2012-06-30

වෙබ් අඩවි දෙකක කාරියාල සීල් තබා නවදෙනෙක් සිර කිරීමේ සුළු සිද්ධියක්

අදාළ වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක්
ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් නම් ත්‍රිභාෂා වෙබ් අඩවි දෙක පවත්වාගෙන ගිය කාර්යාල වටලා ඒවා සීල් තබා ජනමාධ්‍යකරුවන් ඇතුළු නවදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ සුළු සිද්ධියක් ඊයේ සිදු වී තිබේ.


මෙය සුළු සිද්ධියක් යයි අප කියන්නේ ලංකාවේ හෝ ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හෝ මෙය එතරම් වැදගත්කමක් දී වාර්තා කර නැති නිසා ය. ඒ විශේෂ වාරණයක් නිසා යයි සිතිය නො හැක. වාරණය තමන් විසින් ම කර ගන්නට මේ මාධ්‍ය දනිති. 


අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත් කරමින් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවි දෙක අධිකරණ නියෝගයකට අනුව තහනම් කොට කාර්යාලය සීල් තැබූ බව ද අන්තර්ජාල ප්‍රවෘත්ති සේවාවන් ලියාපදිංචි කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූවත් මෙම වෙබ් අඩවි දෙක එම තීරණයන්ට ගරු නොකරමින් පවත්වාගෙන ගොස්‌ ඇතැයි ද  ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල පවසයි.


මේ නීති සියයට සියයක් ම අපැහැදිලි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ඒ 'නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත්  හාමුදුරුවන්ගේ' යන ප්‍රස්ථාව පිරුළයි. 


මෙම වෙබ් අඩවි දෙක ම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීරට සම්බන්ධ ය. මංගල සමරවීර යනු ආණ්ඩුවේ මාධ්‍ය ගේමට මුහුණ දෙන්නට මාධ්‍ය හැසිරවිය හැකි ඔස්තාද් කෙනෙකු බව සැබෑ ය. එහෙත් මේ වෙබ් අඩවිවල තිබුණු ඇටිකෙහෙලක් නැත.


‍මේ සිද්ධියෙන් ඕනෑ නම් මෙම වෙබ් අඩවි දෙකට ප්‍රචාරයක් හා ඒවායේ හිඟන පඩියට වැඩ කරන ජනමාධ්‍යකරුවන්ට නම්බුකාර ලෙස විදෙස් රටක දේශපාලන රැකවරණ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට හැකි වනු ඇත.


එසේම, ලංකාව දරුණු මර්දනයක් ඇති රටක් බවට ඇති මතය තහවුරු කරන්නටත්, ලංකාවේ දෙමළ ජාතිකයන්ට වැඩි වැඩියෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල සරණාගතභාවය ලැබෙන්නටත් මෙවැනි සිද්ධි ඉවහල් වනු ඇත.


ආණ්ඩුවට එරෙහිව ඇති විරෝධය වෙබ් අඩවියක කමෙන්ටුවක් දමා මෝචනය කර ගන්නට අන්තර්ජාල පාඨකයන්ට ඇති අවස්ථාව ද නැති කර දැමීමෙන් ආණ්ඩුව කුමක් බලාපොරොත්තු වේ ද යන්න පැහැදිලි නැත. 


ආණ්ඩුවට හිසරදයක් වී ඇති බව කියන වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන්නේ ගොසිප් ය. ගොසිප් යනු ඕපාදූප වුණත්, ඒවා කටකතා තරම් අවිද්‍යාත්මක නැත. නිදසුනකට මේ දිනවල කටුගෙයින් නැති වූ කඩු ආදිය පිළිබඳ පැතිරෙන කටකතා විමසා බලන්න. 


‍ගොසිප් අවුරන්නට යන ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වන්නේ කටකතාවලටයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-28

මුට්ටිය බිඳින්න ජනතාවට ශක්තිය තිබේද?

උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ ආණ්ඩුමේ මුට්ටිය දමා බැලීමක් බව පැහැදිලි ය. 


අතිශය පීඩනයට පත් වී සිටින ජනතාව මුට්ටියට කෙළියොත් ආණ්ඩුව ගේ බිඳීම නවත්වා පළා යනු ඇත. 


එහෙත් ප්‍රශ්නය ජනතාවට මුට්ටිය බිඳින්නට ශක්තිය තිබේ ද යන්නයි. බොහෝ විට වෙන්නට ඉඩ තිබෙන්නේ මුට්ටිය දැක දැකත් නිදා ගත්තා සේ සිටීමයි. හොරු තව වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය නම් ගේ බිඳින විටත් ඔවුන් නිදි සේ ම සිටිනු ඇත. 


මෙතැන ඇති ප්‍රශ්නය මුට්ටියට පොලු පාර දෙන්නට එඩිතරකම හා ශක්තිය ගොනු කර ගන්නට ජනතාවට උපකාරී විය හැකි විපක්ෂ දේශපාලන බලවේගයක් නොමැති වීමයි. 


මුට්ටිය බිඳින්නැයි කියන පුද්ගලයන් සේ ම ගේ බිඳිමට ලක් වන තමන් ද හොරුන් බව ජනතාව දන්නා නිසා බලයේ සිටින සොරුන්ට විශේෂ විරුද්ධකමක් කිරීමට ඔවුන්ට උවමනාවක් නැත. 


මේ ඡන්දයේදීත් ජය මහින්දට ම වීම සාමාන්‍ය සංසිද්ධියකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-26

නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

ආරක්ෂක අමාත්‍යංශයේ යයි කියා ගත් පිරිසක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ නිවසට පැමිණ ඔහු සහ ඔහුගේ පවුලේ අයගේ සිත් තුළ බිය ඇති වන ආකාරයෙන් කටයුතු කර තිබේ. 


නිරිමාල් රංජිත් දේවසිරි යනු එක්ස් කණ්ඩායමෙ හිටපු දෙවෙනියා ය. (පළමුවෙනියා දීප්ති කුමාර ගුනරත්න නම්) 


2004 අග භාගයේදී එක්ස් කණ්ඩායම මේ දෙදෙනාගේ නායකත්වයෙන් කැඩී ගියේ ය. ඒ සමග ම ඒ දේශපාලන ව්‍යාපෘතිය දිය වී ගිය බව අද වන විට පැමිණිය හැකි නිගමනයයි. විශේෂයෙන් ම නිර්මාල් නායකත්වය දුන් පාර්ශ්වය සංවිධානමය වශයෙන් ස්වයංව දිය වී යාම තෝරා ගත් බව පෙනේ. 


රැස් වළලු සහිත නායකත්වයක් වටා ඒකරාශී වූ සටන්කාර අනුගාමිකයන් පිරිසක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන්ගේ නිදහස් අවකාශයක් නිර්මානය කරන්නට නිර්මාල් පාර්ශ්වය දැරූ තැත පැරණි එක්ස්වරුන්ට ම දරා ගත නො හැකි විය. ප්‍රමාණයෙන් කුඩා රැස් වළලු වටා යළි ඔවුහු ගොනු වෙමින් සිටියහ. නිර්මාල්ට ද රැස් වළල්ලක් තිබිණි. එහෙත්, මෑත කාලීන වාම අන්තවාදීන් බොහෝ දෙනෙකුට පරමාදර්ශය වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් නිර්මාල්‍ට නම් පරමාදර්හයක් නොවූ බව ඔහු සමග ඇසුරින් ලේඛකයාට අවබෝධ විය. 


දීප්තිගේ පාර්ශ්වයට ද කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසානයේදී ද්‍රව වීගියේ ය. එය ලංකාවේ වාම දේශපාලනයේ පොදු සංසිද්ධියක එක් නිරූපණයක් පමණි. 


එහෙත්, නිර්මාල් රංජිත් දේවසිරි සුපුරුදු වමා ම වූ අතර ඔහු සංවිධාන ඇතත්, නැතත්, නොවෙනස් සමාජ ක්‍රියාධරයකු ලෙස දිගට ම කටයුතු කළේ ය.  සමාජ සාධාරණත්වය වෙනුවෙන් දිගට ම සටන් කළේ ය. ඔහු සෙසු වාම නායකයන්ගෙන් වෙනස් වන්නේ සිය බල අවකාශය තුළත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට උත්සාහ කළ නිසා ය. එසේ ම, ගාන්ධි කීවා සේ සමාජය තුළ තමන් අපේක්ෂා කරන වෙනස තමන් ම වීමට ඔහු උත්සාහ කළේ ය. එනයින් ගත් කල ඔහු වික්ටර් අයිවන් මෙන් ‍ගාන්ධි උපුටා දක්වන්නකු නො වී සැබැවින් ම ගාන්ධි අනුගමනය කරන්නකු විය. 


ඔහුට සමාජ සංසිද්ධි අරභයා ඔහුගේ ම වූ දැක්මක් ඇත. ඔහු සංවාද ලෝලියෙකි. අන් මත ලෙහෙසියෙන් පිළි ගන්නකු නො වූවත්, ඒවාට හොඳින් සවන් දෙන්නෙකි. සිය මතය වෙනුවෙන් සටන් කරන්නෙකි.


එක්ස් කණ්ඩායම වනාහි කලින් කල විවිධ බටහිර චින්තකයන් ධාතු කරඬු සේ වඩම්මමින් සිටි කණ්ඩායමකි. ඔවුන් ලංකාවේ දේශපාලන අවකාශයට නව දැනුම ගෙන එමින් විශිෂ්ට කාර්යභාරයක් කළ මුත්, ඒ දැනුමින් ලක් සමාජය විග්‍රහ කිරීමේදී හා සාධනීය මැදිහත් වීම් කිරීමේදී එතරම් සාර්ථක වූයේ නැත. 


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරයට නිර්මාල් රංජිත් දේවසිරි පත් වූයේ නිතැතින් බව අපගේ විශ්වාසයයි. ඒ කියන්නේ අරගලයකට නායකත්වය දෙන්නට ඉදිරිපත් වන්නට තරම් කොන්ද පණ ඇති නායකයන් ලංකාවේ සරසවි ඇදුරන් අතර විරල නිසා ය. අපගේ නිරීක්ෂණ අනුව,  ඵලදායීතාවෙන් ඉතා අඩු බහුර පිරිසකගෙන් සමන්විත සේවාවක් වන ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය ‍සේවාව තුළ නිර්මාල් සුවිශේෂ චරිතයකි. 


අප ඔහු දකින්නේ ලංකාවේ විරල වූ සැබෑ විද්‍යාර්ථියකු ලෙසයි. ඔහු සිය ජීවිතය ම අධ්‍යයනයට, හා අධ්‍යාපනයට කැප කළ පුද්ග‍ලයෙකි. අප දන්නා තරමින් ඔහු ටියුෂන් කරන්නේ නැත. පොසිටිව් තින්කිං දේශන පවත්වන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන දේශකයෙක් වන මුත් ඒවායේ අරමුදල් පාලක බහිරවයෙක් නො වේ. ඔහු දේශපාලකයන් පසුපස යමින් තනතුරු සිඟන්නේ ද නැත. 


