2013-08-11

ඉරිදා පත්තර කියවීම හෙවත් පිළුණු බත් කෑම

පිංතූරය අදාළ වන්නේ ලිපියට නොව මේ දිනවල සිදු වන ආගමික ගැටුම්වලට ය. 


ඉරිදා සිංහල පත්තර කියවමින් සිටිමි. දැන් පත්තර කියවීම වෘත්තීය මට්ටමෙන් කරන 'මාධ්‍යවේදීන්' ද බිහි වී තිබේ. ඒ අය පත්තරවලට ලියන්නේ නැත. කරන්නේ අනුන් ලියූ දේ රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කියවීමයි. පත්තරවලට ලියන අයට වඩා මේගොල්ලෝ වැඩකාරයෝ ය. ඒ නිසා දැන් පත්තරකාරයන්ගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ කිසියම් දිනෙක පත්තර කියවන්නකු වීමයි.

පත්තරකාරයන් පත්තර කියවීම ඇත්තෙන් ම හොඳ දෙයකි. මන්ද, ඇතැම් පත්තර කර්තෘවරු තමන් කර්තෘකම කරන පත්තරයවත් කියවන්නේ නැත. මේ දිනවල ලංකාවේ වාමාංශික ලිබරල් බුද්ධිමතුන් විසින් සල්ලි සම්මාදම් කරමින් බේරා ගන්නට හදන එක පත්තරයක කර්තෘ ඒ වර්ගයේ කෙනෙකු බව කියන්නේ ඒ පත්තරයේ ම කර්තෘ මණ්ඩලයේ අය මිස මම නො වේ. එයා කරන්නේ තමන්ගේ සිතට එන වටිනා අදහස් ටික පිටු ගණනාවක ලියා එය බෙහෙත් ඩෝස් එකක් සේ අපට දීමයි.

පත්තර කියවනවා කිව්වාට මම නම් කරන්නේ පත්තර බැලීමයි. බලන අතරේ හමු වන ඇතැම් රසවත් ලිපියක් කියවමි. 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' නම් ලිපියක් රවිර පුවත්පතේ කියැවීමි. එහි දෘෂ්‍යමය ඉදිරිපත් කිරීම ආකර්ශනීය ය. ලිපියේ මුඛ්‍ය අදහස කරා පිවිසීමට පෙර වැල්වටාරම් ගොඩකි. ඉන් පසු අදාළ නව නිපැයුම කළ මහාචාර්ය අනුල් පෙරේරා සමග කතා කරන මෙම ලිපියේ ලේඛිකාව ලිපියේ අවසාන හරිය වන විට විදුලි බලාගාරවල ගල් අඟුරු වෙනුවට පිදුරු භාවිතා කළ හැකි ය යන තමන්ගේ ම නිගමනයකට එළඹ මෙසේ කියයි:

"මහාචාර්යවරයාගෙන් සමුගෙන එන අතරතුර මං හිතින් දැක්කේ පිදුරුවලින් විදුලි බලය නිෂ්පාදනය කරන බොහොම සශ්‍රීක ලංකාවකි." ඇගේ ලිපියේ අවසානයේ කියැවෙන පරිදි පිදුරු 'ලෝකයටම හිසරදයකි.' ඇත්තෙන්ම එසේ විය යුතු නැත. මන්ද, ඒවා මේ පත්තර සංස්කරණය කරන කර්තෘවරුන්ට හා උප කර්තෘවරුන්ට ආහාරයට ගන්නට පුළුවන. මෙම ලිපියේ නො තිබුණු එක ම දෙය 'පැය හතරකදී පිදුරු ඉන්ධන හා පොහොර හදන අලුත්ම තාක්ෂණය' පමණි. එහෙත්, මම ලිපිය කියවූයේ එය දැනගන්නට ය.

