2012-08-31

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

පිංවත්නි,
සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන ‍කොටසකි.

පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ.

මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය.

සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි.

මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි.

ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබිය යුතු ඒවාය.

නීති ප්‍රකාරව මිනිසුන් එල්ලා මැරීමද එවැනිම ක්‍රියාවකි. මෙයද නතර කළ යුතුය. ශිෂ්ට සමාජයන්හි මිනිසුන් මැරීමේ නීති නැත. එසේම ශිෂ්ට සමාජයන්හි මිනිස්සු අළුගෝසුවන් වීමට පෙළගැසී ඉන්ටවීව් යන්නේද නැත.

ආණ්ඩු හා වෙනත් බලවත් පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙනගොස් මිනිසුන් අතුරුදහන් කිරීම නම් කිසිසේත්ම ශිෂ්ට නැත. එසේම, පොලිසිය සැකකරුවනට වධ දීමද නැවැතිය යුතුය. 

මිනිස් සමාජයට එරෙහිව අපරාධ කළ, ජාතීන්ට එරෙහිව අපරාධ සිදු කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් පමණක් නොව අනෙකුත් සියලුදෙනාද දඬුවම් ලැබිය යුතුය. යුද්ධය පැරදී මරණයට පත්වීම හෝ යුද්ධය ජයගැනීම වැනි කරුණු මෙහිදී අදාළ නොවේ. මිනිස් වර්ගයාට එරෙහි අපරාධ, ජාතීන්ට එරෙහි අපරාධ ආදියට කිසි කලෙක මුක්තිය නොදිය යුතුය.

රටක අනාගත පරම්පරා පවා ලෝකයට උගස් කර ණය ගෙන, ඒ සල්ලි පිල්ලි ගසා, රටේ ජනතාව දුගීභාවයේ පතුළටම හෙළා, බදු ගෙවන, බර උසුලන මිනිසුන් බඩගින්නේ මියයද්දී තමන්ගේ දරුවන් අජටාකාශගත කරන්නට දරණ පාපතර උත්සාහයන්ද ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුතුය. 

එවැනි පව්කාරයන් පුදන සමාජය ම්ලේච්ඡ සමාජයකි.

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොව සියලු අපරාධවලට එරෙහිව අරගල කිරීමයි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-30

ජටාය ජටිතා පජාය - ඒ වුණාට අපි නටාය

ආණ්ඩුවට වැඩ වැඩීය
සභා තුනක ඡන්දයක්ය
නැවකින් තෙල් ලීක් වේය
ඒ ගැන මාළුවෝ බලති

වැස්ස නැතුව විදුලිය නැත
නොරොච්චෝලෙ ගලවලාය
විදුලිය නැති අඳුරෙ ඉඳන්
චීනෙට ණය ගෙවනවාය

බුදු හිමියනි ඔබේ ධාතු
මෙහෙ ඡන්දෙට විකුණනවා
කකුල් කඩුත්තුව හදාන
සැදැහැවත්තු ඇඹරෙනවා

නැගෙනහිරේ ඡන්දය නම්
ආණ්ඩුවට අප්සෙට් වගෙ
ජාතිවාදෙ එපා කියා
කුලවාදී ඩලා කියයි

ජාතිවාදෙ නම් දැනගනු
මුළු රටටම එකයි ඇත්තෙ
සුළු ජනයිනි දැන ගනියව්
අපි සිංහල අපියි උතුම්

එළුවො මරති හින්දු යක්කු
සිංහලයිනි නැගිට වරෙව්
මිනී මරන එක වගේද
මේවා හරි පව්නෙ බොලව්

අයං වහින කාලෙ කාලො
ගිනි පාගන එකයි ප්‍රශ්නෙ
රටටම ගිනි පෑගෙන කල
කාලො ඔයා කොහෙද හිටියෙ

අන්තෝ ඇතුළත ජටාය
පිටතත් මහ බහි ජටාය
ජටාය ජටිතා පජාය
ඒ වුණාට අපි නටාය

W3Lanka


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-29

So many people try to escape from 'Wonder of Asia'

This is a set of news links adopted from Sri Lanka Navy website. It is only for this year and so far. All pertain to foiled attempts to migrate illegally out of the country via sea.

So many people take the risk of escaping from this Wonder of Asia.

21-Aug-12 12:25

18-Aug-12 15:34

24-Jul-12 12:18

21-Jul-12 17:31

16-Jul-12 18:15

13-Jul-12 16:27

10-Jul-12 17:18

30-Jun-12 14:14

13-Jun-12 16:38

10-Jan-12 21:29

07-Jan-12 14:31

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-28

දීප්තියි, නිර්මාලුයි, මායි (කවි)


දීප්තිගේ මුහුණ ලස්සන යයි ඔහු සිතයි
දීප්ති මුහුණ කැත යයි කියනු ඇතැයි නිර්මාල් බයය
මගේ මුහුණ කැත බව මම දනිමි

දීප්ති තමන් යන්නේ ඉදිරියෙන්ම යයි සිතයි
නිර්මාල් බොහෝ අය පසුපස යයි
මගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද කිසිවෙක් නැත

දීප්ති බොහෝ පොත් කියවන බව කියයි
දීප්ති කියවතැයි සිතෙන පොත් නිර්මාල් සොය සොයා කියවයි
මම පොත් නොකියවමි 

දීප්ති මාක්ස්ගේ බාප්පාය
නිර්මාල්ගේ බාප්පා මාක්ස්ය
මගේ බාප්පා බීලා මළාය

දීප්ති මකරාක්ෂයාය
නිර්මාල් ට්‍රෝජන් කාන්තාවෝය
මම ධර්මසිරිය

W3Lanka

කවියාගේ ස්වයං විවරණය:
මෙහි දීප්ති යනු 
එනමින් ලංකාවේ තිබෙන දේශපාලන විකෘතියයි. 
නිර්මාල් යනු නිර්මාල් පමණක් නොව 
ප්‍රභා-බුද්ධික, සුමිත් චාමින්ද, වංගීස සුමනසේකර, රෝහිත භාෂණ, 
පැට්‍රික් ප්‍රනාන්දු, පුබුදු ජයගොඩ වැනි 
දීප්තිට බයේ දේශපාලනය කරන අයයි.

