2013-07-30

ටිපර් රියකට යට වී මිය ගියෙමි

මේ ඔහු මෙන් ම ඔබ හෝ මා හෝ ද වන්නට පුළුවන
අටවන ශ්‍රේණියේ පාසල් දරුවකු යයි කියන්නේ තවමත් කොට කලිසම් අඳින, තනිව සිය කටයුතු කර ගැනීම පුහුණු වන එකෙකි. මට මතක හැටියට තනිවම බයිසිකලය පැදගෙන මතුගම නගරයට එන්නට මට ද පුළුවන් වුණේ ඒ වයසේදී ය.

අපේ ජීවිත සමග බස්වල තිබුණු සම්බන්ධය ගැන මම මින් පෙර 'සිලෝන් ටකරං බස්' ලිපියේ ලිව්වෙමි. අටේ ංතියේ හෝ නමයේ පංතියේ ඉන්න කා‍ලේ එක් සති අන්තයක මම මට පිටුපසින් එන බසයකට කලින් යාම සඳහා වේගයෙන් බයිසිකලය පැද්දෙමි. ඒ කාලයේ තිබුණු ලොරි එහෙම එතරම් වෙගයෙන් ධාවනය නොවූ ඒවා බැවින් සුළඟට ආවරණය වෙමින් ඒ පසුපස බයිසිකල් පැදීමට පුළුවන්කම තිබිණි. ඇතැම් පුරුදුකාරයෝ එක් අතකින් ලොරියේ එල්ලී වේගයෙන් බයිසිකලය පදවන්නට සමත් වූ හ. එය අතිශය අනතුරුදායක වූමුත් ත්‍රාසජනක ය. ආපසු කතාවට.....

මම කෙතරම් වේගයෙන් පැද්දත් බසය මා ඉස්සර කර යාම වළක්වන්නට බැරි විය. බසය මා ඉස්සර කරද්දීත් මම වේගයෙන් එය පදිමින් සිටියෙමි. බසයේ පාපුවරුවේ මිනිසුන් එල්ලී ආ බව මම නො දුටුවෙමි. එසේ එල්ලී ආ අය මගේ ඇඟේ වැදීමෙන් මම පාරෙන් ඉවතට විසි වී වැටුණෙමි. වාසනාවට මා වැටුණේ පස් ගොඩකට ය. අට ශ්‍රේණියේ ළමයකු එසේ කාණුවට වැටෙද්දී බසය නො නවත්වා ධාවනය විය. පාපුවරුවේ එල්ලී ගිය තරුණයෝ බක බක ගා හිනැහෙමින් පස්ස හැරී බලා සිටි අයුරු මට තවමත් මතක ය. මට කළ අසාධාරණය ගැන හැඟීමක් මට නො තිබිණි. ලජ්ජාව නිසා වේදනාව ද නො තකා මම බයිසිකලය හරවාගෙන ආපසු ගෙදර පැමිණියෙමි.

මේ බසය පැදෙව්වේ නෑබඩ සිට කැන්දකඩුව හරහා කලුතර දක්වා බසය දිගු කලක් පැදවූ චන්දරයා නම් රියැදුරා ය. ඔහුට සාමාන්‍යයෙන් ළමයින් පෙන්නන්නට බැරි ය. මම හත ශ්‍රේණියේ සිටියදී සිදු වූ එක් සිද්ධියක් මෙසේ ය. පාසල ඇරීමෙන් පසු ගෙදර යන්නට මතුගම බස් නැවතුම්පළට පැමිණි අපට බසයක් නො තිබිණි. හොරණ ඩිපෝවේ රියදුරුට අතින් දොර ඇරිය හැකි 29ශ්‍රී8072 බසයේ ඉඩ තිබුණත් එය පැදවූ දැන් ඇල්හෙවණ තේ කම්හල පිහිටි තැන ආසන්නයේ ගෙදරක පදිංචිව සිටි සෝමපාල නෑබඩින් මෙහා ළමයින්ගෙන් බසයට ගත්තේ තමන්ගේ ළමයින් පමණි.

චන්දරයා පදවන කැන්දකඩුව පාරේ තනි දොරේ ‍ලේලන්ඩ් බසය ද මොන හේතුවක් නිසා හෝ ඒ‍ වෙලාවේ බස් නැවතුමේ තිබුණු අතර ළමයින් බසයේ ගෙන යන්නට සිදු වීම ගැන උරණ වී චන්දරයා බසය පැදවීම වර්ජනය කර පුපුර පුපුරා හිටියේ ය. ඌ ඉන්න බව මම දුටුවේ නැත. 

