2013-08-23

සරා සඳක් ගැන කදෝපැණියෙක්

මේ සරච්චන්ද්‍ර ගැන ශාස්ත්‍රීය ලිපියක් නොවෙයි. සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය ජීවිතයක්. ඒත්, එවැන්නන් නො වන අපේ ජීවිතවලට ඔහු බලපෑවේ කොහොමද කියන කාරණේයි මම සාකච්ඡා කරන්නේ.

සරච්චන්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාර්ථියෙක්. ඔහු මුළු ජීවිතය ම කැප කළේ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්. ‍එහෙම බැලුවා ම ඔහු අනුන්ගේ ආලෝකය පරාවර්තනය කළ සඳක් නෙමෙයි. තමන්ගේ ම ආලෝකයක් තිබුණු තාරකාවක්. ඔහුගේ ඇසුරේ සිටි බව කියමින් තාරකා බවට පත් වන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් නිකම් ම නිකම් ග්‍රහක කෑලි විතරයි.

මම සරච්චන්ද්‍රව හොඳින් දැක්කේ ඔහු බොහෝ වයස්ගතව හිටිද්දී ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු දේශනයකදීයි. කොච්චර වයස්ගත වෙලා හිටියා ද කියනවා නම්, හෙළයේ මහා නාට්‍යකරුවා වූ ඔහුට සතර අභිනයත් මතක් කර දෙන්න වුණා. දේශනය අතරමගදී ඔහු සොබා දහමේ කැඳවිමකටත් ගිහින් ආවා, ''මං ඉතින් වයසක මිනිහනේ" කියා‍ගෙන. ඒ දේශනය ඒ තරම් හරවත් එකක් නොවෙයි. ඒත්, මම ඈත දුෂ්කර ප්‍රදේශක වැඩ කරමින් ඉඳිද්දි ‍ඒ දේශනය අහන්න තකහනියක් කොළඹ ආවේ, දේශනය අහනවාට වඩා සරච්චන්ද්‍රව දැකගන්නයි.සරච්චන්ද්‍රව හැබැහැනි දැක ගැනීම ගැන මගෙ හිතේ සතුටක් තිබෙනවා.

සරච්චන්ද්‍ර විද්‍යාර්ථියෙක් විතරක් නොවෙයි. ඔහු කලාකරුවෙක්. විද්‍යාර්ථී කලාකරුවෙක්. කලාකරුවාට විද්‍යාර්ථී අනන්‍යතාව වැදගත් නැහැ. ඒත්, හැම උසස් කලාකරුවෙක් ම විද්‍යාර්ථියෙක් තමයි. ඔහු හෝ ඇය හෝ ඉදිරිපත් කරන කලාත්මක නිර්මානය කියන්නේ විද්‍යාර්ථියෙකුට විශ්ලේෂණය කර විවිධ හැඩතල පෙන්වා දෙන්න පුළුවන් මැණිකක් වැනි දෙයක්.  සරච්චන්ද්‍ර මේ ලක්ෂණ දෙක ම එක මිටින් කැටි කර ගත් කෙනෙක්. මං හිතන්නේ ලංකාවේ එවැනි අය විරළයි. මගේ නම් අදහස එවැනි අය හිටියේ සරච්චන්ද්‍ර විතරයි කියලායි. මෙතැනදී මාටින් වික්‍රමසිංහ අමතක කරන්න බැහැ. ඒත්, ඔහු විශ්ව විද්‍යාල ඇසුරෙන් බිහි වූ හෝ ඒ පසුබිමේ සිටි අයෙකු නො වන නිසා ඔහු සුවිශේෂයි.

සරච්චන්ද්‍ර සිය බලපෑම සලකුණු කළ කෘති තමයි, මළගිය ඇත්තෝ, මනමේ, කල්පනා ලෝකය. හා පිං ඇති සරසවි වරමක් වන්නේ. මේ කෘති හතර අයත් වන්නේ ක්ෂේත්‍ර හතරකට.