ධම්ම දිසානායක නිර්මාල් සමග එක්ස් කණ්ඩායමේ සිටි, එම දේශපාලන කණ්ඩායමේ කරට පය තබා බල ඉනිමගට ගොඩ වූ පුද්ගලයෙකි. නිර්මාල්ගේ වටිනාකම තේරුම් ගැනීමට මේ චරිත දෙක සංසන්දනය කිරීම ප්‍රමාණවත් ය.


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරය නිර්මාල්ගේ වටිනාකම් භක්ෂණය කරමින් ඇති බව අපගේ නිරීක්ෂණයයි. ඔහු අද සිය කාලය කැප කරමින් සිටින්නේ පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයකින් සමන්විත වූ පිරිසකගේ ආර්ථික ඉල්ලීමක් වෙනුවෙනි. 


යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් කැප වන විද්‍යාර්ථියකු ලෙස නිර්මාල්ට කළ හැකි කාර්යභාරය සරසවි ඇදුරන්ගේ වැටුප් සටන විසින් අවුරා ඇත. 


දැන් ආණ්ඩුව මාන බලමින් සිටින්නේ නිර්මාල්ව ද රට පැටවීමට බව පෙනේ. 


ඔහු ගැවසුණු වාම කවවල ක්‍රියාධරයන් වැඩි දෙනෙක් පසුගිය සමයේ කළේ වඩා හොඳ ජීවිත සොයා බටහිරට සංක්‍රමණය වීමයි. රට පැනීම සඳහා අවශ්‍ය උත්ප්‍රේරක ආණ්ඩුව විසින් සපයා දෙන ලදී. 


නිර්මාල් සඳහා වූ  ආණ්ඩුවේ උපායමාර්ගය ද එයයි. 


ලේඛකයාගේ ශාස්තෲ නවකතාව දොරට වඩින දා දේශනයක් පැවැත්වූ නිර්මාල් මෑත කාලීන නවකතාවල චරිත භෞතික සමාජ යථාර්ථයෙන් පළා යාමක් ඇති බවට ගුණදාස අමරසේකරගෙන් ණයට ගත් අදහසක් ඉදිරිපත් කළේ ය. 


ශාස්තෘ නවකතාවේ කථක ඉන්දියාවට පළා යාම එම සංසිද්ධියට උදාහරණයක් ලෙස ඔහු විසින් හුවා දක්වන ලදී. ලේඛකයා සිතන පරිදි සරච්චන්ද්‍රයෝ සිය කල්පනා ලෝකය විචාර ග්‍රන්ථයෙන් අමරසේකරගේ මේ පුහු තර්කයට පිළිතුරු දී ඇත. කල්පනා ලෝකය ද යථාර්ථය ම යයි ලේඛකයා සිතයි. 


ආවරණ සලසා ගත් දේශපාලන පරමාදර්ශ බිඳ වැටීම හමුවේ තමන් නිරුවත් වනු දුටු බොහෝ අති වාම ක්‍රියාධරයන්ට පසුගිය සමය පළා යාමේ යුගයක් විය. නිර්මාල් පළා නො ගිය සටන්කරුවෙකි. 


ඔහු අවශ්‍ය සරසවි වැටුප් සටනට නොව, යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලයට ය.


(ටෙලි නාට්‍යවලින් එහෙම කියවෙන පරිදි අසූ තුනේ ජුලි අරගලයේදී ලංකාවේ සිංහල මිනිස්සු කළ තරමක් කළේ දෙමළ මිනිසුන්ට රැකවරණ දීමයි. එහෙත් නිර්මාල්.........



)
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-25

ජාතියේ පළමු මස්සිනාට පුතාලා දුන් තෑගි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය සොරු බින්දෝ ය. 


නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ය. ඒ කියන්නේ ඔහු ජාතියේ පළමු මස්සිනා ය. 


හොරු ගේම දුන්නේ මරු තැනකට ය. ඔවුහු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ. 


මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි විපක්ෂයේ හොරු ඇසූ හ. 


උන්ගේ ආච්චිලාගේ ඉහටිය ය. 


සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි දැන් ජාතියේ පළමු මස්සිනා පැහැදිලි කර දී ඇත. මේ වනාහි ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින පුතාලා අලුත් අවුරුද්දට හා උපන් දිනයට දුන් තෑගි ය. දුන්නේ අවුරුද්දට නිසා තාම දින 90 පැන නැත. ඒ නිසා ලිබ්බොක්කේ තබා ගන්නට පුළුවන. 


ලංකාවේ මහජනතාව වන බහුතරයක් සිඟන්නන්ට මේවා තේරෙන්නේ නැත. අනුන්ට ඉරිසියා නො කර, තමන්‍‍ගේ දරුවන්ව ද මහන්සි වී ලෝකෙන් උතුම් රටින් ජය භූමියට යවනවා නම් මෙවැනි තෑගි ලබා ගැනීමට කාට කාටත් බැරි නැත. 


තාත්තලාට සරොං කෑලි තෑග්ගට දෙන හිඟන නොට්ටිගේ පුතාලා දැන ගත යුතු කාරණය වන්නේ දෙනවා නම් දිය යුත්තේ මෙවැනි තෑගි බවයි. 


මේ වාසනාව ය. ශ්‍රීලංකන් පාඩු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාව නිසා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-22

බලු ප්‍රශ්නයට විසඳුම් පිණිස බලු යෝජනාවක්

බල්ලා මිනිසාගේ සුහද ම මිතුරා ය. බල්ලා මිනිසා නිසා සිය වනචාරී ජීවිතය නැති කර ගත්තේ ය. අද බල්ලා මිනිසාගෙන් යැපෙන්නෙකි. 


වල් බල්ලෝ ගෙවන්නේ දුක්ඛිත ජීවිත ය. පාරේ නිදා ගත්ත බල්ලා වගේ යයි උපමාවක් පෞද්ගලික බස්වල අකුළන සීට්වල හිඳ ගන්නා මගීන් සම්බන්ධයෙන් යෙදේ. 


දඩාව‍තේ යන බල්ලෝ කුණු තුවාල හා කුෂ්ට නිසා අපරිමිත‍ වේදනා විඳිති. ඔවුන් ඇත්තෙන් ම අවලස්සන දර්ශනයකි. 


ඒ මදිවාට ඔවුහු තැන තැන මළ පහ කරති. කෑම හා වෙනත් කුණු ගෙනැවිත් දමති. 


මෝටර් බයිසිකල්වලින් යන මිනිස්සු බල්ලන් නිසා බොහෝ අනතුරුවලට ලක් වෙති. මෙම ලේඛකයා ද වරක් බල්ලකු නිසා බයිසිකලයෙන් වැටී සෑහෙන දුකක් වින්දේ ය. 


බල්ලෝ ජල භීතිකාව බෝ කරති. මාස කීපයකට ඉහතදී නාලන්දා විද්‍යාලයේ සුරතල් කුඩා සිසුවෙක් ජලභීතිකාවෙන් මිය ගියේ ය. ජල භීතිකාවෙන් බේරීමට බල්ලන් විසින් සපා කන ලද මිනිසුන්ට එන්නත් දීම සඳහා විශාල වශයෙන් මහජන මුදල් වැය වේ. 


මේ පිංතූරවල සිටින නෝනලා හා මහත්තුරු බල්ලන්ගේ හා අපේ බලු ජීවිත දන්නේ මොනවාද? 


පටු මංවල උස තාප්පවලින් වට කරන ලද පර්චස් දහයේ ලෝකවල ජීවත් වන නෝනලා උදේට කුරු බිලිය ඇර බලු මහත්තයලා කක්කා දමන්නට පාරට යවනවා ලේඛකයා දැක ඇත. පර්චස් දහය ඔවුන්ගේ ය. පාර අපේ ය.


මානව හිමිකම් ගැන නැති උනන්දුවක් සත්ව හිමිකම් ගැන තිබීම නරක යයි අපි නො කියමු. 


''පැහැර ගත් දෙමළුන් කෝ?", "රටක නියම අලංකාරය විවිධ ජාතීන් සමගයි" වැනි පුවරු ද මෙවැනි ය. 


අවසානයේදී මේ බල්ලෝ අපටත් වඩා අසරණයෝ ය. තවත් පීඩිතයන් පිරිසකට මරණය යෝජනා කිරීම අප වැනි පීඩිතයන්ට තරම් නැත. 


එබැවින් අපි මෙම යෝජනාව කරමු. 


කොළඹ තාප්පවලින් වට කළ සෑම නිවසකට ම දැනට දඩාවතේ යමින් සිටින බලු සුරතලකු, දෙදෙනෙකු බැගින් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වී කටයුතු කළ යුතු ය. මේ නිවෙස් වටා උස තාප්ප ඇති නිසා ඒ බල්ලන්ගෙන් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට කරදර සිදු වන්නේ නැත. 


'බල්ලන්ගෙන් පරිස්සම් වෙනු!' කියා පුවරුවක් ගේට්ටුවේ එල්ලූ විට අපෙන් ද මේ නෝනලා මහත්තුරුන්ට කරදරයක් නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචාව; අප ඔවුන් ආරක්ෂා කළ යුතු ද?

ලෝකයේ ඔබට වන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව මහත්මා ගාන්ධි පැවසී ය. 


You must be the change you want to see in the world.
- Mahatma Gandhi 


මෙය සමාජ වෙනස්කම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ මූලික ම ප්‍රතිපත්තියක් විය යුතු ය. 


මේ දිනවල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට අරමුදල් වංචාව යළි කරළියට පැමිණ තිබේ. 


ලංකාවේ දූෂණයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා වෙනත් සාධනීය සමාජ පරමාර්ථ වෙනුවෙන් සටන් කරන බව කියන රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම්වල (මේවා ද අඩු වැඩි වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ය) මූලික ම ලක්ෂණයක් වන්නේ තමන් පෙනී සිටින බව කියන පරමාදර්ශ කිසි සේත් ම තම සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ දක්නට නො ලැබීමයි. 


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ දරුණු ඒකාධිපතියෝ ය. .


ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සි‍ටින බව කියන සංවිධානවල නායකයෝ සිය බල අවකාශය තුළදී තමන් අකැමැති අදහස් දරුණු අන්දමින් වාරණය කරන්නෝ වූහ. 


දූෂණයට එරෙහිව පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ මහජන අරමුදල් ගසා කන්නෝ ය. 


ලංකාවේ සමාජ පඑිහාණියේ ප්‍රධාන වගඋත්තරකාර පාර්ශ්වයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන කාර්යය වන්නේ මහජන අවකාශය තුළ සිය මුල්‍ය ශක්තිය යොදවා බලය පිහිටුවා ගැනීමයි. 


මහජන සටන් පැන නගින අවකාශයන් තුළට සිය වෙළඳ නියෝජිතයන් මැදිහත් කරන රාජ්‍ය නොවන සංවිධාන ඒ ඔස්සේ සටන්කරුවන් මිළ දී ගෙන මහජන අරගල ව්‍යාපෘති වාර්තා බවට පත් කර බටහිර රටවල මුදල් 'පරිත්‍යාග' කරන සංවිධානවලට අලෙවි කර ලාභ ලබයි.


