2013-07-05

ජෝති කියන්නේ අව්‍යාජ, ජෝතිමත් ජීවිතයක්

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්. ආර්. ජෝතිපාල හෙවත් අප කවුරුත් දන්නා ජෝති මිය ගොස් වසර විසි හයක්. අද නාඹර තුරුණු වියේ සිටින අයත් ඉපදී ඇත්තේ ජෝති මිය ගිය පසුවයි. මේ ලියන මම ඉපදුණේ, ජීවත් වුණේ ජෝතිපාලලා අතින් මෙහෙයවුණු හෝ නො මෙහෙයෙවුණ නිසා ම සුන්දර වූ සංගීත ලෝකයක. ඒ කාලේ කියන්නේ මහගම සේකරලා බස් එකේ යන ගමන් අහුලා ගත් හිස් සිගරැට් පැකට්ටුවක කවි ලියපු, ප්‍රේමකීර්තිලා කාර් බොනට් එක උඩ තියාගෙන අමරණීය ගී ලියපු, ජෝතිලා හිතවතුන්ට කමිසය පවා ගලවලා දීපු, නාට්‍යකාරයෝ එකට වැටිලා ඉඳගෙන නාට්‍ය කරපු, කවුරුත් සතුටින් ඉන්න උත්සාහ කළ, වඩා නිදහස් ලිංගික ඇවතුම් පැවතුම් තිබුණු, ඒවා ගැන මහ ලොකු පශ්චාත්තාපයකුත් නො තිබුණු, අව්‍යාජ ජීවිත අගය කෙරුණු යුගයක්.

මම ළමයෙක් කාලෙ, ඒ කියන්නේ හැත්තෑව දශකයේදී මට මතකයි, අපි මුලින් ස්වාභාවිකව ම ඇලුම් කළේ ජෝතිට; ජෝතිගේ වේග රිද්මයට; හින්දි චිත්‍රපට සංගීත නැඹුරුවට; අපේ ප්‍රියතම සංගීත භාණ්ඩ වන ඩොල්කියට, ඩ්‍රම් සෙට් එකට ඒ ගීතවල තිබුණු හිතවත්කමට. අමරදේවගේ රිද්මය එතකොට අපට කම්මැලියි. තබ්ලා අරහන්. පස්සේ කාලෙක රුසියානු සාහිත්‍යය, සිළුමිණේ ශාස්ත්‍රීය ලිපි එහෙම කියවලා, ගුවන් විදුලියේ ශාස්ත්‍රීය වැඩසටහන් අහලා අපි 'ප්‍රබුද්ධ' වෙනකොට අපි ආයාසයෙන් වගේ ජෝතිව පිළිකෙව් කරමින් අමරදේවට ඇලුම් කරන්න පටන් ගත්තා. ජෝති යූ.ඇන්.පී.කාරයා. මැරුණෙත් ප්‍රේමදාසගේ වේදිකාවක සිංදු කියද්දී අසනීප වෙලා. ඒකත් අපි අප්‍රිය කළ දෙයක්.

අපේ රැඩිකල් දේශපාලන අදහස්වලට හරියට ම පෑහුණේ නන්දක්කායි. නන්දක්කාගේ 'පවන' තමයි, අපට ලෝකේ තිබුණු සංගීත අග්‍ර ඵලය වගේ පෙනුණේ. ඒ දවස්වල සුජාතා අත්තනායක නන්දා මාලිනීගේ ගායනා විවේචනය කළා. ඒ කාලේ සුජාතා හින්දි තනුවලට සිංදු කියමින් හෝ ගාලා කැසට් ගහනවා. නන්දක්කා විවෘත සංගීත ප්‍රසංග වේදිකාවේ සිංදු කියන එක ප්‍රතික්ෂේප කළා. අපට එයා තමයි පොර. සුජාතාව පෙනුණේ ඉරිසියාකාර ගැහැනියක් ලෙසයි.

