2012-02-29

ආණ්ඩුවේ අ‍ඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා

ලෝකයේ එක්, එක් යුගයන්හි පවතින පිළිගත් දේශපාලන බල අවකාශයන්ට අභියෝගාත්මක අන්දමින් කටයුතු කරන පාලකයන් මෙල්ල කිරීම සඳහා යොදා ගනු ලබන අවි අතර මානව හිමිකම් ප්‍රශ්න එකකි.


යම් රාජ්‍යයකට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කළ හැක්කේ එකී රාජ්‍යය මානව හිමිකම් කැඩීමේ හා එසේ කැඩූ අය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය සිටින විට ය.


යම් තීරණාත්මක දේශපාලන විපර්යාස සිදු වූ ස්ථානයන්හි මානව හිමිකම් කඩ වී තිබීම නිරීක්ෂණය කළ හැකි ය. එවැනි අවස්ථාවන්හිදී සිදු වූ දේශපාලනික විපර්යාසයෙන් පරාජයට පත් වූ පාර්ශ්වයන් ද මානව හිමිකම් ප්‍රශ්න මත එල්ලීම සාමාන්‍ය තත්වයකි.


ලංකාව සම්බන්ධයෙන් නිශ්චිතව කතා කළහොත් ලංකාව සිය මානව හිමිකම් වාර්තාව හොඳ අතට හරවා ගැනීම, ජාතීන් අතර සංහිඳියාව ගොඩ නඟා ගැනීම හා ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සාමය ස්ථාවර කර ගැනීම කළ යුතු දේ ය.


ඒවා කළ යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා නො ව ලංකාව එසේ කළ යුතු නිසා ය.


දැන් සිදු වී තිබෙන්නේ ලංකාවේ පාලකයන්ට රට තුළ ස්ථාවරත්වය හෝ ජාත්‍යන්තර දේශපාලන පිළිගැනීම හෝ ඇති කර ගන්නට නො හැකි වීමයි.


මේ අල්ල පනල්ලේ අයහපත් ආර්ථික කළමනාකරණය හා සීමාන්තික දූෂණ නිසා රටේ ආර්ථිකය ද පිරිහී, ජීවන වියදම දරා ගත නො හැකි තරමට ඉහළ ගොස් තිබේ.


දැන් පාලකයන් කරන්නේ විදෙස් බලපෑමට එරෙහිව ජනතාව උසි ගන්වා රට තුළ බලය රැක ගැනීමට උත්සාහ කිරීමයි. මෙය වනාහි  අතිශය අනතුරුදායක ක්‍රීඩාවකි.


මේ අනතුරුදායක ක්‍රීඩාවේදී උසි ගනුවනු ලබන ජාතිවාදී දඩ බල්ලන් බැඳ දැමීම ලෙහෙසි නැත. මන්ද, ඔවුන්ට ඔවුන්ගේ ම කියා න්‍යාය පත්‍ර ද ඇති බැවිනි.


ආණ්ඩුව වීදිවලට ජනතාව කැඳවා උද්ඝෝෂණ පවත්වන අතරේ ඊයේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා සමිබන්ධ ගුණදාස අමරසේකර විසින් නායකත්වය දෙනු ලබන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන එකමුතුවක් විසින් පිටකොටුවේ බෝධිය අසලදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කර ඇතැ බලය බෙදීම අහෝසි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී. ඒ සඳහා බල කරමින් ඔවුහු පෙත්සමකට අත්සන් දස ලක්ෂයක් එකතු කරති.


ආණ්ඩුව ඉන්දියාව ඇතුළු කලාපීය හා ලෝක බලවතුන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ෂේප් කර ගන්නට උත්සාහ කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කරන බව කියා ය.


ජාතිවාදී එකමුතුව එකී කාරණය මත ම ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් ආරම්භ කිරීම නියම අ‍ඟේ ඉඳන් කණ කෑමකි. ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබාගෙන එයින් ම පවතින ගමන් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට යත්න දරන මොවුහු ආණ්ඩුවට සිටින සැබෑ සතුරෝ ය.


ගුණදාස අමරසේකර පසුගියදා රත්නපුරයේ රැස්වීමකදී කළ කතාවකින් ඔහුගේ පාර්ශ්වයේ න්‍යාය පත්‍රය පැහැදිලි කෙරිණි.


"අද රට බාහිර හා අභ්‍යන්තර වශයෙන් අර්බුද දෙකකට මැදිවෙලා. අද ඒ බාහිර අර්බුදය ඉතාමත් බරපතළ තත්ත්වයකට ඇවිත්. ඉන්දියාව සහ බටහිර බලවේග අද ඉතාමත් තර්ජනාත්මක ස්‌වරූපයෙන් අපට කියනවා 13 ක්‍රියාත්මක කරන්න කියා. මේ රට බෙදන්න කියා. විශාල තර්ජනයක්‌ අදවෙනකොට තියෙනවා. අද මානව අයිතීන් කඩ කළාය යුද අපරාධ කළාය කියලා ඔවුන් අපව බය කරනවා.


"13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව උතුරට පොලිස්‌ බලතල හා ඉඩම් බලතල දෙනවානම් මේ කිසිම චෝදනාවක්‌ එන්නේ නැහැ. මෙවැන්නක්‌ ඇති කිරීමට හේතුව කුමක්‌දැයි කියා අපි බැලිය යුතුයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරලා දේශපාලන විසඳුමක්‌ හැටියට මේ රට බෙදන්නය කියන ප්‍රශ්නය තමයි මේ බාහිර අවුල.


"මේක දේශපාලන ප්‍රශ්නයක්‌ හැටියට අපි තේරුම් ගත්ත එකයි වැරැද්ද. ඉන්දියාව තමයි කිව්වේ මේ රටේ දෙමළ මිනිස්‌සුන්ට තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ කියා. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසට රට බෙදන්න ඉන්දියාව තමයි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලෙන් අප පිට පැටෙව්වේ.


....................


"මේකට පාර්ලිමේන්තු කමිටු පත්කරන්න ඕන නැහැ. ඇයි කට ඇරලා කියන්න බැරි මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැහැ. මම සූදානම් නැහැ තව දුරටත් දේශපාලන විසඳුමක්‌ දෙන්න කියලා."


ආණ්ඩුව වැඩ කරන්නේ මෙවැනි කේවට්ටයින්ගේ උපදෙස් මත නම් ඉතින් ආණ්ඩුවට අබ සරණ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-27

ජිනීවාහි වැදගත් කිසිවක් සිදු වන්නේ නැත.

අද සිට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් අරඹයි.


මෙම උද්ඝෝෂණ පිටුපස ඇත්තෙන් ම තිබෙන්නේ අන් කිසිවක් නො ව, රටේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වී තිබෙන ජීවන වියදම ඉහළ යාමේ තත්වයට එරෙහිව ජනතාව වීදි බැසීම වැළැක්වීමේ හා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ අවශ්‍යතාවයි.


මේ අවශ්‍යතාව ආණ්ඩුවේ නොම්මර එකේ හෙංචයියකු වූ එස්.එල්. ගුණසේකර අද දිවයිනේ මෙසේ අමු අමුවේ උච්චාරණය කරයි. "ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කර බටහිර ගැති පාලනයක්‌ රට තුළ ස්‌ථාපිත කිරීමේ අනතුරක්‌ ඇතිවී ඇති බැවින් බොරු උද්ඝෝෂණ නවතා බටහිර රටවල් ගන්නා උත්සාහය පරාජය කිරීමට ක්‍රමවත් ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා පැවසීය."


මෙහි බොරු උද්ඝෝෂණ යයි කියන්නේ ජීවන වියදම ඉදිරියේ සහන ඉල්ලා කරන උද්ඝෝෂණවලට ය.ජනතාවට බර පටවන ආණ්ඩුවේ දූෂණවලට හා නාස්තියට එරෙහිව කරන උද්ඝෝෂණවලට ය. බඩගින්නට කන්න ඉල්ලා වීදියට එන මිනිසුන්ට වෙඩි තැබීමට එරෙහිව කරන උද්ඝෝසණවලට ය.


