2011-12-30

කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් වැකියක්

"ඔන්න බල්ලෙක්‌ කොළඹ යන්න ය කියලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ආවලු ලේ පෙරාගෙන, තුවාල කරගෙන. මේක දැකපු අය ඇහුවලු "මොකද මචං වුණ?" කියලා. බල්ලා කියලා තියෙන්නේ "මම කොළඹ යන්න ගියා. මිනිසුන්ගෙන් හෝ වෙනත් අයගෙන් නම් කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. ප්‍රශ්න වුණේ අපේම අයගෙන්" කියලග ඒ වගේ අද රජයේ ගමනට විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ඡේ. වී. පී එකෙන් ප්‍රශ්නයක්‌ නෑ. බාධා තිබෙන්නේ අපේම අයගෙන්මයි."


මේ එජාපයෙන් ආණ්ඩුවට එකතු වී කොළඹ යන්න ගිය ඇමති ලංක්ෂ්මන් යාපා අබේවර්ධනගේ රුවන් වැකියකි.


මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය කොළඹ යන්නට අදහස් කරන බල්ලන් හපා කා ආපසු හරවන බල්ලන් වැඩිකමයි.


කොයි බල්ලා කොළඹ යන්න ගියත් අනෙක් සියලු බල්ලෝ ඒ ගමනට හරස් කපති. ඒ නිසා එක බල්ලෙකුටවත් කොළඹ යන්නට ලැබෙන්නේ නැත.


මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් සම්බන්ධයෙන් ගැලපෙන තවත් ප්‍රස්ථාව පිරුළක් තිබේ. ඒ 'බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ' යන්නයි.


'කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන්' යන ප්‍රස්ථාව පිරුළ ද ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් හොඳින් ගැලපෙන්නකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි

උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ.


එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි.


මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි.


දැනට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් අධ්‍යාපන බලධාරීන් විශ්‍රාම යැමෙන් අනතුරුව ඉහළ වැටුප් ලබමින් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි සේවය කිරීමට සිතා සිටින බවත් වෙනකක්‌ තබා වත්මන් රජයට එක්‌වී සිටින දේශපාලනඥයකුද එම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් විඡේනායක පවසයි. ඔහු අදහස් කරන්නේ මෝහන් ලාල් ග්‍රේරෝ විය යුතු ය. 


ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනා කරනු ලබන විසඳුම ද ඉතා ප්‍රායෝගික එකකි.


උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතියට සිදුවූ වැරැද්දට වන්දි වශයෙන් පැරැණි සහ නව යන විෂය නිර්දේශ දෙක සඳහා 'ඉසෙඩ් ලකුණු' ක්‍රම දෙකක්‌ යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සියයට 30% කින් මෙවර වැඩිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ බල කරයි.


මේ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පවසන්නට බැරි ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය නො වන හමුදා විස්න සපයනු ලබන නායකත්ව පුහුණුව මාස එකහමාරක් දක්වා දික් කිරීමට රජය වෙන් කර ඇති මුදල් මේ සඳහා මූලික වියදම් සඳහා යෙදවිය හැකි ය.


2016 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා වියදම් කරන්නට සිටි මුදලින් කුඩා ප්‍රතිශතයක් වුව මේ සඳහා ප්‍රමාණවත් ය.


මේ ලිපියත් කියවන්න: 
A Presidential Committee; a good tactic to paddle through the troubled waters of Advanced Level results crisis of Sri Lanka

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-29

ලංකාවේ දේශපාලනයේ පළමු සුදුසුකම නො හික්මුණු ආවේගශීලිත්වය ද?

ආණ්ඩු පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලනය එක සේ නො හික්මුණු පිරිසකට සින්න වී තිබේ.


පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා ම තත්වය එයයි. පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ වරදට එළවාගෙන ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දී 'ආණ්ඩුව විවේචනය කළ නිසා ගැහුවා' යි කියන්නට හැකි, නීතියක්, රීතියක්, සම්ප්‍රදායක්, යුක්තියක්, සදාචාරයක්, සිරිතක්, විරිතක් නො දන්නා ආවේගශීලී පිරිස් රටේ නීති සම්පාදනය කරන ආයතනය ආක්‍රමණය කර තිබේ.


අද පවතින පිළිගැනීම් අනුව දේශපාලනය යනු මහත්වරුන්ගේ කටයුත්තක් නො ව, ඉහත ලක්ෂණ වලට අමතරව සොරකම, වංචාව, දූෂණය, මැරවරකම හොඳින් දන්නා අයගේ වැඩකි.


මේ එක්සත් ජාතික පක්ෂ්‍ය විසින් ඉදිරියට ගනු ලබන පිරිස්වල හැටි ය.උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.
තිස්‌සමහාරාම ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂය නියෝජනය කරනු ලබන එජාප මන්ත්‍රීවරුන් වන ඒ. පී. ධම්මික මහතා සහ සුජීවා සමරසිංහ මහත්මිය අතර ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී ඇතිවූ බහින්බස්‌ වීමක්‌ අවසන් වූයේ තේ කෝප්ප ප්‍රහාරයකිනි.

2012 අයවැය කෙටුම්පත සභා සම්මත කර ගැනීම සඳහා පෙරේදා (27 දින) පැවැති ප්‍රාදේශීය සභා රැස්‌වීමෙන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයකදී මෙම පහරදීම සිදුකර ඇත. පැරැණි කෝන්තරයක්‌ මුල් කරගෙන දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌වීමකදී මෙසේ තේ කෝප්ප ප්‍රහාරයක්‌ සිදුවී ඇති අතර මෙම පහරදීමෙන් ධම්මික මන්ත්‍රීවරයාගේ මෙන්ම සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ඇඳුම්වලටද එම තේ කහට වැදී තිබිණි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-28

රටක ආර්ථිකයට කෙළවූ තංගල්ලේ චන්ද්‍රපුශ්ප බැලයා

ෆිච් රේටිං ආයතනය ලංකාවේ ආර්ථිකය ලෝකයේ අනතුරුදායක ම ආර්ථිකයන් අතරින් එකක් ලෙස නම් කර තිබේ. 


රටේ ආනයන වියදම අපනයන ආසායම මෙන් දෙගුණයකි. ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවූ බවට ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රකාශයට පත් කළ මුත්, ඒ හා සමාන මුදලක් ආණ්ඩුව රුපියල කෘත්‍රිමව ඉහළ මට්ටමක තබා ගැනීමට ද වැය කර ඇති බව වාර්තා වේ. 


රටේ අපනයන බිඳ වැටී ඇත. ආර්ථිකය රැඳී පවතින්නේ බොහෝ දුරට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් මත ය. ඍජු විදේශ ආයෝජනවලින් ද සැලකිය යුතු ප්‍රතිශතයක් සංචාරක කර්මාන්තය සඳහා ය. 


මේ වසරේදී ලංකාවට සංචාරකයන් 850,000ක් පැමිණි අතර, සංචාරකයන් පැමිණීම වැඩි කර ගැනීමට රජය පියවර රැසක් ගනිමින් තිබේ. 


එහෙත්, මහින්ද රාජපක්ෂ පවුලේ බැලයකු වීම නිසා තංගල්ල ප්‍රාදේශීය සභාව පාලනය කරන්නට පත් කර ඇති එක් වගකීම් විරහිත, පල් ම පල් මෝඩයකු වූ පාරම්පරික මැරවරයකු නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට තදබල පහරක් වැදී ඇත. 


මේ දේශද්‍රෝහියා ජාත්‍යන්තර වශයෙන් රටට කර ඇති අවමානය හා ආර්ථිකයට කර ඇති හානිය පිළිසකර කිරීම ලෙහෙසි පහසු නැත. ඒ‍ වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ගණන් වැය වනු ඇත. 


ඔහුගේ අනුග්‍රාහකයෝ දින ගණනක් තිස්සේ ඔහු සඟවා තැබූ හ. බැරි තැන දැන් උසාවියට ඉදිරිපත් කර ඇත. 


පරීක්ෂණ හරියට කරන්නැයි පොලිසියට නියෝග කරන්නට ජනාධිපතිවරයාට සිදු වී ඇත්තේ සිද්ධියේ බරපතලකම හා ‍පොලිසියේ නිවටකම නිසා ය. 


පාරම්පරික අපරාධකරුවන් වන මෙවැනි මෝඩ, උද්දච්ච, අඳබාල මැරවරයන් දේශපාලකයන් බවට පත් කරමින් උන් අතට ගිනි අවි දුන්නේ කවුරුද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-26

උසස් පෙළ ජිල්මාට් වෙයි. වගකිව යුත්‍තනි, ගෙදර පලයවි!

