2011-10-31

අපි නො දන්න අපේ දිළිඳුකම මෙන්න - This is our poverty in Sri Lanka

ලෝක ජනගහණය බිලියන හතක් වීම ලෝක නායකයෝ මහ ඉහළින් සැමරූ හ. 


මේ ජනගහණයෙන් මිලියන 925ක් හෙවත් බිලියනයකට කිට්ටු පිරිසක් සාගින්නෙන් පෙළෙන්නෝ ය. එනම් සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු ම සාගින්නෙන් පීඩා විඳිති. 


මෙම ප්‍රතිශතය 1995 සිට 2009 දක්වා ම වැඩි වෙමින් තිබුණු එකකි. 


සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගෙන් 32.5%ක් ම මන්දපෝෂණයෙන් පෙළෙති. 


ගර්භනී මව්වරුන් අතර මන්දපෝෂණය කෙතරම් උග්‍ර ප්‍රශ්නයක් ද යත්, සංවර්ධනය වෙම්න් පවතින රටවල උපදින දරුවන්ගෙන් සෑම හයදෙනෙකුගෙන් ම එක් අයෙක් අඩු බර දරුවෝ ය. 


ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව, ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර ප්‍රමාණය ලොව සෑම මිනිසකුට ම දිනකට කිලෝ කැලරි 2,720ක ආහාර ලබා දීමට ප්‍රමාණවත් ය. එහෙත් දිළින්දන්ට ආහාර සපයා ගැනීමට වත්කමක් නැත. 


සෞඛ්‍ය අධිකාරීන්ගේ පිළිගැනීම් අනුව, සාමාන්‍යයෙන් පිරිමියකුට දිනකට කැලරි 1800ක් ද, ගැහැනියකට කැලරි 1200ක් ද ප්‍රමාණවත් ය. ලෝකයේ නිර්මානය වී ඇති ආදායම් විෂමතා කෙතරම් සංකීර්ණ වී තිබේ ද යන්න ඔබට වැටහෙනවා ඇත. 


දිළිඳුකම ගණනය කරන වත්මන් දර්ශකය වන්නේ දිනකට ඩොලර් 1.25ක ආදායම් මට්ටමයි. එනම්, ශ්‍රී ලංකා රුපියල් 137කි. 


අපේ රටේ දුප්පත්කම සරළව තේරුම් ගන්නට මෙසේ පුළුවන. යමෙකුගේ මාසික වැටුප රු. 20,000ක් වේ නම්, එම පුද්ගලයාගේ දෛනික ආදායම රු. 666කි. 


එම පුද්ගලයාට වැඩිහිටි මව සහ පියාත්, දරුවන් දෙදෙනෙකුත් සමග පවුලේ හයදෙනෙකු නඩත්තු කිරීමට සිදු වී තිබේ නම්, ඒ එක් අයෙකුගේ දෛනික ආදායම රු. 111කි.


මේ පවුල ජාත්‍යන්තර පිළිගැනීම් අනුව දිළිඳු පවුලකි. මන්ද, ඔවුන්ට අද දවසේ පිළි ගැනීම් අනුව අවම මට්ටමේ යහපත් ජීවිතයක් හෝ ගත කිරීමට හැකියාවක් නැත. 


ලංකාව වැනි රටවල දුප්පත්කම කෙතරම් පත්තියම් වී ඇද්ද යත්, මේ මට්ටමේ ආදායමක් උපයන මිනිසා ද සිතාගෙන ඉන්නේ තමන් මධ්‍යම පංතිකයෙකු ය කියා ය. යහපත් ජීවිතයක් යනු කුමක් ද යන්න පිළිබඳ ඔවුන්ට කිසිදු වැටහීමක් නැත. 


ලංකාවේ රජය ආර්ථික සමෘද්ධිය ගැන කෙතරම් උදම් ඇනුවත් පහළ හා මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ මූලික වැටුප අම්මා, තාත්තා හා එක් දරුවකු සිටින පවුලක් දිළිඳුකමෙන් මුදවා ගැනීමට හෝ ප්‍රමාණවත් නැත. ඒ සඳහා අවම වශයෙන් රු.137 වැඩි කිරීම 30 සමානයි රු. 12,330ක වැටුපක් අවශ්‍ය ය. 


ලේඛකයා හොඳින් දන්නා වසර 18ක සේවයක් ඇති රජයේ පාසල් ගුරුවරයකුගේ මූලික වැටුප රු. 16,000ට මඳක් අඩු ය. ඔහුගේ රත්තරං පුංචි පවුලේ සිව් දෙනෙක් ඇත. ඔහුගේ පවුලේ එක් අයෙකුගේ ආදායම රු. 133ට අඩු ය. මේ පවුල දිළිඳු පවුලකි. 


එහෙත්, ඔහු මධ්‍යම පංතිකයකු ලෙස හැසිරෙයි. මහින්ද මහත්තයා රට සංවර්ධනය කරමින් සිටින බව ප්‍රචාරය කරයි. 


ඔබ සැමට නිවන් සැප ලැබේවා!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-29

මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!

දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය. 


තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය.


තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි.


රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති.


වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි. 


මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය  තුළ අද වන විට මතු වී ඇති තත්වය වන්නේ බටහිර වෛද්‍යවරුන් විසින් පවා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන තත්වයක් ඇති වීමයි. 


කරුණු කාරණා දන්නා බොහෝ අය මෙම අවිද්‍යාවට එරෙහිව කට ඇරීමට පවා බිය ය. 


නිදසුනක් ලෙස, අනුරාධපුර පැත්තේ සිටින කැඩුණු අත පය වෑල්ඩිං කරන බව කියන එක් 'වෛද්‍යවරයෙකු' හේතුවෙන් රටේ විශාල පිරිසක් අත පය සොත්ති කරගෙන ඇත. රෝහල්වල ශල්‍යාගාරවලදී රෝගීන්ට වේදනාවක් ඇති නො වන පරිදි සිහි නැති කර දමන ප්ලාස්ටර් මේ 'වෛද්‍යවරයා' කප්පවන්නේ රෝගීන් සමග එන මිනිසුන් ලවා ය. ඔහුගේ වේදනාකාරී ප්‍රතිකාරවලින් සිය කැඩුම් බිඳුම් සුව වන බව මිනිස්සු විශ්වාස කරති. 


මෙවැනි විශ්වකරම වෛද්‍යවරුන් හත් අටදෙනෙක් ඕනෑම පඳුරක් පල්ලේ සිටින තරමට ලංකාවේ 'වෛද්‍ය විද්‍යාව' දියුණු වී ඇත. දියුණුවේ තරම රටේ ඉන්නා රෝගීන්ගේ තරමින් පෙනේ. නිකම් සුහද කතාබහකට සම්බන්ධ වූ විට අද කාලයේ වැඩි දෙනෙක් කතා කරන්නේ එක්කෝ තමන්ගේ ලෙඩ ගැන ය. නැතිනම්, අනුන්ගේ ලෙඩ ගැන ය.


මෙම 'වෛද්‍ය' ප්‍රතිකාරවල 'සාර්ථකත්වය' තනිකර ම රඳා පවතින්නේ ඒ පිළිබඳ ඇති කටකතා මත ය. කටකතා පැතිරීමේදී මෙවැනි ගුප්ත විශ්වාස පිළිගැනීමට සමාජයේ ඇති කැමැත්ත විශේෂ බලපෑමක් ඇති කරයි. ඒ නිසා මේවාට හසු වී අමාරුවේ වැටුණු අය පිළිබඳ සාමාන්‍යයෙන් ප්‍රචාරය වන්නේ නැත. 


ගුප්ත බලවේග විශ්වාස කිරීමට මිනිසාගේ ඇති කැමැත්ත වනාහි යථාර්ථයේ කටුකත්වයෙන් පළා යාමට ඇති ආශාවක් විය හැකි ය. 


වත්මන් දේශපාලනය වනාහි විශේෂයෙන් ම මුග්ධකම ප්‍රවර්ධනය කරන්නකි. අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදී අදහස් හැඩගස්වන යාන්ත්‍රණයන් තනිකර ම මුග්ධභාවය, අන්ධ විශ්වාස හා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන උපකරණ බවට පත් වෙමින් තිබේ. 


මෙම තත්වය කපටීන්ගේ හා භින්නෝන්මාදීන්ගේ වාසියට හේතු වී තිබේ. 


මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. ලංකාවේ සමාජය රෝගී වී සිටින මට්ටම අනුව එය සුවපත් කිරීම පහසු නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-28

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka's drug deals

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි.


අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ.


සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.


ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත් තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"


ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ යයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හා ඉහළ ම දේශපාලන හා රාජ්‍ය අධිකාරීන් අතර ඉතා ළඟ සම්බන්ධයක් තිබේ.


මොවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදීමෙන් ඉපයූ මුදල් මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද, විවිධ පුද්ගලයන්ට වරප්‍රසාද ලබා දී තමන් වෙත නතු කර ගැනීම සඳහා ද යොදා ගන්නට ඇති බවට සැක කිරීම සාධාරණ ය. එසේ කර තිබේ නම්, ඒ වනාහි පැහැදිලිව ම අයථා අන්දමින් ජනමතය හැඩගස්වා ගැනීමකි. 


එසේ වී නම්, එය ලෝක පරිමාණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට හා මානව හිමිකම්වලට එල්ල කළ අභියෝගයකි.


මේ පිළිබඳ දේශීයව අපක්ෂපාතී පරීක්ෂණ කළ නො හැකි ය.


ලජකාවේ රාජ්‍ය අධිකාරිය හා මත්ද්‍රව්‍ය ජාවාරම් අතර සම්බන්ධයක් ඇතැයි එල්ල වන චෝදනා සත්‍ය ද යන්න පිළිබඳ අපක්ෂපාතී, ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය.


පාලකයන් නිදොස් නම් සිය නම පිරිසිදු කර ගැනීම සඳහා ද එය හොඳ දෙයකි.


