2012-09-10

සැබෑ නිර්මානකරුවන්ගේ ඛෙදවාචකය හා තිලක් ජයරත්න

තිලක් ජයරත්න අපෙන් වෙන්ව ගියේය.

ඔහු පිළිබඳ දුටු අල්පයක් සටහන් අතර සුභාෂ් ජයවර්ධන තැබූ මේ සටහන කියවූ මගේ කට කොණට සිනාවක් මතු විය.

"දුරකතනයකින් වුව කවර හෝ පුද්ගලයකු හා අදහස් හුවමාරු කර ගැනීමේදී අනියත බියකික් නොවෙලුනු ජනමාධ්‍යවේදියකු මේ ක්ෂෙත්‍රයේ සිටිතැයි මම නොසිතමි. එම තත්ත්වය ලබන අත්දැකීම් සමඟ පසුකාලීනව අත් හැරුණත් වසර විස්සකට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයෙහි සිටින මා හට එවැනි බියක් මේ ඊයෙ පෙරේදා වනතුරුත් තිබිණි. ඒ එක් පුද්ගලයකු සම්බන්ධයෙනි. ඔහුට දුරකතනයෙන් වුව අමතන්නට මම නිතරම බිය වීමි. අවශ්‍යතාවයක් වුව හොත් අනෙකෙකුට වැඩය පැවැරීමට මම උපක්‍රමශීලී වූ අවස්ථා එමට තිබිණි. එහෙත් ඒ කපටිකම නිසා අවසන අනෙකාගේ දෝස්මුරයට මම ලක්වීමි. මන්ද මා කතා කිරීමට බිය වූ පුද්ගලයා තිලක් ජයරත්න වූ බැවිනි."

තිලක් ජයරත්න ගැන මට තිබුණු අදහස සරළව කීවොත්, ඔහු දක්ෂ ගිනිපුක්කාරයෙකි.

තිලක්ගේ වියොව ගැන සුනිලා අබේසේකර තැබූ සටහනක මෙසේ සඳහන් වේ. "තිලක් ජයරත්න ප‍්‍රතිපත්ති ගරුක අවංක මිනිසෙක් විය. ඔහු ප‍්‍රචාරය හෝ පිළිගැනීම පසුපස හඹා ගියේ නැත. ධනය සහ බලය රජයන ක්ෂේත‍්‍ර තුල ඔහුගේ මරණය නොදැනෙන්නට පුලූවන. එහෙත් ඔහුගේ ජීවිත කාලය පුරා ලංකාවේ අලූත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ඔහු දැරූ වෙහෙස හඳුනන සහ ඔහුගේ කැපවීමට සහ මිත‍්‍රත්වයට ගරු කරන සැමෝ ම ඔහුගේ මේ අකල් මරණය ගැන විස්සෝප වෙනවා නොඅනුමානය."


මෙම බ්ලොගයෙහිදී අප සාමාන්‍යයෙන් මාධ්‍යවේදියා යන වචනය හැම පුද්ලලයා සම්බන්ධයෙන්ම පාවිච්චි කරන්නේ නැත. අප පාවිච්චි කරන්නේ මාධ්‍යකරුවා යන වචනයයි. තිලක් ජයරත්න වචනයේ පරිසමාප්ත අරුතින්ම ජනමාධ්‍යවේදියෙකි. ඔහු ජනමාධ්‍ය කලාවේ බොහෝදෙනෙකුට ගුරු වූ අයෙකි.

කඩුල්ල ටෙලි නාට්‍යය සඳහා ඔහු ලියූ තිරනාටකය, බංඩාරවෙල බිඳුනුවැව පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය ඇසුරින් ඔහු කළ අධ්‍යයනය. හා ගුවන්විදුලියේ නව අධ්‍යාපන සේවය සහ ප්‍රජා ගුවන්විදුලිය පිළිබඳ ඔහුගේ මැදිහත්වීම් ඔහු තබා යන නොමැකෙන මංසලකුණු වේ.

