2012-07-30

ඔබේ ඩීසල් වාහනයටත් 'කාබලේටරයක්' අවශ්‍ය නම් දිවයින අමතන්න

දිවයින පුවත්පත හා එහි මාධ්‍යවේදියෝ වනාහි ලංකාවේ ජනතාවට සෑහෙන ආතල් එකක් දෙන පිරිසකි.


ලංකාවේ මාධ්‍යකරුවන් අතර සාමාන්‍ය දැනුම ඇති අය විරල ය. වෙන රටවල මාධ්‍යකරුවෝ නම් නො දන්නා දේ දන්නා අයගෙන් අසා දැනගෙන ලියති. එහෙත්, ලංකාවේ මාධ්‍යවේදීහු සියල්ල දත් අයයි. කොහොමත් ඔය  මෝටර් මිකැනික්ලා වැනි අයගෙන් අසා දැන ගන්නට තරම් දෙයක් මාධ්‍යවේදීන්ට නැත.


අඩු ගානේ තමන් පාවිච්චි කරන ඉංගිරිසි වචනයක් හරිද වැරදිද දැන ගැනීමට ශබ්දකෝෂයක්වත් පාවිච්චි කරන්නට උවමනාවක් ඔවුන්ට නැත.


මේ පත්තරවල පිටු අනුමත කරන ලොක්කෝ ද මේ මාධ්‍යකරුවන් සේ ම සිට ප්‍රමාණයෙන් ලොකු වූ අය නිසා වෙනසක් නැත.


දිවයිනේ අලුත්ම සොයාගැනීම ඩීසල් වාහනවල කාබලේටර නම් කොටසක් ඇති බවයි.


මෙන්න වාර්තාව


ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි
ශිරාන් රණසිංහ
ආනයනය කළ ඩීසල්වල කිසියම් අපද්‍රව්‍යයක්‌ නිසා වරායේ දොඹකර හා ලංගම බස්‌ රථ ඇතුළු වාහන නතර වීමෙන් පසුව ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවූ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.
මෙම ඩීසල් සාම්පල් යළිත් මෙරටදී කිහිප විටක්‌ රසායනාගාර පරීක්‍ෂණවලට භාජනය කළද, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න මතු නොවූ බවද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ඩීසල් භාවිත කළ වරායේ දොඹකර දාහතරක්‌, ලංගම බස්‌ රථ පහළොවක්‌ පමණ හා අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන තිහක්‌ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලින් තෙල් සංස්‌ථාවට පැමිණිලි ලැබුණ බවද එම නිලධාරියා කීවේය.
කෙසේ වෙතත් මහමග නතරවූ වාහනවල කාබලේටරය ශුද්ධ කළ පසු යළිත් ඒවා ධාවනය වූ බවද එම පැමිණිලිවලින් කියෑවුණු බවද හෙතෙම පැවසීය.
අලුත්වැඩියා කටයුත්තක්‌ නිසා මේ දිනවල මෙරට පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර ආනයන කළ ඩීසල්වල මෙම ප්‍රශ්නය මතුවී ඇතැයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් බෙදාහරින ඩීසල් භාවිත කර හානියට පත්වන වාහන තිබේනම් ලිතව ඒ පිළිබඳ පැමිණිලි කළහොත් විභාග කරන බව එම සමාගම පවසා සිටී.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-27

ඇන්කෝර්! ඉසෙඩ් ස්කෝර් ගැන රස කතා

ආණ්ඩුවේ ඉසෙඩ් ස්කෝර් පටලැවිල්ල දේශපාලකයන්ගේත්, ජනතාවගේත් විලි ලජ්ජා නැතිකමේ කදිම ප්‍රකාශනයකි.


නව ඉසඩ් ලකුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් දුන් තීන්දුවට රජය ගරු කරන බවද එමගින් කිසිවකුට "අසාධාරණයක්‌" නොව සිදුව ඇත්තේ "අපහසුතාවක්‌" පමණක්‌ බවද උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පමණයි.


දරුවකුගේ ජීවිතයට බලපාන අතිශය තරගකාරී විභාගයක ප්‍රතිඵල වැරදියට නිකුත් කිරීම අසාධාරණයක් නොවේ. අපහසුතාවක් පමණි. අපහසුතාවක් යනු චූ බරක්, කක්කා බරක් වැනි පහසුවෙන් නැි කර ගත හැකි දෙයකි.


ඉසෙඩ් අගය ගණනය කිරීමේ වරද පෙන්වා දෙමින් නඩු කීමට මුල් වුණේ ලංකා ගුරු සංගමයයි. එයින් විශාල සිසු පිරිසකට සාධාරණයක් ඉෂ්ට විය.


අපට වෙච්ච අසාධාරණයට මොකද කරන්නේ යි අසන්නට ඇතැම් සිසුවෝත්, මව්පියවරුත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සොයති. හරියට ඔවුන්ට අසාධාරණය කළේ ජෝසප් ස්ටාලින් වගේ ය.


මේ අතර ලංකා ගුරු සංගමය සමග ගුරු සංගම් තරගයක යෙදී සි‍ටින වෘත්තීය සමිතියක් වන ජවිපෙට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ඒ අසාධාරණය සම්බන්ධයෙන් නඩු කීමේ වගකීම භාරගෙන ඇත.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසන්නේ "ඔයාලා මෙයාලා එක්‌ක ගියොත් අමාරුවේ වැටෙනවා" ය කියා ය.


ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ පුතා ද ඇමතිවරුන්ටත් ඉහළින් සිටිමින් විසඳුම් යෝජනා කරමින් සිටියි. අන්න එයා එක්ක ගියොත් නම් ඔයාලා අමාරුවේ වැටෙන්නේ නැත. 


මොකද, එයාලා අමාරුවේ දමන්නේ රටවල් වශයෙනි. එහෙම අමාරුවේ වැටුණා ම වෙන වෙන ම තමන් වැටුණු අමාරුව පේන්නේ නැත. හරියට හැමෝම හෙළුවෙන් ඉන්නකොට එහි විශේෂයක් නැතුවා වගේ ය. 


මේ මොනවා වුණත්, අපේ රටේ ජනතාව එළඹෙන පළාත් සභා මැතිවරණයේදීත් ආණ්ඩුව දිනවන එක දිනවනවා ම ය. 


කච්චිය පිච්චියට ගියත් අපි හෙළුවෙන් ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-24

යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?

ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාලවලින් රහස් පොලිසියට ගෙන ගිය පරිගණකයේ අසභ්‍ය පිංතූර තිබුණු බව සොයාගෙන ඇත. 


මර ය! මේ නම් අති විශිෂ්ට සොයාගැනීමකි. 


කෙටියෙන් කියනවා නම් කටුගෙයින් නැති වූ බඩු යළි සොයා ගත්තාටත් වඩා විශිෂ්ට සොයා ගැනීමකි. 


රහස් පොලිසිය මහජන මුදල් හා කාලය වැය කරමින් මේ වෙබ් අඩවි කාර්යාල වටලන්නට වරෙන්තු ලබා ගත්තේ මේ අසභ්‍ය පිංතූර අත්අඩංගුවට ගන්නට වන්නට ඇත. 


මේ මාධ්‍යවේදීන් මේ අසභ්‍ය පිංතූර බලා ස්වයං වින්දනය වැනි අසභ්‍ය කටයුතු කරන බවට ඔත්තුවක් ලැබිලා වන්නට පුළුවන. 


ඇත්තෙන් ම, ලංකාවේ ස්වයං වින්දනය නීති විරෝධී ද යන්න වහා ම සොයා බැලිය යුතු ය. නැතිනම්, හෙට රහස් පොලිසිය පැමිණ ස්වයං වින්දනයේ යෙදුණේ යයි චෝදනාකොට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත හැකි ය. 


මේ මාධ්‍යවේදීන් ස්වයං වින්දනයේ යෙදී පියාට අසු වූ ළමයින් මෙන් ඇඹරෙන්නේ නැතිව නො බියව මෙසේ කිව යුතු ය. 


"යකෝ අපි වැල බැලුව තමයි. ඉතින් මොකද කියන්නෙ?"


මෙහිදී ආදර්ශයට ගත යුත්තේ සතුන් වත්තේ කූඩු කර ඇති රිලවුන් ය. උන් හස්ත සංසර්ගයේ යෙදෙනවා පමණක් නොව, ශුක්‍රානු නරඹන්නන් දෙසට විසි කරන්නට ද පසුබට නො වෙති. 


ප්‍රකාශනයේ නිදහස නැති රටේ අඩු ගානේ ලිංගික නිදහස හෝ තිබිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-23

ආචාර්ය නිර්මාල්ට ආචාර්ය මර්වින් හිමු වීම

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අලුත්ම චරිතය ආචාර්ය මර්වින් සිල්වා ය. 


ඔහු ඒ සඳහා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත. 


