2012-09-28

ජනාධිපතිවරයා: (සිනාසෙමින්)

අධිකරණයට බලපෑම් එල්ල වන බවට අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශක් නිකුත් කළේය.

දිවි නැගුම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර පළාත්සභාවල සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවටද ආණ්ඩුව ඉන්නේ නැගලාය.

ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ජනාධිපතිට කලින් සැලසුම් කළ ෆුල්ටොස් පන්දුවක් යැව්වේ මෙසේය.

දිවයින පුවත්පතේ පළවූ පරිදි මෙහිදී කතුවරයකු විසින් ප්‍රශ්නයක්‌ නගමින් විමසා සිටියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අපචාර චෝදනා තිබේද යන්නයි.

ජනාධිපතිවරයා: (සිනාසෙමින්) ඔබ සඳහන් කරන චෝදනාව කුමක්‌ද?

ලේකම්වරයා ඇතැම් කාන්තා විනිසුරුවරියන්ට අයථා යෝජනා කළ බවට චෝදනා තිබෙනවා.

ජනාධිපති: ඔව්. මම ඒවා මෙහිදී විස්‌තර කිරීම උචිත නෑ. එහෙත් ඔබ කියන ආකාරයේ චෝදනා මා වෙත ලිඛිතව ලැබී තිබෙන බව පමණක්‌ මා කියන්නම්. (සිනාසෙයි)

අධිකරණය ා ආණ්ඩුව අතර ඇති වී තිබෙන ඝර්ෂණය ගැන රාජපක්ෂ පවුල කලබලයට පත් වී තිබෙන බවට මේ නිදසුනකි.

මේ නාට්‍යය දැන් ඇරඹුණා පමණි. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙටය. 

බයවේවා!

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-26

දොස්තරලාට රෝහල් වෙලාවේත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න ඉල්ලීමක්

ලංකාවේ වෛද්‍යවරු වනාහි විස්මිත වෘත්තිකයෝ පිරිසකි.ඔවුන්ට ඇත්තේ අරුම පුදුම වෘතිතීය ඉල්ලීම්ය. නිදසුනක් ලෙස ඔවුන්ට වැටුප් වැඩි කරගන්නට පමණක් නොව සෙසු වෘත්තීන්හි යෙදී සිටින මිනිසුන්ගේ වැටුප් හා ඔවුන්ගේ වැටුප් අතර පරතරයක් තබාගන්නටද උවමනාය. තමන්ට ගෙවන සන්නිවේදන දීමනාව සෙසු තමන් වැනි රාජකාරිවල යෙදෙන අයට ගෙවනවාට ඔවුහු විරුද්ධය. 

මේ අලුත්ම ඉල්ලීමයි. ලංකාවේ මිනිස්සු ලෝකයේ බොහෝ රටවල වැඩකරති. එහෙත්, ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඉන්දීය වෛද්‍යවරු වැඩකිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් යෝජනා කරන විසඳුම කුමක්ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් (?????????) ඉල්ලා ඇත්තේ රජයෙන් වැටුප් ලබමින් දවස පුරාම පෞද්ගලික රෝහල්වලද මුදලට වැඩ කිරීමට අවස්ථාව දෙන ලෙසයි. (දැනට සවස හතරෙන් පසු කරන දේට අමතරව)

මේ ඉල්ලීම හරියට ගුරුවරුන් පාසලේ පොතේ අත්සන් කර ටියුෂන් පංතිවල ඉගැන්වීමට ඉල්ලාසිටිනවා වැනිය.

කොහොමද දේශප්‍රේමයේ තරම? විලිලජ්ජාවක් නැතිව මෙවැනි ඉල්ලීමක් කරන්නට පුළුවන්කමක් තිබීමම සම්මාන දියයුතු තත්වයකි.

Release govt. docs to replace Indians in pvt. sector – GMOA

 

article_image

by Don Asoka Wijewardena


The GMOA has urged President Mahinda Rajapaksa and Defence Secretary Gotabhaya Rajapaksa to permit doctors and consultants attached to State-run hospitals to work for private hospitals too.

GMOA President Dr. Anuruddha Padeniya yesterday requested that government medical officers and consultants be allowed to provide round-the-clock health care services at private hospitals, instead of allowing unscreened Indian doctors to do so.

About 184 Indian registered medical practitioners had become consultants in the private hospitals although they did not possess the required qualifications and it was a flagrant violation of the Sri Lanka Medical Ordinance, he told a Media Conference at the GMOA head office.

Dr. Padeniya said that the GMOA General Committee had held a fruitful discussion with President Mahinda Rajapaksa and Defence Secretary Gotabhaya Rajapaksa on the possibility of releasing the doctors and  consultants attached to the government hospitals, as now the government doctors could only visit the private hospitals after 4.00 p.m.

The GMOA was concerned that the patients in the private hospitals had to see either consultants or general practitioners after 4.00 p.m. But, if they sought timely medical attention at the private hospitals before 4.00 p.m. it was often not available. The cardiac and stroke patients were in need of urgent medical attention, he said.
Dr. Padeniya added that the President and the Defence Secretary had consented to implement the programme and wanted the request in writing.
මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-25

අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ

හොල්ලාගෙන හිටියත් මුළු උතුරුමැද
මැරයා හොරා කොයි ලෙස කට අරින්නද
අයියෝ මාලිනී බර්ටිට දුන්නාද
ලොක්කා දුන් ගේම දුං දානව නේද

නුවර කලාවියෙ වැලි කැටයක් ගානේ
කළ සොරකම් කොයි කවුරුත් දන්නවනේ
මහින්දසෝමගෙන් අරගෙන කෑ දානේ
අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ 

පණ ඇතිතාක් රජවෙන්නට පුරාගෙන
ඉන්නා හැම එකාටම අවවාදයයි දෙන
මැරෙන්න ඕනැ නම් දාගෙන හිස ඔටුන්න
ගැලවෙන්නට කලින් සිය පණ නහගන්න
-W3Lanka

ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමති වනහැටි

අනාගත අධ්‍යාපන ඇමති
මැරවර මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුතාවන, මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන බව කියන කලහකාරී මාලක සිල්වා ලංකාවේ මීළඟ අධ්‍යාපන ඇමති විය හැකි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ අධිකරණයේදී පැවසූ බව මාධ්‍යවල වාර්තා විය.

එය සත්තකින්ම විය හැකි දෙයකි. මේ වනවිට ලංකාවේ මහජන සම්බන්ධතා ඇමති වන්නේ ඔහුගේ තාත්තාය. 

ඇමති මර්වින් සිල්වා මහජන සම්බන්ධකම් පාලනය කළහොත් ඉතා කෙටි කලකින් ලංකාවේ මහජනතාව අතර සම්බන්ධකම් සතුන් අතර සම්බන්ධකම් වැනි තත්වයක‍‍ට පත් වනු ඇත.

ඒ කියන්නේ ඉක්මණින්ම මහජනයා තිරිසනුන්ගේ තත්වයට පත් වනු ඇත.

එවිට ඕනෑම සතකු‍ට මේ රටේ අධ්‍යාපන ඇමතිකම කළ හැකිය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-24

වෘත්තීය සමිති නැට්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලය

විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනයත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් අද නුවරින් හා ගාල්ලෙන් පාගමන් තුනක් අරඹති. 

මෙම පාගමන් සඳහා පැමිණෙන්නැයි සංවිධාන කීපයකින්ම කෙටි පණිවුඩ ලැබී තිබිණි. ඒවා වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලන පක්ෂ ආදියයි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් අරගලයක මට්ටමින් ඉහළට ඔසවා තබන්නට එහි නායකත්වය සමත් වූ බව පැවසිය යුතුය. මේ වනාහි එහි නායකත්වයේ විශිෂ්ටත්වයයි. මෙවැනි මධ්‍යම පංතික අරමුණු සහිත වෘත්තීය සංවිධානයක් මෙසේ ක්‍රම විරෝධී අරගලයක් වෙත යොමු කරන්නට හැකිවීම ලංකාවේ හැටි අනුව ගත්කල විස්මිතය. 

එයට හේතුව නායකත්වය අවංක හා අව්‍යාජ වීමයි. යටත් නොවන, නොරැවටෙන, පාවා නොදෙන නායකත්වයක පදනම මේ අවංකකම හා අව්‍යාජකමයි. මෙය මේ වනවිට ලංකාවේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අතිශය විරල දෙයකි. 

විශ්වවිද්‍යාල ආචාර්ය සටනට හොරිකඩකම් කළ වෛද්‍යවිද්‍යාල ආචාර්යවරුන්ට පවා එයට එක්වන්නට බලකෙරෙන තත්වයක් අද වනවිට නිර්මානය වී තිබේ.  ඒ තනිකරම වර්ජකයන්ගේ කැපවීම, අධිෂ්ටානය හා නොසැලෙන ගුණය නිසාය. 