මම නම් මමම නොව 
ලෝකය යහපත් ලෙස වෙනස් කරන්නට මැදිහත් වන 
නව මිනිසකු පිළිබඳ බලාපොරොත්තුවයි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

කවුද මාගේ අමුඩෙ රීලා


අද්යාපනේ කන්නට
මැදගෙන සිටින දත කට 
මෙරට මෙන් පිටරට
ඇත කුමන්ත්‍රණකරුවො සැක පිට

බන්දුල ඇමති හට 
සිස්සත්වය කරන්නට
සුමනසිරි බංඩට
ළමයි කැම්පස් ගන්නට

විභාග මල් කුමරුට 
විභාගය කොර ගන්නට 
නොදෙති උන් කිසිවිට
ගසාගෙන හැම විටම පිටපොට

මේ කුමන්ත්‍රණකරුවෝ
ප්‍රශ්නපත්තර වැරදුවෝ
සංශෝධනත් කෙරුවෝ
මදිවාට පිට කෙරුවෝ 

ගඳක් ආයෙන් නැවිලා
බලන කල විය අපුලා
බලන විට ඉඹලා
කවුද මාගේ අමුඩෙ රීලා
-
W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-27

මෙරට බාබේරියාවේ තානාපති ලෙස පත් වූ බාබරා ජයරත්න සාදරයෙන් පිළිගනිමු!

බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි. 
මේ රටේ බාබේරියාවේ තානාපති තනතුරට බාබරා ජයරත්න පත් කර ඇති බව දැනගන්නට ලැබිණි. 

මේ බාබරා කලින් බාබර් කෙනෙකි. කොණ්ඩය කැපුවේ බාබ්රියාවේ බාතොට හා බැන්ඩුන් සඟරා මිල දී ගත් 'බුද්ධිමත්' බාබේරියානු වාමාංශිකයන්ගේ ය. මේ දිනවල වැලේ වැල් නැති නිසා ඔහු වෙලේ වල් ආරක්ෂා කිරීම හෙවත් වාමාංශිකයන්ගේ මුරදේවතාවා වීම භාරගෙන ඇත.

බාබේරියානු විපක්ෂ නායකයා ජනාධිපති වී, බාබරාගේ අනුග්‍රාහක භවතා අගමැති වූ පසු බාබරාට බාබේරියාවේ බේක්හවුස් විසින් ප්‍රසිද්ධ කරනු ලබන නවයුගය සඟරාවේ කර්තෘකම දෙන්නට පොරොන්දු වී තිබිණි. 

පශ්චාත්භාගවාදය හෝ වෙන මොකක් හෝ වාදයකට හෝ ඉම්පෝටඩ් චින්තකයකුට මුවා වෙමින් වළං කඩේට පැන්න ගොනා සේ හැමෝටම අනින්නෙමැයි ප්‍රාර්ථනා කරමින් සිටි ඔහු මේ ළඟදී මාර සොයාගැනීමක් කර ආකිමිඩීස් සේ උපන් ඇඳුම පිටින් අන්තර්ජාලයේ දුවන්නට පටන් ගෙන තිබේ.  

ඒ වනාහි තමන්ට අනින්නට බැරිවුන්ට ආණ්ඩුව ලවා අන්නවන්නට පුළුවන් නේද යන උදාර මාකස්වාදී නියායයි. 

ඉන්පසු ඔහු ඒ සඳහා තමන්ට සම්මාන ඉල්ලා සිටි නිසා ආණ්ඩුව ඔහුට පශ්චාත්භාගයෙන් හිනාවෙමින් පශ්චාත්භාගය ආසන්නයේ ඇති මේ රටේ තානාපතිකම දී මෙහි එවා තිබේ. 

කර්තෘ සටහන: යක්කුන් පෙන්වා බිය වැද්දිය හැක්කේ පොඩි ළමයින්ව මිස යක්කුන්ව නොවේ. ඔබ වෙනුවෙන් වෙන් කිරීමට කාලය ඔබේ වාමාංශික සහෝදරවරුන්ගෙන් ඉල්ලා ගන්න. අපි අපේ ගොනා විකිණුවෙමු.  

මේ බාබරා කවුරුද නොදන්නවා නම්, අනේ පව්, හුදකලා හාදයා, මෙන්න මේ පෝස්ටුවේ කමෙන්ටුවලින් හඳුනා ගන්න. මසාජ් ක්ලිනික් එකේදී පොලිසියට අසු වූ සහෝදරයාට - V r with u. Dont Wory.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-26

Mahinda College is the School by Sundara Nihathamani de Mel

(Check out the Sinhala article here)

Search for identity is considered a very important feature of esteem needs of Maslow's hierarchy of needs.

Identity can be all inclusive as well as narrow to margin. If all human kind is the broadest of identity the narrowest can be one's self. But here our focus is on social identity. As a person who liked the leftist social identity I tended in most of my life to value broader identities especially due to dislike of ethno-religious chauvinism of Sinhala Buddhists we were engulfed in and perhaps due to masculine superiority which I like to deny fundamentally.

