2012-07-04

තමිලිනී පුනරුත්ථාපනය කිරීම හා වවුනියාවේ රැඳවියන්ගේ විස්කෝතු ගණන් කිරීම

සිංහල ආණ්ඩුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වන සුබ්‍රමනියම් ශිවතාවි හෙවත් තමිලිනී පුනරුත්ථාපනයට යවා ඇත.


කොටි සංවිධානයේ නායක මට්ටමේ පුද්ගලයන්ගෙන් පළමු වරට රජයේ පුනරුත්ථාපනයට ලක් වන්නා වන්නේ තමිලිනී ය. 


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් වැනි දේශපාලකයෝ ද රජයේ මෙබඳු පුනරුත්ථාපන වැඩසටහන් අනුගමනය කළ අයයි. 


දේශපාලන නායකත්වයක ඔලු සෝදන්නට හැකි කිසිවක් මේ පුනරුත්ථාපන වැඩවලින් සිදු වන්නේ නැත. එහෙත්, පුනරුත්ථාපනය වනාහි නිදහස සඳහා සම්මුතියකි. වසරකින් තමිලිනී නිදහස් වනු ඇත. 


රජය යුද්ධයේ අවසානයෙන් පසු කොටි නායකත්වයට හා සාමාජිකත්වයට බෙදන්නේ හැඳි දෙකකින් බව පැහැදිලි ය. කේ.පී.ට එක විධියකි. දයා හා ජෝර්ජ් මාස්ටර්ලාට තව විධියකි. තමිලිනීට තවත් විධියකි. ‍රැඳවුම් කඳවුරුවල සිටින ඊට පහළ මට්ටම්වල කොටි සාමාජිකයන්ට තවත් විධියකි. 


පසුගිය දිනවල වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ කොටි සැකකරුවන්ගේ විරෝධයේදී රජය හා ජනමාධ්‍ය ඔවුන් සම්බන්ධයෙන් සැලකුවේ අන්තගාමී ලෙසයි. ඇතැම් ජනමාධ්‍ය රැඳවියන් ළඟ තිබූ බිස්කට් ගණන ගණන් කර එය මෙපමණ සංඛ්‍යාවකට මෙපමණ දින ගණනක් සිටින්නට ප්‍රමාණවත් ය ආදී විකට මිලිටරි තර්ක ගොඩනඟන්නට පවා ඉදිරිපත් වූ හ. 


එහෙත් නඩු නැතිව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටිනු ලබන කුමන අන්දමක පිරිසක් අතර වුව ද අසහනය මෝදු වන බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට තේරෙනු ඇත. අනෙක් පැත්තෙන් සාමාන්‍ය කොටි සැකකරුවන් නො තකා හැර තිබෙන්නේ කොටි නායකයන්ට සහන සලස්වන පසුබිමක වීම මහත් ගැටලුකාරී තත්වයක් ඇති කරයි. 


මේ සිරගතව සිටින්නෝ ද දරු පවුල් ඇති මිනිස්සු ය. කාගේ හරි දරුවෝ ය. ඔවුන් වැරදි කර ඇති නම්, ඔවුන්ට එරෙහිව නඩු පවරා දඬුවම් කළ යුතු ය. එහෙත්, ඔවුන් වරදට පෙළඹවූ කරුණා අම්මාන්, කේ.පී. වැනි නායකයන්ට සමාව හා නිදහස හිමි වී ඇති පසුබිමක් තුළ ඔවුන්ට ද ඒ හා සමාන අනුකම්පාවක් ලැබිය යුතු ය. 


සිංහල - දෙමළ සංහිඳියාව සඳහා මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන ආකාරය අතිශය වැදගත් ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

1 comment:

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.