2013-08-06

පාඩම් කිරිල්ලී (පාඩම් කුරුල්ලාගේ ගැහැනු සතා නො වේ)

සාර්ථක මිනිසුන් පිරිසක්.
පාඩම් කිරිල්ල කියන්නේ මාර දෙයක් ය. මේ දවස්වල සමහර ගෙවල්වලට කවුරුවත් එනවාට අකැමැති ය. මන්ද, උසස් පෙළ විභාගයට ලියන්න ඉන්න ළමයි පාඩම් කරනවා ය.

මෑත දිනෙක ඩෙංගු රෝගයෙන් මිය ගිය නීති ශිෂ්‍යාව ද විවේක නො ගෙන පාඩම් කිරීම නිසා ඇගේ ශරීර සෞඛ්‍යය පිරිහී ගොස් තිබුණු බව වාර්තා විය.

අපේ නිවස අසල නිවසක ඉගෙන ගන්නා දැරියක් ගමේ මිනිසුන්ගේ ඉරිසියාවට ලක් වී සිටින්නී ය. එයට හේතුව ඇය‍ මිදුලේ සිට කෑ ගසා හයියෙන් පාඩම් කිරීම ය. දිනක් මගේ බිරිඳ ඒ නිවස පසු කර යන විට ඇසෙන්නට පටන් ගත් තැන සිට නෑසී යන තෙක් ඇය පාඩම් කර තිබෙන්නේ එක් වැකියකි. "එසේ වීමෙන් වැව් බැම්ම සේදී යයි" යනුවෙන් ඇය දිගටම කියවමින් සිට ඇත.ඇතැම් විට ඇය මීට පෙර තවත් වාක්‍යයක් කට පාඩම් කර ගන්නට ඇත. 

ළමයි පාඩම් කරති. පාඩම් කරන්නේ ගුරුවරුන් දෙන සටහන් ය. ළමයි පාඩම් කරන අයුර දැක ගුරුවරු හා මව්පියෝ සතුටු වෙති. ඇත්තෙන් ම පාඩම් කිරීම යනු මේ කට පාඩම් කිරීම නො ව, අධ්‍යයනය කිරීම විය යුතු ය. එහෙත්, අද වන විට ශිෂ්‍යයෝ මේ කාරණය පටලවාගෙන ඇති බව පෙනේ. පටලැව්වේ ගුරුවරු ය.

මා වැඩිපුර උගන්වන්නේ ඉංග්‍රීසි විෂයයි. මම කිසි දිනෙක ළමයින්ට කට පාඩම් කරන්නට නො කියමි. එහෙත්,  ළමයින් කට පාඩම් කරනවා දකින්නට මව්පියෝ කැමති ය. එහි නිරර්ථකභාවය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ගුරුවරුන් කරන්නේ බාල ජනප්‍රියත්වය වෙනුවෙන් සිසුන්ට වචන සඳහා අකුරු හා වාක්‍ය ඛණ්ඩ ආදිය කට පාඩම් කරවීමයි. විභාග සඳහා නම් රචනා ද කට පාඩම් කරවනු ලැබේ. රැස්වීම්වලදී ළමයින්ට උගන්වන්නේ කතා කට පාඩම් කරවන්නටයි. ඇතැම් ගුරුවරු සංදර්ශනවලදී වේදිකාව පහළ සිට කටේ ගුරාගේ භූමිකාව කරති. තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කරන්නට සිසුන්ට මග පෙන්වන හා ඒ සඳහා අවශ්‍ය කුසලතා ගොඩනංවන ක්‍රමයක් නැතිකම ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය දුර්වල වීමට ප්‍රධාන හේතුවයි.

මම එතරම් හොඳින් පාඩම් කළ කෙනෙක් නො වෙමි. එතරම් හොඳින් විභාග සමත් වුණේ ද නැත. කොටින් ම දැන් වුණත් මට ඔය කියවන පොත්වල තිබෙන කරුණු ඒ හැටි මතක තිබෙන්නේ නැත.

මම නම් වැඩිපුර අවධානය යොමු කරන්නේ මා උගත්‍ දෙයින් මා තුළ යම් වෙනසක් ඇති කර ගන්නට හා උගත් දෙය නිර්මානාත්මකව භාවිතා කරන්නට ය. මතක තබා ගැනීමට හැකි නම් හොඳ ය. එහෙත්, මම නම් උත්සාහ කරන්නේ කරුණු අවශ්‍ය අවස්ථාවේ සොයා ගන්නා ආකාරය මතක තබා ගන්නට ය.

ලංකාවේ පාඩම් කිරිල්ල කියා කියන්නේ කට පාඩම් කිරීම ම ය. එය කරන්නා තුළ එතරම් වෙනසක් ඇති කරන්නේ නැත. එසේ ම පාඩම් කිරීමෙන් නිර්මානාත්මකභාවය අවදි වන්නේ ද නැත. පාඩම් කළ කරුණු පිළිතුරු පත්‍රයක් මත වැමෑරීමෙන් පසු ඒ මතකය හිස් වී යයි. එසේ හිස් කරන ලද මනස් කුහර ඇති ගුරුවරු තවත් පරම්පරා ගණනාවක මනස් හිස් කිරීමෙහි යෙදෙති.

