2013-06-01

දහසක් මල් පිපෙන සුන්දර බ්ලොග් අවකාශය හා රාවයේ හෙවත් අභාවයාගේ අභාවය

රාවය පුවත්පත වැටෙන්නට යනවා ය, ඒ නිසා කොහොම හරි එය ජැක් ගසා කෙළින් කළ යුතු ය කියා මහා හා හූවක් දැන් ලංකාවේ 'ප්‍රගතිශීලීන්' හා 'වාමාංශිකයන්' අතර තිබේ. 

2004, 2005 වසරවල අපි හිරු පුවත්පත නැවත පටන් ගත්තේ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන ය. ලංකාවේ දෙමළ ජනයා හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගළය පිළිබඳ සිංහල සමාජය තුළ පවත්නා තොරතුරු ඌනතාව මගහැරවීම ඒ අතරින් ප්‍රධාන අරමුණකි. අනෙක මාක්ස්වාදී පදනමින් අප විසින් මූලධාර්මිකව පිළි ගන්නා ලද දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදයක් සමාජයේ ඇති කිරීමයි. 2004 මහ මැතිවරණයෙන් දකුණේ මෙන් ම උතුරේත් ජාතිවාදීන් සැලකිය යුතු බලයක් දිනා‍‍ගෙන සිටි මෙසමයේ මහත් අභියෝගාත්මක කාර්යයක් වූ හිරු පුවත්පත පළ කිරීම ආරම්භයේ සිට ම අති දුෂ්කර විය. හිරු පුවත්පත බිඳ වැටීමට හිරු කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් ද හේතු වන්නට ඇත. 

එහෙත්, හිරු බිඳ වැටුණු යුගය වනාහි ලංකාවේ සාම රාජ්‍ය නො වන සංවිධාන ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙන් දැවැන්ත සල්ලියක් අතපතගාමින් සිටි කාලයකි. හිරු පුවත්පත රැක ගන්නට අප දන්නා තරමින් නම් ලංකාවේ දකුණේ ප්‍රසිද්ධ ප්‍රගතිශීලීන් කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. හිරුගෙන් පසු මේ දක්වාමත්, අපි එකී ස්ථාවරයන් වෙනුවෙන් දිගින් දිගට ම අරගළ කර ඇති මුත්, අපට උපකාර කරන්නට පොතක් මිළ දී ගන්නැයි කළ ඉල්ලීමට හෝ කිසිවෙක් ප්‍රතිචාර දැක්වූයේ නැත.

අප දන්නා තරමින් ජනරළ හා ලංකා වැනි වාමාංශික පුවත්පත් පවත්වාගෙන යන්නේ රාවයටත් වඩා දුෂ්කර තත්වයක් තුළ ය. විශේෂයෙන් ම ජනරළ පුවත්පත (කලින් ලංකා) ද දිගු ඉතිහාසයක් ඇති පත්තරයකි. කලක් ජාතිවාදයට සේවය කරමින් ආණ්ඩුවේ දැන්වීම්වලින් යැපීමේ භාග්‍යය ලද මේ පුවත්පත පසුකලෙක බරපතල දේශපාලන තීන්දුවක් ගෙන, එකී වාසි අතහැර ජනප්‍රිය නො වන වාම ස්ථාවරයන් වෙත චලනය වූ එකකි.

රාවයට ද මෙවැනි කුප්‍රකට, කුහක ඉතිහාසයක් තිබේ. චන්ද්‍රිකා බංඩාරනායක බලයට පත් කරන්නට රාවය කළ සේවය හා පසු කලෙක චෞර රැජින වැනි ලිපි ලේඛන මාලාවන් ලියා ඕපාදූප පුවත්පත් කලාව ජනප්‍රිය කරන්නට රාවය කටයුතු කළ හැටි අපට මතක ය. (මෙය අලුත් හඳුන්වා දීමක් නො වේ. ලංකාවේ පුවත්පත්වල ප්‍රවෘත්ති ය කියා සාමාන්‍යයෙන් පළ වන්නේ ඕපාදූප හෝ අතේ රෝල් ය. මේ සම්බන්ධයෙන් වාමාංශික පුවත්පත් චිර ප්‍රසිද්ධ ය.) එසේ ම, චන්ද්‍රිකාවන් විවේචනය කළ ජීවයෙන් වත්මන් පාලක පවුලේ අධම ක්‍රියා විවේචනය නො කරන රාවය අනියමින් එයට සේවය කරයි.

එනයින් ගත් කල රාවයත් හොඳ මෙන් ම නරක ද මුසු වූ ඉතිහාසයක් ඇති පුවත්පතකි. එහෙම කියා එයට නිවැරදි වන්නට ඇති හිමිකමට අප අත නො ගැසිය යුතු ය.

මෙතැන අපට තිබෙන ප්‍රශ්නය හිරු, ලංකා හෝ ජනරළ හෝ වැනි වාමාංශික පුවත්පතක් ආරක්ෂා කර ගැනීමට නැති උනන්දුවක් රාවය ආරක්ෂා කර ගැනීමට ඇති වන්නේ කෙසේ ද යන්නයි. හිරු, ලංකා හෝ ජනරළ හෝ වැනි පුවත්පත් ‍දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධ වූ ඒවා ය. රාවය දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් ද යන්න ගැටලුවකි. දේශපාලන හෝ සමාජ  ව්‍යාපාරයක් නම් එය කිසියම් නිශ්චිත දිශාවක් වෙත ජනතාව යොමු කරයි. රාවය එහි ආදර්ශ පාඨයේ කියන අන්දමේ සංවාදශීලී පුවත්පතක් නම් එයට සමාජ සංවාදයක් ඇති කරන්නට පුළුවන්කම තිබේ. රාවය ඇත්තෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී සංවාද අවකාශයක් ද?

රාවයේ පුවත්පත් කලාව හඳුනා ගැනීම සඳහා අප එය ලංකාදීප පුවත්පත සමග සන්සන්දනය කළහොත්, ලංකාදීප දැන්වීම්කරුවන් විසින් පාලනය කරන පුවත්පතකි. එහෙත්, රාවය තවමත් පාඨක රුචිය මත රඳා පවතින පුවත්පතකි. රාවයේ වත්මන් පාඨකයෝවනාහි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන, වාමාංශික නැඹුරුවක් අඩු වැඩි වශයෙන් ඇති, තරමක් ගැඹුරු කියවීම්වලට කැමති, රාජපක්ෂ විරෝධී, රනිල්ට කැමතිමුත් කෙළින් ඒ බව නො කියන, ධනවාදයට කැමති මුත් ඒ බව ප්‍රසිද්ධියේ කියන්නට බිය, ජාතිවාදයට විරුද්ධ, කොටින්ට පක්ෂ හෝ විරුද්ධ, තමන් සම්බන්ධ නො වන තාක් කල් දූෂණයට විරුද්ධ පිරිසකි. මුද්‍රිත කඩදාසිවලට ඇති රොමැන්තික් ආශාව මේ අයගේ තවත් ලක්ෂණයකි. 