සුපුරුදු පරිදි ‍රාජ්‍ය නොවන සංවිධාන හා ජනමාධ්‍ය පසුපස ගාටමින් කොළඹ රස්තියාදුවන වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂ බුරුත්ත මෙම පාගමන පසුපසින් එල්ලීම නම් මේ සටනට ලොකු ශක්තියක් යයි අපට නොසිතේ. ඔවුන් විසින් කළ යුතුව ති‍බුණේ මේ වලිග ඩියුටිය නොව, මේ හා සමාන්තරව රටේ වෘත්තීය සටන් රැල්ලක් ආරම්භ කර ක්‍රම විරෝධී අරගලය ශක්තිමත් කිරීමයි. මෙම සංවිධාන විසින් මේ වනවිට නොකරමින් තිබෙන ප්‍රධාන දෙය වන්නේ සිය සාමාජිකත්වය සංවිධානය කිරීමයි. අඩු තරමේ සිය සාමාජිකත්වය වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන පිළිබඳ කිසිදු අදහසක් හෝ මෙම සංවිධාන බහුතරයක් විසින් සන්නිවේදනය කර නැත.

මාස තුනකට කිට්ටු කාලයක් තිස්සේ ඇදී යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනයේ සටනට සමාන්තරව පොදු ක්‍රම විරෝධී අරගලයක් තුළට සෙසු වෘත්තීය සංගම්වල අරගල මොළවන්නට මෙම වෘත්තීය සමිති කිසිවක් කර තිබේද?  නැත. ඒ කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රවල ප්‍රශ්න නැති නිසාද? නැත. ඔවුන් පටු අරමුණු වෙනුවෙන් තම සාමාජිකත්වය පාවා දී ඇති නිසා ඔවුන් කෙරෙහි මේ වනවිට සාමාජිකත්වය අතර විශ්වාසයක් නැත. අඩු තරමේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හෝ මාධ්‍ය ප්‍රකාශවලින් ඔබ්බට යන කිසිවක් කර නැත. මේ අරුතින් ඔවුන්ද විපක්ෂයේ ජවිපෙ හා එක්සත් ජාතික පක්ෂය වැනි හිස් ප්‍රලාපය. 

මේ පාගමන්වලදී සිය සුපුරුදු බැනර් ප්‍රදර්ශන හා වහසිබස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. මන්ද, අද වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට එක්වෙමින් තිබෙන පොදු ක්‍රමවිරෝධී අරගලයක ජීවගුණය දියකරහැරීමට ඉඩ නොදිය යුතු නිසාය. 

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වරක් සඳහන් කළ පරිදි මෙම සටන පරාජය වන්නට ඉඩ තිබේ. ඒ ඔවුන්ගේ වරදකින් නොව, මේ රටේ බහුජන නායකත්වයක් නැති නිසාය. බහුජන සංවිධාන නායකත්වය කූට ලෙස අත්පත් කරගෙන සිටින අද පාගමනට එක් වන වෘත්තීය සමිති නායකයන් වැනි ව්‍යාජ චරිත නිසාය. 

සාමාන්‍යයෙන් මෙවැනි අරගලයක් ඉදිරියට යනවිට බොහෝදෙනෙක් උත්සාහ ගන්නේ එය සමග එක්වී තම හිස්බව වසාගැනීමටයි. එහෙත්, වඩා වැදගත් වන්නේ වෘත්තීය සමිති තම කාරයභාරය තේරුම්ගැනීමයි. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ඔස්සේ වෙනසක් සඳහා වන බහුජන අරගලයට එක් වාසියක් හෝ අත්පත් කරගැනීමට උත්සාහ කළ යුතුය. ඒ වනාහි නව නායකත්වයක් සොයාගැනීමයි. එය දැවෙන අවශ්‍යතාවකි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-23

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩුකීම

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු පවරා ඇති බව දිනමිණේ පළවූ පහත සඳහන් වාර්තාවෙන් කියැවේ.

ඒ අසත්‍ය ප්‍රවෘත්තියක්, ද්වේශසහගතව, අගතියක් කිරීමේ චේතනාවෙන් පඝ කිරීම නිසාලු.

හත්ඉලව්වේ එතකොට දිනමිණ කරන්නේ ඒක නොවේද? ලංකා ඊ නිව්ස්හි පළවන වාර්තාවලට සමාන හා ප්‍රතිවිරුද්ධ වාර්තා නොවේද දිනමිණේ පළවන්නේ?

ඉතින් මේ වාර්තාකරණය නිව්ටන්ගේ තුන්වන නියමය අනුව තුලනය වන්නේ නැද්ද?

මේ ජනමාධ්‍ය දෙකම ප්‍රබන්ධ සාහිත්‍යය පැත්තෙන් ගත් කල එකකට එකක් නොපරදින අන්දමින් තරගකාරීය. ද්වේෂය පැත්තෙන්ද එසේමය. එකම කාසියේ දෙපැත්ත වැනිය. 

වෙනසකට ඇත්තේ දිනමිණ බලවත් පාර්ශ්වයත්, ලංකා ඊ නිව්ස් ජනප්‍රිය පාර්ශ්වයත් නියෝජනය කිරීමයි. කෙතරම් මුදල් තිබුණත්, කෙතරම් සම්පත් තිබුණත්, රාජ්‍ය බලය තිබුණත් ලංකා ඊ නිව්ස් අභිභවායන්නට නොහැකිවීම ගැන දිනමිණ කණගාටු වනබව පෙනේ. 

අහෝ දුකකි!

ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිටියේ ය.
මේ නඩුව ඊයේ (20) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු විභාගයට වෙනත් දිනයක් නියම කරන ලෙසට දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව නඩුවේ විභාගය එදිනට නියම කෙරිණි.
ලේක්හවුස් ආයතනය මඟින් ලංකා ඊ නිවුස් කර්තෘ හා හිමිකරු වන ඩී. පී. සඳරුවන් සේනාධීර, ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් මේ නඩුව පවරා තිබිණි.
2008 ඔක්තෝබර් 15 දින “ලේක්හවුස් මහදැනමුත්තා සහ ගෝලයන්ගේ අලුත් කතාව” යන මැයෙන් ඊ නිවුස් හි පළ වූ පුවතට විරුද්ධව මේ නඩුව 2009 පෙබරවාරි 29 දින පවරන ලදී.
මේ අසත්‍ය ප්‍රවෘත්තිය ද්වේශසහගතව අගතියක් කිරීමේ චේතනාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත්, එමඟින් පැමිණිලිකාර සමාගමට සිදු වූ හානියට රුපියල් මිලියන සියයක් අයකරදෙන ලෙසත් ඉල්ලා මේ නඩුව පැවැරිණි.=

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-21

කොළඹ පොත් සල්පිල ආයුධ වෙළඳපොලකි

මුන්ට පිස්සු නැද්ද?
'ගියාද පොත් ප්‍රදර්ශනේ බලන්න?' සමහරු අසති.

'අපි පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා.' තවත් සමහරු කියති.

පොත් ප්‍රදර්ශනේ බලන්න ගිය අය අනෙක් අයට වඩා උජාරුවෙන් හැසිරෙති. 'අපි නම් හැම අවුරුද්දෙම බලන්න යනවා'යි කියති. 'නොගියොත් අවුරුද්දම ඩල්' යි කියති. 'අපේ පඩියෙන් වැඩිගානක් යන්නෙ පොත්වලට' යි කියති. 

පොත් ප්‍රදර්ශනය පවත්වන දින නමයේදී ලැබෙන වට්ටමටම ඒ පොත් අවුරුද්දේ සෙසු කාලවලදීද ඒ පොත් ප්‍රකාශනය කරන අයගේ සාප්පුවලින් නිදහසේ තෝරා මිළදී ගත හැකිය. ඒ පොත් සාප්පු වැඩිහරියක් ඇත්තේද පිටකොටුවේ සිට බොරැල්ල දක්වා මරදාන පාරේය. පොත් ප්‍රදර්ශනයේදී සෙනග පොදිකන්නේද මේ පොත් කඩවලමය. බොහෝදෙනෙක් කැමති හැත්තෑව දශකයේ පාන් පෝලිම්වල සේ දාඩිය පෙරාගෙන, පොරකකා පොත් ගන්නටය.

පොත් කියන්නේද මාර පොතකි. ඒවායේ හොඳ හොඳ දේ ඇත. පොත් ලියන නිර්මානකරුවෝ හා උගත්තු අප සමග ඔවුන්ගේ ජීවිතය බෙදාගනිති.

පොත් කියවීම හොඳ දෙයකැයි සමාජය පිළිගනියි. රූපවාහිනී බැලීම නරක යයිද සමාජය කියයි. මම වැඩිපුර කියවන්නේ අන්තර්ජාලයයි. මම එතරම් පොත් කියවන අයෙක් නොවෙමි. ඒත් මම කියවමි. පොත් කියවන අය මා කියවන අයෙක් ලෙස නොසලකති. මට ප්‍රශ්නයක් නැත. මා කියවන්නේ මට උවමනා දේ මිස උන්ට ඕනෑ දේ නොවේ. 

'අර පොත කියෙව්වද?' කියා යමෙකු ඇසූවිට එය කියවා නැතැයි කීම ඉස්සරනම් මටද ලජ්ජාවට කරුණකි. ඒ නිසා සමහරවිට 'ටිකක් කියෙව්වා', 'ගත්තා කියවන්න - තාම බැරිවුණා - කොහෙද වෙලාවක් නැහැනේ' වැනි වල්පල් කියා ඇත. බොහෝවිට 'අර පොත කියෙව්වද?'යි ඒ පොත කියවූ අය නොකියවූ අයගෙන් අසන්නේ ආධිපත්‍යය පතුරුවන්නටය. 