ලංකාවේ පළාත් සභාවල හා රජයේ  අධ්‍යාපන ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 11කි. අධ්‍යාපනය ගැන සොයා බලන්නට ලෝකෙට ම එකයි සුපවයිසර් මන්ත්‍රී කෙනෙක් ද ඇත. 


‍පුරප්පාඩුව පිරවීමට මෙතෙක් කල් වෙන කෙනෙකු සොයා ගන්නට බැරි වුණ තරමට දක්ෂ හැට පැන්න විභාග කොමසාරිස් කෙනෙකු ද ලංකාවට සිටියි. හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැත. 


විශ්ව විද්‍යාල ප්‍රව්ශය ගැන වග බලා ගන්නට හිටපු 'ත්‍රස්තවාදියකු' සභාපති පදවිය දරන පොරතිපාදන කොමිසමක් ද ඇත. 


ඒ වුණාට උසස් පෙළ ප්‍රතිඵල වැරදි ය. 


උසස් පෙළ කියන්නේ දරුවකුගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමකි. එක දශමයෙන් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. 


මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරම්පරාවක ජීවිත සමග ය. 


උසස් පෙළ ප්‍රතිඵල සැක ය. ඉසෙඩ් ස්කෝර් එක ගණනය කළ කොම්පියුටර් ජිල්මාට් එක වහා ම රටට හෙළිදරව් කළ යුතු ය. 


විභාගයක් පවත්වා හරියට ප්‍රතිඵල නිකුත් කළ නො හැකි වූ වගකිව යුතු අති පණ්ඩිතයන් වහා ම ගෙදර යැවිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නොරොච්චෝලේ අපලේ

පසුගිය මාර්තුවේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය විදුලි ජනනය ආරම්භ කළ දා සිට මේ දක්වා වසරකටඅඩු කාලයක් තුළ දින 35ක් විවිධ හේතු මත එහි ක්‍රියාකාරිත්වය සිදු නො වූ බව ද, එවැනි එක් දිනක් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විඳින්නට සිදු වන පාඩුව රු. කෝටි අටක් බව ද විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක පවසයි. මෙම ඇමතිවරයා මීට ටික කලකට පෙර විදුලි බල මණ්ඩලය 'ලාභ' ලබන තත්වයට ගෙන ආ අයෙකි. 


විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක දැරූ උත්සාහයක්
ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය විසින් ව්‍යර්ථ කරන ලද බව වාර්තා විය.


මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය.


මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ය.


මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරමිනි.


විදුලි ඒකක මිලියන හයක් පමණ දිනකට නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති මෙම විදුලි බලාගාරය 2011 වසරේ වැඩි දින ගණනකදී නිපදවා ඇත්තේ එයින් භාගයක් පමණි.


විදුලි බල මණ්ඩලය ඒ අඩුව පුරවා ගැනීම සඳහා දැන් පෞද්ගලික අංශයෙන් ඒකකය රු.50 දක්වා අධි මිළට විදුලිය මිළ දී ගනියි.


ඒ දිනවල නොරොච්චෝලේට එරෙහිව මහජන විරෝධය මතු වෙද්දී අඩු මිළට ගල් අඟුරු විදුලිය ලබා දෙන්නට සපථ කළ අය දැන් බෙහෙතකට හෝ සොයා ගන්නට නැත.


මේ ලිපියත් කියවන්න: 

ගල් අඟුරුත් එපා නම්, න්‍යෂ්ඨික ශක්තියත් එපා නම් විදුලිය ගන්නේ මොන රෙද්දෙන් ද? | Socialist solution for the energy crisis

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-25

ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රෝඩාව ගැන ෆිච් රේටිං හෙළිදරව්වෙන් ආණ්ඩුව කැළඹේ

පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.


ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ.


මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි.


බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි.


එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි.


විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.


එම අඩු කිරීම් මෙසේ ය.



රට
2011 ආර්ථික වර්ධන වේගය
2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය
චීනය
9.3 %
8.5 %
ඉන්දියා
8 %
7.8 %
සිංගප්පූරුව
5.2 %
3%



මේ අතර ලංකාව 2011 8%ක් වූ ආර්ථක වර්ධන වේගය 2012දී 8.3%ක් දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත. 


බ්‍රහස්පතින්දා නිතුත් කරන ලද ෆිච් රේටිං ආයතනයේ ස්වෛරී ආර්ථික දර්ශනය අනුව ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති නමයෙන් හතරක් ම පිහි‍ටා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ ය. වාර්තාව අනුව, ෆිච් විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින්  මූලික ශේෂයේ හෙවත් ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි. 


වි‍ශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව අධික වෙළඳ ශේෂයයි. ලංකාව ආනයන සඳහා  එක්සත් ජනපද ඩොලර්   බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියනයක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.


එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහා ද එපමණ ම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි. 


කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිනුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමත් නිසියාකාරව නො පැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිනුමේ පුධාන දායකයා වන්නේ වි‍දේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ය. විය යුත්තේ අපනයන ආදායමයි. 


ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමේ ද ප්‍රධාන දායකයා වන්නේ රාජ්‍ය ණයයි. විය යුත්තේ ඍජු විදේශ ආයෝජනයි. මහාචාර්ය අබේරත්න පවසන පරිදි ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි. එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි. 


මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-23

ළමා මඩම මහඟු සේවාවක් විය. නත්තල් සාමය උදා විය

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පසුගිය දිනවල ආණ්ඩුවට දෝස්මුරයක් දැමූ හ. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ළමා මඩමක් ලෙස හඳුන්වමින් වටලා අපකීර්තියට පත් කරන ලද මොරටුවේ ප්‍රේම් නිවහන පිළිබඳ සාධාරණ අන්දමින් කටයුතු නො කළහොත් රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගි නො වන බව කියමිනි. 


ජනාධිපතිතුමාට ඒ හඬ හොඳින් ඇසුණේ ය. ඇමති කෙහෙලිය රඹුක්වැල්ල රජය වෙනුවෙන් සමාව ගත් අතර, වැඩේ කියන්නේ ස්වාධීන අධිකරණයට ද කාරණා අවබෝධ විය. 


ඒ අනුව ඊයේ කාදිනල් හිමියෝ ඊයේ අරලිය ගහ මැදුරේ නත්තල් උත්සවයේ ආගමික වතාවත් ද මෙහෙයවමින් එයට සහභාගි වූ හ. 


තමන්ගේ රැස්පොට් එක පවත්වා ගෙන යාම තමන්ගේ වැඩකි. බෞද්ධ මහ නායක හිමිවරුන්ට ද මෙයින් පාඩමක් උගත හැකි ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් (edited)

ජවිපෙන් බිඳුණු ජන අරගල ව්‍යාපාරය අලුත් බලාපොරොත්තුවත් සමාජය තුළ ඇති කරන්නට සමත් වූ නමුත් දැන්, දැන් ඒ බලාපොරොත්තුව සේදී යමින් ඔවුන් යල් පැන ගිය අන්තයක් වෙත ගමන් කරමින් සිටියිදෝ යන සැකය ජනිත වෙමින් තිබේ.


'සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්' යන ඔවුන්ගේ තේමාව පුළුල් අරුත් සහිත සංවාද මාතෘකාවකි.


ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු.


කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය.


ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය.


එහෙත් ජවිපෙ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය සමයේ උතුරේ ගොඩනැඟුණු දේශපාලන පසුබිම තුළ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ.


ජවිපෙ සාමාජිකයන් වෙතින් දැන් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය. එසේ ම, ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණ සිය පැහැර ගනු ලැබූ සාමාජිකයන් මුදා ගැනීමේ හෝ ඒ පිළිබඳ සමාජ හෘදය සාක්ෂිය අවදි කිරීමේ හෝ සමත් වී නැති අතර, එයින් සිදු වී ඇත්තේ කණ්ඩායම අභ්‍යන්තරිකව යම් සිත් සනසා ගැනීමක් සිදු වීම පමණකැයි අපේ නිරීක්ෂණයයි.


උතුරේ අරගලකාරී දෙමළ තරුණයන් දස දහස් ගණනින් මරා දැමෙද්දී ප්‍රීතිය ප්‍රකාශ කළ ජවිපෙ හා සම්බන්ධව සිටි පිරිසක් දෙමළ තරුණයන් දෙදෙනෙකුගේ අතුරුදහන් වීම මත කොළඹ වීදි දෙවනත් කරන්නට උත්සාහ කිරීම විහිළුවක් ලෙස පෙනීම වළක්වා ගැනීම ලේඛකයාට ඉතා දුෂ්කර ය.


කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ.


වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. වෙනස් මිනිසෙක් පිළිබඳ සදා නිම කළ පරමාදර්ශී ප්‍රතිරූපයක් නැත. අප කළ යුතුව තිබෙන්නේ වෙනස් මිනිසෙක් පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.