රාවය මේ පුංචි පාඨක වෙළඳපොළට ආමන්ත්‍රණය කරන සුළු පිරිසකගේ මතවාදී ආධිපත්‍යය සහිත මාධ්‍යයකි. රාවය තමන් ප්‍රවර්ධනය කරනු ලබන මාධ්‍ය නිදහස තම මාධ්‍ය භාවිතාව තුළ ප්‍රායෝගිකව පරිහරණය කරන මාධ්‍යයක් නො ‍වේ. රාවය කර්තෘ වික්ටර් අයිවන් තමන් ගාන්ධි අනුගාමිකයෙකු බව කියයි. තමන් ලෝකයේ අපේක්ෂා කරන වෙනස බවට තමන් ම (මුලින්) පත් විය යුතු බව ගාන්ධි කීවේ ය. රාවය එහෙම කර තිබේ ද? අඩු තරමේ මාධ්‍ය ලෝකයේ තමන් විසින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ලබන මාධ්‍ය නිදහස රාවය තම බල අවකාශය තුළ සෙසු අයට ලබා දී තිබේ ද?

එනයින් ගත් කල රාවය කුහකකමේ ප්‍රතිමූර්තියකි. කලක් රාවයට කොලමක් ලියූ මේ ලේඛකයා එයින් ඉවත් වුණේ මාධ්‍ය රාජ්‍ය නො වන සංවිධාන විවේචනය කළ මෙන්න මේ ලිපිය පළ කිරීම රාවය ප්‍රතික්ෂේප කළ නිසා ය. කියවන්න: ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම මෙම ලිපිය දැන් පිටරට සිට මහා ලොකු කැක්කුමකින් ලංකාව ගැන, ලංකාවේ මිනිසුන් ගැන, මිය ගිය දෙමළ මිනිසුන් ගැන දොඩවන මාධ්‍ය වීරයන්ගේ ඇත්ත ගැන අප දන්නා කරුණුවලින් අංශු මාත්‍රයක් පමණි. ඔවුන් වර්තමානයේ රඟ දක්වන ඇතැම් සංදර්ශන බලමින් අපි නිහඬව ඉන්නේ හුදු අනුකම්පාව නිසා ය. මන්ද, ඒ අය කොළ පාට තණ බිම් සොයා ගොස් ඒවා නො ලැබීමේන් අත් කර ගත් අපේක්ෂා භංගත්වය අප මත ‍හෝ මෝචනය කරගෙන සැනසෙන බැවිනි.

එම සිද්ධිය සම්බන්ධ විස්තරය මෙම ලිපියේ තිබේ. අපේ උපන් දිනයට රාවයෙන් ලැබුණ තෑග්ග
 
 එම ලියුම්වලට රාවය වත්මන් කතුවරයා විසින් දක්වන ලද ප්‍රතිචාරය මෙසේ ය:රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී

රාවය වික්ටර් අයිවන් කියන අන්දමේ පටිසෝතගාමී අභිචාරිකාවක් නොව අනුසෝතගාමී අභිසාරිකාවකි. මේ පටිසෝතගාමී, අනු‍සෝතගාමී ආදී බරසාර වචනවල තේරුම දැන ගැනීම සඳහා මෙම ලිපිය කියවන්න. බුද්ධිමය කරාටේකාරයන්ගේ පටි හා පටිසෝතගාමී රාවය

රාවය සම්බන්ධ අපේ අත්දැකීම් මත පදනම් වන මෙම ලිපි අපි මෙහි නැවත සම්බන්ධ කරන්නේ එක් කරුණක් පෙන්වා දීම සඳහා ය. රාවය යනු අත්තුක්කංසන පරවම්භනයෙන් හෙවත් තමා ම උසස් යැයි සිතා කටයුතු කරන අන්‍යයන් හෙළා දකින ලක්ෂණයෙන් යුත් තවත් කල්ලියක මතවාදී ආධිපත්‍යය පවත්වාගෙන යන මෙවලමක් මිස නිදහස් මාධ්‍ය අවකාශයක් නො වන බවයි. මන්ද, මාධ්‍යයක නිදහස මිනිය හැක්කේ කවි පිටුව වැනි තැන්වලින් නො වන නිසා ය. මේ කල්ලිය වනාහි කැඳ පිසූ ආඬි හත්දෙනා වැනි කල්ලියකි. එකී කැඳ හැලියේ දීප්තිගේ පෙරටුගාමී පක්ෂයේ, ඊනියා සාම රාජ්‍ය නොවන සංවිධානවල, දෙමළ ඩයස්පෝරාවේ, රනිල් වික්‍රමසිංහගේ, මහින්ද රාජපක්ෂගේ ආදී එකකට එකක් නො පෑහෙන බලවේගවල බලපෑම් තිබේ. 

අප පිවිසෙමින් සිටින්නේ දැන්වීම් මත පදනම් වූ වානිජ පුවත්පත් කලාවත්, පුරවැසි මාධ්‍ය කලාවත් අතර තරගකාරී යුගයටයි. මෙහිදී අපි පැරණි 'නම්බුකාර' මාධ්‍යවේදී අනන්‍යතාව අතහැර බ්ලොග්කරුවන් වී සිටිමු. අපට කවුරුවත් පඩි ගෙවන්නේ නැත. එහෙයින් අපි දුප්පත්කම‍ට හැර අන් කිසිවකුට බිය නැත. අපේ ලිපි සංස්කරණය කරන්නට බලවත් උප කර්තෘවරු නැත. අපි කඩදාසි හා තීන්තවල රොමැන්තික සුව‍ඳින් හදවත් බර කරගෙන දේශපාලන අරගළය දුබල කර ගන්නා මුග්ධ‍යෝ නො වෙමු. 

එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවා පසුගිය දිනවල සිය මුද්‍රිත සංස්කරණය නවතා දැම්මේ පවතින යථාර්ථයට මුහුණ දෙමිනි. රාවය පවත්වාගෙන යාම සඳහා මිලින්දගෙන් සල්ලි ඉල්ලන්නට හෝ මහින්දගෙන් දැන්වීම් මුවාවෙන් මහජන මුදල් සොරකම් කරන්නට හෝ සිඟා කන්නට හෝ ඕනෑ නැත. 

තවමත් කඩදාසිවල අතින් ලියනමින් ධනවාදයට දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කරන විප්ලවවාදීන්ට මේ මොහොතේ විප්ලවය වෙනුවෙන් කළ හැකි ලොකු සේවයක් වන්නේ සිංහල අකුරු ටයිප් කරන්නට ඉගෙන ගැනීමයි. මගේ අන්තර්ජාල සම්බන්ධතාව අලුත්වැඩියා කිරීමට ඊයේ පැමිණි ටෙලිකොම් ආයතනයේ සේවක මහතකු කියූ කරුණක් වන්නේ ඔවුන් විසින් මතුගම හා අවට අන්තර්ජාල සම්බන්ධතා 2000කට අධික ගණනක් නඩත්තු කරන බවයි. මෙය නිල සංඛ්‍යා දත්තයක් නො වේ. ‍එහෙත් මා දන්නා පමණින් ‍මතුගම නගරයේ රාවය පත්තර 25ක්වත් විකිණෙන්නේ නැත. හිරු කරන කාලයේ අපට හිරු පත්තර 10ක්වත් මතුගම නගරයේ විකුණා ගන්නට බැරි විය.