පොත් කියවන සමහරු කියවනවාට වඩා තමන් පොත් කියවන බව කියවති. කියවූ අය ලෙස හැසිරෙන්නට වෙහෙසෙති. පොත් අතින් ගෙන සිටිති. පොත් රාක්ක පසුබිමේ සිට පොත් කියවන්නා සේ ඡායාරූප ගනිති. දැන්නම් ඩිජිටල් තාක්ෂණයෙන් පසුබිමින් පොත් රාක්ක දම්මවා ගනිති. පොත් ඇඳගෙන සිටිති. 

මධ්‍යම පංතික අම්මලා තමන්ගේ දරුවන් පොත් කියවන බව අනෙක් අයට කියන්නට මහත් සේ කැමතිය. 'පොතක් අතට ගත්තාම කියවලා මිසත් නවත්වන්නේ නැහැ,'යි කියති. 'කන ගමනුත් පොත් කියවනවා,'යි කියති. 

මේ ලියන මටනම් ‍ලෝකයේ රසම පොතටත් වඩා බඩගිනි වෙලාවට කන දෙය රසය. ඒ ඉතින් අපි පොත්කාරයන් නොවන නිසා වන්නට පුළුවන. 

වාම දේශපාලන, කලා, බුද්ධිමය ආදී ආකාශයන්හි හැසිරෙන අය තමන් අනෙක් අය නොකියවූ පොත් කියවා ඇති බව පෙන්වන්නට මහත් ඇල්මක් දක්වති. එක් කාලයක් එක්ස් කණ්ඩායමේ අය කීවේ දේශපාලනය කරනවානම් අරක කියවා එන්න, මේක කියවා එන්න කියාය. ඒ වුණාට ඔවුහුද ඒ කියූ පොත් කියවා ඇද්ද යන්න සැකසහිතය. ඒ පාර අනෙක් වාමාංශික බුවාලාද දඩබඩ ගා ඒ පොත් කියවන්නට පටන් ගත්හ. ලොකුම වැඩේ කියවීම බවට පත්විය. කොච්චර කියවීම ගැන හිතුවාද යත් ඔවුන්ට නිර්මානාත්මක සිතීම අමතක විය. 

උන්ට වෙච්ච දේ ගැන තවම පොතක් ලියා නැති නිසා උන් තාම එය දන්නේ නැත. මන්ද ඔවුහු සිතන්න දන්නේ නැත. තමන්ට හිතන්න බැරි නිසා ලෝකයේ කොහේ හෝ කවුරු හෝ ඔහු ජීවත්වන සංදර්භය ගැන ලියූ මොකක් හෝ පොතක් හොයාගෙන මෙහේට පූට්ටු කරන්නට වලිකති. 

පොත් කියවීම හොඳ දෙයකි. එහෙත්, ඒ පොත පතින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අපි අපේ ජීවිත 'හොඳ' අතට වෙනස් කරගන්නවානම් පමණි. 

පසුගිය දිනෙක මගේ මිතුරෙක් මට ගාන්ධි ගැන රසවත් පොතක් කියවන්නට දුන්නේය. ගාන්ධි ගැන මහත් ඇගයීමෙන් කතා කරන ඔහු උග්‍ර ජාතිවාදියෙත් පමණක්‍ ‍නොව කුලවාදියෙක්ද දැඩි පුරුෂෝත්තමවාදියෙක්ද වේ. ඔහු බොහෝ පොතපත කියවයි. එහෙත්, ඒවායේ කරුණු දැනුමක් ලෙස ඔහුගේ මොළයේ තැන්පත් වනවා මිස ඔහුගේ ආකල්පවලට බලපාන බවත් මට නොපෙනේ. 

පොත් කියවන සෙසු බොහෝ අයද, බොහෝ පොත් ලියන මහත්වරුද මෙවැනිය. 

පොත් ඇසුරු කරන අය අතර 'හොඳ' මිනිස්සු සුලබ නැත්තේ ඇයි? 

පොත් ඔය කියනතරම් 'හොඳ' දෙයක්දැයි මට සැකයක් ඇත. මට හිතෙන්නේ පොත් යනු තුවක්කු වැනි බලය නිර්මානය වන අවි විශේෂයක්ය කියාය. 

කොළඹ පොත් සල්පිල ආයුධ වෙළඳපොලකි. 

'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කියා කියූ ෆ්‍රැන්සිස් බේකන් ධනවාදය තුළ සොබාදහම වධයට පමුණුවා සූරා කෑ යුත්තේ මධ්‍යතන යුගයේ පල්ලිය ස්ත්‍රිය වධයට පත් කර මෙල්ල කළ අයුරින් යයි කීවේය. 

කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ නැත. මිනිසා සම්පූර්ණ වන්නේ ජීවිතය විඳීමෙන්, ජීවිතය බෙදාගැනීමෙන් හා නිදහස් හා නිර්මානශිලී ලෙස සිතීමෙනි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-19

මෙන්න අඩෝ ගඩ්ඩෙක්! (මාලක සිල්වා හා සංජීව බංඩාර)

ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා ගාමිනී චන්ද්‍රදාස කියලා. මිනිහා දැන් ගුරුවරයෙක්. පොල්ගොල්ල ගුරු විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ එක දවසක් හොස්ටල් එකේදි එක ගුරු සිසුවෙක් කොරිඩෝවේ සිට කෑගැහුවාලු 'මෙන්න අඩෝ ගඩ්ඩෙක්' කියලා. ඉතින් අනෙක් ගුරු සිසුවෝ කට්ටිය දඩ-බඩ ගාලා ඇඳ පොලු, කොහු එහෙම අරගෙන එළියට පැනලා හොයනවලු ගඩ්ඩාව. කෝ මොකෙක්වත් නැහැ. මේ අය සෙව්වේ සර්පයෙකුව. ඒත් බළලෙකුනම් ඉඳලා තියෙනවා, කකුල්වල එහෙමත් හැපි හැපී. කවුරුවත් ගණන්ගත්තෙ නැහැලු. බලනකොට අර කෑගහපු ගුරු සිසුවාගේ ගම් පැත්තේ බළලාට කියන්නේ ගඩ්ඩා කියලලු. 

පොලිසිය මාලක සිල්වාව, දුමින්ද සිල්වාව, රදලියගොඩ යකඩ හොරාව එහෙම හොයන්නෙත් අර ගඩ්ඩා හෙව්වා වගේ. වෙනසකට තියෙන්නේ උන් දන්නවා ගඩ්ඩා කියන්නේ බළලාට බව. ඒ වුණාට නොදන්නවා වගේ පඳුරු පල්ලේ අහරකුක්කන්ව හොයනවා. 

දැන් අපි හිතමුකෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ කැඳවුම්කාර සංජීව බංඩාර ළමයා මාලක සිල්වා වගේ කෙනෙකු වුණානම් කොහොමද? එහෙනම් මිනිහා ඩැමේජ් කරපු ජීප් එක හෙට උසාවිය‍ට ඇවිත් කියනවා, මට මෙයා ගැහුවෙ නැහැ, තාප්පයක් මගේ ඇ‍ඟේ හැපුණා කියලා. බිඳුනයි කියපු වින්ඩ්ස්ක්‍රීන් එක ගෙදර තිබිලා හම්බවුණා කියලාත් කියන්න ඉඩ තියෙනවා. වාහනේ යතුර සංජීව බංඩාර අරගෙන ගියෙ නැහැ. ඒක එතන වැටුණා කියලාත් කියයි. සමහරවිට යතුර කියයි, මම තනියම පයින් පොලිසියට ගියා කියලාත්.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ජනාධිපති ලටපට මඩුවේ උපදේශක තනතුරු

ලංකාවෙ මිනිස්සු කැමති නැහැ, පාවිච්චි කළ පරණ බඩු කුණු ලොරියට දෙන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. 

මට හිතෙන්නේ පළමු කාරණය තමයි කුණු ලොරියේ එකා ඒවා වැඩි ගානට විකුණාගනියි කියා හිතා ඇතිකරගන්නා ඉරිසියාව. කවුරුහරි අපි වීසි කරන ඒවා අරන් හදාගෙන පාවිච්චි කරනවා දකින්නත් අපි කැමති නැහැ. 

සමහරවිට ඒ භාණ්ඩය කවදාහරි නැවත උවමනාවෙන්න ඉඩ තියෙනවාය කියලා හිතන එකත් තවත් හේතුවත්. ඒ වුණාට උවමනාවෙන්නේ බොහොම කලාතුරකින්. 

සමහරවිට මේ පරණ බඩු කලක් තිබුණාම ඒවාට එකතු වෙන පෞරාණික වටිනාකම නිසා පරම්පරාවෙ වෙන කෙනෙකුට හරි ඒක ගානකට විකුණාගන්න පුළුවන් නිසාත් තියාගන්නවා. හරියට අර ගෙම්බා මහන මැෂින් වගේ. 

ඉතින් මේ වගේ බඩු පුරවාපු මඩුවක්, කාමරයක් වැනි මොකක් හෝ තැනක් හුඟක් ගෙවල්වල තියෙනවා. 

ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ පවුල් පාලනයට තිබෙන මෙවැනි තැනක් තමයි, ජනාධිපති උපදේශක අංශය. මේකේ බැසිලුත් ඉන්නවා. එයා උපදෙසුත් දෙනවා. වාසුත් ඉන්නවා. එයත් හිතන් ඉන්නවා එයා ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියා. 

ඒත්, හුඟදෙනෙක් දන්නවා මේක ලොක්කා තමන්ට දුන්නේ මහජන මුදලින් කාලා ඇඳලා, මහජනතාවට ලොකුව පෙන්නගෙන ජීවත්වෙන්න මිසක් වෙන මොහොකටවත් නොවන බව. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ තනතුර පාවිච්චි කරලා ළමයෙකුව ඉස්කෝලෙකට දාදෙන්නවත් බැහැ. ජනාධිපතිතුමා මෙයාලාගෙන් උපදෙස් නොගන්නවා විතරක් නෙමෙයි, මේගොල්ලන්ට ජනාධිපතිතුමාව හමුවෙන්නත් ලැබෙන්නේ නැහැ. පව්! 

හේමකුමාරට මේ වැඩේ එපාවෙලා අන්න ගෙදර ගිහින් අලුත් පක්ෂයක් හදනවයි කිය කියා කෑගහනවා. 

මේගොල්ලොත් හරියට අර දිළිඳු සහනාධාර ලබන කට්ටිය වගේ. මහජන මුදලින් තරමක පඩියකුයි වාහනෙයි, ඩ්‍රයිවරුයි, තෙලුයි, ආණ්ඩුව ගානේ කන්න බොන්න අවස්ථායි වගේ දේවල් ටිකක් ලැබෙනවා ඇති. වැඩකුත් නැති එකේ ඉතින් ඔය මදෑ. මොකද මේ කට්ටිය රස්සාවල්ය කියලා වෙන මොනවා කරන්නද? 

මේ රටේ මහජනතාව මේ අයට වැටුප් ගෙවන්න විඳින දුකම ඇති ඔවුන්ට මතු ආත්මවල දෙව් මිනිස් හා ජනාධිපති උපදේශක සැප කෙළවර අමා මහ නිවන් සම්පත් ලබන්න. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-17

නොට්ටිගෙ පුතාලා කියන්නේ කාගෙ පුතාලාටද?

වේසිගෙ පුතුන් යයි කියන්නේ අර්ථයෙන් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනුන්ගේ පුතුන්ට වුවත්, භාවිතාවේදී එය ඕනෑම අධම පුද්ගලයකු වෙනුවෙන් යෙදේ. 

නොට්ටිගෙ පුතා යන යෙදුමෙහි අරුත කුමක්ද? 

මෙය යෙදෙන්නේ 'අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා' ය කියන ප්‍රස්ථාව පිරුළ අනුවයි. 

මේ නොට්ටි කවුරුද යයි ඔබ දන්නවාද? 

මේ ගැන සෙවීමක් කළාම අපේ කතන්දරගේ කතාවත් හමුවුණා. ඒකෙ හොඳ අදහස් තියෙනවා. හැබැයි මේ නොට්ටි කවුරුද කියන එකනම් නැහැ. 


නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට


ඩෝසන් කියන හැටියට ඔවුන්ගේ පළාතේ කියන්නේ රොට්ටිගෙ පුතා කියලලු. 

මට හිතෙන හැටියට නම් නොට්ටි කියන්නෙත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනියට වෙන්න පුළුවන්. අප්පගෙ පුතා නොවන පුතෙක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ එතකොටනේ. 

මේ ටික මතක් වුණේ මේ දිනවල මාධ්‍යවලින් කතාවෙන පුතුන් ගැන අහනකොට. උන්නම් ඇත්තෙන්ම නොට්ටිගෙ පුතාලා නෙමෙයි. මොකද, උන් කරන්නේ අප්පලා කළ‍ දේම තමයි. 

එක අතකට බලනවිට මුන්ගේ අප්පලා එළිබැස්සේ හිටගෙනය. මුන් දුවදුවය.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-16

ළිංපඩියේ දන ඇනගෙන නානකොට

ඔන්න කලකට ඉහතදී අගලවත්ත පැත්තේ එක්තරා පාසලකට කොළඹින් ආවා ගුරු මෙනෙවියක් අලුතින් පත්වීමක් අරගෙන. 

කොළඹ නෝනා ගමේ ඉස්කෝලෙට කැමති වුණේ නැහැ. වැඩ බාරගත්තේම මාරු වී යනවායි කියාගෙන. තරහටම හරියට ඉගැන්නුවෙත් නැහැ. 

විදුහල්පතිතුමා ඇයට නතරවෙන්න අසල ගෙයක් සොයාදුන්නා. ඒ ගෙදර අය නාන ළිඳ තිබුණේ ගෙදර සිට මඳක් දුරින්. නිවස අසලම තිබුණා ගමේ බොහෝදෙනෙක් වතුර බොන ළිඳ. අර ඉස්කෝලෙ නෝනා දුර යන්න බැහැ කියලා නෑවේ අර වතුර බොන ළි‍ඳෙන්. 

මේක ගමේ වැඩිදෙනෙකුට ඇල්ලුවේ නැතිවුණාට කවුරුවත් කිසිවක් කීවෙ නැහැ. ඒත්, එක්තරා ගැමි කවියෙක් මෙහෙම දෙයක් කළා. ඔහු ළිං බැම්මේ අඟුරු කැටයකින් ලියූ කවිය තමයි පහත පළවෙන්නේ. ඒ කවි‍ය ප්‍රසිද්ධ වුණාට පසුව අර නෑම නැවතුනාලු.

හිටිඅඩියේ ඇවිල්ලා ඇය අපෙ  ගමට
පිංපඩියේ අනුහස පෙන්වා       සැමට
ළිංපඩියේ දන ඇනගෙන  නානකොට
සිම්පිඩියේ කුණු සේදී යයි         ළිඳට

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

සම්බන්ධන් ජනාධිපති හමුවීම තුළින් හෙළිවන ලංකාවේ දෙමළ දේශපාලනයේ නව ප්‍රවණතාව

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි. 

ඔවුන් සාකච්ඡා කරන්නට නියමිතව ඇත්තේ නැගෙනහිර පළාත් සභා ආණ්ඩුවේ පාලනයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වන ආකාරයයි. 

අද පවතින තත්වය තුළ, ආණ්ඩුවට සම්බන්ධයක් නැති මහජන නියෝජිතයන්ගෙන් මහජනතාවට පලක් ප්‍රයෝජනයක් නැත. ඔවුන්ට ඈත ගමක පාරක් කොංක්‍රීට් කරදෙන්නටවත් බැරිය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග කේවෙල් කර තමන්ට වාසි ලබාගනිද්දී දෙමළ ජාතික සන්ධානය එසේ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නකිරීම ඇති විය. කරුණා අම්මාන්ලා, පිල්ලෙයන්ලා, දේවානන්දාලා වැනි දෙමළ ප්‍රතිගාමීන්ට සමාජ පිළිගැනීමක් ඇතිවන්නේද මෙම සංදර්භය තුළයි. ඉතින් මෙතෙක් පිටතින් සිට කළ නිරීක්ෂක භූමිකාවට තිත තබන්නට දැන් දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. ඔව්හිද ආණ්ඩුව සමග සම්මුතිගත වනු ඇත.

මේ වනාහි දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයක් බව පිළිගන්නට සිදුවනු ඇත. ලංකාවේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඩයස්පෝරාවේ පාලනයෙන් මුළුමනින්ම ගිලිහී යමින් තිබේ. එය සිදු වන්නේ ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන පොළවේ යථාර්ථයන් අනුවය. 

උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනයාට අවශ්‍යව ඇත්තේ තම ජීවිත නැවත ගොඩනඟාගන්නටය. දරුවන්ට අනාගතයක් සකසා දෙන්නටය. උතුරු - නැගෙනහිරට බාධාවකින් තොරව ව්‍යාප්ත වෙමින් තිබෙන ධනවාදයෙන් සිය ජීවිතයට ආලෝකයක් ලබාගත හැකිවනු ඇති බව දෙමළ ජනයා සිතති. බිමටම ඇද වැටුණු මිනිසුන්ට ලෑලි කෑල්ලක් මතට නැගීම වුව ඉහළයාමකි. 

දෙමළ ඩයස්පෝරාවේ ජාතිවාදී දේශපාලනය අසමත් එකක් බව පිළිගන්නට සිදු වේ. සුළු ජාතීන් සමග බලය බෙදාගන්නට කිසිදු සූදානමක් නැති, දූෂිත, ඒකාධිපති පාලනයක් දී තිබියදී පවා ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්පාඨ රාජ්‍යතාන්ත්‍රිකව මොළවාගැනීමට දෙමළ ජාතිවාදීන් අසමත් වන්නේ ජාතිවාදය තුළ ඇතුළතින්ම අඩංගු වන නිශේධනීය ලක්ෂණ නිසාය. 

ලාංකීය දේශපාලන ප්‍රජාව තුළ සිදුවන සංවර්ධනයන් විසින් ඉල්ලාසිටින්නේ මුළුමනින්ම නැවුම් දේශපාලන ප්‍රවේශයන්ය. දෙමළ, සිංහල, මුස්ලිම් ජාතිවාදයන් සම්පූර්ණයෙන්ම යල්පැනයමින් තිබේ. පීඩිත හෝ ප්‍රතිචාරාත්මක ජාතිවාදයන් ලෙස හෝ මේවායේ හරයක් ඇති බව නොපෙනේ. 