I have relentlessly argued against concurrent Sinhala Buddhist identity on the basis that it is chauvinism. I wanted to be a Sinhala man looking forward to progress, i.e. integrating to world society crossing nationalist borders.

But seemingly narrower identities also have beauty.

As Yamu studies "Colombo is home to rather a lot of sports clubs. Covering a wide range of sports – rowing, swimming, yachting, rugby, cricket, golf- and a range of ethnicities – Dutch Burgher Union, Moors Sports Club, Tamil Union, and of course the Sinhalese Sports Club – these clubs remain at the heart of many Colombar’s social lives. Crucially, the various clubs have various pedigrees and discussing (vociferously, after five scotch and sodas) where in the hierarchy of club cachet your particular establishment stands is a key element of belonging to a club."

This is same with schools. It is a phenomenon not reserved to elite colleges in major cities but also to the 'Vidyalayas' of the outstation smaller towns.

Sundara Nihathamani de Mel's 'Mahinde Thamai Iskole' (Mahinda College is the School) deals with this relatively narrower identity linked to past pupils' society of Mahinda College, Galle, a passionate melancholy tied to the school history.

I have never seen this Mahinda College, although I have been to Galle so many times. Mahinda College was yet another school for me until I read Sundara's beautiful non-fiction..

He has actually taken passion for Mahinda College out from the social limits of the past and present Mahindians and re-narrated it as common experience for all of us.

I read this book like munching a super excellent food which is comprised of many a tastes pausing page to page to ponder upon my own school past as a student. The success of a book is that, I perceive. A good book always rouses creative thoughts in you.

Now I think of writing the story of the past pupil passion of 'Vidyalayas' of the outstation smaller towns. Perhaps I may never write it or almost definitely, it can be a failure compared to Sundara's book. But my thought of writing it alone is the success of Sundara Nihathamani de Mel's 'Mahinda Thamai Iskole'.

Thanks Sundara for not linking your book in some way to President Mahinda as per the day's trend. You could easily do it like most of the so-called artists do today and you could profit from it. Finally you gifted us a fine piece of writing that cherish in our memories with a love to a school which was non-entity in the minds of most of us until you wrote this book.

2012-08-25

මහින්ද තමයි පොර කාලෙ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'

පසුගිය දිනෙක අපි අන්තර්ජාලයෙන් මිදුණු අවකාශයක නිවාඩුවක් සඳහා ගියා. යද්දී පොතක් ගෙන ගියා. 

එක දිගට කියවාගෙන ගිය ඒ පොත කතාවක් තරම් රසවත්. නැතිනම් රස කතා ගොඩක් එකට ඇනූ කතාවක් නොවන පොතක්. 

පොත සුන්දර නිහතමානි ද මැල්ගේ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. මේ පොත දොරට වඩින දවසේ උත්සවයට එන්න ආරාධනාවක් ලැබුණත් නොගිය නිසා යම් වරදකාරිත්වයක් පිළිබඳ හැඟීම තමයි මේ පොත කියවන්න පෙළඹවූවේ. 

මේ කාලෙ මහින්ද තමයි පොර. ඒත්, අනේක වාරයක් ස්තුතියි මේ පොත ඒ අතින් සුපිරිසුදුයි. ඔනැ නම්, අර මැක්කගෙ කතාවෙ වගේ ඒ කාලෙ මහින්ද රිච්මන්ඩ් හිටියා හරි මොකක් හරි කියලා එතැන ඉඳන් දවසේ වීරයා ගැන කතා කරන්න තිබුණා. ගානක් හොයා ගන්න හෝ තනතුරක් හිඟා ගන්නත් තිබුණා. ඒ වුණාට සුන්දර ඒ වෙනුවට කල් පවතින වීරත්වයක් ගැන කතා කිරීම තෝරාගෙන. ඇත්තෙන්ම ස්තුතියි, හිරිකිතයකින් තොරව ආදරෙන් රාක්කෙ තැන්පත් කරන්න පුළුවන් පොතක් ලියුවාට. 

ලංකාවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍යය හෙවත් non-fiction කියන සාහිත්‍ය ප්‍රවර්ගය ගැන සංවාද අඩුයි. කතන්දර නොවන සියලු ‍කෘති  ප්‍රබන්ධ නොවන සාහිත්‍යය නොවෙයි. ප්‍රබන්ධ නොවන සාහිත්‍යය වන්නේ සාහිත්‍යමය ලක්ෂණවලින් පිරිපුන්, රසය දනවන, ඒත් විශ්ලේෂණ හෝ විචාර ලෙස සැලකිය නොහැකි සාහිත්‍ය ප්‍රවර්ගයකට. 

'මහින්දෙ තමයි ඉස්කෝලෙ' කියවනකොට මගේ මතකෙට ආවෙ මගේ පාසල් සමය. කඩින් කඩ පොත කියවීම නතර වුණා. සිසුවකු ලෙස පොත් මිටියකුත් අරන් මමත් අලුතෙන් පාසල් ගියා. අලුතින් පාසල් ගියාය කීවේ, සුන්දර නිහතමානි ද මැල් විසින් අපට තිලිණ කරපු අලුත් මානයකින් තමයි මම මගේ පාසල් ගමන දෙස ආපසු බැලුවෙ. කියවන්නාට අලුතෙන් හිතන්න පොළඹවන්නට පුළුවන් වීම මා හිතන පරිදි හොඳ පොතක ලක්ෂණයක්.