තිලක් ජයරත්න ගැන මෙම සටහනට විශේෂ යමක් එකතුකිරීමට මෙම ලේඛකයා කැමතිය. මම මුලින්ම ප්‍රසිද්ධ කළ යමක් වී නම් එය පළ වුණේ තිලක් ජයරත්න විසින් නිෂ්පාදනය කරන ලද බව ඔහුට මතක 'ගුරුකුලය' නම් ගුවන්විදුලි වැඩසටහනේය.

මතක හැටියට සඳුදා හෝ සිකුරාදා දිනක ගුවන්විදුලි සංස්ථාවේ පළමුවන සේවයෙන් සවස 5.15ට විකාශය වූ මේ වැඩසටනෙන් ලේඛකයාගේ කවි දෙකක් රසවින්දනයන්ද සමග විකාශය වූවා මතකය.

ඉන් එකක් කොළ නිවාඩුව නම් වූ අතර ලේඛකයා ලියුවේ පෙබරවාරියට රබර් ගස්වල කිරි කැපීම නැවැත්වීමත් සමග තාවකාලිකව ජීවනෝපාය අහිමි වන පවුලක දරුවකු ලෙසයි.

"අපේ දුකට ලේ කිරි වූ තන පුඩුවේ
බේත් රළක් ගැල්වූ දා
අහේනියේ මාර සෙනග
කඩුල්ල පැන ගෙට ආවා"

එහි මෙවැනි යෙදුමක් වූ බව ලේඛකයාට මතකය. මේ නිර්මානාත්මක කටයුතු අපේ තාත්තාටද ආඩම්බරයට කරුණක් වූමුත්, විටෙක ඔහු මෙවැනි කටයුතු අධ්‍යාපනයට බාධාකාරී දේ ලෙස සැලකුවේය. එ‍සේ තද වූ වතාවක අපේ තාත්තා මට බැන්නේ රේඩියෝ එකට කුණුහරුප ලියනවාය කියාය. බලනකොට ඒ අර කවියේ තනපුඩුවේ කියා තිබුණු නිසාය. මට මාර ලජ්ජාවක් ඇති විණි. එවකට මා ඉගෙනුම ලැබුවේ මතක හැටියට නවය හෝ දහය වැනි ශ්‍රේණියකය.

අපේ ගෙට ඉදිරියෙන් පිහිටි රන්වලාගල කන්ද ගැන මා ලියූ කවියක්ද ගුරුකුලයෙන් විකාශය විය. දැන් මේ කවි ලේඛකයා ළඟ නැත. "සැවොම මිටියි - ඔබයැ උසම - අපේ තාත්තා වාගේමයි" කියා ඒ කවියේ තිබුණු කොටස ගුරුකුලය විසින් අගය කළ හැටිද මට මතකය.

ගුවන්විදුලියට කවියක් යවා ගුරුකුලය දවසට පපුව ඩිග් ඩිග් ගාමින් ගුරුකුලයට සවන් දෙමින් සිටින විට හිටිහැටියේ එයින් නම ප්‍රචාරය වෙද්දී දැනුණු හැඟීම තවමත් මතකය. එදා ගුරුකුලයෙන් කළ ඒ ඇගයීම නොවිණිනම් මෙවැනි බ්ලොග් සටහනක් නොලියවෙන්නට තිබිණි. (එහෙම වුණානම් කොච්චර එකක්දැයි ඔබට සිතේද?)

ගුරුකුලය නිෂ්පාදනය කළේ තිලක් ජයරත්නද කියා මට යම් සැකයක්ද ඇත. පසු කලෙක ඔහු හමු වූ විට මේ ගැන කතා කරන්නට සිතුණු අවස්ථාද තිබුණු නමුත් ඔහු අප වැනි අය ගණන් නොගත් මහන්තත්වයකින් යුතු අයෙකු යයි සිතුණු නිසා මම ඒ අදහස අතහැරදැමුවෙමි.

මම රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද ඔහුගේ මාධ්‍ය වැඩමුළුවකට සහභාගි වී ඇත්තෙමි. මට නම් එය තවත් අනුකාරක එන්ජීඕ විගඩමකට වඩා දෙයක් නොවීය. ඔහු සිය අවසාන කාලයේ රාජ්‍ය නොවන සංවිධානවල තවත් ගොදුරක් වූ බව මගේ හැඟීමයි. රාජ්‍ය නොවන සංවිධාන රාමුවේඅලෙවි උපක්‍රම මිනිසුන්ට බලපාන්නේ අයහපත් අන්දමිනි.

