2012-04-30

මාර්තු පී.බී. ජයසුන්දර, අප්‍රේල් පී.බී. ජයසුන්දර හා මැයි පී.බී. ජයසුන්දර

මසකට පෙර 2012 මාර්තු 26දා මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර පැවසුවේ මෙසේ ය.


ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්‌තිමත් වනු ඇතැයිද එය රු.125 කට අඩු අගයක අනිවාර්යයෙන්ම ස්‌ථාවර වනු ඇතැයිද තමාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි.

ඉකුත් සිකුරාදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.132 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි. මේ සිදුවන රුපියලේ පිරිහීම අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය කවර අගයක නවතීදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේය.

දැනටමත් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන ඉල්ලුම අඩුවී අපේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය අඩුවනු ඇතැයිද ඒ තුළින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.125 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇතැයි තමාගේ බලවත් විශ්වාසය බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරයි. (උපුටා ගැනීම 2012 මාර්තු 26දා දිවයි‍න පුවත්පතෙනි)


දැන් මෙහෙම කියන්නේ ද ඒ පී. බී. ජයසුන්දර ම ය.


වර්තමාන වෙළඳපල තත්වයන් සැලකීමේදී ඇමරිකානු ඩොලරයක් කිසිසේත්ම රුපියල් 150ක සීමාව ඉක්මවීමට කරුණක් නොමැති බවත්, ඩොලරයේ අගය අසාමාන්‍ය ලෙස තවදුරටත් ඉහළ ගියහොත් එය පාලනය කිරීම සදහා ඉදිරියේදී රජය මැදිහත්වන බවත් මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි.
කොළඹ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ සඳහන් කල භාණ්ඩාගාර ලේකම්වරයා, මේ වන විටත් රජය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී විනිමය අනුපාතය ස්ථාවර කරගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද කියා සිටියේය.
බඩු මිල ඉහළ යන බවට චෝදනා නගන විපක්ෂය ඊට විකල්ප, විසඳුම් ද ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පැවසිය. රට තුළ දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීම රජය පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවරවල අරමුණ බව පවසන ජයසුන්දර මහතා, දැවැන්ත වෙළෙද ශේෂය පියවා ගැනීම සඳහා විනිමය සංචිත අඛණ්ඩව වැය කිරීම විසඳුමක් නොවන බව කීය.
රටේ සැබෑ ආර්ථික සංවර්ධනයක් ඇති කරලීමට නම් අපනයන ඉහළ නංවා වියදම් අඩු කිරීම අත්‍යාවශ්‍ය බවත්, භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. (උපුටා ගැනීම 2012 අප්‍රේල් 30 ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය) 
තව මාසයකින් මේ උලමා (අරාබි බසින් විද්වතා) කුමක් කියන්නේදැයි ඔබ අනුමාන කරන්න.  

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-29

බලය රැක ගන්න අන්තවාදය

බඩු මිළ කැරකි, කැරකී ඉහළ යමින් තිබේ. වැටුප් වැඩි කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ආර්ථිකය වල පල්ලට යොමු වී තිබේ. අන්තෝ ජටා ය. ඒ කියන්නේ ඇතුළත ගැටලු ය. 


බහි ජටා වන්නේ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් හැකියාව නිසා ලංකාවේ දෙමළ ජනතාවගේ හිමිකම් පිළිබඳ ඇති වන ජාත්‍යන්තර අවධානයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට යුද අපරාධ චෝදනා, මානව හිමිකම් චෝදනා, ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවීමේ අවශ්‍යතාව ආදිය මත ඇති වන ජාත්‍යන්තර පීඩනයයි. 


සකලවිධ දූෂණයේ යෙදීම නිසා තමන් තුළ ම ඇති වී තිබෙන බිය හේතුවෙන් රට කරගෙන යන්නට බැරි වුණත් වෙන කෙනෙකුට දෙන්නට ද හැකියාවක් නැත. 


අන්තවාදයට නැඹුරු වීම මේ අවස්ථාවේ ආණ්ඩුවට ඇති එක ම විකල්පයයි. එය පාලකයන්ගේ අර්බුදයට තිරසාර විසඳුමක් නො වුණත් එයින් සිය ඉරණම දිනකින් හෝ දෙකකින් හෝ කල් දමා ගන්නට උත්සාහ කරන්නට පුළුවන. ‍


එහෙත්, ලෝකයේ අන්තවාදය සරණ ගිය කිසිදු පාලනයකට දීර්ඝායු තිබුණේ නැත. විශේෂයෙන් ම දුබල ආර්ථිකයන් මත පදනම් වන පවුල් පාලනයන්ට එමගින් දිගු කලක් සිය පාලනය තහවුරු කර ගන්නට ලැබී නැත. 


අනෙක් පැත්තෙන් මේ අන්තවාදයන් ඍජුව හසුරුවන්නෝ ද උන්නතිකාමී සිහින ඇත්තෝ ය. පවත්නා පාලනය රැක ගන්නවා වෙනුවට අන්තවාදය ඔස්සේ තමන්ට පාරක් කපා ගැනීම ඔවුන්ගේ අභිලාෂයයි. 


ලංකාව පිවිසෙමින් සිටින්නේ වාර්ගික හා ආගමික අන්තවාදය උච්ච තලයකට පත් වන යුගයකටයි. තව බොහෝ දඹුල්ලවල් ඉදිරියේදී නිර්මානය කිරීමට අන්තවාදීන් කටයුතු කරනවා නිසැක ය. 


ඒවායේ එල්ලී ජනතා ප්‍රශ්න යට ගසන්නට උත්සාහ කරන පාලකයින් එයින් ම අර්බුදයට ලක් වන අයුරු ද ඉදිරියේදී දැක ගැනීමට ලැබෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-28

ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවත කරළියට

ඊනියා ජීවක ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර ඔහු ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද අල්ලා ගෙන ඇත.


මෙවර ඔහු පිළිබඳව පාර්ලිමේන්තුවේ කියැවුණේ දිවයින පුවත්පතට අනුව විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයකදී ය. 


මේ ඊනියා වෛකල්පික වෛද්‍ය විද්‍යාව නීත්‍යානුකූල යයි පිළි ගන්නවා නම් නුදුරු අනාගතයේදී ලංකාවේ ඕනෑම මානසික රෝගියකුට, කපටියකුට වෛද්‍යවරයකු වන්නට හැකියාව ලැබෙනු ඇත. 


ලංකාවේ වෛද්‍යවරු මෙන් ම වෛද්‍ය සභාව ද මෙම අවිද්‍යාවන්ට සිය නිහඬතාව තුළින් අනුබල දෙති. 


මේ වනාහි අවිද්‍යාව, මිථ්‍යාව, මුග්ධකම හා දූෂණය ලංකාවේ රජ කරන සමයකි. 


පහත දෙවැඩසටහන ඔස්සේ නෙත් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙකී අවිද්‍යාවට එරෙහිව කළ සටනට සවන් දෙන්න. නෙත් එ‍ෆ්.එම්. මාධ්‍ය සටන් සගයන්ට අපේ ආචාරය!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සිංහල වෙනම රාජ්‍ය සංකල්පය පරදවමු! ලංකාව දිනවමු!

අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ. 


සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ. 


අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි. 


කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය. 


එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි.


මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය. 


ඇත්තෙන් ම, ලංකාවේ මූලික ප්‍රශ්නය වන්නේ සිංහලයන් වෙන ම සිංහල රාජ්‍යයක් පිහිටුවා ගැනීමට දරණ උත්සාහය තමා ය. වෙන ම, දෙමළ රාජ්‍ය සංකල්පය හෙවත් ඊලාම් සංකල්පය බිහි වන්නේ ම මෙයට එරෙහිව ය. 


ලංකාව සිංහලයන්ගේ රට හෝ සිංහල බෞද්ධයන්ගේ රට යයි කෙනෙක් කියන්නේ නම් ඉතා පැහැදිලිව ම එය වෙන ම රාජ්‍ය සංකල්පයකි. එය ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. 


සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජනවර්ගයන් හෝ ජාතීන් වඩා පුළුල් අනන්‍යතාවක් වන ලාංකික අනන්‍යතාව තුළ සත්‍ය වශයෙන් ම අනුගත වීම ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති විසඳුමයි.


එහෙත්, එය කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී අනන්‍යතාවන් අහෝසි කිරීමෙන් නො වේ. එම අනන්‍යතාවන් වඩා පුළුල් අනන්‍යතාවක් තුළ නැවත පිහිටුවීමෙනි. 


මෙම නැවත පිහිටුවීම දේශපාලන ක්‍රියාවලියකි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, සමානාත්මතාව තහවුරු කිරීම, දේශපාලන බලය බෙදා ගැනීම, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ආදිය අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-27

සමාජවාදී සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ වාම විහිළු

ලංකාවේ වාමාංශික පෙරටුගාමී පක්ෂවලට තමන් හැර අන් සියල්ලෝ ම ද්‍රෝහියෝ ය. 


විශේෂයෙන් ම සෙසු වාමාංශික පක්ෂවල සිටින්නෝ සියල්ලෝ ම ධනවාදයට යටත් වූවෝ ය. 


එහෙත්, මේ රටේ සිටින දූෂිත ම කොටස වන ජනතාව මොවුන්ට අහිංසක බබ්බු ය. ඒ බබ්බු මේ අයගේ දාර්ශනික ඩෝස් එක ගිල්ලා ම දැනුවත් වී, සංවිධානගත වී විප්ලවය කර, මේ පෙරටුගාමී පක්ෂවල දන්න කට්ටිය රටේ ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී ආදීන් බවට පත් කරනවා ය. 


අප මෙහි දක්වන සබඳතා පුරුක ඔස්සේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස එම ලිපියේ භාෂාව රස විඳින්න. විජේ ඩයස්ගේ පක්ෂයට සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය ex-lefts ය. වික්‍රමබාහු කරුණාරත්නගේ නව සමසමාජ පක්ෂය another ex-radical group එකකි. 


මේ කියන හිටපු වාමාංශිකයන්ට සමාජවාදී සමානතා පක්ෂය ගැන කතා කරන්නට කීවොත් ඔවුන් කියන්නේ ද මෙවැනි ම කතා ය. 


සමාජවාදී සමානතා පක්ෂයට අනුව ඒවායේ නායකයන් වන Siritunga Jayasuriya and Wickremabahu Karunaratna, share platforms at their protests and function as cheerleaders for these parties. මේ සමාජවාදී සමානතා පක්ෂය සිය වාමාංශික පතිවත උපරිමයෙන් ආරක්ෂා කරගෙන සිටින පක්ෂයකි. කවදා හෝ ලංකාවේ විප්ලවය කරන්නේ ඔවුහු ය. ඔබ මේ පක්ෂයේ සිටින කිසිවකුගේ නම දන්නවා නම් ඔබට ජනතාවගෙන් කෙනෙකු විය හැකි ය. 


