2012-06-07

ඉංගිරිසි අජීර්ණයට ඇමති ඩලස් එංගලන්තයෙන් ගෙනා බෙහෙත හා පශ්චාත් යටත් විජිත සිංහලයන්ගේ ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්

සිංහල ජාතියේ පිනට පහළ වූ ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ලංකාවේ ඉංගිරිසි අජීර්ණයට බෙහෙතක් එංගලන්තයෙන් ගෙන්වා තිබේ.


මහ ඉහළින් ප්‍රචාරය කරමින් එසේ ගෙන්වන්නට යන්නේ එංගන්තයේ ගුරු පුහුණුව ලබමින් සිටින සිසුන් පිරිසකි. ඔවුන් ස්වේච්ඡාවෙන් මෙහි ඉංග්‍රීසි උගන්වන බව ආණ්ඩුව කියන මුත් ඇත්තනේම ඔවුන් කරන්නේ සිය පුහුණුවේ ප්‍රායෝගික කොටසකි. එසේ පැමිණ කරන සේවය අගය කළ යුතු ය. එහෙත් සුද්දන් වන්දනා කරන්නන් ඒ ගැන කරන ප්‍රචාර ජාතික වශයෙන් අවමන් සහගත ය. 


ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් තවමත් සිතාගෙන ඉන්නේ ඉංග්‍රීසි එංගන්තේ සුද්දන්ගේ භාෂාව වන නිසා ලංකාවේ කොයි කාටත් වඩා එංගලන්තේ සිඟන්නෝ පවා ඉංග්‍රීසි දන්නවා ය කියා වන්නට පුළුවන.


ලංකාවේ සිංහල ජාතිකවාදීන්ට ඉංග්‍රීසි පිළිබඳ ඇත්තේ පැරණි යටත් විජිත මානසිකත්වයම ය.


ජාතිකවාදීන්ට පමණක් නොව මාක්ස්වාදීන්ට ද තත්වය එසේ ම ය. ලේඛකයා එක්තරා අති වාමාංශික කණ්ඩායමක ක්‍රියාකාරීව සිටියදී ලද අත්දැකීමක් මෙසේ ය.


කිසියම් ප්‍රශ්නයක් අරභයා තානාපති කාර්යාලවලට යැවීමට ලියුමක් සැකසීමේ තීරණයක් එම කණ්ඩායම විසින් ගනු ලැබූ අතර ලේඛකයාට එය සැකසීම පැවරිණි. ලේඛකයා එය සැකසූ අතර කණ්ඩායමේ අසහාය නායකයාගේ අදහස වූයේ එවැනි ලිපියක් ලිවිය යුත්තේ ලේඛකයා වැනි ගමින් ආ ගොඩයකු නොව කොළඹ ඉහළ මධ්‍යම පංතියේ කුමාරයකු බවයි. ඒ සඳහා අවශ්‍ය භාෂාව දන්නේ එවැනි අය බව මේ වාමාංශික නායකයාගේ අදහස විය. මේ ලිපිය කිසිදාක නො ලියවුණු එකකි.


ලංකාවේ බොහෝ අය හොඳ ඉංග්‍රීසිය කියා සිතන්නේ ලංකාවේ සාමාන්‍ය ජනයාට නො වැටහෙන ඉංග්‍රීසියෙන් ලියන, කියන දේ ය.


ලංකාවේ මිනිසුන් බහුතරයක් ඉංග්‍රීසි හරි හැටි භාවිතා කරන්නට නො දන්නාකමට මූලික හේතුව මේ යටත් විජිත මානසිකත්වයයි. ඔලුවේ නිර්මානය කරගෙන සිටින ප්‍රමිතියක් වන්දනා කරමින් සිටින මොවුහු ඒ ප්‍රමිතියට ඇති බිය නිසා කිසි කලෙක ඉංග්‍රීසි නිදහසේ නො වහරති. එසේ කරන අතරතුර සිංහල බසට කළ හැකි ඕනෑම දහදුරා වැඩක් කරති. 


ඉංග්‍රීසිය යනු තව දුරටත් එංගලන්තයේ සුද්දාගේ භාෂාව නො වේ. එය ලෝක භාෂාවකි. එහි අපට ද ඉංග්‍රීසි උප බසක් ඇත. එය ලාංකික ඉංග්‍රීසියයි.