රිවිර පුවත්පතේ තවත් තැනක නොබෝදා විශ්‍රාම ලැබූ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ වසන්ත පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් කියැවූයෙමි. අනාගතයේ කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේදැයි ඔහුගෙන් ඇසූ විට ඔහු කියන්නේ තමන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ඉගැන්වීමටත්, පෞද්ගලික රෝහලකටත් සම්බන්ධ වන බවයි. ලංකාවේ ආණ්ඩුව විශ්‍රාමිකයන් අතරින් නැවත සේවය සඳහා කැඳවන්නේ කඩේ යන මිලිටරිකාරයන් හා බත්ගොටු නිලධාරීන් පමණි. ලෙහෙසියෙන් පිරවිය නො හැකි පුරප්පාඩු ඇති කර විශ්‍රාම යන මෙවැනි වටිනා මිනිසුන්ගෙන් ආණ්ඩුවට වැඩක් නැත. 

වාසල විත්ති නම් දේශපාලන ඔපාදූප කොලම ලියන නයනක රන්වැල්ල තමන් ගිය රජ පවුලේ මඟුල් ගෙදරක් ගැන වෙන ම ‍කොටුවක් තුළ විස්තරයක් ලියා තිබිණි. "මා ගිය මඟුල් ගෙදරක්" වැනි මාතෘකාවක් එයට වඩා ගැලපේ. එහෙත්, ඔහු එයට ‍යොදා තිබුණේ "ආනන්දයේ මිතුරන් එක් කළ මංගල උළෙලක්" යන පාසල් ගෝත්‍රවාදය අලෙවි කරන මාතෘකාවකි. ‍‍ගෝත්‍රවාදීහු තමන් පොදු සමාජයෙන් වෙන් කර ගන්නට විවිධ ගෝත්‍රික අනන්‍යතා සකසා ගනිති. 

බලාගෙන යන විට මත්තල ගුවන් තොටට ගොඩ බෑ ගුවන් යානයේ සිටි සහායක නියමුවරිය වන මාධිනී චන්ද්‍රදාස ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේලියකි. රාජපක්ෂලා නො කරන දේ මොනවා ද? මේ මඟුලේ මනාලිය ද ඇයයි. රාජපක්ෂ පවුලේ මාධ්‍ය'වේදීන්' නැත්තේ ඇයි ද යන්න මාධ්‍යකරුවෝ සිතා බැලිය යුතු ය. එය වැදගත් රස්සාවක් නො වන නිසා විය හැකි ය. නැතිනම් එම ක්ෂේත්‍රයේ රාජ පක්ෂ ගොයියන් වැඩි නිසා වෙන්නටත් පුළුවන.

මව්බිම පත්තරේ රූකාන්ත ගුණතිලක සමග අනුර බංඩාර රාජගුරු කළ සම්මුඛ සාකච්ඡාව රසවත් එකකි. කොටි සංවිධානය විසින් පොලිස් පරීක්ෂක ජයරත්නම් පැහැර ගෙන ගිය ආකාරය පිළිබඳ විස්තරය ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කර තිබිණි. එහි තවත් කොටසක් ලබන සතියට සම්බන්ධ කර තිබේ. මෑත කාලීන පොලිස් පරීක්ෂණයක තොරතුරක් මෙසේ ලබන සතියට සම්බන්ධ කරමින් පළ කිරීමේ තේරුම කුමක්දැයි නො දනිමි. මුළු කතාව ම වෙනත් පුවත්පත්වල වාර්තා කර තිබිණි.

අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන ක්‍රමයක් ගැන අනගි ලිපියක් ද මව්බිම පුවත්පතට සුගත් පෙරේරා විසින් ලියා තිබේ. "මංගල ඡායාරූප අස්සේ පට්ට කතා තව තව ගැස්සේ" යන ගොරකා මාතාකාවක් යොදා තිබුණ හිමංගි සුලක්ඛනා විසින් ලියන ලද ලිපිය කියවන්නට හැකියාවක් තිබිණි. එහි ඇය සමග කතා කරන ඡායාරූප ශිල්පීන් දෙදෙනාට නම් නැත. අද කාලේ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවන් ලියන ලිපිවලට ගෙවන ගණන් අනුව දුරකථන ඇමතුමකට වියදම් කිරීම, යමෙකු හමු වීමට බසයෙන් යාම පවා පාඩු ය. ඒ නිසා ඔය අනන් මනන් කතා ටිකක් එකතු කර මෙවැනි ලිපි ලියන අවස්ථා ද ඇත.

