2013-03-23

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය. 

ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ.

විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවුල්වාදී පාලනයක් ගොඩනැඟීමයි. 

යුද්ධයේ අවසන් භාගයේදී සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් කිසිවකුට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ඒවා නොවේ. කොටි සංවිධානයේද බරපතල දේශපාලන වැරදි හේතුවෙන් සිදු වූ ඒ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ මතකය අකා මකා දැමිය හැකිව තිබුණේ සංහිඳියාව ගොඩනැඟීම සඳහා වූ පියවර ඔස්සේය.යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවිය හැකිව තිබිණි. අවතැන් වූවන්ට යළි ජීවිත ගොඩනඟාගැනීම සඳහා උදව් කළ හැකිව තිබිණි. බලය බෙදාගැනීම ඔස්සේ පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය සඳහා ඒ ප්‍රදේශවල ජනතාවගේ සහයෝගය දිනා ගත හැකිව තිබිණි. 

ඒ වෙනුවට සිදු වුණේ දේශපාලන හා ආර්ථික පාලන බලතල වැඩි වැඩියෙන් රාජපක්ෂ පවුල අත‍ට ගනිමින් මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොන්දේසි මත පිරිනමා තිබුණු මෘදු ණය හා ආධාර වෙනුවට විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළී ණය ලබාගනිමින් ලංකාව දරුණු මුල්‍ය අර්බුදයක් වෙතද තල්ලු කර දමන ලදී.

ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිර්මානාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙහිලා ඕනෑතරම් අවස්ථාව තිබුණුමුත් රාජපක්ෂ පවුල් පාලනය සිය පවුල තුළ රට සිර කරමින් ආර්ථිකය පරිහාණිය දෙසට යොමු කළේය. යුද්ධය අවසන් වූ පසු රජය විසින් තොරොම්බල් කරන ලද ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් වූ ඍජු විදේශ ආයෝජන පිමි පනිමින් ඉහළ යන තත්වයක් නිර්මානය කිරීම පිළිබඳ දැන් ඔවුන් කතා කරන්නේම නැත. ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නිර්මානය කර දීමට රාජපක්ෂ පාලනය අසමත් විය. එපමණක් නොව, සංචාරක වෙළඳපොළ පවා වැඩි ආදායම් ලබාදෙන වෙළඳපොළවල් වෙත යොමු කිරීමට ආණ්ඩුව අසමත් විය. ඒ වෙනුවට ආර්ථික ප්‍රතිලාභ අවම සංචාරක වෙළඳපොළවල් වෙතින් එන සංචාරකයන්‍‍‍්‍ ගැන ඉලක්කම් විජ්ජා පෙන්වීමේ වැඩපිළිවෙලකට ආණ්ඩුව යොමු වී ඇත.

යුද්ධය නිමා වී සිව් වසරක් ගෙවී යද්දීත් ලංකාව තවමත් මැද පෙරදිග වහල් සේවයට යන කාන්තාවන් විසින් රටට එවන මුදල් මත රඳා පවතින ලජ්ජා සහගත ආර්ථිකයකි. 

යුද්ධයේ අවසානය විසින් ලංකාව ඉදිරිපිට විවර කරන ලද අවස්ථාව නාස්ති වී හමාරය. 

සිඟන්නාගේ තුවාලය පැසවන විට එයින් ඇති වන දුකම සිය ජීවනෝපාය කරගැනීමට ඔහු පෙළඹෙන්නා සේ ජනතා අසහනයම සිය පැවැත්මේ ක්‍රමෝපාය බවට පත් කරගැනීම රාජපක්ෂ පාලනයේ දේශපාලන උපායමාර්ගය වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් තහවුරු කිරීම පිණිස එල්ල වන ජාත්‍යන්තර පීඩනය සිය අභ්‍යන්තර ස්ථාවරත්වය ගොඩනඟාගැනීමට යොදා ගැනීම ලෝවැඩසඟරාවේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ' යන පද්‍යය සිහිගන්වයි. 