මර්වින් සිල්වා මීට පෙර මෙවැනි ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විසඳා ඇද්ද යන්න අපි නො දනිමු.  අප‍ සිතන පරිදි නම් මර්වින් සිල්වා යනු බරපතල ප්‍රශ්නයක් මිස කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නො වේ. 


මර්වින් සිල්වා යනු ආචාර්ය යන පට්ටම නමට ඉදිරියෙන් යොදන කෙනෙකි. මෑත යුගයේ බිහි වූ හොඳ විද්‍යාර්ථියකු යයි අප සිතන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ ඒ තරමට සිය ආචාර්ය උපාධිය ප්‍රදර්ශනය නො කරයි. 


මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත. 


කෙසේ වෙතත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ආචාර්ය මර්වින් සිල්වා හමු වීම නාට්‍යමය වශයෙන් රසවත් ය. මීළඟ දෙබස් ඛණ්ඩය ඇත්තේ ආචාර්ය නිර්මාල්ට ය. ඔහු නිහඬ ය. ඇයි? කන්න ඕනැ වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා ද? 


සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා අපට මතක ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-21

රට හැර යාමේ අයිතිය ඔවුනට දිය යුතු ය

ජුලි මාසයේ අද දින දක්වා කාලය තුළ නීති විරෝධීව ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වන්නට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 454දෙනෙකු ඔවුන් ගමන් කළ බෝට්ටු නවයක් ද සමග අත්අඩංගුවට ගත් බව නාවික හා පොලිස් සංඛ්‍යා දත්ත පවසයි. 


ලංකාවේ සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය මේ වන විට ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. එසේම, එය ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ද මතු වන්නට ඇති ඉඩ වැඩි ය. 


මෙය දෙමළ ඩයස්පෝරාව විසින් දේශපාලන උපාය මාර්ගයක් ලෙස සංවිධානාත්මකව කරන දෙයක් බව ලංකාවේ රජය පවසයි. 


එය එසේ වන්නට පුළුවන. එහෙත්, ලංකාවේ රජය තත්වය වෙනස් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද? 


සංක්‍රමණය වන්නන්ගෙන් වැඩි පිරිසක් දෙමළ ජාතිකයෝ ය. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා රජය ගත් පියවර අතිශය අප්‍රමාණවත් බව ලොවට ම ප්‍රකාශ කරන තත්වයක් මෙම සරණාගත ප්‍රශ්නය විසින් ඇති කර තිබේ. 


සංක්‍රමණය වන්නට තැත් කරන්නන් අතර සිංහලයින්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් තිබේ. මේ වනාහි රටේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයකි. 


අද වන විට ලංකාවේ සෑම සමාජ මට්ටමකම බොහෝ අය අනාගතය පිළිබඳ අනාරක්ෂිත හැඟීමකින් පෙළෙති. රට වෙළාගෙන ඇති අනීතික තත්වය හා ගැඹුරු සමාජ පරිහාණිය හමුවේ අනතුරුදායක නො වන අන්දමින් කිරීමේ හැකියාවක් ඇත්නම් මේ රට හැර යන්නට බොහෝ අය කැමති ය. 


අකැමැති පරිසරයන්ගෙන් ඈත් වීම ස්වභාවික ලක්ෂණයකි. එය හිමිකමක් ද විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-20

ඔබද ලක්ෂපතිආරච්චි? මමද ලක්ෂපතිආරච්චි?

නිමල් ලක්ෂපතිආරච්චි ගුවන් විදුලි සංස්ථාවේ සිටි ක්‍රියාකාරී සහායකයකු හා නිවේදකයෙකි. රජයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සේවය කළ ඔහු එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වූවකු නොවේ. නොඑසේ නම්, ඔහුට දස්කම් දැක්වීමට පොළවක් ගුවන් විදුලියේ තිබුණේ නැත. 


එහෙත්, මහරාජා ආයතනය මෙම ගුවන් විදුලි ශිල්පියා ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කළ විදග්ධයකු ලෙස නැවත සොයා ගත්තේ ය. 


රූපවාහිනියේ ආගමනයත් සමග ජනතා‍වගෙන් ඈත් වෙමින් තිබුණු ගුවන් විදුලි මාධ්‍යය රජයේ ගුවන් විදුලි සම්ප්‍රදායේ සිරගෙයින් මුදාගෙන වෙළඳපොළට නිරුවත් කිරීමට මහරාජාට ශක්තිය වුණේ නිමල් ලක්ෂපතිආරච්චිගේ නිර්මානශීලිත්වයයි. 


ඔහුට පෙර ගුවන් විදුලිය වනාහි, ලක්ෂපතිආරච්චිට පවා එළිපත්ත පමණක් හිමි වූ, කොළඹ කේන්ද්‍ර කර ගත් වරප්‍රසාදිත ඊනියා ප්‍රබුද්ධයන්ගේ සමාජයක ආධිපත්‍යයට නතු වූ, ජනතාව‍ තමා ළඟට ගෙන්වා ගත් මාධ්‍ය අවකාශයකි. 


ලක්ෂපතිආරච්චි යුගයේ ගුවන් විදුලිය තුළ සිදු වූ විප්ලවය වන්නේ ගුවන් විදුලිය ජනතාව අතරට යාමයි. 


ඇටුවම් බැස්ස ඊනියා ප්‍රවීණයන් වෙනුවට නිර්මානශීලී හිරිමල් කොල්ලෝ, කෙල්ලෝ සිරස හරහා ජන හදවත්වලට හඬ විහිදුවන්නට පටන් ගත්හ. 


අසන්නන්ගේ ඉල්ලීම්වල තැපැල්පත් පමණක් වී සිටි අසන්නෝ සිරසෙන් සජීවීව කතා කරන පිරිසක් බවට පත් වූහ. 


රජයේ ගුවන් විදුලියේ අර්ධ ලිඛිත භාෂාව වෙනුවට සාමාන්‍ය කතා ව්‍යවහාරය ගුවන් විදුලි භාෂාව බවට පත් විය.


ගුවන් විදුලියේ ශ්‍රේණිගත සරළ ගී ගායකයන් වෙනුවට ගීය සරළ වෙළඳ භාණ්ඩයක් ලෙස සිරසට පිවිසියේ ය. 


එසේම, ගුවන් විදුලිය පැය විසි හතරේ විකාශනයක් බවට පත් වූයේ ද මේ වකවානුවේ ය. රෑ වැඩ කරන ශ්‍රමිකයෝ, රාත්‍රී මගියෝ, නිදි වරන මිනිස්සු ආදීන්ගෙන් සැදුම්ලත් නවතම ප්‍රජාවක් වෙත ගුවන් විදුලිය මේ සමග සමීප විය. 


'තොපිට ඕනැ නම් අප කියන දේ අහපියව් - නැතිනම් නිකා හිටපියව්' යන රජයේ හා අධිපති මාධ්‍යකරුවන්ගේ ප්‍රතිපත්තියේ පිහිටා තිබුණු ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යය ලක්ෂපතිආරච්චිගේ මැදිහත්වීම ඔස්සේ සසල විය. 


ඔහු ඇත්තෙන්ම ලංකාවේ ඔලුවෙන් සිටගෙන සිටි ගුවන් විදුලිය දෙපයින් සිටවූයේ ය. ඒ සාර්ථකත්වය පසු කලෙක සිරස රූපවාහිනිය වෙත ද දිගු විය. ගුවන් විදුලිය හා රූපවාහිනිය අත්වැල් බැඳ ගැනීම ඇරඹුණේ ද සිරස හරහා ය. 


ලක්ෂපතිආරච්චි යුගයේ ගුවන් විදුලිය ග්‍රාහකයන් වෙත සමීප වූ තරමට ම එය ගුණාත්මක වශයෙන් දැවැන්ත පරිහාණියකට ලක් වීමේ ආරම්භය සලකුණු කළ වකවානුවක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත්, එය ගුවන් විදුලියට පමණක් සුවිශේෂ වූ තත්වයක් නො වන බව ද මේ විවේචනය කරන විට අප සිහි තබා ගත යුතු ය. 


ලක්ෂපතිආරච්චි යුගයේ අවසානයේ දැන් බුදු බණ ද අතරමග දැන්වීම් සහිත සෙජ්මන්ට් වශයෙන් විකුණනු අසන්නට ලැබේ.


ලක්ෂපතිආරච්චි ඔහුගේ කාර්යය කළේ ය. ඔහුගෙන් පසු ඔහු වැනි යුග පුරුෂයෝ ගුවන් විදුලියට බිහි නො වූ හ. ලක්ෂපතිආරච්චි යුගය දැන් අවසන් ය.


ඒ බව හේ මුර ගා කීවේ කන්දක් විලි ලා බිහි කළ මී පැටවකු වූ හිරු රූපවාහිනිය ඔස්සේ ය. 

සිය යුගයේ නිමාව සිය ජීවිතාවසානය ද සමගින් සටහන් කරන්නට නිමල් ලක්ෂපතිආරච්චි තීරණය කර ඇත. 