ලංකාවේ පුරවැසියන් මේ පිළිබඳ උනන්දු විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. විපක්ෂ දේශපාලන පක්ෂවලට දැන් මේවා පිළිබඳ සොයන්නට වෙලාවක් නැත. 


රනිල්ට, සෝමවංශට දැන් තිබෙන ලොකු ම ප්‍රශ්න වී ඇත්තේ තමන්ගේ ම පක්ෂයේ අයගෙන් බේරීමයි. මෙවැනි වැඩකට අත ගසනවා නම් ඒ ප්‍රශ්න වුව යටපත් කර ගත හැකි වනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-27

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කොට උඩ / Sri Lanka's Norochcholai coal power plant out of operation

දැඩි මහජන විරෝධය මැද නොරොච්චෝලේ ඉදි කරන ලද ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක නො වන තත්වයක ඇති බව වාර්තා වේ.


විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කර ඇත.


ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය.


මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් වන අතර, එය පසුගිය මාසයේදී නිල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත භාර ගන්නා ලද්දේ ගාලු මුවදොර හෝටලයේ උත්සවයක් ද පවත්වමිනි.


මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරමිනි.


පෞද්ගලික අංශයෙන් අධි මිළට විදුලිය ගැනීම නිසා පාඩු ලබන විදුලි බල මණ්ඩලය ලබන අවුරුද්දේ සිට විදුලි බිල වැඩි කිරීමට ඉල්ලා ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මැතිවරණ කොමසාරිස්ගේ 'පහත් තැනින් යයි ගලා ජලේ'

මැතිවරණ නීතිවලට පටහැනිව ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට විරුද්ධව කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර ඇත.


රජයේ සේවකයන් මැතිවරණවලට තරග කරනවා නම් රජයේ සේවයෙන් ඉල්ලා අස් වී හෝ නිසි පරිදි නිවාඩු ලබාගෙන එය කළ යුතු ය.


එසේ නො කළ රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීම වරදක් නැත.


එහෙත්, එතුමාගේ දෑසට පෙනිය යුතු තවත් කරුණක් තිබේ. එනම්, රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති තඹයකට නො තකා බලය තමන් යයි සිතාගෙන සම්පූර්ණයෙන් ම නීති විරෝධී අන්දමින් පසුගිය මැතිවරණවලදී ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගි වූ හ.


වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ ඔක්තෝබර් 03දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ප්‍රචාරක රැස්වීමක් ඇමතූ බව මැතිවරන කොමසාරිස්වරයාට දැනුම් දී ඇත. ඒ ගැන විභාග කළා ද නැද්ද යන්න අපි නො දනිමු.


ඒ අයටත් විරුද්ධව ක්‍රියා කිරීමට පුළුවන් නම්, අන්න මැතිවරණ කොමසාරිස් මරු පොරකි.


නැතිනම් ඉතින් 'පහත් තැනින් යයි ගලා ජලේ' තමයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-26

මේ ම්ලේච්ඡත්වයෙන් අත්මිදීම සමාජ වගකීමකි


Sunday Times පුවත්පතින් උපුටා ගන්නා ලද ඉහත ඡායාරූප දෙකෙහි සිටින අලි පැටවුන්ගේ පාද සහ හොඬවැල කැපී වෙන් වන තරමට තුවාල වී තිබෙන්නේ යකඩ කම්බිවලින් අටවන ලද මදු ඒවායේ පැටලීමෙනි.


මෙම මදු අටවනු ලබන්නේ වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීමට බව කියනු ලැබේ. ඒවායේ පැටලෙන අලි ඒවා කඩාගෙන යති. පැටලුණ තැන සිර වන කම්බිය නිසා එතැනින් පහළට ලේ ගමනාගමනය අඩාල වී තුවාල නරක් වී මේ සත්තු අනන්ත දුක් විඳ අකාලයේ මිය යති. 


මේ වනාහි අද වන විට සමාජය ඉහ වහා පැති ඇති දුෂ්ටත්වයේ තවත් අක්ෂයකි. ධන තණ්හාව හා බලයට කෑදරකම සමාජය ඉහවහා පැතිර ඇත. රටේ පාලකයෝ, ජාතික හා ආගමික නායකයෝ සමාජය වසා පැතිර ඇති ම්ලේච්ඡත්වයෙහි ප්‍රවර්ධකයන් වූ කල සමාජයෙන් බලාපොරොත්තු විය හැක්කේ අන් කුමක් ද? 


අප සමාජ වෙනසක් අවශ්‍ය යයි කියන්නේ මිනිසුන් තිරිසන්භාවයෙන් මුදවා ගැනීමට හා තිරිසනුන්ට මිනිසුන්ගෙන් සහනයක් ලබා දීම ද සඳහා ය. 


පාරිසරික, සමාජ, ආර්ථික, දේශපාලනික ආදී සෑම පැත්තකින් ම ම්ලේච්ඡත්වයට විරුද්ධ වීම හා ම්ලේච්ඡත්වයෙන් අත් මිදීම ප්‍රගත්ශීලීන්ගේ සමාජ වගකීමකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-24

ඇමරිකාව ලංකාවට බය වී ජී.එස්.පී. ප්ලස් දෙයි (දිවයින මානසිකත්වය පුවත්පතෙන් උපුටා ගත් පුවතක්)

ඇමරිකාව දැන් දුප්පත් වෙමින් තිබේ. 
ජනාධිපතිගේ දුරකථනය තැබීමට දුරකථන  සිටගැනීමක් (telephone stand)
මිළ දී ගැනීමට පවා ධවල මන්දිරයට මුදල් නැත.
කීර්ති පාටකුලසූරිය විසිනි

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ලංකාවට බිය වී තිබේ. (US President Barak Obama is afraid of Sri Lanka) විශේෂයෙන් ම ලංකාවේ දිවයින ඇතුළු සිංහල පුවත්පත් කියවීමෙන් හා අයි.ටී.එන්. ඇතුළු රූපවාහිනීවලට සවන් දීමෙන් පසු නුදුරු අනාගතයේදී තමන් පරද්දන මේ ශ්‍රී ලංකාව නම් රට සමග ෂේප් එකේ සිටිය යුතු බව බරක් ඔබාමා තීරණය කර තිබේ. (Obama has decided to shape Sri Lanka) 


ලංකාවට ජී.එස්.පී. බදු සහන ලබා දීමට ගත් පියවර ලෝකයේ වෙනත් රටවල් 129කට ද වාසියක් (chance) වී ඇක. 


ජී.එස්.පී. බදු සහනය අහිමි වීම ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන ඇඟලුම් සඳහා බලපෑවේ නැත. එහෙත්, ලංකාව එරට ටයර් සපයන ප්‍රමුඛයා වී සිටි අතර ජී.එස්.පී. නැති වීම නිසා එම ටයර් වෙළඳපොළ සීයට 28.5කින් වැටිණි. 


මෙම ටයර් වෙළඳපොළ අල්ලා ගන්නා ලද්දේ චීනය විසිනි. ඒ නිසා, ඇමරිකාව නැවත ජී.එස්.පී. සහනය දෙන්නට තීරණය කර තිබෙන්නේ චීනයත්, ලංකාවත් කෙටවීමට බව වාර්තා වේ. 
බත් නැති නිසා පාන් සහ සලාද කොළ කයි
බයට සිගරැට් බොයි (smoking)
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-23

ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි.


"යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත."


ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.


එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි.


බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය.


ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ.


ගඩාෆිගේ මරණය ගැන නවනීදන් පිල්ලේගේ ප්‍රතිචාරයේ එල්ලෙන්නේ කෙසේදැයි දිවයින මුද්‍රණයට යන මොහොත දක්වා සොයමින් සිට ඇත.


යටත් වූ මිනිසුන් මරා දැමීම කොතැන වුණත් වැරදි ය. ජනමාධ්‍යයන්ගේ වගකීම වන්නේ මානව හිමිකම් පොදුවේ ප්‍රවර්ධනය කිරීම මිස සමහර මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා තවත් සමහර මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අනුබල දීම නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-22

සියලු ඒකාධිපතියන්ට පාඩමක් විය යුතු ගඩාෆිගේ මරණය / Death of Gadaffi, a lesson to all dictators

ගඩාෆි කෲර අන්දමින් මරා දමා ඇති බවට තොරතුරු තිබේ. මරා දැමීමට පෙර ඔහු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති නමුත් තැරැලිකරුවෝ එයට සවන් නො දුන් හ. නීතියේ පාලනයේ වැදගත්කම ගඩාෆිට තේරෙන්නේ අවනීතියේ ගංවතුර තමන්ගේ නහය මට්ටමට ගලා එන විට ය.


කෙසේ වෙතත්, ගඩාෆි නිවටයකු ලෙස පළා නො ගොස් පරාජයට ගෞරවනීය ලෙස මුහුණ දීමට උත්සාහ කර ඇත. ඔහු මරා දමා ඇත්තේ යටත් වූ පසුවයි.


ගඩාෆිගේ මරණයෙන් ලිබියාවේ ජනතාව වනචාරී ලෙස ප්‍රීති වෙමින් සිටින බව වාර්තා වේ. 


ගඩාෆි නෙළා ගත්තේ අඩ සියවසකට ආසන්න කාලයක් තමන් ලිබියාවේ වැපිරූ දෙයෙහි අස්වැන්නයි. 


බලයෙන් උමතුව, නීතිය අතට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තඹයකට නො තකා ලිබියාව පාලනය කළ මෙම එකාධිපතියාට කෲර මරණයක් අත් කර දුන්නේ ඔහු විසින් ගොඩනඟන ලද, කලක් ඔහු වන්දනා කළ මන්ද බුද්ධික ජනතාවයි. 