ඔවුන්ට අනුව,  කළ යුතුව තිබෙන්නේ මෙන්න මෙසේ ය: Rather than pressuring the Rajapakse government for concessions, the working class has to mobilise independently in the struggle for a workers’ and peasants’ government in Sri Lanka to implement socialist policies as part of the broader struggle to abolish the crisis-ridden capitalist system internationally. This is the perspective for which the Socialist Equality Party fights.


විස්තර සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය බලන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

එළවළු අද කුණු ගොඩට හෙට අධි මිළට; කාපිය පොළොස්!

මේ රටේ රජයක් නැති බව පෙන්වන පැහැදිලි ස්ථානයකි, දඹුල්ල.


එක පැත්තකින් ආගමික චන්ඩීන් ආගමික සුළුතරයන්ගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන, දේශපාලකයන් ද මේ චන්ඩීන් හමුවේ දැපනෙ වැටෙන මේ නගරයේ අනෙක් පැත්තෙන් ගොවීන්ගේ එළවළු නිෂ්පාදන පොහොර වෙමින් තිබෙනු දැකිය හැකි ය. ඒ පොහොර වෙමින් ඇත්තේ රටින් ගෙනා පොහොර හා කෘමි නාශක ආදිය දමා වැවූ එළවළු බව මතක තබා ගැනීම හොඳ ය.


දඹුල්ලට එළවළු රැගෙන එන ගොවියන්ට සිය නිෂ්පාදන විකුණා ගත නො හැකි බැවින් ඔවුහු ඒවා එහි දමා යති. ඔවුන්ට ආදායම අහිමි වී ඇත. එපමණක් නො ව, එළවළු වැවීම සඳහා ප්‍රාග්ධනය ද අහිමි වී ඇත. මෙහි විපාක නුදුරු අනාගතයේදී ම විඳින්නට මේ රටේ පාරිභෝගිකයන්ට සිදු වනු ඇත.


තත්වය මෙසේ වුණත්, සිල්ලර එළවළු ලෑල්ලේ කිසිදු එළවළු කිලෝවක් රු. 60ට අඩුවෙන් නැත. එළවළු ලෑලැවල අලුත් එළවළු හිඟයක් ද ඇති අතර ඈත පළාත්වලින් එළවළු ගෙන එන්නට දඹුල්ලට යන වෙළෙන්දන් ගොවීන් විසින් දමා ගොස් ඇති කුණු එළවළු නො මිළේ ම රැගෙන විත් විකුණන බවට සැක මතු වේ.


මේ අතර සිල්ලර වෙළෙන්දෝ පවසන්නේ අලුත් අවුරුද්දෙන් පසු පාරිභෝගිකයන් අත මුදල් නැති නිසා එළවළු ඉල්ලුම අඩ් වී ඇති බවයි.


දැන් මෙතැන ඇති ප්‍රශ්නය පසු අස්වනු හානිය අඩු කරන්නට යයි කියමින් කූඩ වෙළඳාමේ ගිය ඇමති ජොන්ස්ටන් දැන් කොහිද යන්නයි. මේ සිදු වන පසු අස්වනු හානිය හා එයින් ගොවි ජන ජීවිතයේ සිදු වන කඩා වැටීම මොන ම ප්ලාස්‍ටික් කූඩයකින්වත් වැසිය නො හැකි ය.


රටේ පාලනයක් තිබෙනවා නම් මෙවැනි අවස්ථාවලදී මැදිහත් වීමක් සිදු විය යුතු ය. මේ එළවළු කල් තබා ගැනීමට හෝ අපනයනය කිරීමට හෝ වැඩ පිළිවෙලක් තිබිය යුතු ය.


පහත පඝ වන්නේ අද දිවයින පුවත්පතින් උපුටා ගත් පුවතකි. 


එළවළු අස්‌වනු වාරය අවසන් වීමට ළඟයිමිලත් ඉහළ යන ලකුණු
කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල

යාපනය, පුත්තලම, අනුරාධපුර හා උඩරට ප්‍රදේශවල එළවළු අස්‌වනුවාරය අවසන් වෙමින් පවතින බැවින් ඉදිරියේ දී එළවළු මිල ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සංඛ්‍යා නිලධාරී ඡේ. සී. කේ. බී. ලයනල් මහතා පැවැසීය.

මෙම අස්‌වනු වාරය ලබන මැයි මස 15 පමණ වනවිට සම්පූර්ණයෙන් ම පාහේ අවසන් වේ. දැනට පවතින වැසිසහිත කාලගුණික තත්ත්වය හමුවේ අලුතෙන් වගා ප්‍රමාදවීඹ නිසා මාස එක හමාරක පමණ කාලයක්‌ වෙළෙඳපොළට එළවළු පැමිණීම අඩුවනු ඇතැයිද පසුගිය සතිය හා සැසඳීමේදී බොහෝ එළවළු වර්වල කිලෝවක මිල අවම වශයෙන් රුපියල් දහයක්‌ පහළොවක්‌ අතර ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇති බවද පැවැසීය.

අලුත් අවුරුදු සමයෙන් පසු එළවළු මිල දැඩි ලෙස පහළයැමට හේතුව දින ගණනාවක අස්‌වනු එක්‌වරම වෙළෙඳපොළට පැමිණීමත් ඊට සමගාමීව වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්නොවීම බවත් පවසන ලයනල් මහතා මේ වනවිට මෙම තත්ත්වය මඟ හැරී ගොස්‌ ඇතැයි ද පැවැසීය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-26

වමේ මාර නවෝදයට අපේ සුබපැතුම්!

බැලූ බැල්මට වමේ මාර නවෝදයක් ඇති වී තිබේ. 


වාමාංශිකයෝ යළි එක්සත් වෙමින් සිටිති. පසුගිය කාලයේ බිංදුවට බැස තිබුණු වාමාංශිකයන්ගේ සන්ධ්‍යා කාලීන ගැඹුරු දේශපාලන සාකච්ඡා යළි පණ ගැන්වෙමින් තිබේ. මේ වන විට විදේශ රටවල දේශපාලන රැකවරණ ලැබ සිටින රැඩිකල් ම වාමාංශික දෙවිවරු ද උඩ සිට මේවාට පිරිත් පැන් හෙළනවා ඇත. 


බාහු සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති සිරිතුංග ද, සිරිතුංග සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති මහින්ද දේවගේ ද ආදී වශයෙන් ලොකු ලොකු සංවිධාන නම්වලින් පෙනී සිටින විවිධ තනි තනි වැනි පුද්ගලයෝ ඒකරාශීව පුවත්පත් සාකච්ඡා පවත්වමින්, මැයි දිනයට සූදානම් වෙමින් සිටිති. 


මෙයට ප්‍රධාන හේතුව, ජවිපෙන් කැඩුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වන වාම නැඹුරුවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සෙබළු නැති සෙන්පතියන්ට සෙබළ මුළක් පිටුපසින් බලමුළු ගන්වා දීමට සමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම, සිය ඊනියා ප්‍රතිපත්ති රැක ගනිමින් වාම පක්ෂ නායකයන් ලෙස රතු තොප්පි දමාගෙන මහජන නියෝජිත සභා නියෝජනය කිරීමට ඇතැමුන්ට ඇති නො තිත් ආශාව සපුරා ගන්නටත් මොකක් හෝ පොටක් පෑදේවා යි අපි පතමු. 


විශේෂයෙන් ම ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර තරගයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වාම සාහිත්‍යයේ ද නවෝදයක් ඇති වෙමින් තිබේ. මේ සතියේ ලංකා පුවත්පත ද නැවත කරළියට එයි. එහෙත්, ජනතාව අතර වාම දේශපාලනය කෙරෙහි ඇති උනන්දුව වැඩි වී ඇති බවක් නම් නො පෙනේ. 


සමාජයේ ගොඩනැ‍ඟෙමින් ඇති ආණ්ඩු විරෝධය තුළ වමට වෙළඳපොළක් නිර්මානය කර ගැනීමට බැරිකමක් නැත. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතා හඳුනා ගනිමින් උපායිකව කටයුතු කළහොත්, වමට ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ තිරසාර පදනමක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත. කුමන අඩුපාඩු තිබුණත්, පැරණි වමේ පක්ෂ කෙසේ හෝ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ පය ගසාගෙන සිටින්නට සමත් වී ඇත.


ප්‍රධාන ධාරාවේ දේශපානය තුළ වම අනිවාර්යයෙන් ම තිරසර අන්දමින් පය ගසා ගත යුතු බව අපේ අදහසයි. එය හුදු න්‍යාය දේශනා කිරීමෙන් පමණක් කළ නො හැක්කකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ උපායිකභාවය, විවෘතකම හා අව්‍යාජත්වයයි. 


කොළඹ සාකච්ඡා හා සම්මන්ත්‍රණ යළි ඇරඹෙමින් තිබේ. මේ සාකච්ඡාවලදී පැරණි කථිකයන්ට සිය අහිමි වූ වේදිකා යළි සැකසෙනු දක්නට ලැබේ. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් මෙතෙක් පැවැත්වූ කතා වෙනුවට අදට ගැලපෙන දේශපාලනයක් වෙනුවෙන් කතා කිරීමට ඔවුහු අදිටන් කර ගන්නවා නම් හොඳ ය. 


පසුගිය දශක කීපයකදී අප ද කොළඹ වාමාංශික කව සමග මේ සී.එස්.ආර්. සාකච්ඡා රැසකට සහභාගි වී හෙම්බත් වුණෙමු. මේවාට සී.එස්.ආර්. සාකච්ඡා යයි කියන්නේ ඒවා පැවැත්වෙන්නේ අඩු මුදලට කුලියට ගත හැකි අඩු පහසුකම් සහිත ශාලාවක් ඇති සමාජ හා සාමයික කේන්ද්‍රයේ නිසා ය. (Center for Society and Religion)  මේ සී.එස්.ආර්. සාකච්ඡා වනාහි මෙවැනි දේ ය. 


අද එක පිරිසක් කැඳවුම්කරුවන් වී එක ප්‍රශ්නයක් ගැන පොදු වැඩපිළිවෙලක් ඔවුන්ගේ නායකත්වයෙන් ආරම්භ කිරීම ගැන සාකචඡාවක් පවත්වන අතර හෙට එම සාකච්ඡාවට සහභාගි වූ තවත් පිරිසක් එම වැඩ පිළිවෙල ගැන ම ඔවුන්ගේ නායකත්වයෙන් පොදු වැඩ පිළිවෙලක් සැකසීම ගැන සාකච්ඡා කරති. මේ සාකච්ඡාවලදී එක ම පිරිස කමිටුවලට පත් වෙති. ඉන්පසු ඒ කමිටුවලින් එකී වැඩ පිළිවෙල අතුරුදහන් වෙයි. 