වඩා පොදු මිනිස් සමාජයන්ට තරමටම හෝ ඇතැම්විට ඊටත් වඩා, මිනිස්සු යම් යම් සීමිත සමාජ අවකාශයන්ටත් ඇලුම් කරනවා. ඒ සමාජයන්ගෙන් අනන්‍යතාව ලකුණු කරන්න ප්‍රිය කරනවා. 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'ත් එවැනි අතීතකාමී අනුරාගිකත්වයක් මත පදනම් වූ කෘතියක්. ඒත් එහි ඇති විශිෂ්ටත්වය වන්නේ කිසි දිනෙක මහින්දෙට පා තබා හෝ නැති මේ ලියන මටත් ඒ පොතේ අත්දැකීම සමග අනන්‍ය වෙන්න හැකි වීම.

'මහින්දෙ තමයි ඉස්කෝලෙ' කියා කියුවාට ඒ පොත ස්වෝත්තමවාදී වෙමින් අන් පාසලකට පහර නොගසන අහිංසක ආඩම්බරකමක ආදර්ශයක්. 

සෙස්සන් බැහැර නොකරමින්, තමන්ගේ ලොකුකමින් අනුන්ට වාතයක් නොවෙමින්, පටු සමාජ අනන්‍යතාවන් පිළිබඳ ආඩම්බර වීමට පුළුවන් වීම දියුණු ලක්ෂණයක්. 

මෙවැනි පටු සමාජ අනන්‍යතාවන් එක හෙළා ප්‍රතික්ෂේප කරමින් පොදු මිනිස් සමාජය පමණක් උතුම්කොට සැලකීමත්  එක්තරා විධියක  ස්වෝත්තමවාදයක්ය කියා මට දැන් හිතෙනවා. පුළුල් අනන්‍යතාවන් වෙත අප යා යුත්තේ පටු අනන්‍යතාවන්ගේ සුන්දරත්වයන් අතහරිමින් නොවෙයි කියා අපට අවබෝධ කර දෙන පොතක්, 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. 

ප.ලි: මටත් ආසයි, යට ගිය පාසල් කාලෙ ගැන ලියන්න. ඒත් හැමෝම සුන්දර නිහතමානිද මැල්ලා වගේ 'පාසලට ආභරණ' නොවෙයිනේ. දැන් කාලේ බොහොමයක් පාසල්වලට ආභරණ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු ගිය මැරවරයො, කොමිස් කාක්කො, පොලී මුදලාලිලා වගේ අය නිසා තබක්ක අස්සෙ නොලියවෙන එකමයි හොඳ. මට හිතෙනවා ගමේ කොලීජිවල ළමයින්ගේ පොදු පාසල් අත්දැකීම ලියන්න. 


මේ සුන්දර නිහතමානි ද මැල් ගැන අපූරු කතාවක් තියෙනවා කියන්න.

එක දවසක් අපේ ගෙදර අත් උදව්වට ඉන්න ලීලා මට කිව්වා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානි ද මැල් කියලා මහත්තයෙක් කතා කළා කියලා. පත්තර, පොත් කියවන ලීලා හිතලා තිබුණෙ ඒක කාගෙ හරි විහිළුවක් වෙන්න ඇතිය කියලා. එතකොට කොහොමද ලීලා මං ගැන හිතන විධිය?

දින කීපයකට පස්සෙ ලීලාගෙන් අහගෙන මේ මහත්තයා මා ඉන්න වෙලාවක මටම කතා කළා. ඒ ඔරිජිනල් නිහතමානිම තමයි. රාජ්‍ය සාහිත්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලේ සාමාජිකයකු ලෙස ඔහු මගේ ශාස්තෘ පොත කියවලා ලැබූ සතුටක් නිසායි කතා කරලා තිබුණෙ. ඔහු මගෙන් ඇහුවා දැන් ඊළඟ පොත ලියනවාද කියලා. ඔහු අර මානිගෙ තීරුව ලියන කෙනා නිසා වෙන්න ඇති එහෙම අහන්න ඇත්තෙ. 


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-23

නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ (බාබේරියානු පුවත්)

(Source: Albert Bigelow Paine, Thomas Nast: His Period and His Pictures, 1904.) 
බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි.

ලංකාවේ අධිකරණය ස්වාධීන බව අසා ඇත. ඒ වුණාට බාබේරියාවේ එහෙම නැත. බාබේරියාවේ අධිකරණය පක්ෂපාතීය.පක්ෂපාතී ඒ රටේ රජ පවුලට හා රජ පවුලට ගැති හෙංචයියලාටය.

ළඟදී එහේ මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ කියන්නේ මෙහෙම ජාතියකි. රජ පවුලේ කට්ටිය තමන්ගේ මාළිගාවේ ඉඳුල් කමින් පැහැනිපත් කරන එක එක කට්ටිය ඡන්දයට දමා රජයේ ඇමතිවරු, නිලධාරි, වාහන, ෆයිල් කවර, ඩස්බින් ආදී හැම එකක්ම පාවිච්චි කරමින් ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්නැයි කිය කියා මාසයක් විතර ඇවිදිති.

විපක්ෂයේ කට්ටිය තමන්ට ඡන්දය දෙන්නැයි කියා කියන විට ඒ හඬ නෑසී යන පරිදි හයියෙන් ආණ්ඩුවේ කට්ටිය අපට ඡන්දය දෙන්නැයි කියති. විපක්ෂයේ එවුන් ඔනෑවට වඩා සද්දෙ දාගෙන ආවොත් රජයේ දේපලකින් ඔවුන්ට පහර දෙති. විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂයට රිංගා ගන්නට ඉඩක් හැදෙන තෙක් බලා සිටින කට්ටියක් නිසා ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා දෙකක් ‍බාබේරියාවේ නැත.