ගුවන් විදුලිය දැවැන්ත ප්‍රසාංගික අවකාශයක් වෙත විවර කළ මේ පුංචි මිනිසා තාලයට අප්පුඩි ගසන්නට බැරි අයකු බව ඔහු ම ප්‍රසිද්ධියේ කීවේ ය. 


ගුවන් විදුලියට, රූපවාහිනියට පමණක් නොව පොදුවේ මාධ්‍ය කලාවට (ව්‍යාපාරයට?) දැන් අලුත් කෝටිපතිආරච්චිකෙනෙකු අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-18

ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය. 


ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් මධ්‍යම පංතිකයන්ගේ ආශිර්වාදයෙන් ගොඩනඟන ලද පවතින විකෘති සමාජ ක්‍රමය පවතින තෙක්, අප තත්වය විග්‍රහ කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය වටහා ගනිමිනි.  


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මල්ලී වන ගෝඨාභය රාජපක්ෂට එම පවුලේම අය විසින් කළමනාකරණය කරනු ලබන, මහජනාව විසින් පාඩු පියවන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩ කරන ඔහුගේ ම ලේලියකගේ ගුවන් නියමු පෙම්වතා ලවා ස්විට්සර්ලන්තයෙන් බලු පැටවකු ගෙන එන්නටත්, බලු පැටවාට ඇති ආදරය නිසා එම ගුවන් යානය තමන් ම පදවන්නැයි ලේලිගේ පෙම්වතාගෙන් ඉල්ලා සිටින්නටත් බැරි මොකද? 


ලේලිගේ පෙම්වතාට ඒ -340 ගුවන් යානා පදවන්නට බැරි නිසාත්, ඒ -330යක් යෙදුවොත් මගීන් සංඛ්‍යාව අඩු කරන්නට සිදු වන නිසාත් ගුවන් නියමු සංසදය එයට විරුද්ධ වීම නිසා එය ඒ අන්දමින් සිදු වී නැත. 


ගෝඨාභය රාජපක්ෂ නම් රජයේ නිලධාරියා තර්ක කරන පරිදි එහි වරදක් නැත. මුදල් ගෙවන්නේ නම් ඔහුට බලු පැටවකු නොව අලි පැටවකු වුව ගෙන්වන්නට පුළුවන් බව ඔහු කියයි. ඇත්තට ම ඔහුට හා ඔවුන්ට බැරි කුමක්ද? 


බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද?


දැන් මේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ගෝඨභෙයතුමාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත්තේ සිද්ධියේ පොදු දේපල සම්බන්ධ කාරණාවක් ඇති බව කියා ය. 



රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය බින්ද හොරු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ. මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි ඇසූ විපක්ෂයේ හොරු ඇසූ හ. සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි ඇසූ අයට ලැබුණු උත්තරය මතකද?



ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා? 


කොහොම වුණත්, ඔයා හරි ෂෝක් දෙබසක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.  ඔයාගේ දෙබස් නිසා සරත් ෆොන්සේකා ජම්පරුත් ඇන්දේ ය.


අපේ සිංහල කට්ටිය ඉංගිරිසි මනින එක ප්‍රමිතියක් වන්නේ 'බනින්න තරම් ඉංගිරිසි දන්නවා' ය කියා ය. 


බලන්න ඉතින් එහෙම බනින්න පුළුවන් එකත් කොච්චර දෙයක් ද, ඈ? 


මෙන්න මෙතැනින් ඒ ෂෝක් දෙබස් ඩිංග කියවන්න පුළුවන්

“If you write one bloody word I will sue the writer and your newspaper – which I have already done -  I am not afraid of the bloody courts – I will sue you and shut down your f……. newspaper.”





මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-17

ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ. 


එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි. 


මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම ‍දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි. 


මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි. 


ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්‍රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන බවට කේවෙල් කරමින් සිටියත් ජනාධිපති සමග සාකච්ඡාවකින් පසු හදිසියේ ඒ සියල්ල අතහැර දැමීමට මුස්ලිම් කොංගුස් නායකයා කැමති විය. ඒ හේතුවෙන් එම පක්ෂයේ පිපිරීමක් ද ඇති වී තිබේ. 


මෙම තත්වය සිංහල මහ ජාතිවාදයේ ජයග්‍රහණයකි. හෙත් එය ලාංකීය ජාතිකවාදයක නම් පරාජයකි. දෙමළ, මුස්ලිම් ජාතීන් අතර හෝ සමගියක් ඇති වේ නම් පමණක් එය ලාංකීය ජාතියේ ජයත්‍රහණයක් වනු ඇත. මන්ද, සිංහල මහ ජාතිවාදයට එරෙහිව සටන් කිරීෆම් ශක්තිය දෙමළ කතා කරන ජනයාට එයින් ලැබෙන බැවිනි. 


මේ අතර, ආණ්ඩුවේ සන්ධානයේ සිටින තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු සංගමය  හා කඳුරට ජනතා පෙරමුණ ද මනෝ ගනේශන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ද එක්ව සබරගමු පළාතට තරග කරන්නට තීරණය කර ඇත. මේ වනාහි ඒ පළාතේ සුළුතර දෙමළ ජනයා වෙනුවෙන් පළාත් සභාවේ නියෝජනයක් ලබා ගැනීමට සමත් වන බුද්ධිමත් තීරණයකි. 


‍පසුගිය පළාත් සභා මැතිවරණවලදී පළාත් රැසක සුළුතර ජාතීන්ට කිසිදු නියෝජනයන් ලැබුණේ නැත. ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ සිංහලයන් ඔවුන් පිළිබඳ සොයා බැලුවේ ද නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කළේ ම නැත. 


මේ වන විට, ලංකාවේ දේශපාලනය යුද්ධය තිබුණු තාලයටත් වඩා දැඩි ලෙස ජාතිවාදී රේඛාවන් ඔස්සේ බෙදෙමින් පවතින බව ද, මෙය අනාගතයේදී තව, තවත්, ආගමික, කුල ආදී බෙදුම් රේඛාවන් ඔස්සේ ඉරි තලමින් සමාජ සංවර්ධනයේ පසුපසට ගමන් කරමින් ඇති බව ද සිදු වන සිදුවීම් ඔස්සේ පෙනී යයි. 


ලංකාව කෑලි කෑලි කැඩී යන්නේ මෙසේ ය. හදවත්වලින් කැඩී බිඳී ගිය දේශයක් අවි බලයෙන් එක්සත්ව තබා ගත් පළියට සෙතක් වේද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-16

රජයේ සේවකයෝ රටින් පැන යන්නේ ඇයි?

නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට තැත් කර කල්කුඩා මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර රජයේ සේවකයන් 16ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔවුන් අතරින් එක් අයෙකු පොලිස් නිලධාරියෙකි. විස්තර මෙතැනින්

රජයේ සේවකයෝ වනාහි මේ රටේ වැඩි ම රැකියා සුරක්ෂිතභාවය ඇති හා විශ්‍රාම වැටුප නිසා වැඩිම අනාගත සුරක්ෂිතභාවය ඇති පිරිස ලෙස සැලකිය හැකි ය. 


පසුගිය සමයේ වත්මන් පාලක පිරිස බලයට පත් කිරීම සඳහා වැඩියෙන් ම කඩේ ගිය බලවේගය ද මෙයයි. එහෙත්, පොරොන්දු වූ රු. 2500 වැටුප් වැඩි වීම නොදී සිටීමේ පටන් ම රජය මෙම බලවේගය නොතකා හැරියේ ය. 


එසේම, රාජ්‍ය සේවයට අලුතෙන් පිරිස් බඳවා ගැනීම හැර (ප්‍රචාරය කරන තරම් බඳවා ගැනීම් සිදු වන්නේ ද නැත.) රාජ්‍ය සේවයේ ඵලදායිතාව උසස් කිරීම සඳහා ගත් පියවරක් ද නැත. 


රජයේ සේවකයන් තව දුරටත් රම රැකියාවල රැඳී සිටින්නේ බොහෝ විට වෙනත් රැකියා නැතිකමත්, අඩු පඩියට හිලව් පිණිස අඩුවෙන් වැඩ කිරීමේ අවස්ථාව ලැබෙන නිසාත් ය. 


රජයේ සේවක වෘත්තීය සමිතිවල කොන්ද බිඳ දමා ඇත. එම වෘත්තීය සමිති බොහොමයක නායකයෝ ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබා ගැනීම පිණිස වෘත්තීය සමිති බලය පාවිච්චි කරන්නෝ ය. 


පොදු රජයේ සේවකයන් හා මෙම වෘත්තීය සමිති අතර ඇත්තේ නාමික සම්බන්ධයක් පමණි. 