ඒත්, පාඩම් කරන්නට එපා යයි අවවාද කරන්නට ගුරුවරයකු ලෙස මට පුළුවන්කමක් නැත. තිබෙන තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ සාර්ථක වන්නේ කට පාඩම් කරන අයයි. අපි අසාර්ථක මිනිස්සු ලෙස හංවඩු ගැසී සිටිමු. මේ බ්ලොගයේ අදහස් පළ කරන අය ද නිතර ඒ බව මතක් කර දෙති. ඇත්ත ය. විසිවන විය එළඹෙන්නටත් පෙර සිට පටන් ගෙන කරන දේශපාලනයෙන් මම අසාර්ථක ය. පසු කලෙක කතන්දර ලියන්නට පටන් ගතිමි. ඒවා විකිණීම අතින් ද මම අසාර්ථක ය. අයින්ස්ටයින් කළ තවත් වැදගත් ප්‍රකාශයක් මෙහිදී සිහිපත් වේ. සාර්ථක මිනිසකු වීමට නොව වටිනාකමක් ඇති මිනිසකු වීමට උත්සාහ කරන්නැයි ඔහු කීවේ ය. ඒ ප්‍රකාශය නිසා මට ටිකක් චූන් ය. මොකද අඩු ගානේ මට හරි මා වටිනවා ය. කාට වටිනවා වුණත් තමන්ට තමන් වටින්නේ නැතිනම් වැඩක් නැත.

එහෙත්, ලංකාවේ රැල්ල ඇත්තේ සාර්ථක වීමට ය. සාර්ථක වීම වෙනුවෙන් මිනිස්සු වටිනාකම් අළුයම  කෙළ සේ පිළිකෙව් කරති. සාර්ථක වීමට වඩා වටිනාකම් ගොඩනඟා ගැනීම වැදගත් බව පැහැදිලි කර දීම වර්තමාන සංදර්භය තුළ ඉතා දුෂ්කර ය. මන්ද, හොඳ මිනිසුන් ලෙස සමාජයේ පිළි ගැනීමට ලක් වී සිටින අය පවා වටිනාකම්වලට වඩා බාහිර සාර්ථකත්වය අත්පත් කර ගත් අයයි.

කට පාඩම් කළ අය විශ්ව විද්‍යාලවල විභාග හොඳින් සමත් වී කථිකාචාර්ය තනතුරු ලබාගෙන තමන් කට පාඩම් කළ සටහන තමන්ගේ සිසුන්ටත් කට පාඩම් කර ගැනීම සඳහා කියවන ක්‍රමයක් ලංකාවේ තිබේ. 

තමන් කිසි විටෙක උගන්වන්නේ නැති බව ද, කරන්නේ සිසුන්ට ඉගෙනීම සඳහා පසුබිම සකසා දීම පමණක් බව ද කී ඇල්බට් අයින්ස්ටයින් අධ්‍යාපනය පිළිබඳ කර තිබෙන රසවත් ප්‍රකාශන ඉතා ගැඹුරු ය. පුළුවන් පුද්ගලයා ඒ දෙය කරන බව හා බැරි පුද්ගලයා එය කරන හැටි උගන්වන බව බර්නාඩ් ෂෝ කීවේ ය.

ගුරුවරයාගේ උත්තරීතර කලාව වන්නේ නිර්මානාත්මක ප්‍රකාශනය හා දැනුම තුළින් සතුට ඇති කිරීමයි.  It is the supreme art of the teacher to awaken joy in creative expression and knowledge. -Albert Einstein

එතරම් ලොකු දෙයක් කරන්නට බැරි වුණත්, ගුරුවරයකු වීම ගැන මම සතුටු වෙමි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

5 comments:

  1. මගෙන් මල් මිටක්...!

    ReplyDelete
  2. ගුරු පුහුණුවේ කියනවාද කටපාඩම් කරන්නට යැයි ළමයින්ට උපදෙස් දෙන්න කියලා?

    තුනේ පන්තියේදී පමණ චක්කරේ කටපාඩම් කළ පසු පාසල් කාලය තුළදී මට නම් කට පාඩම් කරන්නට සිදුවුනේ බුද්ධාගම පන්තිය සඳහා ධම්මපදය ආදී ගාථා පමණි.

    ඒවායෙන් ද ගැලවෙන ක්‍රම මට පසුව සොයාගන්නට හැකිවිය.

    ReplyDelete
  3. භාෂාවක් ඉගෙනගැනීමට ඇති හොඳම හා එකම ක්‍රමය කටපාඩම් කිරීමයි. වෙන ක්‍රම තියෙනවා කීව්වත්, ඒ හැම එකකින් ම කරන්නේ වෙනස් ක්‍රමයකට කටපාඩම් කිරීමයි. ලැයිස්තු ඇති තැන්වල කටපාඩම් නොකර මොකක් කරන්නද?