මාධ්‍ය සංවිධාන කෙරුමන් පිරිසක් තමන්ට තර්ජන ඇති බව කියා විදේශගත වන්නට පෙර කළ ක්‍රියාවක් මෙහි සටහන් කරන්නේ දැන ගැනීම පිණිස ය. එක්තරා සිංහල පුවත්පතකට ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ලියූ දෙමළ ලේඛකයකුට 2009දී ජීවිත ආරක්ෂාව පිණිස රටින් බැහැර වන්නට සිදු වන තත්වයක් පැන නැඟිණි. මෙහිදී කිව යුතු තවත් කරුණක් වන්නේ මෙකී මාධ්‍ය සංවිධාන ලොක්කන්ගෙන් බහුතරයක් ඒ වන විට කරමින් සිටියේ සංවිධාන අරමුදලින් අරක්කු බීම පමණක් බවයි. ඔවුන් බොහෝ දෙනෙකු පෑන් අත්නිවත් ඇල්ලුවේ නැති තරම් ය.


ඒ හා අදාළ කටයුතු පිළිබඳව මේ මාධ්‍ය ව්‍යාපාර ලොක්කන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුහු ඒ පිළිබඳ සියලු කටයුතු පිළියෙල කර ඇති බව පවසා අසවල් දවසේ අසවලාගෙන් විමසන්නැයි ද කියා එක්තරා අති වාම දේශපාලන කණ්ඩායමක නියෝජිතයකු නම් කළේ ය. මේ අති වාම දේශපාලන කණ්ඩායමේ කෙරුමෝ ද මේ මුදල් වංචාවලට සම්බන්ධ ය. අදාළ පුද්ගලයා එම දවසේ එකී පුද්ගලයාගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එකී මාධ්‍ය කෙරුමෝ එවැනි කිසිවක් එකී වාම කණ්ඩායම් නියෝජිතයාට පවසා නැති බවයි. ආපසු මේ පිළිබඳව එකී මාධ්‍ය සංවිධාන කෙරුමන්ගෙන් විමසන්නට උත්සාහ කළ විට දැනගන්නට ලැබුණේ ඔවුන් සියලු දෙනා පැදුරටත් හොරා රටින් පැනගෙන ඇති බවයි. මේ මාධ්‍ය කෙරුමන්ගේ ක්‍රියාකලාපයත්, සාමාන්‍ය විදේශ රැකියා හොර ඒජන්සිකාරයන්ගේ හැසිරීමත් අතර වෙනස කුමක්ද? 


වෙනස මෙයයි. හොර ඒජන්සිකාරයන්ට කවි ලියන්නට බැරි ය. 


සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරිකයන්ට අද දවසේ මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව මෙන් ම, මහජන  අරගල විකුණාගෙන කන රාජ්‍ය නොවන සංවිධාන පණුවන්ට ද එරෙහිව සටන් කිරීමට සිදු වී තිබේ. 


මේ රාජ්‍ය නොවන සංවිධාන හොරු පළිහ ලෙස පාවිච්චි කරන්නේ මේ තර්කයයි. "අපි මර්දනකාරී පාලකයන්ට එරෙහිව සටන් කරනවා. අපේ අඩුපාඩු තිබුණත්, ඒ නිසා අපව ආරක්ෂා කරන්න. මන්ද, අප විනාශ වුණොත් එහි වාසියත් පාලකයන්ටයි." 


නැත. අප කිසි සේත් මොවුන් ආරක්ෂා කළ යුතු නැත. තුවාලය සාදන පාලකයන් මෙන් ම, එකී තුවාලය කා යැපෙන මේ පණුවන් ද එක සේ අහිතකර ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-21

වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරන රජයේ සේවකයන්ට ආදර්ශයක්

රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරති. 


රජයේ සේවකයන්ට ජීවත් වීමට තරම් වැටුපක් නැති බවට ඔවුහු කෙඳරිගාති. 


මේවා පිළිගත නො හැකි කරුණු ය. 


තමන්ගේ වැටුප අරපිරිමැස්මෙන් පරිහරණය කළහොත් ලබන ආත්මයත් මේ ලෝකෙන් උතුම් රටේ ම ඉපදී සැප විඳීමට හේතු වාසනා වන අන්දමේ පින්කම් කර ගත හැකි ය. 


රජයේ සේවකයන් ආදර්ශයට ගත යුත්තේ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ය. නැති බැරිකම් කියමින් නො සිට එතුමා සිය 63වන උපන් දිනය සැමරුවේ මහා දානමය පිංකමකිනි. 


එය ද සුළුපටු දානයක් නො වේ. කෝට්ටේ ඊයම්පෝරුවේ රජ මහා විහාරයේ භික්ෂූන්ට පිරිනමන ලද දෙමහල් සංඝාවාසයකි. ඒ 101 නමක් විෂයෙහි දුන් සංඝගත දක්ෂිණාවට, 1000කට බෙදා දුන් වියළි ආහාර මුල්වලට, 1000ක් ඇස් කන්නාඩිවලට, 200ක් ස්පර්ශක කාචවලට හා 20ක් රෝද පුටුවලට අමතරව ය. 


හිත ඇත්නම් පත කුඩා ද? 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අම්මලා දරුවන් මරන්නේ ඇයි?

ඡායාරූපයේ සිටින්නේ ග්‍රීස් යකකු යයි හංවඩු ගසා පසුගිය සමයේ ජනතාව විසින් පහර දී මරා  දමන ලද දුප්පතකුගේ බිරිඳ හා දරුවෝ ය.
ලංකාවේ මෑත වකවානුවේදී මව්වරුන් විසින් දරුවන් මරා දැමීම් රැසක් වාර්තා විය. අද පුවත්පත්වල වාර්තා වන එක සිද්ධියක මව සිය අලුත උපන් දරුවා පණ පිටින් වළ දමා ඇත. අනෙක් සිද්ධියේ මව අලුත උපන් දරුවා අල්මාරි ලාච්චුවක දමා මරා දමා ඇත. මෙම අපරාධකාරී කාන්තාවන් බහුතරය අතිශය දිළිඳු කාන්තාවෝ වෙති. 


ලංකාවේ මෙවැනි සිද්ධි සුලබ වන්නේ ඇයි? 


එක් හේතුවක් නම් දැඩි ආර්ථික පීඩනයයි. ආණ්ඩුව ගිය සතියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට අලුත් ආනයන බදු පනවා තිබේ. වැඩි වන ජීවන වියදමට එරෙහිව ජනතා උද්ඝෝෂණ මතු වන්නේ නැත. එහෙයින් ජනතාව ආර්ථික දුෂ්කරතාවලට ඉක්මණින් හැඩ ගැසෙන බවක් ආණ්ඩුව සිතනවා ඇත. 


ප්‍රජාතන්ත්‍රවාදී මහජන උද්ඝෝෂණ ඇති වන්නේ දියුණු සමාජයන් තුළ ය. අද වන විට ලංකාව සමාජමය වශයෙන් පිරිහී ඇති මට්ටම අනුව සිදු වන්නේ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම නොව, ම්ලේච්ඡ හා ස්වයං නාශක අන්දමින් ප්‍රතිචාර දැක්වීමයි. 


මව්වරුන් දරුවන් මරා දැමීම යුරෝපය, ඇමරිකාව වැනි රටවල වහල් ජනතාව අතර දක්නට ලැබුණු සුලබ සංසිද්ධියක් බව ඉතිහාසය විමසා බලන විට පෙනෙනු ඇත. මෙය වහල් ක්‍රමයට ‍එරෙහිව වහලුන් ප්‍රතිචාර දැක්වූ එක් ආකාරයක් ලෙස විශ්ලේෂකයන් විසින් විගග්‍රහ කරනු ලැබ තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-20

චේ ගුවේරාට නෝන්ඩි කරන්න විමල් වීරවංශට පුළුවන් ද?

චේ ගුවේරා යනු කියුබානු ජාතික සමාජවාදය අතික්‍රමණය කළ ජාත්‍යන්තරවාදියෙකි. ආජන්ටිනානුවකු වූ ඔහු කියුබාව වෙනුවෙන් සටන් කළේ ලෝක විප්ලවයේ වගකීමක් ලෙසයි. කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ඇමතිකමකින් ඔහුගේ විප්ලවවාදී ජීවගුණය සුරතාන්තයට පත් වූයේ නැත. ඔහු බොලීවියාවේදී මිය ගියේ කියුබානු ජාතික සමාජවාදයට වඩා පුළුල් ජීවන පරමාදර්ශ ඉතිරි කරමිනි. 


ඔහුගේ චරිතයේ ප්‍රධාන ම ලක්ෂණය වන්නේ විප්ලවීය හෘදය සාක්ෂියයි. මානුෂවාදී සමාජවාදයක් උදෙසා හා ඒ වෙනුවෙන් සටන් කර දිවි දුන් සගයන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය ඔහු කිසි දිනෙක අත් හළේ නැත. ලොව පුරා රැවුල් වවා ගත් රතු කමිස අඳින එහෙත් නින්දිතකමින් පිරුණු හදවත් ඇති බොරු සමාජවාදීන්ට චේගේ අසූචිවලටවත් සමාන වන්නට බැරි ඒ නිසා ය.


චේ ලෝක උරුමයකි. ඔහුගේ ජීව විද්‍යාත්මක බිරිඳ හෝ දරුවෝ චේගේ එක් භෞතික සංකේතයක් පමණි. විප්ලවීය හෘදය සාක්ෂිය රැක ගැනීමට සටන් කරන ලොව පුරා සිටින මිනිස්සු චේ සංකේතවත් කරන සජීවී නිදර්ශන වෙති. 


එවැනි මිනිසුන්ට මරණය හා වේදනාව උරුම කර දෙන ඒකාධිපතියෝ හා ඔවුන්ගේ බත්බැළයන් බවට පත් වූ අතීත සමාජවාදියෝ චේගේ බිරිය හා දරුවන් හමු වීමට ගොස් එය මහ ඉහළින් ප්‍රචාරය කිරීම ඉතිහාසයේ සරදමක් ලෙස සැලකිය යුතු නැත. 


මන්ද, වර්තමානයට කෝචොක් කළ පමණින් කෙනෙකුට ඉතිහාසයට සරදම් කරන්නට බැරි නිසා ය. ඉතිහාසය මා නිදොස් කරනු ඇතැයි මොන්කාඩා ප්‍රහාරය සම්බන්ධ නඩුවේදී ෆිදෙල් කස්ත්‍රෝ කීවේ ය. 


ඉතිහාසය යනු ලොව පුරා සිටින චෞර නායකයන් සමග එක පතේ කන කියුබානු සමාජවාදය නොවේ. 


ඉතිහාසය කියුබාවට වඩා පුළුල් ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-18

දේශපාලන කටුවනක් වූ ලංකාව

"අහවලා කළා කියලා රජයට විරුද්ධව ඔය චෝදනාව කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හරි හැටි ඔප්පු කර පෙන්විය යුතුයි. පොලිස්‌ පරීක්‍ෂණවලටත් එය පහසුවක්‌. ඒත් බොරුවට චෝදනා කරලා පලක්‌ නැහැ."