ඔහු විසින් තිරනාටකය ලියා ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍යයක් මීට වසර කීපයකට පෙර රූපවාහිනියෙන් විකාශය විය. එය අතිශය දුර්වල මට්ටමක වූ අතර කවුරුත් ඒ ගැන කිසිවක් නොකියා සිටියදී  පිළිබඳ කතාබහක් අතරතුර මම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමග පැවසුවේ එය ළමයින්ගේ නාට්‍යයක් වැනි එකක්ය කියාය. පසුව මේ ගැන තිලක් ජයරත්න සමග කතා කළ සුනිල් කීවේ තමන් ලියූ පිටපත වෙනස් කර ඇති බව ඔහු කී බවයි.

මිනිසුන් කාටත් ඉහළයාම් හා පහළබැසීම් ඇත. ඔහු සිය සලකුණ ඔහු කළ අති විශිෂ්ට කෘති කීපයක් ඔස්සේ ඉතිරි කර ගියේය.

ඔහුට බොහෝ දේ කරන්නට උවමනා විය. ඒ සඳහා ඔහුට උවමනාවටත් වඩා හැකියාවන් තිබුණුමුත් අවස්ථාවක් නොලැබිණි. මේ වනාහි අපේ යුගයේ සැබෑ නිර්මානකරුවන්ගේ ඛෙදවාචකයකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

4 comments:

  1. හිතවත නැවත හමුවෙමු...

    ReplyDelete
  2. Poor Jayarathne, Para is going to be a 'pora' at your expense.

    ReplyDelete
    Replies
    1. He had no Porawal, perhaps other than himself.

      Perhaps I also can be same.

      Delete
  3. ස්ටීවන් ස්පීල්බර්ග්September 11, 2012 at 3:27 PM

    තිලකේ උඹේ හැඩරුව හඳුනන්ට කලින්
    කඩුල්ල පැනන් උඹ නො එනා ගමන් ගොහින්
    හිතුනොත් එන්ට ආපහු ඔය ගමන ගොහින්
    වරෙන් ඇමෙරිකාවට දී පපුව කෙලින්

    එන්. ජී. ඕ. කඩුත්තුවකින් වසුරු ලන
    ලෑටිය උලා කන්නට පව් කළෙ කෙදින
    ඉන්නේ එක රටක පුරුවැසි බව හැඳින
    රට වැසි එක මිටට එක් කළ යුතු තිබින

    සුනිලා අබේසේකර, මංජුල වෙඩියා
    තව අර අමන රැළකට නුඹ විය මැඬියා
    උන් අද නැති රටේ අසරණ වූ සැටියා
    කවුරුත් අසූවයි ඉන්නේ දැන ගනියා

    සුනිලා අබේසේකරට ඊලම ඕනා
    තමිල්නාඩුවේ එය ලේසිය නෝනා
    හත් කවලම් රටක සමගියමයි ඕනා
    ඒ ටික කියා දෙනු බැරි මුන් හැඳි ගානා

    දෙදාස් පන්සීයක්ලු මේ බලු රටට අ හා
    තාමත් කෙඳිරි ගානා බලු කුනකි මහා
    ලෝකය ඉදිරියේ තුට්ටුවෙ තියපු වහා
    ක්‍රමයට තබපියව් තිත එය පිනකි මහා

    ජයරත්නයෝ කළ පව් අමතක වීයන්
    ඔය නැණ අරන් එන මග මල්වර වීයන්
    කෝවක මැකී බලු රට යලි ඉපදීයන්
    එතකං ඉන්න යූ.එස්.ඒ වෙත ඇදියන්

    කලා ලොවට නුඹෙ හිරු රැස් ටික වැටියන්
    ඒ රැස් කඩුල්ලක තැවරී මට පෙනියන්
    එනවා නම් වරෙන් ගෙයි දොර ඇත බලියන්
    තිලකේ, ස්පීල්බර්ග් මගෙ නම ස්ටීවන්

    ස්ටීවන් ස්පීල්බර්ග්,
    හොලිවුඩ් හි සිට
    2012 සැප්තැම්බර් 11

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.