2013-02-16

රතු සෝගම් ලියූ මෝ යැංගේ හදවත

චීන ජාතික මෝ යැංගේ රතු සෝගම් නවකතාව චූලානන්ද සමරනායක විසින් සිංහලට නඟා තිබෙනවා. 

මේ මෝ යැංට පසුගිය වසරේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග හිමිවුණා. 

ඔහු වෙනුවෙන් කියැවුණු ප්‍රණාමයේ සඳහන් වූ පරිදි ඔහුට නොබෙල් තෑග්ග හිමි වුණේ ඔහු අතිශයෝක්තිය, උපහාසය හා ජනකතා හා මිථ්‍යා ඇසුරින් ලත් ආභාසය හරහා කොමියුනිස්ට්වාදී ප්‍රචාරාත්මක ඉතිහාසය වෙනුවට පනස් වසරක අතීතය අවබෝධාත්මක හා විවේචනාත්මක අයුරින් විවරණය කළ නිසායි.   

මේ කියමනත් සමග නොබෙල් සාහිත්‍ය තෑග්ග පිළිබඳ ජනප්‍රිය වාම අදහසක් වන මේ වනාහි ධනවාදී හා සමාජවාද විරෝධී සාහිත්‍ය ප්‍රවර්ධනයක්ය කියන මතය නැවත ඉස්මතු කරගන්න පුළුවන්. ඒත්, සමාජවාදී හෝ ධනවාදී හෝ ප්‍රචාරාත්මක සාහිත්‍යය ගුණයෙන් දුබලයි කියන අදහස එයින් යටපත් කරන්න බැහැ. සාහිත්‍යයෙන් දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කළයුතු කාරණයක්. අපට යම්, යම් චරිත වීරත්වයට නඟන්න පුළුවන්. සිද්ධි අර්ථකථනය කරන්න පුළුවන්. ඒත්, සාහිත්‍යය කියන්නේ කර්තෘගේ පමණක් නොවෙයි, පාඨකයාගේත් කාර්යයක්. එතකොට කර්තෘ කුමන අර්ථ ජනනය කරන්න උත්සාහ කළත් වැදගත් වන්නේ ඒ ඔස්සේ පාඨකයා සමග ඇති වන සුසංවාදයයි. 

අපි කතා කළේ මෝ යැං ගැනනේ. ඔහුගේ අදහස් මෙහිදී ස්වර්ණමය ආලෝක ධාරාවක් වගේ. නොබෙල් තෑග්ග පිළිගන්න සති කීපයකට පෙර ඔහු ප්‍රතික්ෂේප කළා, ලියු ක්ෂියෝබෝ කියන 2010දී නොබෙල් සාම තෑග්ග දිනූ චීන ජාතික ලේඛකයා නිදහස් කරගැනීම සඳහා වූ නොබෙල් ත්‍යාගලාභීන් 134ක් අත්සන් කළ පෙත්සමකට අත්සන් කිරීම. ලියූ ක්ෂියාබෝ වසර 11ක සිට චීන නිවාස අඩස්සියේ පසුවන්නේ ඔහු චීනයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි 'අටවන ප්‍රඥප්තිය' නම් ලේඛනයේ සම කර්තෘවරයකු වූ නිසායි.ඔහුගේ මේ ක්‍රියාව නිසා සල්මන් රෂ්ඩි මෝ යැංව විවේචනය කළේ ඔහු ආණ්ඩුවේ අතකොළුවක්ය කියායි. 

මෝ යැං චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු චීන රජය විවේචනය කරන්නේ නැහැ. එපමණක් නොවෙයි, ඔහු ගැඹුරු මූලධර්ම මත පිහිටි වාරණයක් අවශ්‍යයි යන අදහසත් දරන කෙනෙක්. ඒත්, ඔහුගේ අදහස් ජනප්‍රිය ස්ථාවරයන්ට වඩා ගැඹුරුයි.

"මගේ ලොකුම අභියෝගය තමයි, සමාජ යථාර්ථයන් සමග සම්බන්ධ නවකතා ලිවීම. ඒ මම සමාජයේ අඳුරු පැතිකඩ විවේචනය කරන්න බිය නිසා නොවෙයි. ඒත්, උණුසුම් ආවේග හා කෝපය විසින් සාහිත්‍යය යටපත් කර නවකතාව සමාජ යථාර්ථය වාර්තා කිරීමක් බවට පත් කරනවා. සමාජයේ සාමාජිකයකු ලෙස නවකතාකරුවකුට තමන්ගේ ස්ථාවරයක හා දැක්මක පිහිටා සිටිය හැකියි. ඒත්, ලියනවිටදීනම් ඔහු මානවවාදී ස්ථාවරයක් ගත යුතුයි. එවිට පමණයි සාහිත්‍යය හුදෙක් සිද්ධිවලින් මතු නොවී, සිද්ධි ඉක්මවා යන්නේ. නිකම් දේශපාලනය සමග ගෑවීම වෙනුවට දේශපාලනය ඉක්මවා යන්නේ."