බසය නො සෝදා පිටුපස දූවිල්ල තට්ටු පිටින් බැඳී තිබුණු බැවින් එහි 'අනේ මාව හෝදන්න' කියා ලියමු යයි කවුරුදෝ කීවේ ය. මම ද ගොනා නිසා කියපු සැණින් වැඩේට බැස්සෙමි. තුන්මංහන්දිය චිත්‍රපටයේ මඟුල් ගෙදර මතකද? එහි අතින් කරකවන ග්‍රැමෆෝනයේ තැටිය සීරී 'අනේ පිඬු සිටාණෝ' සිංදුව 'අනේ අනේ අනේ' කියමින් එක තැන දුවනවා වගේ මටත් ලියන්නට පුළුවන් වුණේ අනේ කියා පමණි. අබැටක් දැම්මොත් පුපුරන දෑසින් යුතුව මා අසලට පැමිණි චන්දරයා දත්මිටි කමින් "ඕක ලියා ගනින් අම්මගෙ ..........." කියා මට එය ලියන්නට තැනක් යෝජනා කළේ ය. මම දැන් වැඩ කරන ඉස්කෝලේ ගුරුවරියකව සිටි අපේ අම්මා ද ඒ වෙලාවේ ගෙදර යාමට බසයක් නැතිව බස් නැවතුමේ සිටියා ය. වාසනාවට චන්දරයා කියූ දෙය ඇසුණේ අප කීපදෙනෙකුට පමණි. 

ඒ කාලේ හොඳයි, දැන් නරකයි කියා අපේ කාලේ ගැන කටමැත දොඩන අයට මම අදත් මේ සිද්ධිය ගෙනහැර පාමින් ඒ කාලේ අදට වඩා නරක බව තර්ක කරමි. ඒ කා‍ලයේත් අවුරුදු තිස් පහක පමණ මිනිහෙකුට වයස අවුරුදු දොළහක පොඩි එකෙකුට එවැනි කුණුහරුපයක් කියන්නට පුළුවන්කම තිබිණි. 

මේ කතාව ලිව්වේ ඊයේ මතුගම නගරයේ සිදු වූ සිද්ධියක් නිසා ය. සිද්ධිය පිළිබඳ දිවයිනේ පළ වූ වාර්තාව මෙතැනින් කියවන්නට පුළුවන. 

ටිපර් රියකට යට වී මතුගම බස් නැවතුම්පළ අසලදී එසේ මිය යන්නට ඇත්තේ ඒ කාලයේ මතුගම බස් නැවතුමේ සිටි මා යයි මට සිතේ. මා ගියේත් මේ දරුවා ගිය පාසලට ම ය.

ටිපර් යනු අපේ පැත්තේ පාරේ මාරයා ය. සංවර්ධන කටයුතු සඳහා ගල්, පස් ආදිය ගෙන යන මේ වාහන හතරක් පහක් හෝ ගෙදර සිට නගරයට යන්නට පාරට බසින ඕනෑම වේලාවක හමු වේ. ඒවායේ රියදුරෝ ඒවා පදවන්නේ රේසිං කාර් එළවන්නා සේ සැහැල්ලුවෙනි. මන්ද, නවීන තාක්ෂණය නිසා වාහනයේ පටවා තිබෙන බර ඉස්සර මෙන් ඔවුන්ට නො දැනෙන නිසා ය. ඉස්සර අපි බස්වල යනවිට දවල්ට, හවසට මදුරුගොඩ සෝමපාලගේ ගෙදර අසලින් බසයට බත් පාර්සලයක් දෙනු දැක ඇත්තෙමි. ඒ බත් ගෙඩි ඒ කා‍ලයේ අප හතර දෙනෙකුට පමණ කෑ හැකි තඩි පාර්සල් ය. දැන් ටිපර්කාරයන්ට නම් එච්චර කන්නට තරම් මහන්සියක් ඇති බවක් නො පෙනේ. 

ටිපර්කාරයෝ හා බස් රියදුරෝ ඇතැමෙක් මාර්ග නීති තඹයකට මායිම් නො කරති. සුදු ඉරි කපාගෙන, කහ ඉරි උඩින් වාහන ඉස්සර කරගෙන ඒවා ඉගිලෙන අයුර සාමාන්‍ය දර්ශනයකි. අඩි හතරක් උඩින් ඉන්න ටිපර් රියදුරාව සාමාන්‍යයෙන් පදිකයන්ට පෙනෙන්නේ පවා නැත. දින කීපයකට පෙර ලග්ගල පැත්තේ කලබලයක් ඇති වුණේ ද ටිපර් රියකට යට වී මවක හා දරුවකු මිය ගිය නිසා ය.

පාර සංවර්ධනය කරන්නට පටන් ගන්නට පෙර පසුගිය කාලයේ මම හැන්දෑවට ව්‍යායාම පිණිස නෑබඩට බයිසිකලය පැද්දෙමි. ආපසු එන ගමනේ දීගල්ල කන්ද නැඟ රන්නගල හරියට එන විට හැමදාමත් වාගේ නුවර සිට ‍පස්යාල, කිරිඳිවැල, මීපෙ, හොරණ හරහා මතුගම දක්වා දිවෙන බසයක් මා ඉස්සර කර ගියේ ය. පටු පාරේ එය යන වේගයට බයිසිකලය ඒ දෙසට ඇදී යන තරම් ය. 