ප්‍රභාත් අත්තනායක‍ගේ 'දන්න රත්තරං ගැන නොදන්න කතා' ලිපි පෙළ ද වැදගත්, රසවත් තොරතුරු එකතුවකි. එහෙත්, පුවත්පත් කලාකරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබීමේ අවශ්‍යතාව මෙවැනි වාක්‍යවලින් පෙනේ. "දැන් මෙතැනදී තමයි වේස්ටේජ් එක කියන නම රත්තරන් එක්ක බැ‍ඳෙන්නේ. වේස්ටේජ් කියන්නේ රත්තරන් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී අපතේ යන රත්තරන් ප්‍රමාණයට කියන නම."

දැන් පත්තරවල අභිචාර හා බැඳුණු මිථ්‍යා විශ්වාස විකුණන්නේ විද්‍යාවත් කලවම් කරලා ය. හොඳින් අලෙවි වන මිථ්‍යා ලිපියක් ප්‍රමුඛ ලෙස පළ කරමින් එහි පැත්තක පොඩියට ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණය ද පළ කරන අයුරු ලංකාදීපයේ දුටිමි. මව්බිම ද මෙවැනි මිථ්‍යා මහා පරිමාණයෙන් අලෙවි කරන පුවත්පතකි. එසේම, බටහිර වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නැති රෝගවලට බෙහෙත් දෙන විස්කම් වෙදැදුරෝ ද පත්තරවල වැහි වැහැලා ය.

රැඩිකල්, ක්‍රම විරෝධී හා කැරැලිකාරී අදහස් කෙරෙහි ජනතාව තුළ ඇති කැමැත්ත ද පුවත්පත්වලට වෙළඳපොළක් නිර්මානය කර දී තිබේ. දැන් ඉරිදා සිංහල පුවත්පත්වල මෙවැනි දේශපාලකයන්ගේ අතීත කතා අඩංගු අතිරේක ද ඇත. ඒවායේ ප්‍රභාකරන්, විජේවීර, ප්‍රේමදාස, බර්ටි ප්‍රේමලාල්, චේ ගුවේරා ආදී හැම ජාතියක ම දේශපාලකයෝ සිල්ලරට විකිණෙති. මේවා කියවා හිතින් මේ කැරැලි සමග සම්බන්ධ වී ගතින් සාමාන්‍ය ජීවිත ගත කිරීමේ අවස්ථාව ඔබට ලැබේ.

සිංහලකම ගැන වැඩියෙන් ම කතා කරන පුවත්පත වන දිවයින හඩු සිංහල බස අතින් කෙළ පැමිණ ඇත.  හඩු වැඩ කරන විට බස හඩු වන එකට හොඳ ම උදාහරණය හඩ්සන් සමරසිංහ ය. දිවයිනේ මනෝජ් අබේධීර කලින් තමන් විසින් උඩ දමමින් සිටි ජවිපෙ රතුපස්වල සිද්ධිය පසුපස සිටිමින් ප්‍රකෝප‍ කිරීම් සිදු කළ බව කියන්නට ලියා ඇති හඩු ලිපිය හඩු බස අතින් ද උපරිම ය. ලංකාවේ සිංහල ජාතිකවාදී මාධ්‍ය'වේදීන්ට' වාක්‍යයක උක්තය ආඛ්‍යාතය ගලපා ගන්නටවත් බැරි ය. මේ ඔහුගේ වාක්‍ය කීපයකි. "උපවාසයේ නියුතුව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රදේශවාසීන් මයික්‍රොපෝනයකින් අමතනු ලබයි." "කර්මාන්ත ශාලාව වසන තෙක්‌ තමන් සටන අතනොහරින බව ඔවුන් ප්‍රකාශ කරයි." "පිරිස විසින් කර්මාන්ත ශාලාවට ගල් ප්‍රහාර එල්ල කරයි."