මේ ආණ්ඩුවෙන් දේශපාලන වාසි රැසක් ලබා ගත් තවත් හෙංචයියකු වූ නලින් ද සිල්වා තර්කය ඉදිරියට ගෙන යන ආකාරයයි. "මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌ වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටියේ ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ සමුළුවට ගෙන එන යෝජනාව අප දිනුවත් පැරදුණත් මෙය සතියකින් අවසන් වන දෙයක්‌ නොවන බවය. ආර්ථික සම්බාධක පැනවීමේ සිට රට ආක්‍රමණ කිරීම දක්‌වා වූ තත්ත්වය වුවද සිදුවීමට හැකි බව ද ඊනියා යුද අපරාධ චෝදනා එල්ල කරමින් බටහිර රටවල් මේ උත්සාහ ගන්නේ නූතන යටත් විජිතකරණය ක්‍රියාත්මක කිරීමට යෑයි ද ඒ මහතා කීවේය."


මේ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසි වාරය අවසන් වූ පසුවත් මේ ආණ්ඩුව රැක ගැනීමේ වීදි බැසීම පවත්වාගෙන යා යුතු ය.


මොවුන්ගේ අපභ්‍රංස තරමක් අපැහැදිලි ය. " මේ රටේ කුඩා පිරිසකට පිටරටවල ජීවත්වන්නට හැකි ලෙස ග්‍රීන්කාඩ් ඇති බවත් ඒ අයට රටට මොනවා වුවත් ජීවිතය බේරාගෙන ඒ රටවලට ගොස්‌ ජීවත්වීමට හැකි බව ද ගුණසේකර මහතා තවදුරටත් පැවසීය."


ලංකාවේ සිටින ප්‍රසිද්ධ ම ඇමරිකන් පුරවැසියන් වන්නේ රාජපක්ෂ සහෝදරයින් වන ගෝඨාභය හා බැසිල් ය. ඇමති ඩලස් අලහප්පෙරුම ද ඇමරිකාවේ ස්ථිරව ජීවත් වූ අයෙකි.


මේ වනාහි ආණ්ඩුවෙන් කෑ කුඩුවල වන්දි ගෙවීමේ නිරුවත් ප්‍රයත්නයකි.


එහෙත්,දේශපාලනය දන්නා ජාතික හෙළ උරුම ධාරාව මීට වඩා බුද්ධිමත්ව වැඩේට බැස තිබේ. ආණ්ඩුව හෝ මහින්ද රාජපක්ෂ බේරා ගැනීමට වඩා තමන්ගේ මාර්ගය හෙළි පෙහෙළි කර ගැනීම වැදගත් බව දන්නා හෙළ උරුමය ඉන්නේ උපායමාර්ග අධ්‍යයනය කරන තැනක ය.


"වෙන්න පුළුවන් නරකම දේ මොකක්‌ද සම්බාධක පනවයි. ආර්ථිකය කඩාවැටෙයි. දේශපාලන වශයෙන් රට අස්‌ථාවර වෙයි. මේවාට මුහුණ දෙන්න සෑම අංශයකින්ම ජාතිය පෙළගැස්‌විය යුතුයි. වෙන කරන්න දෙයක්‌ නෑ. බටහිර රටවල් එක්‌ක අපිට ගහගන්න බැහැ. මේ පාර ඇමරිකාව ඇවිල්ලා තියෙන්නේ ගෙදර වැඩ කරලයි. උඹලාට දෙන්නම් වැඩේ කියලා. අනිත් රටවල් අල්ලගෙන තමයි වැඩේ කරන්නේ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් බලපෑම් කරන්නේ ඒකයි. මේක සීරු මාරුවෙන් විසඳගන්න පුළුවන් නම් හොඳයි," යි කියන්නේ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ය.


ආණ්ඩුවේ උපාය මාර්ගය විපක්ෂයට දැඩි අභියෝගයකි. විපක්ෂ්‍යට කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ සීරු මාරු සහිතව ය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මෙසේ උපාය මාර්ග තෝරයි. "විදෙස්‌ රටවල් හෝ සංවිධාන ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ ආණ්‌ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ නෛතික එකඟතා මුල්කරගනිමින් බව ද එනිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට හා සමානව ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ගවලට ද විරෝධය පළකළ යුතුයි."


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තත්වය පැහැදිලි කරන්නේ මෙසේ ය: "ජිනීවා නුවර පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්‌වීම පිළිබඳව රැස්‌වීමට ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට අමරිකා එක්‌සත් ජනපදය ගෙන ඇති ඒකමතික තීරණය පිළිබඳව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක්‌ ලැබී ඇති නමුත් මෙම යෝජනාව කවුන්සිලය මගින් සම්මත කළද එය හුදු කාල රාමුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ පමණක්‌ බැවින් කිසිදු නෛතික බලපෑමක්‌ නොමැති බවද වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. මෙම යෝජනාව පරාජයට පත්වුවද එයින් ගැටලුව අවසන් නොවනු ඇති බවත් ඊළඟ සැසිවාරයට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කළ හැකි බව අමතක නොකළ යුතු බවත් හේ පවසයි."


අප දකින පරිදි නම් ජිනීවාහි වැදගත් යමක් සිදු වන්නේ නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-25

ජිනීවා යන්න දේශප්‍රේමීන්ට ආරාධනා

මහජන සම්බන්ධතා ඇමතිකම මර්වින් සිල්වාට දුන් දිනවල ම අපි මහජනතාවෙන් ඉල්ලා අස් වුණෙමු. (කියවන්න මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය)


ඔබ තවම ඉල්ලා අස් වී නැතිනම් දැන් ඔන්න ඔබට වැඩක් තිබෙනවා ය. ඒ ආණ්ඩුව බේරා ගැනීම ය.


කියන විධියට නම් ආණ්ඩුව බේරා ගත යුත්තේ ජිනීවාහි සිටින යකෙකුගෙනි. 


මේ යකා මොන විධියේ යකෙකු‍දැයි අපට තේරෙන්නේ නැත. එය කියා දෙන්නේ ආන්ඩුවේ මාධ්‍ය විසිනි. ආණ්ඩුවේ මාධ්‍ය විසින් පෙන්වා දෙන පරිද නම් මුළු ලෝකය ම එකතු වී ලංකාවට කෙළවන්නට ලෑස්ති වෙමින් සිටියි. 


මේ වෙලාවේ ආණ්ඩුව බේරා ගැනීම සඳහා උද්ඝෝෂණය කිරීමට මහජනතාව වීදි බැසිය යුතු බව කියනු අසන්නට ලැබේ. එහෙත් වීදි බසින ජනතාවට ඩෙි නො තබන බවට නම් තවම සහතිකයක් නිකුත් කර ඇති බවක් දැන ගන්නට නැත.


මේ අවස්ථාවේ ආණ්ඩුවට අපි මෙසේ යෝජනා කරමු. මේ උද්ඝෝෂණය කල යුතුව ඇත්තේ මෙහි නො ව, ජිනීවාහි ය. ඒ සඳහා නැව් සීයක්වත් චාටර් කර මේ රටේ ඔය කියන මහජනතාව ගෙනියනවා නම් දේශප්‍රේමී ජනතාව වඩාත් සතුටු වනු ඇත. 


මේ දේශප්‍රේමී වැඩෙන් යුද අපරාධ චෝදනාවලට ලක් වෙනවා ය කියන අපේ නායයන්ට තවත් ගානක් හොයා ගන්නට වුණත් පුළුවන. මන්ද,‍ සවිට්සර්ලන්තයේ ගල් වන්නට කැමති දේශප්‍රේමී ජනතාව ඉල්ලන ගානක් දෙන්නට කැමති නිසා ය. 


දේශප්‍රේමීන් සවිට්සර්ලන්තයේ ගල් කිරීමෙන් තවත් දෙයක් කරන්නට පුළුවන. ඒ දේශප්‍රේමීන්ගේ ඩයස්පෝරාවක් හැදීමයි. එවිට දෙමළ ඩයස්පෝරාවටත්, දේශප්‍රේමීන්ගේ ඩයස්පෝරාවටත් එහේ කෙළ ගන්නට පුළුවන. එවිට කෙළ වන්නේ අපට නොව බටහිරයන්ට ය. 


අප එදා මහජනතාවගෙන් ඉල්ලා අස් වූ නිසා අපට දැන් කරන්නට දෙයක් නැත. අපි හිතන්නේ බඩ ගැන ය. තෙල් මිළ, විදුලි මිළ. බස් ගාස්තු, පාන් මිළ, ගෑස් මිළ ආදිය ගැන ය. 


දේශප්‍රේමී ජනතාවනි, ජිනීවා යන්න. අපි බඩ ගැන කතා කරමු. 