මේ වනාහි පුරවැසි මාධ්‍ය කලාවේ යුගයයි. ලංකාවේ ඇතැම් වාමාංශිකයන් තවමත් හිතන්නේ ෆේස්බුක් යනු බොරු නමකින් පෙනී සිටිමින් කාන්තාවන් රැවටීමට හැර දේශපාලනය සඳහා භාවිතා කළ නො හැකි දෙයක් ය කියා ය. බ්ලොග්කරණය ජනප්‍රිය වී තිබෙන වත්මන් යුගයේ බිම් මට්ටමේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් සඳහා රාවය වැනි පත්තර අමාරුවෙන් නඩත්තු කරන්නට අවශ්‍ය නැත. 

අපි 2005දී හිරු කණ්ඩායමෙන් ඉවත්ව ලංකා ලෙෆ්ට් නම් වෙබ් අඩවිය දියත් කළ දිනයේ තමන් කම්කරු පංතියේ යයි සිතා සිටින ඇතැම් වාමාංශිකයෝ දිව හක්කේ ගසාගෙන ජාතික පුස්තකාල ශාලාවේ පිටුපස සිට අපට ඔලොක්කුවට සිනාසුණ හ. ඒ හිනා වූ අය දැන් විදෙස් රටවල සිට ෆේස්බුක් හරහා ලංකා‍ව දෙස බලාගෙන විරිත්තමින් සිටින අන්දම දුටු විට අනුකම්පාවක් ඇති වේ. 

බ්ලොග්කරණය ඉගෙන ගත්තොත් වාමාංශිකයන්ට ලබා ගත හැකි මුල් ම විමුක්තිය වන්නේ රාජ්‍ය නො වන සංවිධානවල අරමුදල්වලින් මිදීමයි. රාවයෙන් මිදීම ද රාජ්‍ය නො වන සංවිධාන අරමුදල්වලින් මිදීමේ මගකි.

මහජනතාව තමන් මෙන් අන්තර්ජාලයෙන් දුරස්ථ යයි වාමාංශිකයන් හිතනවා නම්, රාවය වෙනුවෙන් පරිසරය විනාශ නො කර (කඩදාසි හැදීම සඳහා ගස් නො කපා) පරණ පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවක් සහිත මහජන සේවා පරිගණක පද්ධතියක් ගම් මට්ටමින් බිහි කර පරිගණක හැසිරවීම නො දන්නා මිනිසුන්ට එය භාවිතා කර පුවත් දැන ගන්නා හැටි උගන්වන්නට පියවර ගත හැකි ය. කාගෙත් අතේ ඇති මෙවලමක් වන ජංගම දුරකථනය භාවිතා කර අන්තර්ජාලයට පිවිසෙන හැටි විප්ලවවාදීන්ට අලුත් පරම්පරාවෙන් ඉගෙන ගන්නට පුළුවන.

අපි මෙම බ්ලොගය හරහා වම පිළිබඳව, සමාජවාදය පිළිබඳව සංවාද ඇති කරන්නට උත්සාහ කර ඇත්තෙමු. එහෙත්, අප දන්නා ඔය සම්භාව්‍ය බුද්ධිමත්තු මේ මහජන අවකාශයට පැමිණ අදහසක් පළ කළේ ඉතා කලාතුරකිනි. එයට හේතුව එක්කෝ ඔවුහු බ්ලොග්වල කමෙන්ට් කරන හැටි නො දැනීමයි. නැතිනම්, ඔවුන් තවමත් හිතාගෙන ඉන්නේ සංවාද කියන්නේ පත්තර පිටුවක් විතර වල් පල් ලියා, අනුන්ගේ අදහස් තඹයකට මායිම් නො කිරීම නම් වික්ටර් අයිවන් ප්‍රතිපත්ති ය ය කියා ය. 

රාවය වැනි සම්ප්‍රදායික ජනමාධ්‍ය විසින් කරන ලද විශිෂ්ට සේවයක් තිබේ. ඒ වනාහි බ්ලොග්කරණය ජනප්‍රිය කිරීමයි. ඔවුන් එය කළේ ලියන්නට පුළුවන් හා කැමති මිනිසුන්ට දොරටු වැසීම හරහා ය. රාවයෙන් දොට්ට වැටුණු අපි ලිපි දහස් ගණනක් ලියා අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයන් පෝෂණය කළෙමු. ප්‍රගතිශීලී ඊ අන්තර්ගතයන් නිර්මානය කිරීම වර්තමානයේ ධනවාදී මාධ්‍ය භාවිතාවට එරෙහිව කළ යුතු විප්ලවීය අරගලයක් බව රාවය ඇතුලු සම්ප්‍රදායික මුද්‍රි මාධ්‍යවල 'මාධ්‍යවේදීහු' නො දනිති. 

මේ සම්ප්‍රදායික ජනමාධ්‍යවල ලියන මහත්තුරු නො දන්නා තවත් කාරණයක් වන්නේ මේ වන විට දහස් ගණනක් සිංහල බ්ලොග් විසින් රාවයට වඩා යුගයක් ඉදිරියට ගිය සුන්දර පුරවැසි මාධ්‍ය අවකාශයක් නිර්මානය කර තිබෙන බවයි. ඔබට කරන්නට පුළුවන් එක ම දෙය දිනෙන් දින ක්ෂය වෙමින් තිබෙන, නූතන අර්ථයෙන් ගත් කල මාධ්‍ය සාක්ෂරතාවෙන් හීන අන්තර්ජාලයට නො එන රාවයේ පාඨක ප්‍රජාව ඒ සුන්දර ලෝකයෙන් සඟවා තබා ගැනීම පමණි. 

(මෙම ලිපිය රාවයේ පළ කිරී‍මට තරම් ආත්ම ශක්තියක් රාවය කර්තෘ මණ්ඩලයට ඇති වේවා යි අපි පතමු. මන්ද, පුරවැසි මාධ්‍ය යුගයේ එහෙම විවෘතභාවයක් නොමැතිව පවතින්නට බැරි ය.)  


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

26 comments:

  1. රාවය ගොඩ ගන්න තියෙන උවමනාව හිරු ගොඩ ගන්න නොතිබුනේ ඇයි ද කියන එක නම් පැහැදිලියි නේද?

    ඒක නිකං ගව ඝාතනය ගැන කතා කලාට කුකුල් ඝාතන ගැන කතා නොකරනවා වගේ කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. HARIYATA KAKKA ANOLAWA GHATHANAYA KARANAWA WAGE.

      Delete
  2. රාවය ගැන නම් මගේ තමය මේකයි.

    ඔය සම්මාදම් කරන උන්නැහෙලා ඇයි රාවය කියන නම ගැන ඔච්චර තැවෙන්නේ.

    ඔය සල්ලි දාලා "නව රාවය" කියලා පත්තරයක් පටන් ගන්න පුළුවන් නේ.

    අර නුවර පාරේ ජිනදාස ගේ තලගුලි කඩේ අනිත් ඵැත්තේ තව තලගුලි කඩයක් තියෙනවා වාගේ, එහෙම නැත්තම් කිරිබත්ගොඩ සුවීට් හවුස් හරියේම නව සුවීට් හවුල් එකක් තියෙනවා වාගේ!