එසේ ම, මේ පිරිස් මේ සාකච්ඡාවලට යන්නේ තම තමන්ගේ මට්ටමින් ඒවායේ බලය අල්ලා ගැනීමට පූර්ව සූදානම් ඇතිව ය. තමන්ට බලය නැතත්, තමන්ගේ ප්‍රධාන සතුරන් වන තමන් කලින් සිටි කණ්ඩායමේ අයට ද බලය නො ලැබේ නම් ඔවුහු සතුටු වෙති. 


හැමෝ ම එන්නේ අනෙක් අයව කඩේ යවා ගැනීමේ චේතනාව පෙරදැරි කරගෙන ය. කවුරුවත් කඩේ යන්නට සූදානම් නැති වීම වම ඉදිරියට නො යන්නට ප්‍රධාන හේතුවයි. 


ඒ කොයි හැටි‍ වෙතත්, මේවායේ වාඩි වෙන ඇතැම් වාමාංශිකයෝ සද්ද නැතිව මේ සාකච්ඡා සිය රාජ්‍ය නො වන සංවිධාන ප්‍රගති වාර්තාවල ලියා පිටරටට විකුණා ගනිති. ඒවායින් ඔවුහු රටේ මාර ක්‍රියාකාරිකයෝ පිරිසක් ලෙස පිටරටට අනන්‍යතා ද ගොඩනඟා ගනිති. ඔවුන් මුදල් අරගන්නා මූලික කාර්යයන් වන ජාල ගොඩ නැඟීම වැනි කටයුතු ඔවුන්ට කර ගන්නට බැරි නිසා ඔවුන් යැපෙන්නේ මෙවැනි අනුන් විසින් සංවිධානය කරනු ලබන කටයුතු මත ය. ඒ නිසා මෙම සාකච්ඡා සංවිධානය කරන්නන් ඒවායේ වාඩි වන එන්.ජී.ඕ, වෘත්තීය සමිති, පූජකයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා වෙනත් එවැනි චෞරයන් ගැන අවධානයෙන් සිටිය යුතු ය. 


තල වේලෙන්නේ තෙලට ය. මීබෙටි වේලුණේ කුමටදැයි මී‍ බෙටි දන්නේ නැත. ඒ නිසා මේ වටයේ මී බෙටි නො වී පිටින් සිට ඒ දෙස දැඩි පරීක්ෂාවෙන් බලා සිටින්නට අපි තීරණය කර ඇත්තෙමු. 


සහෝදරවරුනි, අපි ඔබට ජය පතමු. හැබැයි පරණ සෙල්ලම් නැවත කරන්නට හදනවාදැයි අපි පරීක්ෂාවෙන් සිටිමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-25

මුදල් වෙනුවෙන් ක්‍රිකට් ගහන ලසිත් මාලිංගට අපේ ආචාරය!

බලන්න, මේ අයගේ අදහස් අතර පරතරය!
"පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග 


 බොරු වීරයන්ගේ රට, ජාතිය ගැන ව්‍යාජ කතා වෙනුවට ඇත්ත කතා කළ ලසිත් මාලිංග ඔබට අපේ ආචාරය! 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස

ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස ය. බොරැල්ල පොලිසිය ඔහු වනාතමුල්ලේ පොලිස් මෙහෙයුමට එරෙහි විරෝධය පසුපස සිටියේ යයි පවසමින් ඔහු අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් ඉල්ලුවත්, අධිකරණය පැවසුවේ ඔහු වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පුළුවන් නිසා වරෙන්තුවක් අවශ්‍ය නො වන බවයි. 


උදුල් ප්‍රේමරත්න මෙම මිලිටරි විලාසී සර්ව රාත්‍රික පොලිස් මෙහෙයුමේදී සාමූහිකව අත්අඩංගුවට පත් වූ ලුම්පන් නිර්ධනයන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නට කටයුතු කළ බව වාර්තා වේ. 


කලින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔහු ක්‍රියාකාරී වූ සමයේ ආණ්ඩුව ඔහු පසුපස ලුහුබඳිමින් ඔහු දැඩි පීඩනයකට ලක් කළේ ය. අවසානයේදී එවකට ඔහුට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු අඩුවෙන් අවධානයට ලක් වන තනතුරක් වෙත මාරු කළේ ය. 


ජවිපෙන් වෙන් වූ පිරිස් ජන අරගල ව්‍යාපාරය බිහි කර ගත් පසු උදුල් ප්‍රේමරත්න නැවතත් ක්‍රියාධරයකු ලෙස අවධානයට ලක් වන්නට වූයේ ය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ දේශපාලනයේදී ඔහු කැපී පෙනුණේ ය. 


වෙනත් බොහෝ වාම ක්‍රියාධරයන් තුළ දක්නට නො ලැබෙන අව්‍යාජත්වයක් උදුල් ප්‍රේමරත්න තුළින් ප්‍රදර්ශනය විය. අපට පෙනෙන පරිදි ඔහු තමන් කරන දේ තුළ සියට සියයක් සිටියි. මෙය වනාහි ඉදිරි පෙළ වාම ක්‍රියාධරයන් අතර අතිශය විරල ලක්ෂණයකි. 


නිදසුනක් ලෙස, ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාම වනාහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ම ප්‍රබන්ධයකි යන මතය සමාජය තුළ පතුරුවා හරින්නට ආණ්ඩුවට හැකි වූයේ ද, ඒ පැහැර ගැනීම සමාජයේ කම්පනයක් ඇති නො කළ සිල්ලර සුඛාන්ත නාට්‍ය ජවනිකාවක් බවට පත් කරන්නට හැකි වූයේ ද, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයන් තුළ මේ ලක්ෂණය නො තිබීමයි. 


මේ වනාහි යම් සංක්‍රාන්ති සමයකි. ජවිපෙ හා ආණ්ඩුව අතර එදා තිබුණු අවබෝධය ආණ්ඩුව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර නැත. පෙරටුගාමීන් පැහැරගෙන යාමට ලක් වන්නට හේතුව එයයි. දිමුතු ආටිගල කියන අන්දමට නම් දැන් ආණ්ඩුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්නේ හොඳ ළමයින් පිරිසක් බව දනියි. 


කොහොම වුණත්, උදුල් පරිස්සම් විය යුතු ය. තනිව බස්වල නො යා යුතු ය. තනිව පාළු නිවෙස්වල රාත්‍රිය නො ගෙවිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-24

රජය විසින් රජය බුල්ඩොසර් කරමින් තිබේ

මේ ආණ්ඩුව අපූරු ආණ්ඩුවකි. එහි සුපිරි අංශ තිබේ. එම සුපිරි අංශවල සිටින සුපර්මෑන්ලා සුපිරි නො වන අංශවලට සලකන්නේ ඒ අංශවල අය මහජනතාවට සලකන ආකාරයටයි. 


හොඳම උදාහරණය කොළඹ කොටුවේ හදන්නට යන (මහින්ද රාජපක්ෂ) නෙළුම් කුළුණට ඉඩ ගැනීම සඳහා පසුගිය 20දා තැපැල් දෙපාර්තමේන්තුවේ දේශීය පාර්සල් අංශය ඉවත් කර ඇති අන්දමයි. 


ඉවත් කර ගන්නැයි දැනුම් දී තිබුණත්, ඉවත් කර නො ගත් නිසා රුපියල් කෝටියකට වඩා වටිනා මහජන මුදලින් මිළ දී ගත් තැපැල් සේවා අමාත්‍යංශයට අයත් පරිගණක,කාර්යාල උපකරණ ආදිය සමග ම ගොඩනැඟිල්ල කඩා ඉවත් කර තිබේ. එම භාණ්ඩ භාර නිලධාරීහු ද කිසිත් නො කර නිකම් සිට ඇත. 


රජය රජයේ දේපල බුල්ඩෝසර් කරද්දී ඒවා ඉස්සරහට පනින්න කාටවත් අමාරුවක් තියේවියැ. 


හැබැයි අපි නම් හිතන්නෙ මේවා දේශපාලනික සංකේතාත්මක ක්‍රියා.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-23

හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු

ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය. 


දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත.


හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ. 


වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි. 


මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ. 


හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය. තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-22

බෞද්ධ කොඩියෙන් රේස් අරඹන අබුද්දස්ස කාලය

උතුම් සම්බුද්ධ දේශනාවත්, අද ලංකාවේ භාවිතා වන සිංහල බුදු දහමත් අතර සම්බන්ධයක් ඇත්තේ ම නැති තරම් ය. 


දඹුල්ලේ ඉඩම් හිමි රදළයෙකු හා ධනේශ්වර සංචාරක ව්‍යාපාරයක හිමිකරුවකු වන භික්ෂුවකගේ නායකත්වයෙන් දඹුල්ලේ සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ පල්ලියකට හා ආගම් ඇදහීමේ නිදහසට අතවර සිදු වූ බව අද වන විට ලොව පුරා ම ප්‍රචලිත වී ඇත. 


මේවාට එරෙහිව කතා කරන විට ස්වෝත්තමවාදීන් විසින් මතු කරනු ලබන තර්කයක් වන්නේ අරාබියේ එහෙම පුළුවන් ද, අරෙහෙ පුළුවන් ද, මෙහෙ පුළුවන් ද වැනි තර්කයි. මේවා අපට අදාළ නැත. අප පෙනී සිටින්නේ පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙනි. 


අද වන විට, සිංහල බෞද්ධ අන්තවාදය රටට මහා පිළලයක් වී හමාර ය. එය ලෝකයට ද පිළලයක් ‍වීම ආරම්භ වී තිබේ. සිංහල බෞද්ධ අන්තවාදය පැහැදිලිවම ත්‍රස්තවාදයකි. වඩා නිවැරදිව කියන්නේ නම් අර්ධ රාජ්‍ය ත්‍රස්තවාදයකි. 


අවිහිංසාවාදය, සාමය හා සහජීවනය ආත්ම කර ගත් දහමක් ලොවට දෙසූ උතුම් බුදුන්ගේ නාමයට මෙම බොරු බෞද්ධයන් කරන අවමානයට සැබෑ බෞද්ධයෝ විරුද්ධ විය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රේමකුමාර් ගුනරත්නම්, ඩී.බී.එස්. ජෙයරාජ් හා මහරාජා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරික ප්‍රේමකුමාර් ගුනරත්නම් ගැන නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය සඳහා ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලිපියක් ලියන ලදී. (කියවන්න)


එම ලිපිය ප්‍රේමකුමාර් ගැන කරුණු රැසකින් සමන්විත ය. විශේෂයෙන් ම ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයතු ලෙස ඉන්දියන් හමුදාවට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර ගැන එහි විස්තර කර තිබේ.