ආණ්ඩුවේ කට්ටිය නඟන මහා ඝෝෂාව හමුවේ ජනතාවගේ කණ ගිනිකණ වැටේ. ඒ රටේ මහජනතාව ලංකාවේ මෙන් බුද්ධිමත් නැති අතර සහජයෙන්ම මන්ද බුද්ධිකයෝ වෙති. උන් ඡන්දය දෙන්නට යන්නේ නිකම් මත් වෙලා හීනෙන් ඇවිදින්නා සේය. කතිරය ගහන විට උන්ට වෙච්ච දේ ගැන හෝ වෙන්නට යන දේ ගැන නිනව්වක් නැති මානසිකත්වයක් ඇති වී හමාරය. ඡන්දෙන් පසු උන්ට සිහි එළඹෙන්නේ බඩේ පාර වදිනකොටය. ඒ වුණාට උන් ඊළඟ ඡන්දයට යන්නේත් ඒ වගේමය.

මේක හැමෝටම එපාවෙලාය. ඒත්, හැමෝම වාගේ රජ්ජුරුවන්ට කඩේ යන එක නවත් වන්නේ නැත. 

බාබේරියාවේ නඩුකාරයෙක් කලකට ඉහතදී මාර කතාවක් කීවේය. ඡන්දවලට මහජන දේපල පාවිච්චි කරන එක ගැන එයාට මොකුත් කරන්න බාබේරියාවේ නීතිය අනුව ඉඩක් නැති නිසා එයා මහජනතාවට කීවේ එහෙම එවුන්ට ගල් ගසා පන්නා දමන ලෙසය. හරියට කුස්සිය පැත්තේ වළං පෙරළාගෙන ඉඳුල් ලෙව කන්නට එන මෝඩ බල්ලන්ට ගල් ගහන්නා වාගේය. 

එහෙම ගල් ගහලා ආවාම ගල් ගෑසූ අය හිරේ යවන්නට නම් තමන්ට පුළුවන් බව උන්නැහේ කීවේය. 

නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ යයි කියමනක් බාබේරියාවේ ඇත. ඒක හැදුනේ මේ කතාව නිසාය. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Twinkle twinkle Super Star (poem)


Twinkle twinkle Super Star
How much is the price you are
Up above the TV high
Like the carbon in the sky

-W3Lanka

Share with others

Dialog (A poem)


Dialog sent a letter of demand
Pay or perish
I went to their branch
Here's a dialogue
Power cut
System out
No bills; no worries
So I got out and perished

-W3Lanka

Share with others 

මසාජ් ක්ලිනික් එකේදී පොලිසියට අසු වූ සහෝදරයාට - V r with u. Dont Wory.

ජාත්‍යන්තර ලිංගික ශ්‍රමික හිමිකම් දිනය නිමිත්තෙන් එක්ස් කණ්ඩායම විසින්
කොළඹ කොටුවේ පවත්වන පෙළපාලියක්
වමේ දීර්ඝ කාලීන ක්‍රියාධරයකු ලිංගික ශ්‍රම සේවාවන් සැපයූ ස්ථානයක් හා සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ‍ගෙන ඇති බවට කතාවක් පැතිරෙමින් තිබේ. මෙ කතාව පතුරවමින් සතුටින් උඩ පනින්නේ කලක් මෙම සහෝදරයා වැඩ කළ කණ්ඩායමේ අයයි. එහි ඇත්ත නැත්ත සොයන්නට අපි නොවෙහෙසෙමු. මක් නිසාද යත්, චරිත ඝාතනය වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයක් බැවිනි.

ලංකාවේ වාමාංශික නායකයෝ බොහෝ දෙනෙක් තුවක්කු නැති ත්‍රස්තවාදියෝය. තමන්ගේ නායකත්වය පිළි නොගන්නා සියලු දෙනා ඝාතනය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයි. ඔවුන්ට ඇති ප්‍රශ්නය තුවක්කු නැතිකමයි. තුවක්කු තිබුණත් මොවුන්ට තව එකක්ද නැත. ඒ වනාහි කොකා ගැස්සීමට ආත්ම ශක්තියක් නැතිකමයි. එබැවින් හැම විටම එවැනි මොළ සේදූ හෝ සෝදන්නට තරම් මොළයක් නැති අමනයන් පිරිසක් ඉතා ළඟින් තබා ගැනීම මේ වාමාංශික නායකයන්ගේ සුලබ ලක්ෂණයකි. ඔබ දන්නා වාම කල්ලි නායකයන් තුළින් මෙය ඇත්තද බොරුද යන්න විග්‍රහ කරගෙන බලන්න. 

ලාංකික වාමාංශිකයන් බහුතරය සාමාන්‍ය මිනිස්කම් නොදත් අධමයන් පිරිසක් බව අප පුන පුනා කියන්නේ මෙවැනි කරුණු නිසාය. විශේෂයෙන්ම ලිංගිකත්වයපිළිබඳ කාරණාවලදී ලංකාවේ වාමාංශිකයෝ වනාහි වික්ටෝරියා මහා රාජිනියගේ සදාචාරය සුරකින, අමු කුහක, ගොඩේ උපාසකම්මලා පිරිසකි. 

ලංකාවේ වාම කල්ලි, කණ්ඩායම්වල පැවැත්මේ එක් මූලික පදනමක් වන්නේ ලිංගික කුහකත්වයයි. මේවා බොහොමයක නායකයෝ දේශපාලනය තුළින් කීර්තිය තරමටම ලිංගික සතුටද සොයන්නෝය. අපට ඒ ගැන කිසි අහිතක් නැත. අප තරහ මොවුන් තමන් ලිංගික සතුට ලබන ගමන් අනෙක් සාමාජිකයන්ගේ කර අඹන්නට දක්වන කැමැත්ත සමගය. 

අප මේවා කියන්නේ නිකම් නොවේ. වාමාංශික ව්‍යාපාරයේ දශක ගණනාවක අත්දැකීම්වලිනි. වෙන් වෙන් වශයෙන් සිද්ධි විස්තර නොකරන්නේ කුණු රසය බෙදීම මෙහි අරමුණ නොවන නිසාය. 