කවි පදවලින් මාතෘකා ලිවීමේ ශෛලියක් ද ලංකාවේ සිංහල පුවත්පත් කලාවේදීන් අතර ජනප්‍රිය ය.  "පැපිලියානේ ගේකට රිංගලා රවිඳු පුතා හැංගිලා!" යි දිවයින කියයි. "කිරිපිටි කියා අපි ඔක්කොම වහ බොනවා - තරිකිට කිය කියා උන් හුරතල් වෙනවා." තරිකිට කිය කියා හුරතල් වීම යනු කුමක්දැයි නො දනිමි.

දිවයින ගොවීන් හා පරිසරය ගැන කතා කරන පුවත්පතකි. මෙවර ද සෝයා වවා අමාරුවේ වැටුණු ගොවීන් ගැන ලිපියක් එහි පළ වේ. පර්සි කුරුනේරු විසින් ලියන ලද එය කෘෂිකර්ම අමාත්‍යංශයේ මහා පරිමාණ බීජ වංචාවක් පිළිබඳ තොරතුරු සපයන විශිෂ්ට වාර්තාකරණයකි.

දැක්ම යන නමින් නලින් ද සිල්වා දිවයිනේ ලියන විහිළු කොලම ද මම උඩින් පල්ලෙන් කියවා දමන එකකි. රාජපක්ෂ පාලනය මෙසේ සිතිය යුතු යයි නලින් ද සිල්වා සිතන ආකාරයට ඔහු දැක්ම යයි කියයි. ඔහුට ජනාධිපති උපදේශකකමක් දිය යුතු ය. මෙවර දැක්මෙන් එපා කියමින් ඔහු ඉල්ලා සිටින්නේ එයයි.

දිවයින පුවත්පතේ පිටු සැලසුම් නිර්මානය වෘත්තික මට්ටමින් ඉහළ ය. සිංහල ජාතිකවාදී වෙළඳපොළ වුණත් බටහිර පන්නයේ ඇඳුම් අඳින ගැහැනුන්ගේ සුදු වටොර දකින්නට ආසා බව මීවිත කෑල්ලේ කවරය බැලූ විට සිතේ.

ලංකාදීප ඉරිදා පත්තර අතරින් අන්තර්ගතයේ ගුණාත්මකභාවය ගැන අඩු ම සැලකිල්ලක් හා දැන්වීම් අලෙවිකරණය ගැන වැඩි ම සැලකිල්ලක් දක්වන පුවත්පතයි. එහි පළ වූ ලිපි අතරින් දයාසීලි ලියනගේ විසින් ලියන ලද "ආරක්ෂකයන් පිරිවරා ඉගිලෙන දේශපාලකයන්ගේ මහ මග ත්‍රස්තවාදය" හා සංජීවිකා සමරතුංග විසින් ලියන ලද "ලොක්කන්ගේ කුණු කොන්ත්‍රාත් කර ගහන සොක්කන්ගේ ඉරණම" යන ලිපි දෙක ඵලදායී දේශපාලන ලිපි දෙකකි.

"වකුගඩු දන් දුන් පින්වතුන් කියන කතා" මැයෙන් වූ වකුගඩු දන් දීම සඳහා මිනිසුන් පොළඹවන ප්‍රචාරාත්මක ලිපියක් ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියා ඇත. එහි කතා කරන සියලු දෙනා වකුගඩු දන් දී ඉතා නිරෝගීව ජීවත් වෙති.