ජන අරගල ව්‍යාපාරය ජාතික ප්‍රශ්නය විෂයෙහි වෙනස් අන්දමින් සිතන, ක්‍රියා කරන ක්‍රියාධරයකු නිර්මානය කර තිබේ ද?


මෙහිදී අප අදහස් දක්වන්නට යන්නේ වෙනස් මිනිසෙකු යයි පෙනෙන තවත් එක් චරිතාදර්ශක් ම අනුගමනය කිරීමට ජන අරගල ව්‍යාපාරය වෙතින් පිළිබිඹු වන නැඹුරුව ගැනයි.


ජාතික ප්‍රශ්නය විෂයෙහි ඉතිහාසය පුරා ම ජවිපෙ බොහෝ විට දෝලනය වී ඇත්තේ සිංහල හා දෙමළ ජාතිකවාදී අන්තයන් දෙක වෙත ය. 1971 කැරැල්ලෙන් පසු සිංහල ජාතිකවාදී අන්තය වෙත යොමු වෙම්න් සිටි ජවි‍පෙ අභ්‍යන්තරයේ වාම හෘදය සාක්ෂිය අවදි වීමේ ප්‍රතිඵලයක් ලෙස 1980 දශකය මුලදී ලයනල් බෝපගේ නායකත්වය දුන් ප්‍රවණතාව ජාතික ප්‍රශ්නය විෂයෙහි න්‍යායිකව වඩා මාක්ස්වාදී ස්ථාවරයක් වෙත නැඹුරු වන්නට උත්සාහ කළේ ය.


1990 දශකයේ අගභාගයේදී ජවිපෙන් කැඩී ගිය හිරු කණ්ඩායම ද එවැනි උත්සාහයක් දැරුවේ ය.


2011 අවසාන භාගයේදී ජවිපෙන් කැඩී යන ජන අරගල ව්‍යාපාරය ද පෙන්නුම් කරන්නේ එම ලක්ෂණ ම ය.


මෙහිදී ඇති වන මූලික ම ගැටලුව ලෙස අප හඳුනා ගන්නේ පීඩිත හා ප්‍රතිචාරාත්මක ජාතිකවාදයක් ලෙස දෙමළ ජාතිකවාදය හඳුනා ගනිමින් අරඹන ගමන අවසානයේදී බොහෝ පිරිස් තමන් ද නො දැන ම දෙමළ ජාතිකවාදයට ගොදුරු වීමයි. දෙමළ අරගලය තුළ දක්නට ලැබෙන දැඩි ජාතිකවාදී හා ජාතිවාදී විභවයන්ගේ බලපෑමෙන් ගැලවීම පහසු නැත.


ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ හිරු කණ්ඩායම විසින් ගොඩනඟන ලද කතිකාව අවසානයේදී දෙමළ අරගලය යොමු වන ඕනෑම දිශානතියක් අනුමත කරන හා සියලු අරගල දෙමළ ජාතික අරගලයට ද්විතීයක කිරීමේ තැනට තල්ලු වීමේ අත්දැකීම් අප සතු ය. එහි ප්‍රතිඵලයක් ලෙස හිරු කණ්ඩායම දෙමළ අරගලයට කිසිදු බලපෑමක් කළ නො හැකි වන්දනිකයන් පිරිසක් බවට පත් වූ හ. අද එහි ඉරණම ඛෙදනීය ය. 


ලංකාවේ සිංහල සමාජය වෙතින් පැන නඟින වාම ව්‍යාපාර ජාතික ප්‍රශ්නය විෂයෙහි ගත යුත්තේ කුමන ස්ථාවරය ද යන්න අතිශය වැදගත් ය. ඒ පිළිබඳව විවෘත සංවාදයක් අවශ්‍ය ය. එහෙත්,  ජන අරගල ව්‍යාපාරය දෙමළ අරගලය පිළිබඳ දරන ස්ථාවරය හෝ ඔවුන් තවමත් පැහැදිලි කර නැත. කුමන පදනමකින් හෝ බලය බෙදා ගැනීම පිළි නො ගන්නා ජවිපෙ ස්ථාවරය සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ මතය කුමක් ද?


ජන අරගල ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් වී ඇති 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානයේ නමෙහි ම මූලික දේශපාලන ගැටලුවක් ඇත. දෙමළෙන් ඉලංකෛ වූ ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වූ සිංහල ස්වෝත්තමවාදී සංදර්භය අතහැර දමා ශ්‍රී ලංකාව යන වචනය සලකා බැලීම දේශපාලනිකව අව්‍යක්ත ය. ශ්‍රී ලංකාව යන නම ඍජුව ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ය. ලංකාවේ රාජ්‍යය මත සිංහල බෞද්ධ ආධිපත්‍යය නීතිගත කළේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. 


දෙමළ ඊලාම් ජාතිකවාදයත්, සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික ජාතිකවාදයත් යන දෙක වෙනුවට ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ වාම මූලික දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය බව අපි කලක සිට පෙන්වා දෙන්නෙමු. එය වාම මූලික ව්‍යාපෘතියක් විය යුතු බව අප කියන්නේ එය සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් වන බැවිනි.


ලාංකීය ජාතියක් ගොඩනැ‍ඟෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික අනන්‍යතාවන්ගේ සංවර්ධනයක් ලෙසයි. සුළු ජාතික අනන්‍යතා හා දේශපාලන හිමිකම් පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද? කොටින් ම දෙමළ ජාතිය ජාතියක් ලෙස පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද?


ජන අරගල ව්‍යාපාරය දෙමළ ජනයා සමග දේශපාලනයට පිවිසිය යුත්තේ දෙමළ අරගලය ගැන නිශ්චිත ස්ථාවරයක් සහිතව ය. එසේ නොමැතිව දෙමළ සමාජයේ රික්තයක් දැකීම නිසා එය පුරවන්නට යාම විසින් සිදු වන්නේ සිය සාමාජික ජීවිත අනතුරට පත් වීම වන්නට පුළුවන.


1989 ජවිපෙ මර්දනයෙන් පසු බොහෝ පිරිස් ජවිපෙ විසින් ඇති කරන ලද රික්තය පිරවීමට උත්සාහ කළ හ. එහෙත්, ඒ සියල්ල අසාර්ථක වෙද්දී යළි ජවිපෙ ම එතැනට පැමිණියේ ය.  දෙමළ අරගලය මර්දනය වී ඇති මුත්, එය දේශපාලනිකව පරාජය වී නැත. දෙමළ ජනයා සමග‍ දේශපාලනය කිරීම රොමැන්තික ක්‍රීඩාවක් නො වන්නේ ඒ නිසා ය.


ජන අරගල ව්‍යාපාරය විසින් අලුතෙන් සොයාගෙන ඇති මිතුරන් අතර ඔවුන්ට ලණු ගිල්වන්නන් බොහෝ ය. මේ පිරිස් අතර, දෙමළ ඩයස්පෝරාවෙන් ඍජුව හා වක්‍රව යැපෙන අය සිටිති. ඔවුන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය විසින් ජන අරගල ව්‍යාපාරය පුම්බා උඩ අරිමින් ඇති බවක් ද දක්නට ලැබේ. ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තාවල ජන අරගල ළුයාපාරය ගැන සටහන් වන්නේ කෙසේදැයි ඔවුන් දන්නේ නැත. 


අපට කීමට ඇත්තේඑක් සරළ කරුණක් පමණි. උතුර බලාගෙන දේශපාලනය කරන්නට ගිය දකුණේ සියලු දේශපාලන ව්‍යාපාර අසාර්ථක විය. ජන අරගල ව්‍යාපාරයේ ද අරගල බිම දකුණ මිස උතුර නො වේ. උතුරේ අරගලය ප්‍රතිස්ථාපනය කරන්නට ජන අරගල ව්‍යාපාරයට නො හැකි ය. මන්ද, දෙමළ අරගලය යනු පරම්පරා ගණනක් තිස්සේ මුල් බැස ගත් ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික අරගලයකි. ජනඅරගල ව්‍යාපාරයට කළ හැක්කේ දෙමළ අරගලය සමග සාධනීය ගනුදෙනුවක් ඇරඹීම පමණි. 


ජන අරගල ව්‍යාපාරය ළදරු වලිප්පුවෙන් ප්‍රවේසම් විය යුතු ය.


