2013-03-22

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසු ලංකාව

ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 32ක් විසින් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කින් 46ක් ඡන්ද විමසීමට සහභාගි වූ අතර එයින් 25ක් පක්ෂවද 13ක් විපක්ෂවද ඡන්දය දෙද්දී 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දුන්නද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සැර බාල කිරීමට ඉන්දියාව කටයුතු කළේය. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන රැල්ලකට උපකාර කරමින් සිටියදී පවා ලංකාවට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර මුස්ලිම් රටවල් රැසක් තිබීම කැපී පෙනෙන තත්වයකි.

රාජපක්ෂ ආණඩුව විසින් උත්තේජනය කර තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල ආපසු නොහැරවුවහොත් මීළඟ සැසිවාරය වන විට මේ සහයෝගය නැති වී යන්නට පුළුවන. මුස්ලිම් විරෝධී දේශපාලන රැල්ල මෙහෙයවන බොදු බල සේනාව හසුරුවන යතුරක් දැන් ආරක්ෂක ලේකම්වරයා අත ඇති නිසා අවශ්‍ය නම් එය පාලනය කරන්නට බැරිකමක්ද නැත. එහෙත්, පිස්සු බල්ලන් ලිහා දමන තරම් ලහෙසියෙන් බැඳ දැමිය නොහැකිය.

කවුරු මොනවා කීවත්, මෙවර සම්මත වූ යෝජනවෙන්ද ලංකාවට සිදු වන කිසිවක් නැත. එය ගිය අවුරුද්දේ යෝජනාව තව අඟලකින් පමණ ඉදිරියට ගෙන ගිය එකකි. එහි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ස්වාධීන පරීක්ණයක් සඳහා පියවර නැත. එහි තවමත් වගකීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනය වීම් ආදිය පිළිබඳ යම් ඇල්මැරුණු ක්‍රියාමාර්ග ගෙන ඇඟ බේරා ගැනීමට තවමත් ආණ්ඩුවට අවස්ථාව තිබේ.

එහෙත්, මෙහි තිබෙන මූලික ගැටලුව වන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වීරෝධී, පවුල්වාදී, ප්‍රතිගාමී දෘෂ්ටියයි. ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ අයිතිය රැකදීමට ආණ්ඩුව අසමත් වන්නේ ඒ නිසාය. මානව හිමිකම් උල්ලංඝනයන්, ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ජාතිවාදය, ආගම්වාදය හා ප්‍රචණ්ඩත්වය ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලනයේ අතිශය වැදගත් අංගෝපාංග බවට පත් වී තිබෙන තත්වයක් තුළ සරළ ක්‍රියාමාර්ගයක් හෝ ගැනීමේ සමත්කමක් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැකිය.

රාජපක්ෂ පවුල් පාලනයෙන් අපේක්ෂා කළ හැක්කේ රට තවත් ජාත්‍යන්තර වශයෙන් හුදකලා කර දමමින් මෙම තත්වයද අභ්‍යන්තරව බලය රැක ගැනීම සඳහා පාවිච්චි කරන තත්වයකි. අවුරුද්දෙන් අවුරුද්ද බෙල්ලේ ගැටය මඳකින් තද වූවාට රාජපක්ෂ පවුල එය ගණන් නොගෙන සිය ප්‍රමෝදය උපරිමයෙන් භුක්ති විඳින්නට උත්සාහ කරමින් සිටියි.

එහෙත්, ඉන්දියාවෙන් එන පීඩනය පහසු වන්නේ නැත. තමිල්නාඩුවේ පීඩනය උත්සන්න වන විට 2014 මහ මැතිවරණයකට යන්නට සිටින ඉන්දියවේ මධ්‍යම ආණ්ඩුවට ලංකාව සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදු වනු නියතය. අනෙක් පැත්තෙන් ලංකාවේ වෙනසක් අපේක්ෂා කරන ජාත්‍යන්තර බලවේග මැදිහත් වන තැන වනු ඇත්තේද තමිල්නාඩුවයි.

අඩු තරමේ උතුරු පළාත් සභාව වෙනුවෙන් හෝ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ආණ්ඩුවට තිබේද? සාධාරණ මැතිවරණයකින් නියත වශයෙන්ම බලයට එන දෙමළ ජාතික සන්ධානය සමග එවිට ආණ්ඩුවට ලෙහෙසි වන්නේ නැත.තමන්ගේ පවුලෙන් පිටට කැබිනට් මණ්ඩලය සමග හෝ බලය බෙදා ගන්නට අකැමැති පාලනයක් දෙමළ ජාතික සන්ධානය සමග බලය බෙදා ගනීවි යයි කිසි සේත්ම අපේක්ෂා කළ නොහැකිය.

මෙවැනි දුෂ්කර අවස්ථාවන්හිදී බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග වැනි පාලකයන්ට තිබුණු නාගරික දෘෂ්ටිය හෝ නැති රාජපක්ෂ පවුල මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද?

ආණ්ඩුව අභිමුව දැන් තිබෙන ආසන්න අභියෝග වන්නේ ලංකාව ගැන විමර්ශනය කිරීමට මෙහි පැමිණීමට අවසර ඉල්ලා ඇති ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න හා ලබන අවුරුද්දේ කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර උද්ඝෝෂණයට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

ලංකාවේ ජනතාවට නම් රාජපක්ෂ ආණ්ඩුවේ උගුලෙන් ගැලවෙන තෙක් සාමය, සංහිඳියාව හා සංවර්ධනයේ ප්‍රතිලාභ අපේක්ෂා කරළ නොහැකිය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

5 comments:

  1. සමබර අදහස් ඇති බ්ලොග් ලියමනක්.

    ReplyDelete
  2. තව සතියක් දෙකක් බලා යමක් කීමට හැක. කෙසේ වෙතත් වත්මන් තත්වය අනුව, අවසානයේ සඳහන් දෑ හා එකඟ වනවා හැර වෙන කීමට කිසිත් නැත.

    ReplyDelete
  3. "ලංකාවේ ජනතාවට නම් රාජපක්ෂ ආණ්ඩුවේ උගුලෙන් ගැලවෙන තෙක් සාමය, සංහිඳියාව හා සංවර්ධනයේ ප්‍රතිලාභ අපේක්ෂා කරළ නොහැකිය"

    හොද ලිපියක්. නමුත් දකුණේ සිංහල ජනතාව කිසිම ලෙසකින් සුලු ජාතීන් සමග බලය බේදා ගැනීමට වසර හතරක් ගෙවුනද තවම ලැස්තියක් නැත.

    ජාතිවාදී, ඊනියා ආගම්වාදී සංගම් පිටුපස ඇද වැටී තිබෙන තත්වය තවත් වියාකූල කරයි.

    ReplyDelete
    Replies
    1. දකුණේ සිංහල ජනතාව බලය බෙදාගැනීමට ලෑස්ති නැතැයි කියන්නේ දකුණේ සිංහල ජනතාව තමන් අතේ බලය ඇතැයි සිතා සිටින නිසාය. බලය ඇත්තේ තමන් අතේ නොවන බවත් එය බෙදෙන්නේ උතුරේ දෙමළ ජනතාවට නොවන බවත් තේරුම් ගත් විට දකුණේ සිංහල ජනතාව කර බා ගෙන සිටිනු ඇත.

      Delete
  4. හොඳ ලිපියක්. මධ්‍යස්ත අදහස් දරන ලාංකිකයෙක්ගේ සිතුවිලි මේ ලිපියේ සාරාංශ ගතවී තිබෙනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.