    ReplyDelete
  3. පැරා ගේ ලිපියෙන් මතුවෙන එක් අපුරු කරුණක් තමයි මෙතන වාමාංශිකයින් සහ වාමාංශික පත්තරකරුවන් කියන යෙදුම්වලින් අදහස් කෙරෙන්නේ වයසක අය වීම. මං කියවා ඇති තරමින් තරමක වයසක පොරවල් වෙන කුසල් පේරේරා, වියන්ගොඩ, සුනන්ද දේශප්‍රිය වගේ අය ගැන සලකන කොට ඒ අදහස වැරදියි කියා හිතෙනවා.

    වයසක වාමාංශිකයින්, පත්තරකාරයින් නැති වුණාට මේ ජාලයේ දේශපාලනයේ යෙදෙන කොපමණ තරුණ අය සිටිනවාද? බූන්දිය හොඳ උදාහරණයක්.

    ReplyDelete
  4. http://lankacnews.com/sinhala/news/94954/

    බලය බෙදීමෙන් සියලු රෝග නිවාරනය වන බව පවසන වාමාංශික කේවට්ටයනි! දෙමල සංධානයේ මෙවැනි ප්‍රකාශ වලට ඔබලාගේ විග්‍රහ කුමක්ද​? මේ කියන විදිහටම දකුණ සිංහල නිජ භූමිය යැයි පවසමින් දකුණේ දෙමල මුස්ලිම් උන් පන්නා දැම්මොත් නම් උබලාගේ මූසල කටවල් ඇරෙනවා සිකුරුයි. දැන්වත් තේරුම් ගනින් දෙමල ජාතිවාදය කියන්නේ ෆැසිස්ට් බෙදුම්වාදයක් මිස ඊනියා විමුක්ති අරගලයක් නොවන බව​.
    අදෝමැයි! උබලාගේ ටිකිරි මොලයක් තරම​.......

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ලයන් හාර්ට්

      එතකොට ඔයා , වීරවවංශ වගේ අයගේ සිංහල ජාතිවාදය මාර ශෝක්ද? ඒක පැසිස්ට් වාදි නැත්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කලාමැදිරියා@
      සිංහල මුස්ලිම් ජනයා උතුරින් නැගෙනහිරින් පලවා හැරීමේ දෙමල නට්සිවාදය ඔබ නොදැනුවත්වම පිළිගත්තා.වීරවංශලා කළේ ඊට එරෙහිවීමයි.ඕගොල්ලන්ගෙ මහලොකු ස්ටාලින් කළෙත් වරදක්නෙ හිට්ලර්ට එරෙහි වෙලා.මාක්ස්වාදීන් මේ තරම් මෝඩ මොකද මාක්ස් කිව්ව කියල ප්‍රභකරන් කරන ඕනම වැඩක් හරි.කොටි මුන්ට පුකෙනුත් හිනාවෙනවා.මාක්ස් ,ලෙනින් ,මාඕ ඔය ඕන බල්ලෙක් කියපු එකක වචනානුසාරෙන් පිළිගන්න එපා.හිතල බලපල්ල මේක හරිද වැරදිද කියල.

      Delete
  5. හිරු පුවත්පත මෙන්ම එල් ටී ටී යේ දේදුන්නත් දෙමළ ත්‍රස්තවාදය සාධාරණීකරනය සදහා පෙනී සිටියහ.ඇතැම් විට දේදුන්න ඉක්මවා යමින් හිරු දෙමළ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ත්‍රස්තවාදය ගැන කරන කවරම හෝ විවේචනයක් අන්ත ජාතිවාදයක් ලෙස අපහාස කරමිනි.පැරකුම් හෝ වෙනත් ත්‍රස්තවාදයට සහාය දක්වන්නකු වුවද නිදහසේ ගමන් බිමන් යන්නේ ත්‍රස්තවාදය නැති නිසාය.පැරකුම් මාක්ස්වාදයෙන් අන්ධව දෙමළ ත්‍රස්තවාදය නැමැති අසූචි ගොඩේ ලගිමින් එයම නුභව කරන පණුවෙකි.පැරකුම් භාෂණ වැන්නන්ට අනුව දෙමළ ත්‍රස්තවාදීන් සිංහල ගමකට පැන කිරි දරුවන් කපා කොටා මැරීම ප්‍රගතිශීලීය.සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී යැයි මාක්ස් ,ලෙනින් වැනි සර්වඥයන් කියා ඇති හෙයිනි.එහෙයින් එම ප්‍රගතිශීලී ක්‍රියාවලට එරෙහි වීම ප්‍රතිගාමීත්වයයි.අර විදියට කිරි දරුවන් මරද්දී මවුවරුන් හඩා වැලපීම පවා ප්‍රතිගාමී ජාතිවාදී ක්‍රියාවකි.ඒ අසරණ ගම්වැසියන් තම පන බේරා ගැනීමට කැලෑවැදීම පවා ප්‍රතිගාමීත්වයට සේවය කිරීමකි.
    මෙතන ඇත්ත කථාව මෙයයි.ඇමරිකාව බිමට සම්තලා කරන්නට හඩතලන මාක්ස්වාදීන් ව නඩත්තු කරන්නේ ඇමරිකාවයි.ට්‍රොට්ස්කිවාදය ඇමරිකාවේ නිර්මානයක් වන සේය.සෝවියට් දේශයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය නඩත්තු කරන ලද්දේ ඇමරිකාවයි.
    අද ඇමරිකාව මාක්ස්වාදය පාවිච්චිකරන්නේ වෙනත් රටවල දේශීයත්වය දුර්වල කිරීම සදහායි

    ReplyDelete
  6. ඔබ අදහස් දක්වන්නේ අප සිතන්නේ යයි ඔබ සිතන දේ ගැන ය. අප සිතන්නේ කුමක්දැයි කියා නිච්චියට ම දන්නා ඔබ නම් ඇත්තෙන් ම ශාස්තෲ කෙනෙකි.

    ඔබට ඔබ සිටින කණගාටුදායක තත්වයෙන් පියවි තත්වයට පැමිණීමට අවශ්‍ය නම් කරුණාකර අනෙක් අය සිතන්නේ කුමක් ද කියා පළමුව ඔවුන්ගෙන් අසන්න.

    මේ ලිපියත් කියවා බලන්නPsychological projection

    ReplyDelete
  7. "සුන්දර පුරවැසි මාධ්‍ය අවකාශයක්"
    මේක ඉතා හොද සංකල්පයක් තමයි.(මේ ලියන මමත් ඒකේ පුංචි ම පුංචි හරි කොටසක් නියෝජනය කරනව නේ කොමෙන්ට් වලින් හෝ ). ඒත් ආර්ථික අතින් එච්චර පලදායී නැහැ නේද?