රජයේ සේවකයන් බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ රැකියාව කරන අතරතුර, සාධාරණ අන්දමින් නම් සිල්ලර කඩයක් කිරීම, කුඹුරු වගාව, ගුරුවරු නම් ටියුෂන් වැනි ව්‍යාපාරයක් කිරීම හා අයථා අන්දමින් නම් පගා ගැසීම, කොමිස් ගැසීම, වංචා කිරීම වැනි ක්‍රියා හරහා අමතර මුදලක් උපයා ගැනීමටයි. 


මේ වන විට රජයේ සේවකයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ කුමන අන්දමකින් හෝ සිය මධ්‍යම පංතික සිහින සැබෑ කර ගැනීම ඔවුන්ට දුෂ්කර වී තිබීමයි. 


විශේෂයෙන් ම සිය දරුවන් සම්බන්ධයෙන් වූ අනාගත සුබ සිහින සැබෑ කර ගැනීමේ මාර්ග එන්න, එන්න ම ඇහිරෙමින් තිබේ. එපමණක් නොව, දේශපාලකයන් සමග සම්බන්ධ අධ්‍යතන අපරාධ රැල්ල විසින් රටේ ඇති කර තිබෙන්නේ මහත් අනාරක්ෂිත තත්වයකි. 


දෙමළ ජනයා දෙමළ වීම නිසා මුහුණ දෙන විශේෂ තත්වය මතත්, දෙමළ ජනයාට සංක්‍රමණය වීම හා දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇති වැඩි හැකියාව මතත්, දෙමළ මිනිසුන් නීති විරෝධී සංක්‍රමණයට යොමු වීම වැඩි වී තිබෙන මුත්, සිංහල මිනිසුන් අතර ද තත්වයේ වෙනසක් නැත. 


සරළව කීවොත්, සිංහලයන් කෙතරම් ජාතික අභිමානයෙන් යුත් පිරිසක් වුවත්, අද වන විට පවතින තත්වය තුළ මිනිසුන්ට ලංකාවෙන් පිට වීම සඳහා දොරටු විවර කළොත් මධ්‍යම පංතික දේශප්‍රේමීන් කී දෙනෙක් ලෝකෙන් උතුම් රටේ ඉතිරි වේද යන්න සැක සහිත ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-13

මේ අඩවිය වෙබ් අඩවියක් නොවේ

"පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ."

එක්තරා දුම්රිය ස්ථානයක මෙසේ නිවේදනය කෙරුණු බව විහිළු කතාවක කියැවේ.

අපට ද කීමට ඇත්තේ මේ වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවයි.

මෙය බ්ලොග් අඩවියකි. මෙහි ප්‍රවෘත්ති නැත.

මෙය සාහිත්‍ය අඩවියකි.

මේ කවියකි.

ලස්සෙට කොඩි දාපල්ලා
ආණ්ඩුවට දීපල්ලා
තව ඉල්ලං කාපල්ලා
...................................

හතරවැනි පදයට ඕනැ එකක් දාගන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-12

අධිකරණයට මල් මිටක්

(උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි) ඩෙංගු මදුරු කීටයන් බෝකිරීමේ චෝදනාව යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට දඩ ගස්සවා අධිකරණය පෙහොසත් කිරීම නොව කළ යුතුව ඇත්තේ මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන නිසි බලධාරීන් යොදවා මදුරු දුම් ගසා මදුරුවන් මර්දනය කිරීම යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) මුල්ලේරියාව පොලිසියට අවවාද කරමින් පැවැසීය.

මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැසියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඩෙංගු වසන්ගතය තුරන් කළ නොහැකි බව පැවසූ මහෙස්ත්‍රාත්වරයා මින් පසුවට පුද්ගලයන් නිකරුණේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන්නේය.

මුල්ලේරියාව පොලිසිය විසින් ඩෙංගු චෝදනාව යටතේ පුද්ගලයන් පස්දෙනකු අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් අධිකරණය හමුවේ වරද පිළිගැනිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා රුපියල් 500ක දඩ මුදලක් නියම කළේය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-11

මිගෙට්ටුවත්තේ ගුණානන්ද, මිගෙට්ටුවත්තේ සුමිත්ත හා ජනමාධ්‍ය

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ පානදුරේ වාදය නිසා ප්‍රසිද්ධ වූහ.


සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිපාණන් ප්‍රසිද්ධ වී ඇත්තේ පාතාල නායකයෙකු ලෙස ය.


උන් වහන්සේ (ජනමාධ්‍ය එහිමියන් හඳුන්වන්නේ භික්ෂුව, චීවරධාරියා, සැකකරු ආදිය කියා ය) නීතිය ඉදිරියේ වරදකරු බව ඔප්පු වී නැත. කළා යයි කයන්නේ ද මංකොල්ල, මිනීමැරීම් මෙහෙයවීම නොව, පාතාල අපරාධකරුවන් යයි කියන අයට රැකවරණ සැපයීමයි.


ජනමාධ්‍ය අනුව ලංකාවේ පාතාල අපරාධකරුවන්ට රැකවරණ සැපයූ පළමු හා එකම පුද්ගලයා මොහු ය කියා සිතේ.


එතකොට ජූලම්පිටියේ අමරේට වසර ගණනක් තිස්සේ රැකවරණ දුන්නේ මුන් වහන්සේ නොවේ නම් කොයි ගොන් වහන්සේ ද?


අද ජනමාධ්‍ය විසින් සිදු කරමින් සිටින කාර්යය හඳුනා ගැනීමට සිංහලයන්ට අවශ්‍ය නම් මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන් සම්බන්ධයෙන් සිදු වන මාධ්‍ය ප්‍රචාරය ඔස්සේ එය හඳුනා ගැනීමට පුළුවන. මන්ද මේ හාමුදුරුවන්ට ද ඇප පිට නිදහස් වී පැමිණි පසු තමන් පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. එය සිංහලයකු වීම නිසා හා භික්ෂුවක වීම නිසා ඔහුට ලැබෙන අවස්ථාවකි. ඔහුට ඕනෑ නම් ජනමාධ්‍යකරුවන් කීපදෙනෙකු අල්ලාගෙන මුදල් ටිකක් විසි කර මෙය බෝසත් චරිතයකට කළ අවමානයක් ලෙස හුවා දක්වා මාකට් එකක් හදා ගන්නටත් පුළුවන. 


වවුනියාව බන්ධනාගාරයේදී පහර දී මරා දැමුණු දෙමළ රැඳවියන් සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය කටයුතු කළේ මේ අන්දමට ම ය. ඕනෑම සිරගෙදරක තිබිය හැකි සාමාන්‍ය දේ වන විස්කෝතු පවා කුමන්ත්‍රණයක කොටස් බවට පත් කළේ අමානුෂික ලෙස පහර දී මේ රටේ පීඩිත ජාතියක මිනිසකු මරා දැමීම නිවැරදි ක්‍රියාවකැයි රටවැසියන්ට ඒත්තු ගැන්වීමට ය. මළ මිනිසාටත්, පොදුවේ පීඩිත දෙමළාටත් ලංකාව තුළ හඬක් නැති නිසා එම පුවත්වල අනෙක් පැත්ත කිසි දිනෙක ලංකාවේ සිංහල ජනයා දැන ගන්නේ නැත. 


මිගෙට්ටුවත්තේ සුමින්ද හිමියන්ගේ පරිගණකයේ වැල තිබුණා යයි ද දැන් කියනු ලැබේ. ලංකාවේ වැල නොදුටු පරිගණකයක් සොයා ගැනීම ද පරිප්පු නැති හෝටලයක් සොයා ගැනීම බඳු ය. 


මිගෙට්ටුවත්තේ සුමින්ද හිමි කතා කළ යුතු ය. ජනමාධ්‍ය හා ඒවා මෙහෙයවන්නන්ගේත්, ඇඟ බේරා ගැනීම සඳහා ඒවාට ආවඩන ආගමික ප්‍රධානීන්ගේත් ඇත්ත හෙළි කළ යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-10

පූජකයෝ දේශපාලනය කළ යුතු ද

පූජකයෝ දේශපාලනය කළ යුතු ද යන ප්‍රශ්නය වඩා සංයුක්තව ගතහොත් හාමුදුරුවරු දේශපාලනය කළ යුතු ද යනු වේ. 


මන්ද, මේ වන විට ලංකාවේ ආගමික නායකයන්ගේ පාලනයකින් තොරව මේවා සිදු වන්නේ බුද්ධාගමේ පමණක් නිසා ය. 


එජාප මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පූජකයන්ට දේශපාලනය තහනම් කිරීම පිණිස ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ජාතික හෙළ උරුමය දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජනාධිපතිගේ හයිය ද රැගෙන අද දෙරණේ විවාදයට එන්නේ සූක්ෂම ලෙස රාජපක්ෂ මන්ත්‍රීවරයා බිය වද්දමිනි. 