කටින් පමණක් ඉන්දියාවට එරෙහිව සටන් කරමින් සිටි ජවිපෙ ඇත්තෙන් ම ඉන්දියන් හමුදාව සමග අභිමුඛ කරවන පුද්ගලයා ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් හඳුන්වන ජෙයරාජ් ඔහු වීරත්වයට නගන බව පෙනේ. ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයට වඩා ගරිල්ලා සටන් බව ජෙයරාජ් කියයි.


එසේ ම, මෙසමයේදී ම ජවිපෙ නායකයන් ඉන්දියාව සමග රහස් සම්බන්ධකම් ඇති කර ගනිමින් ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට අණ කරන බව ද එහි සඳහන් වේ.


පසු කලෙක සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රටින් පළා ගියේ රෝ සංවිධානයේ උදව්වෙන් බව ප්‍රකට කරුණකි. අමරසිංහ කිසි දිනෙක මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත.


ප්‍රේමකුමාර්ගේ එදා ක්‍රියාකාරකම් ගැන අද පරීක්ෂණ කරනවා නම්, එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහගේ වගකීම් ගැන ද ප්‍රශ්න මතු වනු ඇත.


අනෙක් පැත්තෙන්, ප්‍රේමකුමාර් එදා සටන් කළේ අද ලංකාවේ ආණ්ඩුව පවා වරදක් ලෙස දකින ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ය. ඒ අනුව ගත් කල ආණ්ඩුවට පවා ඔහු දේශප්‍රේමියකු ලෙස සැලකීමට සිදු වනු ඇත.


අතීත සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන වත්මන් සංදර්භය තුළ කටයුතු නො කිරීම ඩග්ලස් දේවානන්දා, විනයාගමූර්ති මුරලිදරන්, සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හා කේ.පී. වැනි අයට අදාල වන පරිද්දෙන් ම ප්‍රේමකුමාර්ට ද අදාළ වේ.


මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මහරාජා ආයතනය මුදල් ගෙවා උපායික දේශපාලන ලියුම්කරුවකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ලවා මෙවැනි ලිපියක් ලියවාගෙන පළ කළේ ඇයි ද යන්නයි.


අප සිතන පරිදි නම්, මේ වනාහි ප්‍රේමකුමාර් ගුනරත්නම් පැහැර ගෙන ගොස් නිදහස් කිරීමේ සිද්ධිය හුදු මානව හිමිකම් ප්‍රශ්නයක සීමාවෙන් පිටතට ගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ප්‍රේමකුමාර් ගුනරත්නම් ද ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ඇද ගැනීමේ ප්‍රයත්නයකි. එය ඇතැම් විට පැහැරගෙන යාම හෙවත් වැරදුණු කුරුමානම නාටකයේ ඊළඟ ජවනිකාව විය හැකි ය.


ප්‍රධාන ධාරාවේ දේශපාලනය යනු න්‍යාය හා ප්‍රතිපත්ති පමණක් මත පදනම් වූ දේශපාලනයක් නො වේ. එය උපායික ක්‍රීඩාවකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සෙසු අය කෙසේ වෙතත් ප්‍රේමකුමාර් ගුනරත්නම් වනාහි එය හොඳින් දැන සිටිය යුතු කෙනෙකි.


මේ වනාහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියුණු අභියෝගයකි. ලස්සන රතු පාට පක්ෂයක් හදාගෙන, කැලැන්ඩරයේ දින ටික අභිචාරාත්මකව සමරමින් දැහැමෙන් සෙමෙන් ධනවාදයට එරෙහි සටන් පාඨ යුද්ධයක් කරගෙන, එන්ජීඕ පාරක් ද දාගෙන වික්‍රමබාහු පක්ෂය හෝ සිරිතුංග ජයසූරිය පක්ෂය සේ ඉන්නවා ද නැතිනම් ජවිපෙට ම යළි ඉඩ දී සැබැවින් ම දේශපාලන ක්‍රීඩාවට පිවිසෙනවා ද යන්න දැන්ම ම තීරණය කිරීමට ඔවුන්ට සිදු වන බව පෙනේ.


අපට ඔබට කීමට ඇත්තේ වතුරට බැස්සා නම් පීනන්න ය කියා ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලිට්මස් පරීක්ෂාව වනු ඇත්තේ ඔවුන්ගේ සුන්දර ප්‍රකාශන නොව, මෙම සැබෑ පිහිනීමයි.


ප්‍රේමකුමාර් ගුනරත්නම් ඔස්ට්‍රේලියානු පුවත්පතකට කළ ප්‍රකාශ

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-20

මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රයට තට්ටු වෙයි ද?

කන්නට ඕනෑ වුණා ම කබරගොයා වුණත් තලගොයා කර ගැනීම මේ රටේ සාමාන්‍ය තත්වයකි.


දැන් ආණ්ඩුවට මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට දෙන තීරු බදු රහිත වාහන පර්මිට් එක කන්නට ආසාවක් ඇති වී තිබේ. එහෙත්, එසේ කරනු ඇත්තේ දේශපාලකයන්ට හා ඉහළ ම රාජ්‍ය නිලධාරීන්ට දෙන බලපත්‍ර රැක ගන්නා ගමන් ය. 


අද දිනමිණට මුල් පුවත වී ඇති කතාව ලංකාවේ ඕනෑම කෙනෙක් වසර බොහෝ ගණනක් තිස්සේ සිට දන්නා සාමාන්‍ය කාරණයකි.  විජයානි එදිරිසිංහ අද දිනමිණට එය ලියා ඇත්තේ හරියට මාර ගවේෂණාත්මක ප්‍රවෘත්තියක් සේ ය. කියවා බලන්න. 



බලපත්‍රයක් ලක්‍ෂ 7-10 අතර මිලකට

රජයේ නිලධාරීන්ට ලබාදෙන ‘කාර් පර්මිට්’ ජාවාරමක්

ඇතැම් වාහන ආනයනකරුවෝ ජාවාරම පිටුපස
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් වශයෙන් තීරු බදු සහන යටතේ මෝටර් රථ ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය සහ එමඟින් ගෙන්වූ වාහන දෙවැනි පාර්ශ්වයකට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව හෙළි වී තිබේ.
මෙම බලපත්‍රය මිලදී ගැනීම සඳහා මහා පරිමාණ වාහන ආනයනකරුවන් විසින් වෙනම බ්‍රෝකර්වරුන් පවා යොදවා තිබේ.
මෙම බලපත්‍රයක් රුපියල් ලක්‍ෂ 7 සිට 10 දක්වා වූ මිල ගණන්වලට අලෙවි කරන බව හෙළිව තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රේගුව හරහා කළ සොයා බැලීම් වලදී ද හෙළිවූයේ බලපත්‍රය ලබා ගැනීමේ සුදුසුකම් ලත් නිලධාරීන් වැඩි පිරිසක් එය විකුණන බවයි. (වැඩිදුර විස්තර)




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-19

වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

ලංකාවේ මිනිහෙක් මැරෙන්න අකැමැති ම විධිය හෙණ ගහලායි. 


වයස අවුරුදු විස්සක් විතර වූ මදාවි කාලෙ එක දවසක් මම හෙණ ගහද්දී බයිසිකලයක් පැදගෙන පාරේ ගියා. කන්දක් මුදුනෙදි දඩාං ගෑවා. මගේ ඇඟට උණු වතුර වැටෙනවා වගේ දැනුණා. මං හිතුවෙ කවුරුහරි මට වෙඩි තිබ්බා කියලයි. මම දිගට ම බයිසිකලේ පැද්දා. වූ දේ තේරුණේ ටිකක් දුර ගියාමයි. 


එදා හෙණ නො වැදුණ මං ඊට බොහෝ කාලෙකට පස්සෙ අනුරාධපුරේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගෙදරදි අපේ ඉස්සරහ ම මහ ගහකට හෙණ වැදිලා ගිනි ඇවිලිලා නිවිලාත් යනවා දැක්කා. මම හිතන්නෙ විනාඩියක් විතර ඇතුළත හෙණ කීපයක් ඒ ගහට වැදුණා. ඒක හරියට නපුරු හීනයක් වගේ. ඒ වෙලාවෙ ජයතිලක බංඩාරත් තවත් අපේ මිතුරෝ කීප දෙනෙකුත් එතැන හිටියා. 


අවුරුදු තුන හතරකට කලින් දවසක් අවුරුදු නිවාඩුවකට පසුව ගෙදර ඇවිත් පරිගණකය ක්‍රියා කරවා ගත්තා. වැස්සක ලකුණක්වත් තිබුණෙ නැහැ. දරාං ගාලා මහ අකුණක් ගැහුවා රවුටරෙත්, පරිගණකේ බල සැපයුමත් ඉවරයි. ඒති මං ඉතිරි වුණා. 


මේ වන විට, අකුණු මගේ රවුටර් තුන හතරකට වග කියලා තිබෙනවා. අකුණු ගහනකොට පරිගණකය භාවිතා කිරීම අනතුරුදායක ක්‍රියාවක්. ඒත්, මම මේ වැඩේ හරියට කරනවා. සමහර විට මම මැරෙන්නේ එහෙම වෙන්න පුළුවන්. 


මැරෙන එක නෙමෙයි වැඩේ, අරුන්ගේ තාත්තා මළේ හෙණ වැදිලායි කියලා ළමයින්ටත් අහන්න වෙන එකයි. 


අපි කෙනෙකුට සාප කරන නරක ම විධියක් තමයි, තොට හෙණ හත ම වැදියන් ය කියා කියන එක. මිනිහෙකුට හෙණ හතක් වදින්න ඕනැ නැහැ. එකක් වැදුණත් ඇති. මොකද, හෙණයක් නිසා ඇඟ හරහා යන විද්‍යුත් ධාරාව ඉහළ වෝල්ටීයතාවකින් යුත් අධිබල විදුලි ධාරාවක් නිසා. 


හෙණයක් වැදුණාම මිනිහෙක් මැරෙන්නේ ප්‍රධාන වශයෙන් කම්පනය නිසා මොළය, ස්නායු හා හදවත නතර වීමෙන් හෝ ශරීරය අධික ලෙස පිළිස්සීමෙන්. 


ඔබ අසල සිටින අයෙකුට හෙණයක් නිසා අනතුරක් සිදු විණි නම් මුලින් ම ඔහු හුස්ම ගන්නවාදැයි බලා නැතිනම් කෘත්‍රිම ශ්වසනය දෙන්න. වහා රෝහල්ගත කරන්න.


හෙණ ගැසීමෙන් ආරක්ෂා වන්න ඔබේ නිවසේ විදුලි උපකරණ පේනුවලින් ඉවත් කරන්න. 


එළිමහනේ හෝ විශේෂයෙන් ගස් යට ඉන්න එපා. ළඟදී ළමයෙකු මැරුණේ වැස්සට ගසක් යටට ගිය නිසා. 