එහෙම කරනවා නම් ඇත්තට ම මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-22

මැත්වරණයට වැය වූ මුදල් සොයන්න සොරකමේ යන ජනතා නියෝජිතයෝ

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාවට තරග කර පරාජය වූ ව්‍යාපාරික අපේක්ෂකයකු තමා එම මැතිවරණය වෙනුවෙන් වැය කළ රුපියල් ලක්‍ෂ හතලිහක මුදල සොයාගැනීම සඳහා රාත්‍රී කාලයන්හිදී වෙළෙඳ සල්වලට ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.


එම පුද්ගලයා කුමන පක්ෂයක අපේක්ෂකයකු ද යන්න පුවතේ සඳහන් ව නැති අතර, ලංකාවේ වැඩි හරියක් දේශපාලන පක්ෂවල මැතිවරණ අපේක්ෂකයන් එක ම ආකාරයේ අය නිසා එහි වැදගත්කමක් ද නැත.


මේ පුද්ගලයා මැතිවරණයට වියදම් කළ මුදල සොයා ගන්නට ඍජුව ම දොරකමේ යෙදුණේ ය. මැතිවරණවලින් දිනූ අනෙක් අය කරන්නේ ද අන් යමක් නො වේ. ඔවුන් කරන්නේ කොන්ත්‍රාත් හා වෙනත් ජාවාරම් ඔස්සේ මහජන මුදල් සොරකම් කිරීම ය.


වෙනස කුමක් ද?


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-20

බොරු සහනාධාර එපා තෙල් මිල අඩු කරනු

ඉන්ධන මිල සංශෝධනයට එරෙහිව මීගමු ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ වුවමනාවට නොව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවට බව ද “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යනුවෙන් එහි වූ එක් සටන් පාඨයක සඳහන් වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව ද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවස යි.


තෙල් මිල සංශෝධනය නිසා ජනතාවට යම් අසාධාරණයක් වුණා නම් ජනතාව මුලින්ම කළ යුතු වන්නේ තමන්ට වූ අපහසුව පියවා ගැනීමට අවශ්‍ය තරම් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව හිටපු මාක්ස්වාදියකු වන මේ ඇමතිවරයා පෙන්වා දෙයි.


මේ ඇමතිවරයා වනාහි කලකට ඉහතදී ලෝක වෙළඳපොළේ මිළ ගණන් ඉහළ යන විට රටේ ද මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ අයෙකි.


“සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යන සටන් පාඨය වැරදි ද?


ඔන්න මේ දිනවල මහා සද්දයක් දමමින් භූමිතෙල් සහනාධාර කූපන් වගයක් බෙදා දෙමින් තිබේ. ඒවා දෙන්නේ විදුලිය නැති නිවාසවල ජීවත් වන පවුල්වලට ය. එක පවුලකට මසකට රු. 200ක් ම වටිනා කූපන් දෙනු ලැබේ. කඩුවෙලදී විමල් වීරවංශ ඇමතිතුමා සහභාගි වූ උත්සවයේදී 150කට මෙසේ භූමිතෙල් කූපන් දුන් බව වාර්තා වේ. ඒ අනුව රු. 30,000ක් ම වටිනා භූමිතෙල් කූපන් දී තිබේ. ඒවා බෙදා දුන් උත්සවයට අඩු ගණනේ රු. ලක්ෂ තුනක්වත් බිල් දමන්නට ඇත.


දැන් මේ කූපන්ලාභීන්ට කූපන් එකත් අතේ තියාගෙන දවස පුරා කරන්නට වැඩ තිබේ. දැන් ඔවුන් සමුපකාර කඩයට භූමිතෙල් එන්නේ කවදාදැයි නිතර සොයා බැලිය යුතු ය. එසේ එන දවසට උදෙන් ම ගොස් පෝලිමේ සිටිය යුතු ය. සහනාධාර භූමිතෙල් කවදා හෝ සමුපකාර කඩයට එන තෙක් පොඩි එවුන්ගෙන්, මීයන්ගෙන් කූපන් පත පරිස්සම් කර ගත යුතු ය. භූමිතෙල් කූපන් නො ලැබුණු දුප්පත්තු කූපන් ගන්නට අයදුම් කළ යුතු ය. අභියාචනා ලියාගෙන කන්තෝරු ගානේ යා යුතු ය.


මේවා කරන්නට ගිය විට දවසේ කුලියක් කර ගතමනාවක් සොයා ගන්නට ලැබෙන්නේ නැත.


මීට කලින් ත්‍රිරෝද සඳහා මෙවැනි ඉන්ධන සහනාධාරයක් හඳුන්වා දෙන ලදී. කිසිවෙක් එය ලබා ගත්තේ නැත. ඒ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ආණ්ඩුවේ කන්තෝරුවලින් එකී සහනාධාර ලබා ගන්නට වන්නට සිදු වන රස්තියාදුවේ මිළ ඉන්ධන සහනාධාරයට වඩා බෙහෙවින් වැඩි නිසා ය.


ආණ්ඩුවට මේ සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නට හොඳ තැනක් ඇත. ඒ ලංගමයි. ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. වැඩි කළ ලංගම බස් ගාස්තුව අඩු කළ හැකි ය. ලංගමට ඉන්ධන සහනාධාරයක් දිය හැකි ය. එසේ නො කර ලංගම බස් ගාස්තුව වැඩි කළේ ඇයි?


ලංගම සේවකයෝ බස් ගාස්තුව වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කළේ නැත. බොරු සහනාධාර එපා, බස් ගාස්තු අඩු කරන්නැයි උද්ඝෝෂණ කළේ ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම වැනි බස් මුදලාලිලා පමණි. විමල් වීරවංශගේ තර්කය එතැනට අදාළ නැද්ද? එතැනදී ක්‍රියාත්මක වුණ රාජ්‍ය නො වන සංවිධානය කුමක්දැයි ඇමතිවරයා රටට කියනවා ද?


ජනතාව මේ බොරු සහනාධාර ප්‍රතික්ෂේප කළ යුතු ය. මේවා ලැබෙන ඒවා නො වේ. ලැබුණත් ලැබෙන්නේ සුළු පිරිසකට පමණි. ඒ සුළු පිරිසට ද එකී සහනාධාරය ගැනීම සඳහා විඳින්නට සිදු වන පාඩුව අධික ය.


ආණ්ඩුව සහනාධාර දෙන්නට කරදර වන්නට ඕනෑ නැත. කළ යුත්තේ ඉන්ධන මත පනවා ඇති අධික බදු අඩු කිරීම හා තෙල් සංස්ථාවේ කටයුතු කාර්යක්ෂම කිරීම පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-18

ආණ්ඩුව රැක ගැනීම සඳහා වූ ඇමරිකන් කුමන්ත්‍රණ හඳුනා ගනිමු

මහින්ද රාජපක්ෂ පාලනයට ආවැඩූ ලංකාවේ ජනතාව මේ වන විට තමන් වැපිරූ බෝගවල අස්වනු  නෙළන සමය උදා වී තිබේ. 


රට හාරා තැනූ වලවල වතුර පුරවා පසුව වතුරට යට වූ ගල් කඩා ඉවත් කිරීම වැනි වැඩවලට හා චීනය සමග කළ නොරොච්චෝලේ ගල් අඟුරු ලදරම වැනි කොමිස් ජාවාරම් වෙනුවෙන් ගිනි පොලියට ගත් ණය ගෙවන්නට සිදු වීමත් සමග රටේ ජනතාවට අමාරු කාලයක් උදා වෙමින් තිබේ.  


දැන් පාලකයන්ට කරන්නට පුළුවන් එක ම දේ වන්නේ පොලිසිය, හමුදාව ලවා සාගින්න නිසා ‍වීදි බසින ජනතාවට වෙඩි තැබ්බවීමයි. 


ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වන විට මෙහි ද තෙල් මිළ වැඩි කරන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ මිනිසුන්ගේ ආණ්ඩුව දැන් එම බයිලාව ම කියමින් සිටියි. 


එතැනින් නො නැවතී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට රුපියල ද පා කර හරිමින් ඔවුන්ගේ ණය ලබා ගනු පිණිස පාත්තරය දිගු කරගෙන සිටියි. 


මේ සියලු පාපී පියවරවල විපාක ජනතාව පිටින් යවමින් තිබේ. 


වීදි බසින ජනතාව නො මඟ යවා සිය පාලනය රැක ගැනීම පිණිස ආණ්ඩුවට නැවතත් මහා බිල්ලෙක් ඕනෑ කර ඇත. එම කාර්යය ඉටු කරමින්, ‍අධිරාජ්‍ය ගැති, ඇමරිකන් පුරවැසියන්ගේ මේ ආණ්ඩුවට උපකාර පිණිස, මෙතෙක් ආණ්ඩුව ආරක්ෂා කළ ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් තවත් පුස්සක් බිඳින්නට සැරසෙන බව පෙනේ. 