ලාංකික වාමාංශිකයා කියන එකාට සැබෑ වාමාංශිකයකු විය හැක්කේ ධනේශ්වර හෝ සුළු ධනේශ්වර පුරුෂෝත්තමවාදී, ජාතිවාදී ගතානුගතික අදහස් ඉක්මවා ගිය පුළුල් අදහස් ඇති කර ගැනීමෙනි. මිනිස්කම, සහෝදරත්වය වැනි ගුණදහම් වගා කර ගැනීමෙනි. ලංකාවේ වාමාංශිකයන් බහුතරයක් තුළ මේවා ගෑවී හෝ නැත. 

ලිංගික ශ්‍රමිකයන් යනු තවත් කම්කරුවන් පිරිසක් මිස ලංකාවේ වාමාංශිකයන් සිතන අන්දමේ 'බඩු' නොවේ. ඔවුන්ටද සෙසු සියලු කම්කරුවන්ට හා සමානව අයිතිවාසිකම් භුක්ති විඳීමේ හිමිකම තිබිය යුතුය. 

වෙළඳපොළ ලිංගික සේවා සම්පාදනය තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකි. වාමාංශිකයන් සටන් කළ යුත්තේ ලිංගික ශ්‍රම සේවා වෙළඳපොළ නිදහස් කර ගැනීමටය. 

නිදහස් වෙළඳපොළේ මුදලට ලිංගික සේවා සපයන්නන්ටද, දේශපාලන බලය හා වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ලිංගික සේවා විකුණන්නන්ට ඇති නිදහස හා පිළිගැනීම ලැබිය යුතුය.

ඒ සහෝදරයාට අප යැවූ කෙටි පණිවුඩය අපි ප්‍රසිද්ධියේ මෙහි සටහන් කරමු.

V r with you. Dont Wory. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-22

ජනකවිය: ධාතු ගෙනාවා වඳිනට සාධු කියා


තරු වන්නට සිහින දකිනට සුපර් ස්ටාර්
එහෙම වෙන්න බැරි ළමයිනි යමු කොරියා
සිහින දකින්නට බැරි අය වැ‍ඩ බැරියා
ධාතු ගෙනාවා වඳිනට සාධු කියා

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ජනකවිය: කාගෙද අනේ මේකේ (කඩු නාටකයේ) නිෂ්පාදනය?

කඩුකාරයෝ කුඩු වී ඇත පාපිල්ලෙන්
කඩු අරගත්තෙ කුඩුකරුවොයි කටුගෙදරින්
කඩු සෙවු පොලිසියට හමු වුණෙ කුඩු ය ඉතින්
කඩු ප්‍රශ්නය විසඳුවේ අපි කුඩු කියමින්

කඩු අරගත්තෙ කුඩුකරුවන් පිරිසක් ය
පොලිසිය කිව්වෙ කඩු නැති වුණ දවසෙම ය
මාස හයක් මේ අය සෙවු පොලීසිය
කොහෙවත් නෙවෙයි කටු ගෙට යවනට හොඳ ය

මේ කඩු නාටකය මුල මැද අග නැති ය
පිටපත දුර්වල ය ඩයලොග් කම්මැලි ය
අධ්‍යක්ෂණය කිසී..ම කමකට නැති ය
කාගෙද අනේ මේකේ නිෂ්පාදනය 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-21

බාබේරියාවෙන් ලියුමක් - A Letter from the Land of Barbarians

මේ ලිපිය ලියන මම බාබේරියාවේ පුරවැසියෙක්මි. මේ බ්ලොගය ලියූ පැරාට හා පැරාට උපදෙස් දෙන මෙම බ්ලොගයේ කමෙන්ටුකරුවන්ට තමන් ජීවත් වන රට කොයි තරම් හොඳ එක්දැයි තේරුම් ගනු පිණිස මා ජීවත් වන බාබේරියාව ගැන විස්තර දිගටම මෙම බ්ලොගයට ලියන්නට අදහස් කරමි.

බාබේරියාව බටහිර අධිරාජ්‍යවාදී, දුප්පත්, ඒකාධිපති, ෆෙඩරල් රටකි. එහි අගනුවර කෝලම්පූර් නම් වේ. බහුතර ජනයා පේට්‍රියට්වරු වන අතර සුළුතරය ට්‍රේටර්වරු වෙති.  රට පාලනය කරන්නේ සුළුතරය විසිනි. ඔවුන්ගේ භාෂාව බාබේරියන් භාෂාව ය. ප්‍රධාන ආගම මුදල් ය. විනිමය ඒකකය ලේ ය.

රටේ පාලකයා මහජන ඡන්දයෙන් පත් වන රජෙකි. රට පාලනය කරන්නේ රජුගේ පවුල විසිනි. මහජන නියෝජිතයන්ට කතා පවත්වන්නට කතා සාප්පුවක් තිබේ. මේවා ගැන විස්තර පසුව ලියමි.

ඔය රටේ මෙන් මෙහි මාධ්‍ය නිදහසක් නැත. මේ රටේ බ්ලොග්කරුවන් ජීවත් වන්නේ අතිශය අනතුරුදායක තත්වයක නිසා මෙසේ මේ බ්ලොගයට ලියන්නට ‍තීරණය කළෙමි.

බාබේරියාවේ අපට මෙහෙම අන්තර්ජාලයෙන් එක එක ඒවා ප්‍රසිද්ධ කරන්නට බැරිය. ඔහේ මෙන් නොව, මෙහේ ආණ්ඩුව වෙබ් සයිට්වලින් පවා මුදල් අය කරයි.