මේ ජනතාවගේ සහාය ලබමින් සිටි කාලයේ බටහිර බලවතුන්ට ගඩාෆි දඩයම් කිරීම දුෂ්කර විය. ඒ කාලයේ ගඩාෆි බටහිර බලවතුන්ට සෑහෙන්න චණ්ඩි පාට් දැම්මේ ය. බටහිර බලවත්තු බලා සිටිය හ. සෑහෙන කාලයක් බලා සිටිය හ. ලිබියාවෙන් විරෝධය මතු වන්නට පටන් ගත් මොහොතේ සිට ඔවුහු එය පෝෂණය කළ හ. 


බටහිර බලවතුන්ගේ දේශපාලනය පිළිබඳ නොයෙකුත් ගැටලු ඇත. එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහිව දේශපාලනය කිරීම යනු එකාධිපති පාලක රෙජිම ගොඩනඟා ගැනීම අනුමත කිරීම නො වේ. 


ඊනියා බටහිර විරෝධය දේශපාලන පදනම කර ගනිමින්, නීතියට, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට සමච්චල් කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි මානව වර්ගයාට එරෙහි අපරාධ කරමින් ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් සදාකාලිකව වැජඹෙන්නට බලාපොරොත්තු වන ලෝකයේ සියලු පාලකයන්ට ගඩාෆිගේ ඉරණම සත්තකින් ම පාඩමක් විය යුතු ය. 


ගඩාෆි වැනි බලයෙන් උමතු වූ පාලකයන් විසින් උගත යුතු පාඩම වන්නේ තම දේශපාලන බලයේ පදනම බවට පත් කර ගන්නා අදේශපාලනික, බුද්ධි හීන ජනතාව යනු කිසි සේත් ම විශ්වාස තැබිය නො හැකි බලවේගයක් බවයි. ඔවුන් අනෙත් පැත්තට හැරෙන්නට ගත් කල හැසිරෙන්නේ ලිබියාවේ කැරැලිකරුවන් හැසිරුණ අන්දමට ම ය. ඒ ජනතාව ගොඩනැඟූ පාලකයෝ අවසානයේදී ඔවුන් අතින් ම බල්ලන් සේ මිය යන බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි එමට ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-21

බාප්පා ඔබ දෙස බලාගෙන / Big Bappa is looking

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති කරුණක් වන්නේ යුද හමුදා බුද්ධි බලකාය බලඇණි හයක් දක්වා වැඩි කළ යුතු බවයි.


ලංකාවේ බුද්ධි අංශය යයි කියන්නේ intelligence wingsවලට ය. මෙතැන ඇති intelligence බුද්ධිය හා සම්බන්ධ දෙයක් නො ව ඔත්තු බැලී‍මට සම්බන්ධ දෙයකි. 


හේතුව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වය ඇති වීමට හේතු නැති කර සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන නැති හෙයින් රජයට අංක එකට දෙමළ ජනයා ද, ඊළඟට රටේ අනෙකුත් ජනතාවන් ද, විශේෂයෙන් ම දේශපාලනික වශයෙන් සක්‍රිය ප්‍රජාව ද, මොළේ තිබෙන මිනිස්සු ද, සරසවි ශිෂ්‍යයෝ ද, විපක්ෂය ද, තමන්ගේ පක්ෂයේ අය ද, තම තමන්ගේ ම අය ද, තමන් ම ද සැක ය.


ඒ නිසා ඔත්තු බැලිය යුතු ය. සරසවිවලට වැඩි වියදමක් වැය කර රක්නා ලංකා නම් රජයේ ආරක්ෂක සේවය යොදවන්නේ ඒ නිසා යයි සරසවි ප්‍රජාව සැක කරයි.


රුසියාවේ සමාජවාදී නමින් ක්‍රියාත්මක වූ ඒකාධිපති රෙජිම බලයේ සිටි සමයේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවය ගැන අපූරු කතාවක් තිබිණි.


එක් පුද්ගලයෙක් නිකමට මෙන් දුරකථන කුටියකට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසයි.


'ඔව්, මොකක්ද උවමනාව?' යන පිළිතුර ලැබෙනවාත් සමගම දුරකථනය ආපසු තබන හේ ඈතින් පිහිටි වෙනත් දුරකථන කුටියකට ගොස් එය ම කරයි.


තුන්වන දුරකථන කුටියට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසන විට 'ඔව්, මොකක්ද උවමනාව?' යි පිළිතුර එන්නේ ඔහුගේ පිටුපසිනි. හැරී බලන විට ඔහු පිටුපසින් කේ.ජී.බී. නිලධාරියෙක් සිටගෙන සිටියි.


නැගෙනහිර ජර්මනියේ එරික් හොනෙකර් යුගයේ ඒකාධිපති රෙජිම රටේ මිනිසුන්ගේ ජීවිත ගැන ඔත්තු බැලූ අන්දම ගැන අපූරු නාට්‍යමය චිත්‍රපටයක් නිර්මානය කර තිබේ. එහි නම Lives of Others ය. එහි ජර්මානු නම Das Leben der Anderen ය. Florian Henckel von Donnersmarck නම් සිනමාකරුවකු විසින් නිර්මානය කරන ලද මෙම චිත්‍රපටය 2006දී හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස සම්මාන ලැබී ය. සොයාගෙන බලන්න.


සැකය බිය උපදවයි. බිය ප්‍රචණ්ඩත්වය උපදවයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ප්‍රජාතන්ත්‍රවාදී මහජන අයිතිවාසිකම් පැහැර ගනියි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-20

ජවිපෙ මූලස්ථානයේ බිත්තියේ ඡායාරූපය ගැන මාක්ස් මෙසේ පවසයි / Marx quoted about the photo on the wall of the JVP headquarters

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල මූලස්ථානයේ එල්ලා තිබූ මාක්ස්ගේ ඡායාරූපය කැරළිකාර කණ්ඩායම රැගෙන ගිය බව කියැවේ. සෝමවංශ අමරසිංහ පාර්ශ්වය කියන්නේ කරැළිකරුවන් ඒය සොරකම් කළ බවයි. 


මාක්ස් ජීවතුන් අතර සිටියා නම් සමහර විට මෙසේ කියනු ඇත. 


"සහෝදරවරුනි, මා තවත් අය සමග එක්ව ඉදිරිපත් කළේ ලෝකය විග්‍රහ කරන දැක්මක් මිස ආගමික දේශනාවක් නො වේ. මම ශාස්තෲවරයෙක් නො වෙමි. එහෙයින් මගේ රූප ඔබේ කාර්යාලයේ එල්ලාගෙන මල් පහන් පිදීම, හඳුන් කූරු දැල්වීම වැනි අභිචාර පැවැත්වීම තේරුමක් නැත.


"මා ඉදිරිපත් කළ කරුණු වනාහි අවසාන දේව වාක්‍ය නො වේ. ඒවා ලෝක ධර්මයන් තේරුම් ගැනීමේ විද්‍යාවක පදනමයි. නො එසේව, කට පාඩම් කරගෙන උපුටා දැක්වීමට හා තමන්ට අවශ්‍ය පරිදි, අවශ්‍ය කෑලි පමණක් ගෙන, තමන්ගේ අදහස් ඔප්පු කිරීම සඳහා යොදා ගත හැකි න්‍යායික උපකරණ විශේෂයක් නො වේ. 


"කොමියුනිස්ට් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී මම 'සකල දේශ වාසී නිර්ධනයිනි, එක්වව්!' යන සටන් පාඨය ජර්මන් බසින් Proletarier aller Länder vereinigt Euch! ලෙස ඉදිරිපත් කළෙමි. අද වන විට ඔබ ඇතුළ බොහෝ මාක්ස්වාදීන් යයි කියන අය කරන්නේ නිර්ධනයින් බෙදා වෙන් කර ඔවුන් සමගි වීම වැළැක්වීමේ ධනපති උවමනාව ඉෂ්ඨ කිරීමයි. 


"එසේම, නිර්ධන පංති පක්ෂයකැයි කියන ඔබට මිනිසුන්ට වඩා දේපල වැදගත් වී තිබීම ඔබ කවුරුද යන්න ගැන පැහැදිලි කර දෙයි. 


"මාක්ස්වාදීන් හැම විට ම සිටියේ පීඩිතයන්ගේ පැත්තේ ය. ඔබ සියලු දෙනා වනාහි රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයක සිර වී සිටි අසරණ දෙමළ වැසියන්ට බර අවිවලින් පහර දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටි පක්ෂයකි. දෙමළ ජනයාට සාධාරණත්වය ඉටු කරන්නැයි ඉල්ලා සිටි, යුද්ධයට විරුද්ධ වූ දකුණේ සිංහල වාමාංශිකයන් අනතුරට පත් කිරීමට කටයුතු කළ පක්ෂයකි. පීඩක බහුතර සිංහල ජාතිවාදය හා බෞද්ධ ආගමික අන්තවාදය වැළඳගෙන ජාතික හා ආගමික සුළුතරයන් පීඩාවට පත් කළ පක්ෂයකි. ශාරීරික ආබාධිත ඇති අයට සිනා වූ ප්‍රචාරක ලේකම් කෙනෙකු සිටි පක්ෂයකි. ලිංගික වශයෙන් පීඩිත ජන කොටසක් වූ සමරිසියනට ගරහන පක්ෂයකි. සියල්ලට ම වඩා ස්ත්‍රීන්ට සම තැන නො දෙන, පක්ෂ සාමාජිකාවන් නායක කාරකාදීන්ගේ බැල මෙහෙකම්වලට යොදවන, ඔවුන් ලිංගිකව  පවා සූරා කන පක්ෂයකි. 


"ඔබේ බිත්තියෙන් මගේ ඡායාරූපය ඉවත් වීම ගැන මම සතුටු වෙමි. ඡායාරූපය රැගෙන ගිය අය නමට මාක්ස්වාදීන් නො වී මාක්ස්වාදය ලෝකය විග්‍රහ කිරීමේ හා පීඩිතයන්ට යහපත් අන්දමින් වෙනස් කිරීෆම් විද්‍යාවක් බවට පත් කර ගන්නට උත්සාහ කරනවා නම් මම සතුටු වෙමි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-19

කුඩුත් හාමුදුරුවන්ගෙ; නඩුත් හාමුදුරුවන්ගෙ

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ද වේ. 