සිය බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ පාලනය විසින් වර්තමානයේදී දිරි ගන්වනු ලබන සිංහල බෞද්ධ නාසිවාදය වැඩිම හානිය කරන්නේ දෙමළ හෝ මුස්ලිම් ජාතීන්ට නොව සිංහල ජාතියටමයි.

දැන් ඉතින් මේ රටේ බුද්ධිමත් ජනතාව 'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

13 comments:

  1. යුද්ධය නිම කිරීමෙන් පසු ජනාධිපති තුමාට කලයුතුව තිබුනේ ඥාණාන්විතව සිතා යම් කාල සීමාවකට විපක්ෂය සමග එකතු වී,ඔවුන්ගෙ අදහස්/උපදෙස් ලබාගෙන අවතැන් වුවන්ගේ ඇතුළු සියලු ප්‍රශ්න විසදමින් සැලැස්මකට අනුව රට සංවර්ධනය කිරීමයි.මෙහිදී රනිල්ගේ සහය ඉතා වැදගත් වුවා.
    නමුත් සිදුකලේ යහමින් මුදල් විසිකරමින් විපක්ෂයේ තමන් ගැන පමණක් සිතන බත් බැලයෝ ටිකක් අරන් තමන් ශක්තිමත් වී Rajapaksha & Co.PLC පිහිටවගෙන ඒ කොම්පැනියෙ ඩිරෙක්ටර්ලට ඕන විදියට රට කරවීමයි.
    "හා ඔය ඇති" කියන්න බුද්ධිමත් ජනතාවක් දැන් ලංකාවෙ.දැන් ඉන්නෙ රු.500/=යි,බත් පැකට් 1ට සහ අරක්කු කාලට "ඔහොම යං,ඔහොම යං ලොක්කා"කියන බහුතරයක්නෙ.

    ReplyDelete
  2. ඔබගේ ලිපිය ඉතාමත් කලෝචිත ලිපියකි. රජයට මෙතරම් පිස්සු කෙලීමට හැකිවී තිබෙන්නේ හරි හමං විපක්ෂයක් නොමැති කමයි. විපක්ෂයට තමන්ගේ බලය පෙන්වීමට හැකි අවස්තාවන් ‍රැසක් පැහැර ඇත.ඉතාම තීරනාත්මක අවස්ථාවල විපක්ෂ නයක තුමා තම මුඛය ජනතාව දෙසට හරවා ප්‍රකාශයක් පමනක් කර ඉතාමත් බැතියෙන් තම අධෝ මුඛය රජයට ප්‍රධානය කරයි.

    ReplyDelete
  3. රටත් සමඟම රජයද අගාදයක මුවවිටේ සිටියි.පුදුමය වන්නේ කිසිවෙකුටත් මේ ගැන අවබෝධයක් නොමැති වීමය.

    ReplyDelete
  4. 'හා, ඔය ඇති' කිවුවහම යයි කියල තමයි බය.

    හරි, කොහොමහහරි යැවුවා කියමුකෝ ඊළගට වාඩි කරන්නේ කාවද?