ලෝකයට විවෘත ලාංකීය ජාතිකවාදයක් අපි යෝජනා කරමු.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-13

රබර් කැලේ ඉස්මත්තෙන් උලලේනෙක් ඇඬුවයි

ඊයේ රෑ එළිවෙනකල් උලලේනෙක් ඇඬුවා
දුකකුත් නැති සැපකුත් නැති හීනෙක මං හිටියා
ඒ හීනේ අතරමැදින් උලලේනත් ඇඬුවා
රෑ පුරාම කඳුළු වගේ පොද වැස්සක් වැටුණා

රබර් කැලේ උඹෙ කූඩුව
උලලේනෝ තෙමෙනවාද
උඹේ පුංචි පැටවුන් ගැන 
අපි වාගෙම උඹත් බයද

බත් බඳින්න ලයිට් දාන
උදෙන්ම උඹ කොහි ගියාද
සීතල සිරිපොද මැඩගෙන 
මාත් වැඩට ගොස් එන්නද

සපත්තුවේ මැහුම් ලිහී
කුණු වතුරක් ගැලුවා
මේස් සිදුර තුළින් ඇවිත් 
ඇඟිලි කොනිත්තනවා

පුංචි එවුන් ඉස්කෝලෙට 
වෑන් එකෙන් යනවා
මාරක අනතුරු හැමතැන
ඒත් හිනාවෙනවා

උලලේනෝ උඹටත් දැන් 
යන එන මං තියෙනවාද
ලයිට් වැටුණු හොල්මන් නැති
ලෝකෙට උඹ හඬා කුමට?

අපේ දුකත් අලුත් වෙලා
උඹේ දුකත් අලුත් වෙලා
සංසාරේ දුකට කියන 
කවි නම් නැහැ පරණ වෙලා

W3Lanka

නිමිත්ත: ඊයේ රෑ පුරාම උලලේනෙකු හැඬූ අතර උදේ අප අවදිවෙද්දීත් ඌ අඬනු ඇසිණි. උලලේනාට මා තුළ පාළුව හෝ දුක ඇති කළ හැකි වූයේ නැත. උලලේනාගේ හඬ මහා දුක්ඛිත එකකැයි මට නොසිතේ. එයද හරියට නිර්මානයක් වැනිය. සංවේදනා ඇති වන්නේ එය විඳින්නාගේ මනෝභාවය අනුවය. උලලේනා සමග සහෘද වන්නට බැරි තරමට අපි පුද්ගලයින් ලෙසද, සමාජයක් ලෙසද වෙනස් වී ඇත්තෙමු. 

රූපවාහිනියක් ඇඟට වැටී දරුවකු මියගිය පුවතක් ඊයේ කියවීමි. අපේ ගෙදර රූපවාහිනී ධාරකයද හබල්බබල්ය. චූටිම තමන් අකැමැති චරිතයක් රූපවාහිනියේ දකින විට අතින් ගසයි. අලුත් එකක් ගන්නට මුදල් නැත. හදන්නට අදත් නිවාඩුවක් නැත. හෙටවත් කළ යුතුය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2012-09-12

මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඡන්දයකින් පරාජය කළ හැකිද?

මෙය සාකච්ඡා කළයුතු ප්‍රශ්නයකි.

ඡන්දයකින් ආණ්ඩුව පැරදවිය නොහැකි බව කියන්නන්ගේ යෝජනාව විය යුත්තේ මහජන නැගිටීමකින් හෙවත් විප්ලවයකින් ආණ්ඩුව පෙරළා දැමීම විය යුතුය.

කළ යුත්තේ ආණ්ඩුව වෙනස්කිරීම නොව ක්‍රමය වෙනස් කිරීම යයි නැගෙන තර්කයද මෙහි පාර්ශ්වයකි. මෙම තර්කය කිසිත් නොකර සිටින්නට කැමති හා කිසිත් කරගන්නට හැකියාවක් නැති අයට මුවාවීමටද කදිම තර්කයකි.

මහජන නැගිටීම් යනු ඇති කළයුතු දේ මිස ඉබේ ඇතිවන දේ නොවේ. ඉබේ ඇතිවුවත්, ඒවා මෙහෙයවන්නන් විසින් ඒවායේ අරමුණ තීරණය කරනු ඇත.

මහජන නැගිටීම් ඇති කිරීම හෝ ඇතිවීම හෝ පැත්තකින් තිබියදී අප මෙහිදී සාකච්ඡා කරන්නට යන්නේ වෙනත් කරුණකි.

එනම් ඡන්දයකින් ආණ්ඩුව පැරදවීම සඳහා අත්හදා බැලිය හැකි උපායකි. 

ආණ්ඩුව ඡන්ද දිනන රහස කුමක්ද යන්න බොහෝ අය තේරුම් ගෙන නැත. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ඡන්ද දිනන්නේ සිය දූෂණයෙහි හවුල්කාර ජනතාවක් නිර්මානය කරගැනීම ඔස්සේය. ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙන්ම මේ ජනතාවටද තමන්ගේ දූෂණය පවත්වාගෙන යාම අවශ්‍යය. දූෂිත ජනතාව කියන්නේ හොරෙන් වගා වන්දි ගන්නා අය, හොරට සමෘද්ධි ගන්න අය, ආණ්ඩුවට කත් ඇද ටකරං තහඩු, උදලු, එළවලු ඇට ආදිය ලබාගන්නා අය, නිවාස ණය ලබාගන්නා අය, ආණ්ඩුවේ හයියෙන් වැඩ නොකර පඩි ගන්නා අය, උසස්වීම්, මාරුවීම් ලබා ගන්නා අය, හොර පාරෙන් පාසල්වලට ළමයින් දමා ගන්නා අය, පත්වීම් ලබාගන්නා අය ආදී පුළුල් පරාසයක පිරිසකි. කොටින්ම කීවොත්, දූෂණයට සම්බන්ධ නැති මිනිසුන් සොයාගැනීම අතිශය දුෂ්කරය. මේ සියලුදෙනාම පවත්නා සංදර්භය තුළ දූෂණයට ලොල්ය. ඒ අතර, දූෂණයෙන් තොර සමාජයක් ගැන පරමාදර්ශද ඔවුන්ට තිබේ. එහෙත්, ඒ පරමාදර්ශය වෙනුවෙන් දැන් සිටම දූෂණයෙන් තොරව ජීවත් වීමේ ධෛර්යයක් ඔවුන්ට නැත. 

කෙළින්ම ආණ්ඩුවට විරුද්ධව සිටගෙන තමන්ගේ දූෂණ පංගුව අහිමි කරගන්නට මේ මිනිස්සු සූදානම් නැත. මන්ද, මේ දූෂණයන් හා සම්බන්ධ නොවී ඔවුන්ට එදිනෙදා ජීවිතය ගෙන යාමද ප්‍රශ්නයකි. 

මේ දූෂිත ජනතාව තුළ පවා යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තු ඇත. එය කුළුගැන්විය යුතුය. සමාජයක් යහපත් කරන්නට අවංක උත්සාහයක් ඇති බව දකිනවිට ඔවුන් සිය කුඩා සොරකම් නවත්වා මහා සොරුන්ට විරුද්ධව නැගී සිටින්නට පවා ඉඩ තිබේ. 

දේශපාලන ව්‍යාපාර මෙම තත්වය හමුවේ නැවුම් සිතුවිලි, උපාය උපක්‍රම හා වැඩපිලිවෙලවල් ගොඩනඟාගත යුතුය. එහෙම නැතිව, පරණ ශෛලියෙන් වැඩ කරමින් ‍පවත්නා ක්‍රමයට එරෙහිව ජනතාව බලමුළුගැන්විය නොහැකිය. මේ වනාහි කොඩි උස්සාගෙන පටන් ගතහැකි දේශපාලනයක් නොවේ.

අපේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයකි. එය ප්‍රසිද්ධ දේශපාලනයක රහසිගත අංශයක් විය යුතුය. ආණ්ඩුවේ සහයෝගිතා පදනම යටිතලයේ සිට ඉහළම මට්ටම දක්වා රහසින් රිංගා ආක්‍රමණය කරන ගරිල්ලා ව්‍යාපාරයක් මේ සඳහා අවශ්‍යය.

මේ ගරිල්ලා හමුදාව ගොඩනැඟිය යුත්තේ වඩා යහපත් සමාජයක් ගොඩනඟන්නට කැමති අර පුංචි පහේ හා මධ්‍යම මට්ටමේ සොරුන්ගෙනි. 

සරළව කිවහොත්, මේ ගරිල්ලා භටයෝ ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ සිටිති. ලැබෙන වාසියක් ඇතිනම් එයද භුක්ති විඳිති. එහෙත්, ආවරණය වූ ඡන්දය දෙන ස්ථානයේදී තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ඡන්දය දෙති.

පරිස්සම් විය යුතු කාරණය වන්නේ මේ සොරුන් වෙනත් සොර නායකත්වයක් වටා නැවත ගොනු නොවන තත්වයකි නිර්මානය කිරීමයි. එක අතකින් ඔවුන්ට වෙනත් සොර නායකත්වයක් අවශ්‍යද නැත. මන්ද වත්මන් නායකත්වය ඒ අතින් උපරිමය බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-11

කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?