මල්ලි ඔයාලා ෂෝක් ය කියා පිටට තට්ටු කරන මිනිසුන්ගෙන් ජන අරගල ව්‍යාපාරය මුලින් ම ප්‍රවේසම් විය යුතු ය. ජවිපෙ විසින් සදා දුන් උප සංස්කෘතික රාමුවෙන් පිටත ලෝකය ඔබ සිතන තරම් සරළ එකක් නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-22

අන්තිමේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද මහ නායක හිමිවරුන් නොතකා හැරිය හ

අපේ ගරුතර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කියන දෙයක් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වීම කණගාටුදායක තත්වයකි.. 


ජනාධිපතිතුමා නම් උන් වහන්සේලා කියන දේ පයිසෙකට මායිම් නො කරන බව සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි උන්වහන්සේලා කළ ඉල්ලීමට වූ දෙයින් පෙනේ. 


අපේ මහ නායක හිමිවරුන්ට ගිය කල කෙසේද යත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් උන් වහන්සේලාගේ ඉල්ලීම ගණන් ගෙන කරු ජයසූරිය එජාප නායකයා ලෙස පත් කර ගත්තේ නැත.


එපමණක් නො ව, මහ නායක හිමිවරුන්ගේ අනුග්‍රහය ලද කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස පිරිවර බුදු දහමට කෙතරම් නිගරු කළේ ද යත්, සිය ගෝල බාල මැරවරයන් ලවා සිරිකොතේ බුදු මැදුරට ද ගල් ගැස්සූ හ.


මහ නායක හිමිවරුන් කියන දේ අසපුකාර ගනින්නාන්සේලා හා දේශපාලන භික්ෂූහු ද නො සලකති. 


සාමාන්‍ය සංඝයා වහන්සේලාට මහ නායක හිමිවරුන් සමග ඇති සම්බන්ධයක් නැත. 


අනේ මන්දා ය. මේ හැම එක ම විජාතික කුමන්ත්‍රණ ය කියා කියන්නත් බැරි ය. තම තමන් නෙළා ගන්නේ තමන් විසින් ම වපුරන ලද බීජවල අස්වැන්න වන්නට පුළුවන.


අන්තෝ ජඨා බහි ජඨා-ජඨාය ජටිතෝ ජඨා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-21

මුහුදු ඌරා

මේ පිංතූරයේ ඉන්නේ මුහුදු ඌරෙක්. 


මුහුදු ඌරා ලංකාවේ මුහුදේ ජීවත් වන, දුර්ලභ, මෑතක් වනතුරු ම මාළු ලෑලිවල විකිණුනු, වඳ වී යාමේ තර්ජනයට ලක් වූ, ශාඛ භක්ෂක, අලියාගේ ඈත නෑයෙකු ලෙස සැලකෙන ක්ෂීරපායී සතෙක්. 


ලංකාවට දකුණු දෙසින් මුහුදේ යන නැව් හේතුවෙන් මුහුදු ඌරන්ට හා තල්මසුන්ට අනතුරු සිදු වන බව නාරා ආයතනය පවසනවා. 


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-20

අහෝ ශිරාල් නො දුටි මොක් පුර!

පහත පළ වන්නේ ශිරාල් ලක්තිලක බස්නාහිර පළාත් සභාවට තරග කර තේරී පත් වීමට අපොහොසත් වූ මැතිවරණය ආසන්නයේදී, එනම් 2009දී W3Lanka ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.


ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න.

Shiral Lakthilaka 
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිට එජාපය දක්වා



ශිරාල් ලක්තිලක සමග කතාබහක්
සංවාද සටහන: ලාල් තිබ්බොටුවාව සමග සම්පත් ගීතික


ඔබගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මතකය අවධි කළොත්....
ශිරාල් - මුලින්ම තිබුණේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ යුගයෙදි විශ්ව විද්‍යාල වල බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට. ඊට පස්සේ තමයි ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය සංගම් ගොඩගන්න ගත්තේ. මේ යුගයෙදි කොළඹ විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමය තහවුරු වෙනවත් එක්කම විශාල මතවාදී අරගලයක් පටන් ගන්නව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ මතවාදී අරගලය සම්පූර්ණයෙන්ම තීරණය වුනේ දෙමළ ජනතාවට ස්වයං නීර්ණයෙ අයිතිය තියෙනවද නැද්ද කියන එක උඩ.


දයා පතිරණ ගැන ශිරාල්ගෙ මතකය මොන වගේද?
ශිරාල් - දයා පතිරණ තමයි ඇත්තටම මගේ ජීවිතය වෙනස් කළේ. මොකද මම මාතරින් එන දකුණ ගැන, රුහුණ ගැන විශ්වාස කරපු සිංහල බෞද්ධ මිනිහෙක්. අදටත් මම දරන ජාතික ප‍්‍රශ්නයට සාමකාමී විසඳුමක් අවශ්‍යයි කියන මතය දයා පතිරණ තමයි මට ඒත්තු ගැන්නුවේ.


මාක්ස්වාදී ශිෂ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඉඳල නව ලිබරල් චින්තනයක් ගොඩ නැගෙන්නෙ කොහොමද ?
ශිරාල් - අදටත් මම මගේ ජීවිතයට මාක්ස්වාදී දයලෙක්තික ස්වරූපය භාවිතා කරනව. නමුත් මාක්ස්වාදයේ එන ආර්ථික පදනම ප‍්‍රායෝගික නෑ කියල පස්සේ කාලෙකදී පිළිගන්න මම පෙළඹුණා. ඒකට හේතුව මාක්ස් වගේම ඇඩම් ස්මිත් පවා පිළිගත් දෙයක් තමයි ඉල්ලූම, සැපුයුම හා ලාභය පිළිබඳ කාරණයෙදී එකතැන පල්වෙන තැනට එනව කියන එක. මාක්ස් කළේ එතන ඉඳන් උපන්‍යාසයක් හැදුවා මෙවැනි අවස්ථාවකට එනකොට නිර්ධන පංතිය විසින් අරගල කරල විප්ලවීය අවස්ථාවකින් පස්සේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් හදනවයි කියන එක. නමුත් ධනේෂ්වරය ඊට වඩා උපයෝගිකයි කියලයි මම හිතන්නේ. ඒගොල්ලො කළේ අර්බුදය එනකොටම දිනුම් කණුව පස්සට දාන එකයි. පළමුවෙනි අවස්ථාවෙදි ඒක ආවම අධිරාජ්‍යවාදයට පෙළඹුණා. ඒ කියන්නෙ අමුද්‍රව්‍ය සොයාගෙන යටත් විජිත සොයාගෙන ගියා. ඒ නිසා තමයි ලෙනින් කියන්නෙ ධනේෂ්වරයේ උපරිමය අධිරාජ්‍යවාදයයි කියල. ඒ වුනත් 1940 දශකය වනවිට යටත්විජිතවාදයටත් යන්න බැරි වුණා වැඩි දුරක්. එතනදී ධනේෂ්වරය කළේ ආයෙත් දිනුම් කණුව පස්සට දැම්මා. ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන ගොඩනගල ඩොලරයත් එක්ක රත්තරං අවුන්ස 32 ක් සම්බන්ධ කරල ලෝක ආර්ථිකය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ගැට ගැහුව.


මේ පරිවාරයේ ධනේෂ්වරයටත් වැඩි දුර යන්න බැරි වෙනව. එතනදී තමයි 1980 දශකයෙදී තැචර්ලා, රේගන්ලා නව ලිබරල්වාදය ගේන්නෙ. නව ලිබරල්වාදයේත් අර්බුදය මැද ලෝක ආර්ථික අර්බුදයන් පේනව. ඉතිං මම හිතන්නේ ඔය ගර්හාඞ් ශෲඩර් සහ ටෝනි බ්ලෙයාර් කතාකරන communitarianism නැත්නම් සම්බන්ධීකෘත වෙළඳපොළ ආර්ථිකය (coordinated market economy) කියන කතාව දැන් යළිත් පවතිනව. ලෝකයේ සමාජවාදී ක‍්‍රමයන් ප‍්‍රායෝගිකව පරීක්ෂා වෙලා නෑ. ධනේෂ්වර ක‍්‍රමයත් එහෙම නැහැ. නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය එක තැනක හරිගිහින් තියෙනව. උදාහරණ ස්වීඩනය. එහි අවු 50 ක් තිස්සේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතිනව.


ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ.