ජගත් මානව හිමිකම් සමුළුවේ එළඹෙන සැසි වාරය ඒ සඳහා අවස්ථාවයි. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තීරණාත්මක පියවරක් නො ගෙන බොරු අඩව්වක් අල්ලන්නට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කළහොත්, එය පැහැදිලිව ම ලංකාවේ ආණ්ඩුව සමග අවබෝධයකින් යුතුව, මහින්ද රාජපක්ෂ පාලනයට රට තුළ සහයෝගය බල මුළු ගන්වා ගැනීම පිණිස කරන දෙයක් ලෙස තේරුම් ගත යුතු ය. 


මේ මොහොතේ ආණ්ඩුවට උපකාරී ලෙස කටයුතු කළ හැකි තවත් සංවිධාන තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) හා වෙනත් එවැනි විදේශාධාර මත යැපෙන රාජ්‍ය නො වන සංවිධාන ද, ඒවායේ නායක කාරකාදීහු ද මේ මොහොතේ ආණ්ඩුවට ජනතාව බිය වැද්දීම සඳහා අවශ්‍ය බාහිර සතුරා නිර්මානය කර දීමට කටයුතු කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 


චැනල් ෆෝ වැනි ජනමාධ්‍ය ද සිය කටයුතුවලින් අවසානයේදී සේවය කරන්නේ ලංකාවේ ආණ්ඩුවට ම ය. 


දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධ සංවිධාන ද ලංකාවේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ තිබේ.  ඔවුන්ගේ උපාය වන්නේ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ හැකියාවක් ඇති පාලකයකු දිගට ම බලයේ තබා ගැනීමයි. විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට සූදානම් නැති, එසේ ම ජාත්‍යන්තර වශයෙන් ගෞරවයක්, පිළි ගැනීමක් නැති, නිරන්තරයෙන් විවිධ චෝදනා මත ගර්හාවට පත් වෙමින් සිටින පාලකයකු ශ්‍රී ලංකාවේ බලයේ සිටීම ඔවුන්ට සිය ඊලාම් අරමුණ කරා යාමට ඉතා හොඳ ය. 


ආණ්ඩුව කල් බලමින් සිටින්නේ චම්පික රණවක, විමල් වීරවංශ, ගුනදාස අමරසේකර, නලින් ද සිල්වා, ඇල්ලේ ගුණවංශ හිමි ආදී වූ සිය ජාතිවාදී බැටෑලියනය පාරට බස්සවා ගන්නට පොටක් පෑදෙනතුරු ය. සාගින්න නිසා මතු වන සැබෑ ජනතා උද්ඝෝෂණ තරබාරු මධ්‍යම පංතික ජාතිවාදීන්ගේ ඊනියා දේශප්‍රේමී සංදර්ශනවලින් යටපත් කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගයයි.


ලංකාවේ ජනතාවට මේ මොහොතේ වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හෝ බොරුවට නඟන යුද අපරාධ ඝෝෂාව හෝ නො වේ. ආණ්ඩුවේ ඒ වැරදි සම්බන්ධයෙන් පියවර ගන්නවා නම් ඒ සඳහා අවුරුදු තුනක් පමණ තිබිණි. දැන් බොරුවට ඒවා මතු කර ගන්නේ වෙන මොකකටවත් නො ව, ජනතාව නො මඟ යවා, ආණ්ඩුව ආරක්ෂා කරගන්නට ය. 


මේ රටේ ජනතාවට අද තිබෙන ප්‍රශ්නය බඩගින්න පිළිබඳ දැවෙන ප්‍රශ්නයකි. ජනතාවට අවශ්‍ය සහන ය. ආණ්ඩුව ගෙදර යවන්නට ද ජනතාවට ඇත්තෙන් ම අවශ්‍ය නැත. ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට සහන දීමයි. යුද්ධය අවසන් කර තුන් වසරක් තිස්සේ ජනතාවට නො දුන් සහන මේ දුෂ්කර අවස්ථාවේ දීමයි. 


ආණ්ඩුව ඉන්ධන හා වෙනත් මාර්ගවලින් කරන ජනතා සූරාකෑම නැවැත්විය යුතු ය. කොටින් ම ඉන්ධන බදු කපා හැරිය යුතු ය. එයින් සිදු වන රාජ්‍ය ආදායම් අඩු වීම තුලනය කිරීම සඳහා දේශපාලකයන්ට කැප කිරීම් කිරීම ආරම්භ කළ හැකි ය. 


දේශපාලකයන්ට සිය ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කළ හැකි ය. මන්ද, රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් වැඩි වූ බස් ගාස්තුව ගෙවාගෙන මහජනතාවට ගමන් බිමන් යන්නට පුළුවන් නම් දේශපාලකයන්ට බැරි ඇයි? අනෙක, සපිරිවර සමගින් පීත්ත පටි කපන්නට රට පුරා දුවනවා වෙනුවට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී, පාර්ලිමේන්තුව රැස් නො වන කාලයට සිය ගම් ප්‍රදේශයට වී මහජනතාව සමග සිටින්නට පුළුවන. මහජන මුදලින් රට සවාරි යාම ද හැකි තරම් අඩු කළ හැකි ය. තීරු බදු සහන මත ලබා ගත් වාහන වෙනුවෙන් ගෙවිය යුතු සත්‍ය බදු මුදල වාරික වශයෙන් හෝ ආපසු ගෙවා දමා මේ දුෂ්කර අවස්ථාවේ ආණ්ඩුවට උදව් කළ හැකි ය. දේශපාලකයන්ගේ දූෂණ හා වංචා නවත්වනවා නම්,  ආණ්ඩුවේ පැවැත්ම තව ටික කලකට තහවුරු කර ගැනීම දුෂ්කර නැත. 


ජාතික ගැටලුවට විසඳුම් නො දීමේ ප්‍රශ්නය ද, යුද අපරාධ චෝදනා පිළිබඳ කතන්දර ද, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා ද පැත්තකින් තියමු. මන්ද, ඒවා වර්තමාන පාලකයින්ගේ සාමාන්‍ය පැවත්මේ කොටස් ය. 


මේ මොහොතේ ඉදිරියට ගත යුත්තේ ජීවන වියදම පිළිබඳ දැවෙන ප්‍රශ්නය පමණි. 


වඩා සංයුක්තව කිවහොත් අද දවසේ සටන් පාඨ විය යුත්තේ අන් කිසිවක් නො ව, පහත සඳහන් ඒවායි. 


තෙල් මිළ අඩු කරනු! 


විදුලි ගාස්තු අඩු කරනු!


බඩු මිළ අඩු කරනු!


පඩි වැඩි කරනු!


සහනාධාර කප්පාදුව නවතනු!


ලෝක වෙළඳපොළේ ඒවා මේවා වෙනවා ය කියා මෙහි ජීවන වියදම වැඩි කරන්නට නම් ආණ්ඩුවක් අවශ්‍ය නැති බවට ආණ්ඩුවේ ගැත්තන් ම එදා කළ ප්‍රකාශය යළි මතක් කර දෙමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-17

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් වහා වැඩි කරනු!

රුපියල් 50,000 ක පමණ වැටුපක්‌ද, ඉන්ධන දීමනා ලෙස රුපියල් 18000 ක්‌ ද, රුපියල් 3000 ක දුරකතන දීමනාවක්‌ සහ විනෝදාස්‌වාදය වෙනුවෙන් දීමනාවක්‌ ද ආදී වයෙන් රු. 80,000ක පමණ වැටුපක් හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ජීවත් වීමට එය ප්‍රමාණවත් නො වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න "පාර්ලිමේන්තුවේ විශිෂ්ට සම්ප්‍රදායන් පිළිබඳ ජාතික හමුව 2012" නම් සමුළුවකදී පවසා තිබේ.


පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකුට හොඳ වාහනයක්‌ සමග රුපියල් ලක්‍ෂයක, ලක්‍ෂ දෙකක පමණ වන වැටුපක්‌ හිමි වේ.