කතාව හැදුවෙ මේ කාටුන් එකෙන්
ඔන්න ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුණා ආහාර පිළිබඳව.

එහි එක් සැසියක තේමාව තමයි, 'ලෝකයේ සෙසු රටවල්වල ආහාර අර්බුදය පිළිබඳ බුද්ධිමත් ජනතාවගේ මතය'

හැබැයි සාකච්ඡාවට කලින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඕනැවුණාලු මේ මාතෘකාව පිළිබඳ කරුණු පැහැදිලි කරගන්න. ඉතින් ඒගොල්ලො තමන්ට නොතේරෙන දේ අහලා. 

අප්‍රිකානු කලාපය නියෝජනය කළ රාජ්‍ය තාන්ත්‍රිකයා ඇහුවලු "හැබෑට මොනවද ඔය ආහාර කියන්නේ?" කියලා. 

යුරෝපා රටවල් නියෝජනය කළ පුද්ගලයාට තිබුණු ප්‍රශ්නය "මොකක්ද හිඟය කියන්නේ?" කියන එක.

ඇමරිකන්කාරයා ඇහුවලු "ලෝකයේ සෙසු රටවල් කියන්නේ මොනවද?" කියලා. 

අරාබිකාරයන්ට තුබුණු ප්‍රශ්නය තමයි " මතය කියන්නේ මොකක්ද?" කියන එක. 

දකුණු ආසියානු කලාපය නියෝජනය කරලා තියෙන්නේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. එයා අහනවලු, "කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?" 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-10

සැබෑ නිර්මානකරුවන්ගේ ඛෙදවාචකය හා තිලක් ජයරත්න

තිලක් ජයරත්න අපෙන් වෙන්ව ගියේය.

ඔහු පිළිබඳ දුටු අල්පයක් සටහන් අතර සුභාෂ් ජයවර්ධන තැබූ මේ සටහන කියවූ මගේ කට කොණට සිනාවක් මතු විය.

"දුරකතනයකින් වුව කවර හෝ පුද්ගලයකු හා අදහස් හුවමාරු කර ගැනීමේදී අනියත බියකික් නොවෙලුනු ජනමාධ්‍යවේදියකු මේ ක්ෂෙත්‍රයේ සිටිතැයි මම නොසිතමි. එම තත්ත්වය ලබන අත්දැකීම් සමඟ පසුකාලීනව අත් හැරුණත් වසර විස්සකට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයෙහි සිටින මා හට එවැනි බියක් මේ ඊයෙ පෙරේදා වනතුරුත් තිබිණි. ඒ එක් පුද්ගලයකු සම්බන්ධයෙනි. ඔහුට දුරකතනයෙන් වුව අමතන්නට මම නිතරම බිය වීමි. අවශ්‍යතාවයක් වුව හොත් අනෙකෙකුට වැඩය පැවැරීමට මම උපක්‍රමශීලී වූ අවස්ථා එමට තිබිණි. එහෙත් ඒ කපටිකම නිසා අවසන අනෙකාගේ දෝස්මුරයට මම ලක්වීමි. මන්ද මා කතා කිරීමට බිය වූ පුද්ගලයා තිලක් ජයරත්න වූ බැවිනි."

තිලක් ජයරත්න ගැන මට තිබුණු අදහස සරළව කීවොත්, ඔහු දක්ෂ ගිනිපුක්කාරයෙකි.

තිලක්ගේ වියොව ගැන සුනිලා අබේසේකර තැබූ සටහනක මෙසේ සඳහන් වේ. "තිලක් ජයරත්න ප‍්‍රතිපත්ති ගරුක අවංක මිනිසෙක් විය. ඔහු ප‍්‍රචාරය හෝ පිළිගැනීම පසුපස හඹා ගියේ නැත. ධනය සහ බලය රජයන ක්ෂේත‍්‍ර තුල ඔහුගේ මරණය නොදැනෙන්නට පුලූවන. එහෙත් ඔහුගේ ජීවිත කාලය පුරා ලංකාවේ අලූත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ඔහු දැරූ වෙහෙස හඳුනන සහ ඔහුගේ කැපවීමට සහ මිත‍්‍රත්වයට ගරු කරන සැමෝ ම ඔහුගේ මේ අකල් මරණය ගැන විස්සෝප වෙනවා නොඅනුමානය."


මෙම බ්ලොගයෙහිදී අප සාමාන්‍යයෙන් මාධ්‍යවේදියා යන වචනය හැම පුද්ලලයා සම්බන්ධයෙන්ම පාවිච්චි කරන්නේ නැත. අප පාවිච්චි කරන්නේ මාධ්‍යකරුවා යන වචනයයි. තිලක් ජයරත්න වචනයේ පරිසමාප්ත අරුතින්ම ජනමාධ්‍යවේදියෙකි. ඔහු ජනමාධ්‍ය කලාවේ බොහෝදෙනෙකුට ගුරු වූ අයෙකි.

කඩුල්ල ටෙලි නාට්‍යය සඳහා ඔහු ලියූ තිරනාටකය, බංඩාරවෙල බිඳුනුවැව පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය ඇසුරින් ඔහු කළ අධ්‍යයනය. හා ගුවන්විදුලියේ නව අධ්‍යාපන සේවය සහ ප්‍රජා ගුවන්විදුලිය පිළිබඳ ඔහුගේ මැදිහත්වීම් ඔහු තබා යන නොමැකෙන මංසලකුණු වේ.

තිලක් ජයරත්න ගැන මෙම සටහනට විශේෂ යමක් එකතුකිරීමට මෙම ලේඛකයා කැමතිය. මම මුලින්ම ප්‍රසිද්ධ කළ යමක් වී නම් එය පළ වුණේ තිලක් ජයරත්න විසින් නිෂ්පාදනය කරන ලද බව ඔහුට මතක 'ගුරුකුලය' නම් ගුවන්විදුලි වැඩසටහනේය.

මතක හැටියට සඳුදා හෝ සිකුරාදා දිනක ගුවන්විදුලි සංස්ථාවේ පළමුවන සේවයෙන් සවස 5.15ට විකාශය වූ මේ වැඩසටනෙන් ලේඛකයාගේ කවි දෙකක් රසවින්දනයන්ද සමග විකාශය වූවා මතකය.

ඉන් එකක් කොළ නිවාඩුව නම් වූ අතර ලේඛකයා ලියුවේ පෙබරවාරියට රබර් ගස්වල කිරි කැපීම නැවැත්වීමත් සමග තාවකාලිකව ජීවනෝපාය අහිමි වන පවුලක දරුවකු ලෙසයි.

"අපේ දුකට ලේ කිරි වූ තන පුඩුවේ
බේත් රළක් ගැල්වූ දා
අහේනියේ මාර සෙනග
කඩුල්ල පැන ගෙට ආවා"

එහි මෙවැනි යෙදුමක් වූ බව ලේඛකයාට මතකය. මේ නිර්මානාත්මක කටයුතු අපේ තාත්තාටද ආඩම්බරයට කරුණක් වූමුත්, විටෙක ඔහු මෙවැනි කටයුතු අධ්‍යාපනයට බාධාකාරී දේ ලෙස සැලකුවේය. එ‍සේ තද වූ වතාවක අපේ තාත්තා මට බැන්නේ රේඩියෝ එකට කුණුහරුප ලියනවාය කියාය. බලනකොට ඒ අර කවියේ තනපුඩුවේ කියා තිබුණු නිසාය. මට මාර ලජ්ජාවක් ඇති විණි. එවකට මා ඉගෙනුම ලැබුවේ මතක හැටියට නවය හෝ දහය වැනි ශ්‍රේණියකය.

අපේ ගෙට ඉදිරියෙන් පිහිටි රන්වලාගල කන්ද ගැන මා ලියූ කවියක්ද ගුරුකුලයෙන් විකාශය විය. දැන් මේ කවි ලේඛකයා ළඟ නැත. "සැවොම මිටියි - ඔබයැ උසම - අපේ තාත්තා වාගේමයි" කියා ඒ කවියේ තිබුණු කොටස ගුරුකුලය විසින් අගය කළ හැටිද මට මතකය.

ගුවන්විදුලියට කවියක් යවා ගුරුකුලය දවසට පපුව ඩිග් ඩිග් ගාමින් ගුරුකුලයට සවන් දෙමින් සිටින විට හිටිහැටියේ එයින් නම ප්‍රචාරය වෙද්දී දැනුණු හැඟීම තවමත් මතකය. එදා ගුරුකුලයෙන් කළ ඒ ඇගයීම නොවිණිනම් මෙවැනි බ්ලොග් සටහනක් නොලියවෙන්නට තිබිණි. (එහෙම වුණානම් කොච්චර එකක්දැයි ඔබට සිතේද?)

ගුරුකුලය නිෂ්පාදනය කළේ තිලක් ජයරත්නද කියා මට යම් සැකයක්ද ඇත. පසු කලෙක ඔහු හමු වූ විට මේ ගැන කතා කරන්නට සිතුණු අවස්ථාද තිබුණු නමුත් ඔහු අප වැනි අය ගණන් නොගත් මහන්තත්වයකින් යුතු අයෙකු යයි සිතුණු නිසා මම ඒ අදහස අතහැරදැමුවෙමි.

