි මත ගැටුමක් සමග පක්ෂයෙන් වෙන් වීම හොඳ ය. 


කලක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරය වැරදි ය යන තර්කය ගෙදර යන කට්ටියට පිටිවහලක් වී තිබිණි. පසු කලෙක විමල් වීරවංශ ඔවුන්ගේ පිහිටට පැමිණියේ ය.


දැන් වෙනත් අලුත් එකක් අවශ්‍ය ය. ඕවායේ හැටි ඔහොම තමා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-17

ගණිතය සමත් වීම මාධ්‍යකරුවකු වීම සඳහා අනිවාර්ය කළ යුතු ය / Maths should be made compulsory for media persons

දිනමිණ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ. 


පහත පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය. 


ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය. 


පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත්

වාහන 50කින් සමත් වුණේ 15යි
දිස්නා මුදියන්සේ


පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා පරීක්ෂාවට ලක් කැරිණි.


මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ වායු විමෝචන පරීක්ෂණවලින් බහුතරයක් රාජ්‍ය අංශයට අයත් වාහන බව සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වීම නිසාය. අධ්‍යක්ෂවරයා පවසන පරිදි පරීක්ෂණයට ලක්කරන ලද වාහන 50කින් සමත්ව ඇත්තේ 30%ක් පමණි. පරීක්ෂණයට ලක්කළ පෙට්‍රල් වාහන 10න් 3 ක් අසමත් වූ අතර ඩීසල් වාහන වලින් 23ක් සමත්විය.


තවත් ඩීසල් වාහන 3ක් පරීක්ෂණයට ලක්කළ නොහැකි වූයේ ඒවායේ සයිලන්සර් වලින් කාන්දුවීම් ඇතිවූ නිසාය. මේ වාහන තුන හා අනිකුත් අසමත් වාහන අලුත්වැඩියා කිරීමට නියෝග කළ බව අධ්‍යක්ෂවරයා කීය. මෙම විමෝචන පරීක්ෂණ වලින් අසමත් වීමට මූලික හේතුව වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. මෙම පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් ළඟදීම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-16

නරක ම දේ ළමයින්ට / Worst for children

කුඩා ළමයකු පණ පි‍ටින් පිළිස්සී මිය ගිය තිහාරියේ ළමා නිවාසයේ වගකීම අන් අය පිට පටවා අත සෝදා ගැනීමේ මහා පරිමාණ ව්‍යාපෘතියකට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ ආණ්ඩුවේ නිලධාරීන් මුල පුරා ඇති බව පෙනේ.


දැන් රජය කියන්නේ රට පුරා අනවසර ළමා නිවාස 98ක් ඇති බවයි. ඒවා වසා දමන්නැයි කියා ඇති බව ද නිලධාරීහු කියති. කිය කියා සිටියා මිස මෙතෙක් මොකවත් කළේ නැත්‍තේ ඇයි?


දැන් තිහාරියේ ළමා නිවාසයේ සිද්ධියේ වගකීමෙන් අත සෝදා ගැනීම සඳහා රජය ළමා අපචාර සිද්ධියකට මුල් තැන දී තිබේ. ළමයකු පණ පිටින් පිළිස්සී මිය යන තෙක් මේ අපචාර ගැන සොයන්නට කෙනෙක් සිටියේ නැත.


ළමා නිවාස ආරම්භ කිරීම ද එක්තරා ජාවාරමකි. දෙස් විදෙස් දානපතීන්ගෙන් මුදල් ගසා කෑම මේ පිටුපස ඇති ප්‍රධාන අරමුණකි. එසේ ම ළමා නිවාසවල දරුවන් අපචාර සඳහා අලෙවි කිරීම ද සුලබව සිදු වන්නකි.


ළමා නිවාසවල පමණක් නොව, මේ රටේ ළමයින් තමන්ගේ නිවාසයන්හිදී ද අනාරක්ෂිත ය. පාසල් යනු ළමයින්ගේ අනාරක්ෂාවේ තෝතැන්නයි.


හොඳ ම දේ ළමයින්ට යයි ප්‍රතිපත්තියක් සමාජවාදී සෝවියට් දේශයේ තිබුණු බව අසා ඇත්තෙමි. ලංකාව එහි අනෙක් පැත්ත ය. ළමයින්ට දෙන්නේ නරක ම දේ ය. උදාහරණයක් ලෙස, අන් කිසිදු ප්‍රවාහන කාර්යයක් සඳහා නුසුදුසු මගී වාහන සියල්ල යොදන්නේ පාසල් සිසුන් ප්‍රවාහනයට ය. මේක ආසියාවේ ආශ්චර්යය ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-15

කරුණාගේ පොලිසි කතාව / Karuna Amman on Sri Lanka police

ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියා තුන් වර්ගයක පොලිසි නොමැති බව ද, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බව ද, එය ශ්‍රී ලංකා පොලිසිය බව ද, උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය යුතු බවට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත. 


