2013-10-30

වෘත්තීය සමිති ව්‍යාපාරය හෙවත් බිස්නස් එක

වර්තමාන වෘත්තීය සමිති ව්‍යාපාරය දෙස බැලුවා ම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් තිබෙනවා.
  1. වෘත්තීය සමිති හා ‍දේශපාලනය අතර ලොකු සම්බන්ධයක් නැහැ. වෘත්තීය සමිති දේශපාලන මැදිහත්වීම්වලට වඩා අවධානය යොමු කර තිබන්නේ වෘත්තීය ඉල්ලීම්වලට විතරයි.
  2. වෘත්තීය සමිති හා සාමාජිකයන් අතරත් ලොකු බැඳීමක් නැහැ. සාමාජිකයෝ වෘත්තීය සමිති කටයුතුවලට එතරම් සම්බන්ධ වන්නේ නැහැ. යම් යම් අවස්ථානුකූලව ඔවුන් වෘත්තීය සමිතියේ නායකත්වය යටතේ කටයුතු කළත්, ප්‍රශ්නය යටපත් වූ පසු ඔවුහු වෘත්තීය සමිතිය අතහැර දමනවා. 
  3. සාමාජිකයෝ වෘත්තීය සමිතිවලට පිටින් සිය ප්‍රශ්න සඳහා විසඳුම් සොයනවා.රාජ්‍ය අංශයේ නම්, මේ සඳහා දේශපාලනය බහුලව භාවිතා වෙනවා.
  4. වෘත්තීය සමිති නායකත්වය අත් පත් කරගෙන ඉන්න අය සිය තනතුරු බලය සඳහා උපයෝගී කර ගන්නවා.සමහරු දේශපාලකයන්ගෙන් වාසි ප්‍රයෝජන ගන්නවා. තවත් සමහරු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලින් මුදල් උපයනවා.
  5. මේ හේතු නිසා මොවුන් නායකත්වය අතහරින්න අකැමැතියි. ඒ නිසා තනතුරුවල එල්ලී සිටින්නට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ගවල යෙදෙනවා. 
  6. වෘත්තීය සමිතිවල කටයුතු මේ වන විට ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ ජනමාධ්‍ය නිවේදන හරහායි. සමිති නායකත්වය හා සාමාජිකත්වය අතර සන්නිවේදනය අවමයි.
මේ වන විට වෘත්තීය සමිති කියන්නේ ව්‍යාපාරයක්. සාමාජික මුදල් සූරා කන තවත් ධනපති සමාගමක්. එය ව්‍යූහය අතින් සමාන වන්නේ රජයට. සාමාජිකයන්ගෙන් සූරා කන මුදල් මේ අය විවිධ කූට ක්‍රමවලින් තමන් අතර බෙදාගෙන සමාගමේ ගිනුම සමතුලනය කරනවා. බැලූ බැල්මට ලාභ හෝ පාඩු හෝ නැහැ. 

සමිති නිලධාරීහු අන්ත දූෂිතයි. ඒ නිසා ඔවුන් රැකවරණය බලාපොරොත්තුවෙන් ආණ්ඩුව සමග සම්බන්ධ වෙනවා. ඉන් පසුව ඔවුන්ට සිදු වෙනවා, ආණ්ඩුවේ උවමනාවන් ඉටු කරන්න. අද වන විට වෘත්තීය අයිතිවාසිකම් සීමා කර තැබීමේ කාර්යය ආණ්ඩුව වෙනුවෙන් කරන්නේ මේ වෘත්තීය සමිති විසින්මයි. සාමාජිකයන් රවටන්නේ ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව වෙනුවෙන් වෘත්තීය සමිති නායකයෝ මේ කාර්යය භාර ගෙන තිබෙනවා.

ආණ්ඩුව මේ සමිතිවලට පූර්ණ අනුග්‍රහය දක්වනවා. අද හුඟක් වෘත්තීය සමිතිවල විලාසිතාව තමයි, තමන්ගේ සම්මේලනයේ ප්‍රධාන අමුත්තා ලෙස අදාළ ඇමතිවරයා සහභාගි කර ගැනීම. ආණ්ඩුව වෙනුවෙන් මේ සමිති කරන සේවාව වෙනුවෙන් ආණ්ඩුව ඔවුන්ගේ සාමාජිකත්වය වැඩි කර ගැනීම සඳහා අනුග්‍රහය පිරිනමනවා. මෙහි යම් බලහත්කාරයකුත් තිබෙනවා. සමිතිවලට රැවටෙන සාමාජිකයන්ගේ සල්ලි ටික සමිති නායකයෝ පිල්ලි ගහනවා.