ඔබ හිතනවද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පුළුවන් කියල ඔබ හිතන වැඩ කොටස කරන්න.
ශිරාල් - මම හිතන විදියට පහසුම තැන එක්සත් ජාතික පක්ෂය. මොකද එහි සැකිල්ල ගත්තම ඒක නූතනවාදීනෙ. අනිත් එක ඒකෙ ඉන්නෙ ධනවාදීන්. ඔවුන් වැවසම් නෑනෙ. වැඩවසම් පසුබිමක ගිහින් මේ අදහස් දාන්න හැදුවොත් තමයි උඹ සිංහලද දෙමළද බෞද්ධ ද අබෞද්ධ ද කියන ප‍්‍රශ්න එන්නෙ. නමුත් එජාපය එහෙම නෑ. අනෙක, එජාපය හැම තිස්සෙම උපයෝගිකවාදියි. කාටහරි විප්ලවයක් කරන්න ලංකාවෙ ඇතුලෙ ඉඩක් තියෙනව නම් ධනේෂ්වර විප්ලවය හරි වෙලා තියෙන්න ඕනනෙ. මේ පොල් අතු අධිරාජ්‍යය ඇතුලෙ බෑනෙ මොකුත් කරන්න. ඒ නිසා මට වැඩක් කරන්න තියෙන පහසුම පක්ෂය තමයි එජාපය.


එජාපය තුළ ඔබ පාවිච්චි වෙනව වෙන්න බැරිද ?
ශිරාල් - අපි අපේ ජීවිතේ අනුන්ට කඬේ යනව. අනුන්ව කඬේ යවනවා. හැබැයි අපි දැනගන්න ඕන කඬේ යනවයි කියල. දැනගෙන යන්න. ඒ එක. දෙක තමයි සීනි ගේන්නනම් කඬේ ගියේ සීනි රාත්තලක් හරි සාක්කුවේ දාගෙන එන්න. මට දැක්මක් තියෙනව. මම විශ්වාස කරනව යකෙක් එක්ක උනත් ඉන්න පුළුවන් තමන්ට දර්ශනයක් තියෙනව නම්. අද මම පාවිච්චි වෙනව වෙන්න පුළුවන්. හැබැයි හෙට අනිද්ද සහ තව අවුරුදු 10 කින් ඒක වෙනස් වෙනව.


රාජපක්ෂ රෙජිමයේ අනාගතය ගැන ශිරාල්ගෙ අදහස මොකක්ද ?
ශිරාල් - පළවෙනි එක, ඕකනෙ බොනපාට්වාදය කියන්නෙ. බොනපාට්වාදය ටික කාලයයි තියෙන්නෙ. දැන් ජවිපෙ ගැලවුණා. ලංකාවේ තීරණාත්මක වෙන්නෙ ජනාධිපතිවරණයනෙ. උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු ඡුන්දය දෙන්න තීරණය කළොත්, කඳුකරයේ දෙමළ මිනිස්සුත් ඡුන්දය දෙන්න තීරණය කළොත්, ජවිපෙ එක ඡන්ද ලක්ෂයක් විතර තමන්ගෙ අපේක්ෂකයට ගත්තොත් මහින්ද කොහොමද දිනන්නෙ? මහින්දට අනාගතයක් නෑ.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වැළලෙන සොසේජස්

පන්නල මාකඳුරේ සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු කටු ඉවත් කළ කුකුළුමස්, සොසේජස් සහ සොසේජස් නිෂ්පාදනයට යොදා ගන්නා සෝයා පිටි කිලෝ 2,92,295ක තොගයක් අධිකරණ නියෝගයක් මත වළලා දමන ලදී.


රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමක් ඇති මෙම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොගය ඉකුත් 15 දා මෙසේ වළ දැමුවේ කුලියාපිටිය දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ නියමය පරිදි ආණමඩුවේ ආඬිගම තෝරාගත් ස්ථානයක දී ය.


මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන සොසේජස්වලින් සියයට 80 ක් විදේශ වෙළඳ පොළට නිකුත් කෙරේ. සියයට 20 ක ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට නිකුත් කෙරේ.


කල් ඉකුත්වීම නිසා ආහාරයට නුසුදුසු සොසේජස් හා කුකුළු මස් තොගයක් මෙහි තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරි කණ්ඩායමක් හදිසි වැටලීමක් සිදුකළහ.


එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ සොසේජස් නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලබන කටු ඉවත් කළ කුකුළු මස් කිලෝ 1,87,750 ක්, හා සෝයා පිටි කිලෝ 32982 කුත්, සොසේජස් කිලෝ 71563 කුත් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.


මෙතරම් විශාල ආහාර තොගයක් සත්ව ආහාර ලෙස හෝ ප්‍රයෝජනයට ගන්නට ඉඩක් නො තිබුණා ද යන්න සොයා බැලිය යුතුව තිබිණි.


ලංකාවේ සත්තු පමණක් නො ව මිනිස්සු ද සෑහෙන්න බඩගින්නේ වෙසෙති. එසේ ම කූට ජාවාරම්කරුවන්ගේ අඩුවක් ද මේ රටට නැත. මේවා සත්ව ආහාර ලෙස පාවිච්චි කිරීමට කාට හෝ දුන්නේ නම් එම පිරිස් එය නැවතත් මිනිස් ආහාර බවට පත් කරන්නට ඇති ඉඩ නිසා අධිකරණය මෙම පියවර ගන්නට ඇත. එහෙත්, මෙතරම් ආහාර තොගයක් සත්ව ආහාර ලෙස යොදා නො ගෙන විනාශ කිරීම අපරාධයකි.


පන්නල සොසේජස් කම්හලක සිදු වන මෙවැනි කල් ඉකුත් වූ ආහාර ජාවාරමක් පිළිබඳව අපි මීට පෙර ද වාර්තා කළෙමු. දිගින් දිගට ම මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන මෙවැනි සමාගම් වසා නො දමන්නේ ඇයි?


පහත ලිපිය ද කියවන්න


සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් බූරුවෝ / Sri Lanka MP Arundika Fernando and Puttlam donkeys

පුත්තලම කලක් පුත්තලම් බූරුවන්ට ප්‍රසිද්ධ වී තිබිණි.


අරුන්දික ප්‍රනාන්දු වනාහි පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.


ඔහු දිවයින පුවත්පතට මෙසේ කියා ඇත.


පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා.


සිද්ධිය දිවයින පුවත්පතේ විස්තර කර ඇති ආකාරය මෙසේ ය.


ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක්‌ ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ගැනත්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැනත් කතා කළේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු රංගේ බණ්‌ඩාර මහතාට දිගින් දිගටම බාධා කළ අතර සිය කතාව අවසන් කළ බණ්‌ඩාර මහතා සභාවෙන් පිටව යැමට දොරටුව වෙත ගියේය. ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මහතාද එදෙසට වේගයෙන් දිව යන ආකාරය දක්‌නට ලැබිණි. ඔවුන් පසු පස අනෙක්‌ මන්ත්‍රීවරුද සභාවේ විපක්‍ෂය පැත්තේ දොරටුවෙන් විපක්‍ෂ ලොබිය දෙසට ගමන් කළහ.
ඒ අවස්‌ථාවේදී විපක්‍ෂයේ දොරටුව විවර වී තිබුණ අතර රංගේ බණ්‌ඩාර මහතාට අරුන්දික ප්‍රනාන්දු මහතා පහර දෙන අයුරුත්, රංගේ බණ්‌ඩාර මහතා අරුන්දික ප්‍රනාන්දු මහතාට පා පහරක්‌ එල්ල කළ අයුරුත්, ජෝන් අමරතුංග මහතා රංගේ බණ්‌ඩාර මහතා අල්ලාගත් අයුරුත් පුවත්පත් ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ට දක්‌නට ලැබිණි.
ඒ අවස්‌ථාවේ ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරු එක්‌ව ගුටි බැට හුවමාරු කර ගන්නා මන්ත්‍රීවරුන් දෙපළ දෙපසට කළහ. අනතුරුව නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අරුන්දික ප්‍රනාන්දු මහතා සභාගැබ තුළට කැඳවාගෙන ආවේය.


අරුන්දික ප්‍රනාන්දු අපේ රටේ නීති සම්පාදකයෙකි. මහජන නියෝජිතයෙකි. ඔහුට උසස්වීමක් දීමට ඉතා ඉක්මණින් ම ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-19

කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය

යූඇන්පීකාරයෝ උඩ බලාගෙන කෙළ ගසාගෙන, බඩ උලාගෙන මුත්‍රා කරගෙන, තමන්ගේ ම අසූචි තමන්ගේ ම කටේ රුවාගෙන සිය සැබෑ දේශපාලන ස්වරූපය පෙන්නුම් කළ හ. 


සිරිකොත ඉදිරිපිට යකා නැටූ පිරිස ගෙන්වූයේ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් යයි කියනු ලැබේ. හැබැයි, කරු ජයසූරිය එජාප නායකයා කර ගන්නට බැරි වුණාට සජිත් ප්‍රේමදාස නම් පියවරක් ඉදිරියට පැමිණ ඇත. 


දැන් කරු නිකම් ම නිකම් කරු ය. කරු දැරූ නියෝජ්‍ය නායකකම දැන් සජිත් ප්‍රේමදාස අතේ ය. 