පොලිස් විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයේ සර්ව බලධාරියා ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ ය. 


බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සාගේ නිවසේ කුඩු තිබේදැයි සොයන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණියේ ය. සෝදිසිය කර තිබෙන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව බව කියනු ලැබේ. 


ඊට පසු එයට විරෝධය පළ කරන්නට‍ මෙන් ජනාධිපතිවරයා ලන්සාගේ නිවසට පැමිණියේ ය. පැමිණියේ තවත් ජනාධිපති සහෝදරයකු වන ගම්පහ දිස්ත්‍රික් නායක හා ඇමති බැසිල් රාජපක්ෂ සමගයි. 


ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ගෑවීම මෑත වකවානුවේදී සුලබ වී ඇත. එවැනි දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ඉහළම නායකයන්ගේ මැදිහත්වීම ද දක්නට ලැබේ. 


මීගමුවේ ලන්සාගේ "හොඳ නම" පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවෙන් කෙළෙසී ඇති බව කියැවේ. ලන්සා හා ඔහු සමග ගනුදෙනු කරන ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස් සෝදිසි කිරීම පිටුපස යම් නිශ්චිත තොරතුරු තිබෙන්නට ඇත. ඇතැම් විට මෙම සෝදිසිය පිළිබඳ ‍ඔත්තුවක් මෙම නිවෙස් හිමියන්ට කලින් ලැබෙන්නට ද ඇත. 


මීගමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ දේශපාලකයකු වන ලන්සාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වන සරත් කුමාර ගුණරත්නත් අතර ගැටුමක් ඇත. හෙට අනිද්දා වන විට මීගමුවත් තවත් මුල්ලේරියාවක් වුණොත් පුදුම විය යුතු නැත. 


අද රටේ පවතින නීතියක් නැති තත්වය සඳහා මෙබඳු සිද්ධි කදිම උදාහරණ වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-18

මාළුන්ගේ අපේ දේශ සීමා ප්‍රශ්න හා මහින්ද රාජපක්ෂ / Sri Lanka President, fish and borders

“ධීවර ප්‍රශ්නය ගැන ජනාධිපති හැටියට නොව පෞද්ගලිකව මතය කියන්න කැමැතියි. මම මේ මතයේ දිගටම හිටියා. තාමත් ඉන්නවා. මාළුවාට දේශ සීමා නැහැ. ධීවරයාටත් එහෙමමයි. මාළුවා පීනාගෙන යනවා. ධීවරයාත් ඒ පසුපස යනවා. ඒ නිසා මෙයට එකම විසඳුම ධීවරයන් එක්වී සාකච්ඡා කිරීමයි.”


ජනාධිපතිතුමා විසින් පසුගියදා පළ කරන ලද මෙම මතය ඉතා ප්‍රගතිශීලී එකකි. විශේෂයෙන් ම උතුරු මුහුදේ ලාංකීය ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් සම්බන්ධ කාරණයේදී මෙම කරුණ විශේෂයෙන් අදාළ ය.


පාරම්පරිකව මොවුහු ධීවර කර්මාන්තයේ යෙදුණේ ‍එක ම මුහුදක ය. මුහුදේ දේශ සීමා දිය පිට ඇඳි ඉරි ය. ඒවා දන්නේ නවීන උපකරණ පාවිච්චි කරන නාවික හමුදා ය. 


1970 දශකයේදී ඉන්දීය රජය විසින් ලංකාවට භාර දෙන ලද කච්චතිවු දූපත දෙරටේ ම ධීවරයන් විසින් දැල් වේලා ගැනීම, විවේක ගැනීම හා ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ එකකි. දූපත පවරා දීමේ ගිවිසුමේ ම මේ කාර්යයන් දූපතට අදාළව දෙරටේ ධීවර හිමිකම් ලෙස පිළි ගන්නා ලදී. 


දේශ සීමා ගැන කිසිත් නො දත් මාළුවා පසුපස හඹා යන ධීවරයා ගැන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය විවේචනය කරන ඇතැමුන් කියන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි ප්‍රකාශයක් බවයි. 


අප මෙහිදී සාකච්ඡා කරන්නේ ධීවර ප්‍රශ්නය නො ව, දේශ සීමා ප්‍රශ්නයයි. දේශ සීමා යනු බල්ලන් වැනි සතුන් සිය වාස භූමි සීමා සලකුණු කර ගන්නා ජෛව විද්‍යාත්මක ආකාරයට සමාන ස්වාභාවික ප්‍රපංචයක් නො වේ. ඒ වනාහි මිනිසා අතිරික්ත ශ්‍රමය අයිති කර ගැනීම සඳහා සෙසු මිනිසුන්ට එරෙහිව මර්දනය මුදා හැරීම සඳහා නිර්මානය කර ගත් පාලන සංකල්පවල දියුණු යයි කියන අවධියකදී රාජ්‍ය ගොඩනඟා ගැනීමෙන් පසු සකසා ගන්නා ලද දෙයකි. 


එදා මෙදාතුර ඉතිහාසය පුරා ම දේශ සීමා ඝනීභූතව එක ම ආකාරයට තිබුණේ නැත. ඉතිහාසය පුරා දේශ සීමා ද චලනය වී තිබේ. එසේ වූයේ පැරණි රාජ්‍ය මැකී යමින් අලුත් රාජ්‍ය බිහි වෙමිනි. නිදසුනක් ලෙස බෞද්ධ ඉතිහාසය හදාරන කවුරුත් දන්නා බුද්ධ කාලයේ තිබුණු සොළොස් මහ රාජ්‍ය දැන් නැත. බැබිලෝනියාව, මෙසපොටේමියාව පමණක් නො ව, වඩා මෑත ඉතිහාසයේ දක්නට ලැබුණු පර්සියාව, ප්‍රසියාව වැනි රාජ්‍ය ද නැත. 


1976 නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වුණ අවස්ථාවේදී යුගොස්ලාවියාව නම් රාජ්‍යයක නායකයා ලෙස මාෂල් ටිටෝ ලංකාවට පැමිණියේ ය. දැන් යුගෝස්ලාවියාව කියා රාජ්‍යයක් ලෝකයේ නැත. ලංකාවේ මිනිසුන් ආදරය කළ රතු පොත් අපේ රටට එවූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවක් ද දැන් නැත. 


ඉතා ම මෑතදී දකුණු සුඩානය නම් නව රාජ්‍යයක් බිහි විය. 1990 සිට මේ දක්වා ලෝකයේ නව රාජ්‍ය 34ක් බිහි වී තිබේ. 


ලැයිස්තුව මෙසේ ය: ආර්මේනියා, අසර්බයිජාන්, බෙලරුස්, එස්තෝනියා, ජෝර්ජියා, කසක්ස්ථාන්, කිර්ගිස්ථාන්, ලැට්වියා, ලිතුවේනියා, මොල්ඩෝවා, රුසියා, තජිකිස්තාන්, තුර්ක්මෙනිස්තාන්, යුක්රේන් ලෙස පැරණි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව කැඩී බිඳී ගියේ ය. 


පැරණි යුගෝස්ලාවියාව බොස්නියා හා හර්සගොවීනා, ක්‍රොඒෂියා, මැසිඩෝනියා, සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ, ස්ලෝවේනියා ලෙස විසිරී ගියේ ය. සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ ද පසුව රාජ්‍ය දෙකක් බවට පත් විය. 


චෙකොස්ලෝවෙකියාව චෙක් රාජ්‍යය හා ස්ලෝවෙකියාව ලෙස වෙන් විය. 


නැමීබියාව දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබී ය. මාෂල් දූපත්, මයික්‍රොනේසියාව (කැරොලින් දූපත්) හා පලවු දූපත් එක්සත් ජනපදයෙන් නිදහස ලැබූ හ. 


එරිත්‍රියාව ඉතියෝපියාවෙන් ද, නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් ද, කොසොවෝ සර්බියාවෙන් ද, දකුණු සුඩානය සුඩානයෙන් ද වෙන් විය.  


මේ අතර රටවල් එකතු වී නව රාජ්‍ය ද හැදිණි. උතුරු හා දකුණු යේමනයන් හා නැගෙනහිර හා බටහිර ජර්මනි මෙසේ එක් වී බිහි වූ නව රාජ්‍යයෝ ය. 


මේ දේශ සීමා වෙනස් වීම් අධ්‍යයනය කර බලන විට පැහැදිලි වන කාරණයක් වන්නේ එසේ සිදු වී ඇත්තේ ජන විකසනයේ අවශ්‍යතාවන් මත බවයි. ජාතීන් ලෙස අනන්‍යතා ගොඩ නඟා ගත් ප්‍රජාවෝ හැමදාමත් ජාතික රාජ්‍ය ගොඩනඟා ගන්නට උත්සාහ කළ හ. 


බලවත් රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර දේශපාලන බල අවශ්‍යතා මේ පසුපස තිබුණු මුත් ඒවා මේ දේශ සීමා වෙනස් වීම්වලට උත්ප්‍රේරක වුණා මිස එයට එක ම හේතුව වූයේ නැත. 


එහෙම වුණා නම්, සිංහල ජාතිකවාදීන් සිතන අන්දමට ලෝකයේ සියලු රටවල්වලට (චීනය හා අලුතින් ම වියටිනාමය හැර) ලංකාව බෙදන්නට උවමනා වී තිබියදීත් එසේ නො වී තිබෙන්නට හැකියාවක් නැත. 