බුදුන්ගේ අහිංසාවාදී දහම හා ජාතික හෙළ උරුමය අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි අපි නො සිතමු. සංඝ සංස්ථාවේ නිල ප්‍රධානීන් වන මහ නායක හිමිවරු මේ කරුණ අරභයා නිහඬ ය. ඇත්ත කරුණ නම් ඔවුන් භික්ෂූන් දේශපාලනයේ නොයෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටීමයි. 


අද වන විට මහ නායක හිමිවරු ද ජාතික හෙළ උරුමයේ ආධිපත්‍යයට යට වී සිටිති. ජාතික හෙළ උරුමය නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. මැතිවරණ කොමසාරිස් යටතේ ලියාපදිංචි වී ඇති එහි නිලතල සඳහා පුද්ගලයන් තෝරා ගත යුත්තේ ඡන්දයෙනි. එහෙම බැලුවාම ජාතික හෙළ උරුමය වඩා නවීන ආයතනයකි. එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයක් වන්නේ එහි උපාසක, උපාසිකාවන්ට ද සමාන බලතල තිබීමයි. ඒ නිසා සංඝ සංස්ථාව යල් පැන යාම නිසා දැනටත් බොහෝ දරට අහෝසි වී ඇති මහ නායක හාමුදුරුවරුන්ගේ පාලනයෙන් මිදී එවැනි නවීන ආයතනයක පාලනයට නතු වීම හොඳ දෙයකැයි ද තර්ක කළ හැකි ය. 


එසේම, සංඝ සංස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක නායකත්වයට යටත් වූ විට එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට ද යටත් වේ. භික්ෂූන් සමාජයෙන් ඉල්ලා සිටින පූජ්‍යත්වය සම්බන්ධයෙන් එවිට නව සංදර්භයකින් සලකා බැලිය හැකි ය. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කාටත් සමාන හිමිකම් ඇති බැවිනි. 


මේ වන විට සංඝ විනය හා අද්‍යතන භික්ෂු පැවතුම් අතර දැඩි ගැටුමක් ඇති වී තිබේ. ජාතික හෙළ උරුමය පැරණි සංඝ විනයට අනුකූල නැති නවීන අසපු භික්ෂූන්ගේ ආධිපත්‍යයෙන් යුත් ව්‍යාපාරයක් නිසා එහි ආධිපත්‍යය තුළ සංඝ සංස්ථාවේ විප්ලවයක් අපේක්ෂා කළ හැකි වනු ඇති අතර එය සංඝයා වහන්සේලාගේ ලිංගික නිදහස වැනි කරුණුවලදී රැඩිකල් අන්දමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.


අවසාන වශයෙන් මෙය ද කිව යුතු ය. භික්ෂුවක් අනාගත ජනාධිපතිවරණයකට තරග කරමින් පවත්නා දේශපාලන ක්‍රමයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන එක වළක්වන්නට විජේදාස රාජපක්ෂට පමණක් නොව ගෝඨාභය රාජපක්ෂට ද බැරි ය. 

මේ පිළිබඳ තවත් ලිපියක් මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඩෙංගු ලාභය ගණන් හැදීමට මිය ගිය පී.එච්.අයි.ගේ වටිනාකම අඩු කළ යුතු ය

ඩෙංගු මර්දන මාසයේ ගතවූ සති දෙක තුළදී න් මදුරු කීටයන් සහිත ස්‌ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්, රාජ්‍ය ආයතන හා සෙසු ආයතන 1264 ක්‌ හඳුනාගෙන රුපියල් හාරකෝටි තුන් ලක්‌ෂ අනූ හතර දහසක දඩ මුදලක්‌ අයකරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.


මහජන පරීක්ෂකවරුන් රජයට ලබා දුන් ආදායමින් නිවැසියකුගේ අමානුෂික මෝල් ගස් පාරක් කා මිය ගිය මහජන පරීක්ෂකවරයාගේ වටිනාකම අඩු කළ යුතු ය. ආණ්ඩුව ලැබූ ලාභය හරියට ගණන් බැලිය හැක්කේ එවිට ය.


‍ඩෙංගු මරිදනය සඳහා රජය යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වන්නේ මෙසේ දඩ ගැසීමයි. ඉස්සර පැවති මැලේරියා වසංගතය මර්දනය කළේ තෙල් ගහලා ය. ඩෙංගු මරිදනය කරන්නට යන්නේ දඩ ගහලා ය. 


එහෙත්, රජයේ දේපල වන මග දෙපස පිරිසිදු කිරීමට හා මහජන මුදලින් කළ යුතු කාර්යයක් වන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි පිළිවෙලක් සැකසීමට රජයට හැකි වී තිබේද? නිදසුනක් ලෙස, ලංකාවේ ප්‍රාදේශීය සභා බෙහෙමයක් කසල ඉවත් කිරීම සඳහා ගම්වලට එන්නේ නැත. ගම්වල ගොඩගැසෙන ප්ලාස්‍ටික් අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් යෝජනා කරන්නේ ප්ලාස්ටික් ගිනි තැබීමයි. පොලිතින්, ප්ලාස්ටික් ගිනි තැබීමෙන් විශාල පිළිකාකාරක ප්‍රමාණයක් වායුගෝලයට එක් වේ.   


ගස් සහිත පරිසරයන් තුළ කෙසෙල් පිති, අන්නාසි පිති, බිම වැටුණු පොල් අතු වැනි වතුර රැ‍ඳෙන සිථාන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඩෙංගු පරීක්ෂකයන්ට අදහසක් නැත. ඒවා විනාශ කරන්නද? 


ප්ලාස්ටික් කැබලි,  පොල්කටු, සැමන් ටින් ආදිය තැන තැන ගොස් දමන ප්‍රධන බලවේගයක් වන්නේ රජය විසින් අභය දී ඇති දඩාවතේ යන බල්ලෝ ය. බල්ලන්ට මේ වැඩ කරන්නට එපා යයි උපදෙස් දෙන්නට එක බල්ලෙක්වත් නැත. 


රජය කළ යුතුව තිබෙන්නේ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා මහජනතාවට උදව් කිරීම මිස දඩ ගසා ජනතාව මර්දනය කර ඩෙංගු මඩින්නට උත්සාහ කිරීම නොවේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-09

මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් වාමාංශිකයන් දිවි දීම

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානී මංගල සමරවීරටත්, ඔහු පසුපස යන කුමන්ත්‍රණකාරී වාම හා සාම නඩයටත් ඉල ඇදෙන, මාරාන්තික පය ලිස්සා යාමක් සිදු වී තිබේ. 


ටිරාන් අලස් සමග අමනාප වීමත් සමග පත්තර කෙරුවාව හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ බලය අහිමි වූ මේ ඊනියා මාධ්‍ය බලවත්තු වෙබ් අඩවි කර්මාන්තයට බැස්සේ සිය ජාමය බේරා ගැනීම පිණිස ය. සිය මාධ්‍ය ව්‍යාපෘති සඳහා වීරෝදාර වාමාංශිකයන් තුට්ටු දෙකට කඩේ යැවීමේ උපන් ගෙයි හැකියාවක් මංගල සමරවීර කණ්ඩායමට තිබේ. 


මෙවර ද ඔවුන්ගේ ව්‍යාපෘති නිසා අනතුරට පත් වූවන් අතර එවැනි ‍වාමාංශික මාධ්‍යකරුවෝ ඉදිරියෙන් ම සිටිති. 


එකම තැනින්, එකම වෙබ් ඩිසයින් එකට, එකම කරුණු ටිකක් අඩංගු කර එක පැත්තකින් එන්.ජී.ඕවලට හා දෙමළ ඩයස්පෝරාවටත්, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයටත් විකුණමින් සිටි වෙබ් අඩවි කට්ටලයට ආණ්ඩුවේ පොලිසිය කඩා පැනීම එක පැත්තකින් සැඟවුණු ආශිර්වාදයක් විය.


එහෙත් මෙහිදී සිදු වූ පය ලිස්සා යාම වූයේ එක්සත් ජාතික පක්ෂයට විකිණූ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් අඩවිය එහි මාධ්‍ය ඒකකයේ නිලවෙබ් අඩවිය බව ප්‍රචාරය කිරීමයි. මෙතෙක් කිසිවකු එසේ දැන නො සිටි ‍මේ වෙබ් අඩවිය පිරික්සා බලන විට, අම්මට සිරි, සජිත් ප්‍රේමදාස දුටුවේ පක්ෂයේ නිල බෙව් අඩවිය කියන අටමගලෙන් පක්ෂයේම නියෝජ්‍ය නායකයා වන තමාට බැන වදින බවයි. සත්තකින් ම ඒක නම් අපූරු නිල වෙබ් අඩවියකි. 


ආණ්ඩුවේ වැටලීමෙන් ලැබුණු ප්‍රචාරය ජාතිකව හා ජාත්‍යන්තරව ආයෝජනය කරගෙන වීරෝදාර වන්නට ලැබුණු අවස්ථාවට දැන් සජිත්ගේ ප්‍රකාශ නිසා රාහු ලබා ඇත. 


