2012-12-23

තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................

ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි.

දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි, අද රටේ පවත්නා තත්වය. මෙහිම කොටසක් ලෙස සමාජවාදී අදහස් සමාජයෙන් තුරන් කරන ලදී. නැතිනම් ඒවා ජීවිතයට සම්බන්ධ නැති පොතපතේ පමණක් ඇති දේ බවට පත් කරන ලදී. ඒ තත්වයටනම් ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ වාමාංශිකයෝ, බුද්ධිමත්තු, කලාකරුවෝ ආදීහුය.

විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිවාදයන් ප්‍රවර්ධනය කිරීම පිණිස බටහිර විද්‍යාවට එරෙහි මතවාදයන් යොදාගැනීම පසුගිය සමයේ විලාසිතාවක් විය. බටහිර විද්‍යාව යනු දාර්ශනික තලයකදී ඉතා පරිස්සමෙන් සංවාදයට භාජනය කළයුතු දෙයකි. එය කළ යුත්තේ සමාජය පසුගාමිත්වය වැළඳගැනීම වැළැක්වීමේ වගකීමකින් යුතුවය. එහෙත් නලින්ද සිල්වා වැනි අය ඒ සඳහා යොදාගත්තේ ජාතිවාදය වැපිරීම පිණිස යොදාගන්නා දිවයින කොලමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සංවාදය ශාස්ත්‍රීය තලයෙන් ඔබ්බට ආවේ අවිද්‍යාව වන්දනාමාන කරන තත්වයක් නිර්මානය කරමිනි.

අවසානයේදී නස්රුදීන්ගේ කතාවක සිදු වූ ආකාරයට බටහිර විද්‍යාවට එරෙහිව මතවාද ප්‍රවර්ධනය කරමින් සිටි නලින් ද සිල්වා පවා අවිද්‍යා අන්ධකාරයේ ගිලී දේව කන්නලව් පසුපස යන්නට පටන් ගත්තේය.

අද සිදුවී තිබෙන්නේ කුමක්ද?

රට පුරා භූත ආතුරයෝය. කොඩිවින කපන්නෝය. නැකැත්කරුවෝය. ගස් ගල් වඳින්නෝය. නිදන් හාරන්නෝය. පිටසක්වල ජීවියෝය. අද්භූත ආලෝක ධාරාය.ලෝක විනාශ, භූමිකම්පා, සුනාමි ආදිය ගැන පේන කියන්නෝය. එදා වේල පිණිස මේ පිස්සන් පසුපස යන මාධ්‍යකාරයෝය. දවස තිස්සේම මේ ගැන බණ කියන්නෝය. බණ අහමින්ම ධනය පොදි බැඳීමට මුල් තැන දෙන්නෝය. සමස්ථයක් ලෙස ලංකාවේ සිදු වී ඇත්තේ මිථ්‍යාව හා ධනකාමය දහම කරගත් අතාර්කික, දෙබිඩි, නොමිනිස් ජීවී පරපුරක වාසස්ථානයක් බවට පත්වීමයි.

අපි ආසන්න සිද්ධි කීපයක් විමසා බලමු. පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකු ගිය සතියේ සිය බිරිඳත්, තුන්හැවිරිදි දරුවාත් ගෙල සිර කර මරා දමා කිරිදරුවා පණ පිටින් පිළිස්සුවේය. ටයි ඇඳගෙන, එක්ස්කියුස් මී, සොරි ආදිය කියමින් ව්‍යාජ සමාජශීලීත්වයකින් හැසිරෙන, තමන් යටතේ වැඩකරන අය ඉලක්ක සපුරාගැනීම සඳහා හරකුන් සේ දක්කන, මිනිස් සම්බන්ධකම්වලට වඩා ඇඳුම, කාරය, නිවස ගැන සැලකිලිමත් වන මෙවැනි වෘත්තිකයෝ කොතෙකුත් සමාජයේ සිටිති. සුදු, හුරුබුහුටි, ලාබාල ලොලිටාවෝ මේ පෙළැන්තියේ බොහෝදෙනෙකුගේ ග්‍රස්ථියකි. ඉහත කී අපරාධකාරයා ඒ අපරාධය සැබැවින්ම කළේය. තව බොහෝ අය එය මනසින් කරති.