ලාංකික ඉංග්‍රීසිය කියන්නේ ඔය කොළඹ මධ්‍යම පංතික නෝනලා මහත්තුරු කතා කරන 'සින් නෝ' (පව් නේ), 'ටුඩේ වෙරි හොට් නෝ' (අද හරි රස්නෙයි නේ), 'පුට් මී අ ට්‍රාන්ස්පෝට්' (මට ට්‍රාන්පෝට් එකක් දාන්න), 'පුට් මී අ ප්ලේන්ටි' (මට තේ එකක් වක්කරන්න), 'සන් යු ආ වෙරි නෝටි' (පුතා ඔහා හරි නරකයි), 'අයිල් ගෝ ටු ද ටොයිලට් ඇන් කම්' (මම වැසිකිළියට ගිහින් එන්නම්) පන්නයේ ගොරකා ඉංග්‍රීසිය නො වේ. එසේ ම, ලොකු ලොකු පාසල්වල ළමයි එලකියුෂන් පංති ගිහින් එංගන්තයේ මධ්‍යම පංතිය නාට්‍ය රඟපාන පරිද්දෙන් කට අඹර, අඹරා ඉගෙනගෙන කතා කරන ව්‍යාකරණානුකූලව වැරදි වාක්‍ය ද නො වේ. එසේ ම, දකුණු ආසියාතික රටවල ඉංග්‍රීසි ගුරුවරුන්ගේ භාෂා ව්‍යවහාරය ද නො වේ. (ඉංග්‍රීසි ගුරුවරුන්ගේ උච්ච ස්වරයෙන් කතා කරන විකට භාෂා ව්‍යවහාරය හඳුනා ගන්නට 'තාරේ සමීන් පාර්' චිත්‍රපටය කදිම නිදසුනකි.)


ලාංකික ඉංග්‍රීසිය ගොඩනැ‍ඟෙන්නේ 'නෝ' වැනි ක්වෙස්ෂන් ටැග්වලින් ය ‍'ෂෝට් ඊට්ස්', 'ටේක් අවේ' වැනි වචනවලින් ය 'අයිල් ගෝ අන් කම්' වැනි ව්‍යවහාරවලින් ය කියා ප්‍රචාරය කරන යටත් විජිත මානසිකත්වයේ ලේඛකයෝ ද සිටිති. ඔවුහු ලාංකීය ඉංග්‍රීසිය වෙනුවෙන් පෙනී සිටින බවක් ප්‍රදර්ශනය කළ ද ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ලාංකීය ඉංග්‍රීසි බස අවමානයට පාත්‍ර කිරීමයි. ලාංකීය ඉංග්‍රීසිය එවැනි සරළ කාරණා එකතුවක් නො වේ.


ලාංකීය ඉංග්‍රීසිය ගොඩනැ‍ඟෙන්නේ දේශීය සංස්කෘතීන් හා ඉංග්‍රීසි භාෂාව අතර ගැටුම හා සම්මුතිය තුළිනි. එම නිසා ම ලාංකීය ඉංග්‍රීසිය පිළිබඳ වාග් විද්‍යාඥයන් විය යුත්තේ සිංහල වචන අහුලන සුද්දන් නො ව ද්විභාෂා උගත්තු ය.


දේශීය සංස්කෘතීන් හා ඉංග්‍රීසි භාෂාව අතර ගැටුම හා සම්මුතිය සඳහා නිදසුනක් මෙසේ ය. 'වැව' යනු දේශීය වාරි සංස්කෘතිය හා බැඳුණු සංකල්පයකි. සුද්දෝ වැවට 'ටෑන්ක්' යයි කී අතර එය ඉතා අසම්පූර්ණ පරිවර්තනයකි. 'වැව' යන වදනට සමාන වෙනත් ඉංග්‍රීසි වදනක් ද නැත. මේ සංස්කෘතික ගැටුම තුළ 'වැව' යන වචනයට ඉංග්‍රීසි වචනයක් ලෙස අනන්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය ය. එය ලෝක ඉංග්‍රීසියත්, එහි ආධිපත්‍යය හොබවන ඇමරිකානු හා එංගලන්ත ඉංග්‍රීසිත් සමග කරන අරගලයකි.