    ReplyDelete
  8. සල්ලි වලට හරි චීත්තයට හරි නැවෙන්නේ නැති මාධ්‍යවේදියෙක් ගැන මට කියනවවද? ලක්ශෙන්ට නැවෙන්නේ නැති එකා මිලියනයට නැවෙනවා...මිලියනයට නැවෙන්නේ නැති එකා බිලියනයට නැවෙනවා...වැඩේ තියෙන්නේ බිලියනයක් දීලා වැඩේ කර ගන්න තරම් මාධ්‍යවේදීයෙක් ලංකාවෙ නැති එකයි... ඊට වඩා ලේසියි බිලියනම ලොක්කට දීලා වැඩේ කර ගන්න එක....වීත්තේනම් ඉතින් ලොකු පොඩි බේදයක් ඇත්තේම නෑ නේ,,සිත ගිය තැන මාලිගාව....පොර ටෝක්ස් දුන්නට පැරාගේ උනත් ගානක් ඇති.....

    මේකට දාන පිලිතුරත් මම ම කොටලා දාන්නම්...ඒත්කොට ලේසී නේ...


    'අනේ අපි නම් එහෙමම නෑ හරිය.. ඒක තමයි අපි පාරට බැහැලා බඩට නොකා අපේ මථවාදයට ලියන්නේ.....'

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නෑ මයියා, අපි නම් සල්ලි දුන්නොත් ගන්නවා. අරවත් ගන්නවා.

      Delete
  9. මම ඉන්නෙත් ඔය මතයෙමයි. මට ඔයිට වඩා දරුණු විවේචනයකුත් තිබෙනවා. ඒත් අපේ සංස්කෘතියෙන් අප ලද හික්මීමක් තිබෙන නිසා සියල්ල ලියුවේ නෑ. මේ බුද්ධිමතුන්ට මම ඊ මේල් සිය ගනනක් යවලා ඇති බ්ලොග් ළෝකයට පිවිසෙන්න කියලා. එකකටවත් අඩු ගානේ උත්තරයක්වත් නෑ. රාවයත් එක පිරිසකට පමණක් සීමා වෙලා තියෙන්නේ. විශේෂයෙන් මෑත කාළයේ. මේ වෙනුවෙන් පෙනි සිටින සියළු දෙනා අද තම සිවිල් පොරත්වය පවත්වාගන්නේ රාවය නිසා.. ඒත් අපේ තියෙන මනුස්සකමට තමයි.. උදව් කරන කෙනෙකුට උදව් කරන්න.. හිඟ කන කෑල්ලත් දැම්මේ.. ඔච්ච්‍රම අහේනියක් තියෙනවනම්.. කාන්තා පත්තරේකුයි.. "නවසරණ" පත්තරේකුයි පටන් ගත්තනම් ඉවරනේ... රෙද්දේ පටිසෝතගාමි....

    ReplyDelete
  10. MAMATH RAVAYA PATAN GATH DA SITAMA KIYAWANAWA. WENNE MOKDA KIYA BALANA INNAWA.

    ReplyDelete
  11. රාවයේ වත්මන් තත්ත්වය කෙසේ වෙතත් එය ආරම්භ කළ වකවානුව මට තවම මතකයි. එවකට සරසවි වරම් ලබා සරසවියට යන්න ඇඟිලි ගනිමින් සිටි අපිට සතියෙන් සතිය, මාසයෙන් මාසය සහ අවුරුද්දෙන් අවුරුද්ද අන්තිමේ අවුරුදු තුනක් යනකම් සරසවි වසා දැම්මා. මේ අසූව දශකයේ අවසාන හරියේ සිදුවූ ජේවීපි බෙරයේ පලු දෙකම නැතිවූ තොවිලයේ අවසන් කාලයයි. මගේ ජීවිතයේ සහ මගේ සමකලයින්ගේ ජීවිතවල ඉතාමත්ම කාලකන්නි වකවානුව එයයි. ඒ කාලයේ අපේ හිත්වල කැකෑරෙන වයිරය එලියට පැන්නේ ඔය රාවය, යුක්තිය සහ හිරු වගේ විකල්ප පුවත්පත් තුළිනුයි. රටම අඳුරු යුගයක පසුවූ ඒ කාලයේ ෆයිල් කවර අස්සේ දාගෙන ඔය පත්තර බැලුවා මට මතකයි.

    නමුත් වර්තමානයේ තිබෙන තත්ත්වය ඒ කාලයට වැඩ බොහෝ වෙනස්. අද තරුණ පරපුර අතර මුද්‍රිත මාධ්‍යයට වඩා පරිඝනක මාධ්‍යය ජනප්‍රියයි. ටයිම්ස්, නිව්ස්වීක් වැනි අන්තර්ජාතික ප්‍රකාශන පවා මුද්‍රිත මාධ්‍යයෙන් ඉවත්වන්නේ මෙවන් පසුබිමක් මතයි. රාවය ආණ්ඩුවට සම්භන්ධ කෙනෙක් මිලදී ගන්න යනබවක් පසුගිය කාලයේ ඇතැම් පුවත් අඩවිවල පළවුණා. මටනම් හිතෙන්නේ රාවයට ඇති හොඳම විකල්පය අලුත් මුහුණුවරකින්, විද්‍යුත් මාධ්‍යයක් ලෙසින් පළවීමයි.

    ReplyDelete
  12. සම්භාව්‍ය බුද්ධිමතුන් මෙහි පැමිණ අදහස් දැක්වුවත්, එයින් වැඩක් වනවාද පැරකුම්? මොකද දේශපාලනය අන්තිමට "තීරණය කරන්නේ" බහුතර "පීචන් සාමාන්‍ය" ජනතාවයි. එවැනි අය සමගයි ඔබ හරි නම් බ්ලොග් අවකාශයේ සංවාදයේ යෙදිය යුත්තේ.

    ReplyDelete
  13. ඔබගේ බ්ලොග් අඩවිය දැන් හොඳ පෙනුමයි. පිළිවෙලයි. උදවු උපකාර ඉල්ලා අපූරුවට සරසා තිබෙනවා. ඒ සෑම දෙයකින්ම ඔබ ඔබගේ ජීවිතයට කිසියම් උපකාරයක් කරනා ලෙස ආයාචනය කරනවා. ඒ වගේම ඔබගේ ඡායාරූපයත් ඒ සියලු සංඥාවන්ගේ සමස්තය ලෙස යාචක බැල්මක් හෙලමින් පාඨකයා දෙස වේදනාවකින් බලා සිටිනවා.

    අවස්ථාවක් ලද හැම මොහොතකම ඔබගේ ව්‍යාපෘතියට කිසිවෙකුත් මුදලින් හෝ කිසිදු උපකාරයක් කරන්නට ඉදිරිපත් නොවීම ගැන කනස්සල්ල පළ කරනවා. ඔබගේ පොතවත් මිළට ගන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවන වග කනගාටුවෙන් සඳහන් කරනවා. වරක් දෙවරක් නොවෙයි හැම තැනම ඔය කතා ටික ඔබ ලියනවා. ලියනවා හෝ ලියැවෙනවා.

    මේ බ්ලොග් අවකාශයේ අප දකින වේදනාත්මකම ලේඛකයා ඔබයැයි අපට සිතෙන්නට ඔබ සලස්වනවා. අතීතකාමී ඔබ අතීත අත්දැකීම් විකුණන්නට හොඳ ගැනුම්කරුවන් සොයමින් සිටිනා බැව් අපට පෙනේ. ඔබගේ ගානට ඒ අය එනතුරු ඔබ අත් නොහරින පුද්ගලික ව්‍යාපෘතියක් වෙනුවෙන් ලියමින් ඉන්නවා. ඔබගේ පරණ ලිපි තරම් වර්තමාන ලිපි සාරගර්භ නොවන රහසත් එයමයි.