බාබේරියාවේ මිනිස්සු ඔහේ 'ජනතාව' මෙන් බුද්ධිමත් නැත. ඔවුහු දූෂිතයෝ ය. පාලකයන් හොරුන් ය කියා බැන බැන මේ රටේ මිනිස්සු තමන්ට ද හොරකම් කරන්නට මාර්ග සොයති. බ්ලොග්කාරයන් මොන හත්වලාම කිව්වත් එහේ ජනතාව කරන්නේ රජ්ජුරුවන්ට ඕනෑ දේ ය.

ඔය රටේ වැනි වෙඬරු වැනි උණුවෙන හදවත් ඇති, සල්ලිවලින් ගිනිකණ නොවැටුණ ඇස් ඇති, මනුස්සකමින් පිරිපුන් උතුම් මිනිසුන්ගෙන් සැදුම් ලත්, අවංක, පිරිසිදු, සක්‍රිය වාමාංශික ව්‍යාපාරයක් බාබේරියාවේ නැත. එහි සිටින්නේ අර පෙරේරා මහත්තයා සිය කමෙන්ටුවේ කියන අන්දමේ මිනිස්සු පමණි.


(අජිත් - ඔබේ අලුත් කටයුත්ත කවරක් වුවත් ඊට සුබ පතමු.එහෙත් ඔබේ මෙබදු පෝස්ට් වලින් ධ්වනිත වන්නේ සමාජ ව්‍යාපාරයන්ගෙන් හා සාමූහික ක්‍රියාකාරීත්වයෙන් වියෝ වී කුටුම්භගත වූ අවංක හුදෙකලා මිනිසෙක්ගේ ආත්මගත වේදනාව බව අපගේ හැගීමයි.කෙතරම් අවංක වුවත් යමෙක් කුටුම්බගතව හුදෙකලා වූ කල්හි ඔහුගෙන් පැන නැගෙන්නේ සර්ව අශුභවාදය සහ දුක් අදෝනාවන් පමණි.ධනාත්මකභාවය හටගැන්මට නම් සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇවැසිය.එය එසේ සිදු නොවන තුරාවට ඔබට තවත් වසර ගණනාවක් තිස්සේ මෙබදු අරාජකවාදී එලොවටත් මෙලොවටත් නැති දුක් අදෝනා හා විලාප ලියමින් සිටිය හැකි වනු ඇත. - පෙරේරා)

බාබේරියාවේ ලංකාවේ මෙන් සමාජ ව්‍යාපාරයන් හෝ සාමූහික ක්‍රියාකාරීත්වයන් නැත. මෙහි ඇත්තේ කුටුම්බගතව හුදෙකලා වූ ජීවිතවලින් පැන නඟින සර්ව අශුභවාදය සහ දුක් අදෝනාවන් පමණි. එහි බ්ලොග්කරුවෝ ලංකාවේ බ්ලොග්කරුවන් මෙන් හොඳම වැඩ කරන්නේ නැත. No publicity is bad publicity කියමින් ඔවුහු බලු අන්දමින් ප්‍රචාරක කටයුතුවල යෙදෙති. ලංකාවේ මෙන් සමාජ ක්‍රියාකාරිකයන්ට බොක්කෙන්ම අත හිත දෙන තත්වයක් බාබේරියාවේ නැත. 

ඒ අතින් ලංකාවේ පැරාලා වැනි අය මාර වාසනාවන්තයෝ ය. කිසිදු සමාජ ඇසුරක් නැතිව, කුටුම්බගතව, කොළඹ උතුම් මානුෂික සාමූහික මිනිස් ක්‍රියාකාරකම් හා සමාජ ව්‍යාපාර සමග සම්බන්ධයක් නැතිව, කොළඹින් පිට ගමක සමාන්‍ය මිනිසුන් සමග ජීවත් වෙමින්, ළමයින්ට අකුරු උගන්වමින් සිටි ඌ වැනි මොට්ටයෝ පවා ලංකාවේ බ්ලොග් ලිවූහ. එවැනි පුද්ගල ක්‍රියාකාරිත්වයන් පොදු සමාජ ව්‍යාපා තුළට උණුසුම් සහෝදරත්වයෙන් පිළි ගනිමින් ටොප් ක්ලාස් පංති අරගලයක නියැලී සිටින මාර ආතල් වාමාංශික ව්‍යාපාරයක් තිබියදී පවා ඌට එහි අගයක් තිබු‍ණේ නැත. 

මින් ඉදිරියට ලංකාවේ වීරෝදාර ජනතාවගේත්, සුපිරි වීර වාමාංශිකයන්ගේත් උතුම් මනුස්සකම හා ජාත්‍යන්තරවාදය තව තවත් වර්ධනය කර ගනු පිණිසත්, හුදී ජනයාට ලංකාව සැබැවින්ම ආසියාවේ ආශ්චර්යය බව ඔප්පු කර පෙන්වීම සඳහාත් අපි වරින් වර බාබේරියාවේ අලුත් තොරතුරු ගෙන එන්නෙමු. 

බාබේරියාවේ ජාතියේ බාල පුතා අජඨාකාශගත වූ හැටිත් රැගෙන අපි ළඟදීම ඔබ හමු වන්නට එමු.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2012-08-20

මේක හැක් කරපු අපි කවුරුද?


