2013-10-14

මැරෙන එකත් පණ යන වැඩක්: නූතන සිංහල අවමංගල චාරිත්‍ර

හිනා වෙන්න එපා යකෝ!
නූතන සිංහල විවාහ චාරිත්‍ර ගැන මේ ලිපිය කියෙව්වේ නැතිනම් කියවන්න. සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

අද අපි කතා කරන්න යන්නේ නූතන සිංහල අවමංගල චාරිත්‍ර ගැනයි.

මැරෙන එකත් පණ යන වැඩකැයි කියනු ලැබේ. අද කාලේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ තමන් මැරෙන බව දැනගෙන නො වේ.එහෙත්, මැරෙන්නට කලින් ඔබ ඔබේ අවමංගල්‍යයට ලක ලැහැස්ති විය යුතු ය. ඒ සඳහා ඔබ අනුන්ගේ මරණ ගෙවල්වලට ගොස් තිබිය යුතු ය. මන්ද, මැරිච්ච අය ඔබේ මරණ ගෙදරට නො ආවත්, ඔවුන්ගේ ඥාතීන් හෝ ඔබේ මරණ ගෙදරට එන්නේ ඔබ ඔවුන්ගේ මරණ ගෙදර ගොස් තිබේ නම් පමණි. 

ඔබේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සෙනග එන්නේ ඔබ ඔබේ ඥාති, මිත්‍රාදීන්ගේ ඥාතීන්ගේ අවමංගල්‍යයන්ට සහභාගි වී තිබේ නම් පමණි. 

මෙහිදී ඇත්තෙන් ම ඔබේ අවමංගල්‍යය වන්නේ ඔබේ ම මරණය නො වේ. කොහොමත්, ඔබ මැරෙන්නට ඉන්න කෙනෙක් නො වේ. ඔබ පණ පිටින් සිටියදී, ඔබේ වයස්ගත මව, පියා මිය යාම ඔබගේ නියම රජ මඟුල ය. සොරි, අවමඟුල ය. 

මරණ ගෙදර‍ට හොඳින් සෙනග පැමිණිය යුතු ය. නැතිනම් වැඩක් නැත. අවමංගල්‍යය දිනයේ සෑහෙන කාර් ප්‍රමාණයක් පැමිණිය යුතු ය. අඩු තරමේ අවමංගල්‍යයට කලින් දිනයේ රාත්‍රියේ හෝ අති විශාල සෙනගක් පැමිණිය යුතු ය. සමාජයේ තිබෙන කාර්ය බහුලත්වය නිසා දැන් වැඩි දෙනෙකුට නිවාඩු දමාගෙන දිවා කාලයේ අවමංගල්‍යයන්ට පැමිණිය නො හැකි ය. ඒ නිසා එන්නේ රෑ කාලයේ ය. විශේෂයෙන් ම පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය මරණ ගෙවල්වල යන්නේ මැදියම් රාත්‍රියේ ය. 

අවමංගල්‍යයක් වූ පසු දුකින් පීඩිත වූ බොහෝ අය අඬ අඬා ම දුරකථන ඇමතුම් දෙති. අංක හොය හොයා දන්න, දන්න හැමෝට ම කියති. ඇත්තෙන් ම දුක වැඩි නම් වෙන අය ලවා කියවති. 

ජනාධිපතිතුමා හෝ රාජපක්ෂ පවුලේ අය එන මරණ ගෙවල් කියන්නේ ලංකාවේ ලොකුම ඒවා ය. නැතිනම් අඩු තරමේ ඇමතිවරයෙකු, මන්ත්‍රීව‍රයෙකු හෝ මරණ ගෙදරට එන ආකාරයට ඔබ ජීවත් වී තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් ගෙන්වා ගැනීම අපහසු නැත. මන්ද, ඔවුන්ට වෙන වැඩක් නැත. ආණ්ඩුවෙන් මල් වඩමක් එවන්නේ ඔබ ජාතික වස්තුවක් නම් ය. ඡන්දයක් තිබෙන කාලයක මැරෙන්නට අවස්ථාව ලැබුණොත්, අපේක්ෂකයෝ සියල්ල ම ඔබේ අවමංගල්‍යයට සහභාගි වනු ඇත. 