මම රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද ඔහුගේ මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වී ඇත්තෙමි. මට නම් එය තවත් අනුකාරක එන්ජීඕ විගඩමකට වඩා දෙයක් නොවීය. ඔහු සිය අවසාන කාලයේ රාජ්‍ය නොවන සංවිධානවල තවත් ගොදුරක් වූ බව මගේ හැඟීමයි. රාජ්‍ය නොවන සංවිධාන රාමුවේඅලෙවි උපක්‍රම මිනිසුන්ට බලපාන්නේ අයහපත් අන්දමිනි.

ඔහු විසින් තිරනාටකය ලියා ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍යයක් මීට වසර කීපයකට පෙර රූපවාහිනියෙන් විකාශය විය. එය අතිශය දුර්වල මට්ටමක වූ අතර කවුරුත් ඒ ගැන කිසිවක් නොකියා සිටියදී  පිළිබඳ කතාබහක් අතරතුර මම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමග පැවසුවේ එය ළමයින්ගේ නාට්‍යයක් වැනි එකක්ය කියාය. පසුව මේ ගැන තිලක් ජයරත්න සමග කතා කළ සුනිල් කීවේ තමන් ලියූ පිටපත වෙනස් කර ඇති බව ඔහු කී බවයි.

මිනිසුන් කාටත් ඉහළයාම් හා පහළබැසීම් ඇත. ඔහු සිය සලකුණ ඔහු කළ අති විශිෂ්ට කෘති කීපයක් ඔස්සේ ඉතිරි කර ගියේය.

ඔහුට බොහෝ දේ කරන්නට උවමනා විය. ඒ සඳහා ඔහුට උවමනාවටත් වඩා හැකියාවන් තිබුණුමුත් අවස්ථාවක් නොලැබිණි. මේ වනාහි අපේ යුගයේ සැබෑ නිර්මානකරුවන්ගේ ඛෙදවාචකයකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-08

ජපන් ජබර, නෙළුම් මල් හා සරසවි ඇදුරු අරගලය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දැන් දෙවන මාසයේය. මාස දෙකකින් වැටුප් නොලැබූ වර්ජකයන්ට ඇති ආර්ථික අපහසුතා වෙනුවෙන් උපකාර කිරීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව වාර්තා විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් ප්‍රකාශයක් කර ඇත. රටේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය පරාජය විය හැකිමුත් තමන් යටත් වන්නේ නැත.

මිනිසකු විනාශ කළ හැකිමුත් පරාජය කළ නොහැකි බව අර්නස්ට් හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' කෘතියෙහි සාකච්ඡාවට භාජනය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය නිද්‍රාශීලී ලාංකීය සමාජයට සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීමේ උත්තේජනය සපයා තිබේ. එය දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන්නක් යයි ජනාධිපතිතුමා පවසයි.

ඉතින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන් කරන එක වැරදිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ක්‍රීඩා කරන මේ ආණ්ඩුව පරාජය වන යම් ක්‍රීඩාවක් තිබේනම් එහි සියලු ක්‍රීඩකයෝ ෆවුල්ය කියාය. Mr. President, please stick to the rules of the game without throwing false appeals to the umpire's face.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොටසක් වර්ජනය කරමින් සිටියදී තව හොරිකඩයෝ පිරිසක් අද නැතිනම් හෙට මේ අරගලය නිසා තමන්ගේ වැටුප් වැඩිවනු ඇතැයි සිතමින් වැඩ කරති.

සෙසු රාජ්‍ය සේවකයෝ සියලු බලාපොරොත්තු සුන් වී යද්දීත්, විනාශයේ නිර්මාතෘන් වන්දනා කරමින් නිහඬව සිටිති.

පෞද්ගලික අංශයේ වැඩිදෙනෙකුට තිබෙන්නේ වැටුප් වැඩිකරගැනීමේ අරගලයකට වඩා මේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත් හමුවේ සිය රැකියාව ‍බේරාගැනීමේ දුෂ්කරතාවකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ වඩාත්ම වැදගත් දෙය එහි නායකත්වයයි. ලංකාවේ පිරිහුණු අධ්‍යාපන ගොහොරුවෙන් මතු වූ ජපන් ජබර වැනි වල් පැල වන බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි හා වරප්‍රසාද වැඩිකිරීම වෙනුවෙන් පීඩිත පංතික ජනයා සුවිසල් බරක් දැරිය යුතු යයි අපි නම් කිසි සේත්ම නොසිතමු. එහෙත්, නිර්මාල් වැනි අයගේ නායකත්වය නිසා මේ අරගලය රජයේ සමස්ත වියදමින් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරවා ගැනීමේ පොදු ජන අරගලයක් ලෙස අර්ථ දක්වාගන්නට හා පිළිගැනීමක් ලබාගන්නට හැකියාව ලැබිණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරය නිර්මාල්ගේ වටිනාකම් භක්ෂණය කරමින් ඇති බව අපගේ නිරීක්ෂණය බව මේ අරගලයේ ආරම්භක අවධියේදී අප කීමුත් ඔහු ඇත්තෙන්ම එයින් නව වටිනාකම් නිර්මානය කර ගැනීමට සමත් විය. කියවන්න නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

අද ඡන්දයෙන් පසු ආන්ඩුව මේ අරගලය මතට රෞද්‍ර ලෙස කඩාපනින්නට ඇති ඉඩ ගැන දැන් අවධානය යොමු විය යුතුය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-07

දොස්තරවරුනි, සැරසෙන්! එල්ලවෙන්! එන්න!

දොස්තරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දක්වන්නට කැමති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ පාදෙනිය පවසයි. 

හොඳයි. මේ දෙගොල්ලන් බොහෝදුරට සමානය. මන්ද ආචාර්යවරු PHD කර Dr. අහවලා ලෙස පෙනී සිටින අතර වෛද්‍යවරු MBBS කර Dr.අහවලා ලෙස පෙනී සිටිති. 

සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිදහස් අධ්‍යාපනය රැක ගන්නට යයි කියනු ලැබේ. අධ්‍යාපනයට රාජ්‍ය වියදමින් 6%ක් වෙන් කරවාගන්නට ඔවුන්ට උවමනාය. 

වෛද්‍යවරුන්ටද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ උවමනාව ඇත. පෞද්ගලික වෛද්‍ය කඩ බිහි වී දොස්තරලා සුලබ වී, රෝගීන්අඩු වුණොත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් අඩු වීම පිළිබඳ ප්‍රශ්නයකුත් තිබේ. 

දොස්තරලා වනු වෘත්තිකයෝ පමණක් නොව පංතියකි. ඒ නිසා පහළම මට්ටමේ රාජ්‍ය ‍සේවකයාගේ ආරම්භක වැටුප මෙන් දොළොස්ගුණයක ආරම්භක වැටුපක් ඔවුන්ට උවමනාය. වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවේ. වැටුප් පරතරය වැඩිකිරීමද අත්‍යවශ්‍යය. 

ඒ කියන්නේ රෝගීන් ලෙස තමන් ළඟට එන රජයේ සේවකයන් සිඟන්නන් වීමද අත්‍යවශ්‍යය. 

හැබැයි දොස්තරලාට කොහොම පඩි වැඩි කළත් අනෙකුත් රජයේ සේවකයෝ විරුද්ධ නැත. මන්ද, රජයේ සේවකයන්ගේ සිහිනය තම දරුවන් දොස්තරලා කිරීමයි. කවුරුද තමන්ගේ දරුවන් අනාගතේ කරන්න ඉන්න රස්සාවට පඩි වැඩි වෙනවාට විරුද්ධ?

ලංකාවේ වාමාංශිකයන්ට මේ මධ්‍යම පාංතික කෑදර ප්‍රතිගාමිත්වය නොපෙනේ. මන්ද, ඔවුන්ද මේ පංතිය වන්දනා කරන බැවිනි. ඔවුන්ගේ අරමුණද මේ පංතියට තම දරුවන් තල්ලු කර ගැනීමයි. දොස්තර කෙනෙක් තමන්ගේ පක්ෂයට සම්බන්ධ නම් බුදු අම්මෝ ඊට වඩා දෙයක් වාමාංශිකයන්ට නැත. 

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. ලංකාව යමින් තිබෙන්නේ ම්ලේච්ඡත්වය දෙසට බව අපි නැවත කියමු.

(දොස්තරවරුනි, මෙහි කමෙන්ට් දමනවිට කලින් අප ඔබ විවේචනය කළ අවස්ථාවලදී මෙන් නොකර තමන්ගේ වැදගත්කම ගැන සිතන්න. අප ඔබගේ වෘත්තිය සමග තරහක් නැත. ඔබගේ සේවය අත්‍යවශ්‍ය බව අපි දනිමු. අප විරුද්ධ ඔබගේ සංගමයේ මධ්‍යම පංතික කෑදරකමට හා එහි ප්‍රතිගාමිත්වයටයි.)