'වැව' යන වචනයට ඉංග්‍රීසි අනන්‍යතාව දිනා ගත හැක්කේ එය ව්‍යවහාරය තුළ තහවුරු කිරීමෙන් මිස අන් කිසිදු ක්‍රමයකින් නො වේ.


නිදසුනක් ලෙස wanderoo යන ඉංග්‍රීසි වචනය නිර්මානය වී ඇති ආකාරය විමසා බලන්න. මේ වනාහි 'වඳුරු' යන සිංහල වදනයි. මෙම වචනය ප්‍රචලිත වන්නේ ජෝන් ස්ටිල්ගේ 'ජංගල් ටයිඩ්' කෘතියෙනි.


ලාංකික ඉංග්‍රීසිය ලෝකයේ අනන්‍යතාව තහවුරු කර ගන්නට නම් ලාංකික ඉංග්‍රීසි බසින් ඇති හොඳ ලේඛන සුලභ කළ යුතු ය. මේ වනාහි හිස් මධ්‍යම පංතිකයන් අතර ඇති පුහු ඉංග්‍රීසි යෙදූ ලේඛන සුලබ කිරීම නො වේ. 


ශ්‍රී ලාංකිකයන් කළ යුත්තේ හොඳ ඉංග්‍රීසි ප්‍රමිතියක් නිර්මානය කර ගනිමින් එය දේශීය සංස්කෘතික ලක්ෂණවලින් පෝෂණය කිරීමයි. නො එසේව, සුද්දන් වන්දනා කිරීම හෝ කොළඹ මධ්‍යම පංතිකයන්ගේ කාණු ඉංගිරිසිය ප්‍රවර්ධනය කිරීම නො වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

4 comments:

  1. කවදාවත් නොවිසඳෙන , විසඳුවත් ප්‍රශ්ණය තව තවත් වැඩි වෙන.සමහර විට විසඳන්න අකැමැති ( සමාජයේ විශේෂ එක්තරා කොටසකට සීමා කරල තියා ගන්න හදන )

    ඉංගිරිසිය

    ReplyDelete
  2. රට රටවල් වල ඉංග්‍රිසි භාවිතාවන්නේ විවිධ ආකාරයට. ලන්ඩන් නුවර වාසය කරන ඉංග්‍රිසි ජාතිකයෙකුට ස්කොට්ලන්තයේ ග්‍රාමීය පළාත් වල භාවිතා කරන ඉංග්‍රිසිය තේරුම් ගන්න අමාරුයි. නමුත් මූලික සිද්ධාන්ත (grammar) වෙනස් වෙන්නෑ. අපේ රටෙත් ඉංග්‍රිසිය සෑහෙන්න විකාශය වෙලා...විශේෂයෙන්ම නාගරික ප්‍රදේශ වල. නමුත් තවමත් බොහෝ දෙනෙකුට ඉංග්‍රිසි භාෂාවේ වැදගත්කම තේරෙන්නේ නෑ. අනික ඉංග්‍රිසි උගන්නන ආකාරය ඉතාම ප්‍රාථමිකයි...නිසි ක්‍රමවේදයක් නෑ. ලංකාවට ESOL (English for Speakers of Other Languages) ක්‍රමය ගැලපෙනවා.

    ඉංග්‍රිසී උගන්වන්න පුහුණු වන සිසුන් අවාට මක් වෙනවද? අවශ්‍ය ඉංග්‍රිසි දැනුම ලබාදීමයි. චීනයේ හා ජපානයේ ඉංග්‍රිසි උගන්වන්නේ විශ්ව විද්‍යාලවලට යන්න බලාපොරොත්තු වෙන් ඉන්න හා හැර ගිය බ්‍රිතාන්‍ය සිසුන්.

    ReplyDelete
  3. http://en.wikipedia.org/wiki/Sri_Lankan_English

    ReplyDelete
  4. වැඩිය මේ ගැන කෑගහන්න එපා. අන්තිමේදී විමලාවතී වීරවංස එංගලන්තේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණය කරෙඉ සිංහල ලෝක බාෂාව සහ ජාත්‍යන්තර බාෂාව කරන්න කියල. දැක්ක නෙද පහුගිය කලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නටපු තොඉලේ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.