කටුවන ජවිපෙ සාමාජිකයන් ඝාතනය ගැන මෙසේ කියන්නේ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලයි.


ඒ කියන්නේ දැන් යම් සිද්ධියක් පිළිබඳ ආණ්ඩුවේ පුද්ගලයකුට විරුද්ධව පැමිණිලි කරනවා නම් එය කළ යුත්තේ චෝදනාව ඔප්පු කරලා ය.


චෝදනා ඔප්පු කරන්නේ අධිකරණයේ ය. මිනීමැරුමක් නම් ඒ පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන්නේ මිය ගිය පුද්ගලයා නොව පොලිසියයි. පොලිසිය එසේ කළ යුත්තේ මහජනතාව පොලිසිය නඩත්තු කරන්නේ ඒ වෙනුවෙන් වන බැවිනි.


ලංකාවේ අපරාධ රැල්ල දැන් දේශපාලන මෙහෙයුමෙන් මිදී පාලනය කළ නො හැකි තත්වයට පත්ව ඇති බව පෙනේ. 


පසුගිය දිනෙක පළාත් සභා මන්ත්‍රීවරයකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන යමින් සිටියදී ඇමති ජීවන් කුමාරතුංග ඔහු බේරා ගත්තේ ජනාධිපතිට හැ ආරක්ෂක ලේකම්ට කතා කරලා ය. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත. 


කටුගෙය බිඳ පුරා වස්තු සොරකම් කර දැන් මාස ගණනකි. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත. 


තවත් මෙවැනි සිදිධි බොහෝ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-16

ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money

අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා.


ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි.


මෙවැනි පණිවුඩයක් දිස් විය.


Congratulations

You have completed the quiz.
To find out the result of your IQ test,
Please enter your mobile number now!


ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි.


මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද?


එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද?


ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය


මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග සම්බන්ධව, අන්තර්ජාල පාඨකයන්ගේ ඇස් වසා කොණ්ඩය කපන අලුත්ම ගරානාවකි. මෙහි කෙටි පණිවිඩ පැමිණියේ 31230 නම් අංකයක් ඔස්සේ ය.


අන්තර්ජාලයේ ඕපාදූප හලන ඇතැම් වෙබ් අඩවි හිමිකරුවන් මෙම ගරානාවේ හවුල්කරුවන් වී සිටිති. එසේ හවුල්කරුවන් බඳවා ගැනීම සඳහා වූ පිටුව මෙතැනින් බලන්න.


මෙම ‍වෙබ් ලිපින නාමයේ හිමිකරුවන් පිළිබඳ විස්තර මේ පිටුවේ ඇත.


මේ වනාහි ලංකාවේ ම දුප්පතුන්ගේ තුට්ටු දෙක කඩා වඩා ගැනීම පිණිස ඇටවූ වංචාවකි. මෙයට ඩයලොග් හා එයාටෙල් කොම්පැනි ද සම්බන්ධ ය. 


මෙමගින් එවන ලද කෙටි පණිවුඩයකට ලේඛකයා fuk u යනුවෙන් ‍පිළිතුරු පණිවුඩයක් යැවූ සැණින් ලැබුණු  ස්වයංක්‍රීය පණිවුඩයකින් කියැවුණේ ඔහුගේ දායකත්වය ඉවත් කරන ලද බවයි.  


නැවත එකී බුද්ධි පරීක්ෂණයට පෙනී සිට ජංගම දුරකථන අංකය ලබා දුන් විට දක්නට ලැබුණේ මෙවැනි පණිවුඩයකි. 


Thank you !

We received your mobile number. To confirm,

sms 22 to 31230


තහවුරු කරන්නේ කුමක්ද? මුදල් ගෙවීම තහවුරු කිරීමක් මෙහි නැත. 


මේ වනාහි රුපියල් තිහ බැගින් විශාල පිරිසකගෙන් කඩා වඩා ගැනීමේ අරමුණින් නිර්මානය කරන ලද ජාවාරමකි. ‍මෙයට අසු වූ අය රුපියල් තිහනෙ කියා නිහඬව සිටිනු ඇතැයි මේ වෙබ් අඩවිය හා එය සමග හවුල් ඩයලොග් හා එයාටෙල් සමාගම් සිතනවා ඇත. 


ලේඛකයා අදාළ කෙටි පණිවුඩය යැවුවේ ය. දැන් ඔහු නැවතත් එකී 'සේවාවට' දායක වෙලා ය. කෙටි පණිවුඩයක්වත් නො එවා ඉහත අන්දමේ ම ගානක් කපාගෙන ඇත. නැවත ඉහත යවන ලද ආකාරයේ ම පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ සැණින් දායකත්වයෙන් ඉවත් කරන ලද බවට පණිවුඩයක් ක්ෂණිකව එවන ලදී. 


මෙවැනි වංචනික ක්‍රියාවල නො යෙදෙන ලෙස එකී සමාගම්වලින් ද, ඒවාට ඉඩ නො දෙන ලෙස ලංකාවේ අන්තර්ජාල බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටිමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-15

එන්න, අපි දෙමළයින්ට බනිමු

බෙනින් - කැනඩාවට යතුරක්
කැනඩාවට පනින්නට ගොස් බටහිර අප්‍රිකාවේ යතුරක් වැනි කුඩා රටක් වූ බෙනින් රාජ්‍යයේ අතරමං වී සිටි ලාංකිකයන් 148ක් ඊයේ ආපසු ලංකාවට පැමිණිය හ. 


එරටින් පිටුවහල් කරන ලද මොවුන් අතරින් ඇතැමෙක් වසර ගණනක් එහි සිට ඇති බව වාර්තා වේ. 


ඔවුන් බෙනින් වෙත ගොස් ඇත්තේ එතැනින් කැනඩාවට යාමේ අරමුණෙනි. විස්තර මෙතැන 


ආපසු පැමිණීමෙන් අනතුරුව ද ඔවුහු සිය උත්සාහය අතහැර නො දමනු ඇත. 


ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත අරමුණ බටහිර රටක ස්ථිර පදිංචිය ලබා ගැනීමයි. ලංකාවේ සිටින අග්‍ර දේශප්‍රේමීන් වන පාලක පවුලේ අය හා සරත් ෆොන්සේකා පවා රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ අරමුණ ඉටු කරගෙන කුල්මත් වූ අයයි. 


රටට මාරෙට ආදරේ බව කියන මේ මිනිස්සු මෙසේ රටින් පිට වී යාම ජීවිත අරමුණ කර ගන්නේ ඇයි?


W3Lanka දෙමළයින්ට බනිනවා මදි බව අපේ වීර සිංහලයෝ නිතර කියති. වැඩේ මේක ය. W3Lanka කොයි තරම් දෙමළයින්ට බැන්නත්, ඔවුහු සිංහල නො කියවන නිසා වැඩක් නැත. එහෙත්, W3Lanka දැන් ලංකාවේ දෙමළයින්ට බනින්නට යයි. ඒ වීර සිංහලයින්ගේ ඉල්ලීම මත නම් නොවේ. 


ඊලාම් දේශයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බව ශපථ කර ඇති දෙමළයින්ගෙන් වැඩි දෙනෙක් බටහිර රටවල පුරවැසිකම ලබා ගත් අය වෙති. ලංකාවේ සිටින දෙමළ මධ්‍යම පංතිකයන්ගෙන් වැඩි දෙනෙකුගේ ද ඒකායන ජීවිත අරමුණ බටහිර රටකට පැන ගැනීමයි. 


ඔවුන් සටන කරන ඊලම කාටද? ලංකාවේ ජීවත් වන, රට පැන ගන්නට හැකියාවක් නැති කාලකන්නි දෙමළ මිනිසුන්, ගැහැනුන් වෙනුවෙන් ද? නැත. ඊලම කිසිදාක දිනා ගන්නට බැරි බව මේ රට ගිය ඇත්තෝ දනිති. ඔය ඉඳහිට නිවාඩු දවසක කොටි කොඩියක් උස්සන්නට ආවාට ඔවුන් කරන වෙනත් සටනක් ද නැත. 


සැබෑ ඊලාම් සටන කළ කොටි සටන අත හැර පළා නො ගොස් ඒ වෙනුවෙන් දිවි පිදූහ. දැන් ඉන්නේ නිකම් ම නිකම් බළල්ලු ය. ඔවුන්ට ඊලම යනු දිනා ගැනීමට අවශ්‍ය දෙයක් නොව, ඔවුන්ගේ පිටරට පැවැත්ම රැක ගන්නට හා එහිදී ඇති පීඩනය මෝචනය කර ගන්නට උපයෝගී වන සටන් පාඨයකි.  


ලංකාවේ ජීවත් වන ජාතීන් අතර සංහිඳියාව ඇති වන ප්‍රායෝගික පියවරක් වන බලය බෙදා ගැනීමට විරුද්ධ ප්‍රධාන පාර්ශ්ව දෙකෙන් එකක් වන්නේ මේ ඩයස්පෝරා ඊලාම්වාදියෝ ය. 


අනෙක් පිරිස මේ කාසියේ ම අනෙක් පැත්ත වන සිංහල ඩයස්පෝරාකාරයෝ ය. සිංහලකම වෙනුවෙන් මහ හයියෙන් කෑ ගසන, එහෙත් සිංහලකමේ පදනම වන සිංහල බස හෝ හරියට උසුරුවන්නට නො දත් මොවුන් බහුතරයක් ද ඉන්නේ බටහිරට කෙළ හළමිනි. වෙනස ඔවුන් බටහිරට සංක්‍රමණය වන්නට හදන්නේ අනාථයන් ලෙස නොව ග්‍රීන් කාඩ්කාරයන් හා ස්ථිර පදිංචිකාරයන් ලෙස වීමයි. 


ඔවුන්ගේ උපකාරයෙන් මහජන මුදල් කොල්ලකෑමෙන් ධනවත් වී සිටින පිරිසක් දැන් දිළිඳුකමේ මහ සාගරයක් මැද සෞභාග්‍යයේ දූපතක් කොළඹ තනන්නට වෙර දරති. 


W3Lanka සංස්කාරකවරයාට ද දැන් මේ රටේ ජීවිතය ඇති වී තිබේ. පළමු හේතුව ජීවත් වීමේ අපහසුවයි. කුඩා රැකියාවක් කරන ඔහුට ගෙයක් හදන්නට ගත් ණය, බස් අඩු ගමේ පාරේ පයින් යන්නට වෙලා නැති නිසා ගත් වාහන වෙනුවෙන් ගත් ණය, පොත් ගහන්නට ගත් ණය ආදිය ගෙවන්නට දවසට පැය 12ක් පමණ වැඩ කරන්නට සිදු වී ඇත. 