    මේ සියල්ලෙන් ඔබ කියන්නේ ඔක්කොටම වඩා ජීවත් වීම පළමු කාරියේ තැබිය යුතු බව නේද? අපි ඒක පිළිගන්නවා. ඉතිං අමතර ආදායම් මාර්ගයක් විදියට ඇයි මේකම තෝර ගත්තේ?

    ඔබ දේශපාලන මතවාදීමය ලෙස හොඳම තැනක ඉන්නවා යැයි අපි සිතමු. හැබැයි ඒ ඉන්නේ ජීවත් වෙන්න රස්සාවක් කරන ගමන් අමතරව කීයක් හරි හොයා ගන්න නේද කියල දැනුනම හරිම කනගාටුවක් ඇති වෙනවා.

    රාවයේ එකට ගොනුවෙලා ඉන්න පිරිසත් ඔබ වගේම තමයි. කිසිම වෙනසක් නෑ. දන්නේ ලියන්න විතරයි. කම්මැලියි වෙන කිසිම දේකට. එනමුත් ඒ අයට කෙල වෙන්නයි යන්නේ කියලා ඇස් පනාපිටම පෙනෙද්දී ඔබ මේ වගේ ලිපියක් ලිවීමෙන් එලියට එවන්නේ ඔබේ සැබෑ දරිද්‍රතාවය නිසාවෙන් ගිලිහී යන මනුශ්‍යත්වය බව අප ඔබට වටහා දිය යුතු නොවේ. අභාවයේ අභාවය යනු ඔබම යි.

    එක ලිපියක් රාවයේ පළ නොවුනු පමණින් ඔබ එකතු කරගත් වෛරය මේසා විශාල ගංගාවක් ලෙස ගලා යන්නේ ඇයි දැයි කියා ඔබම හිතට එකඟව කල්පනා කර බලන්න.

    "අනේ එහෙම නෑ මයියා, අපි නම් සල්ලි දුන්නොත් ගන්නවා. අරවත් ගන්නවා."

    ReplyDelete
  14. සමාජ කාර්යයක් ලෙස අප සලකන මේ බ්ලොග්කරණයට උදව් කරන්න කැමති කවුරු හෝ ඉන්නවා නම් එසේ කරන්න අවස්ථාව දීමේ වැරැද්ද කුමක්ද? සමාජ ක්‍රියාකාරීකයකු ලෙස අපට කරන්න පුළුවන් දේ ආර්ථික දුෂ්කරතා නිසා සීමා වෙලා තිබෙනවා. පොත විකුණාගන්න හදන්නේ ප්‍රාග්ධනය ගොඩගහගන්න නොවෙයි. තවත් පොතක් මුද්‍රණය කරන්න පුළුවන් පසුබිමක් නිර්මානය කරගන්න. අපි පොත් ලියන්නේ, බ්ලොග් ලියන්නේ දේශපාලනික මැදිහත්වීමක් ලෙසයි. අපට උදව් නො කළොත් මේක වැටෙනවා ය කියලා අපි කියලා නැහැ නේ ද? අපට උදව් කළොත් මෙය වැඩි දියුණු වේවි. උදව් නො කළා ය කියා අපි මේක වහලා සමාජයෙන් පළි ගත්තා කියා කියන්නේ නැහැ.

    ඇතැම් මාධ්‍ය සංවිධාන නායකයන් කියන්නේ දෙබිඩි චරිත. සමහරඅ රට පැන්නේ තර්ජන තිබෙන නිසා නොවෙයි, එක්කෝ පවුල්වලින් පළා යන්න, නැතිනම් පවුල් පිටින් යුරෝපයට යාමට තිබුණු ආශාවන් නිසා හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි ආයතනවල මුදල් වංචාවන් ආවරණය කර ගන්න. ඒ අතර මොවුන් අනතුරට පත් වුණ මාධ්‍යවේදීන්ට කෝචොක් කළ හැටි ගැනත් මතකයක් අපට තිබෙනවා. අපි මේ කරුණුවලට කිසි දිනෙක සමාව දෙන්නේ නැහැ. රාවය මේ අයත් එක්ක එක පතේ කන නිසායි‍, අපි රාවයත් විවේචනය කළේ.

    අනෙක රාවය වැනි දැවැන්ත සුදු අලි මහජන මුදලින් ආරක්ෂා කිරීම දූෂණයක්. රාවය මහජන ව්‍යාපාරයක් තබා හරි හමන් සමාගමක්වත් නොවෙයි. උදාහරණයක් ලෙස එහි සමාරම්භක කර්තෘ තමන්ගේ ලිපි හැර මේ පත්තරය කියවන කෙනෙක් ද කියා සොයා බලන්න.

    මේවා ආරක්ෂා කිරීම මනුස්සකම නොවෙයි. මනුස්සකම පෙන්වන්න ඕනැ නම් මේ අයට ධනපතීන් ගාව වැටුපට කඹුරන්න සිදු වන ඇත්ත රැකියා සොයා දෙන්න. අපි කරන්නේ ඒකයි. සමාජ වෙනසකට මැදිහත් වෙන්න ඕනැ නම් ඒ සඳහා ස්වාධීනත්වය රැක ගන්න.

    අපි වීරයෝ නොවෙයිනේ. කන බොන සාමාන්‍ය මිනිස්සුනේ. අපි තාපසයින් වගේ පෙනී සිටිමින් මුදල්, ලිංගිකත්වය වන්දනා කරන බොරුකාරයෝ නොවෙයි. දැන් මට වයස අවුරුදු 48යි. මේ 48ම ලංකාවේ තමයි හිටියේ. ඇනොනිමස් නෙමෙයි, මේ නමින් ම තමයි ජීවත් වුණේ. වයස අවුරුදු 18 සිට සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔබට පුළුවන් නම් පෙන්වා දෙන්න මුදල් වෙනුවෙන් අපි ප්‍රතිපත්ති පාවා දුන් අවස්ථා තිබෙනවා නම්. මුදල් දීලා බලන්න අපි ඒ මුදල්වලට නැටවෙයි ද කියලා.

    ඔබ ස්ත්‍රියක් නම්, ඔබට අනෙක් කාරණය ලෙහෙසියෙන් ම පරීක්ෂා කර බලන්න පුළුවන්.

    මේ බ්ලොගය හරහා නිරූපණය කරන සියලු දේ අපි පෙනී සිටින ‍දේශපාලනය. එය විප්ලවීය ජීවිතයක් පිළිබඳ සංවාදයක්.

    ReplyDelete
    Replies
    1. පරීක්ශන දෙකම කරන්න පුලුවන්..ඒත් පරීකශනයට යන මුදල කවර් කරන්න තරං වත් ඔබගේ කර්ත්‍යවය වර්තමාන මාර්කට් එකට මදි..ඒ උනාට අවුලක් ගන්න එපා..දිගටම ලියන්න....