දැන් සජිත් කළ යුත්තේ සිය තනතුරින් ඉල්ලා අස් වී නායකකමට සුදුස්සා ලෙස තමන් විසින් ප්‍රවර්ධනය කරන ලද, එහෙත්, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද කරු ජයසූරියට තම පුටුව හෙවත් නියෝජ්‍ය නායකකම දීමයි. 


එහෙම නැතිනම් ආවොත් කරු පායන බව කී හිරු පායන්නේ නැත. 


සිරිකොත ඉදිරිපිට යූඇන්පී බූරුවන්ගේ ජල්ලිය විසින් පහත සඳහන් කරුණ ද සංකේතවත් කරනු ලැබේ. මේ ආණ්ඩුව වෙනස් කරන්නට අවශ්‍ය විශාල පිරිසකගේ බලාපොරොත්තුව වූ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනක් හෙවත් ගෝ එකක් නැතිකම නිසා එජාප සාමාජිකයෝ හා හිතවත්තු කිපී සිටිති.  ආණ්ඩුව‍ට සෙට් වුණා ය කියා ද වැඩක් නැත. මෝහන් ලාල් ග්‍රේරෝට මෙන් ලැබෙන්නේ එක එකා සූප්පු කළ කටු ය. 


එහෙත්, එජාපයේ මූලික ගැටලුව රනිල් නොව, රනිල්ට විකල්ප වෙනත් නායකත්වයක් නැතිකම ය. කරු අසමත් වී ඇත්තේ 96ක් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දවලින් හතරෙන් එකක් පමණක් ලබා ගනිමිනි. ලෙඩකට දුකකට නම් බෙහෙත් ඇත. බැරිකමට ඉතින් මොනවා කරන්නද?


එජාප නායක රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර සම්මුතියක් ඇති කළේ තමන් බව හුණුපිටිය ගංගාරාමයේ ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ නොබෝදා එජාපයට හා නායකයාට සෙත් පතා පවත්වන ලද බෝධි පූජාවකදී ප්‍රසිද්ධියේ ම කීවේ ය. 


එජාප නායකත්ව ඡන්දයේදී රජයේ මාධ්‍ය වැඩ කළේ රනිල් වික්‍රමසිංහට ය. ඒ මේ කියන ගලබොඩ සම්මුතිය අනුව විය හැකි ය. 


රනිල්ට ඉදිරියට යන්නට බැරිකමට හේතුව ද යූඇන්පියේ සිටින සජිත් ප්‍රේමදාස වැනි අභ්‍යන්තර සතුරන්ගේ කකුල් මාට්ටු බව පිළි ගත යුතු ය. 


සජිත්ට නම් බැරි එක බෑ ම ය. 


යූඇන්පියට පව් ය. මෙම ලේඛකයාට මතක් වන්නේ මීට 26 වසරකට පමණ පෙර ඔහු හිරිමල් තරුණ වියේ සිටියදී පත්‍රිකාවක් බෙදුවා ය කියා ඔහු අල්ලා පොලිසියට භාර දී මාස තුනකට හිර ගෙදර යැවූ යූඇන්පී මැරයන්ගේ උජාරුව ය. ඒවා මතක් වන විට හිතෙන්නේ තොපිට තව මදි ය කියා ය. 


කොහොම වුණත්, සිරිකොතේ එජාප ජන රාශි සංදර්ශනය ගැන අපට කීමට ඇත්තේ කච්චිය පිච්චියට ගියත් බල්ලා තවම හෙළුවෙන් ම බව ය. 


මේ හැත්ත නම් නියම සාගත පොරවල් ටිකකි. බලය නැතුව උන්ගේ කුස පොත්ත පිටේ ඇලිලා වෙන්නට ඇත. 


නො දන්න යකාට වඩා දන්න යකා හොඳ වන්නට ද පුළුවන. මුන් ආවොත් ඉන්න එවුන්ට එහා වන්නට පුළුවන. 


1994 ජනාධිපති ඡන්දය වෙලාවේ ආණ්ඩුවට සහාය පළ කරන්නට රාජ්‍ය මාධ්‍යවලට සෙට් වුණු සිත්තර පත්තරේ නිර්මාතෘ චින්තන ජයසේන ඒ දවස්වල ලියූ උපමා කතාවක් ලේඛකයාට සිහිපත් වේ. මතක හැටියට ඒ මෙසේ ය:


එක්තරා (කකුල් හතරේ) බල්ලෙක් පංචතන්ත්‍ර මෙතඩ් එකට කෝටුවක් කටින් රැගෙන වතුර වලකට බැස ටිකින් ටික ගිලෙමින් මැක්කන් කෝටුවට නංවාගෙන පසුව කෝටුව අතහැර දමා මැක්කන්ගෙන් මිදී ෆ්‍රෙෂ් පිට ගොඩ ඇවිත් කස කසා සිටි වෙනත් බල්ලකුට තමන්ගේ ක්‍රමය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේ ය. 


ඒ අසා සිටි කසන බල්ලා කිව්වේ 'මචං මේකයි වැඩේ. දැන් මුන් ටික මාව කාලා හොඳට බඩ පුරවාගෙන තර වෙලා ඉන්නෙ. මුන් ටික පන්නලා දැම්මොත් අලුත් එවුන් ටිකක් ඇවිත් ආයෙත් මුල ඉඳලා මාව කාවි. ඊට හොඳයි ඔන්න ඔහේ මුන් එක්ක ම ඉන්නවා' කියා ය. 


හෑ දීපන්කො පුළුවන් නම් ඌ........ත්තර!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ

එප්පාවල කලක් ප්‍රසිද්ධව තිබුණේ පොස්පේට් නිධිය හා එය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ඇමරිකන් සමාගමකට විකිණීම සඳහා දරන ලද තැත වැළැක්වීම පිණිස ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වූ මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් දියත් වූ අරගලය නිසා ය.


ලංකාවේ බොහෝ ප්‍රගතිශීලී සංවිධාන මෙම හිමියන්ගේ උද්ඝෝෂණවලට සහාය දීම සඳහා එප්පාවලට පැමිණිය හ.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එප්පාවල පොස්පේට් නිධියට යම් සුරක්ෂිතබවක් ලැබී තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම සඳහා හෙවත් පොහොර නිපදවීම සඳහා පිහිටුවන ලද සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ එප්පාවල හාමුදුරුවෝ ද සිටිති.


මෙම කම්හලෙන් තවමත් වැඩිපුර නිපදවන්නේ රොක් පොස්පේට් බව ද, කෙටි කාලීන බෝග සඳහා යොදා ගත හැකි, පහසුවෙන් පසට අවශෝෂණය වන සිංගල් සුපර් පොස්පේට් නිපදවන්නට අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමට නැති බව වාර්තා වේ.


ඒ දිනවල එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ අරගලයට සහභාගි වන්නට අප ගිය සුන්දර ගැමි එප්පාවල පෙදෙස අද ප්‍රසිද්ධ වී ඇත්තේ සමූහ මිනීමැරුමුවලට ය.


මේ අලුත් ම සමූහ මිනීමැරුමයි.


කියවන්න දිවයින.


මේ උපුටා ගත් කොටසකි.


"සෑර් කාලයක්‌ තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන්නවා. හතර දෙනාටම කෙටුවට පස්‌සෙ මම අයියාගේ ගෙදරට ගිහින් මේ ගැන මුලින්ම ඔහුට කිව්වා. ඒ පොරොවත් අද මම ඉදිරිපත් කරනවා" යි ඔහු පොලිසියට කීය.


එප්පාවල සිදු වූ තවත් තුන් සියදිවි නසා ගැනීමක් ගැන අපි මෙසේ ලියුවෙමු.
සූරිප්පෙරුමගේ ගම හා එප්පාවල කඩිගාව ගම



මෙම සිද්ධියේදී සිය දිවි නසා ගත් හමුදාවෙන් පළා ගිය සොල්දාදුවා එල්ලී මිය ගිය බව කියන බාල වයස්කාරියන් දෙදෙනා සමග මෙන් ම ඔවුන්ගේ මව සමග ද ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති බව කියවෙන විශේෂාංගයක් ඊයේ දිවයින පුවත්පතේ තිබිණි. කියවන්න


ලංකාවේ ගමට මෙවැනි ඉරණමක් අත් වූයේ ඇයිදැයි හැමෝ ම ප්‍රශ්න කරති. එහෙත්, ඇත්ත නම්, ලංකාවේ ගම තුළ හැමදාමත් මෙවැනි පළහිලව් තිබීම බව අපි යෝජනා කරන්නෙමු. 