එන අයට හොඳින් සත්කාර කළ යුතු ය. පුංචි කාලේ අපි මරණ ගෙවල්වල යන්නට කැමති ය. මන්ද, බීම බොන්නට පුළුවන. අලියා බීම කියන්නේ ඒ කාලේ මරණ ගෙවල්වල මිනිය වගේ ම අත්‍යවශ්‍ය දෙයකි. දැන්, ඔය වීදුරු හෝදන්නට එහෙම කරදර නිසා දැන් කරන්නේ නෙස්කැෆේ මැෂිමක් කුලියට ගේන එක ය. 

අවමංගල්‍යයක් යනු මංගල්‍යයක් තරමට ම තරාතිරම පෙන්නන දෙයකි. ඒ නිසා දැන්‍, දැන් අවමංගල්‍යයන්ගේ කෑම බීම මඟුල් ගෙවල්වල කෑම බීම තරමට ම සරු ය. බුෆේ ක්‍රමයට, කේටරිං සේවා විසින් කෑම සැපයීම කරනු ලැබේ. අතුරුපසට අයිස්ක්‍රීම්, කිරි පැණි ද තිබේ. ඉස්සර නම් කෑම බීම දුන්නේ මරණ ගෙදරට උදව් කරන අය හා දුර සිට පැමිණෙන ඥාති මිත්‍රාදීන් වෙනුවෙනි. දැන් නම්, සමහරු මරණ ගෙවල්වල එන්නේ ම කන්නට ය. 

අවමංගල්‍ය කටයුතු සංවිධානය කරන ආයතනවලට අවමංගල්‍ය අධ්‍යක්ෂවරු යයි කියනු ලැබේ. ඇත්තෙන් ම ඔවුහු නියම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරති. කේ.බී. ‍හේරත්ගේ මායාදේවි නාට්‍යයේ පසුබිම මෙවැනි අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ එකකි. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් ළඟ විවිධ පැකේජ තිබේ. ඒ පැකේජය අනුව පෙට්ටියේ වටිනාකම එහෙම වැඩි වේ. බාල ලීවලින් හදන පෙට්ටි තේක්ක, බුරුත, නැදුන් ආදී ඕනෑ දැවයක් බවට පත් කරන හැටි ඔවුහු දනිති. ඔවුන්ට අමත‍රව මළ ගෙවල්වලට සේවා සපයන ටෙන්ට්, පුටු ආදිය සපයන්නෝ ද, කේටරිං සේවා ද සිටිති. 

ඉස්සර වගේ දැන් මළ ගෙවල්වල උදව් කරන්නට දෙයක් නැත. සොහොන් ගැහිලි, ගොක් රෑන් ඇදිලි, තොරණ් ගැහිලි දැන් නැත. තිබෙන්නේ නයිට් ගැහිලි විතර ය. නයිට් ගහන විට කාඩ් ගහන්නට‍, කැරම් ගහන්නට එහෙමත් ඕනෑ ය. මොන චාරිත්‍ර වෙනස් වුණත්, මළ ගෙවල්වල බූරුවා ගැසීමේ චාරිත්‍රය තවමත් පවතී. ඒ මරණ ගෙවල්වල බූරුවා ගැහිල්ල අල්ලන්නට පොලිසිය නො පනින නිසා ය. මරණ ගෙවල්වල නයිට් ගහන අයට කරන්නට දෙයක් තිබිය යුතු නිසා වෙන්නට ඇත. මරණ ගෙවල්වල බූරු ගැහිල්ලෙන් තෝන් ගන්නේ මැරුණ පුද්ගලයාගේ ළඟ ම ඥාතියෙකි. 