ඇත්ත ය. එහෙත්, ඒ වෘත්තිකයාට එකී පෞද්ගලික ආයතනය හිමි සේවායෝජකයා එකී වැටුප ගෙවන්නේ ඔහු එම ආයතනයට ඵලදායී සේවාවක් සපයන නිසා ය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවායෝජකයා මහජනතාවයි. මහජනතාව මොවුන්ට ගෙවන මේ වැටුප ද වැඩි ය. හේතුව ‍මන්ත්‍රීවරුන්ගෙන් සිදු වන ඵලදායී සේවාවක් නැති බැවිනි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් පිළිවෙලකට පාර්ලිමේන්තු රැස්වීම්වලට හෝ සහභාගි නො වෙති. ඔවුහු සාමාන්‍යයෙන් පාර්ලිමේනුතවේදී හෝ හරවත් කතාවක් කො කරති. මහජන මතය නියෝජනය නො කරති.


ඔවුහු එක පැත්තකින් ඡන්දය දිනා වාසිය පිණිස අනෙක් පැත්තට කරනම් ගසති. ආණ්ඩුවට සම්බන්ධ වී කොන්ත්‍රාත් ආදී ව්‍යාපාරවලින් හතර වරම් යටි මඩි ගසති.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඇත්තෙන් ම ලැබිය යුත්තේ සිරගෙදර සිරකරුවන්ට ගෙවන වැටුපයි.


එරාන් වික්‍රමරන්න වැනි වෘත්තිකයන් දේශපාලනයට එනවා නම් ඔවුන් උත්සාහ කළ යුත්තේ එහි භාවිතාව වෙනස් කරන්නට ය. එය පටන් ගත යුත්තේ වැටුපෙන් නො වේ.


සාමාන්‍ය මිනිසුන් සොරුන් වනුයේ ජීවත් වීමට සරිලන වැටුපක් නොමැති නිසා විය හැකි ය. එහෙත්, දේශපාලකයන් යන පිරිස සාමාන්‍ය මිනිසුන්ට වඩා කුමක් හෝ විශිෂ්ටත්වයක් ඇති පිරිසක් විය යුතු ය.


අපේ රටේ සිදු වන්නේ සොරුන් දේශපාලකයන් වීම ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-16

ආසියාවේ ආශ්චර්යයේ ඇමිබියුලන්ස් එකේ රෝද දෙකයි

මේ ආසියාවේ ආශ්චර්යයේ ඇම්බියුලන්ස් එකකි.


එහි පිටුපස ගෙන යන හිසට වෙඩි වැදුණු මිනිසා ආශ්චර්යයේ ධීවරයෙකි.


ඔහු උද්ඝෝෂනයට පොළඹවා ඇත්තේ කොටි සංවිධානය බව ආණ්ඩුවේ දිනමිණ කියයි.


එහෙම නැතිව තෙල් මිළ වැඩි කිරීම නිසා ධීවර රැකියාව කර ගැනීම‍ට නො හැකි වීමෙන් ජීවනෝපාය අහිමි වූ නිසා නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ

අපේ පාඨකයකු පෙන්වා දී ඇති පරිදි ඩීසල් මිළ වැඩි කර ඇත්තේ 37%කිනි. එහෙත් විදුලි බිල 40%කින් වැඩි කර තිබේ. 


විදුලි බල මණ්ඩලය එතැන ම 3%ක ලාභයක් ලබන බව ඔහු පෙන්වා දෙයි. 


මේ අප ගෙවන්නේ චීනයෙන් ආනයනය කළ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය නම් ලදරම වෙනුවෙන් චීනයෙන් ණයට ගත් ඩොලර් මිලියන 450 පොලියත් සමග ය. 


ජනවාරි 21 සිට ඒ ලදරම කැඩිලා ය. නැවත පණ ගන්වන දිනයක් තවමත් නැත. මීට පෙර ද එය සතියක් දිව්වේ නැත. 


රුපියල් හතරට විදුලි ඒකකයක් දෙන බවට පාරම් බාමින් මේ ගල් අඟුරු බලාගාරය හැදූ අය දැන් කියන්නේ එය කැඩුණු විට පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට දිනකට රු. මිලියන 80ක් වැය වන බවකි. 


විදුලි බල මණ්ඩල‍යට විදුලි ඒකකයක් ජනනය කිරීමට රු. 18ක් යන බව හා ඒකකයක් විකුණන්නේ රු. 13 ගණනේ බව ද මහජන උපයෝගිතා කොමිසම පසුගිය දිනවල පැවසී ය. 


මේවා මෙහෙම වුණේ පාලකයන්ගේ වැරදි තීරණ නිසා ය. අසීමිත දූෂණය නිසා ය. 


දැන් ඉතින් ආශ්චර්යය බැලූ යුගය අහවර ය. ඔන්න ඩොලරයත් නගිනවා ය.


කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ


ඉතින් අපි ගෙවමු උන් කළ පව්!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-15

විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කරමු

සකට ඒකක හැටකට වඩා විදුලිය පරිහරණය කරන ලංකාවේ අති බහුතරයක් විදුලි පාරිභෝගිකයන්ට අද සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් 40% ඉන්ධන ගැලපුම් ගාස්තුවක් හිමි වේ. 


විදුලි බිල වැඩි නො වන්නේ විදුලිය නැති අයට පමණි. 


අද සිට ගෙදර විදුලිය පරිහරණය නො කර රෑ කළුවරේ සිටීමෙන් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේ මහාන්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යායාමයට ඔබටත් උදව් කළ හැකි ය. මේ ජාතික ආර්ථිකයක් සෑදීම සඳහා ඇති අවසාන අවස්ථාව බව දී කිරට සාක්කි කියන ගුණදාස අමරසේකර පවසයි. 


මෙන්න විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කිරීම පිණිස අපෙන් පුංචි ටිප්ස් කීපයක්.


ඉර බහින්නට පෙර සියලු කටයුතු නිමවා වේලාපහින් නිදා ගන්න. රෑ මිද අවදි වුණොත් බිරිඳ සමග සංසර්ගයේ යෙදෙන්න. බිරින්දෑවරු නැතිනම් ස්වයං වින්දනයේ යෙදෙන්න. එවිට නැවත නින්ද යනු ඇත. 


ඉර උදා වූ පසු අවදි වන්න. ළිප් බැඳ ගිනි මොළවා උයා කන්න. රෙදි පෙරෙදි ගඟට ගොස් සෝදා ගන්න.


හැබැයි නො වරදවා ම ජාතික හා ස්වාධීන රූපවාහිනී නම් බලන්න. ආසියාවේ ආශ්චර්යය ඔබ දෑස් ඉදිරිපිට මැවෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මළ මිනී මහ මග දැවෙන නව යුගයකට ආසිරි

අපේ වීරයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු ආදියට බිය නැති පිරිසක් බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් තිබේ. 


එසේ කරන්නේ මහ දවාලේ දහස් ගණනක් ඇස් ඉදිරිපිට ලංකාවේ ප්‍රධාන ම අධිකරණ භූමියේදී, අධිකරණයට ඉදිරිපත් කරන්නට ගෙන ආ මත්ද්‍රව්‍ය සැකකරුවන් පැහැර ගෙන යාමෙන් හා කොළඹ නගර මධ්‍යයේ මග දෙපස මහ දවල් මිනිසුන් මරා පිළිස්සීමෙනි.   


අප දන්නා හොඳ ම ජන ඝාතකයකු වන ප්‍රේමදාස හෝ කොළඹදී මේ අන්දමින් හැසිරුණ බවක් මතක නැත. 


ප්‍රේමදාස පන්නයේ එඩිතරකමක් දැන් අපේ වීරයන්ට ද අවශ්‍ය ය. මක් නිසා ද යත්, ඉදිරියෙන් ඇත්තේ කුම්බලා මාළු කෑ බළලුන් හා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මූණට මූණ බලාගෙන එකට රිඹ දමන සමයකි.


වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන පිළි‍වෙත් පල දෙමින් තිබේ. 


අපේ වීරයන්ට හා ඔවුන් වීරයන් කළ අපට ජය වේවා! 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-12

ෆොන්සේකාට ආණ්ඩුවෙන් නිදහස නො ලැබෙනු ඇත.

මේ දිනවල නැවතත් සරක් ෆොන්සේකා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. 


ඔහු සිරගත කර වසර දෙකක් ගත වීමත් සමග ම ආණ්ඩුව ඔහු නිදහස් කරනු ඇතැයි ජනමාධ්‍ය විසින් බලාපොරොත්තු, සංවාද ඇති කෙරෙමින් තිබේ. 


ජනවාරි පළමුවෙනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද, ඉන්පසු පෙබරවාරි සිව්වැනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද කියැවෙමින් තිබී, ඒවා ඉටු නො වූ තැන දැන් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඔහු නිදහස් කෙරෙනු ඇතැයි කියැවෙමින් තිබේ. 