අසූ නමයේ කැරැල්ලෙන් පසුව අපි ආපහු සංගීතය රස විඳින්න පටන් ගන්නකොට ජෝති මැරිලා. එළියකන්ද වධකාගාරයේ හමුදාකාරයෙක් උදේ ඉඳන් හැන්දෑ වෙනකල් පුන්සිරි සොයිසාගේ කැසට් එකක් වාදනය කළා. 'එකම මගක පියවර මැන යන්නයි' වගේ ගීත ඇහෙනකොට අදත් මට ඒ ගීතය ඉක්මවා ගිය ගුප්ත හැඟීමක් දැනෙනවා. හෙට්ටියාවල හමුදා කඳවුරේ හිටපු බෙල්ල කපන්න ප්‍රසිද්ධ සාජන් මහ හයියෙන් රූකාන්තගේ 'බඹර පහස ලබන මලක්දෝ' සිංදුව දාලා නටනවා මට මතකයි. ඒ තමයි, මට රූකාන්තගේ ගීයක් අහනවා මතක ඉඳපු මුල් වතාව.

අසූ නමයෙන් පසු ජවිපෙ සිර ගෙයිනුත් නිදහස් වෙලා බොහිමියානු ජීවිතයක් ගත කරමින් මතට, දුමට හිතවත් වෙමින් ඉන්න කාලෙ ජෝති අපේ ජීවිත පුරා පැතිරුණේ ඉබේමයි. සංගීතය ගැන අපේ දැනුම පුළුල් වුණේ නන්දා මාලිනීගේ සංගීතමය සීමාවන් තේරුම් ගැනීමත් සමගයි. කේමදාස මාස්ටර්ගේ මැදිහත්වීම් අපේ පරම්පරාවේ සංගීත රසාස්වාදය වැඩි දියුණු කරන්න ගොඩක් හේතු වුණා. මතුපිටින් හෙළා දකිමින් සැබැවින් රස විඳිමින් සිටි ජෝති සීරියස් ගායකයකු ලෙස නැවත ඉපදුණා. හැබැයි මම නම් හිතන්නේ නැහැ ජෝතිටවත් ජෝති සීරියස් පොරක් වුණා  ය කියලා.

ජෝති කියන්නේ ගායන පෞරුෂයක් වගේ ම සරළ, නිදහස්, විනෝදකාමී ජීවන විලාසයක්. ඔහු‍ගේ ගායනා පෞරුෂයේ තිබෙන ජොලිය ඔහුගේ ජීවිතයෙන් ම ආපු දෙයක්. ජෝති අද වෙනකල් හිටියා නම් මොනවා වෙයි ද දන්නේ නැහැ. මේ ඉතින් ඒ කාලෙ හොඳට ජොලි කරපු ගායකයොත් සුදු ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවලට ඇවිත් භාවනා කරන හැටියි, උදේට වතුර වීදුරුවක් බොන එකයි, අරක මේක අපට දේසනා කරන කාලයක්නේ. ඒත් අදත් කොල්ලෝ සංගීත සංදර්ශන බලන්න ගිහින් බීලා, ගංජා ගහලා එළි වෙනකල් නටනවා. අර භාවනා කරන කට්ටියත් SUV වාහනවලින් ඇවිත් ඒ අයට ගැලපෙන්න සිංදු කියලා සල්ලි සාක්කුවේ දාගෙන ගෙදර යනවා. බෑන්ඩ් එකේ එවුන් හරි සුපර් ස්ටාර්ලා හරි තවමත් ජෝතිගේ සිංදු කියනවා.

ජෝතිපාලගේ වගේ ජීවන ශෛලීන් ගත කරන අය අදත් ඇති. ඒත්, මට හිතෙන්නේ අද කාලෙ තමන්ගේ ප්‍රාසාංගික ජීවිතයයි, ගායනා අන්තර්ගතයේ තිබෙන විනෝදකාමිත්වයයි, පෞද්ගලික ජීවිතයයි පරස්පර ඒවා බවට පත් කර නො ගත් අව්‍යාජ ජීවිත අඩුයි. ජෝති‍ට වඩා දක්ෂ ගායකයෝ බිහි වෙන්න ඇති. ඒත්, ජෝති වැනි පෞරුෂයක් නම් බිහි වෙලා නැහැ. ජෝති එහෙම පෞරුෂයක් වුණේ ගායන කුසලතාව විතරක් ම නිසා නොවෙයි. ගායනයට සම්බන්ධව පිටින් තිබෙන ජීවන භාවිතාවන් නිසායි.