ලංකාවේ දෙමළ ජනතාව විසින් ගොඩ නඟා පෝෂණය කරන ලද හා පසුව ඔවුන්ගේ නො නිල පාලන ව්‍යූහයක් බවට පරිණාමය වූ කොටි සංවිධානය විසින් ද දියත් කරනු ලැබුවේ නව රාජ්‍ය ගොඩනැඟීමේ ව්‍යාපෘතියකි. එහෙත්, අවශ්‍ය අදියරේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගොඩනඟා ගැනීමට අසමත් වීම නිසා එම අරගලය අසාර්ථක විය. 


යුද්ධයෙන් නිල රාජ්‍ය බලය හිමි සිංහල පාර්ශ්වය ජය ගත්තේ ය. යුද්ධය නිමා වී දැන් ‍වසර දෙකහමාරකි. එහෙත්, ගැටුණු ජන වර්ගයන් අතර සාමය හා සංහිඳියාව ඇති වී නැත. 


එසේ වීමට‍ හේතුව වන්නේ, සිංහල නායකයන් තවමත් පැරණි සිංහල ආධිපත්‍යයික රාජ්‍යයට ම දෙමළ ඇතුළු සුළුතර ජනයා යටත් කර ගැනීමට උත්සාහ කිරීමයි. දෙමළ ඊලාම් රාජ්‍ය අරගලය අසාර්ථක වීමට හේතු වූයේ ජාතික අන්තවාදය නිසා නම්, සිංහල ආධිපත්‍යයික ශ්‍රී ලාංකික රාජ්‍යය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ම ය. සිංහල ආධිපත්‍යයික රාජ්‍යය ද අසාර්ථක වන්නේ ජාතික අන්තවාදය නිසා ය. එහි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අසාර්ථක වීමේ අදියර හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගමන් කරමින් සිටියි. 


ලංකාවේ දේශ සීමා වෙනස් වීමට ඇති නැඹුරුව පාලනය කර ගත හැක්කේ සුළුතර ප්‍රජාවන් රාජ්‍යයට අනුකලනය කර ගත හැකි රාජ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමකින් පමණි. ඒ වනාහි සිංහල රාජ්‍යය රැක ගැනීමේ ව්‍යාපෘතියක් නො ව, ලාංකික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමේ ව්‍යයාමයකි. 


මාළුන්ගේ ප්‍රශ්න තේරෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නයත් තේරිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-16

කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති. 


චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති.


චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි. 


චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය. 


චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි. 


ණය දීමේදී පණවන කොන්දේසි අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තුව ද චීනයට ම දිය යුතු ය. එයින් චීනයේ සමගම්වලට ව්‍යාපාර අවස්ථා ද එරට ශ්‍රමිකයන් කොටසකට රැකියා ද ලැබේ. 


චීනය පමණක් නොව, ඉන්දියාව ද වෙනත් රටවල් ද කරන්නේ එයයි. 


දැන් ලංකාව ද මාලදිවයින මේ අන්දමින් සූරා කන්නට උත්සාහ කරයි. ඒ සාක් සමුළුව වෙනුවෙන් මාලදිවයිනේ පාරක් හැදීමෙනි. මාලදිවයිනේ මිනිස්සු වැඩියෙන් ගමන් බිමන් යන්නේ බෝට්ටුවලින් නිසා කමක් නැත.


පහත පළ වන්නේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් චීන වික්‍රමයකි.  

රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙරෙන කොට්‌ටාව ගාල්ල අධිවේගී මාර්ගයේ කොට්‌ටාව සිට දොඩංගොඩ දක්‌වා ඇතිරූ කාපට්‌ ප්‍රමිතියෙන් තොර වීම නිසා ඉන් මීටර් අටදහසක පමණ ප්‍රමාණයක්‌ ඉවත්කර යළි ඇතිරීමට සිදු වී තිබේ. චයිනා හාබර් නමැති සමාගම විසින් ඉදිකරන ලද මෙම කොටස ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආනයනය කළ විශේෂ යන්ත්‍රයකින් කළ පරීක්‍ෂණයකින් පසුවය.
ප්‍රමිතියෙන් තොර ස්‌ථාන මීටර් තුනහමාරක පළලින් හා මිලිමීටර් දෙකක ඝනකමකින් යුත් කොටස්‌ මීටර් සියය දෙසීය වශයෙන් මේ දිනවල ඉවත් කරමින් පවතී. මෙම චීන සමාගම භාරගත් කිලෝමීටර් තිහේ කාපට්‌ කොටසට පහළින් දමා ඇති පස්‌ තට්‌ටුද නියමිත පරිදි තැන්පත් කර නැති බවට ද ඉංජිනේරුවන් අතර සැක පහළ වී ඇත.
දොඩංගොඩ සිට ගාල්ල දක්‌වා වන කිලෝ මීටර් 66 ක පමණ ප්‍රමාණය ජපන් සමාගම් දෙකක්‌ මගින් ඉදි කරන අතර එම කිලෝ මීටර් ප්‍රමාණයේ ඉවත් කිරීමට සිදු වී ඇත්තේ මීටර් දෙසීයයක පමණ කොටසකි.
විශේෂ යන්ත්‍රයක්‌ ගෙන්වා මාර්ග සංවර්ධන අධිකාරිය පරීක්‍ෂා නොකළේ නම් මෙම ප්‍රමිතියෙන් තොර තත්ත්වය අනාවරණය නොවන බව ඉංජිනේරුවරු පවසති.
ඉවත් කරන කොටස්‌ යළි අතුරණු ලැබුවත් එය කොපමණ කාලයක්‌ පවතී ද යන්න ගැටලු සහගත බව පෙන්වා දෙන ඔවුහු ඒ සඳහා අමතරව දැරීමට සිදුවන මුදල චීන සමාගම පියවා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු යෑයිද ප්‍රකාශ කරති.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-15

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය ය / International probe needed on Sri Lanka's drug businesses

සිංගප්පූරුවෙන්‍ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගෙනැවිත් දුමින්ද සිල්වා සුව කිරීමට ලොකු ලොක්කන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


මේ අතර අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මත් කුඩු හිඟයක්‌ ඇති වී තිබේ.


කුඩු ජාවාරම්කරුවන්ගේ පළා යාමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.


මේ හේතුවෙන් ඊයේ වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරු ද පොලිසිය නිරීක්‍ෂණය කර ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කරයි.


දුම්න්ද සිල්වා ගැන තිබුණු කටකතා බොරු නො වන බව මෙම පොලිස් වාර්තා සමග ඔප්පු වේ. CIC සමාගමේ හිමිකරුවකු නො වූ, එහෙත් එහි කෘෂිකර්ම අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ වූ ලාල් සිල්වාගේ පුතකු වූ, රැකියාවක් කළ බවට ආරංචියක් නැති, කරන වෙනත් ව්‍යාපාරයක් ද නැති, එහෙත් ඇති තරම් බඩු බෙදන්නට හා ඡන්දවලදී අත දිග හැර වියදම් කරන්නට දුමින්දට තිබුණු සල්ලි උපන්නේ කොතැන ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.


එක්කෝ දුම්න්ද කුඩු ජාවාරම්කරුවන්මෙහෙයවන්නට ඇත. නැතිනම් කුඩු ජාවාරම්කරුවන්ට ඉහළ ම බලධාරීන්ගෙන් රැකවරණය ලබා දීම සඳහා අතරමැදි භූමිකාව කරන්නට ඇත. මොනවා කළත්, මේ පිටුපස දැවැන්ත මුදල් ගනුදෙනු සිදු වන බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. දුමින්ද මේ සල්ලි ලොකු ලොක්කන් සමග බෙදා ගත් බවට සාධාරණ සැකයක් තිබේ.


ඉහළම නායකත්වය කුඩු ජාවාරම්කරුවන් සමග මේ අන්දමින් පැටලුණු තවත් රටක් ලෝකයේ තිබෙන්නට බැරි ය. ඒ අතින් නම් ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ආශ්චර්යයකි.


මේ වනාහි ශිෂ්ට රටක නම් පිළිකුල් සහගත හෙළිදරව් වීමකි. ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරමට හා ඒ හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළ යුතු ය. 


මේ පිළිබඳ ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා විපක්ෂය බලපෑම් කළ යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-13

වංගීස සුමනසේකර යනු කුමක් ද? / What is the meaning of Wangeesa Sumanasekara?

අප 'සාකෝසි යනු කුමක්ද?' පොත ගැන තැබූ සටහනින් වංගීස සුමනසේකරගේ සිත් පෑරී අති නම් අපි සමාව අයදිමු.


අප සාමාන්‍යයෙන් ඩේල් කානගීගේ සිත් ගැනීමේ කලාව අනුගමනය කරන අය නො වෙමු. කානගීට අනුව ජනප්‍රිය වීමට හොඳම මාර්ගය වන්නේ අනුන් විවේචනය නො කර සිටීමයි.


'මාරයි මචං' කියමින් තුරුළු වන්නන්ට අපි කවුරුත් කැමති ය. අපටත් අනෙක් අයට මෙන් ඔබ එවූ බැනරය ප්‍රදර්ශනය කර අත සොදා ගන්නට තිබිණි. එහෙත්, ඊනියා ප්‍රශංසාවේ නිහඬතාව තුළ සුනිල් විජේසිරිවර්ධනගේ 'පුරවැසි මංපෙත්' කෘතිය සේ මරණයට පත් වීමට වඩා විවේචනය හරහා ජීවත් වීමට ඔබේ පොතට අවස්ථාවක් අපගේ ලිවීම හරහා ලැබී තිබේ.


ඇත්තෙන්ම පොත පිළිබඳ යමක් ලිවීම සඳහා අපි උත්සාහ කර නැත. මන්ද, අපි මෙම පොත කියවා නැත.


එය පරිවර්තනය කිරීම අනිවාර්යයෙන් ම යහපත් ව්‍යායාමයකි. පොත ගැන කතා කිරීම සඳහා අවස්ථාවක් උදා වන්නේ එය පරිවර්තනය කර පළ කිරීමත් සමග ය.