මේ ඇමතිවරයා වනාහි නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ය. 


සභාවේ සිනා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?

ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි.


රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ. 


මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? 


ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට ‍තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි. 


එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත. 


ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බැරි ඇයි ද යන්න විමසා බැලිය යුතු ගැටලුවකි. 


පාසල් අධ්‍යාපනය පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනවේදීන් නැති වීමයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා වැඩි දෙනා අධ්‍යාපනවේදීන් නො වන දුර්වල පරිපාලකයෝ පිරිසකි. ඔවුන් අධ්‍යාපනය කියා බලාපොරොත්තු වන්නේ විදුහල්පතිවරුන් හා ළමයින් ලවා පාසල් හා පංති කාමරවල භෞතික සංවර්ධනයක් මවා පෑමයි. 


වටෙන් හිරිකඩ වදින, දූවිලි පිරි, පැරණි තාලයේ ලංකාවේ පංති කාමර මොඩ් කිරීම සඳහා ඔවුන් කරන්නේ හතර වටේ රූප එල්ලීමයි. ලංකාවේ අඩු පහසුතම් සහිත පාසල්වල පංති බහුතරයක් තවමත් පැවැත්වෙන්නේ පංති කාමර වෙන් නො කරන ලද ශාලාවල ය.‍ බොහෝ විට එම පොදු ශාලාවට හෝ වසා තැබිය හැකි දොරක් නැත. මේ ශාලා රාත්‍රී කාලයේදී මත් ‍ලෝලීන්ගේ, සල්ලාලයන්ගේ හා දඩාවතේ යන බල්ලන්, හරකුන් ආදීන්ගේ පාරාදීස වේ.


අධ්‍යාපනය ගුණාත්මකව නැංවීම සඳහා හොඳ විදුහල්පති භූමිකාවක් අවශ්‍ය ය. එහෙත්, අද සිටින විදුහල්පතිවරුන් වැඩි දෙනෙක් දන්නේ නිලධාරීන් හා දේශපාලකයන් පස්සේ යාම මිස ගුරුවරුන්ට ඉගැන්වීමේ කාර්යයේ ලා මග පෙන්වීම නොවේ. 


අද වන විට ගුරු වෘත්තිය වනාහි එක්කෝ වෙනත් කිසිවකට නුසුදුසු අය කරන රස්සාවකි. නැතිනම්, පූර්ණ කාලීනව ටියුෂන් කරන අයගේ අමතර රැකියාවකි. 


දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරති.  අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙනි. 


අධ්‍යාපන ඇමති සිතන්නේ තව පාසල් ටිකක් ජනප්‍රිය පාසල් බවට ප් කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි ය කියා ය. ඒ සඳහා දැන් ඔහු පාසල් රැසක 'ඉසුරු' පාසල් යයි නාම පුවරු එල්ලා ඇත. මේ පාසල් බොහොමයක කලින් ඇමතිවරු එල්ලූ 'නවෝද්‍යා' ආදී වෙනත් නාම පුවරු ද තිබේ. ඒ නවෝද්‍යා පාසල්වලට ලැබී තිබුණු එක ම දෙය වන ඔර්ලෝසුව ද වැඩ කරන්නේ නැත. 


ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට නම් සැබෑ අධ්‍යාපනවේදීන් පිරිසක් අධ්‍යාපන නියාමනය භාර ගත යුතු ය. එහෙත්, එය පහසු නැත. මන්ද, දැන් අධ්‍යාපනය නියාමනය කරන්නෝ වනාහි ටියුෂන් මුදලාලිලා, ආදිශිෂ්‍ය සංගම්වල සිටින ව්‍යාපාරිකයෝ හා දේශපාලකයෝ ය. ඇත්තෙන් ම ගතහොත් පාසල් අධ්‍යාපනයේ නියාමනයක් නැත. එහෙත්, ඇමතිවරු හා නිලධාරීහු සිටිති. 


අධ්‍යාපනය නංවන්නට අවශ්‍ය නම්, ජනප්‍රියත්වය පසුපස දිවීම පසෙක ලා ගමේ පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට කොන්ද පණ ඇති අධ්‍යාපනවේදියකුගේ නායකත්වය පද්ධතියට අවශ්‍ය ය. 