ජෝතිගේ කාලේ සංගීතය මේ තරම් දැවැන්ත ප්‍රාසාංගික ව්‍යාපාරයක් වුණේ නැහැ. ඒත්, ජෝති අද සිටින ව්‍යාපාර මෙහෙයුම්කරුවන්ට වඩා ඒ පැත්තෙනුත් දැවැන්ත චරිතයක්. එහෙම වුණේ තනිකර ම ගායනා පෞරුෂය නිසා ය කියා මම හිතන්නේ නැහැ.  ජෝතිගේ ගායනා පෞරුෂය ඔප් නැංවුණේ එදා හිටපු දක්ෂ සංගීතඥයන් හා ශිල‍්පීන් නිසා. ඒ විතරක් නොවෙයි, කරුණාරත්න අබේසේකරගේ සිට ප්‍රේමකීර්ති ද අල්විස් දක්වා විශිෂ්ට පද රචකයන් පිරිසකුත් ජෝතිගේ ඇසුරේ  හිටියා. මේ ගීත රචකයන්, සංගීතඥයන් තමයි, ජෝතිගේ හඬින් නිමැවුණ ගායනාවල නිර්මාණ සංකල්පයන්ගේ පියවරු. විශේෂයෙන් ම මේ ගීත රචකයන් නිර්මාණය කළේ සංකල්ප. අද ඉන්න ගේය පද රචකයන් ය කියා තමන් හඳුන්වා ගන්නා ගෙවලයන් වගේ සෝබන වචන ටිකක් එක එක විදියට කලවම් කරලා දෙන එක හෝ එහෙන් මෙහෙන් සංගීත කෑලි ටිකක් අනලා දෙන එක නොවෙයි. එදා නිර්මාණයක් කියන්නේ සාමූහික මිනිස් භාවිතාවක්. ඒ අද වගේ ස්ටුඩියෝ එකට ඇවිත් තමන්ගේ කෑල්ල වාදනය කරලා යන ක්‍රමයක් තිබුණ යුගයක් නොවෙයි. හැම දෙයක් තුළ ම සාමූහිකත්වයක්, සාමූහික මිනිස් ගුණයක් ගැබ් වෙලා තිබුණා.

මේ මිනිසුන්ගේ ජීවිත අධ්‍යයනය කර බැලුවා ම අදයි එදායි ප්‍රාසාංගික කලාවන්ගේ වෙනස හා එහි ගුණයේ වෙනස තේරුම් ගන්න පුළුවන්. ජෝති, රොක්සාමි, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති වගේ මිනිසුන්ගේ ජීවිත යටින් ඉරක් අඳින මහා පොදු සාධකය තමයි, මේ මිනිසුන්ගේ අව්‍යාජත්වය. ඔවුන් සල්ලි හම්බ කළා. කෑවා, බිව්වා. ඒත්, සල්ලි පොදි බැන්දේ නැහැ. දැවැන්ත ව්‍යාපාරිකයන් වෙන්න උත්සාහ කළේ නැහැ. හැමදාමත් කලාකරුවන් ලෙස ජීවත් වෙන්නයි ඔවුන්‍ට උවමනාව තිබුණේ. ඒ ඒ කාලයේ නැගලා යන රැළිවල නැගලා ෂෝට් කට්වලින් ජීවිතෙන් එතෙර වෙන්න උත්සාහ කළේත් නැහැ. ඒ නිසා ඔවුන් ම තමයි රැල්ල වුණේ.

අද කලාවේ නැති ප්‍රධාන ම දේ තමයි මේ අව්‍යාජත්වය. අද කලා ශිල්පියෝ කරන්නේ එකක්. කියන්නේ තව එකක්. කරන්න තියෙන තරම් අලුගුත්තේරු වැඩ කරලා බොරුවට කියනවා, වතුරු වීදුරුවක් බීලා භාවනා කරලා දවස පටන් ගන්නවා ය, පෝයට අනිවාර්යයෙන් ම සිල් ගන්නවා ය ආදිය. අද ඉන්න එවුන් සංගීතය වුණත් කරන්නේ පස්සෙ කාලෙක ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්න, විදෙස් සමාගම්වල ෆ්‍රැන්චයිස් එහෙම දමාගන්න අවශ්‍ය මුල්‍ය ප්‍රාග්ධනය හෝ ආණ්ඩුවේ තනතුරක් ගන්න සමාජ ප්‍රාග්ධනය හෝ උපයා ගන්න. ඉගෙන ගත්තත් ඉගෙන ගන්නේ සංගීතය වැනි විෂයන් නොවෙයි, ව්‍යාපාර කළමනාකාරය වැනි දේ. රැල්ල යන්නේ මොන පැත්තට ද උනුත් ඒ පැත්තේ. මේ දවස්වලනම් උන් ‍ඔක්කොම පට්ට සිංහල ජාතිවාදියෝ. ‍උන් ඒ කාලේ සාම එන්ජීඕත් එක්ක සාමෙට සිංදු කියලා, පස්සේ හමුදාවත් එක්ක යුද්දෙටත් සිංදු කියපු උන්. මහින්ද උස්සලා මොනවා හරි කරන එක කලාවට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ උපාය වෙලා තිබෙන කාලෙ මුන් ගජරාමෙට කරන කලාව ඒක.