මේ පෙළැන්තියේ අයගේ පරමාදර්ශ වන සනත් ජයසූරිය වැනි අය ලිංගික, පවුල් හා සමාජ ජීවිතයේදී හැසිරෙන ආකාරය බලන්න.

අද සාමාන්‍යයෙන් සමාජ සම්භාෂණවල තිබෙන මාතෘකා මොනවාද? කාර්, මොබයිල් ෆෝන්, ඉඩම්, ගෙවල්, බඩුගැසීම්, ලෙඩ, ජ්‍යෝතිෂය හා ආණ්ඩුවේ දූෂණවලට තමන්ටත් සෙට් වෙන්නට ක්‍රම ගැන කතාකිරීම හැර වෙනත් හරවත් දෙයක් කතාබහට ලක්වෙනවාද?කතාබහ කලත් ඒවා ජීවිතයට සම්බන්ධ වෙනවාද?

අපි තවත් සිද්ධියක් ගෙන බලමු. ඒ සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් ලීක්වීමයි. විභාග දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ මේ සමාජයේ සිටින සෙසු මිනිස්සු වැනිම අයයි. එය දූෂණ සුලබ තැනකි. ඒ කාරණය පැත්තකින් තියමු. සෙසු ටියුෂන් ගුරුවරුන් අභිභවා යාම පිණිස ප්‍රශ්න පත්‍ර සොරකම් කිරීම ටියුෂන් ක්ෂේත්‍රයේ සුලබ සංසිද්ධියකි. දෙමව්පියන් සිය දරුවන් පංති යවන්නේද, සිසුන් වඳින්නේ පුදන්නේද එවැනි සොරුන් වෙතය. 

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක මිනිසුන් මනින්නේ ඉතා පැහැදිලිවම ධනයෙනි. ටියුෂන් ගුරුවරුන් වාහන මාරු කරන්නේත්, තිරිහන් වන්නට උත්සාහ කරන්නේත් ඒ වෙනුවෙනි. පාසල් සිසුන් අනුගමනය කරන්නේ මේ ධනකාමීන් මිස වෙනත් පරමාදර්ශ නොවේ. 

සිසුන් ටියුෂන් පංති යන්නේ  ගුරුවරයා තමන් නිකම් සිටියත් විභාග සමත් කළහැකි ප්‍රාතිහාර්යකරුවකු ලෙස සලකමිනි. උදාහරණයක් ලෙස, පසුගිය කෙටි කාලය තුළ ඉංග්‍රීසි ටියුෂන් දැන්වීම් පරිණාමය වී තිබෙන ආකාරය බලන්න. දැන් එක් දිනකින් ඉංග්‍රීසි උගැන්වීමට සමත් ගුරුවරු පවා දැන්වීම්වල සිටිති.

සමස්ත සමාජයම ‍සොයමින් සිටින්නේ ප්‍රාතිහාර්යයන්ය. මව්පියන් සිය දරුවන් දොස්තරවරු වැනි වෘත්තිකයන් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ ඉතා ඉක්මණින් මුදල් හා සමාජ තත්වයක් හම්බ කරගන්නටයි. ධන හා බල හිනිපෙතේ වේගයෙන් ඉදිරියට යන්නට මාර්ගය දේශපාලනයයි. 

කාටත් අවශ්‍ය ඉතා ඉක්මණින් මුදල් උපයන්නටය. වාහන මාරු කරන්නටය. තට්ටු පිට තට්ටු ගෙවල් හදන්නටය. රට යන්නටය. ජාතික ධනය සූරාකන්නටය. 