දෙමව්පියන් ගමේ දරුවා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගමේ පාසලට සතුටින් කැටුව යන දිනයක් උදා කළ හැකි නම් එදාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය වනු දැකිය හැකි වනු ඇත. 


මන්ද, අද පවතින ඊනියා ජනප්‍රිය පාසල් සඳහා වූ තරගය අධ්‍යාපනයේ ප්‍රධානතම ගැටලුවක් වන බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-13

සිංහල යුනිකෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ.


ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු  µeක්‌ස්‌ පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට යාම නිසා ය.


සිද්ධිය මෙසේ ය:

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අලුත්ම සිංහල මෙන්න!
කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද?
සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනයක්‌ ලිවිය හැකිය. එහෙත් මෙබඳු අපබ්‍රංශ ලිවීමකින් පෙන්වන්නේ කිසියම් විකෘතිතාවක්‌ බව මේ පිළිබඳ පැහැදිලි කර ගැනීමට අප විමසූ සිංහල උගතෙක්‌ කියා සිටියේය. එසේම මෙහි "ප්‍ර" යන්නට අමතරව "වෘ" අක්‍ෂරයක්‌ද තිබෙන බව මේ අලුත් සිංහල පඬිවරු නොදන්නෝද?
එයත් ඔවුන්ගේ අලුත් සිංහලයට අනුව යොදා ගත යුතුව තිබුණි. කෙසේ හෝ මේ වර්ගයේ විහිළු ජනතාවට සැපයීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත්වීම උචිත නොවන බව නම් කිව යුතුය.

දිවයිනේ මෙම ලිපිය ලියූ මාධ්‍යකරුවා දිවයින වෙබ් අඩවියේ පරිපාලකයන් සමග කතා කළා නම් ඔවුන් මෙම ප්‍රශ්නය කෙසේ පැන නගින්නට ඇද්ද යන්න පැහැදිලි කර දෙනු ඇත. එහෙත්, ලංකාවේ සිටින මාධ්‍ය වේදීන් වනාහි කාගෙන්වත් කිසිවක් ඉගෙන ගැනීමට අවශ්‍ය නැති සියල්ල දත්ලා ය. ඇතැම් විට, මෙම ගැටලුව පැන නැඟුණේ දිවයිනේ ම පරිගණකයක දෝෂයක් නිසා වන්නට ඇත. දිවයින වෙබ් අඩවියේ පළ වූ ලිපියේ ෆ අක්ෂරය යතුරුලියනය වී ඇත්තේ ද වැරදි අන්දමට බව ඔබට පෙනෙනවා ඇත.


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පට්ටා ගසන්නට යන දිවයින මාධ්‍යකරුවාගේ තොරතුරු තාක්ෂණ දැනුම අනුකම්පා කළ යුතු මට්ටමක ඇති බව පෙනේ.


කෙසේ වෙත්, සිංහල යුනිකෝඩ් භාවිතය තවමත් බොහෝ දෙනෙකුට ගැටලු සහගත ය. ඇත්තෙන්මත්, සිංහල යුනිකෝඩ් තවමත් භාවිතය පහසු අකුරු විශේෂයක් නො වේ. ලංකාවේ වැඩි දෙනෙකු භාවිතා කරන සොරකම් කරන ලද ග්‍රැෆික් මෘදුකාංග වන ෆොටෝෂොප්, පේජ් මේකර්, කොරල් ඩ්‍රෝ ආදිය සමග සිංහල යුනිකෝඩ් වැඩ කරන්නේ ම නැත. එහෙත්, රාජකාරි ලියකියවිලිවලදී සිංහල යුනිකෝඩ් භාවිතා කළ යුතු බවට රජයේ සේවකයන්ට උපදෙස් දී තිබේ.


සිංහලකම ගැන කතා කරන්නට වීරයෝ බොහෝ සිටිති. එහෙත් සිංහල අකුර අන්තර්ජාල යුගයට ගෙන යාමේ ගැටලු විසඳන්නට කිසිවෙක් නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-11

පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka

ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ. 


රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය. 


එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන.


මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මතු කර ගන්නටයි. ජවිපෙ සිතා සිටින්නේ ඒ ඔස්සේ පක්ෂයට අලුත් දක්ෂ ‍කාඩර්වරුන් පිරිසක් සහ සල්ලි ගස් ටිකක් සම්බන්ධ කර ගන්නටයි. 


එහෙත්, මේ එකකවත් සිදු නො වන්නට ද ඉඩ තිබේ. 