එතුළ ඒ දැනුම සෙසු අය සමග බෙදා ගැනීමේ නිර්ලෝභීකමක් තිබේ.


අ‍පගේ විවේචනයට බඳුන් වන එක්ස් කණ්ඩායම වැනි කණ්ඩායම්වල දේශපාලන ව්‍යාපෘතිය එවැන්නක් නො වේ යයි අපි යෝජනා කරන්නෙමු. අප පවසන්නේ එක්ස් කණ්ඩායම මෙවැනි චින්තකයන් ලංකාවට ආනයනය කර අලෙවි කිරීමෙන් උත්සාහ කළේ දැනුම බෙදා ගැනීමට වඩා බලය ගොඩනඟා ගැනීමට බවයි. එයට ගැලපෙන අන්දමින් ඔවුහු මෙම චින්තකයන් කපා‍, කොටා තමන්ට උවමනා අන්දමින් පැකට් කරන ලදී.


බලය ගොඩනඟා ගැනීම සඳහා මෙසේ කිරීම වරදක් නො වේ යයි තර්ක කිරීමට පුළුවන. එහෙත් එහි නිශේධනීය කාරණා වන්නේ බොහෝ විට මේවා පුද්ගල ව්‍යාපෘති වීම, දැනුම අරගලය මුවහත් කිරීමේ අවියකට වඩා පුද්ගලවාදී ලෙස සතුරන් මැඬලීමේ අවියක් බවට පත් කර ගැනීම හා ඒ ඔස්සේ මුල් දැනුම විකෘති වීමයි. විකෘති වීම සංවර්ධනයක් නො වේ. 


බුද්ධිවාදී වාම කුලක විසින් පසුගිය කාලයේ කරන ලද තවත් නිශේධනීය කාර්යයක් වූයේ පොත් කියවන මිනිසුන් හා නො කියවන මිනිසුන් යයි විභේදනයක් සමාජයේ ඇති කර සමාජ දේශපාලන සක්‍රිය අවකාශයේ පොදු ජන ක්‍රියාකාරිත්වය අඩපණ කර දැමීමයි. 'දේශපාලනය කරන්න නම් ඔයා මේ පොත් කියවලා එන්න' යන කොන්දේසිය ඔවුහු ප්‍රවර්ධනය කළ හ. එසේ කරමින් මේ පොත් කියවූ හෝ කියවූ බව කියන හෝ එක්කෙනෙකුට දෙන්නෙකුට මුවා වී කණ්ඩායම් ගොඩනඟමින් අනෙක් අයට දත නියවීම්, කොකා පෙන්නීම් වැනි විප්‍රකාර කළ හ. බුද්ධිමය භීෂණයක් නිර්මානය කළ හ. 


එසේ ම, චින්තකයන්ගේ පේටන්ට් ගන්නට යාම පසුගිය කාලයේ වාමාංශික පුහු විලාසිතාවක් විය. තරහකාරයන් වැඩි වන නිසා අප මේ පේටන්ට් හිමියන්ගේ විහිළුකාර ලැයිස්තුව මෙහි සටහන් නො කරන්නෙමු. මෙය ද දකුණේ දෙමළ අරගලයේ පේටන්ට් අයිතිය ගන්නට අප ද කලක් නියෝජනය කළ හිරු කණ්ඩායම අන් අය සමග පොර වැදීම වැනි ම වූ මළ විකාරයකි.


එසේ ම, අප‍ට මෙම කරුණ ද කීමට තිබේ. ලෝකයේ අප ජීවත් වන්නේ කිසියම් සමාජ සංස්කෘතික සංදර්භයක වීම ඇත්තක් මිස ජාතිවාදී මතිභ්‍රමයක් නො වේ. "දේශපාලනයේදී අවසාන සිතිජය වන්නේ ජාතික රාජ්‍යයද? නැතිනම් දේශපාලනය යනු ජාතිය, පන්තිය, ලිංගය ආදිය ඉක්මවූ විශ්වීය චින්තනයක් වෙත දිශානත වූ දෙයක්ද?" යන ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ පිළිතුරු "නැත", හා "ඔව්" ය යනු වීම වෙනස් වී ඇතැයි නිගමනය කිරීමට ඉක්මන් නො වන්න. ඔබ අප සමග නැත්නම් ඉන්නේ සතුරා සමගයැයි කීම මිලිටරි චින්තනයකි. මේ මිලිටරි ච්න්තනයෙන් අත් මිදෙන තාක් කල් ඇත්ත සංවාද බිහි වන්නේ නැත.


අප දැනුම ඉවහල් කර ගත යුත්තේ පළමුකොට ම අපට ආසන්න සමාජ, දේශපාලනික, ආර්ථික ආදී පරිසරයන් තේරුම් ගැනීමටයි. (කාගේ ප්‍රකාශක්දැයි නො අසන්න. ඒ සාමාන්‍ය ජනයා වන අපට තේරෙන ආකාරයයි. අපට වැදගත් වන්නේ අදහස මිස එය පළ කළේ කවුරුද යන්න නො වේ.) ආනයනික දැනුම මෙම කාර්යය සඳහා කෙතරම් ඉවහල් වූවා ද යන්න  තක්සේරු කර බැලිය යුතු ය. අපගේ නිරීක්ෂණය අනුව නම් ආනයනික දැනුම ලංකාව විග්‍රහ කිරීමටත්, ‍විග්‍රහාත්මක හෝ සෞන්දර්යාත්මකව හෝ ප්‍රකාශ කිරීමටත් අයහපත් ලෙස බලපෑවා මිස උත්ප්‍රේරකයක් බවට ප්‍රායෝගිකව පත් වූයේ නැත. සීමාන්තික දෘෂ්ටිවාදී වහල්භාවය නිදහස් චින්තනයට බාධාකාරී විය.


අප මෙහිදී ආනයනය යන වදන භාවිතා කරන්නේ ලෝක දැනුමේ අභාසය ලැබීම හා දැන් සිදු වන ක්‍රියාවලිය අතර වෙනස හුවා දැක්වීමට බව කරුණාවෙන් සලකන්න. 


මෙකී තත්වය වඩාත් ම හොඳින් ප්‍රකාශයට පත් වන්නේ ලංකාවේ කලාවෙනි. අද වන විට, ස්වතන්ත්‍ර නාට්‍යය හා ප්‍රබන්ධ කලාව පරිවර්තනයට ද්විතීයක වී ඇති තත්වය නිදසුනකි. ලංකාවේ බිහි වූ විශිෂ්ට ස්වතන්ත්‍ර නාට්‍යකරුවකු වූ ජයලත් මනෝරත්න බූරුවා මහත්තයකු වන්නේ ද,  ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සම්මානිත නවකතාවක් වන්නේ ද, වෙබ් අඩවි හා පත්තර පිටු හරහා කවීන් මදුරුවන් සේ බෝ වන්නේ ද මෙකී සංදර්භය තුළ ය.


සරළව කීවොත්, එක්ස් කණ්ඩායම වැනි මෑත කාලීන වාමවාදී බුද්ධිමය ගුරුකුල හරහා බොළඳ අනුකාරකවාදීන් රොත්තක් විනා කිසිදු නිදහස් ච්න්තකයකු බිහි වූයේ නැත.


අප ලියූ ශාස්තෲ නවකතාව ගැන වංගීස සඳහන් කළ නිසා ඒ ගැන ද ඇඩ් එකක් දමන්නට කැමැත්තෙමි. ලංකාවේ වාමාංශිකයන් ලෙස ඉන්නා තරමක් ඉන්නේ ශාස්තෲවරු හා ශාස්තෲවරුන් සොයා යන වන්දනාකරුවෝ ය.   වාමාංශිකයන්ට ශාස්තෲ නවකතාව ඇලජික් වූයේ හා ඒ ඔස්සේ මතු කර ගන්නට උප උත්සාහ කළ සංවාදයට ඔවුන් දායක නො වූයේ ඒ නිසා ය. තමන්ට ඇති රෝගය ගැන කතා කරනවාට වඩා සාකෝසිට ඇති රෝගය ගැන කතා කිරීමට අපි කැමති ය. 


එසේ ම, ආචාර්ය සුමනසිරි ලියනගේගේ ඊනියා ප්‍රභූ වාම දේශපාලනය හා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති අරමුදල් සමග ඇති සම්බන්ධතාවලින් විනිර්මුක්ත කරගෙන ලංකාවේ අලේන් බදියු ගැන කතා කිරීම ද දුෂ්කර ය.


"අජිත් ට අනුව, මේ වලවේ කරන්නට ඇති එකම තේරුමක් ඇති වැඩේ වන්නේ w3lanka වෙබ් අඩවිය ක්‍රියා කරවීම විය හැකිය." යන ප්‍රකාශය සම්බන්ධයෙන් යමි පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමි. අප w3lanka කරන්නේ නිකම් ඉන්නවාට ම නො වේ. අපගේ උත්සාහය යම් විප්ලවීය ජීවන විලාසිතාවක් ප්‍රවර්ධනය කිරීමයි. ඒ වනාහි බුද්ධිමතුන් ලෙස සිය අනන්‍යතාව සලකුණු කිරීමට කැමති අය වෙනුවෙන් නොව පොදු ජනයා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශී ජීවන විලාසිතාවකි. w3lanka ඒ ජීවන විලාසිතාවේ චින්තනමය පැතිකඩක් නිරූපණය කරන්නකි. (පරමාදර්ශය අජිත් පැරකුම් ජයසිංහ ද යන ගොන් ප්‍රශ්නය නො අසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.) 


අප ඉදිරියෙන් යන අය ද පසුපසින් එන අය ද නැතැයි අප කියන්නේ ද, අපි අනුන්ගේ සාක්කුවල ජීවත් නො වන්නේ හා අනුන් බස්සා ගැනීමට සාක්කු නො මසන්නේ ද ඒ ජීවන විලාසිතාවේ ම පැතිකඩක් ලෙස ය. 