ඔහුගේ ජීවිත අරමුණ සාහිත්‍යකරුවකු වීම වුණත්, මේ බ්ලොගය කෙටීම හැර වෙනත් දෙයක් කරන්නට ඔහුට වෙලාවක් නැත. එච්චර වැඩ කළත්, සිය දරුවන්ට මේ රටේ අනාගතයක් තිබේ ද යන ශෝකය නිරතුරුව ඔහු පෙළයි.


මෙවැනි දිළිඳු ලාංකිකයන් බොහෝ දෙනෙකුට කාලකන්නිකම උරුම වී ඇත්තේ පිටරට ගැන සිහින දකිමින් එකිනෙකාට දත් විළිස්සාගෙන සිටින ඊලාම්වාදීන් හා සිංහල වෙනම රාජ්‍යවාදීන් නිසා ය. උන්ගේ උපකාරයෙන් ආණ්ඩුව බවට පත් වී සිටින පරපෝෂිතයෝ පිරිසක් ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ රීරි මාංශ උරා බොමින් ජීවිත කාලකන්නි කරමින් සිටිති.  


ඒ වුණාට රට යන එක ද W3Lankaට කම්මැලි වැඩකි. ලෝකෙන් උතුම් රට නො වුණාට මේ රට හොඳ ය. නරක නායකයෝ ය. ඔවුන් බලයට පත් කර ගන්නේ මේ රටේ මිනිසුන් විසිනි. අප සිර වී ඇත්තේ පහසුවෙන් ගැලවිය නො හැකි විෂම චක්‍රයක ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-14

ඩැඩී, පප්පා, තාත්ති, අප්පච්චි හා අපුච්චා

"මගේ සහෝදරයන් සිවු දෙනා විජයරත්න බණ්ඩා, සෙනෙවිරත්න බණ්ඩා, කරුණාරත්න බණ්ඩා සහ අභයරත්න බණ්ඩා ලෙසින් නම් ලැබුවා. මගේ අම්මගෙ මවුපියො හිටියෙත් අපේ ගමේමයි. මං අපේ අම්මගෙ තාත්තට කිව්වේ කිරි අත්තා කියලා. අම්මගෙ අම්මා කිරි අම්මා වුණා. අපේ ගෙදර පරණ ගෙදර වුණා වගේ මේ ගේ ‘අලුත් ගෙදර’ වුණා. මං පුංචි කාලෙදි මේ ගෙවල් දෙකේ ම ජීවත් වුණා. ඒ කාලෙ අපේ අම්මා එයාගෙ පියාට කිව්වේ ‘අපුච්චා’ කියලා. ඒත් මං මගෙ පියා ආමන්ත්‍රණය කළේ ‘අප්පච්චි’ කියලයි. මට තේරෙන අවදිය වෙනකොට මං මේ දෙකේ වෙනස මොකක්ද කියලා සොයා බැලුවා. අපේ ගම අයිති වුණේ හතර කෝරළයට. ඒත් අපේ අප්පච්චි උඩුනුවරට අයිති කෙනෙක්. මේ නිසා පියාට කරන ආමන්ත්‍රණවල වෙනසක් ඇති බව මං වටහා ගත්තා. මේ හැම සියලු දෙයක් ම භාෂාව ගැන හොයන්න මට ඉඟියක් ලබා දුන්නා.” 


දිනමිණ පුවත්පතට මෙසේ කියන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකයි. 


අප මෙය උපුටා දැක්වූයේ මෑතක සිට ලංකාවේ විලාසිතාව වී ඇති තාත්තාට අප්පච්චි යයි ඇමතීම පිළිබඳ සාකච්ඡා කරන්නටයි. කාලෙන කාලෙට තාත්තලා ඩැඩීලා, පප්පලා, තාත්තිලා වී දැන් ස්ටයිල් එක අප්පච්චි ය. 


මේ අප්පච්චි ස්ටයිල් එක දැන් නැගලා යන පුහු සිංහල ජාතිවාදී ප්‍රවණතාවත් එක්ක මාරෙට ෆිට් ය. 


දැන් අප්පච්චිලා වැඩිපුර ඉන්නේ නුවර කලාවියේ හෝ වෙනත් ගැමි කෝරළාදියෙහි නොව කොළඹ ය. කොළඹ පැල්පත් නිවාස පොකුරු පිහිටි වතුවල ද අප්පච්චිලා සිටිති. අද තාත්තාට අප්පච්චි කියන බොහෝ දරුවන්ගේ කිරිකිත්තලා පවා තාත්තාට අප්පච්චි යයි කියූ අය නොවේ. 


දැනට ටික කලකට ඉහතදී අපේ රටේ බිරියෝ බරුවන්ට හෙවත් සිය ස්වාමි පුරුෂයන්ට දරුවන් කියන ආකාරයට ම තාත්ති කියා ආමන්ත්‍රණය කරන මෝස්තරයක් ආරම්භ කළ හ. සාමාන්‍යයෙන් මේවා ආරම්භ වන්නේ ඉහළ පෙළැන්තියේ ප්‍රභූන්ගෙන් වන අතර වසර දහයක් පමණ ඇතුළත ගමේ හා නගරයේ කබ්බන් කරා මේ මෝස්තර සංක්‍රමණය වී ඒවා බලු වී යයි. එහෙත්, ගමට ආ අලුත ගමේ ප්‍රභූහු මේ මෝස්තරවලින් ගමේ කබු ම කබ්බන්ට පඩේ දමති. 


ලේඛකයා කලක් දුෂ්කර ප්‍රදේශයක රැකියාවක් කරන අතර ඔහු සිටි නිල චමරියේ සිටි තවත් සගයකුගේ මිතුරකු පොල් එකතු කරන ව්‍යාපාරයේ යෙදෙන අතරේ ඇතැම් දිනෙක රැය පහන් කිරීමට මෙම චමරියට එන පුරුද්දක් තිබිණි. අසල පොදු ළඳ අසල තවත් නිල නිවසක් වූ අතර එහි සිටියේ ඒ ගමේ ම යුවලකි.  ඒ ගෙදර ගෘහනිය සිය සැමියාට තාත්ති කියා කතා කරනවා ඇසූ අපේ අර පොල් මිතුරා ලේඛකයාගෙන්ඇසුවේ 'අර මිස්ගෙ තාත්තා කොහොමද අච්චර තරුණ වුණේ?' කියා ය. එහෙත් ඇත්ත කරුණ වූයේ මේ සැමියා බිරිඳට වඩා වයසින් අඩු වීමයි. 


මේ මෝස්තරය අනුව සැමියෝ ද බිරිඳට අම්මි කියති. එපමණක් නොව දරුවන්ට අක්කි, නංගි, අයියා (අයියි කියන්නට බැරි ය), මල්ලි කියා ද කියති. 


අර අප්පච්චි විලාසිතාව ද දැන් මේ අන්දමින් පීචං වී හමාර ය. ඒ නිසා කොහොමද අපුච්චා ස්ටයිල් එක කර ගත්තා නම්? 


මේ ස්ටයිල් එකට අනුව අම්මා අම්මන්ඩි විය යුතු ය. වැඩේ තියෙන්නේ අම්මන්ඩි කීවා ම වෙන තේරුම් තිබෙන එක ය. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-13

ඇති හැකි අයට සුර සැප දෙන, නැති බැරි අයට සුරතාන්තයවත් නො දෙන සුර

ඉන්දියාවේ පැවැත්වෙන  'ජලක් ඩිලාක් ජා'  නැටුම් සංදර්ශනය සඳහා සහභාගි වීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අකලංක ගනේගමගෙන් නැටුම් පුහුණු වෙමින් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ශරීරයේ අතනින් මෙතනින් ගලවන ලද රත්තරං සුර අටක් එර්දි වීම නිසා ජයසූරිය කම්පනය වී ඇති බව වාර්තා වේ. 


එසේ නම්, ජයසූරිය ක්‍රිකට් ගසා ඇත්තේ, මුදල් උපයා ඇත්තේ, ඡන්ද දිනා ඇත්තේ තවත් දේ කර ඇත්තේ මේ සුර නිසා ය. දක්ෂතාව නිසා නො වේ. 


මේ සුර අට ශරීරයේ තැන තැන එල්ලාගෙන සිටින සනත් ජයසූරියගේ ඡායාරූපයක් දක්නින්ට ලැබුණා නම් හරි අපූරු ය. 


ජනාධිපතිවරයා ද යන යන තැන රැගෙන යන මොකක්දෝ මෙවැනි දෙයක් ඇත. ඔහුට ද වාසනාව පහළ වන්නට ඇත්තේ එය නිසා ය.


ලංකාවේ අලුත් ධනවතුන් හා බලවතුන් සමග මෙවැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙහෙවින් සම්බන්ධ ය. 


ඔවුන්ට නම් ඒවායින් වාසනාව පෑදී ඇත. 


දිළින්දෝ ද මෙම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කරති. ඔවුන් වැඩි දෙනෙකුගේ දිළිඳුකමට හේතුව ද එයයි. 


ගම්වල දේවාලවල කපුවෝ මිනිසුන් බියපත් කර අපල දුරු කිරීම සඳහා සෙත් සාන්ති කරවා ගන්නැයි උපදෙස් දෙති. බියපත් මිනිස්සු මේ සෙත් සාන්ති කරවා ගන්නේ දුක සේ ඉපැයූ මුදලිනි. නැතිනම් පොලියට ගත් සල්ලිවලිනි. 


ග්‍රාමීය දිළිඳුකමේ සැලකිය යුතු පංගුවක් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා ය.  ඔවුන් මන්තර ගුරුකම් පසුපස යන්නේ බොහෝ විට දිළිඳුකම විසින් ඔවුන්ට අත්පත් කර දී තිබෙන කාලකන්නිකම නිසා ය.


එහෙත්, දිළින්දන් තවත් දුප්පත් වන්නේ බලවතුන්ට සුපිරි ධනවතුන් වීමට කෙටි මං සලසන මහජන මුදල් සොරා ගැනීමේ අවස්ථාව විවර කර දෙන රත්තරං සුර වැනි යන්ත්‍ර මන්ත්‍ර නිසා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-11

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? දිනමිණ කතුවැකිය ගැන වැකියක්

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? 

මේ අද දිනමිණේ කතුවැකියයි. 

මෙහෙම අසන්නට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ වීරයන්ගේ මහ ලොකු අධිරාජ්‍ය විරෝධය සමග මේ රැජිනගේ දෙපතුල් ලෙව කෑම නො ගැලපේ යයි ආණ්ඩුවේ අය ම සිතන නිසා විය යුතු ය. 


එහෙම සිතිය යුතු නැත. එංගලන්තයේ මහ රැජින හා පොදු රාජ්‍ය මණ්ඩලය බවට අද පත්ව ඇති ඉංගිරිසි හිරු නො බසින අධිරාජ්‍යය යනු ඇත්තෙන් ම අපේ පාලකයන්ගේ ඇති යටත් විජිත මානසිකත්වයේ සංකේතයි. රැජිනගේ ගෙදර පාටියකට ගොස් එන්නට ඇත්නම් ඔවුන්ට වෙන චූන් එකක් නැත.එහෙම නැති පාලකයන් අපේ රටේ කවදාවත් සිට නැත. 