ජවිපෙ සමග බාල්දියක් පෙරළාගෙන ජවිපෙ විරෝධී ප්‍රේමදාස වී බල හිණි පෙතේ ඉදිරියට යන්නට සිතන එස්.බී. දිසානයකත්, එස්.බී. චන්ද්‍රිකාගේ ඔඩොක්කුවේ හිඳිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි කාලයේ ඔහුට සර් කියූ ග්‍රාමසේවක රාළහාමි කෙනෙකු වූ මෛත්‍රීපාල සිරිසේනත් අතර දැනට ම වලිය ඇවිලී ඇත. 


එස්.බී. දිසානායක ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ලංකාවේ පිහිටවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවා අවශ්‍ය ප්‍රමිතිය සකසා ගන්නට බැරි වී තිබෙන සංදර්භයක් තුළ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය දැනටමත් අභියෝගයට ලක් වී තිබේ. 


ලංකාව වනාහි මහජන මුදලින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයෙන් පිට වූ දවසේ සිට රජයේ සේවය හරියට නො කර වරප්‍රසාද භුක්ති විඳිමින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කර රෝගීන් ගසා කා පංති පිම්මක් පනින ධනවත්, බලවත්, රෝගී වෛද්‍යවරුන් බිහිකරන දිගු කාලීන නිදහස් අධ්‍යාපන සම්ප්‍රදායක් හිමි රටකි. 


මේ නිදහස් අධ්‍යාපනයට අත තැබීම එස්.බී. හිතන තරම් පහසු නැත. මන්ද, දේශපාලකයන්ට පමණක් නො ව, මේ රටේ ජනාවට ද පිස්සු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-10

සිංහරාජය මැදින් කපන කෙටි පාර / A short cut across World Heritage Sinharaja

සිංහරාජ වනාන්තරය ලංකාවේ අපේ පමණක් නොව මුළු ලෝකයේ ම වැදගත් උරුමයකි. 


එය මහා ලොකු වනාන්තරයක් නො ව, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 21ක් හා උතුරේ සිට දකුණට කිලෝමීටර් හතක් පමණක් වන පුංචි කැළෑ කුට්ටියකි. එහෙත් එය ජෛව විවිධත්වය අතින් විශිෂ්ට ස්ථානයකි. 


එහෙව් සිංහරාජය මැදින් මේ ආණ්ඩුව පාරක් කපමින් සිටියි. ඒ කලවාන ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා ය. පොතුපිටිය, ඉළුඹකන්ද ගම් ඒ 17 රක්වාන දෙනියාය මහා මාර්ගයට යා කිරීම මෙම මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි. 


සැප්තැම්බර් 09දා මුළා කරන ලද 300ක පමණ ජන රාශියක් යොදවා කිලෝමීටර් තුනක වනාන්තරය එළි පෙහෙළි කර තිබේ. 


ඒ කෙටි පාරක් හදන්නට ය. ලෝකයේ කොහේවත් හරි හමන් ආණ්ඩු හා පුරවැසියෝ නම් මෙවැනි කෙටි පාරවල් නො සොයති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-09-09

අතේ ලෙළ දෙන සිංහ කොඩි හදවතේත් ලෙළ දේ ද? / Do the lion flags fly in their hearts

ඡායාරූපය අද දෙරණෙනි
ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරමින් වෙන ම ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කැරැල්ලක් ගැසූ හ.


ඒ වෙනුවෙන් මේ ජාතික කොඩියේ සිටින රෞද්‍ර සිංහල සිංහයාට මුහුණ දීමට බිහිසුණු කොටියකු ද නිර්මානය කළ හ. 


සිංහල මූලික ශ්‍රී ලංකා රජය කැරැලිකාර හමුදාව පරදවා ජය ගත්තේ ය. 


කැරැලිකරුවෝ විශාල පිරිසක් දිවි දුන් හ. ඉතිරි වූ පිරිස පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මේ ඡායාරූපයේ ඉන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින බව කියන හිටපු දෙමළ කැරැලිකාර සිරකරුවන් පිරිසක් දුම්රියෙන් දකුණේ චාරිකාවක් යන අයුරු ය. 


සිංහල මූලික රාජ්‍යය ඔවුන් අතට සිංහ කොඩි දී ඇත. 


සිංහලයන් සතුටු වනු ඇත. 


එහෙත් ඒ කැරැල්ල පැන නැඟුණු හේතු තව ම අහෝසි වී නැත. සිරකරුවන් අතට දුන් පලියට ඔවුන්ගේ හදවත් තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේ නැත. 


දුක නැති කිරීමට නම් දුකට හේතුව නැති කළ යුතු ය. 


අළු යට ඇති ගිනි දක්නට සමත් පාලකයෝ ගිනි පුළිඟු නිවා සාර්ථක වෙත්. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න