අලේන් බදියු කියවීමට ඇල්මක් අප තුළ ඇති කළාට, වංගීස සොයුර, ඔබට තුති. 


අප වෘත්තීය පොත් කියවන්නෝ නො වෙමු. ඒ නිසා අප අරක කියවා ඇත, මේක කියවා ඇත කියා කියවන්නට අපට උවමනාවක් නැත. 


එසේම, අපි පොත් පෙරළන්නන්ට බිය නැති බව ද කියමු. ඒ චන්ඩිකමකට නො වේ. බුද්ධිමය චන්ඩින්ට අභියෝග කිරීම ද අප ඉහතින් කී ස්ටයිල් එකේ ම කොටසක් නිසා ය. 
-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" ආදර්ශයට ගැනීම

යුද ජයග්‍රහණය හිමිකර දුන් මෙරට හමුදාවේ ක්‍රියාකාරකම් විදෙස් හමුදාවන් ද ආදර්ශයට ගත යුතු බව ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.


ඇත්තෙන්ම, එහෙම වුණා නම් ලෝකයේ ම හමුදා ලංකාවේ හමුදාව වැනි වනු ඇත.


එවිට ලෝකයේ සියලු රටවල් ද ලංකාව වැනි වනු ඇත.


එවිට ලෝකය ම ආසියාවේ ආශ්චර්යය වනු ඇත.


අපේ වෙනසක් නැති වනු ඇත.


එහෙම වූ විට බෑන් කී මූන්ට සියල්ලන් පස්සෙන් ම පන්නන්නට හෝ කාගේවත් පසුපස නො පන්නා ඉන්නට සිදු වේ.


කොහොම බැලුවත් මේක අපට අන්තිම හොඳ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-12

'සාකෝසි යනු කුමක්ද?' යනු කුමක්ද?

සාකෝසි යනු කුමක්දැයි දැන ගන්නට මට ආශාවක් නැත. 


මන්ද, මා කිසි දිනෙක ප්‍රංශයට යන්නට සැලසුම් කර නැත. 


එහෙත්, ප්‍රංශය යනු මේ ලෝකයේ ම කොටසක් නිසා සාකෝසි මගේ ජීවිතයට ද සම්බන්ධ ඇත. 


The Meaning of Sarkozy ලියූ අලේන් බදියු යනු සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත් දේවසිරි වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් මෑතක සිට ඔසවා තබනු ලබන වීර චරිතයකි. සාකෝසි යනු ප්‍රංශයේත්, ලෝකයේත් මාකට් එකක් ඇති චින්තකයෙකි. එහෙයින් ඔහුට මෙහේත් සේල්ස් රෙප්ලා බිහි වීම පුදුමයට කරුණක් නො වේ. 


නිතර දෙවේලේ දකින සුනිල් විජේසිරිවර්ධන ලියූ පුරවැසි මංපෙත් ගැන ලංකාවේ ඇති නො වූ කතිකාවක් අලේන් බදියු ගැන ඇති වන්නට යනවා යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔය එකක්වත් සිදු නො වීම මෙහි සාමාන්‍ය තත්වයයි. 


එක්ස් කණ්ඩායමේ හිටපු අපේ මිතුරෝ ලංකාවට අලුත්, අලුත් චින්තකයන් හඳුන්වා දීමේ ලා උත්සුක වූ පිරිසකි.  ෆුකෝ,  ඩෙරිඩා, ලකාන්, ජිජැක් ඇවිත් ගිය හ. දැන් ඔවුහු අලේන් බදියු කැඳවාගෙන එන්නට වෙහෙසෙති. මේ චින්තකයන්ගේ පේටන්ට් අයිතිය ලංකාවේදී ගන්නට පසුගිය කාලයේදී මහා පොර ඇවිලිණි. 


මේ පොළවෙන් ලංකාව තේරෙන, මහින්ද රාජපක්ෂ යනු කුමක්ද යන්න විග්‍රහ කිරීමට හැකි, බයත් නැති චින්තකයකු බිහි කර ගැනීමට තව හුඟක් කල් යනු ඇත. 


ඉදිකටුව වැටුණු අඳුරු තැන එය හොයනවාට වඩා පහන් කණුව යට එළිය ඇති තැන එය සෙවීම පහසු ය. වෙනස නැති වුණු ඉදිකටුව හම්බ නො වීම පමණි. ඉදිකටුව හොයා ගන්නට ඇත්තෙන්ම කාටවත් උවමනාවක් ද නැත. 


ජීවිතය දුෂ්කර නිසා අද හවස කොළඹ එන්නට බැරි ය. පුළුවන් වුණත් එන්න වස කම්මැලි ය. ‍මෙම සම්මන්ත්‍රණයේදී කියැවෙන සම්භාවනීය අදහස් ඉදිරියේදී මෙන්න මේ මධ්‍යස්ථානය බ්ලොගයෙන් කියවන්නට ලැබේ යයි බලාපොරොත්තු විය හැකි ය. 


පහත සබඳතා පුරුක ඔස්සේ අලේන් බදියුගේ කෘතිය පිළිබඳ රසවත් විචාරයක් කියැවිය හැකි ය. 


A denunciation of the 'Rat Man' (A review on The Meaning of Sarkozy by Alain Badiou)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකා ටෲත් සෝමවංශට; ප්‍රේමකුමාරගෙන් ලංකා වීව්ස්

ලංකා ටෲත් වෙබ් අඩවිය ද ජවිපෙ සෝමවංශ පාර්ශ්වය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ. 


මේ වන විට එය යාවත්කාලීන වන්නේ නැත. 


ලංකා ටෲත් වෙබ් අඩවිය තුළ ක්‍රියාත්මක වූ ජවිපෙ ප්‍රේමකුමාර පාර්ශ්වය දැන් අලුත් වෙබ් අඩවියක් පටන් ගෙන ඇත.


එය ලංකා වීව්ස් නම් වේ. 


සම්ම ජාතියේ අපට ලින්ක් එකක් නො දුන්න‍ාට කමක් නැත. ඔබ අපට නො දෙන දෙය මෙන්න අපෙන් ඔබට: 


කියවන්න http://www.lankaviews.com/

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හාවා ගැන අක්‍රමවත් වාක්‍ය රචනාවක්

හාවා යනු දුබල සතෙකි. ඌ වගාවලට හානි කරන නිසා ගොවීන්ගේ වෛරයට ලක් වේ. බල්ලන්, බළලුන් සේ බෝ වන නිසා වෙනත් මාංශ භක්ෂක සතුන්ගේ ආහාරයට නිර්මානය වී තිබේ. 


හාවා අහිංසකකමේ සංකේතයක් නම් කොටියා නපුරුකමේ සංකේතයකි. දෙමළ කැරළිකරුවන් සිය සංකේතය ලෙස තෝරාගෙන සිටියේ කොටියා ය. ඔවුන් සිංහලයන්ගෙන් ඇසූ කාරණයක් වන්නේ 'ඔබ රෞද්‍ර සිංහයා ජාතියේ සංකේතය ලෙස තෝරාගෙන අපට කියන්නේ හාවා තෝරා ගන්නටද' කියා ය. සිංහයාගේ රුදුරුකමට සමාන හා ප්‍රතිවිරුද්ධ ලෙස දෙමළ කැරැළිකරුවෝ කොටියා නම් සංකේතය ගොඩනැඟූ හ. 


එහෙත්, සිංහයාත්, කොටියාත් යන දෙදෙනා ම ලංකාවේ නැත. හාවා ඇත. 


ජනතා විමුක්ති පෙරමුණ සිංහලයන්ගේ සංකේතය වූ සිංහයා කෙතරම් වැළඳ ගත්තේ ද යත් ඔවුන් කලෙක සිය සමාජවාදී ලංකාවේ ජාතික කොඩිය ලෙස දැක්වූයේ රතු පසුබිමේ සිංහයා සිටින කොඩියකි. 


දැන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ශ්ව දෙකකි. එකක් ඔප්පු, තිරප්පු ජවිපෙයි. අනෙක හෘදය සාක්ෂි ජවිපෙ ය. 


ජවිපෙ බෙදීම මතුපිට තලයේ ප්‍රභූන් හා අභ්‍යන්තර සංවිධායක ප්‍රභූන් අතර ගැටුමක් ලෙස අර්ථ දක්වන්නට පුළුවන. 


ගැටුමේ හොඳ හරියට එන විට ජවිපෙ සාමාජිකයන් යනු කෙතරම් හෘදය සාක්ෂිය නැති මිනිසුන් කොටසක් ද යන්න කැරැළිකරුවන්ට වැටහෙනු ඇත. 


ඒ සමගම තමන් ද කන්නාඩියක් ඉදිරියට ගොස් පපුවට තට්ටු කර බලනවා නම් හොඳ ය. තමන්ගේ අතීතයේ තමන් කටයුතු කළේ කෙසේ ද? 


තමන් හිටියේ රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ සිර වී සිටි  වන්නියේ දෙමළ ජනයාට බර අවිවලින් පහර නො දෙන්නේ මන්දැයි ඇසූ පක්ෂයක බව සිහිපත් කර ගැනීම වටී. 


තමන් සමග එක අරමුණක් වෙනුවෙන් කලක් තිස්සේ එකට සටන් කළ සගයන් වෙනුවෙන්හෝ ස්ඵන්දනය නො වන හදවත් ඇති මිනිසුන්ගෙන් සමන්විත පෙරටුගාමී යයි නම් ලද පසුගාමී පක්ෂවලට මිනිසුන් වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත. 


හෘදය සාක්ෂිය ගැන ඉගෙන ගන්නට ජවිපෙ සාමාජිකයෝ චේ සමරන්නට තරග කිරීම පසෙක තබා චේ ගුවේරා ගැන නැවත කියවිය යුතු ය. මෝටර් සයිකල් දිනපොත චිත්‍රපටයේ මැදියම් රැයේ ඇදුම රෝගයෙන් පීඩා විඳිමින්, සීතල දියේ පීනා ලාදුරු කොලනියට යන චේ ගුවේරා විසින් සංකේතවත් කරන්නේ මිනිස්කම පිළිබඳ හෘදය සාක්ෂියයි. එය මෝඩකම නො වන බව තේරුම් ගන්නට සංවේදීකම වාමාංශිකයන් ය කියන අයට තිබිය යුතු ය. 