රැජිනගෙන් ආරාධනාවක් ලැබුණා නම් පපුව කීං නො ගාන අධිරාජ්‍ය විරෝධීන් මේ රටේ ප්‍රසිද්ධ අධිරාජ්‍යවාදීන් අතර නම් නැත. තද ම අධිරාජ්‍ය විරෝධීන් වන මාක්ස්වාදීන් යයි තමන් හඳුන්වා ගන්නා අයට මෙවැනි ආරාධනාවක් ලැබුණා නම් ඔවුන් එහි යනු ඇත්තේ හතර ගාතෙන් ය. ඇවිත් කතා කරන්නේ අපි අධිරාජ්‍යය ඇතුළින් වටලන්නට ගියා කියා ය. මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද?


දිනමිණට කතුවැකි ලියන්නට සිදු වන්නේ මේ ඇත්ත සුදු රෙද්දෙන් වසන්නට බැරි නිසා ය.


ජනාධිපතිතුමා කොටින්ට ඊලාම් ප්‍රචාරයක් සඳහා අවස්ථාව විවර කර දෙමින්, තමන් ද හොඳ හෝ නරක ප්‍රචාරයක් මේ චාරිකාව ඔස්සේ ලබා ගත් බව ඇත්ත ය. දැන් ලංකාවේ ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙවැනි මඟුල් ගෙවල් මිස යුරෝපා රටවලින් වෙනත් ආරාධනා නො ලැබෙන නිසා ලැබුණු එක භාර ගත්තා ම කාටවත් මොකද? යුරෝපා රටකට යන්නට ලැබෙන පොඩි අවස්ථාවක් හෝ ජනාධිපතිතුමා මග හරින්නේ නැත. 


චාරිකාවලදී එතුමා මනා පෞරුෂයක් ප්‍රදර්ශනය කරන බව ද බොරුවක් නො වේ. තමන්ගේ රටින් පළා ගොස් සිටින ජන ප්‍රජාවක් එතෙරදී තමන්ට ප්‍රචණ්ඩ ලෙස විරෝධය දක්වද්දී ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකුට එතරම් තැන්පත් ලෙස කටයුතු කළ හැකි ද යන්න ඇත්තෙන් ම සැක සහිත ය. 


ඇත්තෙන් ම මේ වනාහි රට අධිරාජ්‍යවාදීන්ට අවල කෙළි කෙළින්නට පාවා දුන්නත් දෙමළුන්ට නම් කිසිදු බලයක් නො දෙන්නේ යයි සපථ කර තිබෙන සිංහල ජාතිවාදයේ ජවයේ ප්‍රදර්ශනයකි. 


ඔන්න දිනමිණ ශුද්ධ වූ බයිබලයෙන් ද හොඳ කෑල්ලක් උපුටා දක්වා තිබේ. රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නො වෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නො වී සිටින්නට කැමැත්තෙහි ද? එසේ නම්; යහපත කරන්න! එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසා ලැබෙනු ඇත. මන් ද? ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වන්නේ ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-08

සාමාන්‍ය හොරුන් මැරිය යුතු අන්දම කියන ලංකාදීපය

පහත පළ වන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි.


තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ කිරි කපන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


මෙන්න, ඒ පුවත පිළිබඳ පළමු පාඨක ප්‍රතිචාරය:
ගිනි කසයා 2012-06-07 12:40:21
ඇසට ඇසක්... දතට දතක්.... මේ මිනිසුන් දෙදෙනාවත් ප්‍රසිද්ධියේ මරා ඒ දුම් ගෙයිම පුලුස්සා දැමිය යුතුයි


සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති.


ලංකාදීප පුවත්පත ලංකාවේ වැඩියෙන් ම විකිණෙන පුවත්පතයි. එම පුවත්පත සිය වෙබ් පාඨකයන් වෙත ප්‍රවර්ධනය කරන ආකල්ප කෙබඳුද?


මේ ත්‍රස්තවාදය හැර වෙන කුමක්ද?


මේ ත්‍රස්තවාදය ගොඩනඟනු ලබන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට එරෙහිව ය. ඒ අතරතුර සමස්ත මානව වර්ගයාට ම එරෙහිව අපරාධ කරන පුද්ගලයන් මෙම ජනමාධ්‍ය විසින් වන්දනා කරන ආකාරයක් ද දක්නට ලැබේ.


දැන් දැන් සාමාන්‍ය හොරු ද ජනමාධ්‍යවලට අනුව පාතාල කෙරුමෝ ය.


එවැන්නන් මැරීමේ බලය සාමාන්‍ය මිනිසුන්ට ද ලබා දී තිබේ.


කියන්නට තිබෙන්නේ තමන්ගේ බලපත්‍ර සහිත ගිනි අවිය උදුරා ගැනීමට ‍ඒ පාතාලයා තැත් කළ බවයි. පහත සඳහන් වාර්තා කියවා බැලූ විට සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පොලිසිය වෙතින් සිදු වන බවක් පෙනෙන්නේ නැත. මන්ද, සාමාන්‍ය හොරුන් මැරිය යුතු ය යන මතයේ මේ සමාජය සිටින නිසා ය.


එහෙත් අවසානයේදී සිදු වී ඇත්තේ ගොරකා වෙනුවෙන් මිනී මැරීම නොවේද?


පහත සඳහන් පුවත කියවා බලන්න


සුන්දරා මිය යයි.
හිරු 2012 ජූනි 07 බ්‍රහස්පතින්දා- පස්වරු 01:11
හක්මන - පුහුල්වැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස සැළකෙන පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. අද (07) අළුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කරතොට හෙට්ටියාවල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 46 ක් පමණ වයසැති සුනිල් ශාන්ත හෙවත් සුන්දරා නැමති පුද්ගලයෙක්. මෙම පුද්ගලයා නිවසක දේපල සොරාගැනීමට පැමිණි අවස්ථාවේදී එහි හිමිකරු සතුව තිබූ බලපත‍්‍ර සහිත තුවක්කුව උදුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී නිවස හිමිකරුවා විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියා සිටියේ.


ගොරකා හොරකමේ ගිය සුන්දරා වෙඩි කා නසී
දිනමිණ මාතර සමූහ ඩබ්ලිව්.පී.ධර්මසේන සහ කැලුමි බෝධිමාන තිහගොඩ විශේෂ
හක්මණ පුහුල්වැල්ල හෙට්ටියාවල ප්‍රදේශයේ ගොරක ගබඩාවක් කොල්ල කෑමට ගිය නමගිය අපරාධකාරයකු නිවෙස් හිමියාගේ වෙඩි පහරකින් එම ස්ථානයේම මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වූ අංක 392- 2005 වශයෙන් හඳුන්වන කරතොට හෙට්ටියාවල පදිංචි කහතුඩුව කංකානම්ගේ සුනිල් නොහොත් සුන්දරා යන අයයි. ගොරක ගබඩාව දෙසින් ශබ්දයක් ඇසීම නිසා නිවෙස් හිමියා තම බිරිය සමග තුවක්කුව රැගෙන ගබඩාව දෙසට ගොස් තිබේ.
සැඟවී සිටි සැකකරු ඔහු වෙත කඩාපැන තුවක්කුව උදුරා ගැනීමට පොර බඳා ඇත.එම අවස්ථාවේ ඔහුගෙන් බේරීමට නිවෙස් හිමියා වෙඩි තබා තබේ. සැකකරු එම ස්ථානයේම මියගොස් ඇත. සිද්ධිය පිළිබඳව හක්මණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-07

ඉංගිරිසි අජීර්ණයට ඇමති ඩලස් එංගලන්තයෙන් ගෙනා බෙහෙත හා පශ්චාත් යටත් විජිත සිංහලයන්ගේ ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්

සිංහල ජාතියේ පිනට පහළ වූ ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ලංකාවේ ඉංගිරිසි අජීර්ණයට බෙහෙතක් එංගලන්තයෙන් ගෙන්වා තිබේ.


මහ ඉහළින් ප්‍රචාරය කරමින් එසේ ගෙන්වන්නට යන්නේ එංගන්තයේ ගුරු පුහුණුව ලබමින් සිටින සිසුන් පිරිසකි. ඔවුන් ස්වේච්ඡාවෙන් මෙහි ඉංග්‍රීසි උගන්වන බව ආණ්ඩුව කියන මුත් ඇත්තනේම ඔවුන් කරන්නේ සිය පුහුණුවේ ප්‍රායෝගික කොටසකි. එසේ පැමිණ කරන සේවය අගය කළ යුතු ය. එහෙත් සුද්දන් වන්දනා කරන්නන් ඒ ගැන කරන ප්‍රචාර ජාතික වශයෙන් අවමන් සහගත ය. 


ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් තවමත් සිතාගෙන ඉන්නේ ඉංග්‍රීසි එංගන්තේ සුද්දන්ගේ භාෂාව වන නිසා ලංකාවේ කොයි කාටත් වඩා එංගලන්තේ සිඟන්නෝ පවා ඉංග්‍රීසි දන්නවා ය කියා වන්නට පුළුවන.


ලංකාවේ සිංහල ජාතිකවාදීන්ට ඉංග්‍රීසි පිළිබඳ ඇත්තේ පැරණි යටත් විජිත මානසිකත්වයම ය.


ජාතිකවාදීන්ට පමණක් නොව මාක්ස්වාදීන්ට ද තත්වය එසේ ම ය. ලේඛකයා එක්තරා අති වාමාංශික කණ්ඩායමක ක්‍රියාකාරීව සිටියදී ලද අත්දැකීමක් මෙසේ ය.


කිසියම් ප්‍රශ්නයක් අරභයා තානාපති කාර්යාලවලට යැවීමට ලියුමක් සැකසීමේ තීරණයක් එම කණ්ඩායම විසින් ගනු ලැබූ අතර ලේඛකයාට එය සැකසීම පැවරිණි. ලේඛකයා එය සැකසූ අතර කණ්ඩායමේ අසහාය නායකයාගේ අදහස වූයේ එවැනි ලිපියක් ලිවිය යුත්තේ ලේඛකයා වැනි ගමින් ආ ගොඩයකු නොව කොළඹ ඉහළ මධ්‍යම පංතියේ කුමාරයකු බවයි. ඒ සඳහා අවශ්‍ය භාෂාව දන්නේ එවැනි අය බව මේ වාමාංශික නායකයාගේ අදහස විය. මේ ලිපිය කිසිදාක නො ලියවුණු එකකි.


ලංකාවේ බොහෝ අය හොඳ ඉංග්‍රීසිය කියා සිතන්නේ ලංකාවේ සාමාන්‍ය ජනයාට නො වැටහෙන ඉංග්‍රීසියෙන් ලියන, කියන දේ ය.


ලංකාවේ මිනිසුන් බහුතරයක් ඉංග්‍රීසි හරි හැටි භාවිතා කරන්නට නො දන්නාකමට මූලික හේතුව මේ යටත් විජිත මානසිකත්වයයි. ඔලුවේ නිර්මානය කරගෙන සිටින ප්‍රමිතියක් වන්දනා කරමින් සිටින මොවුහු ඒ ප්‍රමිතියට ඇති බිය නිසා කිසි කලෙක ඉංග්‍රීසි නිදහසේ නො වහරති. එසේ කරන අතරතුර සිංහල බසට කළ හැකි ඕනෑම දහදුරා වැඩක් කරති. 