“ඔබ දැන් ඔබේ අත්දැකීම් ලියා තැබිය යුතුය” නොයෙක් දෙන නොයෙක් වර මට කියන විට, මා තුළ අනේකවිධ හැඟීම් ජනිත වේ. මේ හැඟීම් ඇතැම් විට එකක් අනිකට පටහැනි ය. මා විසින් විවිධ අත්දැකීම් රැස්කොට ඇත යන අදහස මොවුන්ගේ කියමනින් ධ්වනිත වේ. මේ සැබෑවක්දැයි මම අතීතය ආවර්ජනය කොට බලමි. ඉනික්බිති ව ඒ අත්දැකීම් වැදගත් දැයි විග්‍රහ කොට බැලිය යුතු ය. ‘වැදගත්’ යනු සාපේක්ෂාර්ථ ඇති වචනයකි. කාටද වැදගත්? කුමටද වැදගත්? ආදී ප්‍රශ්න පැනනඟී. මගේ අත්දැකීම්වල ඓතිහාසික වැදගත්කමක් තිබේද? එනම්, ඒවා පොදු සමාජයට වැදගත්ද? නැතහොත් ඇතැම් පුද්ගලයන්ට ද? ගත්කරුවන්ට ද? කලාකරුවන්ට ද? ශාස්ත්‍රඥයන්ට ද?" යි ඔහු සඳහන් කරන 'පිං ඇති සරසවි වරමක් වන්නේ' කියන්නේ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වැනි එකක්. මම හිතන්නේ ලංකාවේ අව්‍යාජ ම ජීවිත කතාව ඒක. ඒත්, ඔහු එහි මුල සඳහන් කරනවා එය එහෙම නැති බව. මා හිතන්නේ මේ ලේඛනයේදී ඔහු හැකි තරම් අවංක වෙන්න උත්සාහ කළා. තමන්ගේ පොතෙන් තමන් ම පුම්බා ගන්න ඔහු උත්සාහ දරන්නේ නැහැ. ඒත්, ඔහුගේ ඒ අව්‍යාජත්වය තුළින් ඔහුගේ වටිනාකම් තවත් ඔප් නැංවෙනවා. සරච්චන්ද්‍ර තමන් මහා පිරිසිදු චරිතයක් කියා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ.

ඔහුගේ චරිතය හා සම්බන්ධ දේශපාලනිකව වැදගත් සිද්ධියක් වන ඔහුට ශාරීරිකවම පහර දීම පිටුපස ඔහු ලියූ දේශපාලන කෘතියක් වන 'ධර්මිෂ්ට සමාජය' තිබුණා. එය සමාජ දේශපාලන විග්‍රහයක්. ඒත්, ජේ.ආර්. ජයවර්ධනගේ මැරවරයන් විසින් තබන ලද සලකුණ හැර වෙනත් ලොකු සාධනීය බලපෑමක් එයින් ලාංකීය දේශපාලනයට වුණා ය කියා මම හිතන්නේ නැහැ. එහෙත්, "සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ට සමාජය’ කෘතිය මගින් යෝජිත ලෝක දැක්ම තාර්කික අන්තයක් කරා ගෙන යාමක් ලෙස ජාතික චින්තන ව්‍යාපාරය හැඳින්වීමට පුළුවන. ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා විසින් මූලික වශයෙන් ගොඩ නංවනු ලැබූ මෙම ලෝක දැක්ම එවකට ජව සම්පන්න හා තියුණු බුද්ධියකින් යුතු තරුණ රැඩිකල් දේශපාලන ක‍්‍රියාධරයකුව සිටි පාඨලී චම්පික රණවක විසින් දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරන ලදි" යි නිර්මාල් රං‍ජිත් දේවසිරි ලියා තිබෙනවා.

සරච්චන්ද්‍ර සමගි පෙරමුණු ආණ්ඩුව කාලේ ප්‍රංශයේ ශ්‍රී ලාංකික තානාපති වී සිටි එක ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතය දූෂණය කළ සිද්ධියක් ය කියා කියන්න පුළුවන්. හැබැයි, මම මේක කියන්නේ රටක් නියෝජනය කරන තානාපතිකම කියන්නේ විදේශ සේවයේ සිටින ඊනියා වෘත්තිකයන්ට පමණක් සීමා විය යුතු එකක් ය කියන අරුතින් නොවෙයි. සරච්චන්ද්‍ර වගේ කෙනෙක් ලංකාවේ වගේ ගොබ්බ ආණ්ඩුවක් නියෝජනය කරන්න යාම තමන් තමන්ට ම කර ගත් හානියක් නිසා. හැබැයි, මේ දේ කියන්නේ අදනේ. සමහර විට සරච්චන්ද්‍ර එදා ඒ ආණ්ඩුවේ ප්‍රයත්නයන් තුළ යම් බැරෑරුම්කමක් දකින්න ඇති.