ඉරිදා ලංකාදීපයේ මා කැමති ම කොටස වන්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවයි. පසුගිය කාලයේ මෙම චිත්‍රකතාවේ ගුණාත්මක්භාවය පිරිහුණමුත් දැන් 'දෙකෙළවර' නම් අලුත්, රසවත් කතාවක් අලුත් තේමාවක් ඔස්සේ ලියැවෙමින් තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චරිතයට සුදුහුණු ගෑමේ අසාර්ථක ව්‍යාපෘතියක් ලක්බිමේ මිහිරි ෆොන්සේකා ආරම්භ කර තිබේ. එහෙත්, මිහිරි ෆොන්සේකා විසින් උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේස්වරන් සමග කරන සාකච්ඡාවෙන් ඔහු කෙතරම් පුළුල් පුද්ගලයකු ද යන්න මනාව පැහැදිලි වේ.

ලක්බිමෙහි මංජුසාව වටිනාකමක් ඇති කලා හා සංස්කෘතික සංග්‍රහයකි. එහෙත්, සිංහල ඉරිදා පුවත්පත් අතරින් ශාස්ත්‍රීය මට්ටමක ශාස්ත්‍රීය සංග්‍රහයක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතයි.

ලංකාවේ මහජන සහභාගිත්වයෙන් නිෂ්පාදනය වන එක ම පුවත්පත රාවයයි. මන්ද, එය අපට කඩෙන් ලැබෙන්නේ කෑලි ගොඩක් ලෙසයි. ඒ ටික පිළිවෙලට තබා හෙවත් ඇසෙම්බල් කරගෙන කියවිය යුතු ය. ඒ නිසා රාවය පත්තරය අත‍ට ගත් හැටියේ ඇති වන්නේ තරහකි. තම පාරිභෝගිකයාට මෙතරම් බාල නිෂ්පාදනයක් ලබා දෙන වෙනත් පත්තරයක් ලංකාවේ නැත.

රාවය සාමාන්‍යයෙන් ගත් කල තොරතුරු අඩු, අදහස් වැඩි සාර සංග්‍රහයකි. තමන්ගේ අදහස් කරුණු මත පදනම් කරන රාවයේ කොලම් අතරින් සිව්මංසල කොලු ගැටයා, ඉකොනො කොලම හා පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් අගය කළ යුතු ය.

සිංහල පුවත්පත්වල සාහිත්‍ය විචාර ද පළ වේ. ඒවා වනාහි ඒ ඒ කර්තෘවරුන් විසින් තම හිතවත් විචාරකයන්ට කියා යම් ගෙවීමක් (මුදලින් හෝ වෙනත් ආකාරයකින්) කර ලියවා ගන්නා ප්‍රචාරක ලේඛන යයි සිතිය හැකි ය. මන්ද, මේ විචාරකයෝ හිටි ගමන් විචාරයක් ලියා දීර්ඝ සිසිර නිද්‍රාවකට යන ආකාරයක් දකින්නට ලැබෙන බැවිනි. ඔවුන් විචාර ලියන්නට ඉදිරිපත් වන්නේ සැලකිය යුතු විශේෂත්වයක් ඇති කෘතිවලට ද නො වේ.

පත්තර කාටුන් අතරින් මා වැඩියෙන් ම කැමති ලක්බිමේ වසන්ත කරුණාතිලකගේ කාටුන්වලට ය.  

අන්තර්ජාලයේ නිති සැරිසරන මට ඉරිදා සිංහල පුවත්පත්වල ප්‍රවෘත්ති වටිනාකමක් නම් ඇත්තේ ම නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Read in English blog.parakum.com



13 comments:

  1. සිංහල බ්ලොග්ස් ගැන මේ විදියට විචාරයක් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. // බටහිර වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නැති රෝගවලට බෙහෙත් දෙන විස්කම් වෙදැදුරෝ ද පත්තරවල වැහි වැහැලා ය. //
      බ්ලොග් වලත් මේ වගේ අය ඉන්නවා....