මේ මාර්ග වෙත ඉක්මණින් පිවිසෙන්නට ප්‍රාතිහාර්ය අවශ්‍යය. ඒ නිසා තව පිරිසකට ප්‍රාතිහාර්යකරුවන් ලෙස පෙනී සිටීමෙන් ධනවතුන් හා බලවතුන් බවට පත්වීමේ අවස්ථාවක් ලැබී තිබේ.

ඒ ප්‍රාතිහාර්යකරුවන් අතර තවත් ඇතැමෙක් දාර්ශනික ගැලවුම්කරුවෝ ලෙස පෙනීසිටිති. ඔවුහු බණ කියති. ජනප්‍රිය බණකාරයන් වන්නට තරග කරති. බණට මුදල් අයකරති. විමුක්තියටත් මාකට් එකක් තිබේ.

මේ සටහන සම්පූර්ණ නැත. මන්ද, ප්‍රශ්නය සංකීර්ණ නිසාය. අවශ්‍ය අප මේ ගැන කතාකිරීම මිස මුල, මැද, අග සම්පූර්ණ විග්‍රහ නොවේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

12 comments:

  1. 100% හරි විග්‍රහයක් පෑරා.

    ධනවාදී ක්‍රමය තුල ඝන වූ සියල්ල දියවේ ශුද්ද වූ සියල්ල කෙලෙසේ කියල්ලා මීට අවුරුදු ඵකසියගානකටම කලින් 'මාක්ස්' කිව්වේ මෙන්න මේවා ගෑනම තමයි.
    තුප්පහි ක්‍රමය පවත්වාගේ යන්න අධකපරිබෝජනවාදය ඉස්මතුකිරීමත්, ක්‍රමයේ අඩුපාඩු වහගන්න ජාතිවාදය, මිත්‍යාව, දේව වාදය වගේ පුස්වෙඩි පිපිරවීමත් මේක්‍රමයේ අනිවාර්ය අoගයන් තමා.
    අන්තිමට බලපුහාම සියලු ධනය හා බලය ප්‍රාග්ධන හිමියන්ට සහ දේසපාලුවන්ටත් පනපිටින් පිලිස්සීම කිරිදරුවන්ටත් තමා උරුම.
    මේවා මේ ක්‍රමයේ අනිවාර්ය ලක්ශන මිස වෙනයමක් නෙවෙයි.අපේ මෝඩ මිනිස්සු ධනවාදී හෑලිය රත්වෙනකන් දියකෙලකෙල ඉන්න කකුලුවෝ වගේ තමා.ක්‍රමය විසින් තමා සහ තම පවුල බිලිගන්නකන්ම දන්නෙ නෑ.

    ReplyDelete
  2. මේ අතරතුර පැන්සොන් ගිය විප්ලවවදියෝ විකාර ලියති

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවෙන් ගු ඉල්ලගෙන ගු කන්නේ හරි හමන් උගත්කමක් නැති ගොබ්බයන්ය.
      මේ ආණ්ඩුවට ගෑවුන කාට හෝ බනින විට උන්ට අම්බානකට රිදෙති, මන්ද කෑ ගු වල කෙළෙහිගුණය ඔවුන්ගේ රුධිරයේ දුවන බැවිනි

      Delete
  3. උඩු දුවන රෝගයක ඇරබුම තමා ඔය. විකල්ප සෙවිය යුත්තේ සමාජියම වශයෙනි.

    ReplyDelete
  4. supiri. Best of 2012

    ReplyDelete
  5. Please Read
    http://142.4.27.83/

    ReplyDelete
  6. ////ටයි ඇඳගෙන, එක්ස්කියුස් මී, සොරි ආදිය කියමින් ව්‍යාජ සමාජශීලීත්වයකින් හැසිරෙන, තමන් යටතේ වැඩකරන අය ඉලක්ක සපුරාගැනීම සඳහා හරකුන් සේ දක්කන, මිනිස් සම්බන්ධකම්වලට වඩා ඇඳුම, කාරය, නිවස ගැන සැලකිලිමත් වන මෙවැනි වෘත්තිකයෝ කොතෙකුත් සමාජයේ සිටිති.///

    100% correct ..