හැත්තෑව දශකයේ කට්ට කාගෙන කලාව කරපු එවුන් දැන් කට්ට, කෛරාටික මුදලාලිලා.මේක සල්ලි ප්‍රතිපත්තිවලට වඩා බොහොම වැදගත් කාලයක්. නෙළුම් පොකුණ විවෘත කරපු වෙලාවේ ඒ ගැන අතිශය බැරෑරුම් දේශපාලනික විවේචනයක් කළ ධර්මසිරි බංඩාරනායකට පවා නෙළුම් ‍පොකුණෙන් කතා කරලා අපි සල්ලි දෙන්නම් ධවල භීෂණ එතැන පෙන්නන්න ය කිව්වා ම ප්‍රතික්ෂේප කරන්න බැරි කාලයක්. අපට ධර්මසිරි බංඩාරනායක කියන කලාකරුවා නඩත්තු කරන්න බැරි තත්වයක් තුළ ඔහුට බැනලා වැඩක් නැහැ.

අද වෙනකල් ජීවත් වුණා නම්, ජෝතිට වුණත් මේ අගතියෙන් ගැලවී ඉන්න පුළුවන් පෞරුෂයක් තිබුණා ය කියා මම හිතන්නේ නැහැ. මොකද, ඔහු මහා ලොකු දැක්මක් නොතිබුණ අහිංසක මිනිහෙක් නිසා. ඒ අතින් ජෝති වාසනාවන්තයි. කලින් මැරුණ නිසා ජෝති තාමත් පිපිච්ච මලක් වගේ සුන්දර මතකයන් ලෙස අපේ හදවත් තුළ ජීවත් වෙනවා. කලින් මැරෙන්න වාසනාව නො තිබිච්ච හුඟ දෙනෙක් පණ පිටින් කුණු වෙනවා.

මට නම් ජෝති කියන්නේ අව්‍යාජ, ජෝතිමත් ජීවිතයක්. බේබදුකම වගේ ඇතැම් බොහිමියානු ලක්ෂණ අයින්කළාම අප සොයා යන පරමාදර්ශී ජීවිතයේ එක් පැතිකඩක් ජෝති ජීවත් කළා. 

(ජනරළ පුවත්පතේ ආරාධනයෙන් ලියන ලද ලිපියකි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

15 comments:

  1. this reminds me of my friend thadi malli,even tho he is a lansi fellow by birth his fav singer is jothipala, he listen to some fm channel non stop for 24hrs when the played his music to commorate his death,, any ways as thadi malli always says jothipala is the most memorable singer in the entire histry of histry,i hve heard that the largest gathering at borella kanatta was when jothiplala was buried, every time i visit borella i see his gee seya , i think he rests next to clarance or milton