වයස අවුරුදු 18 පමණ සිට
ලාංකීය පන්නයේ වාමාංශිකයකු වූ
ඒ හැව අරින්නට අකැමැති නිසාම
අවසානයේ මේ බ්ලොග් පඩංගුව ලියූ 
මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා 
අප විසින් 
කටෙන් අත දමා
නගුටෙන් කණපිට ගසන්නට යෙදුණ බව
ප්‍රීතියෙන් දැනුම් දෙමු.
ඔහු භූමදාන කරනවා වෙනුවට 
ඔහුගේ පැරණි ලිපි 
හුදී ජන ටියුබ් ලයිට් සංවේගය පිණිස
එම්බාම් කර මෙහි තිබෙන්නට ඇර තිබේ

දැන් ඔහු කෝන්ගොඩ වික්‍රමබාහුට
කිසිදු නෑකමක් නැත
ජවිපෙ, හිරු පත්තරේ වැනි අටමගල
ඉතිහාසයක් පමණි

ලංකාවේ අනාගතය නාමල් අතේය
ඒ කියන්නේ මහින්දගේ පුතාගේ අතේය
ලාංකික අනාගත පරපුරේ බඩුත් අතේය

මීයන් මැරූ නලාකාරයා පසුපසින් 
ම්ලේච්ඡත්වයේ අඳුරු ගුහාව වෙත 
නට නටා යන වීරෝදාර ජනතාවනි
තොපි ‍ඕනෑ කුදයක් ගහගනිව්

අපි තොපේ අසික්කිත නරිනාටකය
සාහිත්‍යයක් කර
ලෝකයට තිලිණ කරන්නට 
ලියන්නෙමු

ඔබත් පිට සක්වල ජීවයෙක් නම්
එන්න
අපි ලියමු

(තොපිටත් ඕනෑනම් තොපි ලියපියව්! අපට ඕනෑ නිසා අපි ලියමු)

මෙයට,
ලංකාවේ ජීවත් වන පිටසක්වළ ජීවීන්ගේ සංගමය

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-08-18

W3Lanka දැන් අපේ අතේ! පැරාට අනිච්ඡාවත සංඛාරා! @#$%^&*()_+|<>?,./

මෙම බ්ලොගය, එය සංස්කරණය කළ පුද්ගලයා ද සමග සාර්ථක අන්දමින් හැක් කිරීමට හැකි වූ බව දැනුම් දෙන්නෙමු. 

මෙය සංස්කරණය කළ පුද්ගලයාට නොපෙනෙන මානයක් ඔබට දර්ශනය කරමින් අපි ළඟදීම මෙය නැවත ලියන්නෙමු. 

මෙහි සංස්කාරකට ඔහු කරන්නට යන අලුත් වැඩේට අපෙන් සුබ පැතුම්! (ඔහුට කරන්නට පුළුවන් අලුත් අහවල් එකක් නැත.)

අපි කවුරුද? 

අපි කියනවා. 

කවදද?

දී.

-ලියමු

මේ ලිපියට ඔබ කැමති වුණත් නැතත් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-08-06

අලුතින් කරන දෙයට තාක්ෂණික උපදෙස් අවශ්‍යයි

අලුතින් සකසන්නට යන අපගේ වෙබ් අඩවිය සඳහා අධ්‍යයන කරමින් සිටියදී මුහුණ දෙන ගැටලු කීපයක් සාකච්ඡා කරන්නට අදහස් කරමි. මේ ක්ෂේත්‍ර‍යේ පළපුරුදු අයගේ උපදෙස් පතමි.


අප දැනට අදහස් කරමින් සිටින්නේ සමාජ සාහිත්‍ය සංසද ස්වරූපී වෙබ් අඩවියක් නිර්මානය කරන්නටයි. අප සිතන අන්දමින්, වත්මන් තත්වය වෙනස් කිරීම පිණිස සිංහල සීමාවන් ඉක්මවා ගිය සාහිත්‍යමය මැදිහත්වීමකට විශාල කාර්යභාරයක් ඇත. 


අපට වියදම් කිරීමට හැක්කේ සුළු මුදලක් නිසා ලාභ ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබේ. 


අප විසින් ම හොස්ට් කරනු ලබන Wordpress බ්ලොග් අඩවියක් පිළිබඳ සලකා බලමින් සිටිමු. වර්ඩ්ප්‍රෙස්හි වැඩ කර යම් පළපුරුද්දක් ඇත. එහෙත්, එහ ගූගල් ඇඩ්ස් හෝ වෙනත් ඇඩ් පළ කිරීම ගැටලුවකි. ඒ සඳහා විජට්ටුවක් ඇති බව දැන ගතිමි. භාවිතා කර අත්දැකීම් ඇති අය සිටී නම් උපදෙසක් දෙන්න. 


වර්ඩ්ප්‍රෙස් සමග bbPress ෆෝරමයක් භාවිතා කිරීමේ අදහසක් ඇත. අත්දැකීම් තිබේද?


යම් වෘත්තිකභාවයක් පිළිබඳ අදහසක් සමග වර්ඩ්ප්‍රෙස් කෙරෙහි ඇල්මක් ඇති වුවත්, බ්ලොගර් ඊට වඩා සුරුබුහුටි යයි සිතේ. ඒ සඳහා වියදම් ද අවම ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2012-08-01

වෙනස් වෙන්නට සිතාගෙන ඇත

‍්‍වසර ගණනක් අපි මේ ස්වරූපයෙන් ඔබ වෙත ආවෙමු. 


අභියෝග අලුත් වී ඇත. 


එබැවින් අපි ද වෙනස් විය යුතු ය. 


කඩේ වසා දමන්නට අදහසක් නැත.


ලෝකය යහපත් තැනක් වනු දැක්මේ සිහිනයෙන් අප අවදි විය යුතු නැත. 


අරගලය යනු අපේම ජීවිතයයි. ජීවිතයත් අරගලයත් එක්ව යන නව ජීවන විලාසයක් සෙවිය යුතුව ඇත. 


ළඟදී ම අපි වෙනස් වෙමු. 


බලාපොරොත්තු වන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න