2013-09-30

ආණ්ඩුව කෘෂිකර්මය සංවර්ධනය කරන හැටි ගැන නිදසුනක්

අපේ නිවස අසල කුඹුර හාපු දවසක්
දැන් ටිකකට කලින් මම ඉංග්‍රීසි පත්තරේකට ප්‍රාදේශීය වාර්තා වගයක් පරිවර්තනය කළා. එකක තිබුණේ දකුණු පළාතේ පුරන් වී ගිය කුඹුරක් ගැන. කුඹුර පුරන් වෙන්න හේතුව ගංවතුර. ගොවියන් ඉල්ලා සිටින්නේ වාරි පද්ධතිය වැඩි දියුණු කර දෙන්න කියලායි. ඉස්සර මේ කුඹුර සරුසාර එකක් බව කියා තිබුණත්, දැන් අවුරුදු පතා එය ගංවතුරට ගොදුරු වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය වාර්තාකරුවා පැහැදිලි කර තිබුණේ නැහැ. සමහර විට අලුත් සංවර්ධන ව්‍යාපෘති නිසා වෙන්න පුළුවන්. 

ගොවීන් පවසන්නේ තමන්ට උපකාර මඳ බවයි. ආණ්ඩුවෙන් දෙන පොහොර සහනාධාරය ගන්න දින ගණන් රස්තියාදු වෙන්න සිදු වන බව ගොවීහු පවසනවා. ආණ්ඩුවෙන් කළ ඇල වේලි නඩත්තු කිරීම් ආදී කටයුතු දැන් සිදු නො වෙන තරම්.

අපේ ගේ ඉදිරිපිට ඉතා පැරණි කුඹුරු යායක් තිබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මේ කුඹුරු යාය නිසරු වෙමින් යනවා. ඒ විතරක් නොවෙයි, අපි පුංචි කාලේ එහි දුටු අනගි පරිසර පද්ධතියත් පසු කාලෙක කෘෂි රසායනික නිසා විනාශ වෙලා ගියා. අපි පුංචි කාලේ පොල්කටුවලට අල්ලපු තිත්ත පැටව් දැන් වක්කඩවල ඇත්තේ ම නැහැ. දණ්ඩි, කොරළි වැනි මාළු විවිධත්වයට මොනවා වුණා ද? දැන් ඒ ඇලක, දොලක නාන්න බැහැ. පුංචි එවුන්ට සරුංගලයක් යවන්නවත් කුඹුරුවලට බහින්න බැහැ. හැම තැනින්ම වැට කඩුළු. ඒ විතරක් නෙමෙයි, දීර්ඝ කාලයක සිට නො බැඳපු නියර උඩින් ඇවිදින්න බැහැ. හැම තැනම එරෙනවා. අයින්වලින් කුඹුරු ගොඩ කරමින් ගෙවල් හදනවා. 

ආණ්ඩුව හා විශේෂයෙන් ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දැවැන්ත ප්‍රචාරයක් කරනවා රටේ කෘෂ්කාර්මික සංවර්ධනයක් ගැන. අපි කිසි සේත් ම ගොවියෝ නොවෙයි. මගේ බිරිඳ පසුගිය දිනවල ගෙවතු වගාවක් පටන් ගත්තා. අපි ඒක කරන්නේ ආර්ථික ලාභයක් වෙනුවෙන් ම නොවෙයි. සතුට හා වස විසවලින් තොර ආහාරයක් සපයා ගන්නයි. ඔන්න එක දවසක් අපේ ගෙදරට ආවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලුත් ව්‍යාප්ති නිලධාරියෙක්. ඇවිත් අපේ ගෙවත්තත් ඔහුගේ වැඩසටහනකට බඳවා ගත්තා. දැන් ආණ්ඩුවත් අපේ ගෙවත්තට සම්බන්ධයි. මිනිහා දෙවෙනි වතාවේ ආවේ එයා සංවිධානය කරන රැස්වීමකට එන්න කියලා අපේ බිරිඳට කියන්නයි. අපට ඕවායේ යන්න වෙලාවක් කොයින්ද? දැන් තුන් මාසෙකින් විතර මිනිහා ආවේ නැහැ. 

ඇට පැකට් එකක්, මල් බාල්දියක්, උදැල්ලක් තියා උපදෙසක්වත් නො ලැබුණත්, දැන් අපේ ගෙවත්තත් ආණ්ඩුවේ වැඩසටහනක තියෙනවා. ලබන මාසේ අයවැය සංඛ්‍යා ලේඛනවල බලන්නකෝ. කාටද ආඩම්බර! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

7 comments:

  1. අය-වැයේ ඔයා ඉන්නේ අය පැත්තේද වැය පැත්තේද?