නිවසක් ඇතුළේ සිටින්න. දොර, ජනෙල්, විදුලි උපකරණ, වතුර කරාම ආදියෙන් ඈත් වී සිටින්න. 


මේ වසර තුළ මේ වන විට ලංකාවේ මිනිසුන් 15ක්වත් අකුණු අනතුරුවලින් මිය ගොස් ඇති නිසා මේ ගැන ලාංකිකයන් සැලකිලිමත් විය යුතුයි. 


තවත් විස්තර සඳහා මෙතැන බලන්න.

මේ අපේ ගීත සාහිත්‍යයේ හෙන ගැසීම ගැන ගැයුණු අවස්ථාවක්


මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිනී වලක මා යට කර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන


මුලදි  බැන්ද ආදරයක මිහිර දැන් .......


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වෛද්‍යවරුන්ට ප්‍රවාහන දීමනා; සෙසු රජයේ සේවකයන්ට බදු

රජයේ වෛද්‍ය නිලධාරීන්ට රු. 29,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවීමට රජය එකඟ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කලින් ඔවුන්ට රු. 15,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබූ අතර එය රු. 14,000කින් වැඩි කර තිබේ. ඒ ඔවුන්ට ලබා දෙන තීරු බදු රහිත මෝටර් රථවලින්  වැඩට එන්නට ය.


සෙසු රජයේ සේවකයෝ ආයතන තුළ පදිංචි වූ අය නො වෙති. ඔවුහු ද බස්වල, කෝච්චිවල, මෝටර් සයිකල්වල, කාර්වල වැඩට එන්නෝ වෙති. පහළ පංතික රජයේ සේවකයන් පාවිච්චි කරන මෝටර් සයිකල් හා කාර් ආදියේ මිළ පසුගිය දිනවල අධික ලෙස ඉහළ ගිය බව කවුරුත් දනිති. 


වෛද්‍යවරුන්ට ලබා දීමට එකඟ වී ඇති ප්‍රවාහන දීමනා වැඩි කිරීම රජයේ සේවකයන්ගේ ආරම්භක මූලික වැටුපට වඩා වැඩි බව ගුරු සංගම් පෙන්වා දෙති.


මෙවැනි තෝරා ගත් රජයේ සේවකයන්ට පමණක් ඉහළ වැටුප් වැඩිවීම් හා වරප්‍රසාද ලබා දීමට රජය කටයුතු කරන්නේ ඇයි ද යන්න අපගේ විමසීමට ලක් විය යුතු ය. 


තමන්ගේ වෘත්තීය ශක්තිය නිසා හා තමන් ඉතා වැදගත්, අත්‍යවශ්‍ය සේවාවක් නිසා තමන්ට මෙවැනි අවස්ථාවත් හිමි වන බව ඇතැම් වෛද්‍යවරු සිතති. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන තමන් සටන් නො කරන්නේ මන්දැයි ඔවුහු සෙසු රජයේ සේවකයන්ගෙන් අසති. එහෙත්, කෙතරම් සටන් කළත්, ලංකාවේ රජයේ සේවකයන්ට කිසි සේත් ම රජයෙන් රු. 14,000ක වැටුප් වැඩි වීමක් ලැබෙන්නේ නැත. 


අපගේ යෝජනාව නම්, රජය මේ අන්දමින් තෝරා ගත් රජයේ සේවකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඒ හරහා සෙසු රජයේ සේවකයන් තුළ තම දරුවන් පිළිබඳ උන්නතිකාමී බලාපොරොත්තු ජනිත කර ඔවුන් ඒ කෙරෙහි ඇද බැඳ තබා දෛනික ප්‍රශ්න අමතක කිරීමට බවයි. 


මෙය ද හරියට සුපර් ස්ටාර් තරග වැනි ය. දහස් ගණනකින් එක් සුපර් ස්ටාර් කෙනෙකු තෝරා ගන්නා විට තවත් ලක්ෂ ගණනක් සුපිරි තරු සිහින තුළට රිංගාගෙන දෛනික ජීවිතයේ කාලකන්නිකම නො දැක ජීවත් වෙති.


රජයේ සේවකයන් බහුතරයක් තම දරුවන් පත් කරන්නට උත්සාහ කරන සුපිරි තරු තත්වය වන්නේ දොස්තර රස්සාවයි. 


දොස්තර රස්සාවට ඇති වැටුප් හා දීමනාවලට අමතරව ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීමට ඇති අවස්ථාව නම් සම්භාව්‍ය දූෂණය හරහා කෙටි කලකින් පහළ මධ්‍යම පංතියේ සිට ධනය හිමි පංතියක තත්වයට ඉනිමගක් තනා ගැනීම දෙමව්පියන්ගේ අරමුණයි. 


ඒ සමගම උතුම් සංස්කෘතියක් ඇති ගමින් සංකර නගරයට සංක්‍රමණය වීම හා ලෝකෙන් උතුම් රට හැර දමා අධිරාජ්‍යවාදී, කොටි හිතවාදී බටහිර රටක පදිංචියට යාම වැනි තවත් අහිංසක සිහින ද ඒ පසුපස වේ. 


තමන්ගේ දරුවන් තුළින් මේ සිහිනය සැබෑ කර ගන්නට බැරි වුවහොත් දරුවන්ගේ දරුවන් හරහා හෝ එය සැබෑ කර ගන්නට රජයේ සේවකයන් උත්සාහ ගන්නා නිසා විශ්‍රාම ගියත් ඔවුන් අසමපාතිකව වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කිරීමට විරුද්ධ වන්නේ නැත. 


ඒ නිසා වෛද්‍යවරුන්ට කෙතරම් වැටුප් වැඩි කළත් රජයේ සේවකයෝ විරුද්ධ වන්නේ නැත. ඔවුන් තමන්ගේ අසහනය දුරු කර ගන්නේ වැඩ නො කර සිටීමෙනි.


ගෙවන වැටුපේ තරමට වැඩ කිරීම වරදක් යයි කාටවත් කිව නො හැක. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-18

පරණ වාහන නො ගෙන්වන ලංකාවේ පිටරටුන්ගේ පරණ ඇඳුම් අඳින දුප්පත් මිනිස්සු

ලංකාව අපූරු රටකි. මේ රටට පැරණි වාහන ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු අලුත් ම නීති රීති මෙසේ ය. 


ඊයේ ජනාධිපතිතුමා වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කර එළඹෙන ලද තීරණ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.


ලංකාව ආඩම්බරකාර රටකි. පරණ වාහන ගෙන්වන්නේ නැත්තේ ඒ නිසා ය. ඇටමැස්සා නම් කියන්නේ මේ ඉන්දියාවට කෙළවීමට ගත් තීරණයක් ය කියා ය. කියවන්න


එහෙත්, රෙදිපිලි සම්බන්ධයෙන් එහෙම නැත. පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ.


ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ ඒ අන්දමින් මිටි බැඳලා ය. 


මේ වනාහි දියුණු රටවල කසල ය. පසුගිය අවුරුදු සමයේ ලංකාවේ මධ්‍යම පංතිකයෝ පවා පොදි කමින් ඒවා අඩු මිළට ගත් හ. 


මෙම බේල් ඇඳුම් අතරින් හොඳ ඒවා ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවල ඉහළ මිළට විකුණන බව ද දැන ගන්නට ඇත. 


බොහෝ විට, මෙම ඇඳුම් විකුණනු ලබන්නේ ඒවා පිටරටවලින් ආනයනය කරනු ලබන පරණ රෙදි බව නො කියා ය. එසේම, ඒවා විශ්වාසනීය පිරිසිදු කිරීමකට ලක් කර නැති බව ද පැහැදිලි ය. 


දුප්පත් මිනිස්සු ද විලි වසා ගන්නට පමණක් නො ව, විලාසිතාවලට ද කැමති ය. 


මේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ අපූරු පැරණි ගීතයකි. චිත්‍රපටය ලොකුම හිනාව බව කතන්දර කියයි.


එංගලාන්තෙ පරණ පැෂන් -  කොළොම්පුරේ  අලුත් පැෂන්
කොළොම්පුරේ අලුත් පැෂන් - මේ පැත්තේ අලුත් පැෂන්


පරණ කෝට් ගීය මෙතැනින් බලන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-13

සුබ නව වසරක්!

අපි යනවා නිලා පත්තු කරන්න


සුබ නව වසරක්! හමු වෙමු නැවතත් අප්‍රේල් 17

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-12

මං ලියන්නේ අහවල් පිස්සුවට ද? | Why W3Lanka writer writing

සිංහල සංස්කෘතිය අනුව වසරක් ගෙවී වසරක් උදා වෙමින් තිබේ. මම අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. මමත් මගේ බිරිඳත් නැකැත්, ජ්‍යොතිෂය ආදිය පිළි ගන්නේ නැත. එහෙත්, අපේ දරුවන්ට ලැබිය යුතු සංස්කෘතික උරුමය මව්පියන්ගේ මති මතාන්තර නිසා වැළැක්විය යුතු නැතැයි සිතන නිසා අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නෙමු.


කොහොමත්, මම මෙවැනි අවස්ථාවලට කැමැත්තෙමි. ජීවිතය නිතර, නිතර අලුතින් පටන් ගන්නට අධිෂ්ඨාන කිරීම මානසිකව හොඳ දෙයකි. ඒ නිසා, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අලුතින් ජීවිතය පටන් ගන්නේ කෙසේදැයි මම සිතමි. මේ වෙනදා මෙන් උපහාසාත්මක ලිවිමක් යැයි වරදවා වටහා නො ගන්න


මම දැන් කොළඹ කව දේශපාලනය සමග කිසිදු සම්බන්ධයක් නැත. අප ජීවත් වන ගම්වල ඔය වමවල් නැත. පෙරටුගාමියෝ නම් සිටිති. ජන අරගල ව්‍යාපාරය හැදූ කාලයේ ඔවුන්ගෙන් අපට ද ආරාධනාවක් ලැබිණි. දැන් ඔවුන් ජන අරගල ව්‍යාපාරය අත්හැර දමා ඇති බවක් පෙනේ. ඔවුන් දැන් පක්ෂයක් නොවැ. අප දන්නා පරිදි වාම පෙරටුගාමීන් ය කියන්නේ අනෙක් අයට අපි පස්සෙන් වරෙව් ය කියා කියන අයියලා පිරිසකි. 


අප වැනි කාගේවත් පිටුපසින් ද නො යන, කාටවත් අපේ පස්සෙන් එන්නැයි ද නො කියන, කාගේවත් සාක්කුවේ ද නැති, අන් අයව අල්ලා සාක්කුවේ ද දා නො ගන්නා මිනිසුන්ට පිටුවහල වෙනුවට වෙනත් විකල්පයක් යෝජනා කරන්නට පෙරටුගාමී පක්ෂවලට බැරි ය. 