ඉංග්‍රීසිය යනු තව දුරටත් එංගලන්තයේ සුද්දාගේ භාෂාව නො වේ. එය ලෝක භාෂාවකි. එහි අපට ද ඉංග්‍රීසි උප බසක් ඇත. එය ලාංකික ඉංග්‍රීසියයි.


ලාංකික ඉංග්‍රීසිය කියන්නේ ඔය කොළඹ මධ්‍යම පංතික නෝනලා මහත්තුරු කතා කරන 'සින් නෝ' (පව් නේ), 'ටුඩේ වෙරි හොට් නෝ' (අද හරි රස්නෙයි නේ), 'පුට් මී අ ට්‍රාන්ස්පෝට්' (මට ට්‍රාන්පෝට් එකක් දාන්න), 'පුට් මී අ ප්ලේන්ටි' (මට තේ එකක් වක්කරන්න), 'සන් යු ආ වෙරි නෝටි' (පුතා ඔහා හරි නරකයි), 'අයිල් ගෝ ටු ද ටොයිලට් ඇන් කම්' (මම වැසිකිළියට ගිහින් එන්නම්) පන්නයේ ගොරකා ඉංග්‍රීසිය නො වේ. එසේ ම, ලොකු ලොකු පාසල්වල ළමයි එලකියුෂන් පංති ගිහින් එංගන්තයේ මධ්‍යම පංතිය නාට්‍ය රඟපාන පරිද්දෙන් කට අඹර, අඹරා ඉගෙනගෙන කතා කරන ව්‍යාකරණානුකූලව වැරදි වාක්‍ය ද නො වේ. එසේ ම, දකුණු ආසියාතික රටවල ඉංග්‍රීසි ගුරුවරුන්ගේ භාෂා ව්‍යවහාරය ද නො වේ. (ඉංග්‍රීසි ගුරුවරුන්ගේ උච්ච ස්වරයෙන් කතා කරන විකට භාෂා ව්‍යවහාරය හඳුනා ගන්නට 'තාරේ සමීන් පාර්' චිත්‍රපටය කදිම නිදසුනකි.)


ලාංකික ඉංග්‍රීසිය ගොඩනැ‍ඟෙන්නේ 'නෝ' වැනි ක්වෙස්ෂන් ටැග්වලින් ය ‍'ෂෝට් ඊට්ස්', 'ටේක් අවේ' වැනි වචනවලින් ය 'අයිල් ගෝ අන් කම්' වැනි ව්‍යවහාරවලින් ය කියා ප්‍රචාරය කරන යටත් විජිත මානසිකත්වයේ ලේඛකයෝ ද සිටිති. ඔවුහු ලාංකීය ඉංග්‍රීසිය වෙනුවෙන් පෙනී සිටින බවක් ප්‍රදර්ශනය කළ ද ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ලාංකීය ඉංග්‍රීසි බස අවමානයට පාත්‍ර කිරීමයි. ලාංකීය ඉංග්‍රීසිය එවැනි සරළ කාරණා එකතුවක් නො වේ.


ලාංකීය ඉංග්‍රීසිය ගොඩනැ‍ඟෙන්නේ දේශීය සංස්කෘතීන් හා ඉංග්‍රීසි භාෂාව අතර ගැටුම හා සම්මුතිය තුළිනි. එම නිසා ම ලාංකීය ඉංග්‍රීසිය පිළිබඳ වාග් විද්‍යාඥයන් විය යුත්තේ සිංහල වචන අහුලන සුද්දන් නො ව ද්විභාෂා උගත්තු ය.


දේශීය සංස්කෘතීන් හා ඉංග්‍රීසි භාෂාව අතර ගැටුම හා සම්මුතිය සඳහා නිදසුනක් මෙසේ ය. 'වැව' යනු දේශීය වාරි සංස්කෘතිය හා බැඳුණු සංකල්පයකි. සුද්දෝ වැවට 'ටෑන්ක්' යයි කී අතර එය ඉතා අසම්පූර්ණ පරිවර්තනයකි. 'වැව' යන වදනට සමාන වෙනත් ඉංග්‍රීසි වදනක් ද නැත. මේ සංස්කෘතික ගැටුම තුළ 'වැව' යන වචනයට ඉංග්‍රීසි වචනයක් ලෙස අනන්‍යතාව තහවුරු කර ගැනීම අවශ්‍ය ය. එය ලෝක ඉංග්‍රීසියත්, එහි ආධිපත්‍යය හොබවන ඇමරිකානු හා එංගලන්ත ඉංග්‍රීසිත් සමග කරන අරගලයකි.


'වැව' යන වචනයට ඉංග්‍රීසි අනන්‍යතාව දිනා ගත හැක්කේ එය ව්‍යවහාරය තුළ තහවුරු කිරීමෙන් මිස අන් කිසිදු ක්‍රමයකින් නො වේ.


නිදසුනක් ලෙස wanderoo යන ඉංග්‍රීසි වචනය නිර්මානය වී ඇති ආකාරය විමසා බලන්න. මේ වනාහි 'වඳුරු' යන සිංහල වදනයි. මෙම වචනය ප්‍රචලිත වන්නේ ජෝන් ස්ටිල්ගේ 'ජංගල් ටයිඩ්' කෘතියෙනි.


ලාංකික ඉංග්‍රීසිය ලෝකයේ අනන්‍යතාව තහවුරු කර ගන්නට නම් ලාංකික ඉංග්‍රීසි බසින් ඇති හොඳ ලේඛන සුලභ කළ යුතු ය. මේ වනාහි හිස් මධ්‍යම පංතිකයන් අතර ඇති පුහු ඉංග්‍රීසි යෙදූ ලේඛන සුලබ කිරීම නො වේ. 


ශ්‍රී ලාංකිකයන් කළ යුත්තේ හොඳ ඉංග්‍රීසි ප්‍රමිතියක් නිර්මානය කර ගනිමින් එය දේශීය සංස්කෘතික ලක්ෂණවලින් පෝෂණය කිරීමයි. නො එසේව, සුද්දන් වන්දනා කිරීම හෝ කොළඹ මධ්‍යම පංතිකයන්ගේ කාණු ඉංගිරිසිය ප්‍රවර්ධනය කිරීම නො වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-05

පූජකයන් දේශපාලනය කළ යුතු ද? අපේ අදහස මෙන්න

සෙසු අයට මෙන්ම පූජක පක්ෂයට ද පාර්ලිමේන්තුවට තරග කිරීමට අයිතියක් තිබිය යුතු බව අපේ ද අදහසයි.


පාර්ලිමේන්තුවට තරග කිරීම පමණක් නොව, වාහන පැදවීමට බලපත් ලබා ගැනීම ආදී මතභේදයට තුඩු දුන් කරුණුවලදී ද පූජක පක්ෂයට අවස්ථාව ලබා දිය යුතු බව අපේ අදහසයි.


ඕනෑ හාමුදුරු නමක්, පූජකවරයෙක් බස්, ලොරි, ත්‍රිරෝද රථ එළෙව්වත් අපට නම් කමක් නැත. එහෙත් පාරේ යන එවුන් ලවා, විශේෂයෙන් ම අප වැනි ආගම් නැති නිදහස් මිනිසුන් ලවා වන්දවා ගැනීමට ඔවුහු උත්සාහ නො කළ යුතු ය. 


එමෙන් ම, පූජක පක්ෂයට කසාද බැඳීමට අවසර නැති ආගම්වල පූජකයන් ලිංගික ආශාවන් සංසිඳුවා ගන්නට පෙළඹුණු අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතු බව ද අපගේ අදහසයි.


හැබැයි, පූජක පක්ෂය ගිහියන් හා සමානව මෙම අවස්ථා භුක්ති විඳින අතරතුරදී බලෙන් ගරු වෙන්නට උත්සාහ කිරීමට ඉඩ නො දිය යුතු ය. 


පූජකයන් දේශපාලනය කළ යුතු ද, නො යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඒ, ඒ ආගමික සභා විසින් මිස පාර්ලිමේන්තුව විසින් නො වේ. පාර්ලිමේන්තුවට මොන ආගම් ද? එය අනාගාමික ආයතනයක් විය යුතු ය.  


ප්‍රජාතන්ත්‍රවාදය තුළ පූජකවරුන් නැත. ඉන්නේ පුරවැසියෝ පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-04

පොසොන් භක්ති ගී රියේ නිවේදකයන් හා සිල්වායන්

ජාතික වස්තු හැඳින්වීමේදී නම අගට 'යන්' කියා කියනු ලැබේ.


අමරදේවයන්, කේමදාසයන්, සුනිල් ආරියරත්නයන්, සෝමරත්න දිසානායකයන් ආදී වශයෙනි.


නන්දා මාලිනී වැනි අය සම්බන්ධයෙන් 'යන්' එතරම් ගැලපෙන්නේ නැත. එබැවින් කියන්නට සිදු වන්නේ මාලිනිය කියා ය.


රේනුකා බාලසූරියන් යයි කියනවා නම් අසා නැත. එහෙත්, තිස්ස නාගොඩවිතානයන් යයි කියනු අසා ඇත්තෙමි.


ඇතැම් ස්ත්‍රී ජාතික වස්තුවලට 'යන්' වෙනුවට 'වන්' සුදුසු ය. ඒ අනුව, රේනුකාවන් කියන්නට පුළුවන.


එහෙත් ජැක්සන් ඇන්තනියන් යයි කීවිට එය ටිකක් ඇන්තනියා, අන්තෝනියා වැනි අපහාසාත්මක වදනකට සමාන වන නිසා ප්‍රශ්නයක් පැන නඟියි.


මේ සිද්ධිය සිදු වුණේ යා පදවිය පැත්තේ පාසලක ය. විද්‍යාලයේ සෞන්දර්ය අංශය විසින් පොසොන් බැති ගී රථයකින් ජනපදයේ වීදි පුරා බැති ගී විසුරුවන වැඩසටහනක් සංවිධානය කර තිබිණි. වැඩසටහනේ සංගීතමය නිර්මානශීලිත්වය පාසලේ සංගීත ආචාර්ය පුෂ්පකුමාරයන්ගේ ය. ප්‍රශ්නයක් නැත. උපදේශකත්වය නියෝජ්‍ය විදුහල්පති ප්‍රේමරත්නයන්ගේ ය. එතැනත් ප්‍රශ්නයක් නැත. විදුහල්පතිනිය පෙරේරා මැඩම් ය. නිවේදක සුදත් ගුනරත්නයන්ට ප්‍රශ්නයකි. ඒ නිසා ඔහු කීවේ පෙරේරා මැතිනිය කියා ය.