සරච්චන්ද්‍ර සිය විචාර සංකල්ප ඉදිරිපත් කළ කල්පනා ලෝකය ලිව්වේ ඔහු නවකතාකරණයට පිවිසෙන්නටත් පෙරයි. ඔහුගේ විචාර සංකල්ප ද වෙනත් ඕනෑම විචාරක නිර්මානකරුවකුගේ සේ ම සියයට සියයක් සිය නිර්මාන තුළින් විශධ වන්නේ නැත. මෙය හරියට දුරස්ථකරණය පිළිබඳ බ්‍රෙෂ්ට්ගේ සංකල්ප ඔහුගේ නාට්‍යවලදී ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වෙනවා වගේ.

"මනුෂ්‍යයා උපදින්නේ පසිඳුරන්ට ගොදුරුවන මේ විෂය ලෝකයෙහි ම වුවද ඔහු වෙසෙන්නේ එහි පමණක් නොවේ. ඔහු මනසට පමණක් ගොදුරුවන කල්පනා ලෝකයක් මවාගෙන එහි ද වාසය කෙ‍ෙර්. සැබෑ ‍ලෝකය ඔහුගේ මනදොළ පිනවීමට අසමත් ය. එය ඔහුට රිසිසේ වෙනස් කරගත නොහැකි ය. එහි බලපාන නියාම ධර්මය අවබෝධ කරගෙන, ඔහුට එය මඳක් දුරට හසුරුවා ගත හැකි ය. එහෙත් මුළුමනින් ම ඔහුගේ අත් අඩංගුවට නොපැමිණේ. ඥානය නමැති දැලට ලෝකයෙන් අඩක් හසුවන නමුත්, අනිත් අඩ නිතරම එයින් පිටතට දුවයි. උතු නියාමය, බීජ නියාමය ආදිය ඔහුට තරමක් අවබෝධ වන නමුදු චිත්ත නියාමය ඔහුට බෙහෙවින් ම රහසකි." - කල්පනා ලෝකය

"සාහිත්‍ය වූ කලී කවියා මවන කල්පනා ලෝකය ය. එය සැබෑ ලෝකයට සමාන වුව ද අනෙකකි. එහි බලපාන ධර්මතාව සැබෑ ලෝකයෙහි බල පාන ධර්මතාව නොවේ. සැබෑ ලෝකයේ මිම්මෙන් එය මැනිය හැකි නොවේ. සැබෑ ලෝකයේ නීති රීති එහි වලංගු නැත." - කල්පනා ලෝකය

කල්පනා ලෝකය විචාරක සංකල්ප කෙළින් ම ගැටෙන්නේ යථාර්ථවාදය සමගයි. ප්‍රචාරකවාදී පටු විචාර සංකල්පයක් වූ සමාජ සත්තා යථාර්ථවාදයේ සීමා සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයෙන් පුපුරුවා හරින ලදමුත් පසු කාලයක මාක්ස්වාදී ආස්ථානයෙන් එය පිළිබඳ ලියැවුණු කෘති ඔස්සේ මේ ‍සංවාදය පෙරට ගියා.