විවෘත ආර්ථිකය පැමිණ ගම 'දූෂණය' වන්නට පෙර පටන් ම ගමේ සංස්කෘතිය තුළ අශිෂ්ටත්වය ගැබ්ව තිබුණු බව උපන් දා සිට ම ගමක ජීවත් වන ලේඛකයා දනියි. නිදසුනක් ලෙස ඔහුගේ ගමේ නමට ඉදිරියෙන් 'බලු' යන විශේෂණ පදය සහිත පුද්ගලයෝ කීපදෙනෙක් ඉස්සර ජීවත් වූ හ. මේ වනාහි තමන්ගේ දියණියන් සමග සංසර්ගයේ යෙදී ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෝ ය. 


සිංහල ගම යනු නූතන අරුතින් නරක යයි හැඳින්වෙන චර්යා තිබුණු පුද්ගලයන් ද දණ්ඩනයෙන් තොරව නිදහසේ ජීවත් වූ පරිසරයක් බව ගම ගැන නගරයේ සිට ව්‍යාඛ්‍යාන ලියන පුද්ගලයෝ දැන ගත යුතු ය. 


ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ. නාගරිකත්වයේ තිබෙනවා යයි හුවා දක්වන දුර්ගුණ ගැමිකමේ ද තිබේ. 


අද ලංකාවේ කොහේවත් ගම් ද, නගර ද නැත. ඇත්තේ වඩා දියුණු ප්‍රදේශ හා ඌන සංවර්ධිත ප්‍රදේශ පමණි. ගම, නගරය කියා භේදයකින් තොරව රටේ සංස්කෘතිය දූෂණය වී තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ශිෂ්ට සංස්කෘතියක් වෙනුවෙන් අරගල කිරීම මිස ගම ඔසවා තැබීම නො වේ. 


රටේ නායකයන් ය කියන පිරිස් විසින් ඔසවා තබනු ලබන්නේ ම චොකා බයිලා සංස්කෘතියකි. කලාකරුවෝ ඔවුන්ගේ වන්දිභට්ටයන් වී ඇත. ආගමික සංස්ථා මිනිසුන්ගෙන් මුදල් ගසා කන ජාවාරම් මධ්‍යස්ථාන වී ඇත. මාධ්‍ය යනු ඕනෑම බලු බෙට්ටක් අයිසින් කර විකුණන ආයතන වේ. පාසල්, විශ්ව විද්‍යාල වනාහි යාන්ත්‍රික කට පාඩම් කරවන තැන් මිස දරුවන්ගේ නිර්මාන ශක්තිය අවදි කරන තැන් නො වේ. 


පවත්නා දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාර ද මෙම ‍ගොහොරුවේ ම ලැග සිටින පණුවෝ වෙති. 


රෙදි බැනියම් ඇඳගෙන, හොර සිල් ගනිමින්, මාධ්‍යවලින් ගම උත්කර්ෂයට නංවමින් තමන්ගේ ගොඩේකම හෙවත් අශිෂ්ටත්වය එවැනි ම අශිෂ්ටයන් රැළකට විකුණාගෙන කා තර වන නාගරිකයන් හැතිකරය වනාහි ලංකාවේ සමාජය මත වැඩෙන විනාශකාරී පිළිලයකි. 


අපට ගැලවුමක් සොයා ගැනීම ලෙහෙසි නැත. 


මිනිසුනි, ඔබ දරුවන් බිහි කරන්නේ කෙතරම් අනාරක්ෂිත සමාජයකට ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-18

කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත් හ

කොළඹ ඕනෑ තරම් බල්ලෝ සිටිති


ඒ බල්ලෝ ඕනෑ තරම් මිනිසුන්ව ද කති. 


මේ බල්ලෝ වරදි කෑමක් කන්නට ගිය හ. 


කොළම ධනපතින්ගේ  නයිට් රේස් එකට මේ නිසා අවුලක් ඇති විය. 


බල්ලෝ වැඩේ වණ කර ගත් හ.


බල්ලා වුණත් ගෙරවිය යුත්තේ කාට ද යන්න දැන ගත යුතු කාලයකි, මෙය. 


දැන් ඉතින් කොළඹ බල්ලන්ට ද හිඟන්නන්ට, පේමන්ට්කාරයන්ට හා අනවසර නිවැසියන්ට සේ ම අබ සරණ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වාර්තා තැබිය හැති වේබ් අඩවියක් හිමි ලංකා සමසමාජ පක්ෂය

තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය අද ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී සිය 76වන සමරුව පවත්වයි. 


ජනාධිපතිවරයා ගෙන්වා ගැනීමට තරම් ශක්තියක් නැති වීම නිසා සමසමාජ පක්ෂය සිය සංවත්සරය සඳහා කතානායක චමල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි කර ගනියි. 


ලංකා සමසමාජ පක්ෂය බිහි වන්නට පෙර මේ රටේ තවත් දේශපාලන පක්ෂ දෙකක් තිබිණි. ඒවා නම් 1919දී බිහි වූ ලංකා ජාතික කොංග්‍රසය හා 1929දී ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් බිහි වූ ලංකා කම්කරු පක්ෂයයි. ඒවා දැන් නැත. 


ලංකා සමසමාජ පක්ෂයට සන්ධානවාදයෙන් කිළිටු වූ කීර්තිමත් ඉතිහාසයක් ඇත. අදත් සමසමාජය සතුව පාර්ලිමේන්තු ආසන දෙකක් ඇත. ඉන් එකක් ඡන්දයෙන් දිනූ එකකි. ඒ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි.ජී. පද්මසිරි ය. 


පළාත් සභා ආසන කීපයක් ද හිමි මෙම පක්ෂය සන්ධානවලින් තොරව තනිව ම තරග කර පළාත් පාලන ආයතන කීපයක ආසන දිනාගෙන ඇත. 


දෙමළ අරගලයට එරෙහිව රජයේ යුද්ධය පැවති සමයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන මතු වූ ජාත්‍යන්තර විරෝධය මැඬ ගැනීමට මහෝපකාරී වූ ඊනියා සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ධුරය දරමින් සමසමාජ නායක තිස්ස විතාරණ යුද්ධයේ සැලකිය යුතු වැඩකොටසක් කළේ ය. 


මෙම පක්ෂයට අනාගතයේදීත් මහින්ද රාජපක්ෂ සරණ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. නැතිනම් තවමත් පවතින ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ සමරුව පවත්වන්නට බැරි වනවා ඇත. 


ලංකා සමසමාජ පක්ෂයට වාර්තා තැබිය හැකි වෙබ් අඩවියක් ඇත. එය මෙතැනින් බලන්න. එය පුරා වසර හතරහමාරකින් යාවත්කාලීන කර නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-17

උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමේ වාර්තාව

උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමේ වාර්තාව පහත සම්බන්ධතා පුරුක ඔස්සේ කියවිය හැකි ය.

Report of the
COMMISSION OF INQUIRY ON LESSONS LEARNT
AND RECONCILIATION 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි

අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි.
බද්දේගම පිවිසුම් පොලිස්‌ මුරපළේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අධිවේගී මාර්ගයෙහි පයින් ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට මෝටර් රථයෙන් පැමිණෙන අතර බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙණුනු සෙයින් මෝටර් රථය ගාල්ල දෙසට යවා පිටවීම සඳහා පා ගමනින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.


දිවයින පුවත්පතින් උපුටා ගත් මෙම ප්‍රවෘත්ති ඛන්ඩයේ වරදතරු විශ්ව විද්‍යාල ආචාර්යවරයතු බව හුවා දැක්වීම විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවෙන් කරන ලද්දකැයි කෙනෙකුට තර්ක කළ හැකි ය.


ඒ වුණාට මෙහෙම එකකුත් ඇත. මෙම සිද්ධියෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ යම් කිසි කරුණක් සංකේතාත්මකව පැවසේ. අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු අදාළ පිටවීම් ස්ථානයට කිලෝමීටර ගණනාවකට පෙර සවි කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කියවීමේ කුසලතා දුර්වල මට්ටමක ඇත. ඔවුන් දක්ෂ සටහන් කට පාඩම් කිරීමට හා තවත් අයට ලියා ගැනීම සඳහා කියවීමට ය. ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ කල් තබා අවශ්‍ය දෙය නො දකින පිරිසකි. ඔවුන්ට වරද තේරෙන්නේ එය කළ පසු ය. ඉන් පසු, ඔවුහු කළ වරද වසා ගන්නට තවත් වැරදි ගොඩක් කරති.


ලංකාවට මෙහෙම වී තිබෙන්නේ මෙවැනි බුද්ධිමතුන් පිරිසක් සිටින නිසා ය.


ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි.