අපේ නිරීක්ෂණය අනුව නම්, මෙසේ කියැවෙමින් තව සිංහල අවුරුදු බොහෝ ගණනක් ගත වනු ඇත.  ෆොන්සේකා නිදහස් කිරීම ද ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සේ හැමදාමත් කතා කරමින් සිටින, එහෙත් කිසිදා සිදු නො වන දෙයකි. 


මේවා ගැන බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන්නෝ එල්ලී පැද්දෙන එළුවාගේ වෘෂණ කෝෂ කන්නට එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරි වැනි ය.


මේ අතර, තවත් නඩු දෙකකින් ද ෆොන්සේකාගේ සිර දඬුවම් තවත් දීර්ඝ කර දීමට ආණ්ඩුව වග බලා ගන්නා බව සිකුරු ය. 


ෆොන්සේකාට නිදහස ලබා ගැනීමට නම් ඔහු ලිඛිතව සමාව ඉල්ලිය යුතු බව ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ අද දිවයිනට පවසා තිබේ. 


ලිඛිතව සමාව ඉල්ලුවත්, නිදහස ස්ථිර නැත. මන්ද, පාලකයන්ට අවශ්‍ය සමාව ඉල්ලීමේ ලියුම ම නො ව, තමන් බිය වද්දන ෆොන්සේකාගේ පෞරුෂය බිඳ දැමීම වන බැවිනි. 


යුද්ධයේදී ලද තුවාල නිසා භංගුර තත්වයක පවතින ෆොන්සේකාගේ ශරීර සෞඛ්‍යය ස්ථිරව පිරිහෙන මොහොතක නම් ඔන්න ඔහුට මේ පාලකයන්ගෙන් නිදහසක් අපේක්ෂා කළ හැකි ය. 


ඒ වනාහි මැරෙන්නට දෙන නිදහසක් මිස , පාලක පවුල බිය වද්දමින් ආපසු දේශපාලනය කරන්නට ලැබෙන නිදහසක් නො වේ. 


ලංකාවට නිදහස ලැබුණා සේ ෆොන්සේකාට ද නිකම් ම නිදහස ලැබේ යයි සිතා සිටින යුද්ධය කාලයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ මිනිසුන්ට අපට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ දෑත් පොරවා බලා සිටින තාක් කල් ඔහු හිරේ ම සිටිනු ඇති බවයි. 


ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වන අරගලයේදී, අපට නම් ඔහු වීරයකු වන්නේ,  පාලකයන්ගේ තිරශ්චීන මර්දනය සංකේතවත් කරන දේශපාලන සිරකරුවකු බවට ඔහු පත්ව ඇති බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-11

හිඟන්නාගේ පාත්තරයට ආණ්ඩුව වසා ඇත

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වසා ඇත.


ලංකාවේ හෙනහුරා ආණ්ඩුවයි.


ජාතික දිළිඳු සහන දීමනාව වන සමෘද්ධි දීමනාව මාස තුනකින් ගෙවා නැත. මේ වන විට දිවයින පුරා සමෘද්ධි සහනාධාරය ලබන පවුල් පහළොස් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය පහළොවක් (1,574,615) සිටිති. පවුලක සිව්දෙනෙක් සිටිතියි ගණන් බැලුවොත් මේ ජනගහණය ලක්ෂ 60කි. රටේ සමසිත් ජනගහණය ලක්ෂ 200කි.


සමෘද්ධි දීමනාව යනු උපරිමය රු. 1200ක දීමනාවකි. ලංකාවේ සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් පමණ සමෘද්ධි දීමනාවෙන් ජීවත් වන දිළින්දෝ ය.


අඩු ආදායම්ලාභීන්ට කාණ්ඩ 08 ක් යටතේ දැනට දෙනු ලබන සමෘද්ධි දීමනාව ඉහළ දැමීම සඳහා 2012 අයවැයෙන් යෝජනා කර ඇතැයි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.


ඒ අනුව රුපියල් 210 සිට 615 දක්වා කාණ්ඩය යටතේ වන සමෘද්ධිලාභීන්ගේ දීමනාව රුපියල් 750 දක්වා වැඩි කිරීමටත් රුපියල් 900 සමෘද්ධි දීමනාව රුපියල් 1200 දක්වා වැඩි කිරීමටත් තීරණය කර ඇති බව ජනාධිපතිතුමා පැවසීය.


මසකට රුපියල් 1200ක දීමනාවෙන් ජීවත් වන්නන් සිටින මේ රටේ ඒකපුද්ගල ආදායම 2016 වන විට ඩොලර් 4000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි.


ඒ බයිලා මොනවා වුණත්, දැන් රටේ එකපුද්ගල ආදායම ඩොලර් 2000ක් යයි කියනු ලැබේ. එසේ නම්, රටේ සෑම පුරවැසියකුගේ ම වාර්ෂික ආදායම අඩු ගණනේ රු. 200,000කට අධික විය යුතු ය. ඒ කියන්නේ සෑම පුද්ගලයකුගේ ම මාසික ආදායම රු. 16,000ක්වත් විය යුතු ය. එහෙම වෙනවා නම්, මෙතරම් දිළින්දන් රටේ ඉන්නේ කෙසේ ද?


ගොවීන්ගෙන් අය කර ගත් මුදලින් ගෙවනු ලබන ගොවි විශ්‍රාම වැටුපට ද මේ අන්දමින් ම කණ කොකා හඬා ඇත.


මේවායින් දිවි ගැට ගසා ගත් අසරණ දිළින්දන් විශාල පිරිසක් මේ වන විට කබලෙේ ලිපට වැටී සිටිති.


ආණ්ඩුව මහ ලොකු ආර්ථික සමෘද්ධියක් ගැන කතා කරන්නේ තත්වය මෙසේ තිබියදී ය.


අපේ රටේ ආර්ථික ඉලක්ක විය යුත්තේ මේ දිළින්දන් දිළිඳුකමින් මුදවා ගැනීම මිස සමෘද්ධියේ ඉලක්කම් විජ්ජා පෙන්වීම නො වේ. ඉලක්කම් විජ්ජාවලින් ප්‍රකාශ වන්නේ ආදායම් විෂමතා පමණි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-09

ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනය අතර ඇති වෙනස හෙවත් ක.දේ.රෙ.වු.පු.

මේ දිනවල ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත සභාවේ රසවත් සිද්ධියක් සිදු වෙමින් තිබේ. 


ප්‍රාන්ත සභාවේ රැස්වීමක් පැවැත්වෙමින් සිටියදී ජංගම දුරකථනයකින් නිල් චිත්‍රපට දර්ශනයක් නරඹමින් සිටි බවට චෝදනා ලද මන්ත්‍රීන් තිදෙනෙකුට ඉල්ලා අස් වීමට සිදු වී තිබේ. 


ඔවුන් කරමින් සිටි කාර්යය ආරක්ෂක කැමරාවලට හසු වූ අතර බැංගලෝරයේ ජනමාධ්‍ය විසින් එයට පුළුල් ප්‍රචාරයක් දෙන ලදී. 


කර්නාටකයේ පාලක පක්ෂ්‍ය වන භාරතීය ජනතා පක්ෂය හින්දු පාරිශුද්ධවාදයක් ප්‍රවර්ධනය කරන වර්ගවාදී පක්ෂයක් වන අතර ඔවුන්ගේ ඇමතිවරුන් කර්නාටක ප්‍රාන්ත සභා භූමිය තුළ නිල් චිත්‍රපට බලා අසු වීම එම පක්ෂයට බරපතල ගැටලුවක් වී තිබේ. 


ප්‍රාන්ත විපක්ෂයෙන් නැ‍ඟෙන චෝදනා හමුවේ දැන් භාරතීය ජනතා පක්ෂය පවසන්නේ අදාළ ඇමතිවරුන්ට ඉල්ලා අස් වන්නට කීමෙන් තමන් විනය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කර ඇති බවයි. 


එහෙත්, කොංග්‍රස් පක්ෂය උද්ඝෝෂණය කරන්නේ අදාළ වරද ප්‍රාන්ත සභාවට කළ අපහාසයක් නිසා ඇමතිවරුන් තිදෙනා අත්අඩංගුවට ගත යුතු බවයි. 


අප මෙම සිද්ධිය මෙහි වාර්තා කරන්නේ මේ නිල් චිත්‍රපට කෑල්ලේ අපට කිසිදු විශේෂත්වයක් ඇති නිසා නො වේ. 