    ReplyDelete
  2. අද ජෝතිව අනුස්මරණය කරන්නේ එදා ජෝතිට බැනපු ජෝතිව පිළිකෙව් කරපු උන්.මුන් අපිට දෙන්න හදන පික්චර් එකත් ජෝති කියන්නේ මුන් වගේම ඇල් වතුරත් නිමල බොන විදිහට පෙන්නන් ඉන්න පොරක් කියල.හැබැයි ජෝති කියන්නෙ හොඳට බීපු බඩු ගහපු කොටු පැනපු පොරක් කියන එක අමතක වෙලා වගේ මුන් දෙන ටෝක්ස් දැක්කම ජෝති ගැන දන්නා උන්ට නම් පුකෙනුත් හිනා ඇති !ජෝති තමුන්ගේ සංගීත ජීවිතේ වගේම පුද්ගලික ජීවිතෙත් හොඳට වින්ද.බොරු බහුශ්‍රැත වචන ටිකකින් මිනිස්සුන්ව අන්දලා තමුන්ගේ බඩගෝස්තරය සඳහා රෙදි නැතුව කඩේ යන වර්තමාන ප්‍රබුද්දයින් වගේ නැතුව බොක්කෙන් ප්‍රේමෙට කඩේ ගියා.දිවුල්ගනේ වගේ උන් අද ඉන්න තැන දැක්කම කපුගේ ඉක්මනින් අපෙන් සමු ගත්ත එක ගැන සතුටුයි.එදා ආතල් ජීවිත ගෙවපු උන් අද ඇවිදින මළමිනී වෙලා ඉන්න හැටි දැක්කම ජෝති අපි අතර දැන් නැති එක ගැනත් සතුටුයි!

    ReplyDelete
  3. මට නම් පෙන්නනම බැරි දෙයක් තමයි සමහරු ජෝතිපාට ජෝතිපාල මැතිතුමා කියලා අපහාස කරන එක.

    ReplyDelete
  4. පැරෝ, ඔය බේබදුකම තමයි ජෝතිපාල ජ්‍යෝතිපාල කෙනෙක් කලේ. ඒ වගේම මිල්ටන් පෙරේරා, කපුගේ වගේ අය. බැරිවෙලාවත් උන් බේබද්දො නොවුන නම්, කවදාවත් අපට මතක හිටින මිනිසු වෙන්නෙ නැ.

    ReplyDelete
  5. අමරදේවගේ කපුගේගේ සින්දු නාහන කාලයකත් ජෝත්පාලගේ සින්දු මිනිස්සු අහයි.

    ReplyDelete
  6. ජෝති කියන්නෙ මගේ ප්‍රියතම ගායකයෙක්. එවැනි අව්‍යාජ , සුන්දර ගති ඇති කළාකරුවන් ආයෙත් බිහි වෙයිද කියා සිතන්නත් අමාරුයි. ජෝතිව අනුකරණය කරන්න මොන තරම් උත්සාහ කලත් කිසිවෙකුට ඒ අසලටවත් යන්න බැරි උනා .
    …ජෝති සදා අමරණීයයි .

    ReplyDelete
  7. ජොතී කව්ද කියලා හැමෝම තේරුම් ගත්තේ, ජෝතිගේ මළ ගේ දවසේ කනත්තේ උන්න සෙනග දැකලා. ඊට පස්සෙ ඒ වගේ සෙනගක් මම දැක්කේ ඇතුලත්මුදලිටයි, කොබ්බෑකඩුව මහත්තයටයි. ඒත් අච්චර සෙනගක් උන්නේ නෑ. මේ ළඟදි දයල් බතී ලියලා තිබුනා, බොහිමියානු ජීවීහයක් ගත කරපු භානු ගැන, නාට්ටිකරයෙක් රාවයේ ලියලා තිබුන ලිපියකට, උනපූරණයක්. අර මුල් ලිපියෙත් තිබුනේ කසාදයකින් පස්සේ බොහීමියානූ ලක්ෂණ නැති වෙලා කුටුම්භයකට සිර වෙනවා කියන කාරණය.

    දයල් නගපු ප්‍රශ්ණයට හොඳ උත්තරයක් තමයි ජෝති. උඹ දන්නවද දන්නෙ නෑ. අනික් උන් ජෝතිට ඉරිසියා කරන්න මුල් උන ප්‍රධාන හේතුවක් තමයි, ජෝතීට චතුර ලෙස ඉංග්‍රීසී භාෂාව පුළුවන් වීම. ඇත්ත ජෝතී හිටියනම්, පොරගේ බොක්ක හොඳ නිසා, මහින්ද මහත්තයා කතා කලත්, සින්දුවක් නොකියා ඉන්න එකක් නෑ. ඒත් මම හිතන්නේ නෑ. ජෝතිගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙයි කියලා. රූකා කියන්නෙත් බොක්කක්, ඒත් අද ඌත් මහින්ද මහත්තයගේ සාක්කුවේ..