    ReplyDelete
  4. ඇනෝ අගෝ 6, 2013 11.41 AM
    ඔවු ඇනෝ, ඔයාලගෙ ලෝකය අනුව මිනිසු හිතන්න පුරුදු කරන්නෙ නෑනෙ නේද ? කටපාඩම් කරල වමාරපුහම ඇති.
    ඇනෝ අද අපි මේ භුක්ති විඳින්නේ හිතන්න පුරුදු නොකරපු සමාජයක ප්‍රතිඵල. අම්මත් ඉල්ලංකා, අප්පත් ඉල්ලංකා, ඒ නිසා මමත් ඉල්ලංකා. ඇහුවොත් කියයි ප්‍රතිපත්තියක් තියනවා කියලා...
    අපි හිතන්නෙ (හිතේ ඇති වන දෙබස) මවු භාෂාවෙන්. ඒක වෙනස් උනහම විතරයි පැරෝ තවත් භාෂාවක් අපේ වෙන්නෙ.
    පුලුවන් කමක් තියනව නම් භාවිතය පමණක් නෙමෙයි, හිතන එකත් ඉංග්‍රිසියෙන්ම හිතන්න පුරුදු කරවන්න. එතකොට, ඒ සිතුවිලි වචන වල ස්වභාවයෙන් එලියට එන්නෙ ඉංඝ්‍රීසියෙන්.
    පැරා, මම 60 දශකයේ, නුගත් සමාජයක කොටස් කාරයෙක්. ඒ කාලෙ, ඉංඝ්‍රිසි ගුරුවරයෝ හුගක් වෙලාවට කිවුවෙ තොපිට මොන ඉංඝ්‍රිසිද බොලවු කියල. අපි කටපාඩම් කළා. ටියුෂන් ගියා. වැඩක් උනේ නැහැ. මොකද හිතන්න ඉගැන්නුවේ නැහැ.
    පස්සෙ කාලෙකදි ඉංඝ්‍රිසි කතාකරන සමාජයක කොටස්කාරයෙක් උනා. ලෝකයේ අසිමිත බව දැකපු එක විතරක් නෙමෙයි, ඒ ලෝකයේ කොටස්කාරයෙක් විධිහට හැඩගැහුනෙ ඊට පස්සේ.
    අද බලු සේනාව වගේ දෙයක් නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝකය නොදැකපු උන් නිසා. තවත් විධිහකින් කියනව නම් ලෝකය දකින්න ඕනැ මාධ්‍යයක් වුන භාෂා පිළිබඳ දැනුමක් නොමැති නිසා.
    පැරෝ, මිනිසුන්ට තවත් කෝණයකින් හිතන්න පුරුදු කරන්න පුලුවන් කෙනාට කියන වචනය දන්නවද ?
    "ගුරුවරයා "

    ReplyDelete
  5. ඇනෝ ඔයාගේ නූගත් කම තමයි ඔයාගේ කමෙන්ට් එක පුරාම තියෙන්නේ. හිතන්න පුරුදු කරන එක වෙන වැඩක්, භාෂාවක් ඉගෙන ගෙන ඉන්න ඕනේ ඒ භාෂාවෙන් හිතන්න [සිංහලෙන් කියනව බහ තෝරනවා කියලා]. ඔයාගේ අව්‍යක්ත කමෙන්ට් එක පුරාම තියෙන්නේ භාෂාව හා චින්තනය දෙකම අවුල් කරගත්ත කෙනෙක් ගේ ලක්ෂණ. ටිකක් ළමා මනෝ විද්‍යාව කියවලා එන්න. අපි ද්විභාෂික උගත්තු දැකලා, කියවලා, කතා කරලා ඒ අය එක්ක වාද කරලා ඉගෙන ගත්තු දෙයක් ඔයා වගේ අවුල් ගොඩකට තේරෙන්න කිව්වොත් 'ඒ ඒ කෙසෙල් ගෙඩියට ඒ ඒ බනිස්'. මම ඔයා වගේ සාර්වත්‍ර න්‍යායක් ඇතැයි කියන මිත්‍යාවේ නොගැලී ඉන්නේම භාෂාවේ කටපාඩම් කොටසත්, චින්තනමය කොටසත්, න්‍යායත්, ඇරිස්ටෝටල් ට අනුව වෙන් වෙන් කොට [විභාග කොට] බලන්න පුලුවන් නිසා. ටිකක් කියවලා එන්න, සෝවියට් සාහිත්‍යයට වඩා රුසියන් සාහිත්‍යයත්, ලෝක සාහිත්‍යය ඊටත් වඩා ලොකු බවත් නුවණින්ම විමසා බැලිය යුතු දෙයක්. භාෂාවක සංඥාර්ථවේදය හැදෑරීමට නම් ඉඩ් එකට කිඳා බහිනකම් ඒ භාෂාව විවිධ ක්‍රම වලින් කටපාඩම් කළ යුතුමයි, සංස්කෘතයෙහි සතතාභ්‍යාස කියන්නේ ඒකට. ඔයා වගේ නූගතෙකුට ඒක නොතේරෙන බවත් හොඳටම දන්නවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.