ඉන්දියාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන භාවිතාව හා ලංකාවේ දේශපාලන භාවිතාව අතර වෙනස පෙන්වන්නට ය. 


ප්‍රජාතන්ත්‍රවාදය ඉන්දියාවේ දේශපාලන මූලධර්මයයි. 


ලංකාවේ දේශපාලන මූලධර්මය ක.දේ.රෙ.වු.පු. ලෙස හැඳින්විය හැකි ය.   


ක.දේ.රෙ.වු.පු. යනු කුමක්දැයි ඔබ දන්නවා ද?


කපුවාට දේවාලේ රෙන්න වුණත් පුළුවන්.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-06

ඉන්දියාවට එකකුත්, ලංකාවේ ජනතාවට තව එකකුත් නො කියා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කීම ආණ්ඩුවේ වගකීමකි

රුපියල රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට විනිමය සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් දෙසැම්බර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක්‌ දක්‌වා පහත වැටී තිබේ. මෙම විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 3.6ක ආනයන සඳහා පමණි.


විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා රජයට ඇති ප්‍රායෝගික විසඳුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සපයනු ලබන ණයෙහි අවසන් වාරිකය ලබා ගැනීමයි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් වන්නේ ද රුපියල රැක ගැනීම සඳහා රජය ගනු ලබන පියවර අත්හැරීමයි.


රුපියල අවප්‍රමාණ වූ විට ඇති වේ යි බලාපොරොත්තු විය හැකි අධික ලෙස බඩු මිළ ඉහළ යාම වැනි ආර්ථික සාධකහමුවේ ආණ්ඩුව බියපත් වී තිබේ.


ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ‍ස්ථිර දේශපාලන විසඳුමක් යෝජනා කිරීමට ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ ද ඒ අව් අස්සේ ය.


මේ වනාහි බොහෝ කාලයකට පෙර කළ හැකිව තිබූ දෙයකි. අදූරදර්ශීකම හා අවස්ථාවාදී අමනකම නිසා ආණ්ඩුව හැමදාමත් කළේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නො දී කල් ගැනීමයි. මේ කල් ගැනීම අන්තයක් කරා යන බව ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබිණි.


ආර්ථිකය සම්බන්ධයෙන් ද තත්වය එසේ ය. පැලැස්තර දමමින් මතුපිටින් වෙදකම් කරමින් තිබියදී ආර්ථික තුවාලය ඔඩු දිවූයේ ය.


මෙතෙක් කල් ගත් කිසිදු පියවරකදී විපක්ෂයේ හෝ රටේ ජනතාවගේ අදහස් නො විමසූ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී වන්නට යාම විහිළුවකි.


ආර්ථිකය සම්බන්ධයෙන් නම් දැන්වත් විරුද්ධ පක්ෂවල හෝ ජනතාවගේ අදහස් විමසීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැත.


සියලු බලය සියතට ගොනු කර ගත් රාජපක්ෂ පාලනය දැන් මේ ප්‍රශ්නවලට විසඳුම් දීමේ වගකීමෙන් කර අරින්නට දරන උත්සාහයට ඉඩ දිය යුතු නැත.


ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රාමුව ඉක්මවා යන්නට ඉන්දියාවට කැමැත්ත පළ කළ ආණ්ඩුව දැන් රටට ‍අනෙකක් කියයි.


ආණ්ඩුවේ කල් ගැනීමේ අලුත් ම උපාය තේරීම් කාරක සභාවයි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය ආණ්ඩුවෙන් අසන සාධාරණ ප්‍රශ්නයක් තිබේ. තේරීම් කාරක සභාවට ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනාව කුමක් ද? පොදු සාකච්ඡාවකින් තීරණ ගන්නට පුළුවන. එහෙත් සාකච්ඡාවට එන ආණ්ඩුවට සාකච්ඡා කරන්නට අදහසක් තිබිය යුතු ය.


ආණ්ඩුවේ අදහස කුමක් ද? ඉන්දියාවට එකකුත්, ලංකාවේ ජනතාවට තව එකකුත් නො කියා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කීම ආණ්ඩුවේ වගකීමකි.


එක ම සෙල්ලම හැමදාම කරන්නට බැරි ය. මෙතෙක් කල් නො තිබූ මහා ප්‍රජාතන්ත්‍රවාදයක් එක පාරට ම ඕනෑ ද නැත. බලය ඔබ අතේ ය. තවමත් හැන්ද ද අතින් අත හැර නැති ඔබ ප්‍රශ්නවල වගකීම ද භාර ගත යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-05

64 වැනි ජාතික නිදහස් උළෙල

64 වැනි ජාතික නිදහස් උළෙලේ රසවත් ඡායාරූපයක්. පළ වුණේ සිළුමිණේ ය. ඡායාරූපය ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාගේ ය. 


ඔබ සිතන පරිදි මේ ඡායාරූපයෙන් කියවෙන්නේ කුමක් ද? සටහන් කරන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-04

පොලිස් හා ඉඩම් බලතල ගැන ඩග්ලස් දේවානන්දා

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි විසඳුමක් ලෙස බලය බෙදා ගැනීමේදී පොලිස් හා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන ම දෙමළ හවුල්කාර පක්ෂය වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා පවසයි.


ඔහු කියන පරිදි ජනාධිපතිතුමා පොලිස් හා ඉඩම් බලතල දීමට කැමති දේවානන්දාට පමණි. රජවරු හා හෙංචයියන් දේශපාලනය ගැන හිතන හැටි!

Questioned, if the EPDP wanted land and police powers for the North and East, he said it was "essential’ but right now there was extreme suspicion at the very mention of the two words.

"What I would suggest is that we forget about the subjects of land and police for the moment and deal with the other problems faced by the northern and eastern people, until greater trust is established between the Tamil and Sinhala communities," the EPDP leader said adding that when the apprehensions and fears had gone the contentious issues could be discussed.
-The Island, February 04, 2012

දේවානන්දා කියන්නේ සිංහල -දෙමළ ජනතාවන් අතර විශ්වාසය ගොඩනැ‍ඟෙන තෙක් පොලිස් හා ඉඩම් බලතල පිළිබඳව මොහොතකට අමතක කරමු කියා ය.


සිංහල හා දෙමළ ජනතාවන් අතර අවිශ්වාසය සත්තකින් ම දේශපාලන විසඳුමක් සඳහා ඇති ලොකු ම බාධාවයි.


මෙම අවිශ්වාසය පෝෂණය කරන ප්‍රධාන ම සාධක වන්නේ ජාතිවාදයෙන් යැපෙන දෙපාර්ශ්වයේ ම දේශපාලකයෝ හා ජනමාධ්‍යයි.


මේ තත්වය පාලනය කිරීමේ නො හැකියාවක් පාලකයන්ට නැත.ඔවුන්ට නැත්තේ උවමනාවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-03

පොලිස් හා ඉඩම් බලතල කැප දේශපාලුවන්ට විතරලු - ඊනියා දේශප්‍රේමී ගුණදාස අමර‍සේකර කියයි

බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියා ඊනියා පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල මහජනයා ඉල්ලන්නේ නැති බව. එතුමා කියා තිබුණා මහජනයාට අවශ්‍ය වගා කරන්න ඉඩම් මිස ඉඩම් බලතල නොවන බව. එසේම ඔවුන්ට අවශ්‍ය පොලිස්‌ ආරක්‍ෂාව මිස පොලිස්‌ බලතල නොවන බවද එතුමා කියා තිබුණා. එතුමාට අනුව ඊනියා පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේ බලලෝභී දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් සහ ඔවුනට උඩගෙඩි දෙන ඉන්දීය රජයයි.
-දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර


ඊනියා දේශප්‍රේමී ගුණදාස අමරසේකරගේ මේ කතාවෙන් එක් කරුණක් පැහැදිළි වේ. එනම්, මෙකී ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන බලය ජනතාවට නැති බව හා එසේ තිබීම අනවශ්‍ය බව අමරසේකර සිතා සිටින බවයි.


ඔහුට අනුව බලතල තිබිය යුත්තේ සිංහල දේශපාලනඥයන් අත ය. දෙමළ දේශපාලනඥයන් අත නො වේ. සිංහල මෙන් ම දෙමළ ජනතාව ද සිටිය යුත්තේ හිස් අතින් ය.