රට පුරා ආදාහනාගාර බිහි වීමත් සමග ම අවමංගල්‍ය සංස්කෘතිය උඩු යටිකුරු විය. දැන් සොහොන් ගහන්නේ හෙවත් චිතක සකසන්නේ හාමුදුරුවරු, මන්ත්‍රීලා වැනි මහජන පිට්ටනියේ අවසන් ගමන් යන ප්‍රභූන් වෙනුවෙන් පමණි. නැතිනම් නියමිත වෙලාවට ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු වේ. දැන් ඉස්සර වගේ මළ බත කන්නට මිනිසුන් එන්නේත් නැත. ආදාහනාගාරයෙන් ම කට්ටිය විසිරී යති. ඒ නිසා සොහොනේදී ම අමුත්තන්ට බීම, විස්කෝතු ආදියෙන් සංග්‍රහ කරනු ලැබේ.

බොනපාට් කෙනෙකුගේ ඥාතියකුගේ අවමංගල්‍යයකට එන  ඔහුගේ බොනපාට් මිතු‍රෝ බීම ද බලාපොරොත්තු වෙති. ඒ මිතුරෝ බොහෝ විට මළ ගෙදරට ගොඩ වන්නේ ද සළු වෙලා ය. බස්වලින් දුර බැහැර සිට එනවා නම්, ආපසු යද්දී බසයට ද බෝතල් තුන හතරක් දැමිය යුතු ය. 

අද කාලයේ මරණ ගෙවල්වල මිනියටත් වඩා වැදගත් වන්නේ බැනර් ය. ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය. "බැනර් එක ගෙනාවාද?" කියා මිනිය වුණත් නැගිටලා අසන්නට ඉඩ තිබෙන නිසා ඒක නම් අමතක නො කළ යුතු ය. බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති වේ නම්, එයින් කියවෙන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවයි. බැනර් කියන්නේ ඩිජිටල් මුද්‍රණ ය. ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. 

මරණ ගෙවල්වල ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන්ගේ නම් තේමාව සුදු පාට ය. ඒ අනුව, සුදු සාරි, සාය - හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු - සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල - වළලු - කරාබු ආදිය ද දමනු ලැබේ. 

මිය ගිය පුද්ගලයාගේ දරුවන් පිටරට සිටිත් නම්, මළ ගෙදර පිළිබඳ සියලු දේ වීඩියෝ කර එසැණින් එහි යවනු ලැබේ. එන, යන අයගේ පවා ඡායාරූප ගෙන එහේට යවනු ලැබේ. 

නිවසින් පිටතට ගැනීමට පෙර සියලු දෙනා නිවසින් පිටට පැමිණ, දොර ජනෙල් වසා විනාඩියක් දෙකක්, මිනිය ගෙය තුළ තනි කිරීමේ චාරිත්‍රයක් අපේ පැත්තේ තවම තිබේ. දැන් ඉතිරි වී තිබෙන්නේ එවැනි ලෙහෙසි, පහසු චාරිත්‍ර පමණි. කරාව කුලයේ අය තවමත් ආලවට්ටං ගැන සැලකිලිමත් ය. දැන්, දැන් හේවිසි කණ්ඩායමක් සොයා ගැනීම ද අමාරු ය. ඇරත්, දැන් ‍මිනී හේවිසි ගස ගසා ගෙන යන්නේ නැත. මන්ද, ආදාහනාගාරය හැම විට ම ඇත්තේ පයින් යා හැකි තරම් දුරින් නො වන බැවිනි. ආදාහන පෙරහර රථ පෙළපාලියකි. ඒවායේ වාහන යන්නේ අර අනතුරක් බව කියන්නට පත්තු කරන ලයිට් දෙක ම පත්තු කරගෙන ය. 

මිනිය ආදාහනාගාරයේ දමා පිළිස්සීමෙන් පසු දැන් බොහෝ අය අළු ටිකවත් ගන්නේ නැත. හේතුව ඉඩම් හිඟය නිසා සොහොන් කොතක් හෝ බැඳීම දරුවන් අතර ආරාවුල් ඇති වීමට හේතුවක් වන බැවිනි.