    ReplyDelete
  7. ///මේ සටහන සම්පූර්ණ නැත. මන්ද, ප්‍රශ්නය සංකීර්ණ නිසාය. අවශ්‍ය අප මේ ගැන කතාකිරීම මිස මුල, මැද, අග සම්පූර්ණ විග්‍රහ නොවේ.///

    @Editor
    අප කතා කල යුත්තේ කවුරුන් සමගද ? සමාජීයව අගතියම සොයා දුවන්නන් වාලේ ඔහේ දුවන තම දරු පවුල මරා නෑඹුල් කෙල්ලන් සමග යහන් ගත වන්නට පෙරුම් පුරන "විද්වත් වෘත්තිකයන්" සමගද, ධනයෙන් සිරුර වසාගත් මිනිස් සර්පයින් සමග නිදි වදින්නට පෙරුම් පුරන කෙල්ලන් සමගද ? එයට උත්තරය නැත කියන සාධු ජනයින් සමගද ? ඔව් කියන සමාජ පෙරලිකරුවන් සමගද?

    මමද මේ අහන දකින දේ කෙසේ වන්නේ දැයි සිතාගනු බැරිව වික්ෂිප්තව සිටිමි.

    ReplyDelete
  8. මෙයට තවත් සමාන්තරයක් දැක්විය හැකිය. පළමු ලෝක යුද්ධය අවසානයේ සිට 70 දශකය දක්වා මද පෙරදිග රටවල් ලෝකයේ සෙසු රටවල් හා සමග එකම දිශාවට ගමන් කරමින් තිබූ අතර කලාපයද (සමස්තයක් වශයෙන් ලෝකයද)එහි ප්‍රතිලාභ ලැබුවේය. මද පෙරදිග (පළමුවත්, සෙසු රටවල් ඉන් පසුවත්) ඉස්ලාමීකරණය වීමෙන්, කරවීමෙන් පසුව අවිද්‍යාවත් මූලධර්මවාදයත් අගය කලයුතු දේ ලෙස හුවා දක්වනු ලැබුණි. මිනිසෙකුට තමන්ගේ පාඩුවේ ඉගෙනගෙන රැකියාවක් කරගෙන ජීවත් වීමට ඉඩ නැති රටවල් බවට මේවා පත්වුණි.

    අපත් යමින් තිබෙන්නේ ඒ පාරේම බව පෙනෙන්ට තිබේ. බුදු දහම ඉස්ලාම් දහමට වඩා වෙනස් බව ට යමෙකුට තර්ක කල හැකිය. අවාසනාවකට මෙන් අපට දැනටමත් දක්නට ලැබෙන ආකාරයට ධර්මයේ තියෙන්නේ කුමක්ද යන්නට වඩා මූලධර්මවාදීන් දක්වන අර්ථ දැක්වීම් මිනිසුන්ට සිත් අද ගන්නා ලෙස පෙනෙනු ඇත. අද ලංකාවේ අප දකින්නේ මේ පරිහානියේ මුල් අවස්ථාවන්ගෙන් එකකි.

    ReplyDelete
  9. මෙම පරිහානියෙන් ගොඩ එම අප ඉදිරියේ ඇති දෙවන්ත අබියෝගයකි. එම අබියෝගයට මුහුණ දෙන්න පුළුවන් බාල පරම්පරාවක් සැදීම මේ යුගයේ වගකීමයි. කව්රු කිව්වත් 01ත් මගේ රට 02ත් මගේ රට 03ත් මගේ රට විය යුතුය නැතුව මේ ප්‍රශ්නය විසදන්න අමාරුයි ඒ නිසාවෙන් රට බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සියලු දෙනා එක් වෙමු ජාතියේ නාමයෙන් වත්, සිංහලයන්ට ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි එක හොදට මතක තියාගනිල්ලා. soratha.kandegama@gmail.com