      Delete
  15. රාවය හා වත්මන් ජනමාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් පැරාගේ අදහස් වලට න්‍යායාත්මකව එකග වෙමි. එහෙත් රාවය විසින් එතිහාසික කාර්යක් ඉ‍ටු කළ අතර එතිහාසිකවම ඒ කාර්යය අවසන් කරමින් අවසන් ගමන් යෑම ද නතර කළ නොහැක.

    ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ ද ඉතිහාසය තුළ යම් එතිහාසික කාර්යක් කර අද මිය ගොස් තිබේ. එහි යම් යම් චරිත හිටි ගමන් හුස්ම ගන්නා බව පෙන්නුවත් එම පක්ෂ ඇත්තටම මිය ගොසිනි. රාවය ද ළගදීම එසේ නොවන බවට තීන්දු කරන්නේ එය කාලානුරූපිකව වෙනස් වීමට දැක්වන කැමැත්ත හෝ අකැමැත්ත මතය.

    ඒ නිසා රාවය හෝ වෙන එකක් සම්බන්ධයෙන් හෝ ආවේගීව කියන දෑ වලට දරන මහන්සිය තේරුමක් නැත. සමාජ චලනයේ දී එහි ගතිකයන් ගැන පැසුනු බුද්ධියෙන් විග්‍රහ කිරීම යෙහෙකි. එතිහාසිකව තීරණය වන්නා වූ දේවල් සම්බන්ධයෙන් ශරීරයේ රුධිරය රත් කර ගැනීම අර්ථ විරහිත බව මගේ අදහසයි.

    පැරා කියන්නේ ඇත්තකි. එහෙත් ඒ ඇත්තට හිමි ගෞරවය පැරා විසින් කෙලෙසා ගන්නේ මැදි වියේ පැරා කොළුකම් කරන්නට යෑම නිසාය. කොල්ලෙක් සේ සිතා වැඩ කළ යුතු වුවත් කොලුකම් කිරීම මැදිවියේ පැසුණු පුරුෂයාගේ පුරුෂාර්ථයන්ට හානි කරන බව මා විසින් පෙන්වා දිය යුතුද?

    1971 ආණ්ඩුවේ සිටි ඇමැති මණ්ඩලයට වතුර අල්ලපු මට්ටමේ මිනිස්සුන්ගෙන් 1994 චන්ද්‍රිකාගේ ඇමති මණ්ඩලය සමන්විත වී ඇතැයි සුමනසිරි ලියනගේ වරක් කීවා මට මතකය. ඒ සම කිරීම රාවයට ද අදාළ කර ගත්තොත් 1994ට පෙර රාවයේ කතෲ මණ්ඩලයේ කටයුතු කළ බොහෝ ඇසූ පිරූ ඇත්තන්ට වතුර ඇල්ලූ මට්ටමේ අය අද එහි කර්තෲ මණ්ඩලයේ කටයුතු කරති. පුදුමය වන්නේ ඒ කාලයේ බොහෝ ඇසූ පිරූ ඇති වික්ටර් අයිවන් නම් කර්හෘවරයාට වතුර ඇල්ලූ පුද්ගලායාගේ භූමිකාවට අද වික්ටර් අයිවන් විසින්ම පණ දීම ය.

    ඒ නිසා රාවයේ එතිහාසික අවසානය තීන්දු කරන්නේ එහි කර්තෲ මාණ්ඩලිකයන්ම ය. එය වැලැක්වීමට එහි ප්‍රගතිය පතන වමේ අන්කල්ලාට නොහැකිය. නමුත් එක් කනගා‍ටුවක් ඇත. එනම් අලුත් "රාවයක්" එනතුරු නාස්ති වන කාලයට එතිහාසය විසින් සමාවක් නොදීමයි.

    කේ.ජී. පිලිප් ශාන්ත

    ReplyDelete
    Replies
    1. වාමාංසිකයො ඉන්නේ රතු ඇඳලා කලු හිත් ව‍හගෙන. මූ ඉන්නෙ අමු හෙලුවෙන්.

      Delete
  16. ්යම් විචාරයකදී කතෘගේ පුද්ගලික අභිලාෂය සමස්ථ වියමනේ අභිලාෂය ඉක්මවා යාම තුළ ඕනෑම වියමනක් හෝ ලියනමක් අසාර්ථකභාවයට පත්කරයි. පැරකුම්ගේ ලිපියල තිබෙන අවුලද එයය. තේ කෝප්ප වල සුලිකුණාටු පැරකුම් මහා දේශපාලන ප්‍රශ්ණ ලෙස හුවා දක්වයි.

    උදාහරණයක් ලෙස පැරකුම් හිරු පත්තරය සම්බන්ධයෙන් සමාජය කරනු ලබන විවෙචනය අති ප්‍රබලය. නමුත් එහි ප්‍රබලත්වය බාලවන්නේම පැරකුම්ගේ පූද්ගලික ​වෛරී අභිලාෂයන් රාවයේ අර්බුදය ගොනු කිරීමෙනි.

    අප ඈසිය යුත්තේ රාවය කුමක් වෙනුවෙන්ද කා සදහාද යන්නයි. එය දේශපාලනික ප්‍රශ්ණයකිත. පසුගිය කාලය පුරාම රාවය පුවත්පතේ පිටුපුරවන කුසල් පෙරේරා,ගාමිණි වියන්​ෙ​ගාඩ,සුනන්ද දේශප්‍රිය,කුමුදු කුසුම් කුමාර්,තිසරනී ගුණසේකර,කේ.ඩබලිව් ජනරජංන,වික්ටර් අයිවන්,ජයතිලක කම්මැල්වීම,සුනිල් විජේසිරිවර්ධන,නාලක ගුණවර්ධන ​වැනි මේ අය සිය පාඨකය යෝජනා කරන්නේ කුමක්ද ? ඔවුන්ගේ ව්‍යාපෘතිය කුමක්ද ?

    මොවුන් සියලු දෙනා සිය පාඨකයන්ට ​ෙයා්ජනා කර සිටින්නේ ඈග තැලෙන්නැති අන්දමේ වැඩකි. දැන හෝ නොදැන ඔවුන් ඉදිරිපත් කරන්නේ සරලවම කර්මික සාමයකි. නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය සාමකාමීය පවත්වාගෙන යා හැකි අන්දමේ ප්‍රජාතන්ත්‍රවාදයකි. ඒ සදහා මොවුන් ප්‍රශ්ණ සාකච්ඡා කරන ලබන අතර පාඨකයට කිසිදු යෝජනාවක් නැත. ඒ වෙනුවට සුලු ධනේෂ්වර අදහස් ටොන් ගණනි පාඨක සමාජයේ හිස මත හලමින් සිටී.

    අයිවන් මේ කුමක් කරන්නේ ?

    රාවය කවුරුන් හෝ මිලදී ගත්තද කුසල් හෝ කුවුරුන් එකතුවී මුදල් දුන්ද රාවය වෙනුවෙන් අයිවන් තීරණය කරනු ලැබන ​දෛවයක් තිබේ. එයනම් ධනපතිරාජ්‍යයේ සීමාවන් තුළ සිය පුවත්පත කලමනාකරණය කිරීමයි. උදාහරණයක් ලෙස පුවත්පත් තුළ ලසන්ත රුහුණගේට යම් අඩම්තේට්ටම් සිදුවන්නේ අහම්භයකින්ද ? රාවයට බේරාගැනීමට දතකණ පවසන මහත්වුරුන්ගේ අසන්නට ඇත්තේ ඔබලා කුමක් කරමින් සිටින්නේද ?