මංගලගේ මාධ්‍ය ව්‍යාපෘති හැමදාමත් ලංකාවේ වාමාංශික යෝධ කූඹියන්ගේ පැණි හැළියකි. ඉරිදා පත්තරයේ, මාතොට සඟරාවේ සිට දීප්තිගේ එක්ස් කෑල්ල යූඇන්පියේ නිල වෙබ් අඩවිවලට ගැට ගැසීම දක්වා වාමාංශික ඉතිහාස කතාවක් මංගලගේ පසුපස ඇදී එයි. මංගලගේ ඉඳුල් කන වාමාංශික කල්ලි නායකයන්ගේ පල් පාට් භුක්ති විඳි ඉතිහාසයක් මෙම ලේඛකයාට ද ඇත. 


මංග‍ලගේ මාධ්‍ය ව්‍යාපෘති හැමදාමත් ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමානාත්මතාව වැනි වාමාංශිකයන්ගේ රුචිය වඩන අජිනො මොටෝ යහමින් දැමූ කොහු ලණු ය. 


සෙස වාමාංශිකයන්ට අභියෝල කිරීම පිණිස මේවා වටා රොඳ බඳින සහෝදරයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ කිසිදා තේරුම් ගන්නට බැරි, වචනයේ පරිසමාප්ත අරුතින් ම කුමන්ත්‍රණ වූ මෙවැනි ව්‍යාපෘතිවලට කඩේ ගොස් අමාරුවේ නො වැටෙන ලෙසයි. 


මෙම ව්‍යාපෘතිවලට රනිල්ට සේ ම කිසි කලක මහින්දට අභියෝගයක් වන්නට බැරි ය. මේ ව්‍යාපෘති වනාහි මහින්දට සාම මාවතට අවතීර්ණ වන්නට බල කෙරුණු කිසියම් දවසක යළි මහින්දගේ පසුපස ම වැටෙන්නට අරමුණු කර ගත් ඒවා බව තේරුම් ගත යුතු ය. 


අපට මෙම සටහන තබන්නට හේතු වූයේ මෙම සිළුමිණ මුල් පුවතයි

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-08

රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළයි

ලංකාවේ ණය බරින් කුජීත වී සිටින ආණ්ඩුව දැන් දැන් ජනතාවගේ ඉණ ඉහ අත ගෑමේ කාර්යයේදී ඉතා ම නිර්මානශීලී වීමට පටන් ගෙන තිබේ. 


ආණ්ඩුව අලුතෙන් ම පිහිටුවන්නට යන අංශයක් වන්නේ තිරෝද කුලී රථ නියාමන කාර්යාංශයයි. විස්තර මෙතැනින්


ඇත්තෙන් ම මෙය මෙතෙක් කල් කළේ නැත්තේ ඇයි ද යන්න පුදුමයකි. ලංකාවේ මිලියන භාගයක් පමණ ත්‍රිරෝද රථ තිබෙන්නට පුළුවන. සෑම නගරයක ම ත්‍රිරෝද රථ නැවතුම්පළවල් විශාල සංඛ්‍යාවක් ඇත. 


ආණ්ඩුවට ත්‍රිරෝද රථ සඳහා මාර්ග බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එවිට එම බලපත්‍රය ලබා ගැනීම සඳහා තරුණයන්ට දේශපාලකයන් පසුපස යන්නට සිදු වන නිසා ඡන්දවලට වැඩ කරන්නට තරුණයන් සොයා ගන්නට ද පුළුවන. 


එසේම, මෙම ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවලින් බදු අය කර ගැනීමේ කාර්යය සඳහා ඡන්දෙට වැඩ කළ රැකියාවක් සඳහා වෙන සුදුසුකමක් නැති රස්තියාදුකාරයන් සේවයේ යෙදවිය හැකි ය. 


පොලිසිය ගහන දඩවලට අමතරව ත්‍රිරෝද රියදුරන්ට තව තව දඩ ද ගහන්නට පුළුවන. 


මෙවැනි ‍නියාමන යාන්ත්‍රණ හදපු වෙනත් මහජන සේවා අංශවල මෙන් ත්‍රිරෝද රථවල ද සේවා තත්වය 'උසස්' වනු නියත ය. 


ජනතාව වැඩි දුරටත් සුඛිත මුදිත වනු ඇත. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-06

වවුනියා බන්ධනාගාරයෙන් ඇසුණු සිංහ ගර්ජනය

විරෝධතා පැවැත්වූ වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්ට රජයේ ආරක්ෂක අංශ විසින් හා බන්ධනාගාර පාලකයන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සිංහල සමාජයේ අමන්දානන්දයට හේතු වී ඇති බවට සැකයක් නැත. 


සාමාන්‍ය සිංහල සමාජය මේ පිළිබඳ සිතන ආකාරය ලංකාදීප වැනි වෙබ් අඩවිවල පළ වන පාඨක අදහස්වලින් ලෙහෙසියෙන් වටහා ගත හැකි ය. 


කොටි සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් කතාව ඇත්තක් නම්, ඒ වනාහි ඇත්තෙන් ම ඔවුන් විසින් කර ගන්නා ලද සිය දිවි නසා ගැනීමක් වැනි දෙයකි. 


මරණයෙන් බේරී සිටින කොටි සාමාජිකයන් දෙස කුකුළු කොටුවක් දෙස බලන නරියකු ලෙස බලන සිංහල ජාතිවාදීන්ට කුකුළු කොටුවට පිවිසීම සඳහා කදිම අවසරයක් ඔවුන් විසින් ලබා දෙන ලදී. 


කොටි සැකකරුවන්ට පහර දුන් ම්ලේච්ඡ ආකාරය පිළිබඳ දැන් දෙමළ වෙබ් අඩවිවල පළ වන පුවත් කියවන සිංහල ජාතිවාදියෝ අධෝ මාර්ගයෙන් සිනාසෙමින් මුවින් නො බැන සිටිති. ඒ සියල්ල බොරු බව හෙට වන විට පුවත්පත්වල පළ වනු ඇති අතර, එය ඇත්ත බව පිළි ගැනීමට සිංහල සමාජය සැදී පැහැදී සිටියි. 


කොටි සැකකරුවන් සිංහල සමාජයෙන් හෘදය සාක්ෂියක් බලාපොරොත්තු වීම ගලකින් පට්ටා පැතීමට නො දෙවෙනි අනුවණ ක්‍රියාවකි. 


ඔවුන් අනියමින් මෙහෙයවූ බව සිතිය හැකි දෙමළ ඩයස්පෝරා දේශපාලනය නම් දිවි බේරා ගත් කොටි සැකකරුවන් යළි මරාගෙන මැරෙන මෙහෙයුමකට යොමු කර සිය අරමුණු සාක්ෂාත් කර ගත් බව පෙනේ. 


එය වැරදි යයි කියන්නට දැන් අපට විශේෂ අවශ්‍යතාවක් නැත. ලංකාව සාමයේ හා සංහිඳියාවේ පල දරණ දෙරණකැයි අපි නො සිතමු. 


සම්මුති විරහිතව කලක් සටන් කර පැරදුණු දෙමළ මිනිස්සු සිංහලයන්ගෙන් යුක්තිය, සාධාරණත්වය, නඩු, පරීක්ෂණ, සවන් දීම්, අනුකම්පාව ආදිය ඉල්ල සිටින්නේ මන්දැයි අපට නො වැටහේ. සමහර විට ඒ පරාජිතභාවයේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නට ඇත. එහෙත්, සිංහල සමාජය දෙමළ මිනිසුන්ට දෙන එක ම දෙය යටපත් කිරීම හා යටත් කර ගැනීම පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඉංගිරිසි ගැරඬියාට භූමිතෙල් ගැසීම

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි කථන හැකියාවන්ට ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු වී තිබේ.. එය කරන්නට යන්නේ එක්තරා ඉංග්‍රීසි කේවට්ටයකුගේ උවමනාව මත ය.


ඉංග්‍රීසිය දකින විට භූමිතෙල් ගැසූ ගැරඬියාගේ භූමිකාව රඟපෑම භාර ගන්නා ජවිපෙට ද පෙර දැන් ආණ්ඩුවේ ම අය විරුද්ධ පක්ෂ භූමිකාව භාර ගෙන ඇති බව අද දිවයිනේ මුල් පුවත කියැවූ විට පෙනේ.


බස්නාහිර පළාතේ පවා ඉංග්‍රීසි ගුරුවරු නොමැති පාසල් 332ක් ඇති බව ද, රට පුරා පාසල් 691ක ඉංග්‍රීසි ගුරුවරු නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් පිරිසක් විසින් පුවත්පතට ලබා දී ඇති ජනාධිපති කාර්යාලයේ මහජන සමීක්‍ෂණ හා පර්යේෂණ ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල විසින් පෙන්නුම් කෙරේ. 


ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සියවසක සිට එක ම භූමිකාවක් රඟපාමින් සිටියි. ඒ වනාහි ඉංගිරිසියට වඳිමින්, පුදමින්, බැන අඬගැසීමයි. නව සහස්‍රකය උදා වන තෙක් මේ රට පාලනය කළේ ඉංගිරිසිය මව් බස ලෙස සැලකූ පංතියක් විසිනි. දැන් පාලකයෝ චතුර ලෙස ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශ කිරීමේ සමත්තු නොවෙති. රටේ ජනතාවට ඇති ඉංගිරිසි අහේනිය දැන් පාලකයන්ට ද පොදු වූ එකකි. ඉංගිරිසිය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයකට ඒමට මේ තත්වය හොඳ ය. 


ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසිය හිස් මුදුනින් සලකන තරමට ම ඔවුහු ඉංග්‍රීසි ඉගෙනීමට උනන්දුවක් නො දක්වන බව අ‍පගේ නිරීක්ෂණයයි. ඔවුන්ට ඉංගිරිසිය ගුප්ත චමත්කාරයක් වන්නේ අඩුවෙන් ඉංග්‍රීසි දන්නා තරමට ය. එසේම, ඉංග්‍රීසි ටිකක් කට ගා ගත් අය එය වැඩිපුර භාවිතා කරන්නේ අනෙකා පෙළන්නට මිස ඉංග්‍රීසි නොදත් අයගේ ජීවිතය පහසු වන ආකාරයෙන් කොවේ. 


අධ්‍යාපන අමාත්‍යංශය ඉංග්‍රීසි කථනයට ලකුණු දෙන්නට යන්නේ ඉංග්‍රීසි කථනයෙන් කිසිදු ඵලක්, ප්‍රයෝජනයක් සොයා ගත නො හැකි ගම් බහුතරයකින් සමන්විත රටක ය. රටේ ජනගහණයෙන් අති බහුතරයකට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍යතාවක් හෝ අවස්ථාවක් හෝ නැත. ගුරුවරුන්ගෙන් අති බහුතරයක් මෙන් ම, ඉංග්‍රීසි ගුරුවරුන්ගෙන් බහුතරයක් ද ඉංග්‍රීසි කතා කරන්නට නො දනිති. 


මෙහෙම තත්වයක් තුළ, රටේ මිනිසුන් කෙසේ හෝ ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් කරන්නට උත්සාහ කිරීමේ අරුතක් තිබේ ද?  ලංකාවට ඉංග්‍රීසි අවශ්‍ය කතා කරන්නට ද? 


අපේ අදහස නම්, ලංකාවේ මිනිසුන්ට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වන්නේ කතා කරන්නට නොව කියවන්නට ය කියා ය. ඉංග්‍රීසි කියවීම අත්‍යවශ්‍ය වන්නේ නව දැනුම ලබා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය බැවිනි. ලංකාවේ මිනිසුන්ට ඉංග්‍රීසි කියවා තේරුම් ගන්නට හැකියාව ගොඩනඟනවා නම් හා ඉංග්‍රීසි කියවීම් මාධ්‍ය සුලබ කරනවා නම් කතා කිරීම ද ඉබේ ම වැඩි වනු ඇත. ඒ සඳහා වෙනම නටන්නට උවමනා නැත. 


ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය පාසල්වලට බෙදා දෙන ‍ඉංග්‍රීසි පෙළ පොත් පද්ධතිය ලංකාවේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය මොට කරන ප්‍රධාන ම මෙවළමයි. විශේෂයෙන් 5 ශ්‍රේණියට, 10 ශ්‍රේණියට හා උසස් පෙළට හඳුන්වා දී ඇති ඉංග්‍රීසි භාෂා පෙළ පොත් ඉංග්‍රීසි අධ්‍යාපනය නැංවීමට වඩා අඩාල කිරීමට ඉවහල් වන ඒවා බව අපි යෝජනා කරමු. 


පොතක නිමාව අතිශය වැදගත් කාරණයක් බව පොත් ගැන හා කියවීම ගැන දන්නා අය පිළි ගනිති. උසස් පෙළ සිසුන්ට බෙදා දෙන තොරණක් වැනි General English පොත ලංකාවේ පෙළ පොත් සම්පාදකයන්ගේ පොතක නිමාව පිළිබඳ ආකල්ප ප්‍රදර්ශනය කරන කැඩපතකි. සංස්කරණය නො කර දිගින් දිගට පළ වන මෙම පොත්වල මතභේදාත්මක හා වැරදි කරුණු ද එමට ය. 


ලංකාවේ දරුවන්ට කියවන්නට ආසා හිතෙන, මනා නිමැවුමකින් යුත්, සරළ බස් වහරක් සහිත ඉංග්‍රීසි පෙළ පොත් කට්ටලයක් අවශ්‍ය ය. පෙළ පොත් ඒවා සම්පාදනය කරන අයගේ පණ්ඩිතමානී හීනමානයේ ප්‍රදර්ශන මෙවලම් වීම අද ඇති ප්‍රධාන ම ගැටලුවකි. 


අනෙක් කරුණ වන්නේ ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි බසේ ව්‍යාකරණමය පදනම නිසි අන්දමින් උගන්වන්නට වැඩපිළිවෙලක් නැති වීමයි. මේ පෙළ පොත්වල ව්‍යාකරණ උගන්වන ආකාරය ගැන නිදසුනක් නම්, අටේ පංතියේදී පොල්ලෙන් ගැහුවා සේ එක පාරට Present Perfect Continuous උගන්වා 9 පංතියේදී Simple Present Tense ඉගැන්වීමයි. මේ පෙළ පොත්වල ඇති දුර්වල, දුරවබෝධ සාහිත්‍ය නිදර්ශන වෙනුවට සරළ, රසවත් ඉංග්‍රීසි සාහිත්‍ය කොටස් ඕනෑ තරම් සොයා ගන්නට තිබිණි. 


දැන්, දැන් ලාංකික ඉංග්‍රීසියක් පිළිබඳ ද කතා කෙරෙනු අසන්නට ලැබේ. මේ ලාංකික ඉංගිරිසි කතා ද ලංකාවේ අනෙක් කතා සේ ම හිස් ප්‍රලාප ය. ලංකාවේ පණ්ඩිතයන් ලාංකික ඉංගිරිසිය යයි සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න පිළිබඳ නිදසුන් උසස් පෙළ General English පොතේ ඇත. එහි එක් තැනක, ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ලාංකික උච්චාරණ ලෙස හඳුනා ගන්නට උත්සාහ කර ඇත. 


එහෙත් මෙහි ඇත්තේ ඉංග්‍රීසි උච්චාරණයේදී වචන තුළ ඇති බර තැබීම වන stress කිරීම වැරදි ලෙස භාවිතා කිරීමක් බව අපේ අදහසයි. එය  ඉගෙන ගෙන නිවැරදි කර ගත යුතු දෙයක් මිස අපේ උරුමයක් ලෙස සැලකිය යුතු දෙයක් නො වේ. 


ලංකාවේ ඉංග්‍රීසිය ගැන කියන්නට ඇති මූලිකම දෙය වන්නේ මේ රටේ කිසිවකුට මේ ගැන හරි හමන් දැක්මක් නැති බවයි. දැක්මක් බිහි වන්නට සංවාදයක් ඇති විය යුතු ය. ලංකාවේ එහෙම එකක් ද නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-05

ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පුතුන් හා බිරියන් ආදීන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට අවස්ථාව නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව කියැවේ. ජනාධිපතිවරයා මේ තීන්දුව ඕනෑම වෙලාවක වෙනස් කරන්නට පුළුවන. 


කොහොම වුණත්, මේ වන විට එසේ තරග කරන්නට බලා සිටි මැති ඇමති පුත්තු හා බිරියෝ ආදීහු එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන්නට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. 


වෙන්නට යන්නේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂය හරහා තරග කරන මේ අය රාජ්‍ය  බලය හා සම්පත් අනිසි ලෙස යොදා සුපුරුදු පරිදි ඡන්ද ප්‍රචාරය කර බලයට පත් වූ පසු ආණ්ඩු පක්ෂයට කරණම් ගසා තනතුරු ලබා ගැනීමයි. 


සිදු වෙන්නට යන්නේ කියලාවත් කර ගත නො හැකි තත්වයකි. මෙහෙම වුණොත් චෝදනා එල්ල වනු ඇත්තේ එජාපයේ අපේක්ෂකයන් රාජ්‍ය බලය යොදා මැතිවරණ ප්‍රචාරයේ යෙදෙනවා ය, සෙසු අපේක්ෂකයන්ට අඩන්තේට්ටම් කරනවා ය ආදී වශයෙන් වන්නට පුළුවන. 


ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ දූෂණයේ තවත් සන්ධිස්ථානයක් මේ සමග සලකුණු වනු ඇත.  මෙය  එතරම් අලුත් ප්‍රපංචයක් නො වේ. රජමැදුරේ ඉඳුල් භක්ෂකයකු වූ ශ්‍රී රංගා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරස හරහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය දිනාගෙන මැතිවරණය දිනා පාර්ලිමේන්තුවට ගොස් පසුදා ම ආණ්ඩුවට එක් වී පූර්වාදර්ශ සපයා තිබේ. 


ලංකාවේ ජනතාව යනු කුමන වර්ගයේ ගව සම්පතක් ද යන්න ඇඟිල්ලෙන් ඇන පෙන්වන මෙවැනි නිදසුන් මධ්‍යයේ දේශපාලන පක්ෂයක් ලෙස පෙරටුගාමී පක්ෂය මෙම මැතිවරණය අරභයා ගත් තීරණය එක ම බුද්ධිමත් දේශපාලන තීරණය ලෙස දකිමු. එනම් මෙවැනි මැතිවරණ ප්‍රෝඩාවන්ට සහභාගි නොවී සිටීමයි. 


ඒවාට එරෙහිව ජනතාව බලමුළු ගන්වන්නට නම් හැකියාවක් තිබේ ද යන්න පැහැදිලි නැත. මන්ද, එවැන්නක් සිදු නො විය හැකි තරමට මුග්ධකම සමාජයේ පතුරුවන්නට පෙරටුගාමී පක්ෂය ද සෑහෙන දායකත්වයක් සපයා ඇති බැවිනි. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-04

තමිලිනී පුනරුත්ථාපනය කිරීම හා වවුනියාවේ රැඳවියන්ගේ විස්කෝතු ගණන් කිරීම

සිංහල ආණ්ඩුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වන සුබ්‍රමනියම් ශිවතාවි හෙවත් තමිලිනී පුනරුත්ථාපනයට යවා ඇත.


කොටි සංවිධානයේ නායක මට්ටමේ පුද්ගලයන්ගෙන් පළමු වරට රජයේ පුනරුත්ථාපනයට ලක් වන්නා වන්නේ තමිලිනී ය. 


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් වැනි දේශපාලකයෝ ද රජයේ මෙබඳු පුනරුත්ථාපන වැඩසටහන් අනුගමනය කළ අයයි. 


දේශපාලන නායකත්වයක ඔලු සෝදන්නට හැකි කිසිවක් මේ පුනරුත්ථාපන වැඩවලින් සිදු වන්නේ නැත. එහෙත්, පුනරුත්ථාපනය වනාහි නිදහස සඳහා සම්මුතියකි. වසරකින් තමිලිනී නිදහස් වනු ඇත. 


රජය යුද්ධයේ අවසානයෙන් පසු කොටි නායකත්වයට හා සාමාජිකත්වයට බෙදන්නේ හැඳි දෙකකින් බව පැහැදිලි ය. කේ.පී.ට එක විධියකි. දයා හා ජෝර්ජ් මාස්ටර්ලාට තව විධියකි. තමිලිනීට තවත් විධියකි. ‍රැඳවුම් කඳවුරුවල සිටින ඊට පහළ මට්ටම්වල කොටි සාමාජිකයන්ට තවත් විධියකි. 


පසුගිය දිනවල වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ කොටි සැකකරුවන්ගේ විරෝධයේදී රජය හා ජනමාධ්‍ය ඔවුන් සම්බන්ධයෙන් සැලකුවේ අන්තගාමී ලෙසයි. ඇතැම් ජනමාධ්‍ය රැඳවියන් ළඟ තිබූ බිස්කට් ගණන ගණන් කර එය මෙපමණ සංඛ්‍යාවකට මෙපමණ දින ගණනක් සිටින්නට ප්‍රමාණවත් ය ආදී විකට මිලිටරි තර්ක ගොඩනඟන්නට පවා ඉදිරිපත් වූ හ. 


එහෙත් නඩු නැතිව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන සිටිනු ලබන කුමන අන්දමක පිරිසක් අතර වුව ද අසහනය මෝදු වන බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට තේරෙනු ඇත. අනෙක් පැත්තෙන් සාමාන්‍ය කොටි සැකකරුවන් නො තකා හැර තිබෙන්නේ කොටි නායකයන්ට සහන සලස්වන පසුබිමක වීම මහත් ගැටලුකාරී තත්වයක් ඇති කරයි. 


මේ සිරගතව සිටින්නෝ ද දරු පවුල් ඇති මිනිස්සු ය. කාගේ හරි දරුවෝ ය. ඔවුන් වැරදි කර ඇති නම්, ඔවුන්ට එරෙහිව නඩු පවරා දඬුවම් කළ යුතු ය. එහෙත්, ඔවුන් වරදට පෙළඹවූ කරුණා අම්මාන්, කේ.පී. වැනි නායකයන්ට සමාව හා නිදහස හිමි වී ඇති පසුබිමක් තුළ ඔවුන්ට ද ඒ හා සමාන අනුකම්පාවක් ලැබිය යුතු ය. 


සිංහල - දෙමළ සංහිඳියාව සඳහා මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන ආකාරය අතිශය වැදගත් ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-03

අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

මේ කවුද? මොනවද  කරන්නෙ?
රටට වැට බඳිමු අපි ලෝකයට යමු
රටට රොඩු තබා සාරය රැගෙන යමු
අපේ පරපුරේ ලෝකය එහි හදමු
කියා රට නගමු මේ ලෙස අපි හැදෙමු

කුරක්කන් කකා කට හම යවමින්නේ 
බහින කලාවට කටමැත දොඩමින්නේ 
අපට නොවෙයි සිඟනුනි ඉර පායන්නේ
ඔවුන් සැප බලා රිසි ලෙස සැනසෙන්නේ 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-07-01

ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka

පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ. 


ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ. 


පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය. 


අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. මුල් බුදු දහම හා ලංකාවේ ආධිපත්‍යවාදී සිංහල බුදු දහම අතර ඇත්තේ පුළුල් පරතරයකි. 


ප්‍රභාකරන් සිටින තුරා ජාතිවාදය දේශනා කිරීම ජීවිකාව කරගෙන සිටි මේ බෞද්ධ නිකායෝ උන්, උන් මරා ගැනීම ආරම්භ කර තිබෙන්නේ පශ්චාත් නන්දිකාඩල් තත්වයේ තවත් පැතිකඩක් ලෙස ය. 


මොවුන් මේ කුළල් කා ගන්නේ බුදුන්ගේ නම රැක ගන්නට නොව අන්ධ, අසරණ, මෝඩ, බැතිමතුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීමේ තෘෂ්ණාව වෙනුවෙනි. මේ ෆන්ඩමෙන්ටලිස්ට් ධර්මයෝ යනු ඕතොඩොක්ස් දහම සමග තරගකාරී වෙමින් ආක්‍රමණශීලී ලෙස විඥානවාදී දෘෂ්ටිවාදී වෙළඳපල අල්ලා ගැනීමට බිහි වුණු අලුත් වෙළඳපල උපායමාර්ග වේ. 


ෆන්ඩමෙන්ටලිස්ට්කාරයෝ වනාහි ඕතොඩොක්ස්කාරයන්ගෙන් ම බිහි වූ පිරිසකි. ඔවුහු මුලින් හෙළ උරුමය සමග දේශපාලනයට අවතීර්ණ වූ අසපු ගනින්නාන්සේලා සමග සිට සිය සංක්‍රාන්තිය සම්පූර්ණ කරමින් ප්‍රාතිහාර්ය පෑ හැකි ශාස්තෲවරුන් බවට පත් වූ අය වෙති. 


බුදුන්, බෝසතුන් ආදී වශයෙන් පෙනී සිටින ඔවුන්ගේ මේ ශාස්තෲකම හුදෙක් ධන තෘෂ්ණාව ම පමණක් විය නො හැක. මන්ද, සමන්තභද්‍රලා, සිරිවර්ධනලා දැන් කෝටිපතියෝ ය. දැන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ භින්නෝන්මාද සුරතාන්තය විය හැකි ය. 


ඕතොඩොක්ස් හාමුරුවරු සිය ධනයේ හා බලයේ වෙළඳපොල ආධිපත්‍යය වෙනුවෙන් අතිශය ප්‍රචණ්ඩ ලෙස නැගී සිට ඇත. ජනමාධ්‍ය, පොලිසිය හා ජනතාව හුරේ දමති. 


නින්දිත පුද්ගලයන් බුදුන්, මාර්ගඵල ලෑබූවන් හා බෝසතුන් ලෙස පෙනී සිටීම සිනහ උපදවන මුත්, ඔවුන් එසේ පෙනී සිටීම වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්නට ඕතොඩොක්ස් බෞද්ධයන්ට අයිතියක් නැත.


ධර්මය අධර්මය වී බොහෝ කල් ය. අපි උපේක්ෂාවන් බලා සිටිමු. 


ඉරිසියාවට බඳ්න් වන සිරිධම්මගේ වාහනය



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න