පසුගිය දිනෙක එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක සමුළුවකට මට ආරාධනාවක් ලැබිණි. පුරා වසර 10ක පමණ කාලයක් මම එම රාජ්‍ය නො වන සංවිධානයේ ප්‍රකාශනයකට ලිපි ලියුවෙමි. පරිවර්තන කළෙමි. ඔවුන් මට ඒ වෙනුවෙන් මාසිකව ගෙවූ ඔවුන්ට සුළු මුදලක් වූ දීමනාව සුළු වැටුපක් ලබන රැකියාවක් කරන පුද්ගලයකු වූ මගේ ජීවිතයට මහත් අත්වැලක් විය. මම එම මුදල දේශපාලන කටයුතුවලදී මෙන් ම, මෙම බ්ලොග් අඩවියේ කටයුතු සඳහා ද වැය කළෙමි. පසු කලෙක එහි නිලධාරියෙක් අරමුදල් අඩු නිසා එයින් ඉවත් විය හැකිදැයි මගෙන් ඇසී ය. මම කිසිත් නො අසා ඉවත් ව ගියෙමි.


රාජ්‍ය නො වන සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මට මෙම රාජ්‍ය නො වන සංවිධානය උපකාරී විය. එසේ වුවත්, පැරණි මතකය වෙනුවෙන් කිසියම් කෘතවේදී හැඟීමකින් යුක්තව මම එහි ගියෙමි. මට ඇරයුම්පතක් එවා තිබුණමුත් කිසිවකු එහිදී මා සමග සුහදව කතා කළේ නැත. මා විසින් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන ලද පොතක් විශාල වියදමක් දරා ප්‍රකාශයට පත් කර තිබුණු අතර, එහි අඩු තරමේ පරිවර්තක ලෙස මගේ නම හෝ යොදා නො තිබිණි. කිසිවකු පොතේ පිටපතක් හෝ මට නේ දුන් හ. 


එහි පැමිණ සිටි අතළොස්සක් දෙනා එම සංවිධානය සමග ඇත්තේ පරම උපයෝගිතාවාදී සම්බන්ධයක් බව මම දනිමි. මා හට එහිදී සුහද සිනාවක් පවා නො ලැබුණේ මා සමග ඔවුන්ගේ කිසිදු උපයෝගිතාවාදී සම්බන්ධයක් මේ වන විට නැති නිසා ය. පසුගිය කාලයේ එම සංවිධානය සමග සබඳකම් පැවැත්වූ ප්‍රගතිශීලීන් බොහෝ දෙනෙක් එහි නො වූ හ. අතිශය දේශපාලනික හරබර දෙසුමක් පවත්වා පිටතට පැමිණි මහැදුරෙක් දේශනයේ ගාස්තුව ලෙස ලැබෙන මුදල් ගණන් හිලව් පියවාගෙන කෑම සූදානම් වනතෙක් එකෙල මෙකෙල වද්දී මම වේලාසනින් ම එතැනින් පිට වී ආවේ ජන අරගල පිරිසක් නාට්‍ය ජවනිකාවක් පෙන්වන්නට සැරසෙද්දී ය. යම්, යම් සමාජ සම්බනධකම් ගොඩනැඟෙන ආකාරය තේරුම් ගැනීම අසීරු තරම් සංකීර්ණ ය. 


මා සිතන පරිදි මට මේ කොළඹ කවවලලින් හා වාම සමාජයෙන් පිටුවහල් ජීවිතයක් ගත කරන්නට සිදු වන්නට එක් හේතුවක් වන්නේ මේ ලිවිල්ලයි.  මම දැන් වසර තුනක සිට දිනපතා මෙම අඩවියෙහි ලියමි. ඒ ලිවීම දැන් මගේ ජීවිතයට පත්තියම් වෙලා ය. මෙම කාලය තුළදී මම එක් ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. ඒ වනාහි කාගේ හෝ න්‍යාය පත්‍රවලට අනුගත නො වීමයි. කුමන බලපෑම් තිබුණත්, කුමන අඩුපාඩු තිබුණත්, අප ලිව්වේ අප විශ්වාස කළ දේ පමණිත මේ ලිවිල්ලෙන්  මා ලත් වටිනා ම අත්දැකීම වන්නේ ප්‍රකාශනයේ නිදහස යනු සාපයක් බව වටහා ගැනීමයි.


මෙහි සටහන් තැබීමේදී අවංකව ම කිවහොත් මා බිය සුදු වෑන්කාරයන්ට පමණි. ඇත්තම කීවොත්, මම නම් සුදු වෑන්වලට හුජ්ජ යන තරම් බය ය. සුදු වෑන්වලින් ඇවිත් තර්ජනය කළොත් මම නම් මේ ලිවිල්ල දෙයියම්පා නවත්වා දමනවා ය. ඒ නිසා සුදු වෑන් එවන්නට කරදර නො වී, මෙය නැවැත්වය යුතු නම් සීරියස්ලි ඒ බව දන්වනවා නම්, සුදු වෑන්වලට පිච්චෙන ඉන්ධනවලින් පිටරටට ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගත හැකි ය. 


අනෙක් පැත්තෙන් පිටරට පදිංචියට යන්නට ද මට අදහසක් නැත. හේතුව, මා මේ රටට ඇති අසීමිත ආදරය නො ව, තනියෙන් යන්නට බැරිකම හා පවුල පිටින් යාමට ගුවන් ටිකට් ආදිය සඳහා සල්ලි නැතිකම ය.  එසේ ම, ඔය තිබෙන මාධ්‍ය සංවිධානවල සිටින ප්‍රභූවරු අප වැනි චූල මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව අපි අත්දැකීමෙන් දනිමු. අධෝ මාර්ගයෙන් අසූචි උණු වී වැගිරුණත් පිහිටට ඕස්ට්‍රේලියාවල් නැති අප වැනි අසරණයන් මෙහි ම ජීවත් විය යුතු ය. අනෙක් පැත්තෙන්, පිටරටකට ගියත්, එක් දිනක් හෝ හිසට සෙවණක් දෙනු ඇතැයි විශ්වාස කළ හැකි දේශපාලන මිතුරෙකු ද (ක්ලෙමා හැර) මට නැත.


මේ අඩවියට පිං සිදු වන්නට දැන් කොළඹ වාමාංශික කවවල බොහෝ දෙනෙක් මා දුටු විට ව්‍යාජ ලෙස සිනා සී කුණපයක් අසලින් ඉවත් වන්නා සේ හැකි ඉක්මණින් ඉවත් වී යති. එහෙත්, ඔවුන් සිතන තරම් මගේ පැනට බ්‍රේක් නැත්තේ නැත. එහෙම එකක් තිබුණා නම්, මේ වන විට බොහෝ වාමාංශික ශාන්තුවරයින්ගේ වතගොත මෙහි ලියවෙලා ය. මල්ලී, “ඔය කාගෙත් වැඩ කිඩ - මගෙ ෆයිල් එකේ ඇත.“


ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ වීරයන්ගේ ඇත්ත පෙනෙන්නේ තමන්ට වඩා දුර්වල යයි ඔවුන් සිතන කෙනෙක් ඔවුන්ගේ රෙද්ද උස්සා නිරුවත පෙන්නූ විට ය. ඒ වෙලාවට ඔය වාමාංශිකයෝ, මානව හිතවාදියෝ, කවියෝ වැනි අය සුදු වෑන්කාරයන්ට වඩා බියකරු ය. සාමාන්‍ය ජනතාවට වඩා තුච්ඡ ය. නොම්මර එකේ කුහකයෝ ය. මේ වනාහි මාරයාගේ දත් තිස් දෙක මැද සිට උගත් පාඩම් ය. (කොමිෂන් නැත.)


ඉඳහිට හමු වන, කතා කරන පැරණි දේශපාලන සගයෝ දැන් මොනවද කරන්නේයි මගෙන් අසති. මා කියන්නේ නිකම් ඉන්නවා ය කියා ය. ඔවුන් නම්, විශාල දේශපාලන ව්‍යාපෘතිවල නියැලි සිටින බවක් පෙන්වති. මේ දිනවල නම් ඔවුන් ඉන්නේ සුදු වෑන්වලට ද බියේ ය. මෙසේ බ්ලොග් ලියනවා ය කිව්වොත්, ඔවුහු සයිබර් අවකාශයෙන් බිමට ඇවිත් මහ පොළවේ දේශපාලනය කරන ලෙස උපදෙස් දෙති. කුලී කුරක්කමක් කර, දුක සේ අප ජීවත් වන ගම්වල ද ඇත්තේ මහ පොළව බව මේ බුද්ධිමත්තු නො දනිති. 


නිකම් ඉන්නවා යයි කීවාට ඇත්තට ම මේ ලිවිල්ල මගේ ජීවිතයෙන් විශාල කාලයක් අරගනියි. ඔබ මා ලියූ ලිපි කියවා ඇති ප්‍රමාණය ගැන ද මට සතුටක් තිබේ. අප මෙම බ්ලොගය පටන් ගත්තේ 2009 ජුලියේ ය. බ්ලොගර් වෙබ් අඩවිය බ්ලොග්කරුවන්ට සංඛ්‍යා තොරතුරු දෙන්නට පටන් ගත්තේ 2009 දෙසැම්බරයේ සිටයි. එදා සිට බ්ලොගර්ගේ සංඛ්‍යා ලේඛන අනුව, අපේ පිටු මිලියනයකට වඩා කියැවී තිබේ.


Pageviews all time history - 1,155,463 


සමස්තයක් ලෙස මෙම අන්තර්ජාල මැදිහත්වීම තුළ ලක්ෂ 15ක් පමණ සිංහල හා ඉංග්‍රීසි පිටු පාඨකයන් විසින් කියවන්නට ඇතැයි අපි සිතමු. අප දැනට ඉංග්‍රීසි අංශය කෙරෙහි ද බරක් තබා ඇත. 


මේවා කියවා අවඥා සහගත කමෙන්ට් නිර්නාමිකව දමන්නට සිතා සිටින මිනිසුන්ට මම කියන්නට කැමති කාරණයක් නම් මේ වනාහි හුදකලා මිනිසකු ඔහු දන්නා ප්‍රමාණයෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ සටනක් බවයි. අප අසන්නේ මෙවැනි පුංචි ව්‍යායාමයන් නො තකා හරින්නට තරම් පෙන්විය හැකි මහා මැදිහත් වීම් තිබේ ද යන්න පමණි. 


මේ මගුල දිගට ම කරන්නේ අහවල් එකකටදැයි මට සිතුණු වාර අපමණ ය. එහෙත්, දැන් මේ ලිවීම ද එක්තරා ඇබ්බැහිකමක් වී තිබේ. එම ඇබ්බැහිය දුම් බීම සේ මගේ ජීවිතය කා දමනවා වන්නට ද පුළුවන. 


