2012-11-25

ඝාතන සංස්කෘතිය විසින් සිංහල සමාජයගිලගැනීම හා සිවිල් සමාජ මුග්ධත්වය

ලාංකීය සමාජය දැන් දේශපාලන කැරැලිවලින් මුක්තය. රට හෙල්ලූ කැරැලි ගැසූ කැරැලිකාර ව්‍යාපාරම දැන් කියන්නේ තමන්ට ලණු කැරැල්ලක්වත් අඹරාගන්නට බැරි බවයි. 

වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් 1970 දශකයේදී මුලපුරන ලද දෙමළ ජාතිවාදී සන්නද්ධ කැරැල්ල 2009දී ඔහුගේ මරණයත් සමගම අවසන් වූයේ දෙමළ ජාතික විමුක්ති අරගලයට තීරණාත්මක පරාජයක් අත්කරදෙමින් බව දැන් ප්‍රත්‍යක්ෂ වෙමින් තිබේ. සිංහල ජාතිවාදය අසීමිත ලෙස ශක්තිමත් කිරීමෙහිලා ඉවහල්වීමෙන් එය විසින් ලාංකීය දේශපාලන ප්‍රජාවට කරනු ලැබුවේ සුළුපටු හානියක් නොවේ.

මේ කැරැලිත් සමග ලාංකීය සමාජයේ සිදුවී තිබෙන දේශපාලන පරිවර්තනය එක් පැත්තකින් සිවිල් සමාජය ඒකාධිපතිවාදය ඉදිරියේ දණගැසීමක් ලෙසද පොදුජන අවකාශය පූර්ණ අරාජිකත්වයට ගොදුරුවීමක් ලෙසද විග්‍රහකිරීමට පුළුවන. 

සිවිල් සමාජය මේ වනවිට අරගල කරමින් සිටින්නේ සමාජ විපර්යාස ඇතිකිරීමට වඩා විරෝධය සලකුණු කරමින් සිය පැවැත්ම රැකගැනීම සඳහාය. 

මේ අතර, පොදුජන අවකාශය තුළ අරාජිකත්වය රජයමින් මුග්ධත්වය රැළි නගමින් තිබේ.

ලංකාව ඝාතන සංස්කෘතියක් උරුම කරගෙන ඇති අතර, යුද්ධ නැතිවත් ඝාතන නැතිව පවතින්නට බැරි තත්වයක් ලාංකීය සමාජය තුළ ඇතිවී තිබේ. අවිහිංසාවාදී බෞද්ධයන් ලෙස ආඩම්බරෙන් පෙනී සිටින ලංකාවේ බහුතර ජනතාව පසුගිය දිනෙක ඇතිවූ බන්ධනාගාර කැරැල්ල රාත්‍රී භෝජනය අතරතුර රසවිඳි ආකාරය සිහිපත් කර බලන්න. තමන් අත අවි තිබුණානනම් ඒ කැරැලිකරුවන් ඝාතනය කරනහැටි ගැන ඔබ හා ඔබේ නෑ මිතුරන් පුරසාරම් දෙඩූ හැටි සිහිපත් කර බලන්න. 

මේ කැරැල්ල අනවශ්‍ය කුපිතකිරීමකින් පැනනැඟුණු දෙයකැයි කීවද එය පශ්චාත් නන්දිකාඩල් යුගයේ ලාංකීය සමාජයට නැවතත් සතුරු සංහාරයක රස භුක්ති විඳීමේ අවස්ථාව ලබාදෙමින් යම් අවශ්‍යතාවක් පිරිමැසූබවටද තර්ක කළහැකිය.

මඳ කලකට ඉහතදී ග්‍රීස් යකුන් විසින් සමාජයට ලබා දුන්නේද මේ වින්දනයමය.

මේ ඝාතන සංස්කෘතිය දෙස වාර්ගික ඇසකින් බැලුවොත්, වසර කීපයක‍ට පෙර දෙමළ ජාතියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති ඝාතන සංස්කෘතිය මේ වනවිට බිලිගනිමින් තිබෙන්නේ සිංහල පීඩිතයන් බවටද තර්ක කිරීමට පුළුවන. 

එපමණක් නොව, අද වනවිට ඕස්ට්‍රේලියාවේ නව ජීවිත සොයා දිවි පරදුවට තබා බෝට්ටුවලින් යමින් සිටින්නේද යුද්ධයෙන් මව්බිමේ ඒකීයත්වය දිනාගත් සිංහලයෝමය. 