ලංකාවේ මහා ම සරසවි ඇදුරා තමා ය කියා සිතාගෙන සිටින නලින් ද සිල්වා මේ සඳහා හොඳ ම උදාහරණයකි. බටහිර දැනුම යයි සිතින් මවා ගත් දෙයකට විරුද්ධව දුම්මල වරම අතින් ගත් කපුවකු සේ හැසිරෙන විද්‍යාව හදි හූනියම්වලින් ආදේශ කිරීමට උත්සාහ කරන මේ ඇදුරාට එරෙහිව 21දා කැලනිය සරසවියේ ආචාර්යවරු වර්ජනයක් ද කරන්නට සැලසුම් කර ඇත. 


විස්තර මෙතැනින්


2011-12-16

නෙළුම් පොකුණේ ගාස්තු

නෙළුම් පොකුණ 'මහින්ද රාජපක්ෂ' රඟහලේ ගාස්තු කොහොමද දන්නවාද? 


රංග ශාලාවේ එක් දිනක සංදර්ශන දෙකක් සඳහා පමණක් ගෙඩි රුපියල් 1,050, 000කි. ඊට අමතරව තැබිය යුතු ආපසු ගෙවන තැන්පතුව රු. 150,000කි. 


මෙහි සංදර්ශනයක් පැවැත්වීම සාමාන්‍ය නාට්‍යකරුවකුට නම් සිහිනයකි. 


මෙයින් සිදු වන සංස්කෘතික නවෝදය කෙසේ වෙතත්, මෙහි සංදර්ශන පැවැත්වීම සඳහා සහන හා අනුග්‍රාහකත්වය හිඟා ගැනීමට පාලකයන් හා ධනපති ඉදිරියේ කොන්ද තවත් වකුටු කරන කලාකරුවන් පිරිසක් නම් මෙයින් බිහි වනු ඇත. 


විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නාමල් පෙර පාසල් ගුරුකමින් නීතිඥ වෘත්තියට

මේ ඡායාරූපය නාමල් රාජපක්ෂ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් දිනයේ ප්‍රසිද්ධ වූ ඡායාරූප අතරින් අරුත්බර එකකි.


නාමල් රාජපක්ෂගේ නීති වෘත්තියට පිවිසීම ද විවේචනයට ලක් වී ඇත. නීති විද්‍යාලයේ විභාගයක් ලිවීමට පැමිණි ඔහුට නීති විදුහල්පති බුලත් හුරුල්ලක් දී පිළි ගැනීම හා වායු සමනය කරන ලද හා අන්තර්ජාල පහසුකම් තිබුණු බව කියන කාමරයක ඔහුට වෙන ම විභාගය ලියන්නට සැලැස්වීම පිළිබඳ විවේචන ද ඒ අතර විය.


ලංකාවේ පාලක පවුල නීතියට ඉහළින් ඇති එකකැයි ද චෝදනාවක් ඇත.


නාමල් රාජපක්ෂ 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා පත්‍ර පුරවද්දී එහි රැකියාව ලෙස සඳහන් කළේ පෙර පාසල් ගුරු වෘත්තිය බව ඒ දිනවල මාධ්‍යවල වාර්තා විය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2011-12-14

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්


මේ ජන අරගල ව්‍යාපාරයේ තේමා පාඨයයි.


ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු.


කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය.


ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය. 


උතුරේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ. 


ජවිපෙ සාමාජිකයන් වෙතින් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය. 


කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ. 


වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. වෙනස් මිනිසෙක් පිළිබඳ සදා නිම කළ පරමාදර්ශී  ප්‍රතිරූපයක් නැත. අප කළ යුතුව තිබෙන්නේ වෙනස් මිනිසෙක් පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.


මෙහිදී අප අදහස් දක්වන්නට යන්නේ වෙනස් මිනිසෙකු යයි පෙනෙන තවත් එක් පරණ මිනිසෙකු ම අනුගමනය කිරීමට ජන අරගල ව්‍යාපාරය වෙතින් පිළිබිඹු වන නැඹුරුව ගැන පමණි.


ජාතික ප්‍රශ්නය විෂයෙහි ඉතිහාසය පුරා ම ජවිපෙ බොහෝ විට දෝලනය වී ඇත්තේ සිංහල හා දෙමළ ජාතිකවාදී අන්තයන් දෙක වෙත ය. 1971 කැරැල්ලෙන් පසු සිංහල ජාතිකවාදී අන්තය වෙත යොමු වෙම්න් සිටි ජවි‍පෙ අභ්‍යන්තරයේ වාම හෘදය සාක්ෂිය අවදි වීමේ ප්‍රතිඵලයක් ලෙස 1980 දශකය මුලදී  ලයනල් බෝපගේ නායකත්වය දුන් ප්‍රවණතාව ජාතික ප්‍රශ්නය විෂයෙහි න්‍යායිකව වඩා මාක්ස්වාදී ස්ථාවරයක් වෙත නැඹුරු වන්නට උත්සාහ කළේ ය.


1990 දශකයේ අගභාගයේදී ජවිපෙන් කැඩී ගිය හිරු කණ්ඩායම ද එවැනි උත්සාහයක් දැරුවේ ය.


2011 අවසාන භාගයේදී ජවිපෙන් කැඩී යන ජන අරගල ව්‍යාපාරය ද පෙන්නුම් කරන්නේ එම ලක්ෂණ ම ය. 


මෙහිදී ඇති වන මූලික ම ගැටලුව ලෙස අප හඳුනා ගන්නේ
පීඩිත හා ප්‍රතිචාරාත්මක ජාතිකවාදයක් ලෙස දෙමළ ජාතිකවාදය හඳුනා ගනිමින් යනය ගමන අවසානයේදී බොහෝ පිරිස් තමන් ද නො දැන ම දෙමළ ජාතිකවාදයට ගොදුරු වීමයි. දෙමළ සමාජයේ ඇති දැඩි ජාතිකවාදී හා ජාතිවාදී විභවයන්ගේ බලපෑමෙන් ගැලවීම පහසු නැත.


ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ වමේ කතිකාව අවසානයේදී දෙමළ අරගලය යොමු වන ඕනෑම දිශානතියක් අනුමත කරන තැනට තල්ලු වීමේ අත්දැකීම් අප සතු ය. 


ලංකාවේ සිංහල සමාජය වෙතින් පැන නඟින වාම ව්‍යාපාර ජාතික ප්‍රශ්නය විෂයෙහි ගත යුත්තේ කුමන ස්ථාවරය ද යන්න අතිශය වැදගත් ය.  


ජන අරගල ව්‍යාපාරය දෙමළ අරගලය පිළිබඳ දරන ස්ථාවරය ඔවුන් තවමත් පැහැදිලි කර නැත. 


ජන අරගල ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් වී ඇති 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානයේ නමෙහි මූලික දේශපාලන ගැටලුවක් ඇත. දෙමළෙන් ඉලංකෛ වූ ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වූ සිංහල ස්වෝත්තමවාදී සංදර්භය අතහැර දමා ශ්‍රී ලංකාව යන වචනය සලකා බැලීම දේශපාලනිකව අව්‍යක්ත ය. ශ්‍රී ලංකාව යන නම ඍජුව ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ය. 


දෙමළ ඊලාම් ජාතිකවාදයත්, සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික ජාතිකවාදයත් යන දෙක වෙනුවට ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ වාම මූලික දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය බව අපි කලක සිට පෙන්වා දෙන්නෙමු. එය වාම මූලික ව්‍යාපෘතියක් විය යුතු බව අප කියන්නේ එය සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් වන බැවිනි. 


ලාංකීය ජාතියක් ගොඩනැ‍ඟෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික අනන්‍යතාවන්ගේ සංවර්ධනයක් ලෙසයි. සුළු ජාතික අනන්‍යතා හා දේශපාලන හිමිකම් පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද? 


කුමන පදනමකින් හෝ බලය බෙදා ගැනීම පිළි නො ගන්නා ජවිපෙ ස්ථාවරය සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ මතය කුමක් ද?


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නාමල් රාජපක්ෂ සහ නාලිකා අතර සම්බන්ධය ගැන

දවසක් මමත්, තාත්තත් අම්මත් මල්ලිල දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹුවා. එහි විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතරවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස්වැනි ප්‍රවෘත්තිය ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, මමත්, මගේ මල්ලී යෝෂිතත් ගැන රගර් ප්‍රවෘත්තියක්. (පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අයවැය විවාදයේදී කළ කතාවකින්)


දැන් ස්වාධීන රූපවාහිනියේ ලොක්කන් හිතන්නේ මෙහෙම විය හැකි ය. 


"මාර අප්සෙට් එකනෙ වුණේ. දෙවෙනියට දාන්න තිබුණු ප්‍රවෘත්තිය පස්වෙනියට දාලනේ."


(‍මෙම ප්‍රවෘත්තියේ නාලිකා යනු රූපවාහිනී නාලිකා බව කරුණාවෙන් සලකන්න.)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න