ආර්ථික දුෂ්කරතා උත්සන්න වෙමින් තිබේ. හොස්ටිං ගිනුමට මුදල් ගෙවීම දුෂ්කර නිසා අපි දැන් පූර්ණ වශයෙන් ම ගූගල් කොම්පැනියේ දාසයෝ වී සිටිමු. බ්ලොගර්ලාගේ බ්ලොග් ආණ්ඩුවේ ලියපදිංචි කිරීම කළ යුත්තේ බ්ලොගර් කොම්පැනිය ද, අප ද යන්න පැහැදිලි නැති නිසා අපි රෙජිස්ටර් ද නැත. ඉස්සර නම් අපි කීවේ රෙජිස්ටර් වීම ඇත්තේ ජනතා හදවත්වල ය කියා ය. ජනතාවට කවදාවත් ඔය අපභ්‍රංස තේරුණේ නැත. 


කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මහේක්ෂ දේශපාලන යෝජනාවක් පීපල්ස් මාච් බ්ලොග් අඩවියේ මීට මොහොතකට පෙර කියෙව්වෙමි. ඔබත් කැමති නම් කියවන්න. 


ඒ පිළිබඳ අදහස් දැක්වීමට මට උනන්දුවක් නැත. ඒවා අවශ්‍ය ය. එහෙත්, මා නම් අවධානය යොමු කරන්නේ වාමාංශික අවකාශය තුළ මිනිස්කම යළි පිහිටුවීමේ අවශ්‍යතාව කෙරෙහි ය. මගේ මැදිහත් වීම වාම දේශපාලනයේ ක්ෂුද්‍ර තලයේ එකකි. 


නිදසුනක් ලෙස මම එක් සිද්ධියක් සිහිපත් කරමි. දිනක් මම අන්තර්ජාල මාධ්‍ය පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමක් සඳහා අතින් බස් ගාස්තු දරාගෙන, දවසක කාලය ගෙවමින් කොළඹ එක් වාමාංශික කවයක ආරාධනය මත ඔවුන්ට වැඩමුළුවක් පැවැත්වූයෙමි. දිවා ආහාරය වේලාව ඉක්ම ගිය පසු එම වැඩසටහන අවසන් වූ අතර, එය සංවිධානය කළ සහෝදරවරු මට ස්තුති කර කෑමට ගිය හ. මෙය දුටු වෙනත් මිතුරෙක් සිය බත් පත මා සමග බෙදා ගත්තේ ය. 


මේවා සුළු සිද්ධි යයි කෙනෙකුට කියන්නට පුළුවන. මා කියන්නේ එය එසේ නො වන බවයි. අද වන විට වම තුළ නැති එක ම දෙය මනුස්සකමයි. එසේ ම, ලොකු ම ප්‍රශ්නය ද එයයි. 


මා සිතන පරිදි වම දැඩි ලෙස ම ගෝලීය ධනවාදයේ බලපෑමට ගොදුරු වී තිබේ. රජය, මන්ත්‍රී වැටුප්, දේශපාලන පත්වීම්, රාජ්‍ය නො වන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, වෘත්තීය සමිති සාමාජික මුදල්,  කැට සල්ලි ආදිය හරහා එන ආර්ථික ප්‍රාග්ධනය ද මාධ්‍ය හා සංවිධාන ආදිය හරහා ලැබෙන සමාජ ප්‍රාග්ධනය ද හේතුවෙන් වම අන්තයට ම දූෂණය වී තිබේ. මෙම ප්‍රාග්ධනය තුළ ක්‍රියාත්මක වන්නේ අන් කිසිවක් නොව, ගෝලීය ධනවාදයේ ප්‍රධාන කොටස් වන අමානුෂිකත්වය, දයා විරහිත බව, ආනාදරය (unlove), කාමය, කුටුම්භවාදය, ආත්මාර්ථකාමිත්වය ආදියයි. මේ හරහා වාමාංශිකයෝ ද කරන්නේ සමාජමය වශයෙන් හෝ දේශපාලන වහයෙන් හෝ පෞද්ගලිකව හෝ ලාභ ඉපැයීමයි.


සහෝදරවරුනි, මම ඉදිරියටත් ලියන්නට අදහස් කරන බව කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමි. මා ලියන්නේ මා තුළත්, ඔබ තුළත් ඇති  නිර්වාම ලක්ෂණ ගැන ය. වම හදන්නට අවශ්‍ය නම් අපි මුලින් ම මනුස්සකම සහිත සහෝදරයින් විය යුතු ය. මෙය ලියන මටත්, මෙය කියවා, නොකියවූවා සේ සිටින ඔබටත් යළි මිතුරන් වන්නට හැකි අවකාශයක් අපි හදා ගත යුතු ය. 


ඉස්සරහින් යන්නන් හෝ පස්සෙන් යන්නන් නො වී ගමන් සගයන් වෙමු. එන්න අපි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරමු. 
-අජිත් පැරකුම් ජයසිංහ

ඡායාරූපය බිරිඳ විසිනි

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සුනාමිය අවා නම්..........

ලංකාවේ වෙරළබඩ ජනතාව ඊයේ සිය ජීවිතයේ තීරණාත්මක දවසක් පසු කළේ ය. ඔවුන්ගේ වාසනාවට සුනාමිය නො ආවේ ය.


මේ අතර, තවත් සුනාමියක් එනු ඇතැයි බලාපොරොත්තු සහිතව සිටි අය ද සිටින්නට ඇත. ඒ වනාහි 2004 සුනාමියෙන් පසු විදෙස් රටවලින් ලැබුණු පුණ්‍යාධාර ගසා කෑ කටිටියයි. 


ඇතැම් රාජ්‍ය නො වන සංවිධාන ජාවාරම්කාරයන් පරම්පරා හතකට සුනාමියෙන් මුදල් උපයා ගත් හ.


2004 සුනාමියෙන් පසු ලංකාවට ලැබුණු ඩොලර් ආධාර නිසා රුපියලේ අගය පවා ඉහළ ගියේ ය. විදේශ ණය සඳහා දුන් සහන කාලයන් වැනි සුනාමි සහන ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මහත් පිටිවහලක් විය. 


මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවට ද කුමන අන්දමින් හෝ විදේශ විනිමය අවශ්‍ය වී ඇත. ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය උදුරා ගැනීමට පවා සූදානම් බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආ බාමි ආමි එක දැක ටෙස්ට් ක්‍රිකට් තරගයේ ටිකට් මිළ නැංවූ අන්දමින් පෙනේ. 


කොහොම වුණත්, සුනාමිය නො ආ නිසා ලංකාවේ මුහුදුබඩ දිළින්දන් පිරිසක් අමාරුවෙන් ගොඩනඟා ගත් දේපල ආරක්ෂා විය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-11

පෙරටුගාමීන් හමුවේ ඇති ගුනරත්නම් අභියෝගය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කළ සැණින් ඔවුන් හමුවේ තියුණු අභියෝගයක් ඇත. ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියේ පසු ජවනිකාවලදී ඔවුන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න මෙහිදී වැදගත් ය. 


ප්‍රේමකුමාර් ගුනරත්නම් පැහැරගෙන යාම ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා එම පක්ෂය විසින් ම කරන ලද්දකැයි දැන් ආණ්ඩුව කියයි. ප්‍රේමකුමාර් විවිධ නම්වලින් පෙනී සිටීම හා ගුප්ත චරිතයක් වීම ද, ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීම ද ආණ්ඩුවට වාසිදායක වී තිබේ. ඔහු විශ්වාසදායක පුද්ගලයකු නො වන බව ආණ්ඩුවේ ප්‍රකාහනයයි. 


එහෙත්, දිමුතු ආටිගල සම්බන්ධයෙන් එකී කාරණා අදාළ නැත.


එහෙත්, ප්‍රේමතුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබ දින කීපයකට පසුව නිදහස් කරන්නට සිදු වීම එය කළ අයගේ පරාජයක් බව නිසැක ය. එපමණක් නොව, එය වනාහි එක්තරා අතේ පත්තු වීමකි. මෙම අපවාදයෙන් ගැලවීම පිණිස ඔවුන්ට පිහිටට ඇත්තේ ලජ්ජා නැතිකම පමණි. 


රට තුළ කුමන පුරසාරම් දෙඩුවත් මෙම සිද්ධිය මගින් ලංකාවේ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් ඇති වන කැළල  නො මැකෙන එකකි. 


මෙම සිද්ධිය දේශපාලනික ලෙස ආයෝජනය කිරීමේ පරිණතබවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තිබේ ද යන්න මෙතෙක් ඔවුන් කටයුතු කළ ආකාරයෙන් අපැහැදිලි ය. ප්‍රේමකුමාර්ගේ අතුරුදහන් වීමට වඩා ඔවුන් අවුල් කර ඇත්තේ ඔහු යළි පැමිණීමයි. 


දිමුතු ආටිගල මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශය ද දේශපාලනික පරිණතභාවයකින් යුතුව කරන එකක් බව නො පෙනේ. ඇය කියන ආකාරය අනුව ආණ්ඩුව ඔවුන් නරක ළමයින් කට්ටියකැයි සිතාගෙන සිට දැන් හොඳ ළමයි බව වටහා ගෙන තිබේ. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැත. 


දිමුතු ආටිගලගේ ප්‍රකාහය අනුව පෙනෙන්නේ තමන් කොටින්ට සම්බන්ධ නැති බව ඔප්පු කර ගැනීමට හා දෙමළ ඩයස්පෝරාවෙන් මුලද් නො ලැබෙන බව ඔප්පු කර ගැනීමට ලැබීමෙන් ඔවුන් තෘප්තිමත් වී ඇති බවකි. 


මෙම පැහැර ගැනීම ලංකාවේ දේශපාලනය හා මානව හිමිකම් සම්බන්ධ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස මතු කර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අසමත් වී තිබේ. 


අනෙක් පැත්තෙන් ප්‍රේමකුමාර් ගුනරත්නම් සම්බන්ධ ප්‍රබන්ධාර්ථ මත පදනම්ව දේශපාලනය කරන්නට මෙම පක්ෂයට තව දුරටත් හැකි වේ ද යන්න ගැටලුවකි. ඔහු පැහැර ගැනීමට ලක් වීම හා මුදා හරිනු ලැබ ඕස්ට්‍රේලියානු රජයේ රැකවරණය මත රටින් පිට වීම ඔහු පිළිබඳ ප්‍රබන්ධ පුරාවෘත්ත සුණ විසුණු කර දමා ඇත. ඔහු මේ අවස්ථාවේ සිය පක්ෂයේ දේශපාලනයේ පෙරමුණ නො ගතහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඇති අවස්ථා තවත් සීමිත වනු ඇත. එහෙත්, ඔහුගේ පිටතට පැමිණීම සෝමවංශ අමරසිංහ ප්‍රංශයේ සිට ලංකාවට සම්ප්‍රාප්ත වීමට නො වැඩි දෙයක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 


ජවිපෙන් ගෙන ආ සෙවල ප්‍රතිපත්ති මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉදිරියට යා නො හැක. ලංකාව සම්බන්ධයෙන් ද, ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් ද නව, යථාර්ථවාදී ප්‍රවේශයක් වෙත නො එළමුණහොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද තවත් එක් පක්ෂයක් පමණක් වනු  ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-04-10

පැහැර ගත්තේ නිල හා නිල නො වන මර්දන අංශ එකතුවකින් බව දිමුතු ආටිගල කියයි

දිමුතු ආටිගල පැහැරගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන නිල හා නිල නො වන මර්දන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයේ පියවරක් ලෙස බව දිමුතු ආටිගල අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවා ය.