    ඉතිහාසයේ කුණු කූඩයට යා යුතු දෑ යායුතුමය. අද ලංකාව මේ මොහොතේ ලංකාව මුහුණ දීමට සිදුවී අති තත්ත්වයට අප සැම සේම රාවය වගකිව යුතුය. මන්ද චන්ද්‍රිකා නැවමති ධනේෂ්වර උරචක්කරමාලාවේ ලාංකීය දීගයට රාවය රෙදි නැතිව කඩේ ගිය නිසාවෙනි. 1993 පසු රාවය මේ දක්වා රෙදි ඇද නැත.

    අයිවන් දිගින් දිගටම ලියන්නේ දෙමළ ජාතික විමුකත් අරගලය විනාශ කිරීම සාධාරණීකරණය කරමිනි. ප්‍රභාගකරන් ඝාතනය නොකර ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්තරක කර නොහැකියයි අයිවන්ගේ සිහිනය ලියන රාවය පුවත් පතට තවදුරටත් රෙදි අන්දවීමේ අව්‍යශතානයක් නැත.

    දේශපාලන ප්‍රතිස්ංස්කරන කිරීමට ප්‍රභාකරන ඝාතනය කළ යුතුයැයි පැවසීම රාවයේ තරුහේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත් පෙන්වීමක් . එසේත් තැතිනම් රාවය ඉතිහාසය පුරාම නොදන්නවා සේ කරමින් සිටින නරුම භාවය ප්‍රදර්ශණය කිරීමකි.

    ඉතින් අප අයිවන්ගේ ඇසිය යුත්තේ රාවය කා වෙනුවෙන් ද ? කුමක් සදහා ද ?

    ReplyDelete
  17. "විචාරයකදී කතෘගේ පුද්ගලික අභිලාෂය සමස්ථ වියමනේ අභිලාෂය ඉක්මවා යාම තුළ ඕනෑම වියමනක් හෝ ලියනමක් අසාර්ථකභාවයට පත්කරයි. පැරකුම්ගේ ලිපියල තිබෙන අවුලද එයය. තේ කෝප්ප වල සුලිකුණාටු පැරකුම් මහා දේශපාලන ප්‍රශ්ණ ලෙස හුවා දක්වයි.

    උදාහරණයක් ලෙස පැරකුම් හිරු පත්තරය සම්බන්ධයෙන් සමාජය කරනු ලබන විවෙචනය අති ප්‍රබලය. නමුත් එහි ප්‍රබලත්වය බාලවන්නේම පැරකුම්ගේ පූද්ගලික ​වෛරී අභිලාෂයන් රාවයේ අර්බුදය ගොනු කිරීමෙනි."

    උක්ත වාක්‍යවල යම් යම් වචන අඩු නිසා ඒවායේ අදහස් පැහැදිලි නැත. බර වචන ටිකක ලිව්වාට අදහසක් ප්‍රකාශ වන්නේ නැත. "කතෘගේ පුද්ගලික අභිලාෂය සමස්ථ වියමනේ අභිලාෂය ඉක්මවා යාම" කියන්නේ කුමක්ද? මම නම් දන්න විධියට මේ ලිපිය ලිව්වේ මගේ පුද්ගලික අභිලාෂ වෙනුවෙන් මිස 'සමස්ථ වියමනේ අභිලාෂය' යයි ඔබ කියන, මට නො තේරෙන දෙය වෙනුවෙන් නො වේ.

    මෝඩ අප අසන ප්‍රශ්නවලට වඩා බුද්ධිමත් ඔබ මාර දේශපාලනික ප්‍රශ්න කිරීමක් කරනවා ය කියා ඔබ මතු කර තිබෙන්නේ ද අප මතු කළ ගැටලු ම ය. අප අසන පිළිවෙල අවලස්සන ය කියා ඔබ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන පිළිවෙල ද ඒ තරම් ම අවලස්සන ය. අපේ ලිපියේ මොනවා හෝ නරක ජාතියක් මිශ්‍ර වී තිබේ නම්, ඒ හා සමාන ම‍ නරක ජාතියක් ඔබේ අදහස් දැක්වීමේ ද මිශ්‍ර වී තිබේ.

    කරගාටකාරන් චිත්‍රපටයේ ප්‍රසිද්ධ කෙසෙල් විහිළුවේ ගවුන්ඩමනි සෙන්දිල්ගෙන් ප්‍රශ්න අහන පිළිවෙල වැරදි ය, ඔයිට වඩා කාරුණිකව ඇසිය යුතු ය කියා ඉදිරිපත් වන අයත් අන්තිමට කරන්නේ ගවුන්ඩමනි කළ දේ ම ය.

    කියවන්න කරගාටකාරන් කෙසෙල් විහිළුව හා ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය

    ReplyDelete
  18. රාවයේ වත්මන් පාඨකයෝවනාහි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අගයන, වාමාංශික නැඹුරුවක් අඩු වැඩි වශයෙන් ඇති, තරමක් ගැඹුරු කියවීම්වලට කැමති, රාජපක්ෂ විරෝධී, රනිල්ට කැමතිමුත් කෙළින් ඒ බව නො කියන, ධනවාදයට කැමති මුත් ඒ බව ප්‍රසිද්ධියේ කියන්නට බිය, ජාතිවාදයට විරුද්ධ, කොටින්ට පක්ෂ හෝ විරුද්ධ, තමන් සම්බන්ධ නො වන තාක් කල් දූෂණයට විරුද්ධ පිරිසකි. මුද්‍රිත කඩදාසිවලට ඇති රොමැන්තික් ආශාව මේ අයගේ තවත් ලක්ෂණයකි. THIS IS THE TRUTH MACHAN.

    ReplyDelete
  19. ක්‍රිෂ්ණාJune 2, 2013 at 7:20 PM

    රාවයේ පලවන එස්,එම්,එස් කොළම බැලුවම එහි පාඨකයින් වික්ටර්ලාගේ ,කුසල්ලගේ කෙරුවාවල් නොදන්න පොඩි ලමයි.වික්ටර් චෞර ‍රැජින පොතෙන් කියන්නේ වල්පල් දේශපාලනයක් ගැනයි.වික්ටරුයි චන්ද්‍රිකායි දෙන්නම හිටියේ ඒ මොන්ටිසෝරි දේශපාලනයෙයි.ඒ පත්තරේ තරම් මේ ආණ්ඩුවට කඩේ යන පත්තරයක් ලංකාවේ තවත නෑ.ඒ අය පාඨකයා ගොනාට අන්දන්නේ මහින්ද රට මිනිස්සුන්ව ගොනාට අන්දන සූක්ෂම ක්‍රමයටයි.රාවය කෙලින් හිටියනං මේ විදියට කට්ටියට කෙඳිරි ගාන්න ඕනෑ වෙන්නේ නෑ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.