මේක ලියන්නට සිත් වුණේ මගේත් අවසන් කාලය එළඹී තිබෙන නිසා ද කියා මට සිතේ. කෙසේ වෙතත්, දැන්මම අන්තිම කැමැත්ත ලියා තැබිය යුතු යයි මට සිතේ. ඒ උරුම කරන්නට දේවල් තිබෙන නිසා නො ව, මේ විකාරවලින් බේරෙන්නට ක්‍රමයක් සොයා ගන්නට ය. 

විශේෂයෙන් ම මම අකැමැති ම දෙයක් තිබේ. ඒ වනාහි ඉස්‍කෝලවල ගුරුවරයෙක්, සිසුවෙක් එහෙම මැරුණා ම පාසල් ප්‍රජාව යුතුකම් ඉටු කරන ආකාරයයි. ඔවුහු හතරැස් රාමුවල ඉටි රෙදි ගසා එහි මරු කෑලි ලියා මළ ගෙදර අවට ලයිට් කණුවල එල්ලති. ඒවාට පාඨ ලියා දෙන්නේ සිංහල ගුරුවරු හා උසස් පෙළ ළමයි ය. "ඔබ නැති ලෝකය පාළුයි" වගේ ඒවා ය. 

අපේ ෆේස්බුක් මිතුරන් නම් අවමංගල්‍යයකට සහභාගි වන්නේ මළ ගෙදරට ඇවිත්‍ නොවේ. මළ ගෙදරට සම්බන්ධ පිංතූරයක් ෆේස්බුක් දැම්මා ම ඔවුහු ලයික් කරති. නැතිනම් මල් වඩමක් එවති. 

මල් කිව්වා ම මල් වඩම් අනවශ්‍යයි කියන යෙදුම මතක් වේ. ඉස්සර කරුණාරත්න අබේසේකර ලියූ අනගි ‍දැන්වීමක් ගුවන් විදුලියේ ප්‍රචාරය විය. 


සොම්නස දොම්නස පවසන ගොළු බස
මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

13 comments:

  1. OBA MARUNA NOVE KIYA BANNER EKEAK DAMIYA YUTHUYA.

    ReplyDelete
  2. //මළ ගෙදරට සම්බන්ධ පිංතූරයක් ෆේස්බුක් දැම්මා ම ඔවුහු ලයික් කරති.//

    mrunata kamaththen wenan athi :D

    ReplyDelete
  3. ම්ම් පුන්චී දවස්වල මළගෙවල් වලට් රැට යන්නේ තේරීවිලි ඉගන ගන්න

    ReplyDelete
  4. ඉස්සර තමා මල ගෙයක් කියන්නේ දුක් වෙන තැනක් උනේ. දැන් තනිකරම ආතල් ගන්න තැනක් මල ගෙයක් කියන්නේ.මගුල් ගෙදරකට නොගියත් මල ගෙදරට යන එක කවුරුත් වරද්දන්නේ නැහැ.

    ReplyDelete
  5. මලගෙවල් ගැන නම් සෑහෙන්න දේවල් කියන්න තියෙනවා. මියගිය පුද්ගලයා ගැන මරණ දැන්වීම් පත්තරේ දානකොට ඒකෙනුත් පෙන්නන්නේ තමන්ගේ මහන්තත්ත කම. අහවල් පුතා එංගලන්තේ, අහවල් දුව ඉංජිනේරුවෙන් නැත්තන් දොස්තරෙක් කියලා මහා ආඩම්බරේට කියනවා හැබැයි මේ දුවලා පුතාලා තාත්තා ජීවත්ව ඉන්නකන් වතුර උගුරක් වත් දීලා නෑ.
    ඊලඟට පිටරට ඉන්න දරුවන්ට තමන්ගේ අම්මාගේ හරි තාත්තාගේ හරි මිනිය පෙන්නන්නේ දැන් skype එකෙන්. ලැප්ටොප් එකේ තියෙන හින්දා වැඩේ ලේසියි. skype දාලා ලැප් එක මිනිය ගාවට අල්ලලා මිනිය පෙන්නනවා. තාක්ෂණය දියුණු වෙනකොට සිංහලයා පසුගාමී වෙලා බෑ නේ. චාරිත්තරත් කෙරෙන්න ඕනේ ඔන්ලයින් ක්‍රමයට

