2012-01-01

2012 ලංකාවේ ලොකුම අභියෝගය කුමක් ද?

දේදුන්න යථාර්ථයක් නො වේ නම් යථාර්ථය මෙය ද?
මේ අවුරුද්දේත් ලංකාව ඉදිරියේ දිගහැරෙන ලොකු ම අභියෝගය නො විසඳුණු ජාතික ප්‍රශ්නය ම බව කීවොත් ඇතැමෙක් ඒ වර ම පිළි ගන්නට මැලි වනු ඇත. 


'ඒක වෙන්නෙ කොහොම ද? දැන් යුද්දෙ ඉවරයිනේ' යි කියන්නට පුළුවන. තිබුණු යුද්ධය වැනි එකක් දෙමළ සටන්කාමීන්ට යළි අරඹන්නට බැරි බව පැහැදිලි ය. 


එහෙත්, ජාතික ප්‍රශ්නය නො විසඳා තිබීම විසින් ත්‍රස්තවාදයට සරු පසක් නිර්මානය වන බව පාලකයෝ මෙන් ම සිංහල ජනතාව ද තේරුම් ගත යුතු ය. දකුණේ හුදකලා සිද්ධි වශයෙන් සිදු වන අපරාධ රැල්ල මර්දනය කරන්නට බැරි ආරක්ෂක අංශයකට ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක නව ත්‍රස්ත ව්‍යාපාරයක් අලුත් උපාය උපක්‍රම සමගින් මතු වුවහොත් එය තියුණු අභියෝගයක් වනු ඇත. එවැනි ව්‍යාපාරයක අරමුණ ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් කිරීම මිස භූමිය අල්ලා ගැනීම නො වේ. එය ජාත්‍යන්තර වශයෙන් දියත් වන දෙමළ ඊලාම්වාදී අරගලයට උත්ප්‍රේරකයක් වන්නට ද පුළුවන. 


'වරෙව්, අපි දෙන්නම් බැටේ' යි වහසි බස් දොඩන්නට පුළුවන. දස දහස් ගණනක් ජීවිත අහිමි වූ, ජන ජීවිත බිඳ වැටුණු දෙමළ සමාජයට සිය ඊලාම් ජාතිකවාදී සිහිනය වෙනුවෙන් තවත් ජීවිත දෙන්නට බැරිකමක් නැත. මැරීමෙන් ඝාතක මානසිකයන්ට ප්‍රමෝදය ලැබෙනු ඇත. එහෙත්, රටට යහපතක් නම් නො වනු ඇත.


මතක තබා ගත යුතු කාරණය වන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පැරදුණු මුත් දෙමළ ඊලාම් ජාතික අරගලය නො පැරදුණු බවයි.  එය පැරදවිය හැක්කේ දේශපාලනිකව පමණි. 


යුද්ධය නිමා වී දැන් වසර ‍දෙකහමාරක් හමාර ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් පිණිස ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත. 


ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමස්ත ප්‍රශ්නයේ ම කොටසකි. පශ්චාත් යුද සමයේ ලංකාවේ රාජ්‍ය සංවර්ධනය සිදු වූයේ වැඩි දුරටත් ප්‍රජාතන්තුවාදී හිමිකම් සීමා කරමිනි. 


ලංකාව සමස්ත ජනතාවගේ ම ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ශක්තිමත් කරන හා විශේෂයෙන් ම සුළු ජාතික අයිතීන් තහවුරු කෙරෙන ශක්තිමත් රාජ්‍ය ප්‍රතිසංස්තරණයකට නො ගියහොත් අනාගතය නියත වශයෙන් ම අන්ධකාර ය. 


රටේ ජනතාව සමග දේශපාලන බලය බෙදා ගැනීමෙන් රට බෙදේ ය යනුවෙන් කීම ද දෙමළ ඊලම තරමට ම මිථ්‍යාවකි. එය වනාහි කොළඹ හා රටේ වෙනත් තැන්වල ඉඩම් හා වෙනත් දේපල චීනයේ හා ඉන්දියාවේ සමාගම්වලට විකිණීමෙන්, බදු දීමෙන් ලංකාව ඒ රටවල යටත් විජිතයක් බවට පත් වේ යයි කීම වැනි කුඩා සත්‍යයක් සහිත ලොකු බොරුවකි. දේශපාලකයන් සැබැවින් ම ජනතාවට හිතැති බුද්ධිමත් නායකයෝ නම් ජනතාව නො මග යැවීමේ මේ ක්‍රීඩාව දැන්වත් අවසන් කළ යුතු ය. 


ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්තරණයකට නායකයන් දිරි ගැන්විය හැකි ධෛර්යය ජනතාවට පහළ වන සුබ නව වසරක් පතමු!


-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

5 comments:

  1. LLRC වාර්තාව ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  2. //රටේ ජනතාව සමග දේශපාලන බලය බෙදා ගැනීමෙන් රට බෙදේ ය යනුවෙන් කීම ද දෙමළ ඊලම තරමට ම මිථ්‍යාවකි. එය වනාහි කොළඹ හා රටේ වෙනත් තැන්වල ඉඩම් හා වෙනත් දේපල චීනයේ හා ඉන්දියාවේ සමාගම්වලට විකිණීමෙන්, බදු දීමෙන් ලංකාව ඒ රටවල යටත් විජිතයක් බවට පත් වේ යයි කීම වැනි කුඩා සත්‍යයක් සහිත ලොකු බොරුවකි.

    Bullshit to say the least. Land powers are powers to usage of government owned land. Indian or Chinese lease does not mean they can produce policies regarding the land. Another poor effort by Para.

    ReplyDelete
  3. 2012 ලංකාවේ ලොකුම අභියෝගය තමයි නාමල් කුමාරයාට කසාදයක්.2011දි නීති විද්‍යාලයේ වැඩේ කර ගත්තනේ.නැත්නම් ගොං ගගහ ඉඳලා ඒඩ්ස් වත් හදා ගත්තොත් මළ ජංජාලයයි.

    ReplyDelete
  4. බලය බෙදන්න ඕනේ. හැබැයි "නොබෙදුවොත් බලා ගන්න පුළුවන්" කියන තර්ජනයට යටවෙලා නම් නොවේ. අනික තවත් ජාතිවාදයට උඩගෙඩි දෙන සීමා මත ද නොවේ.

    මගේ අදහස නම් ඔය බල බෙදීම ගැන තොරක් නැතිව කතා කරනවාට වඩා සාම්පලයක් හැටියට විසඳුමක් දෙන එක හා එය මත පදනම්වී ඉදිරිය ගැන කතා කිරීම වැදගත්. බල බෙදීම ගැන අවංකව කතා කරන අවංක පාර්ශ්ව කරුවන් කොයි පැත්තෙවත් නැහැ.

    ReplyDelete
  5. මමත් එහෙමම ප්‍රාර්ථනා කරනවා අජිත්, ඒ ඇරෙන්න වෙන මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නෙ?

    මේ අවුරුදු දෙකහමාරෙ අපෙ පාලකයො සක්සුදක්සේ පැහැදිළිව ඔප්පු කරපු එකම දේ තමයි,දශක තුනක් තිස්සෙ කරපු යුද්දෙන් කිසිම පාඩමක් ඉගෙන ගත්තෙ නෑ කියන එක.

    පාලකයින්ට ප්‍රඥාව පහල වේවා!

    අවම වශයෙන් ජනතාවට ඉදිරියේ ඇති අනතුර පිළිබඳව ණැනැස පහල වේවා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.