ඇය පවසන්නේ පැහැර ගත් අැය රඳවාගෙන සිටි ස්ථාන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ඇයට වැටහුණු බවයි.


පැහැර ගැනීම සිදු වුණ අවස්ථාවේ නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි දෙදෙනෙකු දුටු බව ද ඇය පවසයි. ඇය කියන පරිදි අකරමගදී දෙදෙනෙකු එම වාහනයෙන් බැස ගොස් ඇත. ඔවුන් ජවිපෙට පක්ෂව කතා කර ඇති අතර, ‘උඹට මෙ‍හෙම වෙන්නෙ ජවිපෙන් වෙන් වුණ පවට යැයි ‘ඔවුන් පවසා ඇත.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශයක් ඇද්ද, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාද ආදී කරුණු පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.


ඇගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින් කියවන්න.



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රේමකුමාර් ගුනරත්නම් නාටකයේ අත්දැකීම්

ප්‍රේමකුමාර් ගුනරත්නම් සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන්ට පහත සඳහන් පාඩම් උගත හැකි ය.


ශ්‍රී ලාංකිකයන්ට මානව හිමිකම් නැතත් ඕස්ට්‍රේලියානුවන්ට මානව හිමිකම් ඇත. 


ඔස්ට්‍රේලියානුවන්ගේ මානව හිමිකම්වලට ලංකාවේ රජය ද ගරු කරයි. ඒ අනුව, ඔවුන් ලංකාවේදී අතුරුදහන් වන්නේ නැත. 


පෙර පිනට ලෝකෙන් උතුම් රටේ උපදින ශ්‍රී ලාංකිකයන්ට ද මානව හිමිකම් භුක්ති විඳීමට අවශ්‍ය නම් කුමන අන්දමකින් හෝ ඕස්ට්‍රේලියාව වැනි පාලනයක් සහිත රටකට සංක්‍රමණය විය යුතු ය. 


ඕස්ට්‍රේලියාව වැනි බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටවල් ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටවලදී පවා තමන්ගේ පුරවැසියන් ගැන සොයා බලති. 


ලංකාවේ දිමුතු ආටිගල වැනි සාමාන්‍ය ජනයාට පැහැර ගැනීමට ලක්ව ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසියකු සමග පැහැර ගැනීමට ලක් විය යුතු ය. 


ඉන් පසු ඒ පැහැර ගැනීම නිසා තවත් පිරිසකට ද ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබා ගත හැකි වීම පැහැර ගැනීමක ඇති හොඳ පැත්තයි. 


ඕනෑම කළු වළාවක රිදී රේඛාවක් තිබේ. ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ද තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රෙමකුමාර් ගුනරත්නම්, මුදලිගේ නොවෙල් වීම අතුරුදහන් කිරීමට තරම් දෙයක් ද?

ප්‍රේමකුමාර් ගුනරත්නම් ලංකාවට පැමිණ ඇත්තේ මුදලිගේ නොවෙල් නමින් ගමන් බලපත්‍රයකින් බව ඔස්ට්‍රේලියානු රජය ලංකාවේ රජයට දැනුම් දී ඇතැයි විමල් වීරවංශට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ වාර්තා වී තිබේ. 


ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය කළ නො හැකි බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. එසේ පවසන ඔහු ද ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබුණු අයෙකි. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ චරිතයක් වන පාලිත කොහොන ද ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුව සිටියේ ය. 


ප්‍රෙමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ ය. මන්ද, ඔහු ලංකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේ ද ආගමන, විගමන නීති උල්ලංඝනය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහුට සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත. 


නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් ද ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බ්‍රිතාන්‍යෙය්දී අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබුවේ ය.  මන්ත්‍රී තිලංග සුමතිපාල ද සමාන චෝදනාවකට ලංකාවේ අධිකරණයෙන් දඬුවම් ලැබ පසුව නිදහස ලැබුවේ ය.


ප්‍රේමකුමාර් ගුනරත්නම් අතුරුදහන් කරන්නට තරම් හේතුවක් මේ ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම තුළ නැත. අනෙක් පැත්තෙන් මේ කිසිවක් දිමුතු ආටිගලට අදාළ නැත. 


ගුනරත්නම් සිය බිරිඳ හා විවාහ වී ඇත්තේ ද වෙනත් නමකින් බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි. 


ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු වූ කේ.පී.ට මෙන් විවිධ අනන්‍යතා ලේඛන භාවිතා කරන්නට පැහැදිලි හේතුවක් ගුනරත්නම්ට නැත. ඔහු මෑත කාලයේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධව චෝදනා ලැබ නැත. ඔහු සම්බන්ධ දේශපාලන ව්‍යාපාරවල නායකයන් බොහෝ දෙනෙකු සේ ම ඔහු ද ගත කළේ සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයකි. 


සිංහල ජාතිවාදී දේශපාලනයට සම්බන්ධව සිටි දෙමළ කතා කිරීමට නො දත් ඔහුට ඇතැම් විට තම දෙමළ නම පිළිබඳ පිළිකුලක් තිබුණා වන්නට ඇත. 


රහසිගත ජීවිතයක් ගත කරන බව ප්‍රදර්ශනය කිරීම ලංකාවේ ඊනියා විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධාන රෝග ලක්ෂණයකි. අප දන්නා මෙවැනි විප්ලවකාමීන් බොහෝ දෙනෙකුට මේ රෝගය තිබේ. ඔවුන්ගේ රහසිගත දේශපාලනික ජීවිතයේ ප්‍රධාන හෝ බොහෝ විට එක ම රහස විවිධ නම් භාවිතා කිරීම ය. විමල් වීරවංශ පවා ජවිපෙ සිටින කාලයේ විභූති වීදිය බංඩාර, විමලසිරි ගම්ලත්, උදය කීර්ති පෙරේරා වැනි නම් ගණනාවක් භාවිතා කළේ ය. 


මේ අය විවිධ නම්වලින් පෙනී සිටිමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් කරන තවත් දෙයක් වන්නේ ඒ නමින් පෙනී සිටින්නේ තමන් බව ප්‍රසිද්ධ කිරීමයි. ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර නො ගැනීමට ඔවුහු එසේ කරති. අප දන්නා එක් විප්ලවකාමියෙක් පෙම් කවි ලියන්නේ වෙනත් නමකිනි. මන්ද, ප්‍රේමය වැනි බාල දේවලට ඔහුගේ නම ගාවා ගැනීමට ඔහු කැමති නැත. එහෙත් කිසියම් ‘සම්භාව්‍ය‘ කටයුත්තක් කළහොත් ඒ සමග හැම විට ම යන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ ඇති නමයි. 


අන්වර්ථ නම් අධ්‍යයනය කිරීම මේ පුද්ගලයන්ගේ මනෝභාවයන් හැදෑරීමට ද උපකාර වේ. උදාහරණයකට විභූති වීදිය බංඩාර වැනි බරසාර නමක් ගෙන බලන්න. නමින් හෝ දෙමළ ජාතිකයකු වූ ප්‍රේමකුමාර් ගුනරත්නම් වර්තමානයේදී දැඩි සිංහල ජාතිවාදී අදහස් ගම්‍ය කරන ගැමුණු වැනි නමක් භාවිතා කිරීම ද අපූරු සංසිද්ධියකි. 


කිසියම් පුද්ගලයකුට තමන්ගේ නම තමන්ට ම තෝරා ගන්නට අවස්ථාව ලැබුණු විට ඔවුන් නම් දමා ගන්නා ආකාරය අපූරු ය. උපැවිදි වන බොහෝ පුද්ගලයන් නම් දමා ගන්නා විට ඒ යුගයේ ඇති නවීන ම නම් දමා ගනිති.  එසේ ම, ඔවුන් දමා ගන්නා නම් සමහර විට පෙනුමට කිසි සේත් නො ගැලපෙන තේජස් විහිදෙන ඒවා ය. කලක් ගත වන විට පුද්ගලයාගේ රූපය හා නම අතර විශාල නො ගැලපීමක් ප්‍රදර්ශනය වේ. 


සුනේත්‍රා රාජකරුණානායකගේ බත් තරංග නවකතාවේ අඟුටුමිටි පුද්ගලයාගේ නම අද කාලේ නම් කියන්න පවා බය හිතෙන එකකි. සිය ප්‍රබන්ධ කතාවල චිරිතවලට නම් දැමීමේදී මාටින් වික්‍රමසිංහ අපූරු කුසලතාවක් පෙන්වූයේ ය. ඔහු මීට අඩ සියවසකට ඉහත භාවිතා කළ නම් තවමත් නවීන පෙනුමෙන් යුක්ත වේ. 


අරිසෙන් අහුබුදු ශූරීන් ඕනෑම අකුරු මාට්ටුවකට අරුත් දීමේ ශූරයකු වූ හෙයින් මෑත කාලයේදී සිංහල නම් විකට ස්වරූපයක් ගෙන තිබේ. 


දේශපාලන ව්‍යාපාරවල සිටින අය ද නම් දමා ගන්නා විට මෙවැනි බොළඳ ආකාරයෙන් කටයුතු කරන ආකාරය සුලබ ය. 


මේ වනාහි විප්ලවකාමය නම් රෝගයේ ලක්ෂණ මිස  අන් යමක් නො වේ. 


ලංකාවේ සමාජය ම දැඩි භින්නෝන්මාදයකින් පෙළෙන බව අපි මීට කලින් ද කීවෙමු. ශාස්තෘ නවකතාවෙන් ද ලේඛකයා උත්සාහ කළේ මේ සමාජ භින්නෝන්මාදය ස්පර්ශ කිරීමටයි. විප්ලවකාමියෝ මෙන් ම, ඔවුන් පසුපස හඹා යන බියපත් දඩයක්කාරයෝ ද, මේ ලියන ලේඛකයා ද, කියවන ඔබ ද මේ සමූහ උම්මත්තකභාවයේ ගොදුරු ය. 


අප බෙහෙත් පානය කළ යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න