    ReplyDelete
  6. කරාව කුලයේ අය තවමත් ආලවට්ටං ගැන සැලකිලිමත් ය

    ඒක වෙන්න ඇති ප්‍රබාකරන්ගේ මුහුන දෙබෑ වෙන්න පොන්සේකා සොට් එකක්දීල තිබුනෙ..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. -------------------------------------------------------------------
    සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'
    --------------------------------------------------------------------
    පැරා ඇඩ් එකක් දාලද?

    ඕක ඉතින් පේජ් එකේ උඩින්ම දාන්න ඕනෙ නෑනෙ ඉතින්,

    පැරගෙ බ්ලොග් එකනෙ මේක ඉතින් නේද?

    ReplyDelete
  9. "මේක ලියන්නට සිත් වුණේ මගේත් අවසන් කාලය එළඹී තිබෙන නිසා ද කියා මට සිතේ"
    එහෙම කියන්න එපා para අයියා . ඔබට අවු 100 ට 120ක් ආයූ බෝ වේවා

    ReplyDelete
  10. මළ ගෙවල් ගැන මගේ අත්දැකීම් මේවාය.

    1. මැරෙන එකත් පණ යන වැඩකි

    2. මල් නම් මල් ජයරත්න නම් ජයරත්න

    3. කතා කරන්නට වරම් ලබන අයෙකුගේ නම වැරදුණොත් තව මළ ගෙයක් වීමට ඉඩ ඇත.

    4. අම්මා මළාට පුතා වැඩට සුදු නොඅඳියි. හැබැයි ලේලි මුලින් සුදු අඳී. පසුව ක්‍රමක්‍රමයෙන් වර්ණවත් වේ!

    5. හත් දවසේ බණට සහමරක් සාදු ලා දෙසන්නේ හොම්බට අණින ආකාරයේ බණ ය. කාගේ හොම්බට දැයි අහන්න එපා.

    ReplyDelete
  11. @කතන්දර කාරයා - 4-5 නියම පොස්ටු දෙකක්.

    @ පැරා - ඇත්තටම මැරෙන උන්ට වඩා පන යන්නේ ජීවත් වෙන උන්ටය අද අව මඟුලක් උනොත් මඟුලක් කරන්නට යන වියදමට දෙවැනි නැත.

    ReplyDelete
  12. මළ ගෙවල් ගැන මැරෙන කන් කතා කරන්න දේවල් තියෙනවා...අපි නම් ඉස්සර මළ ගෙවල් වල ගියේ නයිස් විස්කෝතු, නෙක්ටො බීලා රෑට කෝපි එක බීල ඇම්ඩගෙ කුණු හරුප කථාවක් එහෙම අහන්න ....නයිට ගහන්න ඇවිත් නිදියන උන්ගෙ මූණ වල් වල සිග්නල් වලින් එක එක ඒවා අඳින්න... මළ ගෙවල් කියන්නෙ මළ ගිය ඇත්තන්ගෙ ළඟම ඥාතීන්ට දුක් වෙන්ට කාරණාවක් උනාට වටේ ඉන්න අනිත් උන්ටනම් පුල් ආතල් සීන් එකක්

    ReplyDelete
  13. මරනයත් විහිළුවට ගිය හැටි, මැරුනු මනුස්සයා එයි නම් කියන්න එයේ වේදනාව​! කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි කවුරු කවුරුත් එය අත්විඳිය යුතුමයි. මරනයක් දැක ඒ මරනයට තමාද ගොදුරුවෙන බව තේරුම් ගෙන මරනෙන් මත්තට ඇති යමක් වෙනුවෙන් උපරිමයක් කර ගැනීමයි අප කල යුත්තේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.