ඝාතන සංස්කෘතියේ ගිලී ගිය අදේශපාලනික සිංහල සමාජය හුදු අපරාධකාරී චේතනාවෙන්ම එකිනෙකා මරාගනිමින් සිටින්නේද යන්න විමසා බැලියයුතුය.  

පවත්නා තත්වයට හේතුව දැඩි ආදායම් විෂමතාව හා සමාජය ඉහවහා යමින් තිබෙන ධන තෘෂ්ණාවයි. සැමදෙනාටම අවශ්‍ය වී තිබෙන්නේ ඉක්මණින් ධනවත්වීමටයි. ධනය බලයටද දොරටුවයි. මේ අසීමිත ධන තෘෂ්ණාව විසින් සමාජය තුළ අසීමිත අසහනයක්ද ඇති කර තිබේ.

දේශපාලන විපර්යාසකාරකයෝද උත්සාහ කරමින් සිටි‍න්නේ මේ අසහනයම පවත්නා ක්‍රමයට ‍එරෙහිව ආයෝජනය කිරීමටයි. සරළව කීවොත් ධනයට හා බලයට කෑදර මිනිසුන් පිරිසකගේ එකී කෑදරකමම කුළුගන්වා, ඔවුන් උසිගන්වා, වර්තමානයේ ධනය හා බලය හිමි පිරිසට එරෙහිව කැරැලිගැස්වීමටය. 

මෙමගින් ඇතිකළ හැකි වෙනස වන්නේ බල්ලාගේ ඇ‍‍‍ඟේ දැන් සිටින ඇටමැස්සන් පිරිස එළවාදමා අලුත් ඇටමැස්සන් පිරිසක් ගවසාගැනීම මිස අන්යමක් නොවේ.

නිදසුනක් ලෙස දූෂිත විධායකයට හා දූෂිත ව්‍යවස්ථාදායකයට එරෙහිව දූෂිත අධිකරණයට කොන්දේසි විරහිතව සහාය දැක්වීමේ සිවිල් සමාජ  මුග්ධත්වය බලන්න. සිවිල් සමාජ මිතුරන්ට අපට කීමට ඇත්තේ මෙලඩ්‍රාමාවෙන් මෙලඩ්‍රාමාවට (අතිනාට්‍යයෙන් අතිනාට්‍යයට) යන මේ ගමන අවසන් වනු ඇත්තේ දිනෙන් දින ඔබ පසුපසින් එන බලාපොරොත්තුසහගත බලවේගය හැලීයාමෙන් බවයි.

සිවිල් සමාජ ව්‍යාපාරවලට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මනුස්සකම යළි ගොඩනඟාගැනීමේ ව්‍යායාමයකි. 

පවත්නා ක්‍රමයට එරෙහිව ඔසවා තැබිය යුත්තේ මිනිස් සාරයකි. ජීවගුණයකි. 

පරමාදර්ශී ජීවන විලාසිතාවකි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

8 comments:

  1. පොදු විපක්ෂ ,එක එක නම් අටවගත්ත සිවිල් සමාජ ව්‍යාපාර අද කරන්නේ සෙනග ටිකක් එකතු කරගෙන සම්මන්ත්‍රණයක් හරි දෙතුන් දෙනෙක් එකතු කරගෙන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන එක විතරයි.කියන්නෙනම් අහවල් දා අපි ජනතාව සමග පාරට බහිනවා කියල.කියනකොටත් එහෙමයි!කෙරුවාවලුත් එහෙමයි!!අර ලාල් කාන්ත කියල තියෙන එක හරි."ශක්තිමත් විපක්ෂ,පොදු විපක්ෂ වැඩක් නැහැ.අරගලය දිනන්න ජනතා නැගිටීමක් ඕනෑ."ප්‍රශ්නෙ තියෙන්නෙ ජනතාව නැගිට්ටවන්න ඉන්න එව්වොන්ගේ "මණ්ඩල"වල කචල්නේ ???????????