මේ අලුත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් තමයි බාලා තම්පෝ. මේ බව සඳහන් කළ යුතුව තිබෙන්නේ සමහර තැන්වල ඔහු මහා වාමාංශික නායකයෙකු ලෙස හැඳින්වෙන නිසායි. ඇත්තෙන් ම ඔහු වෘත්තීය සමිති වානිජකරණය කළ නියමුවෙක්. ඔහු සම්බන්ධ වුණේ පෞද්ගලික අංශය සමග නිසා එහි ලොකු දූෂණයකින් තොරව හාම්පුතුන් සමග සාමූහික ගිවිසුම් හරහා මේ ව්‍යාපාරය ගජරාමෙට කෙරීගෙන යනවා. තම්පෝගේ විශ්‍රාම ගැනීමක් නැහැ. ඔහු තමයි ලංකා වෙළඳ සේවක සංගමයේ යාවජීව නායකයා.

තොන්ඩමන් පවුලේ ව්‍යාපාරයක් වන ලංකා වතු කම්කරු කොංග්‍රසය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දූෂිත නායකත්වය  ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලනය භාවිතා කිරීම ආරම්භ කළ පෞද්ගලික අංශයේ නියමුවා. 

රාජ්‍ය බලය වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහා උපයෝගී කර ගත් ප්‍රමුඛයන් අතර පැරණි වාමාංශික පක්ෂත් වෙනවා. ඒ අතරින් කොමියුනිස්ට් පක්ෂයට විශේෂ අපකීර්තියක් හිමි වෙනවා. පිටරට සල්ලි ලබා ගන්නා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය යොදා ගැනීම පිළිබඳව. රුසියානු සල්ලි වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය විසින් කරන ලද වෘත්තීය සමිති ව්‍යාපෘති තමයි, ලංකාවේ වෘත්තීය සමිති රාජ්‍ය නොවන ව්‍යාපෘති බවට පත් වීමේ ආරම්භය. 

අද වන විට ඇතැම් වෘත්තීය සමිති නාමිකව සිය ලියාපදිංචිය කම්කරු කොමසාරිස්වරයා යටතේ තබා ගනිමින් විදෙස් රටවලින් ලැබෙන අරමුදල්වලින් ව්‍යාපෘති කරනවා. 

රාජ්‍ය අංශයේ ශක්තිමත් වෘත්තීය සමිති බිස්නස් අතර ඉදිරියෙන් ම තිබෙන ඒවා තමයි, ලංකා බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ඒවා. 

රාජ්‍ය සේවයේ වෘත්තීය ශ්‍රේණියක් වැඩවසම් භික්ෂු නායකත්වයක් යටතට අරගෙන පවත්වාගෙන යන අධික ලාභ ලබන සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් තමයි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය. 

ජනතා විමුක්ති පෙරමුණත් තමන්ගේ අරමුදල ශක්තිමත් කර ගැනීම පිණිස වෘත්තීය සමිති ව්‍යාපාරයක යෙදී සිටිනවා. ඔවුන්ට පුංචි, පුංචි සමිති රැසක හිමිකාරිත්වය තිබෙනවා. සංවිධානමය වශයෙන් තිබෙන බලය ඔවුහු සිය ව්‍යාපාරය පවත්වාගෙන යන්නට උපයෝගී කර ගන්නවා. විදුලි බිලට එරෙහි උද්ඝෝෂණ දිය කර හැරීම සඳහා අසංවිධිත, අසාර්ථක වර්ජනයක් දියත් කරමින් ඔවුන් කටයුතු කළ ආකාරය අනුව පෙනී යන්නේ ඔවුන් එවැනි කොන්ත්‍රාත් ගන්නවා වෙන්නත් පුළුවන් කියලායි.

රජයේත්, එක්සත් ජාතික පක්ෂයේත් වෘත්තීය සමිති කියන්නේ දේශපාලනය වෙනුවෙන් ම අටවා ගත් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නමට පමණක් පෙනී සිටින සංවිධාන විශේෂයක්. ඒවා අවශ්‍ය වන්නේ නායකයන්ට දේශපාලන වශයෙන් බලවත් වෙන්නට විතරයි.

සමහර වෘත්තීය සමිති නායකයන්ට සාමාජිකයෝ නැහැ. මා දන්නා එක් නායකයෙක් සමිති සම්මේලනයක අයිතිකාරයෙක්. ඔහු මේ සම්මේලනය අයිති කර ගත් ආකාරය රසවත්. කිසියම් පොදු ප්‍රශ්නයකදී වෘත්තීය සමිති ටිකක් එකතු කරගෙන සම්මේලනයක් පිහිටුවා ගත් ඔහු එය ලියාපදිංචි කර ගත්තා. දැන් ඔහු සම්මේලන නායකයෙක්. සමිතියේ සාමාජිකයන් නැති නිසා සාමාජික මුදල් නැහැ. හැබැයි මිනිහා පූර්ණ කාලීනව නිදහස් වෙලා තමන්ගේ වැඩක් කරගෙන වැඩ නො කර පඩියත් ගන්නවා. වෘත්තීය සමිති සාමාජික සංඛ්‍යාව අනුව නායකයන් කීප දෙනෙකුට සමිති වැඩ කටයුතු වෙනුවෙන් නිදහස් වෙන්න තිබෙන අයිතියත් සමහරු දූෂණය සඳහා යොදා ගන්නවා. 