    ReplyDelete
  2. මට පෙනෙන හැටියට මෙතන තියෙන්නේ සන්නිවේදන ගැටළුවක්. ඒකට නියම පිළියම සොයනා මිස හැම එකකටම ආණ්ඩුවට දොස් කියල වැඩක් නැහැ.මටත් ඔහොම වාගේ වැඩක් උනා.මම විද්‍යාත්මක කෘෂි කර්මය දන්නේ නැහැ.ඒ උනත් මගේ ගෙවත්තේ තියෙන ගැටළු විසඳා ගැනීමට කෘෂි නිලධාරියාගේ උපදෙස් ලබා ගන්න මටත් උවමනා උනා. අමාරුවෙන් කෘෂි නිලධාරියා මුණගැසුනාම එයා නිලධාරිනියක්.ගෙවත්ත බලන්න අපේ ගෙදරට ආවත් ඔබේ බිරිඳ කලාක් මෙන් මගේ බිරිඳගෙන් හොඳ පිළිගැනීමක් ලැබුනේ නැහැ. මම එවෙලාවේ ඉන්ටෙර්නෙට් එකේ ගාලුවක්ට මුහුණදී තිබුන නිසා මටත් ඇයට අවශ්‍ය කාලය මිඩංගු කරන්න බැරි උනා. ඉති ලැබුන ප්‍රතිඵලය රින කියල අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ. ඒ උනත් ඇයගේ උපදෙස් මත පසුව ආපු පොල් උපදේශක තුමා ගෙවත්තේ පොල් පැල වැඩිම බාලවි ඇත්තේ ෆොහොර නොමැති නිසා බැවින් පොල් පොහොර දැමීම නිර්දේශ කලත් ඔබ සිතන අන්දමට ඒවා නොමිලයේ දුන්නේ නැහැ.මම වෙළඳ පලින් පොහොර ගෙන දැම්මා. දැන් ටිකක් හොඳයි.තවම මට ගෙදරට නමි තියෙන තැඹිලි පැලය අනික් පැත්තට අදින්න නම් බැරි උනා. මම ඔබට කියන්නේ ගෙවත්ත සංවිධානය කිරීම් හොඳ දෙයක් නමුත් ඒකට මුල්වෙන්න ඕනෑ අපිමයි.ඒ හැර ඒකට ආණ්ඩුව පලි නැහැ. මුලික දෙය හොඳ සන්නිවේදනයක් ඇති කර ගැනීමයි .

    ReplyDelete
    Replies
    1. පයිත්තයන් කතා, ගෙට නැවිච්ච තැඹිළි ගහ අනිත් පැත්තට අදින්න සංනිවේදයක් අහවල් එකටද?

      Delete
    2. මම මුලදී හිතුවේ ගහ කැපීම තමයි එකම විසඳුම කියල.පොල් උපදේශක මහතා තමයි ගහ නොකපා කලයුතු විකල්පයක් පෙන්නුවේ.ඔබට ගස් ඇදල පුරුද්දක් ඇති. මම ඒක කරන්න විතරක් නෙමෙයි.ඒක කරවගන්න ඕනෑ කාගෙන්ද කියල වත් දන්නෙ නැහැ.අවශ්‍ය පහසුකම සොයා ගන්න සන්නිවේදනයක් උවමනා වෙන්නේ ඒකයි. මට කියන්න උවමනා උනේ හැම එකටම ආණ්ඩුවට බැනල, නැත්නම් රජයේ නිලධාරීන්ට බැනල විතරක් හරි යන්නේ නැහැ.මුලින්ම අපේ උනන්දුව තියෙන්න ඕනෑ.ඒක වචනයෙන් විතරක් මදි. ක්‍රියාවෙනුත් පෙනෙන්න ඕනෑ.

      Delete
  3. ලංකාවෙ ගොවියන්ට ප්‍රශ්න තියනව. ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න තරම් දැනුමක් තියෙන්නෙ සීයයට‍ එකටත් අඩු පිරිසකට. ආණ්ඩුවෙන් ගොවියන්ට උදව් කල යුතුයි. ඒ උදව් දැන් දෙන පොහොර සහනාධාරය වැනි දේවලට ලඝු නොවියයුතුයි. දැන් බලන්න මැලේසියන් පැපොල් ඇටයක් රුපියල් විස්සකට එහා. බීජ වර්ග බොහොමයක් ගෙන්වන්නෙ පිටරටින්. මිනිස්සුන්ට ආධාර ඕන නෑ. මපෙන්වියයුතු මිනිසුන්ට මපෙන්වීමකුයි අවශ්‍ය වෙන්නෙ. ඒකත් අර එළවළු කූඩ නීතිය වගේ බලහත්කාරයෙන් ඇ‍ෙඟේ ගැසීමක් නොවියයුතුයි.

    ගෙවතු වගාවත් මේ වෙද්දි අනවශ්‍ය තරමට කරනව. උදාහරණයක් විදියට යටිතල පහසුකම් සංවර්ධනය ටිකක් නවත්තලයි මේ ගෙවතු වගා වලට ආණ්ඩුව වියදම් කලේ. ඒක යටිතල පහසුකම් වලට කල වියදමටත් එහා අපරාධයක්. මුදල ගසාකෑම් අනන්තයි අප්‍රමාණයි. පහුගිය අවුරුද්දෙ බෙදූ බීජ පැකට්ටුවක වියදම රුපියල් දාහකට වැඩියි. ඒ මදිවාට දැන් ගෙවතු වගාවක් විදියට රබර් වවන්නත් හදනව. :-)

    ReplyDelete
    Replies
    1. සිරිම නෝනගෙ වගා සංග්‍රාමෙ මතකද? ඒ කාලෙ හිටු කියලා සෝයා, බතල, බඩ ඉරිංගු, මංඤ්ඤොක්කා, එළවළු එහෙම හැම අඟලකම හැදුවා...අන්න වැඩ...දැන් එහෙම් එකක් වත් කරගන්න බෑනෙ.

      Delete
  4. mage gewaththath sangananayata dagena mata pohora thiya upadesakwath labune neha. hitavala pala loku unata passe nama liyagena giya

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.