    කන බොන සීන් එක නම් ගොඩක් උන්ගේ තියෙනවා. බඩු ගහන සීන් එකත් එහෙමමයි (සමාවෙන්න මේ වච්නය මෙතන පාවිච්චි කලාටා) ඒත් ජෝතිගේ තිබුන, රත්තරන් හඳවතත් ඒ කටහඬත් එකෙක් ලඟවත් නෑ..

    වත්මන් පරපුරේ ඉරාජ්ගේ යාන්තමට ඒ ගතිය තියෙනවා.. මට නම් ඌත් ටැලන්ටඩ් එකෙක්.. ගායනයෙන් නෙමෙයි.. ඌගේ ෆීල්ඩ් එකේ...

    ReplyDelete
    Replies
    1. පස්සේ ඕකට ප්‍රබුද්ධ මහත්තුරු කනත්තේ විප්ලවයද, සගිස්කුරුතියද මොකක්ද එකක් කියලා නමකුත් පට බැඳගෙන. පත්තර පිටු පුරවගෙන පොරවල් වෙන්න හැදුවා සෑහෙන. නමුත් ඉන්නකන් උන්ම "පීචං ගායකයා" කිව්වෙත් ජෝතිටමයි.

      Delete
  8. මට ජෝති අය්ය පළමුවෙන් මුන ගැසුනේ බොරැල්ලෙ වත්තක ස්පෝට්ස් ක්ලබ් (දේශපාලක ලයිසන් බාර්)එකක මොහොමඩ් ගෙ ආරාධනාවෙන් සින්දු කියන්න ආපු දිනයක.
    කතරගම ගම් උදාව ඉවර වෙලා ඇවිල්ල,මාලිගාවත්ත ප්ලැට් එකේ දවල් වෙල නැගිටල ලතා අක්කට එයා කන්න කැමති කැකිරි හොද්ද හදන්න කියල හොද්ද හදන අතරෙ තමයි නැති වුනෙ මම හිතන විදියට.
    රෝයි,සුමන එක්ක එකතු වෙලා චිත්‍රපටි කීපයක් කලා රගපාමින්.මස්කෙලියේ රූපගත කිරීම් මාස ගණන් රූගත කිරීම් කලා.රෑ වුනාම එකම විනෝද සාගරයයි.වතු අධිකාරි වරුන්ගෙන් දවස ගානෙ ආරාධනා.සමහර දාට දවස දෙක ෂුටින් කැන්සල්.උදේට නැගිටිද්දී ජෝති අයියගෙ කටින් වචන පිට වන්නෙ නැහැ විනෝද වෙච්ච සැරට.ඩිරෙක් සවුන්ඩ් (රූ ගත කරන විට හඩ පටිගත කිරීම)කරපු නිසා.අපි කට්ටිය මස්කෙලියේ ඉද්දි තමයි රුක්මනී අක්කත් නැති වුනේ.ආරංචිය ලැබුන ගමන් වැඩ නවත්වල මිගමු ගියා.
    වයසින් අඩු වුනත් අපිට කතා කලෙත් මිතුරන් සමානව.
    ආශ්‍රය කරන අයට බොක්කෙ මිතුරෙක් වුනා ජෝති අයිය.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අංකල්, සිරාවටම අහන්නෙ....ඔයා මොනවද එකේ කළේ? රඟපෑවද?

      Delete
  9. ඇයි අපේ ශිහන් මිහිරන්ග කොලුවත් ජෝති වගේම නේද​? හික්!

    ReplyDelete
  10. @පැරා.. ++++++

    @"AnonymousJuly 6, 2013 at 12:30 AM" ++++++

    -ප. ගෝ.

    ReplyDelete
  11. "කලින් මැරුණ නිසා ජෝති තාමත් පිපිච්ච මලක් වගේ සුන්දර මතකයන් ලෙස අපේ හදවත් තුළ ජීවත් වෙනවා. කලින් මැරෙන්න වාසනාව නො තිබිච්ච හුඟ දෙනෙක් පණ පිටින් කුණු වෙනවා."

    මේක තමයි අමූලික ඇත්ත. විජේට, ප්‍රෙම්ට උනත් පොදු කතාව.

    ReplyDelete
    Replies
    1. හිටියනම් එක්කො මුන් වහ බීලා මැරෙණවා. නැත්නම් එකසිය ගානට කඩේ යනවා.. කී දෙනාද කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ..

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.