    ReplyDelete
  2. Bohoma hondama lipiyak kalakatapasse .thanks

    ReplyDelete
  3. මෙහෙමනේ පැරකුම්, එම යහපත් සිවිල් සමාජයක් සඳහා ඉල්ලුමක් එන්න ඕනේ සිවිල් සමාජය තුලින්මයි. දැන් මේ අරගල කරන්න කියන දේශපාලකයන්, ඔවුනගේ අතීත වැරදි පිලි අරන් තියනවද. අලුත් ගමනක් යනවා කියලා සපත කරලා තියනවාද? නැහැ. මොකද එහෙම ඉල්ලුමක් සමාජයේත් නැහැ. රනිල් පවා තාම තලු මරනවා ජේ ආර්ගේ විවස්තාව ගැන. ඔහුගේ පුපුදමු ශ්‍රී ලංකා තමා අද ක්‍රියාත්මක වන්නේ. ඔහුගේ අතීත කෙරුවාවල් හා ඔහු දායකත්වය සපයපු රජයේ අතීත කෙරුවාවල් වැරදියි කියලා පිලි අර ගන්නවද? (අඩුම ගානේ පුස්තකාල ගිනි තිබ්බ ගාමිණි පවා නිකමට හරි කියුවා ගොම සහ ලේ හෝදන්න ඕනේ කියලා) නැහැ. එහෙම අවශ්‍ය තාවයක් මතු වෙන්නෙත් නැහැ. මිනිසුන් ඒ ගැන තකන්නේ නැහැ. ස්වාර්තය වෙනුවෙන් පක්ෂයෙන් පක්ෂයට පනින විමල් වගේ එවුන්ට ලක්ෂ ගණනින් මනාප ලැබෙනවා. යුඑන්පි එකෙන් පැනපු එවුන්ටත් එසේමයි. එතැනදී ජනතාව විපක්ෂයට පවා දෙන පණිවුඩය තමා, මෙහෙම තමා ආණ්ඩුවක් ගත්තොත් ගෙන යන්න පුළුවන් කියන එක. මංගලලා නිකම් රැස්වීම් වල රනිල් ලවා සමාජවාදේ (යහපත් සමාජයක්) ගැන කියෙව්වට එතනින් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ නිකම් බොරු විතරයි. ඊට මාස දෙකතුනකට කලින් ඒ රනිල්ම තමා ජේ ආර්ගේ විවස්තාව හා ආර්ථික පිළිවෙත් අගය කලේ. ඔහුට ඒවා පිටුදකින්න බලපෑමක් සමාජයෙන් එන්නේ නැති නිසා එහෙම කරන එකේ වරදකුත් කියන්නත් බැහැ. දෙමලු මරන්න උඩගෙඩි දුන්න ජේවීපී/ජන අරගල කාරයන් තාම මොකද කරන්නේ. මහා විනාශයක් පමණක් කල, ගම් වල සිවිල් සමාජය නැති බන්ගස්ඨාන කල විජේවිරලා අරගෙන ඇවිදිනවා. විජේවිරලා වන්දනා මාන කරන මෙයාලව අද අපට අවශ්‍යද? නැහැ. සිවිල් සමාජය විනාශ කල එකට විජේවීරත්, ප්‍රභාකරනුත්, ජේ ආර්ගේ ඒකාධිපති විවස්තාවත් එකසේ බල පෑවා. මෙතනින් එහාට යන්න නම්, අවංකවම මේ විජේවිරලගේ, ජේ ආර්ලගේ පින්තුර කරගහගෙන යන එක නතර කරන්න ඕනේ. හැබැයි ඒ බිත්තරේ ගන්න කිකිලියෙක් හොයා ගන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ැම් ක්‍රමයට එරෙහි අරගලය සඳහා අපි මේ ක්‍රමයට එරෙහි විකල්පය අප තුළම අත්හදා බලන්න ඕ‍නැ. ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය යෝජනා කරනවා නම් අපි පළමුව අපේ අවකාශය තුළ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනැ. මේ ධනකාමී, බලකාමී, ජනප්‍රියවාදී සමාජයේ ඒවා පසුපස දුවන රැල්ල ප්‍රතික්ෂේප කරන්න ආත්ම ශක්තිය අප තුළ ඇති කර ගතයුතුයි. මම කියන්නේ මේක පුද්ගලයා තුළින් ඇරඹී පුද්ගලයන් අතර පැතිරිය යුතු ජීවන විලාසිතාවක් ඔස්සේ මතු කරගතයුතු අරගලයක්.

      අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන අය මුලින් තමන්ගේ සංවිධාන තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නිර්භීත විය යුතුයි. මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන අය තමන්ට බලය ඇති මාධ්‍ය තුළ ඒ නිදහස ඇති කළයුතුයි.දූෂණයට එරෙහිව සටන් කරන අය මුලින්ම තමන් දූෂණයෙන් මුක්ත වියයුතුයි.

      අද අපට එන්න අප හා එක්වන්න යයි කියන අය තුළ අපට දකින්න ලැබෙන වෙනස කුමක්ද? මේ විකල්ප ව්‍යාපාරවලින් ගැලවී ගිහින් බලයක් සමග සම්බන්ධ වු හැටියේ මේ පුද්ගලයන්ගේ හැව ගැලවී ගොස් සැබෑ චරිතය මතුවෙනවා.

      මිනිසුන්ගේ මේ ප්‍රකෘති ම්ලේච්ඡත්වය පාලනය කරන්නනම් සමාජය විසින් නියාමන යාන්ත්‍රණ සකසාගතයුතුයි. කුමන සමාජය විසින්ද? මේ තිබෙන සමාජයනම් නොවෙයි. සමාජයකුත් අපි සකසාගතයුතුයි. ඒක පෙරටුගාමී සමාජයක්ද?

      Delete
    2. හරියට හරි පැරකුම්, මේක පටන් ගන්න ඕනේ අප, අපමයි. දුෂිත, ඒකාධිපතිවාදී සමාජයක ඉන්න ගමන්, ඒ දේවල් වලින් තමන් විනිර්මුක්ත වන එක ලෙහෙසි නැහැ. නමුත් සමාජය යහපත් කරන්න නම් අප එකිනෙකා මුලින්ම යහපත් වෙන්න උත්සහ කරන්න ඕනේ. මා බිත්තරේ, කිකිළිව නැතුව මුලින් හොයා ගන්න ඕනේ කිවේ මේ දෙයට. පුළුවන් තරම් සරලව මේ දේවල් පටන් ගන්න පුළුවන්. පච ජනමාධ්‍ය වර්ජනය, ජරා නාට්‍ය නොබැලීම, ආගම් අතර වයිරය පතුරවන, කුල මල ජාති බේධ අවුස්සන බ්ලොග්, වෙබ් අඩවි, ෆේස් බුක් නොබැලීම වගේ සරල කාරනා වලින් පටන් ගන්න පුළුවන්. තමන්ගේ රාජකාරියේදී වත් මනුෂත්වය පෙන්නීම. දුෂණයට විරුද්ධ වෙන්න බැරි උනත් තමන්වත් සම්බන්ද නොවීම. සරත් සිල්වා වැනි සිංහ වෙස් ගත් බුරුවන් ප්‍රතික්ෂේප කිරීම. දෙපිට කාට්ටු විපක්ෂ දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම.ඒ වගේම ප්‍රතික්ෂේප කල යුතු දේශපාලකයන්ගෙන් අඩු ගානේ තමන්ගේ දරුවන්, අයියලා මල්ලිලා ඈත් කර ගැනීම. මේ මත ඔබ කියන්නා වගේ සමාජ විලාසිතාවක්, ජිවන ක්‍රමයක් බවට පත් කරන්න ඕනේ. ඔබ එය යම් තරමකට ප්‍රචාරය කරනවා. අප ඒ සංඛ්‍යාව වැඩි කර ගන්න ඕනේ.

      Delete
  4. හිරගෙදර කේස් එක ගැන වෙනස් මතයක් තිබුනත්. පැරා නැවත වරක් ට්‍රැක් එකේ දිවීම ගැන නම් ඇත්තේ ඉමහත් සතුටකි....

    ReplyDelete
  5. කරුණාකර මා ජාතිවාදියෙක් ලෙස නොසලකන්න. මම සියලු සංස්කෘතීන් සමග වැඩ කර ඇත්තෙමි.ඝාතන සංස්කෘතිය හෝ යුධ මානසිකත්වය දෙමළ හා මුස්ලිම් සමාජයටත් පොදුයි. ඒ වගේම තමා දෙමල සහ මුස්ලිම් දේශපාලකයින් අතර වෙනසක්නම් නැත.

    ReplyDelete
  6. අප ජිවත් වන්නේ පසුගාමී අසංස්කෘතික ගෝත්‍රික රටක මේ රටට අවශ්‍ය ගුවන් පාලම්, වරායන්, අධිවේගී මාර්ග නොව සංස්කෘතිය පිළිබඳ මුලික දැනුමය.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.