      Delete
  2. ධර්මරත්නAugust 11, 2013 at 10:50 PM

    පැරකුම් ගේ ඉහත ලිපියට ලඟ සම්බන්ධයක් නැතත් මේ ගැන මගේ අදහස්......දැන් රතුපස්වල සිද්ධිය 'දේශප්‍රේමි' යැයි කියා ගන්නා දිවයින පඩංගුවේ තිබුනේ "රතුපස්වල වසන්තය බොඳ උනාට හමුදාව පලි නෑ" කියාය.ලංකාදීප මාධ්‍ය නෝනාට හමුදාව පහර දී ඒ මුළු පත්තරේම කෙඳිරිය පසු ගිය දින කිහිපයේම අඳෝනාවක විලසින් අසන්නට ලැබුනි.පත්තර බල්ලෝ තමයිලු මේ ප්‍රශ්න අවුලුවන්නේ කියලා තමයි එලව එලවා පහර දිලා තිබුනේ.කාරනාව මේකයි,මේ මාධය වේදින් පත්තර අයිති කරුවන් සියල්ල දේශප්‍රේමි ලෙස මහින්දගේ ඒකාධිපති ආංඩුවට කඩේ ගිය අය.ඒ අයට හමුදාව තං වීරයෝ පිරිසක් තවත් හිටියේ නෑ.ගෝඨා-බය ගැන වචනයක් කතා කෙරුවේ නෑ.කොටින්ම මර්වින් සිල්වා මාධ්‍ය කරුවන්ට එපමණ අඩංතෙට්ටං කරලත් සැලකිය යුතු දැඩි තින්දුවකට ඒමට අපොහොසත් වු මාධ්‍ය නඩය දේශප්‍රේමි අන්තවාදයෙන් මෝහනය වී සිටියේ හරියට ලංකාවේ ඉන්න බහුතරයක් කලාකරුවන්[යැයි කියා ගන්නා] පිරිස ලෙසයි.දැන් මේ උදවියගේ ආතල් කැඩි හමුදා භට [පිරිස්] ඔවුන්ට ආවේනික ආකාරයට අත දිග හැර සලකා ඇත.මේ අයගේ දේශප්‍රේමි සිත් සතන්,රාජපක්ෂලා පිළිබඳ වු පහන් සිත් පොජ්ජවල් කුරුවල් කෙරුවේ කවුද? කවුද ඒවාට වග කිව යුත්තේ.අන්න ඒ ප්‍රශ්නයට පිලිතුරු සොයා ගත යුතු මොහොත ගාමීණි සුමනසේකර නම් වු කුලියට ලියන්නා අඩියක් ඉදිරියට ඇවිත් ඇත.මේ පිවිතුරු දේශප්‍රේමි මනස් අවුල් කල අයට තරාතිරම නොබලා දඬුවම් කලයුතුය.ඒ දඬුවම් ලැබිය යුත්තේ වෙන කවුරුවත් නොව රතුපස්වල ජනතාවයි.මහින්දයාට ඡන්දේ දීලා වෙන අයගෙන් සාධරණය,ප්‍රජාතන්ත්‍ර වාදය,හොරකම් නොකිරිම ශිෂ්ඨත්වය බලාපොරොත්තු වන මෝඩ ජනතාව දිනේවාවාවාවා.................වා.

    ReplyDelete
    Replies
    1. elama ela.

      indika

      Delete
    2. දිවයිනේ මෙම ලිපිය මමත් කියෙව්වේ හරිම පිලිකුලින්. මෙම බඩ රස්සාව කරන එකා කොච්චර නිවට විදිහට පෑන හසුරමින් අයුක්තියට සේවය කරනවද අනේ නොදකින් කියලා හිතුනා. දිවයිනේ කොමෙන්ට් එකක් වත් දමන්න විදිහක් නැහැනේ. අනේ මුන් මේවා ලියලා හම්බෙන මුදලින් ලමයින්ටත් කන්ඩ ගෙනියනවානේ.................
      ඉන්දික

      Delete
  3. බලාගෙන යනකොට මම නො කියවන ම ලිපියක් තමයි කතුවැකිය. ඒක මට කොච්චර නො වැදගත් ද කියනවා නම්, මේ ලිපියේ ඒ ගැන සඳහන් කරන්නත් අමතක වුණා.