ජවිපෙ ඔප්පු තිරප්පු පාර්ශ්වය කැරළිකරුවන් යයි කියන බහුතර පිරිස ‍ප්‍රතිසංවිධානය වීම සඳහා යොදා ගන්නට යන  හාවා සංකේත කර ගත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද තමන්ගේ යයි කියති. අහෝ දුකකි!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-10

දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනා

දුමින්ද සිල්වා එසේ මෙසේ හරකකු නො වන බව කොළොන්නාවේ සිද්ධියෙන් ඔප්පු වී තිබේ. 


ඔහු එතරම් හරකකු බව තේරුම් ගන්නට අසමත් වීමෙන් භාරත ලක්ෂ්මන්ට අවසන් ගමන් යන්නට සිදු විය. 


ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා ම මෙවැනි ගැටුම් අවසන් වූයේ ගෝල බාලයන් කිහිප දෙනෙකු අවසන් ගමන් යද්දී මළ ගෙවල්වල යන්නට බොස්ලා ඉතිරි වීමෙනි. 


‍දුමින්ද සිල්වා මේ දේශපාලන ගොන්කමට අලුත් මානයක් එක් කර තිබේ. 


මෙවැනි හරකුන් කර තබාගෙන සිටින එවුන් ද මේ වර්ගයේම හරකුන් විය යුතු ය. 


මුන්ට ඡන්දෙ දෙන අපි නම් කොහොමත් හරක් ය. 


දේශපාලන ගොන්කම්වලට නව මානයක් එක් කළ කොළොන්නාවේ ගොනාට ගොන්කම රජයන ලොවක් වෙත අප ගෙන යන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-10-08

විප්ලවවාදී පෙරටුගාමී පක්ෂ අතරින් මිනිස්කම සොයා යාමේ අරගලය / The struggle in search of humanity among the revolutionary vanguard parties

ආයෙමත් කියවන්න: Little Red Riding Hood
වෘකයාගේ භූමිකාව වෙනුවට
දර කපන්නාගේ භූමිකාවට
අපි මාරු විය යුතුයි.
අපට ලැබී ඇති තොරතුරු අනුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ බහුතරය ද, මධ්‍යම කමිටුවේ බහුතරය ද දැන් කැරළිකාර කණ්ඩායම ලෙස නම් ලැබ සිටින අයට සහයෝගය පළ කරති. 


දැන් අවුල වී ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර නියෝජිත සම්මේලනයකින් පත් කර ගන්නා ලද ඇත්ත මධ්‍යම කාරක සභාව එකක් ද, හයවන සමුළුවේදී නිල වශයෙන් පත් කර ගන්නා ලද මධ්‍යම කමිටුව තවත් එකක් ද වීමයි. 


පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මැතිවරණ කොමසාරිස්ට මධ්‍යම කාරක සභාව ලෙස දන්වා යවන ලද නාම ලේඛනයේ කුමන නම් ඇද්ද යන්න දැන් කැරළිකරුවෝ සැක කරති. 


ජවිපෙ වැඩ කළේ මූලධාර්මිකව හෝ ක්‍රම විරෝධී පිළිවෙලකට ය. එහෙත් දැන් නඩු කියන්නේ ධනේශ්වර අධිකරණයේ ය. බහුතර සහයෝගය නැතත්, ජවිපෙ නාමයේ නිල අයිතිය, පක්ෂ මූලස්ථානයේ අයිතිය ආදිය අත් පත් කර ගන්නට සමත් වූ පිරිස මුල් වටයේ ජයග්‍රාහකයෝ වී සිටිති.


කැරළිකරුවන් තවමත් සිය පදනම බවට පත් කර ගන්නට උත්සාහ කරන්නේ පක්ෂ හෘදය සාක්ෂියයි. ඔවුන්ගේ පැරණි නායකයන් හා සහෝදරයන් පිරිසක් හෘදය සාක්ෂියට සමච්චල් කරමින් වංචනික කෲරත්වයකින් දේපල පැහැර ගනිමින් සිටින ආකාරය පිළිබඳ අපූරු දේශපාලන අත්දැකීමක් දැන් ඔවුන් විඳිමින් සිටිනවා ඇත. 


මේ අත්දැකීම වමේ බිඳී යාම්වල ඉතා සුලබ දෙයකි. පක්ෂය මිනිස්කමට වඩා උත්තරීතර දෙයක් ලෙස සැලකීම අප්‍රකාශිත වාම මූලධර්මයකි. 


මෙම මූලධර්මය මත පිහිටා පක්ෂය වෙනුවෙන් ඕනෑම ජඩකමක් කිරීමට  පක්ෂය විසින් සාමාජිකයන් පුහුණු කෙරේ. මේ ජඩකම්වල අද ගොදුරු බවට පත් වී සිටින අය කලින් වෙනත් අයට එරෙහිව ජඩකම් කළ අයයි. අද ජඩකම් කරන අය හෙට ඒවායේ ගොදුරු බවට පත් වෙති. (තමන් ඉවත් වූ විප්ලවවාදී යයි කියන දේශපාලන කණ්ඩායමක සිටි මහා මානව හිතවාදීන් කවියන් ලෙස පෙනී සිටින පැරණි මිතුරන්, සහෝදරයන් කූට හා නිර්දය අන්දමින් තම ජීවිතය දේශපාලනිකව මෙන් ම ශාරීරිකව ද විනාශ කරන්නට උත්සාහ කළ ආකාරය පිළිබඳ සජීවී අත්දැකීමක්  මෙම ලේඛකයාට තිබේ.) 


විප්ලවවාදී  පක්ෂ යයි කියන අද්භූත ව්‍යූහ තුළ මිනිසුන්ට අත් වන ශෝචනීය ඉරණම මෙයයි. මිනිස් වර්ගයාගේ උන්නතිය පිණිස යයි ප්‍රවර්ධනය කරනු ලබන විප්ලවය අඩු තරමේ පක්ෂ සාමාජිකයාට හෝ සාධාරණ එකක් නො වීම අපූරු තත්වයකි. 


මෙය එක පැත්තකින් නව ලිබරල් ධනවාදයේ සමායතනවාදයේ ද්විත්ව ප්‍රතිපාර්ශ්වයකි. නව ලිබරල් ධනවාදය තුළ විශාල සමායතනවල භූමිකාව ද එක්තරා අන්දමකට විප්ලවවාදී අරගලය තුළ පක්ෂ භූමිකාවට සමාන වේ. මේ සමායතනවලට නිශ්චිත පැහැදිලි අයිතිකරුවෝ නැත. සමායතන සිය ලාභය නැවත, නැවත ආයෝජනය කරමින් බූවල්ලකු සේ වැඩේ. 


අවසානයේදී බැලූ කල සමාගම් පවතින්නේ සමාගම් සඳහා ය. විප්ලවාදී යයි කියන පක්ෂ පවතින්නේ එකී පක්ෂ සඳහා ය. මිනිසුන් වෙනුවෙන් නො වේ. හරියට අර කවිය කවිය සඳහා ය කියූ පැරණි සංවාදය සේ ය. 


අලුතින් හිතන්නට මිනිසුන් පෙළඹෙන මෙසමයේ අපි මෙසේ කියමු. වම නැවතත් මිනිස්කම සොයා යා යුතු ය. 


එක බත් පත, එක ඇඳුම සමගින් ජීවිතය බෙදා ගනිමින් සිටි  සහෝදරයන් ක්ෂණයකින් එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නා තත්වයට පත් කරන පෙරටුගාමී යයි කියන පක්ෂ නම් අද්භූත ව්‍යූහ විශේෂයකින් මිනිස් සමාජයට කිසිදු සෙතක් සිදු වන්නේ නැත. ඒ බව ඔප්පු කිරීම සඳහා නිදසුන් තවත් ඕනෑ නැති තරම් එමට ය. 


විප්ලවවාදය මැදින් යළි මිනිස්කම සොයා ගැනීම ද අතිශය දුෂ්තර සටනකි. 


කවුරු මොනවා කීවත්, විමල් වීරවංශලා ජවිපෙන් කැඩී ගොස් අලුතින් පක්ෂයක් හදන්නට උත්සාහ කළ වකවානුවේ එහි අභ්‍යන්තරයේ හීනියට මේ මිනිස්කම පිළිබඳ සංවාදය මතු වෙමින් තිබුණු බව අපි නිරීක්ෂණය කළෙමු. 


එහෙත්, සීගිරිය බලන්නට යන්නට බැරි වූ බව කියා හඬා වැටුණු විමල් වීරවංශ වැනි ජීවිතය විඳින්නට අසමත් වූ මිනිසුන් පිරිසකගේ ඉක්මණින් ඇරියස් ඇල්ලීමේ පෙරේතකම එම ව්‍යායාමය සැණෙකින් ආක්‍රමණය කළේ ය. 


ජවිපෙ පාර්ශ්ව දෙකෙන් එකක් හොඳයි, අනෙක නරකයි කියා කියන්නට අප හදිසි නො විය යුතු තරම් සංකීර්ණත්වයක් මෙම බෙදීම තුළ තිබේ. 


බෙදීම් සමග කවුරුත් මේ කාරණා පිළිබඳ කලින්ට වඩා සංවේදී බවක් පෙන්වන්නට උත්සාහ කරති. එහෙත්, කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී ය. 


ජවිපෙන් මෙතෙක් කැඩී ගිය කොයි කණ්ඩායමේත් හිටියේ ජවිපෙ සිටි වර්ගයේ ම පාලම් කොක්කු බව ඉගිලෙන විට පෙන්නුම් කෙරිණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න