    ReplyDelete
  5. මේවගේ ලිපි ලංකාවේ පුවත්පත් වලට නොයනඑකත් අවාසනාවක්. ලංකාවේ පුවත්පත් සහ අනෙකුත් ජනමාධ්‍ය සියල්ලම රෙජීමයේ පාලනයට යටවෙලා. ප්‍රේමදාස පාලන කාලයේ බිහිවූ රාවය, යුක්තිය වගේ විකල්ප පුවත්පත් ඉටුකල කාර්යය අද සිදුකරන්නේ මේවගේ බ්ලොග් වලින් කියලයි මට හිතෙන්නේ. නමුත් මේවා පොදු ජනතාව අතරට යන්නේ නැහැ. අනෙත් ප්‍රශ්නය ලංකාවේ විපක්ෂයක් නැති එක. ලංකාවේ දැනට තරමක් හරි ශක්තිමත්, මිනිසුන්ට කථාකරන විපක්ෂයකට ඉන්නේ ජවිපෙ පමණයි. නමුත් ජවිපේ කැරලිකාර අතීතයත්, රතුපාටත් ලංකාවේ බහුතර ජනතාව පිළිගන්නේ නැහැ. රාජපක්ෂ රෙජීමයේ මෙම අන්තනෝමතික වැඩපිළිවෙල ශක්තිමත් වෙන්නේ මේ හේතු දෙක නිසයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහත්තයෝ, රනිල් වට ඒකරාශී වෙනවට වඩා ලංකාවේ මිනිස්සු ලිප්ටන් වටරවුමට ඒකරාශී වුනොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. ලංකාවේ විපක්ෂය අද පත්වෙලා තියෙන තැනට ගෙනාවේ වෙන කවුද? එක්සත් ජාතීන්ගේ යෝජනාව ගේනකොට රෙජීමය කිව්වේ මේක ලංකාවට විරුද්ධ විදෙස් බලවේගවල වැඩක් කියලා. රනිල් මොකද කලේ? එයා මේ රෙජිමයට මුක්කු ගහන්න ජාතික ආණ්ඩු හදන්න යෝජනා කලා. රනිල් ගැන හොඳ විග්‍රහයක් මීට කලකට පෙර ටැබූ සබ්ජෙක්ට්ස් නම් බ්ලොග් එකක පළවුණා. පුලුවන්නම් ඒක හොයාගෙන කියවන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  6. සියළු කරුණු හා එකඟයි පැරා. අද හෙටම දරුණු කඩා වැටීමකට ලක්වීම ස්ථිරයි. තම තනි මතයට ක්‍රියා කලාද, උපදේශකයෙක් හෝ කිහිපදෙනෙකුගේ උපදෙස් මත ක්‍රියා කලාද දන්නෙ නෑ. මෙයනම් සෑම අතින්ම අසමත් රාජ්‍යයක්. දුප්පත් මිනිසාගේ බදු මුදලින් ජීවත වන මේ නඩයට, ජනතාව මේ වර නම් සමාවක් දෙන එකක් නෑ. මට දුක ආයෙත් එන්න යන්නේ, මෙළෝ රහක් නැති චන්ද්‍රිකා හා පොල් බූරූ ඇමතිවරු සෙට් එකම වීමයි.

    මේ රටට දළදා සරණ කෙසේ වෙතත්, අබ සරණ නම් ඉර හඳ මෙන් ස්ථිරයි....

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා මැඩම් කියල හිතන්ට බැහැ බන්.. ආයේ එන්නෙත් මහින්ද මාම ම තමයි..බලපන් නැද්ද කියල..ඕකා ආයේ එලවන්ට බැහැ අවුරුදු 20 කටවත් ...නොදකින් කාලකන්නි රාජපක්ෂ රෙජීමය..කොටියම කාපල්ල ...

      Delete
    2. නුඹගේ උපකල්පනය වැරදියි මාතලන්.....මෙලෝ රහක් ඇති විකල්පයක් නොමැතිවීමේ වාසිය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ වෙතටමයි. පැරා මෙහි සඳහන් කොට ඇති දේවල් උනත් ඔහු තම චන්ද පදනම වෙත අලෙවි කර ඇති අයුරු මෙනෙහි කර බලන්න. වරාය ගුවන් තොටුපල වැන්නෙහි ආර්ථිකමය වාසියක් රටට නැති වුනත් මේ රටෙහි බහුතරයට ඒවා හෙන ආතල්ය.

      අවසන් වැකියට නම් එකඟය. මෙයට කලින් ඇනෝ කෙනෙක් කියා තිබුනා මෙන් කිසිවෙකුට ඒගැන වගේ වගක් නැත. ඔවුනට තිබෙන ප්‍රශ්නය චාවේස්ගෙන් පසු වෙනිසියුලාවට කුමක්වේද යන්නය....

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.