නොබෙල් තෑග්ග ගන්න ස්වීඩනයේ ස්ටොක්හෝම් ගොස් සිටියදී පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කළ මේ ප්‍රකාශයත් වැදගත්."මගේ ජීවිතයේ වැඩි කාලයක් අමාරු තත්වයන් තුළ ගත කළ නිසා වෙන්න ඇති, මම හිතනවා මා සතුව ජීවිතය ගැන ගැඹුරු අ‍වබෝධයක් තිබෙනවාය කියා. මම දන්නවා නියම ධෛර්යය කුමක්ද කියලා. මට සැබෑ කරුණාව වැටහෙනවා. මම දන්නවා සෑම කෙනෙකුගේම හදවතේ හා මනසේ පවතින  නොපැහැදිලි අවකාශය ගැන. හොඳ‍ හෝ නරක ගැන, හරි හෝ වැරදි ගැන සරළ අර්ථකථනවලින් මේ අවකාශය විවරණය කරන්න බැහැ. ලේඛකයකු සිය නිසග කුසලතාවන්ට නිදහස පිරිනමන්නේ මේ අවකාශයේදීයි. කෘතිය මේ නොපැහැදිලි, විශාල වශයෙන් පරස්පර වූ අවකාශය නිවැරදිව හා විචිත්‍ර ලෙස විවරණය කරන තාක් කල් එය දේශපාලනය ඉක්මවා යනවා. සාහිත්‍යමය විශිෂ්ටත්වයෙන් යුක්ත වෙනවා."

1955 උපන් මෝ යැං චීනයේ ඈත ‍පෙරදිග ගැ‍යොමිහි ගොවි පවුලකින් පැවත එන්නෙක්.  ඔහුගේ සම්පූර්ණ නම ගුවාන් මෝයි. ඔහු නවකතා 11ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අතර The Garlic Ballads, Red Sorghum Clan, The Republic of Wine, Big Breasts and Wide Hips; Life and Death are Wearing Me Out; Frog ආදිය වඩා ප්‍රසිද්ධයි. 

ඔහු වැනි චීන කොමියුනිස්ට් ආණ්ඩුවට හිතවත් අයකු නොබෙල් තෑග්ග දිනීම බොහෝදෙනෙකුගේ විමතියට හේතුවුණා. නොබෙල් තෑග්ග හා චින ආණ්ඩුව පිළිබඳ තිබෙන මතිමතාන්තරලට වඩා මෝ යැං නම් ලේඛකයාගේ ජීවිතය ගැඹුරු බවයි අපේ අදහස. 

"ලේඛකයකුට කතා කළ හැකි හොඳම විධිය තමයි, ලිවීම. මට කියන්න තිබෙන දේ ඔබට මගේ කෘති තුළ කියවන්න පුළුවන්. කතාව සුළ‍‍ඟේ පා වී යනවා. ඒත් ලිඛිත වචනය කවදාවත් කටුගාදමන්න බැහැ. ඔබ මගේ පොත් කියවන්න ඉවසිලිවන්ත වෙනවානම් මම සතුටු වෙනවා. ඒත්, මට ඒ සඳහා ඔබට බල කරන්න බැහැ. එසේ කියෙව්වත්, ඔබට මා පිළිබඳ තිබෙන අදහස වෙනස් වෙයි කියා මා බලාපොරොත්තු වන්නේ නැහැ. ලෝකයේ කිසිදු ලේඛකයෙකුට ඔහුගේ පාඨකයෝ සියලුදෙනා කැමති වී නැහැ. විශේෂයෙන්ම මෙවැනි කාලයක එය ඇත්තක්." - මෝ යැං

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

1 comment:

  1. මෝ යෑන් ගේ Red Sorghum නවකතාව මම ඉංග්‍රීසියෙන් කියෙව්වා. ඒක හරියට කවියක් වගෙයි. ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම ඉතා අපහසු වූ බව එහි පරිවර්තක Howard Goldblat කියා තිබෙනවා. හැබැයි මම කැමතිම මෝ යෑන් නවකතාව The Garlic Ballads.
    මේ කථා මට කියවන්නට හිතුනේ මෝ යෑන් ගැන BBC රූපවාහිනියේ පෙන්වූ වැඩසටහනක් දැකීමෙන් පසුවයි. ඔහුගේ ජීවිත කතාවත් ඔහුගේ ප්‍රබන්ධත් අතර බොහෝ බැඳීම් පවතින බව එම අපූරු වැඩසටහනෙන් පෙන්වනවා,

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.