අද වන විට වෘත්තීය සමිති කියන්නේ නෝබොඩීස්වරුන්ට සම්බොඩීස් වෙන්නත්, සල්ලි ටිකක් හම්බ කර ගන්නත් භාවිතා කරන බිස්නස් එකක් වෙලා. 

හැබැයි මේ තත්වය සමස්තයක් ලෙස ම සමාජයට බලපාන කාරණයක් වෙලා. එක පැත්තකින්, වෘත්තීය සමිති බිස්නස් එකේ තිබෙන දූෂිතකම නිසා වෘත්තික ශ්‍රේණි ඒවායින් ඈත් වෙනවා. එතකොට ඔවුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ක්‍රමයක් නැහැ. අයිතිවාසිකම් අහිමි වීම නිසා අතෘප්තියට පත් වන වැඩ කරන ජනතාව සිය අසහනය පිට කරන්නේ වැඩ නො කර සිටීමෙන් හා වැඩ ඵලදායිතාව පහත හෙළීමෙන්. අද වන විට රාජ්‍ය ‍‍සේවයේ තිබෙන තත්වය මෙයයි. 

ඵලදායිතාව අඩු වන විට ආණ්ඩුව කරන්නේ තව තවත් සේවකයන්ගෙන් කන්තෝරු පුරවන එක. ඔවුන් වැඩ කරන්නේත් අඩුවෙන්. අවසානයේදී මේ බර බර දරා ගන්නට සිදු වන්නේ බදු ගෙවන ජනතාවටයි. 

පෞද්ගලික අංශයේ ආයතනවල අමුතු සංවර්ධනයක් දකින්න ලැබෙනවා. සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති හැදීමත් සිදු වන්නේ හාම්පුතුන්ගේ මැදිහත් වීමෙන්. සමහර සමිතිවල සභාපතිවරුත් හාම්පුත්තුමයි. 

සමාජය තුළ ‍සිදු වූ මේ වෙනස්කම් ග්‍රහණය කර නො ගෙන තවමත් පැරණි ආකාරයට ම වැඩ කරන ජනතාව සංවිධානය කරන්න පුළුවන් ය කියන ෆැන්ටසියක වාමාංශිකයෝ ජීවත් වෙනවා. පව්!

හැබැයි, වැඩ කරන මිනිස්සු ඔවුන්ගේ විමුක්ති දායකයන්ට වඩා ප්‍රායෝගිකයි. සීමාන්තික සූරාකෑම මැද පවා ඔවුන් කෙසේ හෝ නො නැසී පවතින්න ක්‍රමවේද නිර්මානය කර ගන්නවා. 

නිදසුනක් ලෙස, ලෝක කම්කරු දිනය බිහි වන්න හේතු වුණ පැය අටේ වැඩ දිනය කියන දෙයට අද වෙලා තිබෙන දේ බලන්න. දැන් වැඩ කරන මිනිස්සු සිය විවේකය, විනෝදය අතහැරලා ඒ කාලයත් වැඩ කරන ක්‍රම තමයි, සොයන්නේ. වැටුප් දිනා ගන්නවාට වඩා මිනිස්සු අරගල කරන්නේ අතිකාල දීමනා ආදිය වෙනුවෙන්. නැතිනම්, පෞද්ගලිකව වෙනත් කටයුතුවල යෙදීමේ නිදහස වෙනුවෙන්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

4 comments:

  1. +++

    /"සමිතියේ සාමාජිකයන් නැති නිසා සාමාජික මුදල් නැහැ. හැබැයි මිනිහා පූර්ණ කාලීනව නිදහස් වෙලා තමන්ගේ වැඩක් කරගෙන වැඩ නො කර පඩියත් ගන්නවා"/

    මම හිතුවෙ ලංකාවෙ සමිති නායකයන්ට සමිති කටයුතු වලට තම රැකියාවෙන් නිදහස් වෙන්න නම් සැපිරියයුතු සාමජික සංඛ්‍යාවක් නීතියෙන් සඳහන් කරල තියනවා කියල, ඒ අනුව තමා ඔවුන් පූර්ණ් කාලීනවද අර්ධ කාලීනවද නිදහස් වෙන්නෙ කියලය තීරනය වෙන්නෙ කියල තමයි මම අහල තියෙන්නෙ. ඒක එහෙමද නෙවෙයිද?

    ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. ඕවා වෙන හැටි දන්නේ ඒ ඒ අය ම විතරයි.

      Delete
  2. රටේ/ලෝකේ අනිත් එව්වා වගේමයි වෘත්තීය සමිතිත්, කියා කෙටි කල හැකියි නේද?

    මිනිස්සු නේ, දෙවියන් හෝ යකුන් නොවේ. ඒ දෙකම මනක්කල්පිත.

    ReplyDelete
  3. ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති ෂා සහොදරය (sorry මහත්තයා) දැන් Merchant Bank එකේ chairman. පැරා ඒක වෙන්නෙ කොහොමද? තවම අපේ බැංකුවල මැටි හරක් හිතාගෙන ඉන්නෙ ෂා සිරා යුනියන් කාරයෙක් කියලා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.