මගේ දරුවන්ට මට මෙන් පාරේ බයිසිකලයක් නිදහසේ පදින්නට හැකි යුගයක් උදා වේදැයි මම නො දනිමි. රිය පදවන බොහෝ මහත්වරු මාර්ග නීති අනුගමනය කිරීම ලජ්ජාවට කරුණක් ලෙස සලකන සමාජයක අපි ජීවත් වෙමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

7 comments:

  1. රෝද හතරේ වාහනයක් පදවන මට, බයිසිකල්කරුවෝ, ත්‍රිවිල්, හා පදිකයන් පෙන්න බැරිය.
    කුමක් හෝ අනතුරකින් ඒකෙක් මැරුණු බව ඇසුණු විට මට ඇතිවන්නේ කාලකන්නි සතුටකි.

    මුරුගසන්

    ReplyDelete
  2. දැන් දැන් පැරා සමග එකඟ විය හැකි පෝස්ට් ගනන ඉහල යනු පෙනේ.

    යතුරු පැදිය ත්‍රීවීලයක ගැටී ලෙඩ ඇඳේ සිටි මිතුරෙකු බලන්නට ගිය විටක පැවසූ කතාවක් මේ. ඒ දවස්වල ටිපර් වසංගතයක්ව තිබුනේ නැත. "මචං බයිසිකල් කාරයන්ට ත්‍රීවීල් කාරයොයි බස් කාරයොයි පේන්න බෑ. ත්‍රීවීල් කාරයන්ට බයිසිකල් කාරයොයි බස් කාරයොයි පේන්න බෑ. බස් කාරයන්ට බයිසිකල් කාරයොයි ත්‍රීවීල් කාරයොයි පේන්න බෑ. අනිත් උන්ට ඔය තුන්ගොල්ලොම පේන්න බෑ."

    ReplyDelete
  3. මතුගම ඉන්න මෝල් හරක්ට ටිපර් රස්සාව හදලා දුන්නෙ කවුද? පැරා දන්නවා ඇතිනෙ......

    කැත්තෙන් ගහලා මිනී 6ක් මරපු එකත් අද ඩ්‍රයිවර්.... ඌට තව එකෙක් හප්පලා මරනවා කියන එක ගේමක්ද? ඌට එතනට එන්න පාර හැදුවෙ කවුද?

    ReplyDelete
  4. වාහන ඒලවන ඒවුන්ට තියා ශ්‍රී ලාංකික සැමට විනය යනු අණ්ඩර ෙදමල වැනිය.

    ඉන්දික

    ReplyDelete
  5. pera can u read th special report on deraniyagala incident on th daily mirror 30th july. its on th page a9.no report of such nature was on sinhala news papers.

    ReplyDelete
  6. Chandana Gunasinghe commented in Facebook
    "රිය අනතුරක් සිදුවූ විට පළමුකොට රියදුරාට එරෙහිව මිනිසුන් කතාකරති. රියදුරන් කියන්නේ තවත් කතාවකි , එනම් කහ ඉර තිබියදී වෙනත් තැන් වලින් පාර මාරුවීමෙන් රියදුරන් අමාරුවේ වැටෙනබවයි. ටිපර් රියදුරන් ආවේශයෙන් මෙන් දුවන්නේ ඔවුන්ට මුදල් ලැබෙන්නේ දුවන ට්‍රිප් ගනනට හෝ කිලෝමීටර් ගනනට නිසාය. වේගයෙන් මුදල් පසු පස හඹා යන විට මග දෙපස කිසිවක් ඔවුනට නොපෙනේ. පාසැල් දරුවන් ගැනද කියන්නට ඇත්තේ තවත් කතාවකි, පාසැල් බස් රථයෙන් පාසැල් ගේට්ටුව ලගට ගෙනවිත් බස්සන ‍බොහෝ දරුවන් පාරේ ගමන් කිරීමට නොදනී .පාර මාරැවන්නට නොදනී. ඉස්සර අපි දුවන බස්රථ වල ඒල්ලෙන හැටිත් දුවන බස් එකෙන් පනින හැටි සිහිපත්වේ. දැන් දරුවන් දින 45 බ්‍රොයිලර් කුකුලන් මෙනි. දරුවන්ද මේ දුවන රේස් එක නි සා ඔවුනටද මග දෙපස කිසිවක් නොපෙනේ..........."

    ReplyDelete
  7. Shantha Jayaweera commented in Facebook: "මතුගම පරණ බස් නැවතුම්පොල අපට ඒ කලෙ මොනතරම් සුන්දර තැනක්ද ,ඒත් අද අපට බයිසිකල් එකකින් තියා පයින්වත් යන්න පුළුවන්ද,ලමයි කොහොම යන්නද,දුකයි කේන්තියි.................!!!!!!"

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.