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-06

මීගමු දෙමළ මිනිස්සු හා වේලක්කන්නි පල්ලිය ගැන කතා

ලේඛකයා වරක් ජීවිත බිය නිසා ටික කලකට ඉන්දියාවට ගියේය. ඒ ගියේ වේලක්කන්නි පල්ලි යන්නටය කියා වීසා අරගෙනය. ඔහුගේ පැරණි වාමාංශික 'සහෝදරයෝ' දක්ෂ ලෙස ඔහු රැවටූහ. ඔහු ඉන්දියාවේ නන්නත්තාර කර දැමීමෙන් අනතුරුව මේ සහෝදරවරු 'උගේ ප්‍රශ්නය අවසන්' යයි උදම් අනන්නට ඇත. එහෙත්, මේ වාමාංශික බියගුළු තුච්ඡබව ලේඛනගත කරමින්, වාමාංශික සහෝදරයින්ගේ ප්‍රියතම උපහැරණයක් අනුව 'ඔවුන්ගේ කකුලේ පැටලෙන ෂොපිං බෑගයක්' වන්නට ලේඛකයා තවම නොනැසී සිටියි. මේ වම්මුන් අතේ ආයුධ නැතිවීම හා තමන්ම මරන්නට ඉදිරිපත් වන්නට තරම් හිතේ හයියක් නැතිවීමටද ස්තුති විය යුතුය. මනුෂ්‍යත්වය හා වම අතර දුර සුවිසල් බව නැවතත් අවධාරණය කරමි. 

අනාගමිකයකු වූ ලේඛකයා කිසිදිනෙක වේලක්කන්නි පල්ලි ගියේ නැත. සිංහලයකු ලෙස ලංකාවේ තිබුණු ප්‍රශ්න ප්‍රමාණවත් වූ නිසා නැති ප්‍රශ්න ඉල්ලා ගැනීමට තමිල්නාඩු ගියේද නැත. පසු කලෙක ඔහුට අහිමි වූ රැකියාව නැවත ලබාගැනීමට ලේඛකයා අභියාචනා කළේ තමන්ට මාරක ග්‍රහ අපලයක් තිබූ නිසා හාම්පුතුන්ට නොදන්වා ක්ෂණිකව රටින් පිටවන්නට තමන්ට සිදුවූ බව කියාය. පරීක්ෂණයේදී එය නොපිළිගත්තානම් ඔහු අසන්නට සිටියේ එතකොට ජ්‍යෝතිෂය බොරුද කියාය. 

වේලක්කන්නි පල්ලිය මේ දිනවල නැවත කතාබහට ලක් වී තිබේ. ඒ වේලක්කන්නි පල්ලි යන්නට ගිය මීගමුවේ පිරිසක් එහිදී ප්‍රහාරයකට ලක් වීම නිසාය. 

තමන් බේරුණේ දෙමළෙන් කතා කර තමන්ද දෙමළ බව කී නිසා යයි ඔවුන්ගෙන් ඇතැමෙක් ලංකාවට පැමිණි පසු කීහ.

මීගමුව සුවිශේෂ ප්‍රදේශයකි. දෙමළ මිනිසුන් ජීවත් වන ප්‍රදේශයක් ලෙස සලකා දෙමළ ඊලාම්වාදීහු ඊලාම් සිතියමට මීගමුවද ඇතුළත් කළහ. එහෙත් මීගමුවේ දෙමළ මිනිස්සු දැන් දෙමළදැයි ප්‍රශ්නයක් මතු වේ. තමිල්නාඩුවේදී තමන් දෙමළ බව කීවාට ඔවුහු ලංකාවේදී එසේ කියන්නට මැලිවෙති.

මේ මීගමු ජනයා අතර තම මුල් ජාතිය ගැන සැඟවුණ කැක්කුමක්ද තිබේ. මේ කැක්කුම කෙතරම්ද යත්, මෙම ලේඛකයා දෙමළ ස්වයංනිර්ණ හිමිකම මූලික කරගෙන දේශපාලනයේ යෙදුණු කණ්ඩායමක් ප්‍රශ්න කිරීමට පටන් ගත්දා සිට, ඒ වනතෙක් ඔහු‍ තමන්ට සමීප මිතුරකු යයි සැලකූ එක් මීගමු මිතුරකු කතාබහ පවා නැවැත්වීය. 

මීගමුවේ දෙමළ සම්භවයක් ඇති මිනිසුන්ගේ නම් ක්‍රිස්තියානි නම් නිසා ඒවායින් ජාතිය පිළිබිඹු වන්නේ නැත. එසේම පරම්පරා දෙක තුනක සිට මේ මිනිස්සු වැඩිදෙනෙක් කතා කරන්නේද, ඉගෙන ගන්නේද සිංහල බසිනි. එහෙත් ඇතැමෙකුගේ හැඳුනුම්පත්වල තවමත් ජාතිය ලෙස සඳහන් වන්නේ ලාංකීය දෙමළබව අසා ඇත්තෙමි. ජාතිය යනු වෙනස් කළ හැකි දෙයකි. ජාතිය වෙනස් කිරීමට ඇති හැකියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේද මානව හිමිකමක් ලෙස සැලකේ. 

මේ ප්‍රඥප්ති කිසිවක් නැති අතීතයේදී ලංකාව ලෝකයේ එක එක කොදෙව්වලින් පැමිණි මිනිසුන්ට සිංහලයන් වීමට අවස්ථාව දුන්නේය. නලින් ද සිල්වලාගේ ටිල්වින් සිල්වලාගේ මුතුන් මිත්තෝ දකුණු ඉන්දියාවෙන් පැමිණ මෙහි පදිංචි වී සිංහලයන් බවට පත් වූයේ එසේය. එහෙත්, මේ සිල්වලා ළඟ තිබෙන ජාතිවාදයේ ප්‍රතිඵලයක් ලෙස දැන් ලංකාවේ මිනිසුන්ට ජාතිය වෙනස් කිරීම පහසු නැත. 

මට පොන්නයියා ආනන්දන් කියා මිතුරෙක් සිටියි. ඔහු දැන් නම භාවිතා කරන්නේ පී. ආනන්ද කියාය. ඔහුගේ දරුවෝ ළහිරු ආනන්ද, පමිත් ආනන්ද වෙති. ඔවුන් කලක් තිස්සේ කොළඹ උතුරේ ජීවත් වෙමින් බොහෝදුරට සිංහල වී සිටිති. ආගම ක්‍රිස්තියානිය. හැඳුනුම්පතේ ඇති ඉන්දියානු දෙමළ යන යෙදුම ප්‍රශ්නයක් නිසා ඔවුහු තමන් සිංහලය කියා කීමට කැමතිය. ඒ සඳහා මව් පාර්ශ්වයේ සීයා සිංහල වීම මතුකොට දක්වති. එහෙත්, ඒ සීයාගේද බිරිඳ දෙමළය. දෙමළ - සිංහල කලවම් විවාහ ඔවුන්ගේ සමාජයේදී දැනටත් ප්‍රශ්නයක් නොවේ. 

දෙමළ සම්භවයක් ඇති මිනිසුන් සිංහල ලෙස ජාතියෙන් වෙනස් වන්නට හෙවත් ස්වීකරණය වෙන්නට උත්සාහ කිරීම දැන් අරුත්සුන්ය. 

අප උත්සාහ කළ යුත්තේ දෙමළ ජනයා සිංහල කරන්නට නොව සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැවොම සැබෑ ලංකික අනන්‍යතාවක් සොයා යන්නටය. 

කණගාටුවට මෙන් දැන් සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි. 

ප්‍රභාකරන් සිටි කාලයට වඩා දැන් ලාංකීය ඉතිහාසය ඊලමට ළඟය. අර මීගමු මිතුරා දැන් පිටරටය. ඔහු ඇත්තෙන්ම සතුටු ඇති. එහෙත්, ඔහු වැනි මිතුරන් අහිමිවීම ගැන අපි අදත් වැළපෙමු. හෙට ඒ වැළපීම සදාතනික දෙයක් වන්නට ඇති ඉඩකඩ වැඩිය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-05

ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි - ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්


චීනෙන් ආපු බහිරවයෙක් කොළඹ රටේ
මැණිකක් ගිල්ලාලු දහඅටලක්ෂයක
ඒ මිනිහා අරන් යනවිට හිරගෙදර
කවියක් ලියන්නට හිතුණා මට මෙහෙම

ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි
ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්
පරම්පරා ගණනාවක් අඳුරෙ ඉඳන් 
ඒණය ගෙවමු ජනතාවනි සන්තෝසෙන්

චීනයෙ වීර ජනතාවට ජය වේවා
චීනේ කොමියුනිස්ට්වාදෙට ජයවේවා
ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා
දුප්පත් ලංකාව නිවනින් සැ‍නසේවා

W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-09-02

පළමුව කපමුද එළු හිස - දෙවනුව බිඳිමුද මුට්ටිය

එළුවො මරනවලු ආපසු
ධාතු රැගෙන ගියාට පසු
ගෝල බාලයෝ කාලිගෙ 
එහෙම කියනවා

එහෙනම් දැන් කුමක් කරමු
ධාතු මෙහේ තියාගනිමු
හැමදාමත් පොලිමෙ යමු
වඳිමු පුදමු එළුවො රකිමු

එළුවගෙ අපෙ හිස් හිරවුණු
මුට්ටිය වාගෙයි ආගම
පළමුව කපමුද එළු හිස 
දෙවනුව බිඳිමුද මුට්ටිය

W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න