මේ තර්කය අනුව ගියහොත්, ජනතාවට ඡන්ද බලය ඕනෑ නැති බවට හා ජනතාවට ඕනෑ ඡන්දය පමණක් බවට ද තර්ක කළ හැකි ය. දැනටත් පවතින ක්‍රමය අනුව ජනතාව දෙන ඡන්දය කුමන හෝ ජිල්මාට්ටුවක් දමා තමන්ගේ බලය බවට පත් කර ගැනීමේ ක්‍රමය මේ තර්කය අනුව හරි ය.


බැසිල් රාජපක්‍ෂ මහතාට අනුව ජනතාවට අවශ්‍ය වන්නේ ආර්ථික සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිස ඊනියා බලය බෙදා ගැනීමක්‌ නොවේ. බලය බෙදා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ බලලෝභී දෙමළ ජාතිවාදී නායකයන්ට පමණක්‌ බවද අමරසේකර පවසයි.


ප්‍රජාතන්ත්‍රවාදය යනු බලය බෙදා ගැනීමක් බව මෙකී ඊනියා විද්වතා දන්නේ නැති බව පෙනේ. රජවරුන් හා ඒකාධිපතියන් වැනි පාලකයන් අත ඇති දේශපාලන බලය ජනතාව අතට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි. දේශපාලන බලය ජනතාව අතට ගැනීම ආර්ථික සාධාරණත්වයේ මූලික කොන්දේසියකි. ආර්ථික සාධාරණත්වය ඇති කළ හැක්කේ රාජ්‍ය බලය හිමි පංතිය අත ඇති ආර්ථික බලය ජනතාව අතට ගැනීම සඳහා කරන අරගලයකිනි.


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය උග්‍ර වූයේ රාජ්‍යයේ සිංහල, බෞද්ධ ආධිපත්‍යය නිසා ය. සුළුතර ජාතීන් දේශපාලන බලය සඳහා කරන ඉල්ලීම් වනාහි ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන ඉල්ලීම් ය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් හා ජනවර්ගයන් අතර ප්‍රජාතන්ත්‍රවාදය ඇති නො කර වඩා දියුණු ලාංකීය ජාතියක් ගොඩනැඟිය නො හැකි ය.


ඉඩම් බලතල මධ්‍යම ආණ්ඩුව අත ඇති අද සිදු වන්නේ ඒවා ගෙඩි පිටින් ඉන්දියාවට, චීනයට විකිණීමයි. ඒවාට එරෙහිව කිසිදු ඊනියා දේශප්‍රේමියකුගේ තීරණාත්මක හඬක් නැත.


තමන්ගේ ගමේ ඉඩම පිටරටට විකුණන කොළඹ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගමේ මිනිහාට ශක්තිය නැත. එහෙත්, ප්‍රාදේශීය ආණ්ඩුවකින් එසේ කරන්නට යන්නේ නම්, එයට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ගමේ මිනිහාට තිබේ.


ජනතා අරගල මර්දනයට ප්‍රාදේශීය පොලිසිය යෙදවීමේදී ද ජාතික පොලිසිය යෙදවීමේදී ඇති තත්වයට වඩා වෙනස් තත්වයක් තිබේ. නිදසුනක් ලෙස සතුරු ප්‍රජාවක පොලිසියක් වෙනුවට තමන්ගේ ම ප්‍රජාවගේ මිනිසුන්ගෙන් සමන්විත පොලිසියක් සමග කටයුතු කිරීමට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අවස්ථාව ලැබේ.


බලය බෙදා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් වේ. සාධාරණත්වය සඳහා ජනතා අරගල මුවහත් වේ. එසේ නොමැතිව බලය බෙදා ගැනීමෙන් සියලු ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත.


අවසාන වශයෙන් මෙය ද කිව යුතු ය. ජනතාවට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නැත. ජනතාවට අවශ්‍ය නීතියේ රැකවරණය පමණි. පොලිස් ආරක්ෂාව නැතුව පාරේ බසින්නට බැරි ඊනියා දේශප්‍රේමී දේශපාලුවන්ට පමණි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-02-01

ජනාධිපතිගේ මෙව්ව එක හා ජන අරගල ව්‍යාපාරයේ සමාජවාදය

මම දන්නව කිලිනොච්චියෙ ඉන්න මිනිහට මේව වැදගත් නෑ. අපි ඒවයි බලන්න ඕනෑ.
-ජනාධිපතිතුමා 30දා පැවති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවේදී


ජනාධිපතිතුමා මෙව්ව එක යයි කියන්නේ දේශපාලන විසඳුමකදී බෙදා ගැනෙන බලයටයි. ඔහු කියන පරිදි කිලිනොච්චියේ මිනිසුන්ට ඒවා වැදගත් නැත. එහෙත්, මේ කිලිනොච්චියේ ම මිනිස්සු මීට දෙවසරකට පෙර බොහෝ කාලයක් කිලිනොච්චිය විකල්ප දෙමළ රාජ්‍යයක අගනුවර කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව කැරැල්ලක් ගැසූ හ. 


ජනාධිපතිතුමා කියන්නේ මෙසේ විය හැකි ය. "කිලිනොච්චියේ මිනිසුන්ට අප අත් කර දුන් අලුත් ජීවිතය තුළ මෙව්වා වැදගත් නැත."


13+ දුන්නා ය කියා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නැති බව ජන අරගල ව්‍යාපාරයේ නායකයෝ ඇතුළු ඇතැම් වාමාංශිකයෝ ද කියති.


මේ වනාහි රැවුලත්, කැඳත් දෙක ම බේරාගෙන බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමකට විරුද්ධ වීම සඳහා ඇති තර්කයයි.


මේ පසුපස ඇත්තේ අන් කිසිවක් නො ව ජනප්‍රිය ජාතිවාදයට ඇති පෙරේතකමයි. මස් කා පුරුදු අයට උපාසක වුණත් මස් දුටු විට කටට කෙළ ඉනීම වළක්වා ගත නො හැකි ය.


මේ ජනතාවගේ ප්‍රශ්න නො විස‍ඳේ ය කියන ජනතාවාදී කතාව ගැන මෙහෙම ද කියන්නට පුළුවන.


ප්‍රජාතන්ත්‍රවාදය පිහිටෙව්වා ය කියා ද ජනතා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. මන්ද, ප්‍රජාන්ත්‍රවාදයෙන් කුසට ආහාර ලැබෙන බවට තහවුරු වන්නේ නැතැයි කියා තර්ක කළ හැකි ය.


මානව හිමිකම් තහවුරු කිරීමෙන් ද ජනතා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැතැයි තර්ක කළ හැකි ය. 


බඩගින්නේ සිටින මිනිසාට වැදගත් ආහාර යයි ද අන් කිසිවක් වැදගත් නැතැයි ද තර්ක කරන්නට පුළුවන. 


එහෙත්, එය මහත් ප්‍රතිගාමී තර්කයකි. සාගින්නේ මැරෙන්න වැටී සිටින මිනිසාට ද දේශපාලනය වැදගත් ය. මන්ද, ඔහු සාගින්නේ මැරෙන්න වැටෙන හේතු දේශපාලනික නිසා ය. තවත් මිනිසකුට ඔහුගේ ඉරණම අත් නො වන්නට සැලැස්වීමේ වගකීමක් මිනිසකු ලෙස සමාජය විෂයෙහි ඔහුට ඇති නිසා ය. 


නිශ්චිතව කිවහොත්, 13+ දුන්නා ය කියා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නැතැයි කීම අමූලික බොරුවකි. කිසිදු ප්‍රශ්නයක් නො විසඳුනත්, කොළඹ ආණ්ඩුව අත ඇති දේශපාලන බලය කිලිනොච්චියට ලැබීමෙන් එහි මිනිසාට සිය ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ හා ඒවාට විසඳුම් තමන් ම සොයා ගැනීමට උත්සාහ කිරීමේ නිදහස ලැබේ. 


අප මේ ඍජුව අමතන්නේ ජන අරගල ව්‍යාපාරයට ය. බලය බෙදා ගැනීම ගැන ඔබේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම කවුරුත් හරියට නො දන්නා දෙයක් වන සමාජවාදය යයි කීමෙන් වළකින්න. 


ජවිපෙ මේ සමාජවාදී කඩතුරාව පසුගිය කාලයේ පාවිච්චි කළේ සිංහල මහ ජාතිවාදයේ හෙළුව වසා ගන්නට ය. 


දෙමළ ඊලාම් ජාතිවාදයට විරුද්ධ නම් පළමුව සිංහල මහ ජාතික ස්වෝත්තමවාදයට විරුද්ධ වන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න