ලොකු ම ප්‍රශ්නය ආවේ බැති ගී රථය මනස්කාන්ත ලෙස නිර්මානය කළ තාක්ෂණ ගුරුවරයා ගැන ය. ඔහු‍ගේ නම සිල්වා ය. නිවේදකයා කීවේ සිල්වායන් කියා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හොස්නි මුබාරක්, චාල්ස් ටේලර් සිපිරි ගෙට යැවූ ලෝක නීතිය හා සදාචාරය

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.


ඔහු සමග ඔහුගේ අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා ද ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වී සිටිති.


ඒ 2011 වසරේ ඔවුන්ගේ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී වෙඩි තබා මහජනතාව ඝාතනය කිරීමට පියවර ගැනීමේ වරදට ය.


සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති හිලව්වට එරට කැරැලිකරුවන්ට අවි ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට 50 වසරක සිර දඬුවමක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විසින් පනවනු ලැබුවේ පසුගිය 30දා ය. 


ලෝක නීතිය හා සදාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ රටක ජනතාව මරා දැමීමට හා පොදු සම්පත් සොරකම් කිරීමට ඒ රටේ හෝ වෙනත් රටක පාලකයන්ට අයිතියක් නැත. එය ඇමරිකාව වැනි බලවත් රටවලට මෙන් ම ලයිබීරියාව වැනි දිළිඳු රටවලට ද පොදුවේ ක්‍රියාත්මක විය යුතු ය. ඇමරිකාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වුණා ය කියා වෙනත් රටවල පාලකයන්ට ද එවැනි අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ලබා ගැනීමට අයිතියක් නිර්මානය නො වේ. 


දුබල රටවලට ලෝක නීතියට බලවත් රටවල් අවනත කර ගැනීමට හැකි වන්නේ තම අවකාශය තුළ ලෝක නීතියට ගරු කෙරෙන තත්වයක් නිර්මානය කිරීමෙනි. 


ඒ අතින් ඊජිප්තුව හා ලයිබීරියාව වැනි රටවල හිටපු පාලකයන් සම්බන්ධයෙන් ගන්නා ලද පියවර යහපත් ලෝකයක් වෙනුවෙන් ගැනුණු ඉදිරි පියවර ලෙස සැලකිය යුතු ය.


තම පාලනයට යටත් වැසියන් මරා දැමීමේ හා මහජන දේපල කොල්ල කා සැප විඳීමේ හිමිකමක් රාජ්‍ය පාලකයනට හා ඔවුන්ගේ පවුල්වලට ඇති ය යන අදහසක් විශේෂයෙන් ම ලෝකයේ දිළිඳු ම රටවල පාලකයන් අතර තහවුරු වෙමින් තිබේ. 


ඔවුන් සිය ක්‍රියා සාධාරණීකරණය කර ගන්නේ එවැනි ක්‍රියාවල යෙදෙන බලවතුන්ට මුවා වෙමිනි. විශේෂයෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය ඔස්සේ ලෝක නීතිය හා සදාචාරය පිළිබඳ සම්මතයන් බිඳ දැමූ අතර එයට මුවා වෙමින් දිළිඳු රටවල පාලකයන් කරන්නේ එම ක්‍රමවේද හා උපාය භාවිතා කරමින් තමන්ගේ ම යටත්වැසියන් මරා දැමීමයි. 


මෙය වහා නතර විය යුතු ය. ලෝක නීතිය හා සදාචාරය යළි ස්ථාපිත විය යුතු ය. සියලු මිනීමරු හා දූෂිත පාලකයෝ දඬුවම් ලැබිය යුත්තා හ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-02

වෛද්‍ය පර්යේෂණායතනයේ ජංගම දුරකථන මයිටාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?

ලංකාවේ තිබෙන රූපවාහිනී සේවාවන් වැඩි හරියක ප්‍රවෘත්ති ලෙස විකාශය කරන්නේ ඕපාදූප ය.


මාධ්‍ය සදාචාරය අඩු ම තුට්ටු දෙකේ ජාවාරමක් වූ ස්වර්ණවාහිනිය නම් රූපවාහිනිය ප්‍රවෘත්ති හිඟ පසුගිය දිනවල නිර්මානය කළ මොබයිල් ෆෝන් මයිටි කතාව බොරු බව කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ මෙසේ ය:
ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.

සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

එසේම දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද පෙන්වා දෙයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.


මෙම ‍සොයා ගැනීම සිදු කළ ජංගම දුරකථනය හිමියා අපිරිසිදු පුද්ගලයකු විය යුතු ය. මහත්තයකු ලෙස ඇඳ සිටින පෙරේතයකු වෛද්‍ය පර්යේසණායතනයේ සිටින බව හා ඔහුගේ ජංගම දුරකථනය පරපෝෂිත ගබඩාවක් බවත් ස්වර්ණවාහිනියේ ප්‍රචාරය කළා නම් එය සත්‍ය පුවතක් වන්නට ඉඩ තිබිණි.


ස්වර්ණවාහිනිය මේ පුවත ප්‍රසිද්ධ කළේ හරියට ලුවී පාස්චර් කළා වගේ සොයාගැනීමක් ස්වරණවාහිනිය ම කළ අන්දමිනි.


එක පැත්තකින් මේ දවස් ප්‍රවෘත්ති හිඟ වී මාධ්‍යවලට මාන්දම හැදී තිබුණු දවස් ය. අනෙක් පැත්තෙන් මේ 'සොයා ගැනීම' කළ පුද්ගලයෝ ද රූපවාහිනියෙන් මූනත්තහඩුව පෙන්වා ගැනීම පිණිස ලංකාවේ වැඩි ම හරක් ගතිගුණ ඇති රූපවාහිනී චැනලය තෝරා ගත් හ.


වෛද්‍ය පර්යේෂණ ආයතනය වනාහි රජයේ ආයතනයකි. අවිද්‍යාත්මක බොරු ප්‍රචාර සිදු කර, මිනිසුන් නො මඟ යැවීම සඳහා එවැනි මහජන මුදලින් නඩත්තු වන ආයතනවල සේවයේ යෙදෙන අය සම්බන්ධ වෙනවා නම් හා ‍උපකරණ පාවිච්චි කරනවා නම් වහාම එය වැළැක්විය යුතුව තිබේ.


මෙවැනි 'සොයා ගැනීමක්' කළා නම් මෙවැනි ආයතනවල අය ඒ පිළිබඳ වාර්තා කළ යුතුව ඇත්තේ ආයතනයේ ඉහළ බලධාරීන්ට මිස ජනමාධ්‍යවලට නො වේ.


ඒවා ජනමාධ්‍යවලට ආ යුතු පිළිවෙලක් තිබිය යුතු ය.


මේ අසත්‍ය ප්‍රචාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත යුතුව ඇත.



මෙන්න ස්වරණවාහිනිය ප්‍රවෘත්තිය නිර්මානය කළ හැටි:


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-06-01

සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

්‍ය
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර සිටි ඒඩ්ස් රෝගයකු මිය යාම නිසා සිරකරුවන් අතර තවත් ඒඩ්ස් රෝගීන් සිටී ද යන සැකය බන්ධනාගාර හා සෞඛ්‍ය අධිකාරීන්ට ඇති වී තිබේ. 


ලංකාවේ වැඩියෙන් ම සමලිංගික සේවනය ඇති ස්ථානයක් වන්නේ බන්ධනාගාරයි. ආගමික ආයතන, නේවාසිකාගාර ආදියෙහි ද සමලිංගික සේවනය සිදු වන මුත්, සිරකරුවන් අතර එය අතර ඇති සමලිංගික සේවනය ප්‍රශ්න ඇති කරන මට්ටමක ඇත. 


හේතුව, විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය කරන සිරකරුවන් පවා සමලිංගික ඇසුරට ඇද ගන්නා ලිංගික අසහනයක් හා බලහත්කාරයක් එහි ඇති නිසා ය. 


මුලින් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය කළ, ඇතැම් විට, සමලිංගික සේවනය පිළිකුල් කළ අය පවා සිරගෙදරදී සමරිසියන් බවට පත් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පැරණි සිරකරුවන් සිරගෙදරදී සමලිංගික සේවනයෙහි ඇති කර ගන්නා ‍අධික ලොල්කම අධ්‍යයනය කළ යුතු දෙයකි. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි ලිංගික පීඩනය අධික ස්ථානයකදී එම සමලිංගිකයා මතු වනවා වන්නට ද පුළුවන. 


සිරගෙදර ඇති ප්‍රසිද්ධ කතාවකට අනුව එක් පැරණි සිරකරුවකු අලුත සිරගත වූ තරුණයකු සමග සමලිංගික ඇසුරක් ඇති කර ගනියි. අලුත් සිරකරුගේ මව ඔහු බැලීමට පැමිණි පසු පැරණි සිරකරු දැන ගන්නා දෙය වන්නේ ඒ දීර්ඝ කාලයක සිට ඔහු හා සම්බන්ධයක් නැති සිය බිරිඳ බවයි. තමා ලිංගිකව එක් වුණේ පුතා සමග බව දැන ගන්නා සිරකරු වතුර ටැංකියට නැඟ බිමට පැන සිය දිවි නසා ගනියි. 


සිරගෙදර යනු ලංකාවේ මිනිසුන් ලිංගික වශයෙන් අනාරක්ෂිත ම ස්ථානයකි. විශේෂයෙන් පැරණි සිරකරුවෝ අලුත් සිරකරුවන් අමානුෂික ලෙස දූෂණය කරති. විශේෂයෙන් ම පැරණි සිරකරුවන් අතර ඇති ගුද සංසර්ග පුරුදු නවකයා දැඩි ලෙස අනතුරට පත් කරයි. 


බන්ධනාගාර බලධාරීන්ට සිරගෙවල් තුළ සිදු වන ලිංගික දූෂණ පාලනය කරන්නට බැරි ය. සිරගත වන පුද්ගලකුට ලිංගික වශයෙන් ආරක්ෂාව සැපයීමට බන්ධනාගාර පරිපාලනය මුළුමනින් ම අසමත් ය. 


බන්ධනාගාර ගත වූවන් අතර ඇති තරම් උපත් පාලන කොපු හා ඝර්ෂණය නැති කරන ක්‍රීම් වර්ග ආදිය බෙදාහැරීම හැර වෙනත් විසඳුම් මේ ප්‍රශ්නයට ඇතැයි සිතිය නො හැකි ය. සිරකරුවන් අතර ගුද සංසර්ගය තහනම් කරන්නට උත්සාහ කිරීම අසාර්ථක ය. එහෙත්, ලිංගික දූෂණ නැවැත්වීමට නම් අනිවාර්යයෙන් ම පියවර ගත යුතු ය. මන්ද, අධිකරණයෙන් තීන්දු දෙන්නේ සිරගත කිරීමට මිස ඒඩ්ස් බෝ කිරීමට නො වන බැවිනි. 


ආණ්ඩුවේ කෝකටත් තෛලය වන සුලබ සෑම දෙයකින් ම බදු අය කිරීම න්‍යාය නම් මෙහිදී වැඩ කරන්නේ නැත. කැලනි ග‍ඟේ රත්තරනට බදු ගැසුවා සේ ‍මේ රත්තරනට  බදු ගසන්නට බැරි ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න