    ReplyDelete
  10. api me lipiya thewana asa blog ekata danawa.
    http://3rdeyecircle.blogspot.com/

    ReplyDelete
  11. මිනිස්සු හැම කෙනෙක්ම හොයන්නේ ජිවිතයේ සතුට. ඒත් ඒ සතුට කොහෙද තියනේනේ කියන එක අපි හුග දෙනෙක්ට තේරුම් ගන්න බෑ. රටේ බහුතරයක් වැඩට යන්නේ බස් එකේ නැත්නම් කෝච්චියේ. අපේ පොදු ප්‍රවාහන සේවයෙන් මිනිස්සුන්ට දුකක් මිසක් කිසිම ප්‍රසන්න හැගීමක් ඇති කරන්නේ නෑ. තැලිලා පොඩි වෙලා යන්න වෙනවා මදිවට කොන්දොස්තරගේ කුණු කතා අහගන්න ඕනේ. වෙලාවට වැඩට යන්න මහ පාන්දරින් ගෙදරින් පිටත් වෙන්න ඕනේ. ගෙදර එද්දී ආපහු රෑ වෙනවා. හම්බවෙන වැටුපෙන් ජීවිතය විදින්න පුළුවන් කී දෙනාටද? හැමදාම ජීවන සටන විතරයි බහුතරයක් දෙනාට. ඒ නිසා දෙමව්පියෝ හැම දෙනෙක්ම හදන්නේ තමන්ගේ දරුවන් ඉහළ වැටුපක් ලැබෙන රස්සාවක් හොයා ගන්න මග හදන එක. ඒ කියන්නේ මුලින්ම අධ්‍යාපන තරගයෙන් දරුවන්ව සමත් කරවන එක. අද ළමයෙක්ව පාසලකට දාගන්න කොච්චර අමාරුද. උපකාරක පන්ති කීයකට මේ ළමයින්ව යවනවාද? අන්තිමට අපිට බිහි වෙලා ඉන්නේ අතෘප්තියෙන් පිරුනු මිනිස්සු. තමන්ගේ දරුවන් බිරිද දෙමව්පියෝ එක්ක ජීවිතය විදින්න වෙලාවක් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ඔළුවලට දේශප්‍රේමය නාමයෙන් ආණ්ඩුප්‍රේමය පුරවන පාලකයෝ. මේ ඔක්කෝම නිකම් අච්චාරුවක් වගේ.
    රටක් හදන්න නම් ඒ රටේ මිනිස්සු හදන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හදන්න ඕනේ. ඉවසීම විනය වගේ දේවල් හදන්න ඕනේ. ඒවාට හොද ගුරුවරු ඕනේ. දකුණු කොරියාවේ ගුරුවරුන්ව සළකන්නේ ජාතිය ගොඩනගන්නන් ලෙස. අපේ රටේ දැන් ගුරුවරු වෙන්නේ වෙන රස්සාවක් හොයා ගන්න බැරි කට්ටිය එහෙමත් නැත්නම් ඉක්මනට ගෙදර යන්න ඕනේ කට්ටිය. හැගීමකින් ගුරුවරු වෙන අය හරිම අඩුයි. අනිත් අතට අඩු පඩියකට ගුරුවරයෙක් වෙලා ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න කතා කරන කොට අපි දේශද්‍රෝහින් වෙනවා නැත්නම් NGO කාරයෝ වෙනවා. අන්න ඒකයි හිතට දුක. අපි හැමෝම එකතු වෙලා අපේ පොඩි එවුන්ගේ ඔළුගෙඩි ටික හැදුවේ නැත්නම් කොච්චර පාරවල් වරායවල් හැදුවත් වැඩක් වෙන්නේ නෑ

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.