    ReplyDelete
  4. //ඇගේ ලිපියේ අවසානයේ කියැවෙන පරිදි පිදුරු 'ලෝකයටම හිසරදයකි.' ඇත්තෙන්ම එසේ විය යුතු නැත. මන්ද, ඒවා මේ පත්තර සංස්කරණය කරන කර්තෘවරුන්ට හා උප කර්තෘවරුන්ට ආහාරයට ගන්නට පුළුවන.// LOL!

    ReplyDelete
  5. මම මීට වඩා පහසු ලාබ වැඩක් කරමි. එක පත්තරයක් වත් ගැනීමෙන් හා කියවීමෙන් වැළකීමයි ඒ. අවුරුදු කීපයක් ඒ පුරුද්දෙන් මෙන් කිරීම නිසා මට මෙතෙක් වූ පාඩුවක් නම් නැත.

    ReplyDelete
  6. i used to buy all sundqy news papaers frm th time they were 25. i waz small back then had a lot to learn frm those. bt it gt gradually reduced to one news paper.fiest to go was divaina as it is less ineresting. then lqkbima czits all abt gossip and less important stuff. i used to love their articles on remote areas. and mawabima was th last to get droppd.they started wit a bang. nw they are in th prpcess of selling yakku. kattadiyo and gurukam and i stick to sunday times now. way better than all thsinhala papers altogerher. even tho some of th articles are difficult to grasp cz of their high standed of enlish n due to my small vocabulary

    ReplyDelete
  7. ඉස්සර පත්තර තිබුනේ මිනිසුන්ට කියවන්න විඳින් දේවල් එක්ක. දයාසේන ගුණසිංහ,සිරිලාල් කොඩිකාර,වැනි පත්තර කලාව උගත් මිනිසුන් හිටියදෙැන් පත්තරවල ඉන්නේ බඩගෝස්තරවාදීන්,දේශපාලන හෙංචයියලා,කෙලින්ම දේශපාලනයට කඩේ යන බත්ගොට්ටෝ.. ගිය සතියේ “ඉරිදා දිවයින පත්තරෙන්“ ඒක රහසක් නොවන බව ඔප්පු කළා. ඇත්තටම සති අන්ත පත්තරයක් ගන්න රුපියල් 50 වියදම් කරන එක අපරාධයක්.අපි ඒකෙන් කරන්නේ උන්ගේ කඩේ යන රස්සාවට අපෙන් තල්ලුවක් දිමයි.

    ReplyDelete
  8. අන්න නියමයි පැරා..දාන්න පහක්...අර මල් පත්තර කාරයගෙ මල් පිටුව වගෙ බැරිද හැම ඉරිදම අපි කියවන්න ඕන මොන පත්තරේද කියල පොඩි රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න....හැබැයි පුතා උපරිම පත්තර දෙකයි..ඊට වැඩිය වියදම් කරන්න සල්ලිවත් කියවන්න වෙලාවවත් අපට නෑ..හරිය?

    ReplyDelete
  9. ලොකුම ප්‍රශ්නේ තමයි පත්තර සංඛ්‍යාව වැඩි එක.

    ටීවී චැනල් ගානත් වැඩියි!

    ඔය සේරම රන් කරන්නේ මහජන මුදලින් නේද? මං කියන්නේ මහජනතාව පාරිභෝගික ද්‍රව්‍ය ගන්න වැය කරන මුදලින්!

    ReplyDelete
  10. ඇත්තට පැරා හිතනවද මිනිස්සු පත්තර ගන්නේ කියවන්න කියලා. බත් ඔතන්න ගන්න පත්තරෙ විකල්පයක් තමයි කියවන එක. මිනිස්සු බලන්නේ වැඩි කොළ ගානක් තියන පත්තර. පොඩි පොඩි අතිරේක හොදයි පොඩි එවුන්ට රුප කපන්න. මේසෙට ඇරලා තියන කෑම ටික වහන්න.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.