"මිනිසාගේ නිර්මාන නිපුනතා හා සංවේදීතා ද ඔහුගේ කලාව හා විද්‍යාව ද යනාදී මේ සියල්ල ම නිපදවන ලද්දේ ඊශ්වරයෙකු වැනි සංකල්පයක් විසින් වත් කෙලින් ම සොබාදහම විසින් වත් නො ව මිනිසා විසින් ම ය. ධනේශ්වර සමාජ සම්බන්ධතා නමැති පාට කන්නාඩියෙන් බැලූ කල්හි දිස් වන පරිදි, මේ එකකුදු තනි තනි එකලා පුද්ගලයන්ගේ නිෂ්පාදිත වත් ඒ ඒ පුද්ගලයන්ට ගෙඩි පිටින් ම සැපයෙන දේ වත් නො වේ. ඒ සියල්ල සමාජගත වූ එනම් නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට ඇතුලු වීමට සිදු වූ පුද්ගලයන් විසින් සිය සමාජ නිෂ්පාදන ක‍්‍රියාකාරීත්වයේ දී අත්පත් කර ගන්නා ලද්දේ වෙයි." (කල්පනාලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත්)

සිංහල ගැමි නාට්‍යය ගැන සරච්චන්ද්‍රයන් කළ අධ්‍යයනය ලංකාවේ නාට්‍ය කලාව ගැන කරන ලද ගැඹුරු ම අධ්‍යයනය ලෙස සැලකිය හැකියි. මනමේ තමයි මේ ව්‍යායාමයේ අග්‍ර ඵලය. මනමේ දේශීය නාට්‍ය කලාවක ආකෘතික හැඩයක් නිර්මානය කළ බව ඇත්ත. ඒත්, එය දේශීය නාට්‍ය කලාවට කලින් සිදු වූ විදේශීය ආභාසයේත්, ජපන් කබුකි හා චීන නෝ ආදී නාට්‍ය කලාවන්ගේ ආභාසයෙනුත් බටහිර විචාර සංකල්පවල බලපෑමෙනුත් බිහිවන ස්වාධීන නිර්මානයක්. එය විසින් සුවි‍ශේෂ සිංහල නාට්‍ය සම්ප්‍රදායක් නිර්මානය කළා ය කියන්න බැහැ. එමගින් සරච්චන්ද්‍ර නාට්‍ය සම්ප්‍රදායක් නම් බිහි වුණා. එහි අග්‍ර ළුලය ලෙස සැලකෙන්නේ සිංහබාහුයි. සිංහබාහු මායාමය මනෝ නිර්මිත ගුහාව බිඳගෙන යාමේදී කෙනකු තුළ මැවෙන ස්වයං වරදකාරී දෘෂ්ටාන්තයක් බව මහාචාර්ය ඩයස් ගුණරත්නගේ 'සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා' කෘතියේ සඳහන් වෙනවා.

සරච්චන්ද්‍ර ස්පර්ශ කළේ  මිනිස් සබඳතා හා මනෝභාවයන්ගේ ගැඹුරයි. ඔහුගේ කෘති විශ්ව සාධාරණ හා සදාතනික වන්නේ ඒ නිසායි. ඔහුගේ මේ සාහිත්‍ය ගුණය ඔහු විසින් ලියන ලද නවකතාවල හොඳින් නිරූපණය වෙනවා.

සරච්චන්ද්‍රයන් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂාවන් හැදෑරූ වියතෙක්. එහෙත්, ඔහු ලියූ හැම කෘතියක් ම වගේ සාමාන්‍ය මිනිසුන්ට කියවා රස විඳිය හැකි සරළ, සුගම බසකින් තමයි ලියා තිබෙන්නේ. ඒ අතින් බැලුවාම ඔහු සාහිත්‍යයෙන් දේශපාලන විප්ලවයක් කළ කෙනෙක් කිව්වාට වරදක් නැහැ. පොදු ජනයාගේ රසඥතාව නංවන්න ඔහු කළ මෙහෙය අති විශිෂ්ටයි.

සරච්චන්ද්‍ර කිසි දිනෙක කවි පොතක් පළ කර නැහැ. ඔහු ලියූ විලාසිනියකගේ ප්‍රේමය ගද්‍යය හා පද්‍යය කැටි වූ චම්පු කාව්‍යයක්. එහෙත්, මේ සියලු සාහිත්‍ය‍ කාර්යයන්ගේ යට තලයේ හිටියේ මහා කවියෙක්. ඒ කවිත්වය ඔහුගේ ගද්‍ය වගේ ම පද්‍ය කෘතිවලත් නො අඩුව නිරූපණය වෙනවා.

'කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ, මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය.'(පිං ඇති සරසවි වරමක් දෙන්නේ)

වසන්ත දෙව්දුව සමුගන්නට යයි
රුප්පා මුල ඇද හැලේය පරමල්
ලොවේ සොඳුර මැලවී නැති වී යන
සමයයි එළඹෙන්නේ
වසන්ත දෙව්දුව සමුගෙන ගිය කල
ලොවේ සොඳුර මැලවී නැති වුණු දා
රුප්පාවල විසිරී ඇති පරමල්
කවුද නෙළා ගන්නේ?
(විලාසිනියකගේ ප්‍රේමය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

11 comments:

  1. සරත්චන්ද්‍ර ශුරින් ගැන ඔබේ මතකය ගැන හරි අපුරුවට ලියා තිබෙනවා.මට එතුමා මතක තියෙන්නෙ තිස්ස කාරියවසම් මහතා මුණගැසීමට නිරන්තරයෙන් විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ෆොක්ස්වැගන් කාර් එකෙන් ආපු අන්දමයි.(ඒකාලයේ සරත්චන්ද්‍ර ශුරින් විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සේවය නොකලත් තිස්ස කාරියවසම් මහතා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සේවය කලා.) ඇතුල්වෙන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරින් නොසිටින වෙලාවට 5 ශ්‍රී ෆොක්ස්වැගන් එකට ගේට්ටුව ස්වේච්චාවෙන්ම ගේට්ටුව් අරින එකල සිසුන්වූ අපිට මුදු ලෙසට හිනාවෙන්න එතුමා අමතක කලේ නැහැ.

    ReplyDelete
  2. මම නං මේ මනුස්සයට ආසා නෑ. මොකද එයාගේ රැවුල කැතයි. අනේ ඇයි හැබැටම මේ මිනිස්සුන්ට රැවුල කපලා ඉන්න බැරි.

    දිලීප

    ReplyDelete
    Replies
    1. උඩු/යටි රැවුල ලාවට කමක් නැහැ නේද?

      Delete
    2. @kenji@japan
      Hey You fucking idiot.
      dont feed the trolls, you moron.

      Delete
  3. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකෙන් එන්නෙ වෙරළු මල් සුවද ද මන්දා?

      Delete
  4. ඔබ කියා ඇති පරිදිම සඳ බැබලෙන්නේ වෙනත් තරුවක එළියෙන්.

    ඒ වුණාට කදෝපැණියා නම් බැබලෙන්නෙ තමන්ගේ ම "ලකේ පුයිට්" එක නිසායි නේද?

    (Ano, ano go away,
    come again another day)

    ReplyDelete
    Replies
    1. "රෑබදුල්ලා" ත් එහෙම තමයි. :-)

      Delete
    2. කදෝපැණියාගේ තියෙන අප්සෙට් එක තමයි. ලයිට් තිබුණට ඌ යන්නෙ කළුවරේ. පස්සෙන් එන එකාට තමයි ලයිට්.

      Delete
  5. 'ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තය' උනත් ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් වැනි එකක්.

    හොඳ ලිපියක් පලකිරීම ගැන පැරා ට ස්තුතියි.

    ReplyDelete
  6. අපි කොළඹ සරසවියේ අධ්‍යයනය කල වකවානුවේ, අනුවේ දශකයේ මුල් කාලයේ එහි ඉතා රසවත් කලා වැඩසටහන් පැවතුණා. ඒ කාලේ අපේ උපකුලපති ජී ඇල් පීරිස්. හැම සතියකම ප්‍රසිද්ධ නාට්‍යයක් පෙන්වූ අතර ඊට පසුව කල විචාරයක් පැවැත්වුනා. ඒ විචාර ඉතාම රසවත්, හේතුව එහි මුලාසනය හෙබවූ සරත්චන්ද්‍ර ශූරීන් නිසයි. නමුත් ඒ කාලයේ කොළඹ සරසවියේ ඔඩුදුවමින් තිබු නලින් ද සිල්වාගේ ජාතික චින්තන නාදයට මේ එළියේ ඉඳන් කල විචාර කරන්නට එන සරත්චන්ද්‍රයන්ව දිරෙව්වේ නැහැ. උන් එතුමන්ට හූ කියලා එලව ගත්ත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.